ඒ හඬ දශක ගණනාවක් තිස්සේ ලංකේය දේශපාලන පොළොවේ දෝංකාර දුන් හඬකි. අඳුරුම පැයේදීත්, මරණය අතේ තබාගෙන ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටි මිනිසුන්ගේ හදගැස්ම හඳුනන මිනිසෙකුගේ හඬකි. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සිය උපන්දිනය සමරන්නේ හුදෙක් පුද්ගලයෙකු ලෙස නොව, ලාංකේය දේශපාලන ඉතිහාසය අලුතින් ලියූ 'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' උදෙසා වූ මහා ජන ව්‍යාපාරයක පදනම් විරුවෙකු ලෙසිනි.
මුල්ලපිටියේ සිට විප්ලවීය මාවතට

බේරුවල මුල්ලපිටිය නම් සුන්දර ගම්මානයේ වඩු කාර්මිකයෙකුගේ වැඩිමහල් පුත්‍රයා ලෙස උපත ලැබූ ටිල්වින් සිල්වා, සිය ජීවිතය අරගලයට හුරු කළේ කුඩා කල සිටමය. මුල්ලපිටියේ ගමේ පාසලෙන් සහ බේරුවල මංගල පිරිවෙනෙන් අකුරු කළ ඔහු, අලුත්ගම විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරීය. පියාගේ වඩු වැඩපොළේදී පියාට උදව් කරමින් ශ්‍රමය වැගිරීමේ අගය ඉගෙනගත් ඔහු, පාසල් අධ්‍යාපනයෙන් පසු සංචාරක හෝටලයක රැකියාවක නිරත විය. එහෙත් ඔහුගේ සිත නතර වූයේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන ලබන ව්‍යාපාරික ලෝකයක නොව, පීඩිත පන්තියේ විමුක්තිය උදෙසා වූ දේශපාලන මාවතේය.
ටිල්වින් සිල්වා යනු දේශපාලනය වෙනුවෙන් පෞද්ගලික ජීවිතයම පරිත්‍යාග කළ විරල ගණයේ මිනිසෙකි. "මම විවාහ වෙලා ඉන්නේ, හැබැයි දරුවෝ හැදුවේ නැහැ. ටිකක් අමාරු කාලේ විවාහ වුණේ... අපි ඉතින් ඉන්නවා දේශපාලනය කරගෙන," යනුවෙන් ඔහු වරක් ප්‍රකාශ කළේය. දේපළ රැස් කිරීමේ හෝ තනතුරු හඹා යාමේ පටු අරමුණක් ඔහුට නොවීය. ඔහුගේ ජීවිතය වූයේ ජනතාවට ඉහළින් සිටීම නොව, ජනතාව සමඟ සිටිමින් සමාජවාදී මූලධර්ම මත පදනම් වූ ලස්සන සමාජයක් ගොඩනැඟීමයි.
ඉල්මහ විරුවන්ගේ ආදර්ශය සහ නොසැලෙන ධෛර්යය
නොවැම්බර් 13 වන දිනට යෙදෙන 'ඉල්මහ විරු සමරුව' ඔහුට හුදෙක් සැමරුමක් නොව, අධිෂ්ඨානය අලුත් කරගන්නා දිනයකි. රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක ඇතුළු දහස් සංඛ්‍යාත සහෝදර සහෝදරියන්ගේ ලෙයින් තෙත් වූ ඉතිහාසය ඔහු සිය දේශපාලන ශක්තිය කරගත්තේය. "අපි සමරන්නේ මරණයට අභියෝග කළ මිනිසුන්. අඳුරුම පැයේදීත් ප්‍රතිපත්ති පාවා දෙනවා වෙනුවට මරණය තෝරාගත් මිනිසුන්," යැයි පවසන ඔහු, එම විරුවන්ගේ සිහින සැබෑ කරමින් ජාතික ජන බලවේගය බලයට ගෙන ඒමේ සැබෑ පුරෝගාමියෙකු විය.
ටිල්වින් සිල්වා සහෝදරයා නිතරම අවධාරණය කරන්නේ ප්‍රතිපත්තිගරුක බවයි. "සතුරන් වරද්දා ගන්නේ ජනතා විමුක්ති පෙරමුණ සාම්ප්‍රදායික පක්‍ෂයක් ලෙස කල්පනා කිරීම නිසයි. නමුත් අප ගොඩනඟා තිබෙන්නේ මරණයෙන් හෝ වළක්වන්න බැරි මිනිසුන්ගෙන් සමන්විත මහජන ව්‍යාපාරයක්," යැයි පවසන ඔහු, සතුරන්ට වුවද ප්‍රතිපත්තිගරුකව මුහුණ දීමේ ආදර්ශය සමාජයට ලබා දී ඇත. න්‍යාය කටපාඩම් කිරීමට වඩා එය භාවිතයට නැගීම ඔහුගේ ශෛලියයි.
අතීතයෙන් ඉගෙන අනාගතය ලියන පරම්පරාව

අතීතයේ ජීවත් නොවී, අතීතයෙන් ඉගෙනගෙන වර්තමානය ජයගන්නා ඔහු, අනාගතය වෙනුවෙන් ලස්සන රටක් ගොඩනැඟීමේ අභියෝගයට අද නායකත්වය දෙයි. ජාතික සමඟිය, ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සහ මත්ද්‍රව්‍යවලින් තොර රටක් වෙනුවෙන් ඔහු කරන අරගලය අසමසමයි.
සිය දේශපාලන දේශනයක් අවසානයේ ඔහු ගැයූ ඒ සුවිශේෂී කවි පන්තිය, අදටත් විප්ලවීය හදවත් තුළ පතිත වන්නේ නව බලාපොරොත්තුවක් ලෙසිනි
“විරුවන් ගතින් වැගිරුණු ලේ පැහැය උරා
රතු මල් පිපේවා මිහිකත දෙරණ පුරා
ලෙළ දෙන රතු ධජය දැඩි කොට සුරත දරා
පියවර නඟමු නිවහල් නව ලොවක් කරා”
අද උපන්දිනය සමරන ටිල්වින් සිල්වා සහෝදරයාණෙනි, පීඩිත ජනතාවගේ හදගැස්ම හඳුනන ඔබේ මේ විප්ලවීය ගමනට සවියත්, ධෛර්යයත් නොඅඩුව ලැබේවා!
-මැද්දවත්තේ රණේ




