The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
විශේෂාංග

සම්මුති විසම්මුති : සංඝ රත්නය, ඩෙඟ ඩෙඟ පෙරමුණ සහ ශිෂ්ඨාචාර සමාජය | සුනන්ද දේශප්‍රිය

T

The Leader Desk

February 27, 2026 • 11:35 AM

සම්මුති විසම්මුති : සංඝ රත්නය, ඩෙඟ ඩෙඟ පෙරමුණ සහ ශිෂ්ඨාචාර සමාජය | සුනන්ද දේශප්‍රිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුලින්ම කිව යුත්තේ සංඝ රත්නය යැයි භක්තියෙන් කිව හැකි බෞද්ධ සංඝයා වහන්සේලා මෙරට සිටින බවයි.
  • 1960 ගණන් මැද භාගයෙ යූඇන්පී  දේශපාලන වේදිකාවේ රඟ දුන් මීටියාගොඩ ගුණරත්න වැනි චීවරධාරීන් හැදින්වීමට එකල අතිශය ජනප්‍රිය වූ ‘ඇත්ත’ පුවත්පත නිර්මාණය කළ යෙදුම ‘ඩෙඟ ඩෙඟ පෙරමුණ’ නම් විය.
  • එම සමුළුව රජයට බාර දීමට දස වැදෑරුම් ප්‍රකාශනයක් එළි දැක්වීය.
  •   එම දස පනතට අනුව රජය කළ යුතු කටයුතු කිහිපයක් මෙසේය: ‘රාජ්‍යානුශාසනා කිරීමේ කාර්යභාරය ඓතිහාසිකව භික්ෂූන් වහන්සේ විසින් සිදු කර ඇති බැවින් මේ අයිතිය පිළිගත යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):

නමුත් බෞද්ධ සංඝයා ලෙස කටයුතු නොකරන විශාල පිරිසක්ද සිවුරු දරා ගෙන සිටින බව රහසක් නොවේ.

1960 ගණන් මැද භාගයෙ යූඇන්පී  දේශපාලන වේදිකාවේ රඟ දුන් මීටියාගොඩ ගුණරත්න වැනි චීවරධාරීන් හැදින්වීමට එකල අතිශය ජනප්‍රිය වූ ‘ඇත්ත’ පුවත්පත නිර්මාණය කළ යෙදුම ‘ඩෙඟ ඩෙඟ පෙරමුණ’ නම් විය.

ගෞතම බුදුන් ගේ කාලයෙහි සිට දුශ්ශීල මහණුන් බෞද්ධ සාසනය අරක් ගෙන සිට තිබේ. එවැනි සංඝයා හෙළා දැකීමට එකල පවා සමාජයට අයිතියක් තිබුණි. පසුගිය දා හෙද වෘත්තිය සමිති නායක මුරුත්තෙට්ටුවේ ආන්නද හිමි ප්‍රධානත්වයෙන් කැඳවූ සඟ සමුළුවද නුතන ඩෙඟ ඩෙඟ පෙරමුණකි. එම සමුළුව රජයට බාර දීමට දස වැදෑරුම් ප්‍රකාශනයක් එළි දැක්වීය. එම සමුළුවට දොහොත් මුදුන් දී  වැඳ නමස්කාර කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද ගොස් තිබුණි.

sangsa1

 

එම දස පනතට අනුව රජය කළ යුතු කටයුතු කිහිපයක් මෙසේය:

‘රාජ්‍යානුශාසනා කිරීමේ කාර්යභාරය ඓතිහාසිකව භික්ෂූන් වහන්සේ විසින් සිදු කර ඇති බැවින් මේ අයිතිය පිළිගත යුතුය.

‘ජාතියේ එක්සත්කමත්, සමගියත්, සහජිවනයත් රඳා පවතින්නේ ඓතිහාසිකව ගොඩනැගුණු ගිහි පැවිදි සම්බන්ධතාව නිසාය. එය බිඳ දමන්නට විරසක කරන්නට සමාජ මාධ්‍ය ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන විසින් ගෙන යන අදුරදර්ශී ක්‍රියාමාර්ග පරාජය කරන්නට රජය විසින් අවශ්‍ය කටයුතු යෙදිය යුතුය.

vsuy5665768

 

‘නොබොහොසත්හු ලක්දිව රජ නොවිය යුතු බවට ශිලා ලේඛන ගත කර ඇති බැවින් එය පිළිගත යුතුය.

‘අතීතයේ සිට ම බුද්ධ ප්‍රතිමාව ලංකාවේ සැදැහැවත් බෞද්ධ ජනතාවගේ මහත් ගෞරවයට ලක් වූ උතුම් පූජනීය වස්තුවක් බැවින් බුද්ධ ප්‍රතිමාවට නිගරු වන කවර ආකාර හෝ ක්‍රියාමාර්ගයක් ආණ්ඩුව හෝ වෙනත් කවර සමාජ ආයතන විසින් හෝ සිදු නොකළ යුතු බවත්, ඊට අවශ්‍ය පියවර නීත්‍යානුකූලව ගත යුතුය.  

‘භික්ෂුන් වහන්සේලා රටේ ජනතාවගේ ප්‍රධාන ආචාර්යයන් වහන්සේ වූ බැවින් විෂය මාලා සංවර්ධනයේ දී බෞද්ධ අධ්‍යාපන මූලධර්ම කෙරෙහි සැලකිලිමත් විය යුතු බවත් අපි රජයට අවධාරණය කර කියා සිටිමු.

‘භික්ෂුන් වහන්සේලාට නිග්‍රහ වන ලෙසින් අදහස් ප්‍රකාශ කිරීම, මත පැතිරවීම, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් විවිධ අපහාස උපහාසයට ලක් කිරීම්, චෝදනා කිරීම ආදී භික්ෂු ගෞරවය කෙලෙසන ආකාරයේ කටයුතු රාජ්‍ය යටතේ සිදු නොවිය. ’

 

sanga345

මෙම දස පනතෙහි භික්ෂුව යන්න නිර්වචනය කර නැත. දුශ්ශීල මහණුන් මෙම සිය භික්ෂූ ප්‍රභේදයට අයත් නොවන බව දක්වා නැත. භික්ෂු සමාජයේ පවත්නා කුල භේදය ගැන වචනයක් වත් නැත. වත්මන් භික්ෂු නිකාය නායකකාරකාදීන් ගෙවන බුදු සමයට ඉදුරාම පටහැණි සුඛෝපභෝගී ජීවිත ගැන වචනයක් වක් නැත. පන්සල්හි යළි යළි සිදුවන අන්ත අමානුෂික ළමා අපයෝජන ගැන වචනයක්වත් නැත. හන්දියෙන් හන්දියට  බුදු පිළිම පිහිටුවා ගෙන එය ජාවාරමක් කර ගෙන සිටින විවිධ කල්ලි කණ්ඩායම් ගැන වචනයක්වත් නැත. පිළිම වන්දනාව බුදු සමය නොවේ. ඒ කෙසේ වෙතත් වර්තමානයේ බුදු පිළිම වඩාම නිගරුවට පත් වන්නේ මෙම හන්දි පිළිම නිසාය.

එනයින් මෙම දස පනත මෙරට වාසය කරන සියළුම භික්ෂුන් රජයට අවවාද අනුශාසනා දීමට යෝග්‍ය බව අදහස් කරයි.


sanga45456
තවද දස පනතට අනුව මඩකලපුවේ කුණූහරුප ධාරියා හෝ බීමත්ව රිය පදවා දඩ කා ඒ මදිවාට වෙනත් අපරාධ සඳහා සිර ගත වූ ඥණසාර (තෙර) හෝ එවැනි අන් දුශ්ශීල සංඝයා රජයට උපදෙස් දීමට අයිතියක් ඇත්තෝය. සෝමාරම සිටියේ නම් ඔහුටත් මෙම සමුළුවෙහි අසුන් පැනවෙන්නට තිබුණි.

තවද මෙම දස පනතට අනුව බෞද්ධයකු නොවන අයකුට මෙරට පාලකයා වීමට අයිතියක් නැත.  රාජ්‍ය පාලනය කළ යුත්තේ භික්ෂු අනුශාසනා මගිනි. මේ මහජන නියෝජිතයින් විසින් පාලනය කරන ප්‍රජාතන්ත්‍රවාදී රටකට අදාළ නැති අණපනත්ය. මෙරට පාලනය කළ බොහෝ රාජ්‍ය නායක නායිකාවන් නමට බෞද්ධයින්ය.

භික්ෂූ අනුශාසනා සන්දර්භයෙහි දැනට චෝදනා ගණනාවකට ලක්ව ඇප පිට නිදහස ලබා සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් රැක ගැනීමට පෙළ ගැසුණූ භික්ෂූන් ගැන මතකයට නංවා ගැනීමත්  අවස්ථාවෝචිතය.  ඔවුහු නම් (පිස්ටන් විරෝධී) මහාචාර්ය කොටපිටියේ රාහුල,  අකුරටියේ නන්දා, අගලකඩ සිරිසුමන, ඉඳුරගරේ ධම්මරත්න, බෝදගම චන්දිම,   (ගේට්ටුව ළග සිටි අලි පැටවෙක් අල්ලා ගත්) උඩුවෙ ධම්මාලෝක, ( හතේ පොතේ) මැදගොඩ අභයතිස්ස  යන හිමිවරුය. රාජ්‍ය පාලනයට උපදෙස් ගත යුත්තේ  භික්ෂූන්ගෙන් නම් අද දේශබන්දු තවමත් පොලිස්පතිය.

saanga635

 

ඩෙඟ ඩෙඟ සමුළුවෙහි දී  අධ්‍යාපනය සඳහා යොදා ගත යුතු බෞද්ධ මූලධර්ම ගැන දේශනාවක් තළ කොටපිටියේ රාහුල (මහාචාර්ය) හිමිට අනුව පිස්ටන් සහිත යන්ත්‍ර සූත්‍ර අශීලාචාරය. එහිමියන්ට වද කහ සුදිය නැතිවම බඩ යන තරමටම පිළිතුරු සමාජ මාධ්‍ය මගින් දී ඇති බැවින් ඒ ගැන ලිවීම අවශ්‍ය නැත. රාහුල හිමිගේ දේශනය මගින් මෙම දස පනතේ ඇති අධ්‍යාපනය පිළිබඳ නියෝගය නිශේධ කරයි. මන්ද යත් එවැනි අතාර්කික සහ බේගල් මත පදනම් වූ අධ්‍යාපනයක් රටකට අනවශ්‍ය නිසාය. එම අනුශාසනා පිළිගන්නේ නම්  අධ්‍යාපන පෙළපතෙහි වංගෙඩිය සහ මෝල් ගස සහ තවත් එවැනි මෙවලම් තහනම් වන්නට ඉඩ තිබේ.

ගෞතම බුදුන් ගේ කාලයේ දී පවා රජවරු රට පාලනය කළේ ආගමික ඉගැන්වීම් අනුව නොවේ. අද රජවරු නැත. අප ජීවත්වන ප්‍රජාන්ත්‍රවාදී ශිෂ්ධාචාර සමාජය සහ ගෞතම බුදුන් ජීවත් වූ වැඩ වසම් සමාජය අහසට පොළව මෙන් වෙනස් ය.  වැඩ වසම් සමාජයෙහි දාසයෝ ජීවත් වූහ. අද  සමාජය පුරවැසි සමාජයකි.

මහණුන්ගේ උපදෙස් අනුව පාලනය කළ යුතු නම් පාර්ලිමේන්තුවට උඩින් සංඝ සභාවක් පිහිටුවා ගත යුතුය.  එම සංඝ සභාව මහජන ඡන්දයෙන් පත් කර ගත යුතුය. කුල අනුව තනතුරු දිය යුතුය. ආනන්ද හිමිගේ දස පනත පැහැදිළිවම ලංකාව ආපස්සට ගෙන යාමට දරණ ප්‍රයත්නයකි.

නූතන ඩෙඟ ඩෙඟ පෙරමුණේ කසකරුවකු වීමට වලිකන සජිත් ප්‍රේමදාසට අනුව සංඝයා විවේචනය කිරීමට සිවිල් ජනයාට අයිතියක් නැත. සජිත් ප්‍රේමදාස පැන්නේ මඩ ගොහොරුවකටය. ඔහුට අනුව දුශ්ශීල මහණුන් පවා විවේචනය කිරීමට සිවුරු පොරවා ගෙන නැති අපට අයිතියක් නැත.  මෙම සංඝයා සමහරක් මහණ වී සිටින්නේ රාජපක්ෂ නිකායේය. එබැවින්ම ධජය අයත් වන්නේ රාජපක්ෂවරුන්ටය. සජිත් ප්‍රේමදාසට එය උදුරා ගැනීමට නොහැක. සිංහල බෞද්ධ අන්ත ජාතිවාදීන් සමඟ රාජපක්ෂවාදයේ පූට්ටුව ප්‍රේමදාසට ගැලවිය හැකි එකක් නොවේ.

sangag4w67

 

ජාතික ජන බලවේග ආණ්ඩුව ද තකට තකය. දැන් එය තීරණය කර ඇත්තේ දරුවන් මහණ කරවන මාපියන්ට අමතර දීමනාවක් ගෙවීමටය. මෙය දුගී පවුල්වල දරුවන් ලිංගික අපයෝජනය පිණිස  යැවීමේ අනියම් යෝජනාවකි.  හය හතර නොතේරෙන දරුවන් මහණ කර වීම සහ ළමා අයිතිවාසිකම් අතර ඇති පරතරය නොදන්නා ආණ්ඩුවක් ඊලග වටයේදී ඩෙඟ ඩෙග පෙරමුණ  ශක්තිමත් වුව හොත් එයට පවාඩ එළීමට ද ඉඩ තිබේ.

ජාතික ජන බලවේගයට විකල්පයක් වීමට අවශ්‍ය නම් සජිත් ප්‍රේමදාස තෝරා ගත යුත්තේ පසුගාමී වැඩවසම්වාදී මතවාද නොව සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ජාතික සමගියේ මාවතය.

නූතන ඩෙඟ ඩෙඟ පෙරමුණට අප සමාජයේ ඇති අපුල දැක ගැනීමට හැකි එක් මාධ්‍යයක් නම් පසුගිය දිනයන්හි මෙරට පුවත්පත්හි පළ වූ කාටූන් සහ සමාජ මාධ්‍ය සටහන්ය.

මාධ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයකු ලෙස සැලකෙන නාලක ගුණවර්ධන ‘එක්ස්’ අඩවියෙහි කාටූන් ගැන තැබූ සටහනකි මේ:

‘කාටූන් ශිල්පීන් මහජන මතයේ කැඩපතක් නම්, ලංකා සමාජය පූජක පක්ෂය (ප්‍රධාන වශයෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ කතෝලික කාදිනල්තුමා) වඩාත් විවෘතව විවේචනය වෙමින් පවතින බව අපට උපකල්පනය කළ හැකිය. ඔවුන් හැම පොදු ගැට‍ළු සම්බන්ධයෙන් දැඩි මත දරන බව පෙනේ. වසර විස්සකට පෙර, ලංකාවෙහි කාටූන් ශිල්පීන් භික්ෂුවක් ඇඳීමට පසුබට වූහ.  ඒ කාලයෙහි බොහෝ භික්ෂූන් වහන්සේලා මධ්‍යස්ථ හා සංයමයෙන් යුතු වූහ. මේ වන විට, පූජක පක්ෂය තමන් කිසිවක් නොදන්නා ගිහි කටයුතුවලට වඩාත් මැදිහත් වන විට, කාටූන් ශිල්පීන් පූජක පක්ෂයේ අඳුරු පැත්ත නිරූපණය කිරීමේ දී නිර්භීත වෙමින් සිටිති.’

තවත් සමාජ මාධ්‍ය සටහනක් මෙසේ විය:

‘මඩකළපුවෙහි සුමන නම් සංඝයා අමු තිත්ත කුණුහරුපයෙන් බැණ වදිනු තවමත් යූ ටියුබ් වීඩියෝ මගින් දැක ගත හැකිය. සිරගතව සිටින ඥාණසාර නම් සංඝයා ද එළෙසින්ම තිත්ත කුනුහරුප කියන විඩියෝ තිබේ. අලුත්ගම ගිනි තැබීමට පෙර ඥණසාර විසින් කරන ලද කුපිතකාරී කතාව බුද්ධාගමට සහමුලින්ම විරුද්ධ ය. අනෙත් අතට තමන් විසින්ම සිරිසමන්තභද්‍ර මහ රහතන්වහන්සේ යැයි හදුන්වා ගන්නා වාචාල සංඝකුද සිටී. එහිමි වැනිම නොවුන ද විවිධ බහුබූත දොඩවන තවත් සංඝායා ද සිටී. එවැන්නකු වරක් දොළුකන්දේ සිට වතුර වික්කේ ය. තවත් සංඝයකු නිකවැරටියේ ගස් මුලක් බුදුන් යැයි වික්කේ ය. එකළ දහස් ගණනින් ජනයා පොදි කකා ඒ බොරුකාර සංඝයා පසුපස ගියෝය’

ත්‍යාගලාභී ලේඛක ශක්තික සත්කුමාර නිරපරාදේ මාස ගණනාවක් සිර ගත කිරීමට මුල් වූයේ ද අන්තවාදී සංඝයාය.  ප්‍රහසන ශිල්පිනී නතාශා එදිරිසූරිය සිරගත කරන සේ ඉල්ලා එවැනිම සංඝ පිරිසක් උද්ඝෝෂණය කළහ.

 

sanga456456
ආන්නද හිමිගේ දස පනතට අනුව රට පාලනය කළ යුත්තේ  එවැනි සහ එවැනි නොවන සංඝයාගේ අනුශාසනා පරිදිය. එපමණක් නොවේ. එම දස පනතට සහ කොටපිටියේ රාහුල හිමිට අනුව රට පැවතිය යුත්තේ මවගේ රෙද්ද උස්සා දියණියන්ගේ මුහුණ වැසූ යැයි කියන රොබට් නොක්ස්ගේ කාලයට අනුවය.

විචාරශීලී සමාජ මාධ්‍යකරුවකු ද වන  දමිත් චන්ද්‍රලාල් රොබට් නොක්ස් ලියූ පරිදි එකල සමාජයේ තිබූ ලිංගික ගති පැවතුම් මෙසේ දක්වා තිබුණි.

‘ගැහැනු පිරිමි තමන්ට හරි යන විවාහයක් ලැබෙන තුරු දෙතුන් වරක් විවාහ වෙනවා. ලංකාවේ මිනිස්සු අතර විවාහයෙන් පිට ලිංගික සම්බන්ධකම් බහුලයි. එවැනි බොහෝ සම්බන්ධකම් පවතිනවා.  ඒ වගේම සොර සැමියන්ට පැමිණෙන ලෙස කීමට ගැහැනු අය විවිධ සංඥා භාවිතා කරනවා. බොහෝ පිරිමින් තමන්ගේ ගැහැනුන් පිට ලිංගික සම්බන්ධකම් පැවැත්වීම ඉවසූ බව කියනවා.

මව විසින් කුඩා ත්‍යාගයකට දියණිය තව කෙනෙකුට (තමන්ගේ කුලයට ගැලපෙන කෙනෙකුට) ලිංගික කටයුතු සඳහා විකුණන බවත්, තමන්ගේ යහලුවන්ට, මිතුරන්ට බිරිය සමග නිදා ගැනීමට ඉඩ දෙන බවත් කියනවා.’

ආනන්ද, සර්පයා දුටුවෙහිද?

sunanda deshapriya(සටහන | සුනන්ද දේශප්‍රිය)
Journalist, Writer and Human Rights Activist

sunandadeshapriya@gmail.com

Twitter: @sunandadesh
Editor: http://srilankabrief.org

(උපුටා ගැනීම - srilankabrief.org)


ඡායා : Shehan Gunasekara

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...