The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
විශේෂාංග

සුදු අසකු පිට නැඟී හැඳල ලාදුරු රෝහල වටා සැරිසරන අද්භූත ඕලන්ද කුමාරයා

T

The Leader Desk

March 1, 2026 • 11:38 AM

සුදු අසකු පිට නැඟී හැඳල ලාදුරු රෝහල වටා සැරිසරන අද්භූත ඕලන්ද කුමාරයා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Prasanna Weerakkody paintings
  • පසුගිය කාලයේ පැවති රෝගී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, සෞඛ්‍ය අංශ විසින් රෝග ව්‍යාප්තිය වැළැක්වීමට කඩිනම් පියවර ගෙන ඇති බව ද වාර්තා විය.
  • නමුත් සෙසු විශේෂිත රෝග සඳහා වෙනම රෝහල් ඉදිව ඇති මුත්, ඒ ආකෘතියේ මුල්ම රෝහල මෙය බව බොහෝ දෙනෙක් නොදනිති.
  • එය ආරම්භ කර ඇත්තේ ඕලන්ද යටත් විජිත සමයේ 1701 වසරේදී ය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය මුළුමනින්ම තුරන් කිරීමේ අරමුණින් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර, නව රෝගීන් වාර්තා වීම අවම කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇති බවට පසුගිය දා ජනමාධ්‍ය වාර්තා කර තිබිණි.


පසුගිය කාලයේ පැවති රෝගී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, සෞඛ්‍ය අංශ විසින් රෝග ව්‍යාප්තිය වැළැක්වීමට කඩිනම් පියවර ගෙන ඇති බව ද වාර්තා විය.

ll a

නමුත් සෙසු විශේෂිත රෝග සඳහා වෙනම රෝහල් ඉදිව ඇති මුත්, ඒ ආකෘතියේ මුල්ම රෝහල මෙය බව බොහෝ දෙනෙක් නොදනිති. එය ආරම්භ කර ඇත්තේ ඕලන්ද යටත් විජිත සමයේ 1701 වසරේදී ය. ඓතිහාසික වාර්තාවලට අනුව, ලන්දේසීන් මෙම රෝහල ඉදිකළේ එවකට “මහා ව්‍යාධියක්” ලෙස සැලකූ ලාදුරු රෝගීන් සමාජයෙන් වෙන් කොට තබන ස්ථානයක් (Leprosy Asylum) ලෙසිනි. කැලණි ගං දියෙන් සුපෝෂිත, තුරු වදුළු ගහන හුදෙකලා බිමක මෙය පිහිටුවීම පිටුපස එකල පැවති වෛද්‍ය විද්‍යාත්මක නොදැනුවත්කම මෙන්ම රෝගය කෙරෙහි තිබූ දැඩි භීතිය ද බලපෑ බව පෙනේ.

ඓතිහාසික මූලාශ්‍රවලට අනුව ශ්‍රී ලංකාවේ පළමු ලාදුරු රෝගියා වාර්තා වී ඇත්තේ 1670 දී පමණ ය. ලන්දේසි යුගයේදී පෘතුගීසි සොල්දාදුවන් කිහිප දෙනෙකුට සහ ලන්දේසි ජාතිකයන් කිහිප දෙනෙකුට ලාදුරු රෝගය වැළඳී ඇති බව හඳුනාගෙන තිබේ. එම යුගයේම විදේශීය සොල්දාදුවන් සමඟ විවාහ වූ දේශීය මව්වරුන්ගේ දරුවන් කිහිප දෙනෙකුට ද ලාදුරු රෝගය වැළඳී ඇති බවට සාක්ෂි තිබේ.

 

hadala laduru
1670 ගණන්වල ලන්දේසි සොල්දාදුවන් සමඟ ශ්‍රී ලංකාවට පැමිණි ලන්දේසි වෛද්‍යවරයකුට පැවරුණු ප්‍රධාන මෙහෙවරක් වූයේ ගෙයින් ගෙට ගොස් සෝදිසි කර ලාදුරු රෝගීන් සිටීදැයි සොයා බැලීමයි. පසුව ලාදුරු රෝගයට ගොදුරු වූ රෝගීන් අගනුවරින් බැහැර, කැලණි ගඟෙන් එපිට වනගත ප්‍රදේශයක තනන ලද කූඩාරම්වල රඳවා තබා ඇති බව විශ්වාස කෙරේ. පසුව හැඳල ලාදුරු රෝහල ස්ථාපිත වී ඇත්තේ එම ස්ථානයේ ය. අතීතයේදී ලාදුරු රෝගය සඳහා නිශ්චිත හෝ සාර්ථක ප්‍රතිකාරයක් නොතිබුණි. දරුණු තත්ත්වයෙන් පෙළෙන රෝගීන්ගේ ශරීර අවයව විකෘති වී තිබිණි. එකල සමහර රටවල මෙම රෝගීන් වනාන්තරවලට හෝ දූපත්වලට යවා සමාජයේ සෙසු අයගෙන් වෙන් කිරීම සිරිතක් විය. අප රටේ මහනුවර රාජධානි සමයේ ද එසේ ලාදුරු රෝගයට ගොදුරු වූවන් පවුල් පිටින් සිංහරාජ වනයට පිටුවහල් කරන ලද බව හෝ රහසින් එබඳු ස්ථානවලට පලා ගිය බව හෝ විශ්වාස කෙරේ.

හැඳල ලාදුරු රෝහල ඉදිවනුයේ එබඳු පසුබිමක ය. එහි නේවාසිකව ප්‍රතිකාර ලැබූ අතීත ලාදුරු රෝගීන්, තමන් මියගිය පසු සුසානයට ගෙනයාමට සකසා ගත් මිනී කරත්ත කිහිපයක් කෞතුක වස්තූන් ලෙස තවමත් රෝහල් පරිශ්‍රයේ සංරක්ෂණය වෙමින් පවතී. මීට වසර කිහිපයකට පෙර ඒ බව මට පැවසුවේ එවකට එහි කාර්යභාර වෛද්‍ය නිලධාරී වශයෙන් කටයුතු කළ මගේ හිතවත් වෛද්‍ය දර්ශන මොහොට්ටි ය.

“මුල් කාලයේ මුළු ජීවිත කාලයම මෙහේ නතර වෙලා හිටපු රෝගීන් අතරේ නොයෙක් රැකියාවන් කරපු, ඒ වගේම හැකියාවන් සහ දක්ෂතා තිබුණු අය ඉඳලා තියෙනවා. ඒ අය අතරේ හිටපු වඩු කර්මාන්තය, කැටයම් ශිල්පය දන්නා අය තමයි ඔය මිනී කරත්ත නිර්මාණය කරන්න ඇත්තේ. තමන්ගේ ජීවිතය ගැන සේරම බලාපොරොත්තු අතහැරගෙන හිටපු ඒ අසරණ මිනිස්සු, තමන් තුළ තිබුණු ඒ දක්ෂතා අන්තිම ගමන වෙනුවෙන් එළිදැක්වීම මොන තරම් සංවේදී කාරණයක්ද?”

මගේ කුතුහලය පුබුදුවමින් වෛද්‍ය මොහොට්ටි එසේ පැවසීය. ඒ අනුව එම මිනී කරත්තවල ඉතිහාසය ඇතැම් විට ඕලන්ද හෝ ඉංග්‍රීසි යන යටත් විජිත යුග තෙක් විහිදී යන බව ද අනුමාන කළ හැකිය.

 

hadala laduru1මිනී කරත්තයක්
“ඒ විතරක් නෙවෙයි, ඕලන්ද පාලන කාලයේ ලාදුරු වැළඳී මේ රෝහලේ සිටි ඕලන්ද රජ කුමාරයෙකුගේ අවතාරයක් තාමත් දකින්න ලැබෙනවා කියලා මිනිස්සු කියනවා. පුළුවන් නම් ඒකත් හොයාගෙන ලියන්න. මම නම් කොහොමත් ඕවා විශ්වාස කරන්නේ නැහැනේ. ඒත් ඇත්ත නැත්ත මොනවා වුණත් ඕක බොහොම රසවත් කතාවක් වේවි,” හෙතෙම කීය.

එම පුරාවෘත්තයට අනුව ලාදුරු රෝහල අවට සැරිසරනුයේ සුදු අශ්වයෙකු පිට නැඟගත් පැරණි ඕලන්ද රජ කුමරුවෙකුගේ අවතාරයකි. රෝහල අවට ඇති බලගල, නායකකන්ද ආදී ස්ථානවලදී දර්ශනය වන බව පැවසෙන මෙම අශ්වාරෝහක කුමාරයාගේ අවතාරය ගැන වැඩිදුර විමසා බැලූ මට වත්තල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ස්ටැන්ලි නෝබට්, නායකකන්ද පිරිමි විද්‍යාලයේ විශ්‍රාමික ආචාර්ය බ්‍රිජට් විජේගුණවර්ධන සහ හැඳල තිඹිරිගස්යාය පාරේ විනිෆ්‍රීඩා ජෙනට් සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු තවත් කිහිප දෙනෙකුගෙන් රසවත් කරුණු රැසක් දැනගත හැකි විය.

එම පුරාවෘත්තයට අනුව අප රට ඕලන්ද යටත් විජිතයක්ව පැවති සමයේ ඕලන්ද රජ පෙළපතට අයත් කුමරුවෙකු දේශ දේශාටනවල යෙදෙන අතරේ අප රටට ද පැමිණ ඇත. එහෙත් මෙහි පැමිණ මඳ කලෙකින් ඔහු කෙරෙන් ලාදුරු රෝගයේ ලක්ෂණ පහළ වී තිබේ. එවකට පැවති නීතිය අනුව ලාදුරු රෝගය වැළඳුණු කිසිවෙකුටත් රටින් පිටවීමට අවසර නැත. ඒ අනුව එකල පහතරට පාලනය කළ ඕලන්ද ආණ්ඩුකාරවරයා ඒ බව ඕලන්ද රජ පවුල වෙත දන්වා යවා ඇත. රජ පවුලෙන් උපදෙස් ලැබී තිබුණේ එම කුමරා හැඳල ලාදුරු රෝහලේ රඳවා තබන ලෙසයි.

 

image 2aa8dc1817
එමෙන්ම කිසියම් දේව ආශ්චර්යයකින් කුමරා සුවපත් වුවහොත් ඔහුට යළි මව් රටට පැමිණීමට හෝ වෙනයම් ප්‍රයෝජනයක් ගැනීම පිණිස සුවිශාල වටිනාකමකින් යුතු රන්, රිදී, මුතු, මැණික් සහිත පෙට්ටගමක් කුමරාට පමණක් දැනගත හැකි රහසිගත ස්ථානයක නිදන් කරන ලෙසටත්; නැවත ඕලන්දයේදී මිස තම රාජකීය ඇඳුම් කට්ටලය ඇඳීමට ඉඩ නොලැබෙන කුමරාට, ලාදුරු රෝහල තුළදී එය ඇඳීමට අවසර දෙන ලෙසටත්; ලාදුරු රෝගීන්ට රෝහලෙන් පිටවීම සපුරා තහනම් බැවින් කුමරාට රෝහල් භූමිය තුළ පමණක් සැරිසැරීම පිණිස එවක ඕලන්දයේ රාජකීයයන් පරිහරණය කළ ආකාරයේ සුදු අශ්වයෙකු ලබා දෙන ලෙසටත් ඕලන්ද රජතුමා එවක ලංකාවේ ඕලන්ද පාලකයාට නියෝග කර තිබේ.

මේ අතර හැඳල ලාදුරු රෝහල කේන්ද්‍ර කරගත් බලගල, නායකකන්ද සහ කැලණි නදිය අසබඩදී හඳ පෑයූ රැයෙහි තම සුපුරුදු රාජකීය ඇඳුමින් සැරසී සුදු අසු පිට යන ඕලන්ද කුමාරයාගේ රූපය ප්‍රදේශවාසීන් විසින් දැක ඇති බවට ද කතා පැතිර යන්නට පටන් ගෙන තිබේ. සමහරු පවසනුයේ රජ කුමරා දර්ශනය නොවුණත්, ඔහු අසු පිට ගමන් කරන කුර හඬ ඇසෙන බවයි. “අපි ඔය වගේ දෙයක් දැකලා නැති වුණාට ඉස්සර මෙහේ හිටපු කිහිප දෙනෙක්ම ඔය කුමාරයා අශ්වයා පිටේ යනවා රෑ හඳ එළියෙන් දැකලා තිබුණා. ඒ කවුරුවත් දැන් ජීවතුන් අතර නැහැ,” විනිෆ්‍රීඩා ජෙනට් සිල්වා මහත්මිය පැවසුවාය.

ඉහත සඳහන් වෘත්තාන්තය තුළ යම් අද්භූත රසයක් ජනනය වන බව සැබෑවකි. එහෙත්, ඒ සම්බන්ධයෙන් යථාර්ථවාදී විමසුමක් කළහොත් මෙම කරුණු සම්බන්ධයෙන් ද සැලකිලිමත් වීමට අපට සිදු වෙයි. එම කතා පුවතට අනුව එකී ඕලන්ද කුමරුවා තම රාජකීය ඇඳුම් කට්ටලයෙන් සැරසී සුදු අසු පිටින් බලගල, නායකකන්ද සහ කැලණි නදී තීරයේ ගමන් කරනුයේ මරණයෙන් පසුව ද තමන් සතු මහා ධනස්කන්ධය කෙරෙහි ඇති ආශාව නිසා බව ජන විශ්වාසය අනුව පෙනෙයි. මක්නිසාද යත්, තමන් ජීවත්ව සිටි කාලය තුළ දැඩිව ඇලුම් කළ වස්තුව හැරයාමට මියගිය පසුව ද අකමැති වන බවට ලොව පුරා පැතිරුණු විශ්වාසයක් පවතින බැවිනි. ඒ අනුව එම ධනස්කන්ධයට ඉව අල්ලන්නන් අකල් මරණවලට සහ මානසික රෝගවලට ගොදුරු වන්නේ එම කුමරාගේ ශාපය වැදීම නිසා බව ද ජන මනස තුළ පවතී.

Hadala 2023

නමුත් මේ සම්බන්ධයෙන් විඥානවාදී පාර්ශ්වයෙන් අදහස් දක්වන ඇතැමුන් පවසනුයේ ධන තෘෂ්ණාවෙන් මියගිය ඕලන්ද කුමාරයාගේ ආත්මය ඒ ආශ්‍රිත පරිසරයේ සැරිසරමින් රූපමය වශයෙන් පෙනී සිටීමේ යම් අවකාශයක් පවතින බවයි. මෙය ද ලොව පුරා බොහෝ දෙනකු තුළ පවතින විශ්වාසයකි. එහෙත්, එය එලෙසම යැයි පිළිගත්තත් ඔහු සමඟම ඔහුගේ අශ්වයා ද අවතාරයක් බවට පත්වීම අර්ථ දක්වන්නේ කෙසේද? එමෙන්ම එම කුමරුවා සුදු අසු පිට සැරිසරන්නේ තමන්ට හිමි රාජකීය ඇඳුම්වලින් නම්, කුමරුවාගේ ආත්මය යළි මෙලොවට පැමිණ ඇත්තේ තම ‘ඕලන්ද රාජකීය සංස්කෘතික පදනම’ ද සමඟිනි. මෙම අද්භූත සංසිද්ධිය දෙස යථාර්ථවාදීව බැලූ විට එහි මනෝවිද්‍යාත්මක පැතිකඩක් ද හඳුනාගත හැකිය. මෙය “සමූහ උන්මාදය” හෙවත් Mass Hysteria ලෙස හඳුනාගත හැක.

ධනය කෙරෙහි ඇති තෘෂ්ණාව සහ අවිචාරවත් ලෙස එය ලබා ගැනීමට යාමේදී සිදුවන අනතුරු “ශාපයක්” ලෙස අර්ථකථනය කිරීම මානව ස්වභාවයකි. නිධානය සෙවීමට ගොස් උන්මත්තක වූ බව කියන පුද්ගලයන් බොහෝ විට ඉන් හටගත් දැඩි මානසික පීඩනයෙන් රෝගී වූවන් විය හැකිය. එමෙන්ම ඇතැම් මානසික රෝගවලින් පෙළෙන්නන් තුළ මෙවැනි ගුප්ත ලෝලීත්වයන් තිබිය හැක.

කෙසේ වෙතත්, හැඳල ලාදුරු රෝහල යනු හුදෙක් රෝහලක් පමණක් නොව, ලාංකීය ඉතිහාසය, කලාව සහ ජනප්‍රවාද ගොනු වූ සුවිශේෂී ස්මාරකයකි. අදටත් එහි ශේෂව ඇති මිනී කරත්ත සහ ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පය අපට පසක් කරන්නේ රෝගී වූ අතීත මිනිසුන්ගේ වේදනාව සහ ඔවුන්ගේ හුදෙකලා ලෝකය පිළිබඳ සංවේදී කතාවයි.

(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී
thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...