ශ්‍රී ලංකාව උග්‍ර ආර්ථික අර්බුදයකින් තවමත් ගොඩඑමින් සිටින අතර මෙම පෝලිම් 2022 ආර්ථික අර්බුදය සමය සිහිගන්වා ඇත.

ඉකුත් 2022 වසරේ දී ඩොලර් හිඟ වීම හේතුවෙන් ශ්‍රී ලංකාව උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ දුන් අතර, ඉන්ධන, ඖෂධ, ආහාර ආදී අත්‍යවශ්‍ය ආනයන ගෙන්වා ගැනීමට නොහැකිව අර්බුදකාරී තත්ත්වයකට පත්විය. ඒ හේතුවෙන් එවකට පාලන තන්ත්‍රය බිඳ වැටුණු අතර එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ධුරයෙන් නික්ම යෑමට සිදුවිය.
මිලියන 22ක ජනතාවක් ජීවත් වන ශ්‍රී ලංකාව, ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක සහාය පැතූ අතර, ඒ අනුව එයින් ලද ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ණය පහසුකම් වැඩසටහනක් යටතේ ඉදිරියට යමින් සිටියි.
ආර්ථික අර්බුදය, ශ්‍රී ලංකා ඉතිහසායේ මුහුණ දුන් විශාලතම සහ උගත්‍රම ආර්ථික අර්බුදය ලෙස හැඳින්වුණු අතර එහි උච්ඡතම අවස්ථාවේදී ශ්‍රී ලංකාව උග්‍ර ඉන්ධන හිඟයකට ද මුහුණ දුන්නේ ය. එය මාස ගණනාවක් පැවැතිණි.
එම අර්බුදවල ප්‍රතිඵලයක් ලෙස මාස ගණනක් දිග්ගැස්සුණු විරෝධතා ඇති විය.

එම කාලය සිහිගන්වමින් මෙලෙස සෙනසුරාදා පස්වරුවේ සිට ඉන්ධන පිරවුම්හල් අසල දීර්ඝ පෝලීම් දක්නට ලැබිණි. එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් තවත් ඉන්ධන හිඟයක් ඇති වෙනු ඇතැයි බියෙන් මෙලෙස පෝලිම් නිර්මාණය වී තිබිණි.
ශ්‍රී ලංකාවේ තවත් දින 35ක් සඳහා ඩීසල් ද සහ දින 37ක් සඳහා ප්‍රමාණවත් පෙට්‍රල් තොග ද ඇති බවට බලධාරීන් සහතික වුවද බියට පත් පාරිභෝගික ප්‍රජාව ඉන්ධන මිලදී ගැනීම සඳහා පෝලිම්වලට එක්ව සිටියහ. ඊයේ දිනයේදී ප්‍රකාශයට පත් කෙරුණු තොග, සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව ගබඩා කරන සම්පූර්ණ තොග ප්‍රමාණය යැයි ද කියැවිණි.
"ඉන්ධන තියෙනවා. යුද්දේ නිසා මිනිස්සු බය වෙලා. මේ පෝලිම් ඇති කරලා තියෙන්නේ මිනිස්සු. එයාලමයි. මිනිස්සු පෝලිමේ ඉන්නවා දැක්කාම, තව අය පෝලිමට එකතු වෙනවා. ලංකාවේ ඇති වෙන්න, ප්‍රමාණවත් තරම් තෙල් තියෙනවා,” කොළඹ ඉන්ධන පෝලිමක සිටි ත්‍රීරෝද රථ රියදුරකු වන 36 හැවිරිදි මොහොමඩ් අස්ලම් පැවැසීය.
ශ්‍රී ලංකා රජයේ නිල දත්තවලට අනුව, පසුගිය වසරේ ඉන්ධන ආනයනය සඳහා ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.83 ක් වියදම් කර තිබෙන අතර , බොහෝ නැව් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙනි.
"ඉදිරි සති කිහිපයෙන් ඔබ්බට ඉන්ධන ගබඩා කිරීමට ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් ගබඩා පහසුකම් නැහැ, ඒත් මේ මාසය අවසන් වන තෙක් ප්‍රමාණවත් තහවුරු කළ නැව් තොග තියෙනවා," ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති එස්. රාජකරුණා සඳුදා පැවැසීය.
මාර්තු 2 වැනිදා සඳුදා රජයේ නිවාඩු දිනයක් වුවද, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන බෙදා හැරීම් කටයුතු වේගවත් කිරීමට පියවර ගෙන තිබූ අතර ඉන්ධන ලීටර් මිලියන 5 කට වඩා නිකුත් කළ බව ද හෙතෙම කීය.
මේ අතර ඉන්ධන කෑන්, බූලි යනාදියට නිකුත් කිරීම නවත්වන්නැයි බලධාරීන් නියෝග කර ඇති අතර අත්අඩංගුවට ගන්නැයි පොලිසියට දැනුම් දී ඇත. එලෙස කරන පිරිස්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද රජය ප්‍රකාශ ර ඇත.

ඉන්දීය තෙල් සමාගම වන ‘ඉන්දියන් ඔයිල් කෝපරේෂන්’හි ඒකකයක් වන ‘ලංකා අයි.ඕ.සී’ සහ චීන තෙල් සමාගමක් වන සිනොපෙක් යන සමාගම් ද ශ්‍රී ලංකාව තුළ පිරවුම්හල් පවත්වාගෙන යන අතර ප්‍රමාණවත් සැපයුමක් තිබෙන බව එම සමාගම් ද මහජනතාවට සහතියක් ලබා දී තිබේ.
(සටහන | උදිතා ජයසිංහගේ රොයිටර්ස් වාර්තාව ඇසුරිනි )
මුලාශ්‍රය
Sri Lankan drivers queue to fill up in wake of Iran turmoil




