අනතුරුව එළඹුණු වසරේ මාර්තු 08 වැනිදා ජාතික කාන්තා දිනයක් බවට ඇමෙරිකානු සමාජවාදී පක්‍ෂය විසින් ප්‍රකාශය පත් කරන්නට මේ ස්ත්‍රී කම්කරුවන්ගේ සාමුහිකත්වය බලපෑමක් විණි.
මෙය ජාත්‍යන්තර කාන්තා දිනයක් බවට පත් වුයේ ජර්මානු සමාජවාදී නායිකාවකවූ ක්ලාරා සෙට්කින් විසින් කළ යෝජනාවකට අනුවය. 1910 වසරේදී ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවරට වැඩකරන ස්ත්‍රීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය විසින් රටවල් දාහතකින් කැඳවා සිටී ස්ත්‍රී නියෝජිතයන් සිය දෙනා අතරට ක්ලාරා මෙම යෝජනාව ගෙන ආවාය. 1911 වසරේ සිට ලෝ පුරා බොහෝ රටවල කාන්තා දිනය සමරන්නට පෙලඹියේ ඒකමතිකව සම්මත වූ ඇගේ යෝජනාවට අනුවය.
ක්ලාරා සෙට්කින්
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1975 දී පිළිගත් වාර්ෂික උත්සවයක් ලෙස ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම ඇරඹීය. එසේ ලැබුණු නිල පිළිගැනීමත් සමගින් කාන්තා දිනය අද දක්වා වර්ධනය වූයේ, ලෝක කම්කරු ව්‍යාපාරය හරහාය.
ලංකාවේද කාන්තා දිනය සැමරීම ඇරඹෙන්නේ වැඩ කරන ජනයා නියෝජනය කරන වෘත්තීය සමිති, වාමාංශික දේශපාලන පක්‍ෂ හා ස්ත්‍රීවාදී ව්‍යාපාරයේ මැදිහත්වීම ඔස්සේය, ක්ෂේත්‍ර කිහිපයක් නියෝජනය කරන ස්ත්‍රී ක්‍රියාකාරිනියන් කිහිපදෙනෙකු සමග කළ කෙටි සංවාදයකින් අනතුරුව ඔවුන්ගේ අදහස් හා යෝජනා මෙසේ සටහන් කළෙමු.
අමාලි කළුපහන

අමාලි කළුපහන, දශක කිහිපයක් පුරා වෘත්තීය සමිති ව්‍යාපාරයේ විවිධ භූමිකාවන් නියෝජනය කළ ක්‍රියාකාරිනියකි. සරසවි ශිෂ්‍ය අවධියේදී ජාතිකවාදී හා පාරසරික දේශපාලනයේ යෙදී සිටී ඇය ඉන් ඛණ්ඩනය වුයේ ලංකා වෙළඳ,කාර්මික සහ පොදු කම්කරු සංගමයේ [CMU] දිවංගත ප්‍රධාන ලේකම් බාලා තම්පෝ ගේ මග පෙන්වීම් ඔස්සේ වෘත්තීය සමිති ක්‍ෂේත්‍රයට පිවිසීමෙනි.
මෙරට පැරණිතම වෘත්තීය සමිතියක් වන ජාතික කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් වරිය වන අතර වැඩ කරන කාන්තාවන්ගේ මධ්‍යස්ථානයේ සභාපතිවරිය ලෙසද කටයුතු කරන්නීය. වෘත්තීය සමිති ක්ෂත්‍රයේ ස්ත්‍රීන් මුහුණ දෙන අභියෝග ඇය කරුණු දැක්විය.කාන්තා කෝටාවට වඩා නායකත්වයට ඇති බාධා ඉවත් කරන්න
ඇඟළුම්, වතු හා අවිධිමත් ක්ෂේත්‍රයේ ශ්‍රම දායකත්වය ලබා දෙන බහුතරය ස්ත්‍රී කම්කරුවන්ය. ඊට අමතරව අනෙකුත් ක්ෂේත්‍රවලදී ද කැපී පෙනන දායකත්වයක් සපයනු ලබන්නේ ස්ත්‍රින්ය. එහෙත් මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරය අත්පත් කරගෙන එය හසුරුවන්නේ පුරුෂවාදී චින්තයක් හා ආධිපත්‍යයක් විසිනි. ස්ත්‍රීන්ට නායකත්වයේ අවස්තාව ලබා දිය යුතු බව පවසමින්, ස්ත්‍රීන්ට ඇති සියලු අවස්ථා අහිමිකරමින්, බොහෝ වෘත්තීය සමිති ක්‍රියා කරනු පෙනේ.
මේ සම්බන්ධයෙන් මෑත කාලින නිදසුනක් ලෙස දැක්වුවහොත් ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කිරීම සඳහා වෘත්තීය සමිති නායිකාවන් තිදෙනෙකුට අවස්තාව ලැබුණි. එහි පළමු රැස්වීමේදීම අත්දැකීම් බහුල, වියපත් ප්‍රධාන පෙලේ වෘත්තීය සමිති නායකයෙකු තමන්ගේ විරෝධය පාමින් කියා සිටියේ ``අපේ සමිති වලත් කාන්තාවෝ ඉන්නවා`` එම ස්ත්‍රීන් තීන්දු තීරණ ගන්නා ප්‍රධාන පෙළේ ධුරාවලිය නියෝජනය කරන්නේද යන්න ඔහුගෙන් පෙරලා විමසු විට නිහඬ වුයේ සිය විරෝධයද හකුළුවා ගනිමින්ය.
මොහු වසර හතලික් පමණ ලංකාවේ කම්කරු ව්‍යාපාරය නියෝජනය කරමින් ජාත්‍යන්තර කම්කරු සංවිධානය එහි කම්කරු කවුන්සලයට සහභාගීවූවෙකි.මෙහි ඉතාමත් හාස්‍යජනක දේ නම් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ඇතැම් සමුළු හා සම්මන්ත්‍රණ පැවැත්වෙනුයේ ස්ත්‍රී කම්කරුවන් මුහුණ දෙන ප්‍රශ්න මුලික කරගෙනය. කෙසේ වෙතත් මෙවැනි වියපත් බොහෝ වෘත්තීය සමිති නායකයන්ගේ අදහස් පවතින්නේ ඉතාමත් පටු තැන්වලය. මොවුන් ස්ත්‍රීන්ට කෙසේ වෙතත් අලුත් පරම්පරාවන් සමග වැඩ කිරීමේ කලාවක් ගැන කිසිදු අවබෝධයක් නොමැත. එම නිසාම වෘත්තීය සමිති ව්‍යාපාරය දිනෙනේ දින කම්කරුවන්ගෙන් දුරස්වීම නවතාලිය නොහැක.
අනෙක් අතට දශකයකට වැඩි කාලයක් තිස්සේ, වෘත්තීය සමිති ව්‍යාපාරයේ ස්ත්‍රී නියෝජනය මෙන්ම ස්ත්‍රී නායකත්වය ද ප්‍රශ්නකාරිය. ඇඟලුම්, වැවිලි සහ අවිධිමත් යන ආර්ථික අංශවල ශ්‍රම බලකායෙන් බහුතරයක් වන ස්ත්‍රීන්, දශක ගණනාවක් තිස්සේ පෙනී සිටියද තවමත් නායකත්වයෙන් බැහැරව සිටිම කනගාටු දායක ය.
යම් පමණකින් හෝ වෘත්තීය සමිතිවල ක්‍රියාකාරී ස්ත්‍රීන් ඉහළ තනතුරුවලට ඔසවා තැබීමට මේ නායකත්වය අපොහොසත් වී ඇත. පුරුෂ ආධිපත්‍යය දරන ධූරාවලි, කාන්තාවන් ද්විතීයික ලෙස සලකන සමාජීය අදහස් ප්‍රතිරාවය කරමින්, කාන්තා නායකත්වයෙන් යුත් වෘත්තීය සමිති පසෙකට දමා ඇත. රාජ්‍ය නොවන සහ සිවිල් සංවිධානවල ස්ත්‍රීන් බලගැන්වීමේ ව්‍යාපාර පවා බොහෝ විට කර්මාන්තශාලා සහ ක්ෂේත්‍රවල වැඩ කරන කම්කරු ස්ත්‍රීන්ගේ සැබෑ අවශ්‍යතාවලට වඩා සේවය කරන්නේ ව්‍යාපෘති අවශ්‍යතා වෙනුවෙනි.
ඇඟලුම් සේවකයින්ගෙන් 78% ක් ස්ත්‍රී කම්කරුවන්ගෙන් යුක්තය. බරපතල වැඩ කොන්දේසි හමුවේ වතු ක්‍ෂෙත්‍රය වෙනුවෙන් දහදිය වගුරන ස්ත්‍රී කම්කරුවන් ද, තවමත් සූනිසි වැඩ තත්ත්වයක් දිනා ගැනීම සදහා අරගල කරති. අවිධිමත් රැකියා අංශයේ බොහෝ දෙනෙක් මාතෘ නිවාඩු හෝ සාධාරණ වැටුප් වැනි මූලික අයිතිවාසිකම් නොමැතිව සූරා කෑමට නිරන්තරයෙන් ලක්වෙති. සංවිධානාත්මක අංශවල පවා ඔවුන්ගේ නොගෙවූ දායකත්වයන් - අතිකාල දීමනා ඇතුළු බොහෝ සේවා වරප්‍රසාද ස්ත්‍රී කම්කරුවන්ට බොහෝ විට නොලැබෙන අතර භූමි යථාර්ථයන් නොසලකා වැටුප් නියම කරති.

අවිධිමත් රැකියාවල නිරත ස්ත්‍රී කම්කරුවන් විධිමත් ලෙස වෘත්තීය සමිති ගතව නැත/ ඔහුන් කෙරෙහි සංවේදීව මැදිහත්වන පිරිස ඉතාම අල්පය. මේ අවිධිමත් ක්ෂේත්‍රයේ රැකියාවන්හි නිරත ස්ත්‍රීන් සුරාකෑමට එරෙහිව පියවර ගන්නා වෘත්තීය සමිති ද ඉතාමත් අල්පය.
ප්‍රතිපත්ති සැලසුම්, දැනුවත් කිරීම්, උද්ඝෝෂණ,පිකටින්, වැඩමුළු, සම්මන්ත්‍රණ අඛණ්ඩව සිදුකෙරෙමින් පැවතිය ද සාර්ථක ඉලක්ක කරා නොයාම මගින් සිදුව ඇත්තේ ප්‍රතිපලය ඉතාමත්ම අඩු මට්ටමක පැවතීමය.
ඉතාමත් අවම පහසුකම් යටතේ, අධික වැඩ කොන්දේශි මත විශේෂයෙන් ස්ත්‍රීන් රැකවරණ අනාශයේ රැකියාවන්හි නිරතවන්නේ ඒ සඳහා ඇති කැමැත්තකින් නොවේ. වෙනත් විකල්පයක් නොමැති බැවිනි.
විශේෂයෙන් වැඩ කරන ස්ත්‍රීන් අද දවසේ මුහුණ දෙන ගැටළුවලට විසදුම් ලබා ගැනීම වෙනුවෙන් ශක්තිමත් වෘත්තීය සමිති ව්‍යාපාරයක අවශ්‍යතාව මතුව තිබේ. ස්ත්‍රී නියෝජනයේ කෝටාවක් දිනා ගන්නවාට ඔබ්බට ගොස් ස්ත්‍රීන්ට නායකත්වයට පැමිණීමට අහුරා ඇති බාධක සියල්ල ඉවත් කළ යුතුය. කෝටාවක් හරහා නියෝජනය වැඩි කර ගැනීමකට වඩා ස්ත්‍රීන්ට හිමි ඒත් අහිමිකර ඇති සම අවස්ථා දිනා ගත යුතුය. කොතෙක් අරගල කළද තවමත් ස්ත්‍රීන් සැලකෙන්නේ දෙවැනි පෙළ පුරවැසියන් ලෙසය. එහෙත් අඛණ්ඩව අරගල කළ යුතුය.
පුද්ගලයන්, සංවිධාන සහ ප්‍රජාවන් ස්ත්‍රීන් වෙනුවෙන් ආයෝජනය කරන විට, අවස්ථා පුළුල් වන විට, පද්ධති ශක්තිමත් වන අතර සමාජයන් සමෘද්ධිමත් වේ. පොහොසත් රටක් ලස්සන ජිවිතයක් අපි සියලු දෙනාට එවිට ලැබෙනු ඇත.
ආචාර්ය රසිකා පීරිස්

ආචාර්ය රසිකා පීරිස් පැවිදි සොයුරිය බොහෝ පීඩිතයන්ගේ අරගලයන් හි නිරන්තරයෙන් දකින්නට හැකි සමාජ ක්‍රියාකාරිනියකි. ස්ත්‍රී අයිතීන් මෙන්ම මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ඇය, උතුරු නැගෙනහිර පලාත්වල යුද්ධයෙන් පීඩාවට පත් වැන්දඹුවන් පිළිබඳව ``සිමා මායිමෙන් එහා`` නමින් කෘතියක්ද පළ කළාය. පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටින ඇය සියළු මර්දනකාරී අණපනත් අහෝසි කරන ලෙස බලකෙරෙන අරගලයේද ඉදිරියෙන්ම සිටින්නීය.
`නිදහස උදෙසා ස්ත්‍රීන්ගේ අරගලය කිසිවෙකුගේ අත්වැලක් නොවිය යුතුයි`
හැම කෙනෙක්ම අපේක්‍ෂා කරනුයේ නිදහසේ උදාරත්වයකින් යුතුව ජිවිත ගත කරන්නටය. එහෙත් ආසියාතික පොලව මත ලංකාව වගේ පුරුෂ කේන්ද්‍රීය සමාජ ක්‍රමයක ස්ත්‍රී චින්තනය පවා පුරැෂ මුලිකය. සමාජ,ආර්ථික, සංස්කෘතික සියලු දේ පුරුෂ මුලික චින්තනයක් ඔස්සේ ක්‍රියාත්මක වන ලංකාව වගේ සමාජයක ස්ත්‍රීන් විසින් පිළිපැදිය යුතුයැයි සම්මත වත්පිළිවෙත් ලැයිස්තුවකි. ඒ මගින් පවසන්නේ ඔබ ස්ත්‍රියක් නම් ඔබ හොඳ දියණියක් වන්න, හොඳ බිරිඳක් වන්න,හොඳ අම්මා කෙනෙකු වන්න වැනි කුඩා කළ සිටම මතුරන නියමයකි. අනෙක් අතට මේ ආසියාකරයේ ස්ත්‍රීන්ට කුඩා කළ සිටම දෙමාපියන් ගුරුවරුන් පවා කියන්නේ නම කැත කරගන්න එපා. චරිතය ආරක්ෂා කරගන්න කියාය. මේ ඔව දන් පවා එන්නේ පුරුෂ මුලික චින්තනයක් ඔස්සේය.
මේ සම්මත පුරුෂ ආධිපත්‍යට එරෙහිව යන ස්ත්‍රිය අසම්මත ගැහැණියක්, මෙන්ම සමාජය ඇයට සලකනුයේ පහත් කොටය. එහෙත් මේ පුරුෂ කේන්ද්‍රීය සම්මතයන්ට එරෙහිව ඊට අභියෝග කරමින් සටන් කරන ස්ත්‍රීන් බොහෝ දකින්නට පුළුවන්. මගේ අත්දැකීම් ඇසුරින් කියනවා නම් උතුරු නැගෙනහිර පළාත්වල යුද්ධයෙන් පීඩාවට පත්ව වැන්දඹුවන් වූ ස්ත්‍රීන් සාමුහිකව සමාජයෙන්, සංස්කෘතියෙන් එල්ලවන අභියෝගයන්ට මුහුණ දෙන අයුරු දුටුවිට ඇතිවන්නේ ඔවුන් කෙරෙහි මහත් ගෞරවයකි. රාජ්‍ය ආයතන, බල අධිකාරීන් සමග පවා ඔවුන් තම අයිතීන් වෙනුවෙන් ගැටෙන්නේ ඉතාමත්ම ශක්තිමත් ස්ත්‍රීන් ලෙසය. සෑම විටම ස්ත්‍රිය පිඩිතය කියන්න දුෂ්කර වන්නේ බොහෝ ස්ත්‍රීන් එම පිඩිත බවට එරෙහිව නැගී සිටින බැවිනි.
සමාජය,සංස්කෘතිය හෝ ආගමික සංස්ථාවන් නියම කර ඇති අයුරින් ජිවත් වනවාට වඩා තමාට තමන් ලෙස ස්වාධීනව, නිවහල්ව සමාජයේ ජීවත්වෙන්න නැගී සිටින වෙර දරන ස්ත්‍රීන් සමාජයෙන් දකින්න පුළුවනී. මෙවැනි ධෛර්යමත් ස්ත්‍රීන් නිසා වෙනස් විදිහට දකින අලුත් පරම්පරාවන් බිහිවනු නිසැකය. එකෙනෙක ස්ත්‍රීන් අතර සිය ජිවන අත්දැකීම් බෙදා ගැනීම තුලින් ඔවුන්ට අභියෝගවලට මුහුණ දෙමින් ඒවා ජය ගැනීමට ශක්තියකි.
සමාජ ක්‍රියාකාරිනියක් ලෙසින් පවතින සමාජ,ආර්ථික,ආගමික මෙන්ම භුදේශපාලනික සම්මතයන්ට පවතින සමාජ ක්‍රමයට,ව්‍යුහයට එරෙහිව එය වෙනස් කරන්න ස්ත්‍රීන්ගේ දායකත්වය අදත් පවතී. සිය නිවසින්ම එම වෙනස ආරම්භ කරන්නට ස්ත්‍රීන්ට ඇති හැකියාව ඉතා ඉහලය.
ස්ත්‍රීන්ගේ මේ අරගලය ආණ්ඩුවේ හෝ ආගමික ආයතනයක අත්වැලක් නොවිය යුතුය.ඒ වගේම ස්ත්‍රීන්ද මේ ගමන යන්න කෙතරම් සුදානම් ද යන්න බැලිය යුතුය. ඔවුන් පිරිමි චින්තනයට වහල් නොවී නිදහස් වියයුතුවා මෙන්ම, පිරිමින්ද සිය චින්තන රටාව වෙනස් කර ගනිමින් ස්ත්‍රී අරගලයට සහයෝගයක් වීම ඉතා වැදගත්ය.
ස්ත්‍රීන් සිය නිදහසේ සිහිනය සැබෑ කරගන්නට නම් අධ්‍යාපනය ලබමින්,ස්වාධීන ආර්ථිකයක් ගොඩනගා ගැනීම වඩා වැදගත් මෙන්ම එවිට නිදහසේ තීරණ ගැනීමේ හැකියාව ද ස්ත්‍රීන්ට උදාවෙනු ඇත.
නදී වාසලමුදලිආරච්චි

නදී වාසලමුදලිආරච්චි, දේශීයවත්,ජාත්‍යන්තරවත් සම්මානයට පාත්‍රවූ සිනමාවේදිනියකි. නිවේදිකාවකි ,මාධ්‍යවේදිනියකි , ලේඛිකාවකි, කිවිඳියකි, දැන්වීම් නිර්මාණශිල්පිනීයකි, චිත්‍රශිල්පිනියකි. දශක ගනනාවක් විවිධ ක්ෂේත්‍රයන් හි නිරතවූ ඇය විශේෂයෙන් අවධාරණය කරනුයේ පුරුෂයන්ට නැතව තිබෙන සිනමාව වැනි ක්ෂේත්‍රයක සිනමකාරියන් හමුවේ ඇති අභියෝග පිළිබදවය.
`සිනමාකාරියන්ගේ නිර්මාණශිලිත්වයට තැනක් දෙන්න`
මාධ්‍යවේදිනියක්,ලේඛිකාවක්,කිවි
මාගේ සිහිනයක් වූ සිනමා අධ්යක්ෂකවරියක් වීමට මා අනෙකුත් ක්ෂේත්‍ර වල වැඩ කිරීමෙන් ලැබූ අත්දැකීම් හා මිනිස් සබඳතා ඉවහල් වුණා කියන දේ කිව යුතුය. ලංකාවේ සිනමා අධ්‍යක්ෂණයට යොමුවුණු ස්ත්‍රීන් ඉන්නේ අතේ ඇඟිලි ගානටත් අඩු ඉතාමත් අල්ප ප්‍රමාණයකි. ඊට හේතුව මේ ක්ෂේත්‍රය සම්පුර්නයෙන්ම යැපෙන්නේ පිරිමින් මත වීමය. ස්ත්‍රීන්ට හා පිරිමින්ට එකසේ බලපාන නිෂ්පාදකයෙකු සොයා ගැනීමේ පොදු ගැටලුව ජය ගත හැකිවුයේ ඒ සඳහා මගේ පවුලේ සාමාජිකයන්ගේ මැදිහත්වීම නිසාය.
කෙසේ වෙතත් සිනමා අධ්යක්ෂකවරියක් වීමට නම් නිර්මාණ කණ්ඩායමේ සියලු දෙනාම තම විධානයන්ට, හඬට සවන්දිය යුතුයි, අවනතවිය යුතුයි. එහෙත් අද බොහෝ නිර්මාණ කණ්ඩායම්වල මේ තත්වය දක්නට නැහැ. අධය්ක්ෂකවරියක් නම් ඇගේ විධානයන්ට, ඇගේ හඬට කන්දීමක් නොකිරීම මගින් ඇයට සිනමා නිර්මාණ එපා කිරීමක් වෙනවා. මට නම් එවැනි තත්වයක් උදාවුනේ නැහැ. ඒත් පොදු යථාර්තය වන්නේ අධ්‍යක්ෂකවරියගේ නිර්මාණශීලිත්වය ගැන සලකා බැලීමකින් තොරව ඇගේ හැඩ යටපත් කිරීමය. ඉතාමත් අල්ප ප්‍රමාණයක් හැරුණු කොට මුළු ආසියාකරයේම ගැහැණුන්ගේ ප්‍රබල හඬක් මතුවන්නේ නැහැ. ගොඩක් හඬවල් පුරුෂ මුලික චින්තනය විසින් යටපත් කර තිබේ. සිනමා ක්ෂේත්‍රයේ අධ්‍යක්‍ෂකවරියගේ හඬ ප්‍රබල වුනත් නැතත්, මුල්තැන දියයුත්තේ ඇගේ නිර්මානශිලිත්යටය. ඇත්තටම සිනමාව වැනි නිර්මාණශීලි ක්ෂේත්‍රයක පවා ස්ත්‍රී පුරුෂ වශයෙන් වෙනස්කම් සිදුවීම ඉතාමත් කනගාටුවට කරුණකි. එය ඇත්තටම සිදු නොවිය යුත්තකි.
අනෙක් අතට උතුරේත් දකුණේත් ලංකාවේ වැඩි ප්‍රතිශතයක් ස්ත්‍රීන්. උතුරේ යුද්ධය නිසාත්, දකුණේ තරුණ කැරලි දෙකකට මුහුණ දීම නිසාත්, බොහෝ නිවෙස් වල ගෘහ මුලිකයන් වන්නේ ස්ත්‍රීන්.විශේෂයෙන් අප ඔවුන් ගැන සිහිපත් කළ යුතුයි. අපට මේ තත්වය මග හැර යා නොහැක.ඒ වගේම අනෙකුත් නිවාස වලත් ස්ත්‍රීන් පිරිමින් හා සමව රැකියාවන් හි නිරත වෙමින් ආර්ථිකයට දායකත්වයක් ලබා දෙනවා. ආර්ථික අර්බුදය හමුවේ මේ තත්වය වඩාත් වැඩි වී තිබෙනවා.එහිදීත් වැඩි බරක් වැටෙන්නේ ස්ත්‍රීන්ට.
ඈත අතීතයේ සිට අද දක්වා බොහෝ ස්ත්‍රීන් ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් ලබා නොදුන්නත් නිවසේ විශාල වැඩ ප්‍රමාණයක් කරමින් සිටී. ඒවගේම පිරිමින් විසින් භාෂාව මතට ගෙනෙන ලැබූ සංස්කෘතිය රැක ගැනීම සහ එය ඉදිරියට ගෙනයාම අපේක්‍ෂා කරන්නේ ගැහැණිය හරහාය.
ස්ත්‍රීන්ගේ මානුෂික සෞඛ්‍ය ගැන විශේෂයෙන් ඔවුන්ට බලපාන කාංසාව ගැන කතා බහක් කලයුතුය. ඒ සඳහා ඔවුන්ට මානසික සහනය ලැබෙනවාද යන්න ගැනත් අවධානය යොමු කළ යුතුය. කඳුකරයේ හා දුෂ්කර ග්‍රාමීය පලාත්වල වෙසෙන නව යොවුන්වියේ දැරිවියන්ට හා ස්ත්‍රීන්ට ඔසප් සෞඛ්‍ය පිළිබඳව ගැටළු පවතී. ඒ සඳහා ඔවුන්ට දනුවම මෙන්ම සහන ලබා දීම වැදගත්ය. ගැබ් ගැනීම් හා පෝෂණය ගැන සෞඛ්‍ය විද්‍යාත්මක කාරනා පිලිබඳ දැනුවත් කිරීම මත දැනට ඉමහත් ශෝචනීය තත්වයක් වන ළමා ගැබිණි මව්වරුන්ගේ සංඛ්‍යාව ඉහළ යාම පාලනය කර ගත හැකිය. ලිංගික අධ්‍යාපනය ගැන දැනුවත් බවක් ලබා දීමෙන් හා නිතිය ක්‍රියාත්මක කිරීම මත ස්ත්‍රීන්ට එරෙහිව ලිංගික බලහත්කාරය වළක්වා ගැනීමත් ස්ත්‍රීන්ගේ පැත්තෙන් ගත හොත් සුබදායකය.
රටේ සුළු පරිමාන කර්මාන්ත වල වැඩි විශාල දායකත්වයක් ලබා දෙන්නේ ස්ත්‍රීන්,ඒ හරහා ඔවුන් රටේ ජාතික ආර්ටිකයට දායකත්වයක් ලබා දුන්නත් ඔවුන් පෙලෙන ණය අර්බුද හා අනෙකුත් පහසුකම් ලැබෙනවාද යන්න ගැටලුවකි. එමෙන්ම දැනට විශේෂයෙන් දුප්පත් ස්ත්‍රීන් පෙලෙන මුලික ගැටලුව නම් ක්ෂුද්‍ර මුල්‍ය ණය අර්බුදය හමුවේ ඔවුන් පත්ව තිබෙන පීඩනයයි.
විමුක්ති ද සිල්වා
විමුක්ති ද සිල්වා ගොවීන්ගේ ඉඩම් අයිතිය, ආහාර සුරක්ෂිතතාව, ක්ෂුද්‍ර මුල්‍ය ණය අර්බුදය මෙන්ම පාරිසරික ගොවිතැන වෙනුවෙන් ගැමි ජනයා ඇතුළු අනෙකුත් පිඩිත ජන කොටස් වෙනුවෙන් පෙනී සිටින සමාජ ක්‍රියාකාරිනියකි. විමුක්ති, කෘෂි හා ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ ඉහල පෙලේ ක්‍රියාකාරිනියක් වන ඇය ජාත්‍යන්තර වශයෙන්ද ගැමි ගොවි ව්‍යාපාරයට දායකත්වය සපයන්නිය. මේ වන විට ජාත්‍යන්තර ගැමි ගොවි ව්‍යාපාරයේ දකුණු ආසියානු කැඳවුම්කාරිය ද වේ.ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් ගැමි,වතු හා නාගරික කම්කරු ස්ත්‍රීන් ඒකාබද්ධ කළ යුතුය.

දිත්වා සුළි කුනාටුවත් සමග ඇතිවූ ව්‍යසනය හමුවේ ගොවි, ධීවර හා මලෛයහ ජනතාව වඩාත් පිඩනයට පත්වූ අතර තවමත් ඔවුන් සිටින්නේ එම ව්‍යසනයේන් යළි ජිවිත ගොඩ නගා ගැනීමේ සටනකය. මින් බොහෝ පිඩාවට පත්ව සිටින්නේද මේ ප්‍රජාවට අයත් කාන්තාවන්ය. වත්තේ දළු නෙලන කම්කරු ස්ත්‍රීන් ඔවුන්ගේ ලයින් කාමර අහිමිවීමෙන් අනාථ කඳවුරු වල තවමත් දිවිගෙවති. ඔවුන්ගේ ආහාර සුරක්ෂිතතාව,සනීපාරක්ෂාව හා එදිනෙදා ගෘහස්ත කටයුතු පවතින්නේ ඉතාමත් අර්බුදකාරී තත්ත්වයකය. රජයයෙන් ලබා දෙන සහන ක්‍රියාවලින් වෙත ඔවුන්ට ප්‍රවේශ විය නොහැක්කේ, ඔවුන්ට ඉඩම් අයිතිය නොමැති නිසාය. එබැවින් මේ මොහොතේ කළ යුත්තේ ඔවුන්ගේ ඉඩම් අයිතිය තහවුරු කිරීමය. එසේ කිරීම මගින් ඔවුන්ට ඔවුගේ ගෙවත්ත වගා කරමින්, සත්වපාලනය කරමින් ආහාර සුරක්ෂිතතාව මෙන්ම දරුවන්ගේ පෝෂණය ද වර්ධනය කරගන්නට හැකියාව ලැබෙනවා. ඒ නිසා මේ මොහොතේ මලෛයහ ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය අතවශ්‍ය වැදගත් කාරනාවක්. අනෙක් අතට මේ ඉඩම් අයිතිය ලබා දීමේදී මලෛයහ ස්ත්‍රීන් මුලික කරගෙන ක්‍රියාත්මක වන්නේ නම් වඩාත් යහපත්ය. වතුකරයේ කම්කරුවන්ගෙන් බහුතරය ස්ත්‍රීන් වීමත් මෙහිදී සැලකිල්ලට ගතයුත්තකි.
වතුකරයේ මෙන්ම විශේෂයෙන් ගැමි ගොවි කාන්තාවන් විශාල ලෙස පිඩනයට පත්ව ඇත්තේ ලබා ගත් ණය ආපසු ගෙවා ගැනීමට නොහැකි වීමය. ඉතාමත් කුරිරු කොන්දේසි යටතේ ක්ෂද්‍ර මුල්‍ය සමාගම් වලින් ණය මුදල් ලබා ගෙන ඇති ස්ත්‍රීන් අද වෙන විට බරපතල අර්බුදයකට මුහුණ දී ඇත. ඒ සඳහා සහන කාල වැඩ පිළිවෙලක් අපේක්‍ෂා කළද එයද ඉටුවී නොමැත.ව්‍යසනය හමුවේ ආපදාවට ලක්වූවන්ට කිසියම් මුල්‍ය ප්‍රතිපාදනයක් ලැබුනද ඒවා පවා මෙකි ණය ගෙවීමට යොදවන්නට ඔවුන්ට සිදුව තිබේ.
ග්‍රාමීය වශයෙන් ද ඉඩම් හා දෙපොල අයිතිය ක්‍රියාත්මක වන්නේ පුරුෂයා මුල් කරගෙනය. ඒ අනුව කිසියම් මුල්‍ය ආධාරයක් ලබෙනුයේද පුරුෂයාටය. ඇතැම් මිනිසුන් මේ මුදල් මත්ද්‍රව්‍ය හා මත්පැන් වෙනුවෙන් වියදම් කිරීම නිසා ඒ තුලින් ද යළි යළිත් පිඩාවට පත්වන්නේ ස්ත්‍රින්ය. එම නිසා ස්ත්‍රීන් කේන්ද්‍ර කරගෙන මෙම ආපදා සහන වැඩපිළිවෙල ක්‍රියාත්මක වීම තුලින් ඊට සාර්ථකත්වයක් ලැබෙනු ඇත.
ග්‍රාමීය කාන්තාව නගා සිටුවීමේ සාම්ප්‍රදායික වැඩපිළිවෙලට අමතරව ඇතැම් තැන්වල ප්‍රජා ශක්ති වැඩසටහනට ද නව අදහසක් නොමැත. පෙරවිමසුමක්, වෙළඳ පොළක් හා නිවැරදි මග පෙන්වීමක් තුලින් ස්ත්‍රීන් සවිබල ගැන්වීමට එම වැඩසටහන ද මෙතෙක් සමත් වී නොමැත.
ගැමි ස්ත්‍රීන්, වතු කම්කරු ස්ත්‍රීන් හා නිදහස් වෙළඳ කලාප වැනි නාගරික කම්කරු ස්ත්‍රීන් අතර මනා සබඳතාවක් ගොඩනැගීම මගින් ඔවුන්ගේ හා දරුවන්ගේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය දියුණුවනු ඇත. මේ සඳහා පාරිසරික ගොවිතැන විශේෂයෙන් ගැමි හා වතු ස්ත්‍රීන් හරහා ප්‍රචලිත කලහැක. ඊට මුලිකව වැදගත් වනුයේ ඉඩම් අයිතිය ස්ත්‍රීන් මුලිකව ක්‍රියාත්මක වීමය.(සටහන | ඉෂංඛා සිංහආරච්චි)
Ishankha Singha Arachchi
Freelance Journalist
ishanka.singhe@gmail.com




