The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ගම හදා රට හැදීම සිහිනයක් පමණක් නොවන්නට නම්....

T

The Leader Desk

March 9, 2026 • 5:04 AM

ගම හදා රට හැදීම සිහිනයක් පමණක් නොවන්නට නම්....

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව ඓතිහාසිකව, පුරාවිද්‍යාත්මකව මෙන්ම සංස්කෘතිකව ද ග්‍රාම කේන්ද්‍රීය රාජ්‍යයකි. අපේ රටේ ශිෂ්ටාචාරය ගොඩනැඟුණේ වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි යන අන්‍යෝන්‍ය සබඳතාව මත ය.
  • ඔවුන්ගේ එම සරල ජීවන රටාව අනුව මිනිසුන් තුළ පැන නඟින ලෞකික ආශාවන් සහ තෘෂ්ණාවන් සදාචාරාත්මක බවේ සීමාවන් තුළ තබා ගැනීමට ඔවුහු සමත් වූහ.
  • ගත වූ සියවස් කිහිපය තුළ වන විට කොළඹ ඇතුළු තවත් නගර කිහිපයක් මුල් කොට නාගරීකරණය වේගවත් වී ඇතත්, මේ වන විට නාගරිකයන් සේ හැඳින්වෙන බහුතරය ද පරම්පරා කිහිපයකට පෙර ගමෙන් නගරයට සංක්‍රමණය වූවෝ වෙති.
  • ග්‍රාම සංවර්ධනය යන වදන අපි එදා මෙදා තුර කොතෙකුත් අසා ඇත්තෙමු.
අකුරු ප්‍රමාණය (Font Size):


අප රටේ අතීත ජනයා කාමභෝගී නොවූ සරල චාම් ජීවන රටා අනුගමනය කළ බව මානව විද්‍යාත්මකව ද සනාථ වී තිබේ. අතීතයේ අප රටේ ජනගහනයෙන් වැඩිම කොටසකගේ ජීවනෝපාය වූයේ කෘෂිකර්මාන්තයයි. ඔවුන්ගේ එම සරල ජීවන රටාව අනුව මිනිසුන් තුළ පැන නඟින ලෞකික ආශාවන් සහ තෘෂ්ණාවන් සදාචාරාත්මක බවේ සීමාවන් තුළ තබා ගැනීමට ඔවුහු සමත් වූහ.

ගත වූ සියවස් කිහිපය තුළ වන විට කොළඹ ඇතුළු තවත් නගර කිහිපයක් මුල් කොට නාගරීකරණය වේගවත් වී ඇතත්, මේ වන විට නාගරිකයන් සේ හැඳින්වෙන බහුතරය ද පරම්පරා කිහිපයකට පෙර ගමෙන් නගරයට සංක්‍රමණය වූවෝ වෙති. එබැවින්, මෙරට ජාතික සංවර්ධනයේ පදනම විය යුත්තේ නගරය නොව සමස්ත ජාතිකත්වයේම බිම් මට්ටම වන ගමයි. ග්‍රාම සංවර්ධනය යන වදන අපි එදා මෙදා තුර කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත් මේ දක්වා ඊට නිවැරදි කාලීන අර්ථකථනයක් ලැබී නැත. එනිසාම අදටත් අප රටේ බහුතරය සිතා සිටිනුයේ මෙය කිසිදා යථාර්ථයක් කර ගත නොහැකි සිහිනයක් ලෙසිනි.

 

Colombo, Sri Lanka - 11 February 2017: Street near the Pettah Market or Manning Market. Pettah Market located in the suburb of Pettah in Colombo, Sri Lanka. Close to fort district

ගම ගොඩනැඟීම යනු හුදෙක් ගොඩනැඟිලි තැනීම නොව, ගම සතු අනන්‍යතාව රැකගනිමින් එය නවීන ලෝකයට ගැළපෙන ලෙස ප්‍රතිනිර්මාණය කිරීමයි. ශ්‍රී ලංකාව වැනි රටක සැබෑ සංවර්ධනයේ පදනම වනුයේ හුදෙක් කොළඹ හෝ ප්‍රධාන නගර කේන්ද්‍ර කරගත් භෞතික වෙනසක් නොව, රටේ හෘද ස්පන්දනය බඳු ග්‍රාමීය ජන සමාජය සවිබල ගැන්වීමයි. එය හුදු භෞතික නොවන මනෝවිද්‍යාත්මක මූලයකින් යුතු සංසිද්ධියකි. නමුත් මේ දක්වා ඒ සඳහා විධිමත්, තිරසාර හා අඛණ්ඩ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීම මත එය ගැමුණු කුමරුගේ ‘උණු බත් කෑමක්’ බවට පත්ව තිබේ.

එමෙන්ම අද පවා යටිතල පහසුකම් සංවර්ධනය වීමේ හේතුවෙන් ගමට වඩා නගරය හොඳය යන සංකල්පය ජාතික මට්ටමින් ව්‍යාප්ත වීම නිසා නාගරීකරණයට නතු වීම දශක ගණනාවක් තිස්සේ බොහෝ ගැමියන් නිරතුරු දකින සිහිනයක් බවට පත් ව තිබේ. “මෙහේ ඉඳලා කවදාවත් හරියන්නේ නෑ. කොළඹ පැත්තට වත් ගිහින් මොකක් හරි කරලා කීයක් හරි හොයා ගන්න ඕනේ” යන පදනම් විරහිත ප්‍රකාශය අද ද ගම්බදින් නිතර ඇසෙයි. මෙහි ආසන්නතම ප්‍රතිඵලය වනුයේ රටක සංවර්ධනය කෙරෙහි සෘජු බාධකයක් වන නොවිධිමත් නාගරීකරණය (Informal Urbanization) නම් සංසිද්ධියයි.

නමුත් ඒ අගතිය දුරලීමට ඇති හොඳම විකල්පය නගරය හා තරඟකාරී මට්ටමින් ගම නඟා සිටුවීම ය. මෙහි ග්‍රාමීය සංවර්ධනයේ ප්‍රථම පියවර වන්නේ ගම සහ නගරය අතර පවතින භෞතික පරතරය අවම කිරීමයි. ගම්බද ප්‍රදේශ දක්වා දිවෙන විධිමත් මාර්ග පද්ධතියක් පවතී නම්, ගොවියාට තම අස්වැන්න වෙළෙඳපොළට රැගෙන යාම ද, ගම්බද ශිෂ්‍යයාට නාගරික අධ්‍යාපන පහසුකම් ලබා ගැනීම ද පහසු වේ. වර්තමානයේ දුරස්ථභාවය යනු බාධාවක් නොවේ. අධිවේගී අන්තර්ජාල පහසුකම් ගමට රැගෙන යාමෙන්, ගමේ තරුණ පරපුරට සිය නිවසේ සිටම ගෝලීය රැකියා වෙළෙඳපොළ (Freelancing) සමඟ සම්බන්ධ වීමේ අවස්ථාව උදා වේ. මෙය නගරයට ඇදී එන ජනගහනය පාලනය කිරීමට ද මහඟු පිටුවහලකි.

 

Water and Sanitation Feature 1

ග්‍රාමීය යටිතල පහසුකම්වල මීළඟ අදියර වන්නේ පිරිසිදු පානීය ජලය, ස්ථාවර විදුලි බලය සහ සෞඛ්‍ය පහසුකම් ගමට සමීප කිරීමයි. නගරයේ වසන පුද්ගලයෙකු භුක්ති විඳින මූලික මානව අවශ්‍යතා ගමේ පුද්ගලයාට ද ඒ අයුරින්ම හිමි විය යුතු ය. විශේෂයෙන්ම නාගරිකයන්ට ඉවක් බවක් නොමැතිව පහසුකම් හිමි වන බවට පවත්නා ගැමි ජනතා ආකල්පය වෙනස් කොට ග්‍රාමීය රෝහල් සහ පාසල් පද්ධතිය නවීකරණය කිරීම මඟින් ගැමියා “නගරයට දුවන මානසිකත්වය” වෙනස් කළ හැකි ය.

ගම දියුණු කිරීමට නම් ගම්වැසියාගේ අතමිට ද සරු විය යුතු ය. ඒ සඳහා පාරම්පරික කෘෂිකර්මාන්තයට පමණක් සීමා නොවී නව මාවත් හඳුන්වා දිය යුතු ය. මේ වන විට ලොව පුරා ව්‍යාප්ත වන සුහුරු ගොවිතැන (Smart Farming) මඟින් අප රටේ ග්‍රාමීය ආර්ථිකය නඟාසිටුවීම පිණිස ලැබී ඇති දායකත්වය කෙසේවත් ප්‍රමාණවත් නැත. මෙම සුහුරු ගොවිතැන් ක්‍රමය යටතේ අක්කර භාගයක මිරිස් වගා කළ අනුරාධපුර තිරප්පනේ පුලියන්කුලම ග්‍රාමයේ බන්දුල මුණසිංහ නම් තරුණ ගොවි මහතෙකු ඉන් රුපියල් කෝටියක පමණ මුදලක් උපයා ගත් බවට පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා පළ විය. එමෙන්ම සුහුරු ගොවිතැන් ක්‍රමය යටතේ බෝග විවිධාංගීකරණය කිරීම ග්‍රාමීය සමාජයේ දිළිඳුකම මුළුමනින් පිටුදැකීමක් බවට කලාපීය රටවලින් ලැබෙන සාක්ෂි ද සුළුපටු නොවේ.

vegetable kuda

එමෙන්ම ග්‍රාමීය එළවළු, පලතුරු ගෝනි හෝ පෙට්ටිවල අසුරා අලෙවි කරනු වෙනුවට ඒවා සැකසූ ආහාර ලෙස (Processed Food) අපනයනයට යොමු කිරීමට පහසු හැකියාවක් පවතින අතර, ගැටලුව වී ඇත්තේ මෙතෙක් ඒ සඳහා නිසි ක්‍රමෝපායන් හඳුනාගෙන නොමැති වීමය.

කෘෂි සංචාරක කර්මාන්තය (Agro-tourism) ද අප රටේ ග්‍රාමීය සංවර්ධනය සඳහා යොදා ගත හැකි නවතම උපාය මාර්ගයකි. ලාංකික ගමක අත්දැකීම විඳීමට කැමති විදේශිකයන් සඳහා ගමේ සිරිත් විරිත් හා ආහාර පාන මුල් කරගත් සංචාරක ව්‍යාපෘති ඇරඹීම, ග්‍රාමීය සංවර්ධනයට සෘජුවම ඉවහල් කර ගත හැකි මෙන්ම විදේශ විනිමය ද ලබා ගත හැකි කදිම උපාය මාර්ගයකි. විශේෂයෙන් ශ්‍රී ලාංකික සංචාරක කර්මාන්තයේ අද්විතීය සංනාමයක් වන වන අලි ඇත් සම්පත නිසි ක්‍රමවේදයකට අනුව සංචාරක ව්‍යාපාරය සඳහා යොදා ගැනීමේ උපාය මාර්ග අත්හදා බැලීමට පුළුවන.

Arte y artesania en Turquia scaled

දේශීය අමුද්‍රව්‍ය ඇසුරින් නිපදවන කුඩා හා මධ්‍ය පරිමාණ හස්ත කර්මාන්ත සහ ස්වභාවික නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ විවෘත කිරීම ද ග්‍රාමීය සංවර්ධනයට සෘජුවම ඉවහල් වන්නකි. එහි දී ශ්‍රම කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතය නූතන ලෝකයේ අත්‍යවශ්‍ය සාධකයකි. මිනිස් ශ්‍රමය පමණක් භාවිත කරනවාට වඩා යන්ත්‍ර මඟින් කාර්යයන් ඉටු කිරීමේදී කාලය, පිරිවැය සහ ගුණාත්මකභාවය යන අංශ රැසකින් වාසි අත් වේ. කාලය ඉතිරි කර ගැනීම, නිෂ්පාදන පිරිවැය අවම වීම, උසස් ගුණාත්මකභාවය සහ ප්‍රමිතිකරණය ඒ අතුරින් ප්‍රමුඛ වනු ඇත.

නමුත් මේ හා සබැඳි සුවිශේෂී කරුණක් ද තිබේ. එනම් භෞතික සම්පත් කොතෙක් තිබුණ ද, මිනිසාගේ ආධ්‍යාත්මික ගුණවගාව පිරිහෙන්නේ නම් එය සැබෑ සංවර්ධනයක් නොවන බව ය. මෙහි දී ගම සතු අන්‍යෝන්‍ය සහයෝගය (අත්තම් ක්‍රමය), වැඩිහිටි ගෞරවය සහ සොබාදහමට ආදරය කිරීම වැනි සදාචාරාත්මක වටිනාකම් රැකගත යුතු ය. නාගරික සමාජයේ පවතින හුදෙකලා බව වෙනුවට, ගමේ සාමූහිකත්වය පවත්වා ගනිමින් නවීන දැනුම ලබා දීම මෙහි දී වැදගත් වේ.

 

Loans 2023.07.24

ශ්‍රී ලංකාවේ වර්තමාන ග්‍රාමීය ආර්ථික යාන්ත්‍රණයට මරු පහරක් එල්ල කරන ප්‍රධාන සාධකයක් බවට ක්ෂුද්‍ර මූල්‍ය ණය (Microfinance Loans) ව්‍යාපෘති පත්ව තිබේ. රට තුළ ක්‍රියාත්මක වන සීමිත විධිමත් මූල්‍ය යෝජනා ක්‍රම කිහිපයක් හැරුණු කොට, ක්ෂුද්‍ර මූල්‍ය යන නාමයෙන් පෙනී සිටින බොහෝ ආයතන නාගරික මූල්‍ය වෙළෙඳපොළ විසින් ග්‍රාමීය සමාජය ඉලක්ක කර ගනිමින් දියත් කරන ලද සූක්ෂ්ම මූල්‍යමය උගුල් බව අතිශයින් පැහැදිලි ය.

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය නියාමනය කිරීම සඳහා හඳුන්වා දුන් ප්‍රධානතම නීතිමය රාමුව වන්නේ 2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත වන අතර මෙම පනත මඟින් බලාපොරොත්තු වූයේ අවධිමත් මූල්‍ය ආයතන මඟින් සිදුවන සූරාකෑම වැළැක්වීම වුවද, එහි ඇති ඇතැම් සීමාවන් හේතුවෙන් “ගම බිල්ලට ගන්නා” මූල්‍ය වංචා සම්පූර්ණයෙන් මැඩපැවැත්වීමට එයට තවමත් නොහැකි වී ඇත.

මෙම ක්‍රියාවලිය තුළ දක්නට ලැබෙන ප්‍රධානතම ලක්ෂණ සහ ඉන් ඇති වන බලපෑම් කිහිපයකි.

ඒ අතුරින් කණ්ඩායම් ණය උගුල මේ වන විට ග්‍රාමීය ආර්ථිකය පුරා පිළිකාවක් මෙන් ඔඩු දුවා ඇති අතිශය බරපතල සමාජ ආර්ථික ව්‍යාධියකි. ‘කණ්ඩායම් ණය’ (Group Loans) වශයෙන් හඳුන්වා දෙන ක්‍රමය, මූල්‍ය විනය මුළුමනින්ම විනාශ කිරීමට සමත්ව ඇති බවට ගමින් ගමට සාක්ෂි ගොනු කර ගත හැක. එක් ණය ගැතියකු ණය වාරික ගෙවීමට අපොහොසත් වූ විට සමස්ත කණ්ඩායමම වගකීමට බැඳ තැබීම හරහා, අසල්වැසියන් සහ හිතවතුන් අතර පැවති සාමූහික විශ්වාසය බිඳ වැටී ඇත. ඉතා පැහැදිලිවම දැක ගත හැකි අන්දමට මෙම මූල්‍ය ජාවාරම්වල ප්‍රධාන ගොදුර බවට පත්ව ඇත්තේ ග්‍රාමීය වනිතා ප්‍රජාවයි. ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් ප්‍රාණ ඇපයට ගනිමින් ක්‍රියාත්මක වන මෙම උප්පරවැට්ටි හේතුවෙන් කාන්තාවන් අතර පැවති සමඟි සමාදානය පළුදු වී ඇත්තේ ගම්බද ව්‍යවහාරයට අනුව කිව හොත් ඉලව් මඟුල් සබඳතා පවා අත් හිටුවමිනි.

ණය බර දරාගත නොහැකි තැන ඔවුන්ට නොමනා බලපෑම් එල්ල කරන එම ක්ෂුද්‍ර මූල්‍ය ණය හිමියන්ගේ තැරැව්කරුවන් හෙවත් එම කතුන්ගේ ව්‍යවහාරයෙන්ම කිව හොත් “සර්ලා”, එම කතුන්ගේ පෞද්ගලික චරිත පාරිශුද්ධියට මෙන්ම පවුල් ජීවිතවල ස්ථාවරත්වයට දරුණු බලපෑම් එල්ල කොට ඇති අවස්ථා කොපමණවත් තිබේ. ක්ෂුද්‍ර මූල්‍ය ණය ලෙසින් ඉදිරිපත් වන මෙවන් මර උගුල් හමුවේ මානසික පීඩනයට ලක්ව අවසානයේ සියදිවි නසාගැනීම් වැනි අවාසනාවන්ත තත්ත්වයන් දක්වා තල්ලු වීම මේ වන විට නිරතුරුවම සිදු වේ.

 

cooperative

ශ්‍රී ලංකාවේ මූල්‍ය සංසරණ පද්ධතියේ නියාමකත්වය දරන ශ්‍රී ලංකා මහ බැංකුව, මෙම ප්‍රසිද්ධ මූල්‍ය අක්‍රමිකතා සහ වංචනික ආයතන සම්බන්ධයෙන් දැඩි විමර්ශනයක් සිදු නොකිරීමත්, නිසි නීතිමය පියවර නොගැනීමත් බරපතල ගැටලුවකි. මහ බැංකුවේ ලියාපදිංචි නොවූ ආයතන ‘ක්ෂුද්‍ර මූල්‍ය’ යන නාමය අවභාවිත කරමින් සිදු කරන මෙම මංකොල්ලය වැළැක්වීමට විධිමත් යාන්ත්‍රණයක අවශ්‍යතාවය අද වන විට තදින්ම දැනෙමින් පවතී. වත්මන් ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රියාවලිය යනු ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීම වෙනුවට දිළිඳුකම ප්‍රාග්ධනය කරගනිමින් නාගරික ධනේශ්වරය විසින් ග්‍රාමීය ජනතාව සූරාකෑමකි. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ශක්තිමත් රාජ්‍ය ප්‍රතිපත්තියක් සහ මහජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක විය යුතු ය. ඒ සඳහා සමූපකාර ආදී විධිමත් ක්‍රම මඟින් ග්‍රාමීය ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රියාවලිය සංවිධිත ලෙස ව්‍යුහගත කිරීම ග්‍රාමීය සංවර්ධනය සඳහා වන තිරසාර හා සාධනීය මෙහෙවරකි.

ගම යනු ශ්‍රී ලාංකේය ජාතිකත්වයේ බිම් මට්ටමම ය. බිම් මට්ටම දුර්වල කරමින් සවිමත් මන්දිරයක් තැනිය නොහැක. එබැවින්, විධිමත් යටිතල පහසුකම්, නවීන සන්නිවේදනය සහ ස්ථාවර ආර්ථික මාර්ග ඔස්සේ ගම සවිබල ගැන්වීම යනු සමස්ත ජාතියේම අභිවෘද්ධියේ අඩිතාලමයි. මෙම තත්ත්වය “ගම හදා රට හදමු” යන්න හුදු සටන් පාඨයකට සීමා නොකර, එය ප්‍රතිපත්තිමය වශයෙන් ක්‍රියාවට නැංවීම තුළින් ශ්‍රී ලංකාවට අභිමානවත් අනාගතයක් කරා ගමන් කළ හැකි ය.

renuka damayanthi psd
(සටහන | ඒ.ජී රේණුකා දමයන්ති)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...