පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට පියමනින ඕනෑම අයෙකුට හමු වන එක් සුවිශේෂී චරිතයක් විය. හදවත පැහැරගන්නාසුලු සිනහවකින් යුතු ඇය මිනිසෙකු නොවූවත්, වසර දහයකට අධික කාලයක් පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නිහඬ ගුරුහරුකම් දුන් ගුරුවරියකි. ඇය නමින් හාමිනා ය.
පසුගියදා ඇය පීඨයේ සිප් සතර හැදෑරූ දහස් ගණනක් සිසුන්ගේ හදවත් තුළ නොමැකෙන ශෝකයක් ඉතිරි කරමින් සදහටම දෑස් පියා ගත්තාය.
සමාජ මාධ්‍යවල ඈ වෙනුවෙන් බොහෝ සටහන් ලියැවිණි. ඇගේ සංවේදී සේයා රූ සහ වීඩියෝ දර්ශන නැවත නැවතත් බෙදාගැනිණි. ඒවා, ඇය කිසිදාක නුදුටු, ඇසුර නොවිඳි අයගේ පවා දෙනෙත් තෙත් කරන්නට සමත් විය.
ආගන්තුකයෙකුව පැමිණි හාමිනා පීඨයේ සාමාජිකයෙකු වන්නේ අහම්බයෙනි. ඒ 2016 වසරේදීය. එවකට පශු වෛද්‍ය පීඨයේ ආචාර්යවරයකු වූ, වෛද්‍ය සමන් කුමාර වසරක් පමණ වයසැති බලු පැටවෙකු වූ ඇයව පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය වෙත රැගෙන එන්නේ පාදයක ඇති වූ ආබාධයකට ප්‍රතිකාර ලබාදීමටය. එලෙස පැමිණි ඇය එතැන් පටන් පීඨයම තම නිවස කරගත්තාය. ඇය සැබවින්ම පීඨයේ ප්‍රායෝගික පුහුණුකාරිනියක් බඳු විය. එන්නත් කටු ගැසීමේ දී ලේ සාම්පල ගැනීමේදී හෝ විවිධ වෛද්‍ය පරීක්ෂණ පවත්වද්දී ඇය දැක්වූ ඒ අසීමිත ඉවසීම පුදුම සහගතය. කිසිදිනෙක කිසිදු ශිෂ්‍යයෙකුට රිදවීමට හෝ හපා කෑමට ඇය උත්සාහ කළේ නැත.
කාගෙත් සිත්වල නොමියෙන මතකයක් ඉතිරි කළ හාමිනා ගැන, ඇයව සමීපව ඇසුරු කළ ශිෂ්‍යයෙකු තම මතකය අවදි කළේ මෙලෙසිනි.
'' එයාට තිබුණා ලස්සන හිනාවක්. අඳුරන අය ළඟට එද්දි එයා හිනාවෙනවා. කළු පාට දිලිසෙන බෝල ඇස්වලින් මොනවදෝ කිය කියා, තේරුණාද? අහන්න වගේ ටිකකින් ඇස් පිහාටු වහනවා. මං හිතන්නේ මං දැකපු අහිංසකම බව්වා එයා. රාජකාරිය කොච්චර අමාරු වුණත් අපිට ඕනෙම දෙයක් එයාගෙන් ඉගෙන ගන්න ඉඩ දුන්නු, ආයෙ ආයෙත් අපිව ඉවසපු හොඳ මිතුරියක්. අපිට කියලා ඔළුව අතගාගන්න, බණ්ඩිය පොඩ්ඩක් මසාජ් කරගන්න, අතින් අල්ලන් ඉන්න, හැම විනාඩියකටම එයාට අපිව ඕනි වුණා. වයසත් එක්ක ටිකක් නිහඬ වුණත් ආදරේට එයා ඉස්සර වගේම ලෝබ වුණා...''
ආගමික වතාවත්අසිරිමත් ගුරු- මිතුරිය
පශු වෛද්‍යවරයෙකු වීමේ උදාර සිහිනය පෙරදැරිව පීඨයට පියමනින නවක සිසුවෙකු මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වන්නේ, සජීවී සතෙකු පරීක්ෂා කිරීමේදී දැනෙන නොසන්සුන් බව සහ චකිතයයි. එම බිය සහ චකිතය මකා දමා, අනාගත වෛද්‍යවරයාගේ වෙවුලන දෑතට ආත්ම විශ්වාසයත්, ශක්තියත් ලබා දුන් අපූර්ව චරිතය වූයේ හාමිනා ය. අද වන විට ලංකාව පුරා මෙන්ම ලෝකය පුරා විසිරී සිටින, මෑත දශකයේ පේරාදෙණියෙන් බිහි වූ දහස් ගණනක් පශු වෛද්‍යවරුන්ගේ වෛද්‍ය ජීවිතයේ පළමු රෝගියා මෙන්ම පළමු ගුරුවරිය වූයේ ද ඇයයි.
'' මට ටිකක් රිදුණට කමක් නෑ . ඔයාලා ඉගෙන ගෙන බව්වො ගොඩක් සනීප කරන්න'' යනුවෙන් ඒ අහිංසක ඇස්වල ලියැවී තිබූ පණිවිඩය තේරුම් ගත් බොහෝ සිසුහු ඈ කෙරේ අසීමිත සෙනෙහසක් පෑහ.
අවසන් හෝරාවයම් හෙයකින් පරීක්ෂණයක් අතරතුර සිසුන් ඇයව පරීක්ෂණ මේසයක් මත තබා මොහොතකට ඉවතට ගියද, ඔවුන් නැවත පැමිණෙන තෙක් කිසිදු කලබලයකින් තොරව, ඉතා සන්සුන්ව එහිම රැඳී සිටීමට තරම් ඇය හික්මුණු සත්වයෙකු විය.
වැටුපක් හෝ කිසිදු ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවී දශකයකට අධික කාලයක් පශු වෛද්‍ය විද්‍යාවේ උන්නතිය උදෙසා තම සිරුර පූජා කළ ඇය, තවත් සතුන්ගේ ජීවිත රකින්නට රුධිරය දන් දුන් වාර අපමණය.
නොමියෙන ආදරයේ විරාමය
හාමිනා පීඨයේ අනෙකුත් සුනඛයන් අතර පවා කැපී පෙනුණේ ඇය සතු අහිංසක සහ සාමකාමී ගුණය නිසාමය. ඇය කිසිදිනෙක අනෙක් සතුන් සමඟ රණ්ඩු සරුවල්වලට පැටලුණේ නැත. පීඨයේ සිටින සෑම සතෙකුටම සෙනෙහස දැක්වූ ඇය, සියල්ලන් සමඟ සුහදව වාසය කළ නිහතමානී චරිතයක් විය.
කෙතරම් සාමකාමී බව්වකුට වුවත්, ජානගත බලු-පූස් කෝන්තරයෙන් මිදී සිටීම අසීරු බව ඔවුන් ඇසුරු කරන අයට රහසක් නොවේ. ඒත් හාමිනාගේ ජීවිතයේ සුන්දරම සහ සංවේදීම බැඳීම ලියැවුණේ මල්ගුමී නම් ඇයගේ ආදරණීය පූස් මිතුරා සමගිනි. දශකයක් පුරා පීඨයේ සෙවණේ එකට කෑම බෙදාගනිමින්, එකට නිදමින් සිටි මල්ගුමී තම මිතුරිය හාමිනාට බොහෝ සෙයින් ළෙංගතු වූවාය.
හාමිනාට සමුදෙන මල්ගුමීහාමිනා සිය ජීවිතයේ අවසන් හුස්ම පොද වාතලයට මුසු කරන ඒ අවාසනාවන්ත මොහොතේ මල්ගුමී ඇය අසලින්ම රැඳී සිටි අයුරු කාගේත් හදවත් කම්පා කරවන දර්ශනයක් විය. සිය මිතුරිය මෙලොව හැර යන බව වැටහුණු මල්ගුමී දැඩි සංවේගයෙන් යුතුව හාමිනාගේ හිස සහ මුහුණ ලෙවකමින් ඇයට සිය අවසන් ආදරය පුද කළේය. හාමිනාගේ නිසල දේහය අසලින් ඉවත් නොවී මල්ගුමී රැඳී සිටි ඒ නිමේෂය වචන නැති සතුන් අතර පවා මිනිසුන්ටත් වඩා උතුම් වූ ආදරයක් සහ ළැදියාවක් පවතින බව ලොවටම කියා පෑවේය.
අභිමානවත් සමුදීමක්
හාමිනාගේ වෘත්තීය දායකත්වය සහ ඒ සෙනෙහෙබර ගුණය අගයමින් පීඨයේ බලධාරීන් හාමිනා වෙනුවෙන් කළ උපහාරය ඉතිහාසයට එක් වන්නකි.
ඇයගේ අවසාන කටයුතු සිදුකෙරුණේ ඉතා ගෞරවනීය අයුරිනි. ඇය නාවා පිරිසිදු කොට, ලස්සන පෙට්ටියක තැන්පත් කෙරිණි. ඇයට පින් පිණිස මහා සංඝරත්නය වැඩම කරවා පිරිකර පූජාවක් සහිත ආගමික වතාවත් සිදු කිරීමට ඇයට ආදරය කළ බොහෝ දෙනෙක් එක් වූහ. සුවිශේෂීම කරුණ වූයේ හාමිනා වෙනුවෙන් කෙරෙන ගෞරවයක් ලෙස, ඇයගේ අවමංගල්‍යය කටයුතු සඳහා පීඨයේ සහ පශු වෛද්‍ය රෝහලේ කටයුතු පවා පැයක කාලයක් නිල වශයෙන් වසා තැබීමට ගත් තීරණයයි.
මෙහෙවරක නිමාවසතෙකු වෙනුවෙන් විශ්වවිද්‍යාලයක ඉහළම බලධාරීන් පවා මෙවන් නිල ගෞරවයක් දැක්වීම, ඇය එම පීඨයට කළ මෙහෙවරෙහි ඇති උදාර බව කියාපාන්නකි.
සෙනෙහසින්ම පමණක් සියල්ලන්ගේම සිත් සොරා ගත් ඇය සියලු දෙනාගේ ගෞරවය මැද සිය අවසන් ගමන ගියේ තමන් මනුෂ්‍ය භාෂාව නොදත්තත් මනුෂ්‍යත්වයේ උතුම්ම ගෞරවය ලැබීමට තරම් පින්වන්තියක බව පසක් කරමිනි.
අවමංගල සභාවදස දහස් ගණනක් අහිංසක ජීවිත සුවපත් කරන්නට නිහඬවම තම දායකත්වය ලබාදුන් මේ පින්වන්තියගේ අඩුව පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයට සදාකාලිකව දැනෙනු ඇත. ඇය ගැන පළ වූ සමාජ මාධ්‍ය පෝස්ට්වලට ප්‍රතිචාර දැක්වූ දහස් ගණනක් දෙනා, ඇයට මතු මිනිස් ආත්මභවයක් ප්‍රාර්ථනා කර තිබිණි. එත්, නියපිටින්වත් කිසිවෙකුට රිදවා නැති ලෝකයටම ඉවසීම කියාදුන් හාමිනා, මතු ආත්මයක ඔබට මේ මනුෂ්‍ය ලෝකයට වඩා සොඳුරු ලෝකයක ඉපදීමට වාසනාව
ලැබේවායි අපි පතමු.
Pera Paws උපහාරයඇයට සමුදෙමින් Pera Paws පළ කළ පෝස්ටුවක, ඇගේ සිනහමුසු සේයාරුවක් සමග මෙසේ සඳහන් කර තිබිණි.
කිම්ද නොකියාම නික්ම යන්නට කාරණා
සුරලොව සිට බලා සදා හිනැහෙන් හාමිනා
හාමිනා නිදන තැන(සටහන | නිසංසලා උදයාංගනී)




