ඒ, ICCPR පනත යටතේ අත්තනෝමතික ලෙස තමන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට එරෙහිව, නතාෂා එදිරිසූරිය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම පෙබරවාරි 19 වැනිදා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදීය. අදාළ කනගාටුව පළ කිරීමේ ලිපියෙහි මෙසේ සඳහන් වෙයි:

"අත්අඩංගුවට ගත් නිලධාරියා ලෙස, සමස්ත තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, 2023 මැයි මස 27 වන දින සිදු කරන ලද අත්අඩංගුවට ගැනීම සහ ඒ හේතුවෙන් 2023 ජූලි මස 5 වන දින දක්වා ඔබ රක්ෂිත බන්ධනාගාරගතව සිටීම සම්බන්ධයෙන් මම මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමි. එමෙන්ම මෙම අත්අඩංගුවට ගැනීම සහ රක්ෂිත බන්ධනාගාරගත කිරීම හේතුවෙන් ඔබගේ කීර්තිනාමයට සහ ගෞරවයට සිදු වූ හානිය මෙන්ම ඔබට ඇති වූ මානසික හා චිත්තවේගීය පීඩාවන් සම්බන්ධයෙන් ද මම මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිමි."
ඊට අමතරව, එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් පොලිස්පතිවරයා සකස් කර ඇති බවත්, ඊට පෙත්සම්කාර පාර්ශවයේ එකඟතාව පළ කර තිබෙන බවත්, දෙසතියක් ඇතුළත එය සියලු පොලිස්ථාන වෙත යැවීමට කටයුතු කරන බවත් රජයේ නීතිඥවරයා විසින් අධිකරණයට දැනුම් දුන් අතර, එම එකඟතා මත නඩුවේ කටයුතු අවසන් කෙරිණි. පෙත්සම සමථයට පත්කර ගැනීමට අධිකරණයේ හමුවේ එකඟ වීම සම්බන්ධයෙන් පෙත්සම්කාරිය වූ නතාෂාට අගවිනිසුරුවරයා ප්‍රශංසාව පළ කළේය.
සංකේතාත්මක ජයක්

තෙවසරකට පෙර, කලා ශිල්පිනියක ලෙස නිර්මාණාත්මක ක්‍රියාකාරකමක නිරත වීම හේතුවෙන් අතිමහත් නින්දා, අපහාස හා වෛරී ප්‍රවාහයක වින්දිතයකු බවට පත්ව, දිගු කලක් දැඩි මානසික හා ශාරීරික හිංසනයකට ලක් කරනු ලැබූ ඇයට අහිමි කළ අභිමානය සහ ගෞරවය යළි හිමි වීම මෙම එකඟතා මගින් සංකේතවත් කෙරිණි. මෙම සමථයට පෙර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, ඉහත චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීමෙන් ඇගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බවට තීන්දුවක් ප්‍රකාශයට පත් කොට තිබිණි.
ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඇති වූ සමථයෙන් අනතුරුව ඇය මාධ්‍ය හමුවේ මෙසේ පැවසුවාය.
"මගේ පැත්තෙන් මට කරන්න ඕන වුණේ, මූල්‍යමය වන්දියක් ගන්නවාට වඩා මට වුණ දේ වෙන කෙනෙකුට නොවෙන්න මට මොනවද කරන්න පුළුවන් කියන දේ හොයා බලන එකයි. ඒ සඳහා නීතිමය වශයෙන් කරන්න පුළුවන් උපරිම දේ මං කළා කියලා මං හිතනවා. ඒ ඉතින් නීතිමය පද්ධතිය ඇතුළේ. එතනින් එහාට, මාධ්‍යවලින් මේක ප්‍රචාරය කරපු හැටි සහ ඒ දේවල් සම්බන්ධව Accountability එකක් (වගවීමක්), මං දන්නෑ මට ලැබෙයිද කියලා. මං හිතනවා ඒක ලැබෙන්න ඕන දෙයක් කියලා. අඩුම තරමේ මාධ්‍ය ආයතන මේ වගේ අවස්ථාවක කොහොමද හැසිරෙන්නේ කියන එක ගැන කතාවකුත් ඇතිවෙන්න ඕන."
නතාෂා අත්අඩංගුවට ගැනීම සහ ඇගේ මූලික අයිතිවාසිකම් නඩුවේ සමථය, ප්‍රකාශිත අරමුණුවලින් බැහැරව ශ්‍රී ලංකාව තුළ දිගින් දිගටම භාෂණයේ නිදහසට එරෙහි මර්දන නීතියක් ලෙස හා සැබැවින්ම අසමගිය හා වෛරය පතුරුවන්නන්ගේ අවියක් ලෙස අවභාවිතයට ගැනෙන ICCPR පනත සම්බන්ධයෙන් යළිත් වරක් ගැඹුරු අවධානයට හසු කරන්නකි. එමෙන්ම වෛරී ප්‍රකාශ ලාංකීය සමාජය තුළ භයානක සමාජ හා දේශපාලන ගැටලුවක් බවට පත්ව ඇති ආකාරයත් එමගින් පිළිබිඹු වෙයි. නතාෂාගේ සිදුවීමෙන් හෙළි කරන වඩාත් බිහිසුණු යථාර්ථය නම්, වෛරී දේශපාලන ව්‍යාපෘති සමාජ මාධ්‍ය අවකාශයට, වෘත්තීය මාධ්‍ය ක්ෂේත්‍රයට, රාජ්‍ය යාන්ත්‍රණයට, නීතිය ක්‍රියාත්මක කරන අංශවලට පමණක් නොව යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයට පවා බලපෑම් කළ හැකි තත්ත්වයට පත්ව ඇති බවයි. එමෙන්ම සමාජ මාධ්‍යද ඇතුළුව ජනමාධ්‍ය, මෙම අගතිගාමී ව්‍යාපෘතිවල බලවත් භූමිකාවක් ඉටු කරන බවයි. නතාෂා අත්අඩංගුවට ගැනීමට අදාළ සිදුවීම් දාමය දෙස ආපසු හැරී බැලීම, මේ තත්ත්වය අවබෝධ කර ගැනීම සඳහා මෙන්ම නතාෂා අපේක්ෂා කරන ‘මාධ්‍ය යුක්තිය’ සඳහා වන ප්‍රවේශයක් ලෙසද වැදගත් වේ.
අත්අඩංගුවට ගත්තේ ඇයි?

නතාෂා අත්අඩංගුවට ගැනුණේ, 2023 අප්‍රේල් 01 වැනිදා කොළඹ බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැති මෝඩාභිමානය නම් ප්‍රහසන (Stand-up comedy) ප්‍රසංගයේදී ඇය විසින් සිදු කළ ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමක් හේතුවෙනි. අධ්‍යාපන ක්‍රමය, බාලිකා පාසල් හා දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වැඩිහිටියන් තුළ ඇති අසාමාන්‍ය උද්‍යෝගය යනාදී කරුණු ඇගේ හාස්‍යයට නිමිති විය. සිද්ධාර්ථ චරිතය ඇය නිදසුන් කොට ගන්නේ නිතරම සෙසු දරුවන්ගේ දක්ෂතා සමග තම දරුවන් සැසඳීමට දෙමාපියන් දක්වන නැඹුරුව උපහාසයට ලක් කරනු පිණිසය.
හාස්‍ය රසවිඳීම අරමුණු කරගත් ප්‍රේක්ෂක සමූහයක ඉදිරියේ ඇය කළ ඉදිරිපත් කිරීමට ඉහළ ප්‍රතිචාරයක් හිමි වූ අතර, කිසිවකු එහි අන්තර්ගත කරුණු කිසිවක් අදාළ සන්දර්භයෙන් බැහැරව- බරපතළ ලෙස සැලකූ බවට හෝ විරෝධයට හේතු වූ බවට හෝ කිසිදු ලකුණක් නොවීය. අර්බුදය පැනනැගුණේ, ප්‍රසංගයෙන් මාසයකට පමණ පසු අදාළ ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමෙහි සංස්කරණය කළ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමගය. සිද්ධාර්ථ චරිතය පිළිබඳ ඇය කළ සඳහන, අදාළ සන්දර්භයෙන් බැහැරට ගෙන ඇය බුද්ධ චරිතයට හා බුදු දහමට අපහාස කළේ යැයි සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනයක් ඇති වූ අතර, නතාෂාට එරෙහි දැවැන්ත වෛරී ප්‍රචාරණයක් දියත් විය. ඊට සමාන්තරව, බුද්ධාගමේ ආරක්ෂකයන් ලෙස පෙනී සිටින විවිධ කණ්ඩායම් ඇයට නීතියෙන් දඬුවම් කළ යුතු යැයි රජයට බල කර සිටීමේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමේ රැල්ලක් නිර්මාණය වූ අතර, බෞද්ධ භික්ෂූන්ගේ පැමිණිලි 6ක් සහ රජයේ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ පැමිණිල්ලක්ද ඒ අතර විය. පැමිණිලිවලට හේතු දක්වන ප්‍රකාශ සහ ප්‍රවෘත්ති සාකච්ඡාවලට ලැබුණු මාධ්‍ය ප්‍රචාරණය ඔස්සේ උණුසුම තවදුරටත් වර්ධනය කෙරිණි.
මාධ්‍ය - පොලිස් ඒකාබද්ධ මෙහෙයුම
මෙම තත්ත්වය හමුවේ, බුදුදහමට අපහාස කිරීමේ චේතනාවක් තමන් තුළ නොතිබූ බවත්, සිය ප්‍රකාශය හේතුවෙන් යම්කිසි පාර්ශ්වයකට සිත් රිදවීමක් සිදු වූයේ නම් ඊට සමාව අයදින බවත් නතාෂා ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කළ අතර, ඇගේ යූටියුබ් නාලිකාවට හා SL VLOGS යූ ටියුබ් නාලිකාවට උඩුගත කරන ලද එම ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමට අදාළ වීඩියෝ දර්ශන ඉවත් කර ගැනිණි. නතාෂා අත්අඩංගුවට පත් වූයේ, පවතින පීඩාකාරී හා අනාරක්ෂිත වාතාවරණය හමුවේ විදේශගත වීම සඳහා ගුවන්තොටුපළේ රැඳී සිටියදීය.
ඇය අත්අඩංගුවට ගැනීම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්, ආගමන හා විගමන පාලකවරයාගේ සහාය ඇතිව සිදු කළ රහස්‍ය මෙහෙයුමකි. එය සිදු වූයේ 2023 මැයි 28 වැනිදා අළුයම 1.30ට පමණය. එහෙත් රූපවාහිනී නාලිකා රැසකින් අත්අඩංගුවට ගැනීම ඒ මොහොතේම ආවරණය කෙරුණු අතර අපරාධකාරියක ලෙස ඇය රැගෙන යන දර්ශන දින ගණනක් තිස්සේ මාධ්‍ය ඔස්සේ පළ කෙරිණි. ඉන් පසුව, විමර්ශන සඳහා සීඅයිඩීය විසින් ඇය සිය නිවසට රැගෙන යන අවස්ථාවද ඒ ආකාරයෙන්ම මාධ්‍ය මගින් ආවරණය කෙරිණි. අධිකරණ විනිශ්චයට ලක් වීමට කලින්ම ඇය අපරාධකාරියක ලෙස හංවඩු ගැසීමක් එම වාර්තාකරණය ඔස්සේ සිදු විය. පිළිගත් මුද්‍රිත මාධ්‍ය තුළ පවා ඇය සම්බන්ධයෙන් වාර්තා කෙරුණේ සැකකාරියක ලෙස නොව වරදකාරියක ලෙසිනි.
”බුදුදහමට අපහාස කළ නතාෂා 7 දා දක්වා රිමාන්ඩ්”- 2023-05-29 දිනමිණ සහ “බුද්ධාගමට ගැරහූ කත නතාෂා රිමාන්ඩ්“- 2023-05-29 ලංකාදීප සිරස්තල ඒ පිළිබඳ උදාහරණ වේ. රූපවාහිනී පත්තර විස්තර ඉදිරිපත් කරන්නෝ මෙම සිරස්තලවලට සිය ලුණු ඇඹුල්ද එක් කළහ. මෙම තත්ත්වය පිළිබඳව සමාජ මාධ්‍ය සටහනකින් ප්‍රතිචාර දැක්වූ නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ පෙන්වා දුන්නේ, “ඇතැම් අය නතාෂා කෙරෙහි පතුරවන වෛරය නතාෂාගේ ප්‍රකාශයට වඩා බරපතෙළ බව” යි.
වෛරයට ඉන්ධන සැපයීම
2023 මැයි 28 වන දින, නඩු අංක B25774/2023 යටතේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නතාෂාට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කරන ලදි. ඒ, 2007 අංක 56 දරන ජාත්‍යන්තර සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් සම්මුතිය (ICCPR) පනතේ 3 වන වගන්තිය, ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 120, 291(a) සහ 291(b) වගන්ති මෙන්ම 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ 6 වන වගන්තිය යටතේ සිදු කර ඇතැයි කියන වැරදි සම්බන්ධයෙනි. ඒවා ‘වාර්ගික හෝ ආගමික වෛරය අවුළුවන ප්‍රකාශ සිදු කිරීමට’ සම්බන්ධ වේ.
නතාෂාගේ ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමට ඇතුළත් වූ ප්‍රකාශ සම්බන්ධයෙන් ICCPR) පනතේ 3 වන වගන්තිය යටතේ චෝදනා ගොනු කළ නොහැකි බව විත්තිකාරියගේ නීතිඥවරුන් අධිකරණය හමුවේ පෙන්වා දුන් නමුත් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ එම කරුණු දැක්වීම් ප්‍රතික්ෂේප කළේය. මැයි 22 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේදී නතාෂාට ඇප ලබා දෙන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා, “ප්‍රශ්නගත ප්‍රකාශය තුළ බෞද්ධ චරිතය සහ බෞද්ධ සාහිත්‍යය අතිශයින් හෑල්ලුවට ලක් වී ඇති බවත් කරුණු සියල්ල සලකා බැලීමේදි සැකකාරිය ICCPR පනතේ 3 (1) යටතට ගැනෙන වරදක් සිදු කර ඇති බව අධිකරණයේ මතය” බවත් ප්‍රකාශ කළේය.

මහේස්ත්‍රාත් අධිකරණයේදී පොලිසිය හා පැමිණිලි පාර්ශ්වයේ නීතිඥවරුන් සිදු වූ කරුණු දැක්වීම් මෙන්ම මහේස්ත්‍රාත්වරයා විසින් කළ ප්‍රකාශ පවා මාධ්‍ය ඔස්සේ නතාෂාට එරෙහිව දියත් වූ වෛරී ප්‍රචාරණයට උත්ප්‍රේරක ලෙස යොදාගැනෙන බව පෙනෙන්නට තිබිණි. නතාෂා මානසික රෝගයකින් පෙළෙන බවත්, බුද්ධාගමට එරෙහි අන්තර්ගතයන් යූටියුබ් ඔස්සේ ප්‍රචාරය කිරීමෙන් මුදල් උපයාගෙන ඇති බවත් එවැනි නිදසුන්ය.
නතාෂාට එරෙහිව පමණක් නොව, ඇය වෙනුවෙන් පෙනී සිටි සිවිල් පුරවැසියන් මෙන්ම, අධිකරණය හමුවේ ඇගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේයැයි වැරදි ලෙස වාර්තා වූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ද වෛරී ප්‍රකාශවලට ඉලක්ක විය. නතාෂාගේ ප්‍රහසනය සිනාසෙමින් රසවින්දේ යැයි, ලකයි-සිකයි නමින් ප්‍රකට ප්‍රහසන ශිල්පීන්ද වෛරී ප්‍රකාශවලට ලක් වූ අතර ඉන් එක් ශිල්පියකුගේ බිරිඳ සහ දරුවන්ට සිය ජීවිතාරක්ෂාව සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිහිට පතන්නට සිදු විය.
කොළඹ මහාධිකරණය හමුවේ නතාෂාගේ ඇප ඉල්ලීම සලකා බැලුණු අවස්ථාවේදී නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මෙසේ කියා සිටියේය:
"ස්වාමීනී.. මෙම තැනැත්තිය "මෝඩාභිමානය" වැඩ සටහන් තුනක් පවත්වා තිබෙනවා. තුන්වෙනි වැඩසටහන ඇය යොදා ගත්තේ බුදු දහමට නිග්‍රහ කිරීමටයි. ඇය ආගම ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා. ඇය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ උගත් තැනැත්තියක්. ඇය 2017 වසරේ සිට විශාදය නමැති රෝගයට ප්‍රතිකාර ලබා ගන්නා බවටත් සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවයෙන් පෙළෙන බවටත් පරීක්ෂණවලින් පෙනී ගොස් තිබෙනවා. මෙවැනි තැනැත්තියක් ප්‍රහසන වැඩසටහන් ඉදිරිපත් කිරීමට යාම කොයිතරම් භයානක ද කියලා එකෙන් පේනවා. ඇය මුළු වැඩසටහන පුරාම ඉදිරිපත් කර තිබෙන වචන අසභ්‍ය මෙන්ම අශ්ලීල බවින් යුක්තයි. අසභ්‍ය හා අශ්ලීල බව සරල කරමින් සමාජගත කිරීම තමයි ඇය සිදු කර තිබෙන්නේ. එපමණක් නෙවෙයි මේ වගේ වීඩියෝ පට යූ ටියුබ් නාලිකාවට උඩුගත කරලා ඇය වාර්ෂිකව රුපියල් ලක්ෂ 14ක පමණ ආදායමක් උපයාගෙන තිබෙනවා"
මහාධිකරණයෙන් ඇප ලැබීම

කෙසේ නමුත්, මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි, නතාෂාට ඇප නියම කරමින් 2023 ජූලි 06 වැනිදා ලබාදුන් තීන්දුව, මෙම සිදුවීම්දාමයෙහි පැහැදිලි හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළේය. ICCPR පනතේ 3(1) වගන්තිය යටතේ චෝදනාවක් ගොනු කිරීම සඳහා සලකා බැලිය යුතු නිර්ණායක පිළිබඳව දීර්ඝ විවිරණයක් කළ විනිසුරුවරයා පෙන්වා දුන්නේ, සැකකාරියගේ ප්‍රකාශය තුළින් මහජන කැළඹීමක් ඇති වූ බව තහවුරු කෙරෙන කරුණු කිසිවක් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති බී වාර්තාවේ සඳහන් නොවන බවයි. ඒ අනුව බැලූ බැල්මටම එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනතේ 3(1) වගන්තියෙන් සඳහන් වැරදි සම්බන්ධයෙන් කරුණු අනාවරණය නොවන හෙයින් සැකකාරිය රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කළේය.
ඒ අනුව දින 39ක් බන්ධනාගාරගත කර සිටි නතාෂා ඇප මත මුදාහැරිණි. එයින් වසරකට පසුව, ඇයට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා ඉදිරියට ගෙන යෑමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පිළිගත් නීතිපතිවරයා ඒ බව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන් අතර, ඒ අනුව නතාෂා එදිරිසූරිය සහ SL-Vlogs යූ ටියුබ් නාලිකාවේ හිමිකරු බෲනෝ දිවාකර අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය 2024 ජුනි මස 18 වෙනිදා නියෝග කළේය.

මානව හිමිකම් කොමිසමේ තීන්දුව
තමන් අනීතිකව ලෙස අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නතාෂා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර, 2024 ඔක්තෝබර් 09 වැනිදා එහි තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි. මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු (විශ්‍රාමික) එල්.ටී.බී. දෙහිදෙණිය සහ කොමිසමේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතිඥ නිමල් පුංචිහේවා විසින් දෙන ලද එම තීන්දුවෙන්, නතාෂා අත්අඩංගුවට ගැනීමෙන් ඇයගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට තීරණය කොට, වගඋත්තරකරුවන් විසින් ඇයට සාමූහිකව රු. 50,000ක වන්දි මුදලක් ගෙවිය යුතු බවටද නියම කෙරිණි.
මෙහිදී 1 වන, 2 වන සහ 3 වන වගඋත්තරකරුවන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(1), 12 සහ 14(1)(අ) වගන්ති යටතේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවද 4 වන වගඋත්තරකරුගේ ක්‍රියාමාර්ග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන වගන්තිය උල්ලංඝනය කිරීමක් බවද කොමිසමේ නිගමනය විය.
2022 මැයි 23 වන දින පොලිස්පතිවරයා විසින් නිකුත් කරන ලද RTM 541 චක්‍රලේඛය මගින් පනවන ලද, ICCPR පනත යටතේ පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා වන ක්‍රියා පටිපාටික නියෝග මෙම නඩුවේදී පිළිපැද නොමැති බවත්, එවාට අනුගත වූයේ නම්, වින්දිතයාට සිදු වූ සැලකිය යුතු අගතීන් වළක්වා ගත හැකිව තිබූ බවත් කොමිසම පෙන්වා දී තිබිණි.
නතාෂාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සමථයකින් අවසන් වූ නමුත් නතාෂාට ඇප නියම කරමින් මහාධිකරණය ලබා දුන් තීන්දුව සහ මානව හිමිකම් කොමිෂන් සභා තීන්දුව යන දෙකෙන්ම, නතාෂා ICCPR පනත යටතේ අත්අඩංගුවට ගැනීම වැරදිසහගත බවත්, ඇය බුදුදහමට අපහාසයක් සිදු කර නොමැති බවත් පැහැදිලිව තීන්දු කොට තිබේ. මානව හිමිකම් කොමිසමේ තීන්දුව ඉනුත් ඔබ්බට ගොස්, නතාෂාගේ ප්‍රහසනාත්මක ඉදිරිපත් කිරීම කලාත්මක ප්‍රකාශනයක් ලෙස යම් ඇගයීමකටද ලක් කරයි:
"පෙත්සම්කාරියගේ රංගනයේදී බුදුන් වහන්සේගේ ළමා කාලය පිළිබඳව කරන ලද සඳහන කිසිදු ආකාරයකින් බෞද්ධ ඉගැන්වීම් අපකීර්තියට පත් කිරීමක් හෝ පහත් කිරීමක් නොකරයි. ඒ වෙනුවට, එය ප්‍රේක්ෂකයින්ට සමාජ සම්මතයන් සහ අපේක්ෂාවන් ගැන- විශේෂයෙන් දෙමාපියන් තම දරුවන්ගේ කුසලතා සහ හැකියාවන් අන් අය සමඟ සංසන්දනය කිරීමේ ප්‍රවණතාව ගැන- මෙනෙහි කිරීමට අවස්ථාවක් ලබා දෙයි. මෙම ප්‍රකාශනය දෙමාපියන්ට තම දරුවන්ගේ පෞද්ගලිකත්වය හඳුනාගෙන අගය කිරීමට දිරිගන්වන අතර ආගමික විශ්වාසයන්ට අපහාස කිරීම හෝ අවමානයට පත් කිරීම අරමුණු කර ගෙන නොමැත."
සම්පූර්ණ නඩු තීන්දුව සඳහා සබැඳිය මෙතනින්
මාධ්‍යයේ හා සමාජයේ වගවීම
නතාෂාට යළි පූරණය කළ නොහැකි තරම් විශාල හානියක් සිදු වුවද, නීතිමය යාන්ත්‍රණය ඇයගේ නිර්දෝෂීභාවය උපරිම අන්දමින් තහවුරු කොට ඇති බව පැහැදිලිය. එහෙත් කිසිදු සාධාරණ හේතුවකින් තොරව ඇය එතරම් විශාල පීඩාවකට ලක් කළ ජනමාධ්‍ය හා ජන සමාජය ඇයට යුක්තිය ඉටු කිරීමට සූදානම්ද? අඩුම තරමින් නතාෂා පැවසූ පරිදි ඒ පිළිබඳ විචාරශීලීව යළි සිතා බැලීමට සූදානම්ද?
සිය මූලික අයිතිවාසිකම් පෙත්සම සමථයට පත් කර ගැනීමෙන් පසුව නතාෂා ජනමාධ්‍ය අමතමින් කළ ප්‍රකාශය ඇතුළත් වීඩියෝවක්, ප්‍රකට මාධ්‍යවේදියකු හා සමාජ ක්‍රියාකාරිකයකු වන තරිඳු උඩුවරගෙදර සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබිණි. මේ සටහන ලියවෙන මොහොත වන විට එය 150,000කට අධික පිරිසක් නරඹා ඇති අතර 525 දෙනෙක් එහි සිය ප්‍රතිචාරය සටහන් කර තිබිණි. නීතියෙන් නිදොස් කොට නිදහස් කළද ඇය නිර්දෝෂී බව පිළිගැනීමට අකමැති හා වෛරි ප්‍රහාරය අත්හැරීමට සූදානම් නැති විශාල පිරිසක් සිටින බවත්, තවත් සැලකිය යුතු පිරිසක් සමස්ත සිදුවීම සම්බන්ධයෙන් දැඩි අනවබෝධයකින් පසුවන බවත් එම ප්‍රතිචාරවලින් පැහැදිලි වෙයි.
මෙම නිදර්ශනය, නතාෂා අපේක්ෂා කරන සමාජ යුක්තිය යථාර්යක් බවට පත් කර ගැනීම කෙතරම් දුෂ්කර කාර්යයක්ද යන්න පිළිබිඹු කරයි. එය පෞද්ගලිකව නතාෂා පමණක් නොව, මාධ්‍ය සමාජයත්, පුරවැසි සමාජයත් සාමූහිකව විසඳුම් සෙවිය යුතු අභියෝගයකි.
(සටහන | සෝබා කෝලියවංශ)
මාධ්‍යවේදීනී
sobakoliyawanshe@gmail.com




