ඉතිහාසයේ ගුරුවරුන්ට එරෙහි දැවැන්තම දේශපාලන පලිගැනීම සිදු කෙරුණේ 1977 ජුලි මැතිවරණයට ජයවර්ධනගේ නායකත්වයෙන් තරග කළ එ.ජා.පය ජයග්‍රහණය කිරීමත් සමග ය.
ඊට පෙර, 1965 මැතිවරණයෙන් ඩඩ්ලි සේනානායක ආණ්ඩුව පිහිටවූ පසු, අධ්‍යාපන ඇමති වූ අයි.එම්.ආර්.ඒ ඊරියගොල්ල විසින් දේශපාලන පලිගැනීම් වස් ගුරු සංගම් නායකයින් යැයි 20 ක් 30 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් පාසල් වලට මාරුකර යවනු ලැබිණ. ජයවර්ධන ආණ්ඩුව පිහිටවූ විගස, “යු.ඇන්.පී විරෝධී” ප්‍රාදේශීය ක්‍රියාකාරීන්ට පහර දෙනු ලැබූ අතර, දකුණේ ග්‍රාමීය පාසල්වල සිය ගණනක් විදුහල්පතිවරුන්, ගුරුවරුන් මැතිවරණයේදී එ.ජා.පයට විරුද්ධව කටයුතු කළේ යැයි යාපනය, වවුනියාව, මඩකළපුව වැනි ප්‍රදේශ වලට මාරුකර හැරියහ. තවත් සිය ගණනක් වෙනත් දිස්ත්‍රික්ක වල දුෂ්කර පාසල් වලට මාරුකර හැරියහ.

මේ දේශපාලන පලිගැනීමට එරෙහිව ලංකා ගුරු සංගමය මුල් වූ විරෝධයක් සමග අධ්‍යාපන අමාත්‍යාංශය වැටලීමේ තීන්දුව ගුරු සේවයේ ප්‍රථම විවෘත, සාමුහික ක්‍රියාකාරී විරෝධය විය. එකල අධ්‍යාපන අමාත්‍යාංශයත් විභාග දෙපාර්තමේන්තුවත් පැවතියේ මැලේ වීදියෙහි ය. ලංකා ගුරු සංගම් කාර්යාලයද මැලේ වීදියේ පැවති හෙයින්, විරෝධය මෙහෙයවනු ලැබුවේ ගුරු සංගම් කාර්යාලයට ගොනු වූ ගුරු සංගම් නායකයින් විසිනි. දෙතුන් දහසකට වැඩි ගුරුවරුන් විසුරුවා හැරීමට පොලිසියේ අශ්ව බලකාය යොදවනු ලැබිණ. ඒ විරෝධය සක්‍රීය, සාර්ථක විරෝධයක් බවට පත් කිරීමේ බිම් මට්ටම හැදූ ක්‍රියාකාරීන්ගෙන් එක් අයෙකු විමල් ප්‍රනාන්දු යැයි කියනු මම කිහිප තැනකදී අසා ඇත්තෙමි.
රජයේ සේවකයින්ගෙන් දේශපාලන පලි ගැනීම් ගත නොහැකිවූ, දේශපාලන පක්ෂ නොතිබුණු යටත් විජිත පාලනය යටතේ 1930 දසකයේ පැවති රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණ වල අපේක්ෂකයින් අතර අපමණ ගැටුම් තිබිණ. ගහ මරා ගත් අවස්ථාද තිබිණ. නිදහසින් පසු “තනි ආසන” සඳහා මන්ත්‍රීවරයෙකු පත් කිරීමේ මැතිවරණ ක්‍රමයෙහි එවැනි ගැටුම් ඇතිවීම, කෙමෙන් අඩු විය. ජයවර්ධන ජනාධිපති ‘78 හඳුන්වා දුන් මනාප සහිත අනුපාත ඡන්ද ක්‍රමයෙහි දිස්ත්‍රික්කයක ඡන්ද එකතු කර ගැනීමට පක්ෂ අතර වාගේම, “මනාප” එකතු කර ගැනීමට පක්ෂයේ අපේක්ෂකයින් අතරද ලොකු තරග පැවතින. මැරයින් පිරිවරා ගෙන ඡන්ද ව්‍යාපාරයේ නියැලීම නිතර දකින්නට තිබුණකි. එවැනි මැතිවරණ වල, “ඡන්ද පෙට්ටි බලහත්කාරයෙන් පිරවීම”, බහුල සිදුවීමක් වූවකි. ගමේ බහුතර ඡන්දය තමන්ට නොලැබේ යැයි ගම්මුන් ඡන්දය දීමට පැමිණීම සහමුලින් අවහිර කළ මැර අපේක්ෂකයෝද වූහ. ඒ බොහෝමයක් රාජ්‍ය බලය සමගින් සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා ය.

රාජ්‍ය බලය සමග පැවති ප්‍රචණ්ඩ මැතිවරණ හමුවේ “ඡන්දය” ඉන් නිදහස් කර ගැනීමට උත්තර සෙවූ සමාජ ක්‍රියාකාරීන් කිහිප දෙනකු වූහ. කොළඹ ඉහළ පැලැන්තියේ රාජ්‍ය නොවන ආයතනයක් වන “මාර්ගා” ආයතනයේ ප්‍රධානී ගොඩ්ෆ්රි ගුණතිලක, සමාජය හා සාමයික කේන්ද්‍රයේ ගරු තිස්ස බාලසූරිය පියතුමා, ජාතික සමගිය සඳහාවන පුරවැසි කමිටුවේ ප්‍රධානී බෝගොඩ ප්‍රේමරත්න, ශ්‍රී ලංකා කතෝලික සභාවේ නිව්ටන් ප්‍රනාන්දු වැනි කිහිප දෙන මැතිවරණ නිරීක්ෂණය කිරීමේ සංවිධානයක් පිහිටුවා ගැනීම සම්බන්ධව සාකච්ඡා ගණනාවක් 1987/88 වන විට බොහෝ රාජ්‍ය නොවන සංවිධාන හා සමාජ ක්‍රියාධරයින් සමග පවත්වා තිබිණ.
ඔවුන් අතර MDDR නමින් ප්‍රසිද්ධ “ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ” නිර්මාතෘවරයෙකු වන විමල් ප්‍රනාන්දු පෙනී සිටියේ තවත් සංවිධානයක් හැදීම වෙනුවෙන් නොවේ. ඔහු මැතිවරණවල ප්‍රචණ්ඩ ක්‍රියා නතර කර ගැනීමට සාකච්ඡා කරමින් සිටියේ ජනතා ව්‍යාපාරයක් හැදීමෙනි. මැතිවරණ නිරීක්ෂණයේදී බිම් මට්ටමේ ජාතික ජාලයක අවශ්‍යතාව දුටු විමල්, එය ආයතනගත කාර්යක් ලෙස නොව, ජනතා වගකීමක් ලෙස ජනතාව බාර ගත යුතු කාර්යක් යැයි විශ්වාස කළේය. ඕනෑම කාර්යකදී විමල්ගේ සුපුරුදු ප්‍රවේශය වූයේ ක්‍රියාකාරී පිරිස් දැනුවත් කිරීමෙන් බිම් මට්ටමේ සංවිධානගත වීම, සමාජ පලිහක් ලෙස ඉදිරිපත් කිරීමය.
“නිදහස් සහ සාධාරණ” මැතිවරණ පවත්වා ගැනීම වෙනුවෙන් ප්‍රාදේශීය මැර ක්‍රියා, බලහත්කාර ඡන්ද ව්‍යාපාර නතර කර ගැනීමට, සියලු ඡන්ද මධ්‍යස්ථාන ආවරණය කෙරෙන ජාතික මැතිවරණ නිරීක්ෂණයක් කිරීම සඳහා, ගොඩ්ෆ්රි ගුණතිලක, පූජ්‍ය වැල්ලවත්තේ ඥාණාභිවංස හිමි, තිස්ස බාලසූරිය පියතුමා, ආචාර්ය ඒ.ටී. ආරියරත්න, චන්ද්‍රා සොයිසා, බෝගොඩ ප්‍රේමරත්න, නිව්ටන් ප්‍රනාන්දු, බ්‍රිගේඩිය ඩෙනිස් හපුගල්ල (විශ්‍රාමික), රොහිණි ද මැල්, බ(ර්)නඩීන් සිල්වා ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන නියෝජනයක් සහිත තවත් සැළකිය යුතු පිරිසක් 1988 නොවැම්බර 02 සහ අනතුරුව 18 වන දින රැස්වී කළ සාකච්ඡාවල ප්‍රතිපලයක් ලෙස මැතිවරණ නිරීක්ෂණය වෙනුවෙන් පැෆ්රල් (PAFFREL – People's Action for Free & Fair Elections) සංවිධානය පිහිටු වින.
එයට බිම් මට්ටමේ සැබෑ ජනතා සහායක් සහිත ක්‍රියාකාරිත්වයක් එන්නත් කරනු ලැබුණේ විමල්ගේ අදහස් දැක්වීම්, සංවාද සාකච්ඡා ඔස්සේ ය. ඇතැම් ප්‍රදේශවල පුරවැසි කමිටු, ජනතා නිරීක්ෂණ කමිටු වැනි මැතිවරණ ඉලක්ක වූ ප්‍රජා ගොනුවීම් ඇති වූයේ විශේෂයෙන් විමල්ගේ මැදිහත් වීමෙනි. ඔහුගේ එවැනි මැදිහත්වීම් පළමු වසර කිහිපයේ පැෆ්රල් සංවිධානයට ඓන්ද්රීය ජනතා ව්‍යාපාරයක හැඩ රුව ලබා ගැනීමට බෙහෙවින් ප්‍රයෝජනවත් විය. ඔහුගේ දේශපාලනය හැම විටම ප්‍රජා මූල ප්‍රවේශයක් ඇතිව අභ්‍යාස වන්නකි. එනිසාම නොවුනත් විමල්ගේ සමාජ ක්‍රියාකාරිත්වය ගැන කිව යුතු බොහෝ දේ ඇත.

පිය පස දේශපාලනයට අනුව විමල් “සමසමාජ” දේශපාලනයේ කොතැනක හෝ සිටිය යුතු වූවත් ඔහුගේ දැනුවත් ජීවිතයේ පළමු දේශපාලන තේරීම “මාඕවාදී දේශපාලනය” විය. නමුත් ඔහු ශන්මුගදාසන්ගේ “චීන කොමියුනිස්ට් පක්ෂයට” සම්බන්ධ නොවුනි. ඔහු ‘71 අප්‍රේල් කැරැල්ලට පෙර ජ.වි.පෙ ආශ්‍රිතව ක්‍රියාකාරීව සිටි ජී.අයි.ඩී. ධර්මසේකර කණ්ඩායම, සහ යාපා ගේ “පෙරදිග සුළං කණ්ඩායම” සමග සමීප සම්බන්ධකම් පැවැත් වීය. ඔහුගේ බාල සොහොයුරන් දෙදෙන ජ.වි.පෙ සන්නද්ධ ක්‍රියාකාරිත්වයට හවුල් වූ හෙයින් ඒ දේශපාලනයද ඔහුගේ දේශපාලන කියවීමට අයත් වින. බණ්ඩාරනායක මැතිනියගේ සභාග ආණ්ඩුව සති කිහිපයක් ගත වෙත්ම ‘71 කැරැල්ල මුළුමනින් මෙන් මර්දනය කළ පසු බන්ධනාගාරගත කෙරුණු සොහොයුරන්ද විජේවීර නායකත්වය දැඩි විවේචනයට ලක් කරන්නාවූ විකල්ප කණ්ඩායමකට හවුල් වූ අතර, විමල්ද ඒ අතර ජවිපෙ දේශපාලනය මග හැර, “වාම විකල්ප” හැදීමේ උනන්දුවක් පෙන් වීය.

එනමුත් ඔහු 70 දසකයේ දෙවන භාගයේදී ලංකා ගුරු සංගමයේ නායක මණ්ඩලයෙහි මාඕවාදී විකල්ප කණ්ඩායම සමග ගුරු සංගම් වැඩ වෙනුවෙන් වැඩි කාලයක් වැය කළේය. ගුරු සංගමයෙහි ඔවුන්ගේ දේශපාලනයට ඔවුන් අවකාශයක් හදා ගත්තේ ගුරු ගැටළු වෙනුවෙන් වඩා සටන්කාමීව පෙනී සිටීමෙනි. ඒ කාලයේ ලක්ෂයකට ආසන්න වූ ගුරු සේවයේ සියයට 70 ක් පමණ වූ “සාමාන්‍ය පුහුණු” ගුරුවරුන්ගෙන් බහුතරය කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ, දේ පීටර් සිල්වා ගේ සංගමය යැයි ප්‍රසිද්ධව තිබූ ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ සාමාජිකත්වය ලබා සිටියහ. “ලංකා ගුරු සංගමය” යැයි භාවිත වන “සිලෝන් ටීච(ර්)ස් යුනියන්” නමින් ලියාපදිංචිව ඇති ගුරු සංගමය, මූලාරම්භයේ මහරගම ගුරු අභ්‍යාස විදුහලේ ඉංග්‍රීසි පුහුණු ගුරුවරුන් ඔවුන්ට සීමා කර ගනු ලැබූ “සෙකන්ඩ්‍රි ටීච(ර්)ස් යුනියන්” යැයි වූ ගුරු සංගමය වන්නේය. එය 1957 දී ආර්.අයි.ටී අලස්, ඒ.ටී.ආරියරත්න වැනි ගුරුවරුන් කිහිප දෙනෙකු විසින් “සිලෝන් ටීච(ර්)ස් යුනියන්” ලෙස, මහරගම හා පලාලි ගුරු පුහුණු විද්‍යාලවල අනෙක් විශේෂ පුහුණු ගුරුවරුන් සඳහා විවෘත කරුනු ලැබුණකි. ‘60 දසකයේ මුල් භාගයේ මහරගම ගුරු පුහුණුව ලැබූ ඒ.බී.සී.සිල්වා, එච්.එන්.ප්‍රනාන්දු, චිත්‍රාල් පෙරේරා වැන්නන් එය සමස්ථ ගුරු සේවයටම විවෘත කළ යුතු යැයි යෝජනා කළහ.

ඒ වනවිට, ‘60 දසකයේ දෙවන භාගයේදී ගුරු වෘත්තියට ඇතුළු වූ විමල්, අනෙක් තරුණ ගුරුවරුන් සමග ඒ.බී.සී අයත් වූ විකල්ප කණ්ඩායම “සිලෝන් ටීච(ර්)ස් යුනියන්” හි නායකත්වයට ගෙන එන්නට හවුල් වූහ. තම ගුරු සංගමයේ සාමාජිකත්වය ගුරුවරුන් සැමට විවෘත කිරීම ගැන තිබූ කතාව ඒ.බී.සී නායකත්වයට ගෙන එන්නට කළ ප්‍රචාරක වැඩ සමග ඔවුන් ගැට ගැසීය. අනුරාධපුරයේ පැවති ‘72 වර්ෂයේ නියෝජිත වාර්ෂික සමුළුවේදී ගුරු සංගමය සියල්ලන්ට විවෘත කිරීමේ යෝජනාව සම්මත කර ගැනීමට දිස්ත්‍රික් නියෝජිතයින් පත්කර ගැනීම සඳහා අතින් වියදම්කර ගනිමින් රට පුරා ගිය කිහිප දෙනාගෙන් විමල් ප්‍රමුඛයෙකු විය. 1972 න් පසු “සිලෝන් ටීච(ර්)ස් යුනියන්” සාමාජිකත්වය ගුරු සේවයේ සියල්ලන්ට විවෘත විය. ඒ සැණෙන්, “සිලෝන් ටීච(ර්)ස් යුනියන්” නම “ලංකා ගුරු සංගමය” යනුවෙන් සිංහල භාවිතයට හුරු කෙරිණ.
මේ පරිවර්තනයෙහි ඊළඟ තාර්කික ඉල්ලීම වූයේ, පුහුණු ගුරුවරුන් සියල්ලන්ට සමාන වැටුපක් දිනා ගැනීම විය. සාමාන්‍ය පුහුණු ගුරුවරුන්ට වඩා වැඩි වැටුපක් එකල විශේෂ පුහුණු ගුරුවරුන්ට හිමි විය. “සමාන පුහුණුවට සමාන වැටුපක්” ගෙවිය යුතු යැයි ඉල්ලීම එනමුත් ඉදිරිපත් කෙරුණේ බහුතරයක් සාමාන්‍ය පුහුණු ගුරුවරුන් සාමාජිකත්වය ලබා සිටි ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයෙන් නොවේ. එය ඉදිරියට ගනු ලැබුවේ වැඩි වැටුප් ලැබූ විශේෂ පුහුණු ගුරුවරුන්ගේ ගුරු සංගමය ලෙස සැළකුණු ලංකා ගුරු සංගමය මගින් ය. ඒ වෙනුවෙන් අනෙක් ගුරු සංගම් හවුල් වූ ගුරු සංගම් එකතුවක් හැදීමේ කාර්යයේදී තිරය පිටුපස බර ඇද්දේ විමල් සමග මාඕවාදී ගුරුවරුන් අතළොස්ස ය. ඔවුන් අතර, කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ ප්‍රධාන චරිතයක් වූ විමල් සමග ඉතා සමීප සම්බන්ධයක් පැවැත්වූ එස්.ජී.පුංචිහේවා වැනි කිහිප දෙනෙකුද වූහ.
ඔවුන්ගේ උද්ඝෝෂණය 1974 වන විට එච්.එන්-චිත්‍රාල් දෙපළ විසින් උපාධිධාරී ගුරු සංගමය, ශ්‍රී ලංකා නිදහස් අධ්‍යාපන සේවා සංගමය, ශ්‍රී ලංකා එක්සත් ගුරු සංගමය වැනි ගුරු සංගම්ද හවුල් කර ගනු ලැබූ ගුරු සේවාවේ තවත් අලුත් පරිවර්තනයකට මුල පිරුමක් වූවකි. පුහුණු වැටුප් සතු ලොකුම විෂමතාව අහෝසි කිරීම යනු හුදෙක් වැටුප සම්බන්ධ විෂමතාවක් පමණක්ම නොවුනි. එය ගුරු සේවයේ සංයුතිය හා පිළිගැනීම සම්බන්ධව පැවති විෂමතාවක්ද විය. මේ ඉල්ලීම රැගත් උද්ඝෝෂණයට ගුරු මණ්ඩල වලද සහාය ලැබුණු හෙයින් 1974 සැප්තැම්බරයේදී ගුරු සංගම් එකතුව විසින් කොළඹ හයිඩ් පිටියේ ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වා බණ්ඩාරනායක අගමැතිනියගේ ආණ්ඩුවට අවසන් දැනුම්දීමක් ඉදිරිපත් කෙරුවේ, ඉතිහාසයේ පළමු වරට ගුරු වැඩ වර්ජනයක් ගැන ප්‍රකාශයක් කිරීමෙනි.

ආණ්ඩුව ඉන් මඳක් කලබල විය. ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ නායක ආරියවංශ සහ ශ්‍රි.ල.නි.ප ගුරු සංගමයේ නායක බණ්ඩාර සමග සාමාන්‍ය පුහුණු ගුරු වැටුප් වැඩි කිරීම ගැන සාකච්ඡා වහා පැවැත් වීය. ලංකා ගුරු සංගමය වැටුප් වැඩි කිරීමකට වාගේම ගුරු සංගම් දෙකක් සමගින් පමණක් සාකච්ඡා කිරීමට විරුද්ධ විය. ලංකා ගුරු සංගමයේ උද්ඝෝෂණ පදනම් වූයේ ඔවුන්ගේ ඉල්ලීම වූ පුහුණු ගුරු වැටුප් විෂමතාව ඉවත් කිරීම මිස සාමාන්‍ය පුහුණු ගුරු වැටුප වැඩි කිරීමක් නොවේ යැයි කීහ. එය විසඳිය හැකි එකම ක්‍රමය වන්නේ, විශේෂඥ ගුරුවරුන්ට ලබා දෙන වැටුප, සාමාන්‍ය ගුරු පුහුණුවටත් ලබාදීමෙන් යැයි ගුරු සාකච්ඡා වලදී විමල් පැහැදිලි කළේය.

ගුරු වර්ජනය ඔක්තෝම්බර 24 වන දිනට තීන්දු විය. පුහුණු ගුරුවරුන්ගේ වැටුප විශේෂඥ ගුරුවරුන්ගේ වැටුපට සමාන කිරීමට බණ්ඩාරනායක අගමැතිනියගේද එකඟත්වය ඇතිව, අධ්‍යාපන අමාත්‍යාංශය කලින් දින තීන්දු කළ බව, වර්ජනය දිනයේ ගුවන් විදුලි සංස්ථාවේ උදය ප්‍රවෘත්ති වලට ප්‍රකාශ කරනු ලැබිණ.
ගුරු වෘත්තියේදී විමල් අත ගැසූ අවසාන ලොකු බර වූයේ ‘80 ජුලි වර්ජනය සඳහා ලංකා ගුරු සංගමය එකඟ කරවා ගැනීම ය. ‘80 ජුලි වර්ජනය අවුරුද්දක පමණ කාලයක් වැඩපළ මට්ටමින් සංවිධානය කෙරුණු විශේෂයෙන් රජයේ සේවය ආමන්ත්‍රණය කෙරුණු වෘත්තීය සමිති ඒකාබද්ධ ක්‍රියාකාරී කමුටුවේ වගකීමක් වූවකි. ඒ වන විට විවෘත දේශපාලනයට පැමිණ සිටි විජේවීරගේ නායකත්වයෙන් වූ ජ.වි.පෙ, එයට විරුද්ධ විය. ඔවුන්ගේ අර්ථ දැක්වීම වූයේ, සාම්ප්‍රදායික පැරණි “වාමාංශික කල්ලි” කම්කරු පංතිය විනාශ කිරීමේ තීන්දුවක් ගෙන ඇතැයි යන්නය.

හදිසි නීතිය යටතේ ජුලි වර්ජකයින්ගේ රැකියා අහිමි කිරීම නීතියට පටහැනි නොවේ යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ පසු, රජයේ සේවකයින් 46,000 ට පමණ නැවත රැකියා ලැබීම, ජයවර්ධන ආණ්ඩුවේ අභිමතය අනුව සිදු වන්නක් විය. එහි අනෙක් ප්‍රතිපලය වූයේ මූලික මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නට ශක්තිමත් සංවිධානාත්මක බලයක් නොවුනු එදා ජන සමාජයේ අයිතිවාසිකම් වෙනුවෙන් සංවිධානාත්මකව පෙනී සිටි වෘත්තීය සමිති සමූහය අඩාල කිරීම ය. එවැනි වර්ධනයක් හමුවේ විමල්, පුංචිහේවා, සිවගුරුනාදන් සහ කිහිප දෙනෙකු එකතු වී විදේශ ආධාර මත ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතියක් ලෙස MDDR (ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය) සංවිධානය පිහිටුවා ගනු ලැබුවේ නැවත රැකියාවට යෑමේ අදහස අත හැරීමෙනි.
ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වූයේ අයිතිවාසිකම් සම්බන්ධව සමාජ ක්‍රියාකාරීන් හා තරුණ පිරිස් දැනුවත් කිරීමත් නීති ආධාර අවශ්‍ය පුද්ගලයින්ට පිහිට වීමත්, අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත්වන අයගේ ඉල්ලීම් තහවුරු කිරීමට මැදිහත් වීමත් ය. MDDR සංවිධානයේ පළමු දසකයෙහි, විමල්ගේ මුද්‍රාව දැකිය හැකි මැදිහත්වීම් කිහිපයකින් මෙහි සටහන් කළ යුතු යැයි සිතූවේ, දැනුවත් සමාජ සංවාදයකට කාලීන මාතෘකා යොමු කෙරුණු වින්සන්ට් කුරුඹාපිටියගේ සංස්කරණයෙන් පළ කෙරුණු “විවරණ” මාසික සඟරාව පවත්වා ගැනීමට ලබා දුන් සහායත්, මොණරාගල උක් ගොවීන්ගේ අරගලයට ගොනු කළ සහයෝගිතා ව්‍යාපාරයත්, සාධාරණ නිදහස් මැතිවරණ පැවැත්වීමට දායක වූ පැෆ්රල් සංවිධානයේ ජන පදනම හැදීමට එකතු කළ සාවාදාත්මක දායකත්වයත් අමතක නොකරන්නට ය.

බොහෝ දෙනෙකුගේ මතකයෙන් ගිලිහී ගොස් ඇති තවත් මැදිහත්වීමක් නම්, ගුවන් විදුලි ඉතිහාසයේද සටහන්ව තිබිය යුතු, 1994 අගෝස්තු මැතිවරණයෙන් පසු ගුවන් විදුලියේ ස්වදේශීය සේවයේ වූ තිලක් ජයරත්තන මෙහෙයවූ අධ්‍යාපන සේවා වැඩ සටහන අත්හිටුවීමට ගුවන් විදුලි පාලකයින් ගත් තීන්දුවට එරෙහිව, විමල් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ මානව හිමිකම් පෙත්සම ය. එම වැඩ සටහන අත්හිටුවීම අසන්නන්ට නව දැනුම, තොරතුරු හා කරුණු දැන ගැනීමටත් සංවාද සඳහා හවුල් වන්නට ඇති මූලික අයිතියක් අහෝසි කිරීමක් ලෙසත් කරුණු දැක්වූවකි. එය පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය, ගුවන් විදුලි අසන්නකු ලෙස විමල්ගේ මූලික අයිතියක් කඩවී ඇතැයි එම වැඩ සටහන නැවත ආරම්භ කරන මෙන් තීන්දුව දෙනු ලැබුවේය.


(සටහන | කුසල් පෙරේරා)ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2026 මාර්තු 10 වන දින




