The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ගැටලුව අපේ විදේශ අමාත්‍යවරයාගේ ඉංග්‍රීසි දැනුමේ අඩුකම නොවේ

T

The Leader Desk

March 13, 2026 • 4:32 AM

ගැටලුව අපේ විදේශ අමාත්‍යවරයාගේ ඉංග්‍රීසි දැනුමේ අඩුකම නොවේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දීය මාධ්‍යවේදිනී පල්කි ෂර්මා සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් අතර මෑතකදී පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව දේශපාලන හා මාධ්‍ය ක්ෂේත්‍ර තුළ දැඩි කතාබහට ලක්වී තිබේ.
  • එහිදී අමාත්‍යවරයා ඇතැම් ප්‍රශ්නවලට පිළිතුරු දීමේදී යම් අපහසුතාවයකින් පසු වූ බව නිරීක්ෂකයෝ පෙන්වා දෙති.
  • රාජ්‍ය තාන්ත්‍රික සන්නිවේදනයේදී ඉතා කුඩා ප්‍රකාශ පවා රටක් පිළිබඳ ආකල්ප හැඩගැස්වීමට හේතු වේ.
  • ලොව ඇතැම් ප්‍රබල නායකයන් රැසක් ජාත්‍යන්තර සබඳතා පවත්වන්නේ තම මව් භාෂාවෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම සාකච්ඡාව අතරතුර, තියුණු භූ-දේශපාලනික විශ්ලේෂණයන් සම්බන්ධයෙන් ප්‍රකට ෂර්මා විසින් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ඉන්දියාව, චීනය වැනි කලාපීය බලවතුන් සමඟ පවතින උපායමාර්ගික සබඳතා පිළිබඳව ඍජු ප්‍රශ්න කිහිපයක් යොමු කරන ලදී. එහිදී අමාත්‍යවරයා ඇතැම් ප්‍රශ්නවලට පිළිතුරු දීමේදී යම් අපහසුතාවයකින් පසු වූ බව නිරීක්ෂකයෝ පෙන්වා දෙති. මෙම සාකච්ඡාව සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් ප්‍රචාරය වූ අතර, ජාත්‍යන්තර වේදිකාවේදී රට නියෝජනය කරන දේශපාලන නායකයන් සතු සූදානම පිළිබඳ පුළුල් සංවාදයක් ද ඒ හරහා නිර්මාණය විය.

india vijithaවිජිත හේරත් ඇමතිවරයා සහ පල්කි ෂර්මා අතර වූ සාකච්ඡාව

මතු වූ දේශපාලනික කරුණුවලට අමතරව, අදහස් හුවමාරු කර ගැනීමේදී ප්‍රදර්ශනය වූ භාෂාමය සහ සන්නිවේදන කුසලතා ද විවේචනයට ලක් විය. රාජ්‍ය තාන්ත්‍රික සන්නිවේදනයේදී ඉතා කුඩා ප්‍රකාශ පවා රටක් පිළිබඳ ආකල්ප හැඩගැස්වීමට හේතු වේ.

නිදසුනක් ලෙස, වෘත්තීය කතිකාවකදී මීට පෙර අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති භාවිතා කළ “Big question” වැනි යෙදුම් අවිධිමත් (informal) ලෙස සැලකෙන අතර, ඒ වෙනුවට “Major issue” (ප්‍රධාන ගැටලුවක්), “Serious concern” (බරපතළ අවධානයක්) හෝ “Strategic challenge” (උපායමාර්ගික අභියෝගයක්) වැනි පද භාවිත කිරීම වඩාත් උචිත වේ.

මෙවැනි කරුණු සුළු ඒවා සේ පෙනුනද, ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලදී එමඟින් නියෝජිතයෙකු සතු විශ්වසනීයත්වය සහ පෞරුෂය මැනවින් විදහා දක්වයි.

charles qiuමේ ඡායාරූපයේ ඈත කෙළවරේ සිටින්නේ චීන ජනපතිවරයාගේ නිල භාෂා පරිවර්තක කින් චාල්ස්ය.
ගෝලීය රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලදී ඉංග්‍රීසි භාෂාව කථා කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් නොවේ. ලොව ඇතැම් ප්‍රබල නායකයන් රැසක් ජාත්‍යන්තර සබඳතා පවත්වන්නේ තම මව් භාෂාවෙනි. ඒ සඳහා ඔවුන් පරිවර්තකයන්ගේ සහාය ලබා ගනී.

නිදසුනක් ලෙස, චීන ජනාධිපති ෂී ජින්පිං ජාත්‍යන්තර රැස්වීම්වලදී නිරන්තරයෙන්ම පාහේ මැන්ඩරින් භාෂාව භාවිත කරයි. චීනය සිය ජාතික භාෂාව භාවිතයට මුල් තැන දෙන අතර, වෘත්තීය පරිවර්තකයන් හරහා නිවැරදි පරිවර්තනය සහතික කරනු ලබයි.

එමෙන්ම, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සිය නිල දේශන සහ මාධ්‍ය හමු පවත්වන්නේ රුසියානු භාෂාවෙනි. ඔහුට ඉංග්‍රීසි අවබෝධ කරගත හැකි වුවද, සංවේදී භූ-දේශපාලනික සාකච්ඡාවලදී නිවැරදිභාවය රැක ගැනීම සඳහා රුසියානු පරිවර්තකයන් හරහා සන්නිවේදනය කිරීමට කැමැත්තක් දක්වයි.

russian preරුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ද තම ජාතික අනන්‍යතාවයේ වැදගත් කොටසක් ලෙස ප්‍රංශ භාෂාව ප්‍රවර්ධනය කරමින් සිය දේශන ප්‍රංශ භාෂාවෙන්ම ඉදිරිපත් කිරීමට පෙළඹෙයි.

උතුරු කොරියාවේ කිම් ජොන් අන් කොරියානු භාෂාවත්, ඉරානයේ හිටපු නායක අලි කමේනි පර්සියානු භාෂාවත් සිය නිල සන්නිවේදන කටයුතු සඳහා පමණක් යොදා ගන්නා නායකයන් ලෙස ප්‍රකටය.

අතීත උදාහරණ ද මෙයට සමාන වේ. ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ සහ ජර්මනියේ හිටපු චාන්සලර් ඇන්ජෙලා මර්කල් ද සිය නිල සාකච්ඡාවලදී මව් භාෂාව භාවිත කළ අතර, ප්‍රංශයේ හිටපු ජනාධිපති ජැක් චිරාක් ජාත්‍යන්තර වේදිකාවේ ප්‍රංශ භාෂාව භාවිතය දැඩි ලෙස දිරිමත් කළේය. මෙම උදාහරණ මඟින් පසක් වන්නේ සාර්ථක රාජ්‍ය තාන්ත්‍රිකභාවය යනු චතුර ලෙස ඉංග්‍රීසි කථා කිරීම පමණක් නොවන බවයි.

 



කෙසේ වෙතත්, මෙම නායකයන් කැපී පෙනෙන්නේ ඔවුන් සතු දැඩි සූදානම, ප්‍රතිපත්තිමය පැහැදිලිකම සහ පරිවර්තකයන් හරහා පවා අදහස් ඉතා සාර්ථකව සන්නිවේදනය කිරීමට ඇති හැකියාව නිසා ය. ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකභාවය යනු තම රටේ ස්ථාවරය විශ්වාසයෙන් යුතුව ඉදිරිපත් කිරීමටත්, අසීරු ප්‍රශ්නවලට මුහුණ දීමටත්, ප්‍රතිපත්ති පැහැදිලිව විග්‍රහ කිරීමටත් ඇති හැකියාවයි. නායකයෙකු ඉංග්‍රීසියෙන් හෝ පරිවර්තනයක් හරහා කථා කළද, එම පණිවිඩය තාර්කික, විශ්වසනීය සහ උපායමාර්ගිකව නිවැරදි විය යුතුය.

වර්තමාන මාධ්‍ය සංස්කෘතිය තුළ ඕනෑම සාකච්ඡාවක් ක්ෂණිකව ලොව පුරා ප්‍රචාරය වේ. එබැවින් එහිදී සිදුවන සුළු හෝ පැකිලීමක් හෝ අපැහැදිලි බවක් රටක නායකත්වය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රතිරූපයට ඍජුව බලපායි.

භාෂා ඉගෙනීම සඳහා පවතින ප්‍රවේශය පිළිබඳව ද මෙහිදී කතාබහට ලක්විය යුතුය. අතීතයේදී විදේශ භාෂා ප්‍රගුණ කිරීම ප්‍රභූ පන්තියට හෝ වරප්‍රසාද ලත් සමාජ ස්ථරයකට පමණක් සීමා වූවක් ලෙස සැලකුණද, අද එම තත්ත්වය වෙනස් වී ඇත. YouTube, මාර්ගගත පාඨමාලා (online courses) සහ විවිධ ස්මාර්ට් යෙදුම් (apps) හරහා ඕනෑම අයෙකුට තම භාෂා කුසලතා වර්ධනය කර ගැනීමට අවස්ථාව තිබේ.

Advantages of Online Language Learning
විද්‍යාත්මක පර්යේෂණවලට අනුව, මිනිස් මොළයේ භාෂා ඉගෙනීම සඳහා වෙන් වූ සුවිශේෂී කොටස් පවතී. නිරන්තර අභ්‍යාසය සහ උනන්දුව මත ඕනෑම අයෙකුට සමාජ පසුබිම නොසලකා භාෂා කිහිපයක් ඉගෙන ගත හැකිය. වෙනත් වචනවලින් කිවහොත්, නූතන ලෝකයේ භාෂා ඉගෙනීම යනු තවදුරටත් වරප්‍රසාදයක් නොව, කැපවීම සහ විනය පිළිබඳ කරුණකි.

ශ්‍රී ලංකාව ඉතිහාසය පුරාම ජාත්‍යන්තර තලයේ ගෞරවයට පාත්‍ර වූ, ගැඹුරු දැනුමකින් සහ මනා සන්නිවේදන කුසලතාවයකින් හෙබි විදේශ අමාත්‍යවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් බිහි කළ රටකි. එම සම්ප්‍රදාය හා සසඳන විට, මෑතකාලීන සිදුවීම් හරහා වර්තමාන රාජ්‍ය තාන්ත්‍රික සූදානම පිළිබඳ ප්‍රශ්නාර්ථයන් මතු වී තිබේ.

මෙහිදී ගැටලුව වන්නේ භාෂාව පමණක් නොවේ. පීඩනය සහිත ජාත්‍යන්තර සාකච්ඡාවලදී රට වෙනුවෙන් පෙනී සිටීමටත්, අභියෝගාත්මක ප්‍රශ්නවලට විශ්වාසයෙන් යුතුව මුහුණ දීමටත් ඇති හැකියාවයි. රටක් නියෝජනය කරන පුද්ගලයන් සූදානමකින් තොරව හෝ අවිශ්වාසයකින් යුතුව පෙනී සිටින විට, එහි බලපෑම පුද්ගලික කීර්තිනාමයට පමණක් නොව මුළු රටේම ප්‍රතිරූපයට එල්ල වේ. එමෙන්ම එය රටක් කෙරෙහි පවත්නා රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීම අවම කිරීමට (unrecognition) ද හේතුවකි. ඒ අනුව, ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත්ගේ මෙම ඉදිරිපත් වීම ගැමි වහරට අනුව කිවහොත් “බැරි සිල් ගැනීමකි”.

 

Raisina Dialogue vijitha herath

ඒ අනුව පල්කි ෂර්මා සහ විජිත හේරත් අතර වූ මෙම සම්මුඛ සාකච්ඡාව හුදු මාධ්‍ය හමුවකට වඩා ඔබ්බට ගිය, නූතන ලෝකයේ රාජ්‍ය තාන්ත්‍රික දක්ෂතාවයේ වැදගත්කම සිහිපත් කරන අවස්ථාවක් බවට පත්ව ඇත. ජාත්‍යන්තර දේශපාලනයේදී ඉංග්‍රීසි කථා කිරීම අනිවාර්ය නොවිය හැකි වුවත්, ගෝලීය වේදිකාවේදී ඉංග්‍රීසියෙන් හෝ පරිවර්තකයන් හරහා සාර්ථකව සන්නිවේදනය කිරීමට නොහැකි වීම රටක විශ්වසනීයත්වයට හානි පමුණුවයි. ඒ අනුව රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් මෙය සුළුපටු කරුණක් නොවන බව ද කිව යුතුය.

රාජ්‍ය තාන්ත්‍රික භූමිකාවන් සඳහා ගෝලීය මට්ටමේ සූදානම, දැනුම සහ සන්නිවේදන කුසලතා අත්‍යවශ්‍ය වේ. ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තුළ රටේ ගෞරවය රැක ගැනීමට නම්, දේශපාලන නායකයන් තුළ මෙම ගුණාංග වර්ධනය කිරීම අත්‍යවශ්‍ය වනු ඇත. නමුත් වත්මන් ආණ්ඩුවේ නායක කාරකාදීන් තුළ පවත්නා දේශපාලනික ආධුනික බව හේතුවෙන් ඔවුන් එම අඩුව සපුරා ගෙන නොමැති බව පෙනේ.

Niranjan Chaminda
(සටහන | නිරංජන් චාමින්ද කරුණාතිලක)
hnckcreations@gmail.com

උපුටා ගැනීම -vinivida.lk

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...