11වන දින එක්සත් ජනපද බලශක්ති ලේකම් ක්‍රිස් රයිට් විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ඇමෙරිකානු නාවික හමුදාව තෙල් ටැංකි නෞකාවක් රැගෙන ගිය බවට සටහනක් පළ කරන ලදී. හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් නෞකා ප්‍රවාහනයට තමා ආරක්ෂාව සලසන බව ජනාධිපති ට්‍රම්ෆ් ප්‍රකාශ කර දැනට දින ගණනාවකි.
ක්‍රිස් රයිට්ගේ එම සටහන පළ වූ වහාම තෙල් මිල සියයට 15කින් අඩු වූ අතර ඇමෙරිකානු කොටස් මිල ඉහළ ගියේය. එනමුත් විනාඩි ගණනාවකදී පෙර එම සටහන මකා දැමීමට ක්‍රිස් රයිට්ට සිදු විය. මන්ද යක් එය ව්‍යාජයක් බව ඉරාන බලධාරීන් ප්‍රකාශ කළ නිසාය. තෙල් මිල ඉහළ නැගුණ අතර කොටස් මිල පහළ ගියේය.
මෙම සිදුවීම පෙන්වන්නේ ඇමෙරිකාව සහ ඊශ්‍රාලය විසින් ඉරානයට එදිරිව දියත් කළ යුද්ධයෙහි හරි මැදට දැන් ඉන්ධන නිෂ්පාදනය සහ ප්‍රවාහනය පැමිණ ඇති සැටිය.
තෙල් මිල යළි ඉහළට
බදාදා ඉරානය ඇමෙරිකාවට අයත් නෞකාවක් සහ තවත් නෞකා දෙකක් ගිනි බත් කළ අතර බොර තෙල් බැරලයක මිල ඩොලර් සියය දක්වා ඉහළ නැඟුණි.

ඛනිජ තෙල් නිෂ්පාදනය කරන මැද පෙරදිග ප්‍රධාන පෙළේ සමාගම් තුනක් දැනට ෆෝර්ස් මැශා(ර්) (force majeure ප්‍රංශ බසින් සුපිරි බලය යන අදහස දෙයි) තත්වය ප්‍රකාශ කර තිබේ. රටක් ලෙස බහරේනය ෆෝර්ස් මැශා(ර්) තත්වය ප්‍රකාශ කළේ එරට සතු එකම ඉන්ධන පිරිපහදුවට ඉරාන ඩ්‍රෝනයක් කඩා වැදී පුපුරවා හැරි නිසාය. එය දිනකට තොල් බැරල් මිලියන බාගයක් තරම් නිෂ්පාදනය කළේය. බ්‍රහස්පතින්දා එරට ඉන්ධන ගබඩා යළි ගිනි ගත්තේය.
ෆෝර්ස් මැශා(ර්) යනු කොන්ත්‍රාත්තුවක් වන්දි නොගෙවා අවසන් කළ හැකි නීතිමය මෙවළමකි. ස්වාභාවික විපත්, යුද්ධ හෝ රජයේ ක්‍රියාමාර්ග වැනි අනපේක්ෂිත, නොවැළැක්විය හැකි සිදුවීම් හේතුවෙන් කාර්ය සාධනය නතර වූ පසු එක් පාර්ශවයක් වගකීම් ඉටු කිරීමෙන් ඉවත් වීම ඉන් අදහස් වේ.
ෆෝර්ස් මැශා(ර්) ක්‍රියාවට නැගීම

කටාර් බලශක්තිය, කුවේට් ඛනිජ තෙල් සංස්ථාව සහ බහරේනයේ බැප්කෝ වැනි ප්‍රධාන රාජ්‍ය ආයතන පිරිපහදු සහ නිෂ්පාදන ස්ථාන වෙත සෘජු ප්‍රහාර එල්ල වීමෙන් පසු පසු ෆොර්ස් මැශා(ර්) තත්වය ප්‍රකාශ කළේය. එමගින් ලෝකයේ දියර ගෑස් සහ බොර තෙල් ප්‍රවාහනයෙන් සැලකිය යුතු කොටසක් අඩාල විය.
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් සහ රතු මුහුදේ තර්ජන වලින් පසුව, MSC, CMA CGM සහ Maersk වැනි නැව්ගත කිරීමේ දැවැන්තයින් ද ෆොර්ස් මශා(ර්) නීතිය ප්‍රකාශයට පත් කළේ නැව් ගත කර තිබූ භාණ්ඩ ආපසු හරවා යවමිනි.
සිංගප්පූරුව, දකුණු කොරියාව සහ චීනයේ (වන්හුවා කෙමිකල් වැනි) ජාත්‍යන්තර පිරිපහදු මධ්‍යස්ථාන ද ෆොර්ස් මශා(ර්) ප්‍රකාශයට පත් කළේ ඔවුන්ට තවදුරටත් ක්‍රියාත්මක වීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගත නොහැකි බව දක්වමිනි. ඉරාකය නිෂ්පාදනය 70% කින් අඩු කර තිබේ. ඉරානයේ තෙල් අපනයනය බොහෝ දුරට නැවතී තිබේ.
ලෝකය දුවන්නේ ඛනිජ තෙල් මතය. ප්‍රවාහණය පමණක් නොවේ. කෘෂිකර්මාන්තය සඳහා අත්‍යවශ්‍ය රසායනික පොහොර නිපදවීමට ඛනිජ තෙල් අතුරු ඵලයක් වන මීතේන් අවශ්‍යය. තවත් අතුරුඵලයක් වන නැප්තා ප්ලාස්ටික් සහ පයිබර් නිෂ්පාදනයේ අමුද්‍රව්‍ය වේ.
ඉරාන විරෝධී යුද්ධය අවසානයක් නැති දීර්ඝ යුද ගැටුමක් කරා වර්ධනය වුවහොත් ලෝකයේ දිවීම යුද්ධයේ පරිධිය ගල්ෆ් කලාපය මිස ඇමෙරිකාව නොවේ
යුද්ධයේ මධ්‍ය ඉරානය වන අතර පරිධිය වන්නේ ගල්ෆ් කලාපයයි. ඇමෙරිකාවට අනතුරක් නැත. ගල්ෆ් කලාපයේ බොහෝ රටවල ජීවිතය සඳහා තෙල් වලට වඩා අවශ්‍ය වන්නේ පානීය ජලයයි. එම කලාපයේ රටවල පානීය ජල සැපයුමේ 60%–90% අතර ප්‍රමාණය මුහුදු ජලය ලවණහරණය (Desalination) මත රඳා පවතී.
විශේෂයෙන් සවුදි අරාබිය, එමීර් රාජ්‍යය, කුවේට්, කටාර්, සහ බහරේන් වැනි රටවල් සම්පූර්ණයෙන්ම පානීය ජලය ලබා ගන්නේ මුහුදු ජලය ලවණහරණය මගිනි.
ඊශ්‍රායල ඉරානයේ ගම්මාන 30කට පානීය ජලය සපයන Qeshm දූපතේ මුහුදු ජලයෙන් ලවණ කිරීමේ මධ්‍යස්ථානයට පහර දී විනාශ කළේය. ඉරානය බහරෙන්හි එවැනි මධ්‍යස්ථානයකට වහාම පහර දුන්නේය. ඊශ්‍රායල මෙම ප්‍රහාරය එල්ල කළේ ගල්ෆ් කලාපයේ අනෙක් රටවල පානීය ජල සැපයුම මහත් අනතුරකට ඇද දැමීම මගින් එම රටවල් ඉරාන විරෝධී යුද්ධයට ඈදා ගැනීමේ දුෂ්ඨ අරමුණ ඇතිවය. ගල්ෆ් කලාපයේ රටවල් ගණනාවකට මෙන්ම තුර්කියටද ඊශ්‍රායලය ඉරාන වෙස් ගැන්වූ මිසයිල මගින් ප්‍රහාර දියත් කළේ ද එම කූට අරමුණිනි.
මූල්‍ය ආයතන යුද්ධ ඉලක්ක බවට

අගහරුවාදා ඊශ්‍රායලය ඉරානයේ බෑන්ක් සේෆා වෙත ප්‍රහාරයක් එල්ල කළේය. ඊට ප්‍රතිචාර ලෙස තමන් ගලෆ් කලාපයේ ඇමෙරිකානු සම්බන්ධතා ඇති මූල්‍ය ආයතන වලට පහර දෙන බව ඉරානය ප්‍රකාශ කළේය. මේ වන විට ඩුබායි සහ ඩොහාහි ප්‍රධාන අන්තර් ජාතික බංකු සිය කටයුතු අත්හිටුවා සේවකයින් නිවාඩු යවා තිබේ. ට්‍රම්ෆ් ප්‍රකාශ කර ඇති පරිදි ඉරානයෙහි විදුලි බල පද්ධතියට පහර දුනහොත් ගල්ප් කලාපය අදුරේ ගිල්වන බවට ච ඉරානය තර්ජනය කළේය.
අනෙක් අතට ඉරානයෙහි දෙදහසක් තරම් ජනයා ද දේශපාලන, ආගමික සහ යුද නායකයින් ද ඝාතනය වී තිබේ. සිදුව ඇති භෞතික විනාශය අති මහත්ය. නෑසූ විරූය. එසේ තිබියදීත් ඉරානයෙහි ඔරොත්තු දීමේ සහ ප්‍රති ප්‍රහාර දීමේ බලය ඇමෙරිකානු ගණන් බැලීම් ඉක්මවා ගොස් තිබේ.
ඊශ්‍රායලයේ අගනුවර වන ටෙල් අවිව්හි බීබීසී වාර්තාකරු කස්රා නජිගේ 10වැනි දින සවස යැවූ වාර්තාවක මෙසේ සටහන් විය.
‘ඉරාන ප්‍රහාරවලට ඇති බිය නිසා ඊශ්‍රායලය අර්ධ වශයෙන් අගුලු දමා ඇත. වීදි හිස් ය. සාප්පු වසා දමා ඇති අතර, මෙම තත්වය ජනගහනයට දරා ගත නොහැකි වෙමින් පවතී. හිස්බුල්ලා සටන්කාමීන් එවන විශාල මිසයිල පවා ටෙල් අවිව් වෙත පහර දෙයි. අනතුරු හැගවීමේ සයිරන් නාදවීම නතර වී ඇත. මෙය පෙර නොවූ විරූ දෙයකි.’
යුද්ධයෙන් තුවාල ලබා ඇති ඊශ්‍රායල ජාතිකයින් ද දහස ඉක්මවන අතර ඇමෙරිකානු සොල්දාදුවන් 184ක් තුවාල ලැබූ බව නිල වාර්තා සඳහන් කරයි.
ඉරානයේ අන්තර්ජාල පහසුකම් බොහෝ දුරටම ඇණහිටවා තිබේ. ඊශ්‍රායලය සිය රටට එල්ල වන ප්‍රහාරයන්හි විඩියෝ සහ ජායාරූප ් ප්‍රසිද්ධ කිරීමට ඉඩ දෙන්නේ නැත. ඩුබායි නගරයට එල්ල වූ ඉරාන ප්‍රහාරයක වීඩියොවක් ප්‍රසිද්ධ කළ බ්‍රිතාන්‍ය ජාතිකයකුට දෙවසරක සිර දඩුවමක් හමුවේ සිටී.. යුද්ධයේ ප්‍රථම තුවාලකරු වන්නේ සත්‍යයයි.
ඩොනල්ට් ට්‍රම්ෆ් ඉරාන විරෝධී යුද්ධය දියත් කළේ වට දෙක තුනකින් ජයග්‍රහණය ලබා ගැනීමේ මුග්ධ අපේක්ෂාවෙනි. ඔහු පසුගිය දා කීවේ තමා යුද්ධයට ගියේ සිය මැදපෙරදිග උපදේශකයින්ගේ අනතුරු හැඟවීම් නිසා බවය. ඉන් එක් අයකු නම් අන්තර් ජාතික දේශපාලනයේ අ යනු ආ යනු වත් නොදන්නා ජෙරාඩ් කුශ්නර් නම් ට්‍රම්ප්ගේ බෑනන්ඩියයි.
ගාසාහි ලක්ෂ පහක් ඝාතනය කර එරට සුන්නත් දූලි කළ ඊශ්‍රාලයට ආයුධ සන්නද්ධ හමාස් සංවිධානය විනාශ කිරීමට නොහැකි විය. ගසා යනු මිලියන දෙකක ජනතාවත් ජීවත් වූ පටු තීරයකි.
එය දැන් ලෙබනනය බෝම්බ වැසි වස්සවමින් එය දෙවන ගාසා තීරයක් කිරීමෙහි යෙදී සිටී. ලෝකය නිහඩය. බ්‍රහස්පතින්දා ලෙබනන විශ්ව විද්‍යාලයට එල්ලකල ප්‍රහරයක දී ලෙබනනයේ කීර්තිමත් භෞතික විද්‍යාඥයෙකු වන ආචාර්ය මුර්තාඩා සෲර් සහ ලෙබනන් විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ අධ්‍යක්ෂ ආචාර්ය හුසේන් බසි සමඟ ඊශ්‍රායලය විසින් ඝාතනය කරන ලදී.
ඇමෙරිකාව ඇෆ්ගනිස්තානයේ තලේබාන්වරුන්ට එරෙහි යුද්ධයට ඩොලර් ට්‍රිලියන 20ක් වැය කළේය. අවසානයේ දී එරට තලේබාන්වරුන්ට ආපසු දී පසු බැසීමට ඇමෙරිකාවට සිදු විය.
මාර්තු 10වැනි දින දකුණු කොරියාවෙහි සවි කර තිබූ තමන්ට අයත් ගුවන් යානා නාශක පේට්රියට් මිසයිල කට්ටල ගල්ෆ් කලාපයට ගෙන යෑමට ඇමෙරිකාව පියවර ගත්තේය. ඒ ඉරාන මිසයිල අහසේ දී විනාශ කිරීමට ගල්ප් කලාපයේ ඇති අවි අප්‍රමාණවත් නිසාය. ඉන් පෙනෙන්නේ ද ට්‍රම්ෆ් සිතූ තරම් යුද්ධය ලෙහෙසි නැති බවයි. මෙලෙස සිය රටෙහි ආරක්ෂාවට තිබූ පේට්රියට් කට්ටල සමූහයන් ඉවත් කිරීමට දකුණූ කොරියාව විරුද්ධ විය. එනමුත් ගැති රාජ්‍යන්ට වාචික විරුද්ධවීම හැර කළ හැකි අන් දෙයක් නැත.
යුද්ධය ඉක්මනින් අවසන් වනු ඇතයි ට්‍රම්ෆ් දින දෙක තුනකට පෙර වාර්තාකරුවන්ට කීවේය. ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය ප්‍රකාශ කළේ තමන් යුද්ධය නතර කිරීමට සූදානම් නැති බවයි. ඉරානය ප්‍රකාශ කරන්නේ තමන් යුද විරාමයකට එකඟ වන්නේ ස්ථිර සාමයකට සහ යුද වන්දි ගෙවිමට එකඟ වන්නේ නම් පමණක් බවයි.
අනතුරුව ට්‍රම්ෆ් ඔහුගේ මිතුරකු වන වැලැඩිමීර් ර පූටින්ට කතා කළේය. දැන් වාර්තා වන්නේ යුද ගැටුම නතර කිරීමටත් සාකච්ඡා මේසයට එන ලෙසත් පූටින් ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියාන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවයි. මෙයට පෙර චීන අගමැතිවරයා ද සාකච්ඡා මේසයට පැමිණ යුද ගැටුම නතර කිරීමේ සාකච්ඡා අරඹන ලෙස ලෙස යුද්ධයේ සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේය. තවත් ඉදිරියට යමින් බ්‍රහස්පතින්දා චීනය ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ගල්ෆ් කලාපයේ රටවලට පහර දීම ඉරානය නතර කළ යුතු බවයි.
යුද සටන් විරාම යෝජනා ටෙහෙරානයට දැනුම් දෙන ලෙස එක්සත් ජනපදය තුර්කිය, ඕමානය සහ කටාර් රාජ්‍යයෙන් ඉල්ලා තිබේ යැයි තවත් අනුමත නොකළ වාර්තාවක සඳහන් වේ. ඊජිප්තු විදේශ ඇමතිවරයා ද ඉරාන විදේශ ඇමතිවරයා සමග දුරකතන සංවාදයක් හරහා යුද ගැටුම අවම කිරීම ගැන සාකච්ඡා කර තිබේ. ඊජිප්තුව යනු ඇමෙරිකානු ගැති රෑකඩ ආණ්ඩුවකි.
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරාන විරෝධී යුද්ධය ආරම්භ කළේ ආණ්ඩු වෙනසක් ඇති කිරීමටය. යුද්ධය අරඹමින් ට්‍රම්ෆ් ඉරානයේ ජනතාවට නැගී සිට රාජ්‍ය බලය අල්ලා ගන්නා ලෙස ආයාචනය කළේය. දැන් එම ආයාචන නැසේ. ඇත්ත වශයෙන්ම නම් යුද්ධය ඉරානයෙහි මූලධර්මවාදී ආගමික පාලනය ශක්තිමත් කළේය.
සති කිහිපයක් යා හැකි යුද්ධය
යුද්ධය දියත් කිරීමට ටික කලකට පෙර ඉදිරිපත් කරන ලද එක්සත් ජනපද බුද්ධි තක්සේරුවක තීරණය වී ඇත්තේ ඇමරිකානු මිලිටරි මැදිහත්වීමක් මගින් ඉස්ලාමීය ජනරජයේ පාලන තන්ත්‍ර වෙනසක් ඇති කිරීමට ඉඩක් නොමැති බවයි.
ඩොනල්ඩ් ට්‍රම්ෆ් තර්ජනය කල විසි ගුණයක ප්‍රහාරයේ රාත්‍රිය බදාදා රැයෙහි අවසන් විය. එම රැයෙහි ටෙහෙරානයේ යුදමය නොවන ඉලක්ක ගණනාවකට පහර එල්ල කල නමුත් ඉරාන යුද ශක්තිය දුර්වල කිරීමට සමත් වී නැත.
මේ සියලු ප්‍රහාර හමුවේ යුද්ධය අවසන් වීමේ ලකුණු නොපෙනේ. ඉරානය යුද විරාමයක් සඳහා දැඩි කොන්දේසි පණවා තිබේ. නව ආගමික නායකයා වන අයතුල්ලා මොජ්ටාබා කමේනි යුද්ධය දිගටම ගෙන යන සේ නියෝග කර තිබේ.
ඩොනල්ඩ් ට්‍රම්ෆ්ගේ යුද්ධය පිලිබඳ අදහස කුමක්දැයි ඩොනල්ඩ් ට්‍රම්ෆ්වත් දන්නේ නැත. ඇමෙරිකාවෙහි බලගතුම බලපෑම් කණ්ඩායම් දෙක නම් සියොන්වාදී යුදෙව් බලය සහ යුද්ධායුධ නිෂ්පාදන ජාවාරමය. ඒ දෙපාර්ශවය යුද්ධය නතර කිරීමට කැමති නැත. දැනට ට්‍රම්ෆ් කියන්නේ ඔහු සති කිහිපයක් යුද්ධ කිරීමට සූදානම් බවයි.
Journalist, Writer and Human Rights Activist
sunandadeshapriya@gmail.com
Twitter: @sunandadesh
Editor: http://srilankabrief.org
(උපුටා ගැනීම - srilankabrief.org)




