The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ව්‍යාජ ජ්‍යොතිෂවේදීන් හඳුනා ගත හැකි පහසු මඟක් | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

T

The Leader Desk

March 17, 2026 • 9:03 AM

ව්‍යාජ ජ්‍යොතිෂවේදීන් හඳුනා ගත හැකි පහසු මඟක් | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වර්තමාන නව ලිබරල්වාදී ආර්ථික රටාව තුළ සිදුව ඇති ව්‍යාපාරික ප්‍රවර්ධනය හේතුවෙන් අලෙවි සංකල්පය අගතිගාමී ලෙස හිස ඔසවා තිබේ.
  • ඒ අතර භාරතීය සංස්කෘතිය හා බැඳුණු ජ්‍යොතිෂය ද අලෙවිකරණයට සේම ජාවාරම්කරණයට නතුවී ඇති අයුරු අපට මනාව නිරීක්ෂණය වේ.
  • එහෙත් අද වන විට මෙම විෂය විධිමත් සිද්ධාන්ත පදනමකින් බැහැරව, ලාභාපේක්ෂාවෙන් කටයුතු කරන කූට ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට නතුව ඇති බව පෙනේ.
  • ඔවුන්ගෙන් බොහොමයක් හෝඩිය නොදැන උපාධි නිබන්ධන ලිවීමට සැරසෙන්නවුන් මෙන් ඒ සම්බන්ධ කිසිදු ශාස්ත්‍රීය පදනමකින් තොරව ක්ෂේත්‍රයට අවතීර්ණ වූවන් බව ද පෙනෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අනුව විකිණිය යුතු සේම නොවිකිණිය යුතු මව් ගුණ ආදිය මුල් කරගත් අලෙවිකරණ වැඩසටහන් පවා ක්‍රියාත්මක වනු පෙනේ. ඒ අතර භාරතීය සංස්කෘතිය හා බැඳුණු ජ්‍යොතිෂය ද අලෙවිකරණයට සේම ජාවාරම්කරණයට නතුවී ඇති අයුරු අපට මනාව නිරීක්ෂණය වේ.

භාරතීය ජ්‍යොතිෂය වසර පන්දහසකට අධික අතීතයක සිට විකාශනය වූවකි. එහෙත් අද වන විට මෙම විෂය විධිමත් සිද්ධාන්ත පදනමකින් බැහැරව, ලාභාපේක්ෂාවෙන් කටයුතු කරන කූට ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට නතුව ඇති බව පෙනේ. ඔවුන්ගෙන් බොහොමයක් හෝඩිය නොදැන උපාධි නිබන්ධන ලිවීමට සැරසෙන්නවුන් මෙන් ඒ සම්බන්ධ කිසිදු ශාස්ත්‍රීය පදනමකින් තොරව ක්ෂේත්‍රයට අවතීර්ණ වූවන් බව ද පෙනෙයි.

 

astroligy
පුරාණ භාරතයේ ජ්‍යොතිෂය මුලින්ම භාවිත වූයේ වෛදික යාග හෝම සඳහා සුදුසු කාලය නිර්ණය කිරීමට මිස පෞද්ගලික අනාවැකි කීම සඳහා නොවේ. ජ්‍යොතිෂය අනාවැකි පළ කිරීමේ ශාස්ත්‍රයක් (Horoscopy) ලෙස වර්ධනය වූයේ ක්‍රිස්තු වර්ෂ 2 වන සියවසේ සිට 5 වන සියවස දක්වා කාලය තුළ ඇති වූ ග්‍රීක සහ පර්සියානු බලපෑම හේතුවෙනි. වර්තමාන ජ්‍යොතිෂයේ පදනම ලෙස සැලකෙන වරාහමිහිරයන්ගේ “පංච සිද්ධාන්තිකා” සහ “බෘහත් ජාතකය” වැනි කෘතීන් බිහි වන්නේ මෙම විදේශීය සුසංයෝගයෙනි. පංච සිද්ධාන්තිකාවේ එන පෝලීස, රෝමක වැනි සිද්ධාන්තවලින් පවා මෙම බටහිර ආසියාතික බලපෑම මොනවට පැහැදිලි වේ. නමුත් අද වන විට ජ්‍යොතිෂවේදීන් බොහෝ දෙනකු පවසනුයේ බෞද්ධ සාහිත්‍යයේ එන සිදුහත් කුමරුන්ට නම් තැබීමේ මංගල්‍යයේ දී බ්‍රාහ්මණයන් සිදුහත් කුමරුන්ගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට කුමරුන් පිළිබඳ අනාවැකි පළ කළ බවකි. ඒ බුද්ධවංශ අටුවා ආදියේ එම අනාවැකි කීම දේහ ලක්ෂණ ශාස්ත්‍රය පදනම් කොට ගත් ඒවා බව ඉතා පැහැදිලිව සටහන්ව ඇති පසුබිමක ය.

එමෙන්ම අද වෘත්තීය මට්ටමේ ජ්‍යොතිෂවේදීන් ලෙස පෙනී සිටින බොහෝ දෙනා ජ්‍යොතිෂය යනු හුදු දෛවය ලෙස හුවා දක්වති. එහෙත්, ජ්‍යොතිෂ සිද්ධාන්තවල පවා සඳහන් වන්නේ එය හුදෙක් ඉඟියක් පමණක් බවයි. වරාහමිහිරයන්ටත් පෙර සිටි පඬිවරුන් පවා පෙන්වා දී ඇත්තේ, “ඵලානි ග්‍රහචාරේන සූචයන්ති මනීෂිණඃ” යනුවෙනි. එහි අර්ථය වන්නේ “උගතුන් ග්‍රහ චලිතය මඟින් පෙන්වා දෙන්නේ ඉඟියක් පමණි” යන්නයි. මෙහි අර්ථය වන්නේ ග්‍රහ බලපෑම යනු වෙනස් කළ නොහැකි දෛවයක් නොව, පුද්ගල උත්සාහය සහ බුද්ධිය මත වෙනස් කළ හැකි ප්‍රවණතාවක් බවයි. නමුත් වත්මන් ඊනියා කපටි ජ්‍යොතිෂවේදීහු දැන හෝ නොදැන මේ සත්‍යය යටපත් කරති.

 

DALLE 2024 08 31 13.14.35 A richly detailed illustration of an ancient Indian astrological scene. The background features a starry night sky with visible constellations remini

පිළිගත් ජ්‍යොතිෂ විග්‍රහයන්ට අනුව, එක් පුද්ගලයෙකුගේ මාරක අපලයක් සනාථ කර ගැනීමට නම් කරුණු කිහිපයක් සම්පූර්ණ විය යුතුය. අදාළ පුද්ගලයාගේ කේන්ද්‍රයේ මාරක දශාවක් හෝ අන්තර දශාවක් ගත වීම ඉන් පළමු සාධකයයි. එදිනෙදා ග්‍රහ ගමන හෙවත් ගෝචර ගමනින් ඒරාෂ්ටක වැනි දරුණු අපල තත්ත්වයක් පැවතීම ඒ සම්බන්ධ දෙවන කරුණ ය. තුන් වන කරුණ වනුයේ අඹු-සැමි, දරු-මල්ලන් හෙවත් සමීපතම ඥාතීන්ගේ කේන්ද්‍රවල ද එම කාලසීමාව තුළ ඥාති විපතක් හෝ දැඩි මානසික පීඩාවක් පෙන්වන ග්‍රහ පිහිටීම් තිබීම ය. මාරක අපලයක තීව්‍රතාව නිවැරදිව සනාථ කළ හැක්කේ ඉහත සඳහන් කරුණු පරීක්ෂාවෙන් අනතුරුව බව මෙතෙක් පැවැති සම්භාව්‍ය ජ්‍යොතිෂ මතයයි. ඒ අනුව කේන්ද්‍ර පිටපත අතට ගත් පමණින් “ෆොටෝ කොපි ගහන වේගයෙන්” අනාවැකි පළ කරන වර්තමාන ව්‍යාජ ජ්‍යොතිෂවේදීන් හඳුනා ගැනීමට පහත කරුණු පදනම් කර ගත හැකි ය.

ජ්‍යොතිෂ අනාවැකිවලට එක් කරන අනිවාර්යය සහ නියතය පිළිබඳ භීතිය වැපිරීම ඒ අතුරින් ප්‍රධාන ජාවාරම් ක්‍රමෝපායකි. යම් අපලයක් පෙන්වා දී එය නියතයක් ලෙස පවසමින් සේවාදායකයා බිය ගැන්වීම කපටි ජ්‍යොතිෂවේදියාගේ ප්‍රධාන ලක්ෂණයකි. එමෙන්ම මෙහි දී ඇතැම් කපටින් පුද්ගල හා සමාජයීය වශයෙන් අත් වූ අයහපත් ප්‍රතිඵල මුල් කොට “මම ඕක කලින් දැනගෙන හිටියේ, ඒත් කිව්වෙ නෑ” යන්න පැවසීම කපටි ජ්‍යොතිෂවේදීන් තම කපටි කමේ හඳුනුම්පත් ඉදිරිපත් කිරීමකට සම වූවකි. නමුත් යමකුගේ ජන්ම පත්‍රයක පෙන්වන මාරක අපලවල පවා බලය අවම කිරීමට හෝ ශූන්‍ය කිරීමට ඒ ජන්ම පත්‍රය හා දෘෂ්ටිගත වන වෙනත් සාධක සමත් වන පසුබිමක, එම අපලය නියතයක් සේ දැක්වීම අතිශය බරපතළ ශාස්ත්‍රීය අවභාවිතයකි.

එමෙන්ම තමන් විසින්ම සේවාලාභියාගේ සිත තුළ ජනිත කරන බිය සැක දුරලීම පිණිස මිල අධික පිළියම් සහ මන්ත්‍ර ගුරුකම් යෝජනා කිරීම අද වන විට බහුලව සිදු වන්නකි. ග්‍රහ අපල සඳහා යන්ත්‍ර, මන්ත්‍ර හෝ රත්තරන් පැළඳීම වැනි අධික පිරිවැයක් සහිත විසඳුම් බලහත්කාරයෙන් පටවන්නේ නම් ඔහු ශාස්ත්‍රඥයෙකු නොව කූට ජාවාරම්කරුවෙකි. ඔවුන්ගේ මෙම අධම සූරාකෑම් නිසා අද වන විට සෙනසුරු මාරුව ආදී ග්‍රහමය සංසිද්ධීන් බොහෝ දෙනකු හට “මර උණ ගැන්වීමට” සමත්ව තිබේ. එම සෙනසුරු මාරුව සිදුවන කාලයට ගුවන් ටිකට් පත් පවා විකිණී හමාර වීම හුදු ශ්‍රී ලාංකික සමාජය තුළින් පමණක් අසන්නට ලැබෙන සුපිරි ගණයේ විහිළුවකි.

 

8 1
ජ්‍යොතිෂය යනු හුදෙක් ගණිතමය පදනමක් සහිත විෂයයකි. එහෙත් වර්තමානයේ බොහෝ දෙනා ගණිත ක්‍රම මඟ හැර තමන් සතු “දිව්‍ය ඥානයක්” හෝ “දේව බලයක්” ගැන පවසමින් අනාවැකි කීමට උත්සාහ කරති. ඔවුහු ද ඒකාන්ත වශයෙන්ම වංචාකරුවෝ ය. ජ්‍යොතිෂය යනු සමාජ විද්‍යාත්මක සහ තාරකා ශාස්ත්‍රමය දත්ත පදනම් කරගත් උපදේශනාත්මක මඟ පෙන්වීමකි. එය හුදු මිථ්‍යාවක් බවට පත් කරනුයේ එම විෂය නිසි ලෙස නොදන්නා, වාසි අපේක්ෂා කරන පුද්ගලයන් විසිනි. තර්කානුකූල බුද්ධියෙන් තොරව ජ්‍යොතිෂය වැළඳ ගැනීමෙන් සිදු වන්නේ වංචනිකයන්ට මඟ පෑදීමක් පමණි.

පසුගිය දශක කිහිපය තුළ ලංකාවේ විසූ ප්‍රාඥයන් වන ප්‍රකට ලංකා ග්‍රහස්ඵුට පංචාංග ලිත් මාලාවේ කර්තෘ එස්.ඩබ්ලිව්. කස්තුරිරත්න, මහාචාර්ය විමල් බලගල්ල සහ මහාචාර්ය ගුණපාල ධර්මසිරි වැන්නන් දැරූ මතය අනුව ජ්‍යොතිෂය යනු තාරකා විද්‍යාත්මක ගණිතය සහ මානව පැවැත්ම පිළිබඳ දාර්ශනික විග්‍රහයක සුසංයෝගයකි. ඔවුන් පෙන්වා දුන් පරිදි පුද්ගලයා යනු විශ්වයෙන් වෙන් වූ හුදෙකලා ඒකකයක් නොවේ; සමස්ත විශ්වීය ශක්තීන් හා පාරිසරික බලපෑම් මත යැපෙන්නෙකි. ඒ අනුව පුද්ගලයෙකුගේ දෛවය තීරණය වීමට ජ්‍යොතිෂමය සාධක මෙන්ම පාරිසරික, සමාජීය සහ ජානමය සාධක ද බලපාන බැවින්, හුදෙක් ග්‍රහ පිහිටීමක් මත පමණක් නියත අනාවැකි කීම අතිශය දුෂ්කර හා අවදානම් සහගත කාර්යයකි. එම ස්ථාවරයේ රැඳී සිටි පැරණි පඬිවරුන් ජ්‍යොතිෂය මඟින් මිනිසාට ආත්ම විශ්වාසය ලබා දුන් අතර, වර්තමානයේ ලේබල්ගත කූට ජ්‍යොතිෂවේදීන් කරන්නේ මිනිසා තුළ සහජයෙන්ම පවතින “බිය” සහ “සැකය” අවදි කොට ඔවුන් ගසා කෑමකි.

ඒ අනුව ඔවුහු මාරක අපල, සෙනසුරු ඒරාෂ්ටක හෝ කාල සර්ප යෝග වැනි වචන අවභාවිත කරමින් සාමාන්‍ය ජනයා බිය ගන්වා, ඔවුන්ගේ ඉතුරුම්, රන් ආභරණ සහ නිවාස පවා උකසට තබා ශාන්තිකර්ම කරවා ගැනීමට පොළඹවති. ග්‍රහයන්ට පූජා පැවැත්වීමෙන් සියල්ල විසඳිය හැකි බව පවසමින්, ඔවුන් සිදු කරන්නේ පුද්ගලයාගේ පෞරුෂය, ආත්ම විශ්වාසය, ධෛර්යය, ස්වෝත්සාහය සහ තර්ක බුද්ධිය අඩපණ කිරීමයි. විවිධ ග්‍රහචාර මුල් කොට පවුල් ආරවුල් ඇති කිරීම, විවාහ ප්‍රේම සබඳතා බිඳ දැමීම සහ වැරදි ව්‍යාපාරික තීරණ ගැනීමට පෙළඹවීම හරහා මොවුහු මුළුමහත් සමාජ දේහයම විනාශ කරති.

 

Astrologer240817 1
ඒ අනුව බුද්ධිමත් සමාජය මේ කූට ජ්‍යොතිෂවේදී මරාලයෙන් මිදෙන්නේ කෙසේද යන්න ද දත යුතු වේ. ඒ සඳහා සියල්ලටම පළමුව ජ්‍යොතිෂය යනු නියතයක් නොව සම්භාවිතාවක් (Probability) බව වටහා ගත යුතු ය. රූපවාහිනී නාලිකාවල වැඩිපුරම පෙනී සිටින “පච ගස් යට” ජ්‍යොතිෂවේදීන් වෙනුවට ජ්‍යොතිෂ මූලික සිද්ධාන්ත පිළිබඳ අවධානය යොමු කළ යුතුය. ස්වයං ශක්තිය විශ්වාස කිරීමෙන්, බුද්ධිමත් මනුෂ්‍යයා යනු ග්‍රහයන්ට යටත් වූවෙකු නොව, ග්‍රහ බලපෑම් කළමනාකරණය කරමින් තම ගමන යා හැකි අයෙකු බව එවිට වටහා ගත හැකි වේ.

එබැවින් ඉකුත් දශක ගණනාවක් තිස්සේ විදග්ධ පර්යේෂක පරපුර ගොඩනැඟූ දාර්ශනික ජ්‍යොතිෂය, වර්තමාන නව ලිබරල්වාදී ආර්ථික රටාව තුළ ශීඝ්‍ර ප්‍රවර්ධනයක් ලබන ජාවාරම්කරණය හේතුවෙන් වංචනිකයන්ගේ මෙවලමක් බවට පත්වීම බරපතළ සමාජ ඛේදවාචකයකි. ඒ අනුව මෙම පිළිලයෙන් මිදිය හැක්කේ ජ්‍යොතිෂය යනු හුදෙක් “ඉඟි පෑමක්” පමණක් මිස නියතයක් නොවන බවත්, ජීවිතයේ සැබෑ නිර්මාණකරුවා තමාම බවත් සමාජය අවබෝධ කරගත් දිනට ය.

Praneeth Abayasundara
(සටහන | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර)
හිටපු මානව විද්‍යා මහාචාර්ය

(උපුටා ගැනීම - vinivida.lk)


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...