The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පර්සියානු ගල්ෆ් අර්බුදය: කළ හැක්කේ කුමක්ද? | රොහාන් සමරජීව

T

The Leader Desk

March 18, 2026 • 8:49 AM

පර්සියානු ගල්ෆ් අර්බුදය: කළ හැක්කේ කුමක්ද? | රොහාන් සමරජීව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුද්ධය සඳහන් කල සැනින් අවධානය යොමු වන්නේ ඉන්ධන ලබා ගැනීමේ හැකියාව සහ මිල වෙතයි.
  • ඉන්දියාව, LNG නැව් දෙකක් සඳහා සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට ඉරාන අනුමැතිය ලබාගෙන ඇති බව වාර්තා වන්නේ, නැවියන් නැවත ඔවුන්ට භාරදීම සඳහා ප්‍රතිඋපකාරයක් වශයෙන් විය හැකිය.
  • මෙරට ද  ඉරාන නාවිකයින් සිටීන නමුත්, ගල්ෆ් කලාපයේ සිදුවන දේ වෙනස් කිරීමට හෝ හැඩගැස්වීමට හෝ  හැකි බවක් ශ්‍රී ලංකාව මෙතෙක් පෙන්වා නැත.
  • පහත ගවේෂණය කර ඇති විකල්ප ශ්‍රී ලංකා රජයේ බලතල තුළ පවතී.
අකුරු ප්‍රමාණය (Font Size):

රුසියාවෙන් සහ ඉන්දියාවෙන් සැපයුම් ඉල්ලා සිටීම මගින් රජය සැපයුම් ලබා ගැනීමේ ගැටළු විසඳන්න උත්සාහ කරන බව පෙනෙන්නට තිබේ. එය තවමත් දැරිය හැකි මිල ගැටලුව පිළිබඳව තීරණය කර නොමැත. ඉන්දියාව, LNG නැව් දෙකක් සඳහා සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට ඉරාන අනුමැතිය ලබාගෙන ඇති බව වාර්තා වන්නේ, නැවියන් නැවත ඔවුන්ට භාරදීම සඳහා ප්‍රතිඋපකාරයක් වශයෙන් විය හැකිය. මෙරට ද  ඉරාන නාවිකයින් සිටීන නමුත්, ගල්ෆ් කලාපයේ සිදුවන දේ වෙනස් කිරීමට හෝ හැඩගැස්වීමට හෝ  හැකි බවක් ශ්‍රී ලංකාව මෙතෙක් පෙන්වා නැත.

නමුත් හෝමූස් සමුද්‍ර සන්ධිය භාවිතය සීමා කිරීම නූතන ආර්ථිකයන්හි තවත් බොහෝ අංශවලට බලපාන කරුණකි. පහත ගවේෂණය කර ඇති විකල්ප ශ්‍රී ලංකා රජයේ බලතල තුළ පවතී.
e56ue5
ආහාර සුරක්ෂිතතාව

2021 දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රසායනික පොහොර එක රැයකින් තහනම් කළ විට, වී අස්වැන්න සියයට 32 කින් පහත වැටීමත් තේ නිෂ්පාදනය සියයට 18 කින් පහත වැටීමත් සමග, එහි ප්‍රතිඵලයක් ලෙස කෘෂිකාර්මික බිඳවැටීම පුළුල් ආහාර අනාරක්ෂිත භාවයක් සහ ආර්ථික පාඩු ඇති කිරීමක් වූ අතර  තේ අපනයනයෙන් පමණක් අහිමි වූ ඇස්තමේන්තුගත ඇමරිකානු ඩොලර් මිලියන 425 ක් ද ඊට ඇතුළත් විය. වසර පහක් ගතවී ඇතත්, පෝෂණයේ පහත වැටීම් සම්පූර්ණයෙන්ම ආපසු හැරවීමට නොහැකි වී තිබේ.

 

20 9

ශ්‍රී ලංකාව ඉක්මනින් අවශෝෂණය කරගත හැකි ආකාරයෙන් NPK (නයිට්‍රජන්, පොස්පරස්, පොටෑසියම්) සපයන පොහොර සියල්ල ආනයනය කරයි. NPK වෙත ප්‍රවේශය නැති වූ විට සිදුවන්නේ කුමක්ද යන්න 2021 කාබනික කෘෂිකර්ම අත්හදා බැලීමෙන් පෙන්වා දෙනු ලැබී ය. ශ්‍රී ලංකාව හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නැව්ගත කරන පොහොර මත සැලකිය යුතු ලෙස රඳා පවතින  (UNCTAD ට අනුව සියයට 36ක් ) නමුත් වැඩි ප්‍රමාණයක් (2025 රේගු දත්ත වලට අනුව සියයට 50 කට වඩා) ලබා ගන්නේ චීනයෙන් ය. ශ්‍රී ලංකාවේ NPK පොහොර සඳහා උපරිම ඉල්ලුම සැප්තැම්බර් මාසයේ දී ඇතිවේ. ඒ වන විට ජාත්‍යන්තර වෙළඳපොළවල් ඉහළ මිල මට්ටම්වල වුව ද  යම් ආකාරයක සමතුලිතතාවයක් අත්කර ගෙන තිබිය යුතු ය.

එබැවින්, මෙහි ඇති ගැටළුව (2021-22 දී මෙන්) ලබා ගැනීමේ හැකියාව නොව ගොවීන්ට සහ රජයට දැරිය හැකි මිලකට ලබා ගැනීමේ හැකියාව යි. 2026 වසර සඳහා පොහොර සහනාධාර වෙනුවෙන් රජය රුපියල් බිලියන 36.9 ක් අයවැයෙන් වෙන් කර ඇත. ගොවීන් අර්ධ වශයෙන් හෝ ආරක්ෂා කිරීම සඳහා මෙය වැඩි කළහොත්, රජයේ වියදම් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13 ක මට්ටමක තබා ගැනීම දුෂ්කර වනු ඇත.

 

Farmers 1200px 22 10 31 1000x600
පොහොර, විශේෂයෙන් යූරියා, අධික ලෙස භාවිතා කරන බව ලේඛනගත කර ඇත. අපගේ කෘෂිකර්මාන්තය වඩාත් තිරසාර හා ලාභදායී මාදිලියකට මාරු කිරීම සඳහා ව්‍යාප්ති නිලධාරීන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වය සමඟ මිල සංඥා භාවිතා කිරීමට අවස්ථාවක් වත්මන් අර්බුදය නිර්මාණය කරයි. ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙන් NPK පොහොර නොමිලේ දීමට (අධික භාවිතය සහ පසට හානි සඳහා ප්‍රධාන හේතුවක්)  ජාතික ජන බලවේගය පොරොන්දු නොවී ය. ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වන්නේ අකාබනික පොහොර ඇතුළු යෙදවුම් කාර්යක්ෂම ව භාවිතා කිරීම පිළිබඳ පර්යේෂණ කරන බව යි. ව්‍යාප්ති නිලධාරීහු  දහස් ගණනක් දැනටමත් ස්ථානගත ව සිටිති. අවශ්‍ය වන්නේ සීමිත සහනාධාර අරමුදල් විචක්ෂණශීලී ව කළමනාකරණය කිරීම පමණකි.

බල ශක්තිය

image 496f476f99
ශ්‍රී ලංකාවේ ආනයන අතරින් විශාලතම කාණ්ඩය වන්නේ පොසිල ඉන්ධන වන අතර එය 2024 දී වටිනාකමෙන් සියයට 20 කට වඩා වැඩි නමුත් පෙර වසර කිහිපයක දී එය ඊට ඉහළ ගොස් තිබේ. LPG වැනි සමහර ඉන්ධන දැන් ඇමරිකා එක්සත් ජනපදයෙන් ලබා ගත්ත ද, හෝමූස් හිරවීමේ සමස්ත බලපෑම් දැනෙනු ඇත. බොහෝ වසරවල දී, එක්සත් අරාබි එමීර් රාජ්‍යය විශාලතම තෙල් ආනයන ප්‍රභවය විය. බොරතෙල් සැපයුම බලපෑමට ලක්වන බැවින්, ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ආනයනය කරන පිරිපහදු කළ නිෂ්පාදනවලට පවා බලපෑම් සිදුවනු ඇත. බොහෝ රටවල් මෙන් නොව, ශ්‍රී ලංකාව LNG භාවිතා නොකරන අතර එම නිසා කටාර්හි ද්‍රවකරණ පහසුකම් වසා දැමීමේ බලපෑම් වලින් නිදහස් වේ.

දිගුකාලීන කොන්ත්‍රාත්තු මගින් හිඟයේ බලපෑම් අඩු කළ හැකි නමුත්, පිරිපහදු force majeure (තම පාලනයෙන් පිටත හේතු නිසා කොන්ත්‍රාත්තු අවලංගු කිරීමට භාවිත කරන නීතිමය මෙවලමක්) ප්‍රකාශ කිරීමෙන් ඒවාට බලපෑම් ඇති වීමේ හැකියාව පවතී. මිල ඉහළ යාම නියත ය. හිඟයයන් ඇති විය හැකි ය.

2022 අත්දැකීම නිසා, අනුමාන කිරීම අවශ්‍ය නැත. හිඟයක් ඇති විට කුමක් සිදුවේදැයි දන්නේ ය. මිල වැඩි වූ විට කුමක් සිදුවේදැයි දන්නේ ය.

2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් ගිවිසුම යටතේ, පිරිවැය පිළිබිඹු කරන මිල ගණන් හැර වෙනත් ආකාරයකින් ඉන්ධන විකිණීමට හෝ විදුලිය සැපයීමට නොහැකි ය. රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ගිවිසුමෙන් ඉවත් වීමට කැමති නම් (දිට්වා ආශ්‍රිත අයවැය වෙනස්කම් හේතුවෙන් පස්වන සමාලෝචනය සම්පූර්ණ කර නොමැත) සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත සංශෝධනය කිරීමට හෝ අවලංගු කිරීමට සුදානම් නම් මිස, ලෝක වෙළඳපොළ පෙර මට්ටම් කරා නැවත පැමිණෙන තෙක් මිල ගණන් ඉහළ යනු ඇත.

1751301694 ful L

 

මිල වැඩිවීම සැලකිය යුතු මට්ටමක නම්, ඉල්ලුමේ තාවකාලික හැකිලීමක් සිදුවනු ඇත. 2021 දෙසැම්බර් මාසයේ දී ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 121ක් විය. පෝලිම් ඇතිවීම පටන් ගත්තේ සහ මාර්ග අවහිරවීම සිදුවුයේ එම කාලයේ ය. 2022 නොවැම්බර් වන විට එය රුපියල් 430 දක්වා ඉහළ ගොස් තුන් ගුණයකටත් වඩා වැඩි වූ අතර සලාක ක්‍රමයට බෙදාහරිනු ලැබී ය. දැන් එය රුපියල් 303 කි, සලාක රහිත ය. ඒ අතර මාර්ග තදබදයෙන් පිරී ඇත. මිල වැඩිවීම් ස්ථිර ලෙස ඉල්ලුම හැකිලීමට හේතු වන්නේ නැත. ආර්ථිකය ගැළපීම සිදුවෙයි.

එක ම ප්‍රශ්නය හිඟයන් තිබේ නම් කුමක් කළ යුතුද යන්න යි. සලාක ක්‍රමයක් යොදා නොගත්තොත් පෝලිම් සහ කළු කඩ ඇති වනු ඇත. සලාක ක්‍රමය හඳුන්වා දුන්නත් කළු කඩ නැති වන්නේ නැත. සලාක සහ කළු කඩ වෙන් කල නොහැක. QR ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක වූ කාලයේ අවභාවිතා හේතුවෙන් පිරවුම් හල් 40කට දඬුවම් කරන්නට සිදු විය. හොර පාරෙන් කාන්දු වුනු ඉන්ධන ප්‍රමාණය සියයට 10කට වැඩි බව සාක්ෂි තිබිණ. හරියට ක්‍රියාත්මක කරන සලාක ක්‍රමයක එකම හොඳ පෝලිම් අවම කිරීමයි.

පරමාදර්ශී වන්නේ රජය මිල නියම කිරීමේ කටයුත්තෙන් ඉවත් වීමයි. මිල දිනෙන් දින විචල්‍ය වීමට ඉඩ සැලසීමයි. පුද්ගලික පිරවුම් හල් වලට ඕනෑම මිලක් නියම කිරීමේ නිදහස දිය යුතුය. පෝලිමේ රස්තියාදු වීමට අකමැති අයට එවිට පෝලිම් නැති වැඩි මිල පිරවුම් හල් වලින් තම අවශ්‍යතා සපුරා ගත හැකි වනු ඇත. නමුත් සෝවියට් සාහිත්‍යයෙන් චින්තනය ගොඩනඟා ගත් අයට සලාක ක්‍රමය ආරම්භ කළ පසු එය  නතර කිරීම දුෂ්කර විය හැකි ය.

fUEL

 

ශ්‍රී ලංකාවට ආර්ථික වර්ධනය අවශ්‍ය ය. යුද්ධය සමඟ කටයුතු කිරීම සඳහා විවිධ විකල්ප සලකා බලන විට එම සාධකය නොසලකා හැරීම නොකළ යුතුය. ඉල්ලුම විනාශ කිරීම සහ සලාක කරණය  ආර්ථික වර්ධනය ගොඩනැගීමේ කොටස් නොවේ. පොසිල ඉන්ධන පරිභෝජනය අඩු කරමින් අපට තවමත් ආර්ථික වර්ධනයක් ලබා ගත හැකි  නමුත්, එය දිගුකාලීන ව්‍යාපෘතියකි.

ප්‍රේෂණ

ඇමරිකානුවන් පර්සියානු ගල්ෆ් දූපතක පිහිටි ලවණ ඉවත් කිරීමේ කම්හලකට (desalination plant) පහර දුන් පසු, ඉරාන බලධාරීන් එම ප්‍රහාරය හෙළා දකිමින්  (එය ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීමකි) ප්‍රකාශ කළේ පූර්වාදර්ශයක් සපයා ඇති බව යි. බහරේනයේ ලවණ ඉවත් කිරීමේ කම්හලකට ඉරාන ප්‍රහාරයක් ඊළඟ දිනයේ  වාර්තා විය.

ඉරානය ලවණ ඉවත් කිරීමේ කම්හල් මත අවම වශයෙන් යැපෙන තත්ත්වය මෙන් නොව, ගල්ෆ් කලාපයේ බොහෝ රාජ්‍යයන් පානීය ජලය සඳහා ඒවා මත රැඳී පවතියි. යුද්ධය ජල සැපයුම් දක්වා පැතිර ගියහොත් මිනිසුන්ට විශාල වශයෙන් ඉවත් වීමට සිදුවන අතර ආර්ථික බලපෑම දැවැන්ත වනු ඇත.  මෙය සැලකිය යුතු සංඛ්‍යාවක් විදේශගත සේවකයින් නැවත පැමිණීමට පමණක් නොව, ඔවුන්ගේ ඉපැයීමේ හැකියාව අඩුවීමට ද හේතු වනු ඇත. ඒ අනුව ප්‍රේෂණ පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කළ හැකි ය.

web00012

 

කම්කරුවන් රට යැවීම පිළිබඳ එතරම් අගය කිරීමක් නොමැති වුව ද, ඔවුන්ගේ පවුල්වලට සහ ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභ යන අංශ දෙකෙන් ම, ශ්‍රී ලංකාව සහ නේපාලය වැනි රටවලට යථාර්ථවාදී විකල්පයක් නොමැත. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ශ්‍රී ලාංකිකයින්ට වැඩ කළ හැකි රටවල් විවිධාංගීකරණය කිරීමට සාමූහික උත්සාහයක් දැරීමෙන් ඔබ්බට, ගල්ෆ් කලාපයේ ශ්‍රම වෙළඳපොළවල් හා සම්බන්ධ අවදානම් වල ඍණාත්මක බලපෑම් අවම කිරීම සඳහා වැඩි යමක් කළ නොහැකි ය.

සංචාරක ව්‍යාපාරය

Sigiriya Sri Lanka

නූතන මහා පරිමාණ සංචාරක ව්‍යාපාරය ජෙට් ගුවන් යානා මගින් හැකියාව ලබා දී ඇති ලාභදායී  ගුවන් ගමන් මත පදනම්ව බිහි වුවකි.  ජෙට් ඉන්ධන මිල ඉහළ යාම නිසා ගුවන් ගමන් ගාස්තු ඉහළ යාම කර්මාන්තයට හානි කර වෙයි. ඉන්ධන හිඟයේ සහ උද්ධමනයේ විශාලතම බලපෑම්වලට මුහුණ දෙන යුරෝපීය වෙළඳපොළවල් වඩාත් බලපෑමට ලක්වනු ඇතැයි සිතිය හැකි ය. සංචාරක ව්‍යාපාරය යනු අභිමත වියදමක් වන බැවින්, වියදම් ඉහළ ගියහොත් එයට පහර වැදිය හැකි ය. ආසියානු වෙළෙඳපොළවල ඉල්ලුමට අඩු බලපෑමක් ඇති විය හැක්කේ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් එතරම් නරක ලෙස බලපෑමට ලක් වන්නේ නැති නිසාත්, ශ්‍රී ලාංකික නිවාඩුවක ගමන් වියදම් පංගුව කුඩා වන නිසාත් ය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට වඩා තරමක් වැඩි මගීන් ප්‍රමාණයක් රැගෙන ආ ගල්ෆ් කලාපයේ පිහිටි සුපිරි සම්බන්ධක ගුවන් සේවා තුනෙහි ම කීර්ති නාම යම් හානියකට ලක්ව ඇති අතර, එය වෙනස් කර ගැනීමට යම් කාලයක් ගතවනු ඇත. හොඳ ම තත්ත්වයක දී, දැනටමත් සුපිරි සම්බන්ධකයක් ලෙස ක්‍රියාත්මක වන තුර්කි ගුවන් සේවය, දුර්වලතාවයෙන් මිදීමට උපකාරී වීමට ඉඩ තිබේ. විකල්පයක් ලෙස, දකුණු ආසියාව පදනම් කරගත් සුපිරි සම්බන්ධකයක් මතුවිය හැකි ය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඉක්මනින් ම, විශාල ආයෝජකයෙකුට විකුණා, දෙවන ධාවන පථය ඉදිකිරීම ඇතුළුව කටුනායක ගුවන් තොටුපළ පුළුල් කිරීම කෙරෙහි රජය අවධානය යොමු කළහොත්, කොළඹට එම හිඩැස පිරවීමට අවස්ථාවක් ලැබෙනු ඇත.

Rohan Samarajiva(සටහන | මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික  

rohan@lirneasia.net

Chair, LIRNEasia (www.lirneasia.net)
Twitter: @samarajiva

https://www.linkedin.com/in/rohan-samarajiva-39199918/
Most recent publication: https://journals.sagepub.com/doi/full/10.1177/14614448221143428
Most recent book: https://www.idrc.ca/en/book/infocus-information-lives-poor-fighting-poverty-technology

 

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...