The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඉරාන ඇමරිකා යුද්ධයේ සමාජාර්ථික බළපෑම් මත වෙනස්වන ඇමරිකානු ජන මනස | ශෝන් ඒමොස් ලියනගේ ඇමරිකාවේ සිට ලියයි

T

The Leader Desk

March 19, 2026 • 8:22 AM

ඉරාන ඇමරිකා යුද්ධයේ සමාජාර්ථික බළපෑම් මත වෙනස්වන ඇමරිකානු ජන මනස | ශෝන් ඒමොස් ලියනගේ ඇමරිකාවේ සිට ලියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2026 පෙබරවාරි 28 වන දින ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කළ ‘එපික් ෆියුරි’ (Operation Epic Fury) මෙහෙයුම, ඇමරිකාව තුල දැඩි මහජන විරෝධයක් එල්ල වෙන යුද්ධයක් බවට පරිවර්තනය වෙමින් තිබේ.
  • එමෙන්ම නිව් යෝර්ක් ටයිම්ස් පුවත් පත පෙන්වා දෙන ආකාරයට, මින් පෙර සිදුවූ ඉරාක සහ ඇෆ්ගනිස්තාන යුද්ධ වලට සාපේක්ෂව මෙම යුද්ධයේ ඇමරිකානු හමුදා සහභාගීත්වයට ජනතාව තුලින් ඇතිවී ඇති ප්‍රතිරෝධය සුවිශේෂ බවයි.
  • ඔහු ඉතා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මෙන්ම මින් පෙර යුද්ධ සඳහා සහභාගීවී ඇති පළපුරුදු සොල්දාදූවෙක්ද වෙයි.
  • ඔහු තම ධූරයට සමුදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලියූ ලිපිය දැන් වෙනවිට යුධ ක්‍රියාවලියට බරපතල අභියෝගයක් එල්ල කර ඇත්තෙ මෙම යුද්ධයට ඇමරිකාව සහභාගීවී ඇත්තේ තනිකරම ඊශ්‍රායලයේ පෙරැත්ත කිරීම නිසා බව ඔහු සෘජුවම ප්‍රකාශකර ඇති නිසාය.
අකුරු ප්‍රමාණය (Font Size):


ගුවන් ප්‍රහාර මගින් ඉරාන උත්තරීතර නායකයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් රැසක් ඝාතනය වුවද එම ප්‍රහාර ගැන ජයග්‍රාහී අර්ථ කථනයන් ඇති වෙනවා වෙනුවට, මෙම යුද්ධය විසින් ඇමරිකානු සමාජය තුළ පවතින දේශපාලන සහ ආගමික බෙදීම් මෙන්ම ආර්ථික ප්‍රශ්ණ ද නිරාවරණය කර ඇත. එමෙන්ම නිව් යෝර්ක් ටයිම්ස් පුවත් පත පෙන්වා දෙන ආකාරයට, මින් පෙර සිදුවූ ඉරාක සහ ඇෆ්ගනිස්තාන යුද්ධ වලට සාපේක්ෂව මෙම යුද්ධයේ ඇමරිකානු හමුදා සහභාගීත්වයට ජනතාව තුලින් ඇතිවී ඇති ප්‍රතිරෝධය සුවිශේෂ බවයි. එවැනි පසුබිමක මෙම ලිපිය ඇමරිකානු ජන මතය යුද්ධයට පක්ෂව සහ විපක්ෂව ක්‍රියා කරන්නේ කුමන මතවාද තුලින්ද යන්න ගැන විපරමකි.

ජාතික ප්‍රති-ත්‍රස්ත මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකගේ හදිසි ඉල්ලා අස්වීම

ඉරාන - ඇමරිකා යුද්ධයට තමාගේ හෘද සාක්ෂියට එකඟව සහය දිය නොහැකි බව පවසමින් ඇමරිකාවේ ජාතික ප්‍රති-ත්‍රස්ත මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෝ කෙන්ට් (Joe Kent) සිය තනතුරෙන් ඉල්ලා අස්වන්නේ දැනට දින දෙකකට පෙරය. ඔහු ඉතා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මෙන්ම මින් පෙර යුද්ධ සඳහා සහභාගීවී ඇති පළපුරුදු සොල්දාදූවෙක්ද වෙයි. ඔහු තම ධූරයට සමුදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලියූ ලිපිය දැන් වෙනවිට යුධ ක්‍රියාවලියට බරපතල අභියෝගයක් එල්ල කර ඇත්තෙ මෙම යුද්ධයට ඇමරිකාව සහභාගීවී ඇත්තේ තනිකරම ඊශ්‍රායලයේ පෙරැත්ත කිරීම නිසා බව ඔහු සෘජුවම ප්‍රකාශකර ඇති නිසාය.

එමෙන්ම ඉරානයෙන් ඇමරිකා එක්සත් ජනපදයට කිසිදු තර්ජනයක් නොතිබූ බවත් ඔහු ප්‍රකාශ කර ඇත. මෙවැනි සිදුවීම් ඇමරිකානු ජනමතයට දැඩිව බලපාන අතරම යුද්ධයට විරුද්ධව නැගී එන විරෝධය තව තවත් ශක්තිමත් වී ජනාධිපති ට්‍රම්ප්ට තව දුරටත් දුෂ්කරතා ඇති කරනු ඇතැයි අපට අනුමාන කල හැක.

"56% ක් විරුද්ධයි" - ජනමත සමීක්ෂණ කියයි



NPR සහ CNN වැනි ප්‍රමුඛතම ජනමාධ්ය ආයතන මෙන්ම Marist වැනි විශ්ව විද්‍යාල ද මාර්තු මස මුල් භාගයේ පවත්වන ලද ජනමත සමීක්ෂණයන්ට අනුව, ඇමරිකානු පුරවැසියන්ගෙන් 56%ක් ඉරානයට එරෙහි හමුදා ක්‍රියාමාර්ගය ප්‍රතික්ෂේප කරති. CNN වාර්තා කළේ, ස්වාධීනව සිදු කළ ජනමත සමීක්ෂණ දත්ත ද ඒ ගණන 59% දක්වා ඉහළ නංවන බව ප්‍රකාශ විය.

පාබළ හමුදාවක් ඉරානයට යැවීම පිළිබඳව විරෝධය තවත් තියුණු බව අපට පෙනෙන්නේ Quinnipiac විශ්වවිද්‍යාලය නිකුත් කළ දත්තවලට අනුවය. ඔවුන්ගේ සමීක්ෂනයන්ට අනුව ලියාපදිංචි ඡන්දදායකයින්ගෙන් 74%ක් ගොඩබිම් යුද්ධයකට අකමැත්තක් දක්වයි — ඒ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චන්ද දායකන්ද ඇතුළුවය. මෙවැනි යුධ විරෝධී හැඟීම් හෝ යුද්ධයට පක්ෂපාත හැඟීම් උද්දීපණයට ඉවහල් වන කාරනා මොනවාදැයි දැන් අප සලකා බලමු.

එවැන්ජලික ක්‍රිස්තියානි බලපෑම්

මෙම යුද්ධය සම්බන්ධයෙන් ඇමරිකානු මහජනතාව දරන මතය කෙරෙහි ඇමරිකානු ආගමික අනන්‍යතාවයේ යාවජීව කොටසක් ලෙස හැඳින්විය හැකි සුදු ජාතික එවැන්ජලිකල් ක්‍රිස්තියානි බැතිමතුන්ගෙන් 68%ක සුවිසේෂ බලපෑමක්ද පෙනෙනට තිබේ. ඔවුන් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය අනුමත කරන්නේ ඉරානය ලෝක සාමයට ඇති තර්ජනයක් ලෙස සලකමින් වුවත් එහි යටි තලවල ඔවුන් විශ්වාස කරන්නෙ මෙම යුද්ධය බයිබලයේ එළිදරව් 16:14 කොටසේ සඳහන් "අර්මගෙදොන් (Armagedon) නොහොත් අවසාන යුද්ධය බවයි. එය අවසානයේ ජේසුස් වහන්සේගේ දෙවන පැමිනීම සිදුවන බවත් එම පැමිනීමට ලක ලැහැස්තියක් ලෙස මම යුද්ධය ඇමරිකාවේ සහයෝගය ඇතිව සිදු විය යුතු බවත් ඔවුන්ගේ විශ්වාසයයි.

ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) වැනි නිලධාරීන් මෙම භූ දේශපාලනික ගැටුම ක්‍රිස්තියානි ශිෂ්ටාචාරයේ සටනක් ලෙස හුවා දක්වද්දී, ඇමරිකානු හමුදාව තුළ ද ක්‍රිස්තියානි ආගමික අන්තවාදය පැතිර යන බවට චෝදනා එල්ල වේ. හමුදා ආගමික නිදහස පිළිබඳ පදනම (MRFF) පවසන්නේ, ඇතැම් ඇමරිකානු හමුදා අණදෙන නිලධාරීන් විසින්ද මෙය "දෙවියන්ගේ දිව්‍යමය සැලසුමක්" බවත්, ජනාධිපතිවරයා "අර්මගෙදොන් (Armageddon) යුද්ධය සඳහා අභිෂේක ලත් අයෙක්" බවත් පවසමින් සෙබළුන් යුද්ධය සඳහා උනන්දු කරවන බවයි.

නමුත් අන්තවාදී ගති පැවතුම් ඇති ක්‍රිස්තියානි නිකායන් ඇමරිකානු ජනගහනයෙන් 3% පමණ පහත අගයක් ගන්නා බැවින්, 40% වන ඇමරිකානු ප්‍රොතෙස්තන්ත වරුන් හා 19% වන කතෝලිකයින් මේ අදහස් වලට එකඟද නැතිද යන්න ඉතා වැදගත් ප්‍රශ්ණයකි.

ආර්ථික ප්‍රශ්ණ, ඉන්ධන මිල සහ ස්ටැග්ෆ්ලේෂන්

බොහෝ එකසත් ජනපද වාසීන්ට ඉරාන යුද්ධය යනු රූපවාහිනියේ දකින ප්‍රවෘත්තියක් පමණි. සැබැවින්ම ඔවුන් සිටින්නේ ලෝකයේ අනෙකුත් ප්‍රදේශ වලට බොහෝ දුරින් බව අප වටහාගත යුතු සත්‍යයකි. එම නිසාම ඔවුන් ලෝකයේ අනිකුත් ප්‍රදේශවල සිදුවන සිදුවීම් ගැන එතරම් උනන්දුවක් දක්වන්නේ නැත. එක් ලෙසකින් බැලුවහොත් ඇමරිකාවද සංස්කෘතිමය වශයෙන් තනිවූ යම් කිසි දූපත් මාණසිකත්වයක් ඇති රාජ්යක ගති ලක්ෂන පෙන්වන බව අපට පෙනෙන්නට තිබේ.

නමුත් එක්සත් ජනපද වාසීන්ට දැනෙන දෙයක් නම් ලෝක ආර්ථිකයේ වෙනස්කම් නිසා ඔවුන්ගේ ආර්ථිකයට සිදුවෙන සෘනමය බලපෑම්ය. උදාහරණයක් ලෙස දැන් දැන් ඔවුන්ට වැඩිවෙන තෙල් මිල දැනෙන්නට පටන් ගෙන ඇත. එමෙන්ම තෙල් මිලට සම්බන්ධ වන ජීවන වියදම ඉහල යෑම, ඔවුන්ගේ නිවාස සහ කාමර කුළිය අතික්‍රමනය වීම, පෙබරවාරි මාසයේදී ඇමරිකානු ආර්ථිකයට රැකියා 92,000ක් අහිමි වීම සහ උද්ධමනය ඉහළ යාම නිසා ආර්ථිකය එකතැන පල්වීමේ (Stagflation) අවදානමක් මතු වීම වැනි දේ ගැන එදිනදා හමුවෙන එක්සත් ජනපද වාසීන් කතා බහ කරති. එමෙන්ම යුද්ධය නිසා සිදුවූ ක්‍රිප්ටෝ කරන්සි අගය පහත වැටීමද ඔවුන්ට බලපා ඇත.

මේ කරුනු යුද්ධය නිසා තව තවත් දරුණු ලෙස එක්සත් ජනපද ආර්ථිකයට බලපෑවොත්, ජනතාව අතරින් යුධ විරෝධයක් මීටත් වඩා උත්සන්නව ඇතිවිය හැකි බව බොහෝ අය පවසන දෙයකි. එම නිසාම යුද්ධය ඉක්මනින් නිමා කරගැනීම ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ උපායවුවත්, ඉරාන යුධ බලයේ ස්ථිර බව එයට දැඩි බාධාවක් එල්ල කර ඇත.

මාධ්‍ය සහ තොරතුරු යුද්ධය


ඇමරිකානුවන් තොරතුරු ලබාගන්නා මූලාශ්‍ර අනුව ද ඔවුන්ගේ අදහස් බෙදී පවතී. ට්‍රම්ප් සහ රිපබ්ලිකන් පක්ෂයට නැඹුරු ෆොක්ස් නිව්ස් (Fox News) මෙය සාර්ථක ආරක්ෂක මෙහෙයුමක් ලෙස හඳුන්වද්දී, ඩිමොක්‍රැටික් පක්ෂයට නැඹුරු CNN සහ MSNBC වැනි නාලිකා අවධාරණය කරන්නේ කොන්ග්‍රස් අනුමැතියකින් තොරව යුද්ධයකට යෑමේ ව්‍යවස්ථාපිත අර්බුදයයි. ඡන්දදායකයින්ගෙන් 74%ක් ගොඩබිම් හමුදා යැවීමට විරුද්ධ වීම රජයට පවතින ප්‍රධානතම දේශපාලන අභියෝගයයි.

 

iran crisis transfer usa


ඒ අතරම නොවැම්බර් මස පැවැත්වීමට නියමිත ජනමත විචාරය ඩොනල්ඩ් ට්‍රම්ප් හට අවාසිදායක වී ඔහුට විරුද්ධව දෝශාභියෝගයක් සම්මත වීමට පවා ඉඩක් මෙම යුද්ධය නිසා ඇති වීමට හැකිය. විශේෂයෙන්ම ඇමරිකානු සොල්දාදූවන් මරණයට පත්වීම ඔහුගේ ජනාධිපති තනතුරට දැඩි තර්ජනයක් විය හැක.
ඒ අතරම කලින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහයෝගය දුන් මාධ්ය වේදීන් වන ටකර් කාර්ල්සන් (Tucker Carlson) සහ යූටියුබ් සමාජ ක්‍රියාකාරිණී කැන්ඩේස් ඔවෙන්ස් (Candace Owens) වැනි චරිත දැන් ට්‍රම්ප් විරෝධී සහ යුධ විරෝධී ආකෘතියකට මාරුවී සිටීමද යුද්ධය ගැන ඇමරිකානු සිතැඟි වෙනස් කරලීමට ඉවහල් වී ඇති බවක් පෙනෙයි.
පහත දැක්වෙන්නේ යුද්ධය ගැන ඇමරිකානු ජනමතයේ විවිධත්වය සම්පින්ඩනය කල වගුවකි
 
image 10
නිගමනය:

ඉරාන යුද්ධය මේ වනවිට ලෝකයට නිරාවරනය කරන්නෙ ඇමරිකාවේ මෙතෙක් නොපැවති සමාජාර්ථික සහ ආගමික උන්මාදයක් නොවේ. එය නිරාවරනය කරන්නේ එක්සත් ජනපද සමාජයේ කවදත් පැවති විෂමතාවන්ය. මෙහි වැදගත්ම සංසිද්ධිය වන්නේ එම විෂම තාවන් දැන් දැන් මුළු මහත් ලෝකයටම බලපාන තැනකට තල්ලුවී යාමයි. එමනිසා සැබැවින්ම එක්සත් ජනපදය තුල සිදුවන සිදුවීම් ගැන විශ්ලේශාත්මකව බලා ශ්‍රී ලංකාව වැනි රටවල් ඊට අදාල ලෙස සමාජ, ආර්ථික පිළියම් සොයාගත යුතු බව අපගේ ගැඟීමයි.


shone
(සටහන | ශෝන් ඒමොස් ලියනගේ )

ඇමරිකා එක්සත් ජනපදයේ සිට ලියයි

kliyanage@antioch.edu


දත්ත මූලාශ්‍ර සහ සබැඳි (Full References)

[1] New York Times - යුද සහයෝගය පිළිබඳ විශ්ලේෂණය: Unlike Past U.S. Conflicts, Iran Attack Is Opposed by Most Americans
[2] CENTCOM - Operation Epic Fury නිල නිවේදනය: U.S. Forces Launch Operation Epic Fury
[3] CNN Politics - හමුදා බලය භාවිතය පිළිබඳ මත විමසුම: 
[4] Quinnipiac University Poll - ගොඩබිම් හමුදා සහ තෙල් මිල: 
[5] NPR - 56%ක් යුද්ධයට විරුද්ධ බව පවසන Marist ජනමත සමීක්ෂණය: U.S. Military Action Against Iran: Over Half Of Voters Oppose It, 74% Oppose Sending Ground Troops Into Iran, Quinnipiac University National Poll Finds; Vast Majority Expects The Conflict To Last Months Or More
[6] NBC News - ජෝ කෙන්ට්ගේ ඉල්ලා අස්වීම:National Counterterrorism Center director resigns over Iran war
[7] The Guardian - හමුදාව තුළ ආගමික බලපෑම් පිළිබඳ වාර්තාව: US troops were told war on Iran was ‘all part of God’s divine plan’, watchdog alleges
[8] Fox Business - තෙල් මිල සහ හෝමූස් සමුද්‍ර සන්ධියේ බලපෑම: 
[9] Bloomberg - ක්‍රිප්ටෝ වෙළඳපොළ සහ යුද්ධයේ බලපෑම: Bitcoin Declines the Most in Three Weeks as Risk Aversion Rises
[10] Yahoo News - ටකර් කාර්ල්සන්ගේ විරෝධය: The MAGA Movement Is Eating Itself on Camera. Tucker Carlson Just Turned It Into a Spectacle
[11] Military Religious Freedom Foundation (MRFF) - ආගමික පැමිණිලි: 
[12] Citigroup Global Markets - ආර්ථික සහ ස්වැග්ෆ්ලේෂන් අවදානම: 
[13] University of Maryland - තීරණාත්මක ගැටළු පිළිබඳ මත විමසුම: 
[14] Marist Poll - මාර්තු 2026 ඉරාන යුද්ධය පිළිබඳ සමීක්ෂණය: Majority of Americans Disapprove of U.S. Military Action in Iran
[15] Pew Research - ට්‍රම්ප්ගේ ඉරාන ප්‍රතිපත්තිය පිළිබඳ විශ්ලේෂණය: Majority of U.S. Public Says Trump’s Approach on Iran Has Raised Chances of a Major Conflict
Poll: A majority of Americans opposes U.S. military action in Iran 

 

 whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...