The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල් සතුටට පත්වන ආකාරයෙන් ජී. එල් බාරගත් වගකීම ?

T

The Leader Desk

March 20, 2026 • 6:30 AM

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල් සතුටට පත්වන ආකාරයෙන් ජී. එල් බාරගත් වගකීම ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව ගියේ මේ සතිය ආරම්භයේදීමය. ඒ ගමනේ මූලික අරමුණ වූයේ වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර කිහිපයකට ලක්වීමයි.
  • රනිල්ට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ අදාළ වෛද්‍ය කටයුතු සාර්ථක බවයි.
  • වජිර, තලතා, සාගල, අකිල, හරීන් ඇතුළු නායකයෝ එහි වූහ.
  • සතිපතා කළමනාකරණ කමිටුව රැස්කර තීරණ ගැනීම පිළිබඳවත්, මේ වන විටත් අරඹා ඇති පක්ෂ යාන්ත්‍රණයේ ඇතැම් වැඩ සම්බන්ධයෙනුත් රනිල් පක්ෂයේ නායකයන්ට නැවත සිහිපත් කිරීමක් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


රනිල්ගේ ප්‍රතිකාර කටයුතු සිංගප්පූරුවේ දී බදාදා දිනයේ දී සිදු කෙරිණි. රනිල්ට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ අදාළ වෛද්‍ය කටයුතු සාර්ථක බවයි.

රනිල් සිංගප්පූරුවට යන්නට පෙර පක්ෂයේ ප්‍රධානීන් සියලුම දෙනා කැඳවීය. වජිර, තලතා, සාගල, අකිල, හරීන් ඇතුළු නායකයෝ එහි වූහ. තමා රටේ නැති කාල වකවානුවේදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව රනිල් එහිදී ඔවුනට උපදෙස් ලබා දුන්නේය.

ranil hospital 250828
සතිපතා කළමනාකරණ කමිටුව රැස්කර තීරණ ගැනීම පිළිබඳවත්, මේ වන විටත් අරඹා ඇති පක්ෂ යාන්ත්‍රණයේ ඇතැම් වැඩ සම්බන්ධයෙනුත් රනිල් පක්ෂයේ නායකයන්ට නැවත සිහිපත් කිරීමක් කළේය.

රනිල්ට මේ ගමන යාමට සිදු වූයේ හදිසියේය. ඔහු කලින් බාරගත් වැඩ කටයුතු රාශියක් විය. හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කැඳවූ රනිල් තමාට ඊට සහභාගී වීමට නොහැකි වන හෙයින් ඒ වැඩ කටයුතු සඳහා සුබ පැතුම් පණිවිඩ ආදිය යවා මෙහෙයුම් කටයුතු කරන ලෙස දැනුම් දුන්නේය. රටේ මාධ්‍ය හැසිරීම් පිළිබඳ වග විස්තර දැනුම් දෙන්නැයි වගකීම පවරනු ලැබූයේ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්නටයි.

ප්‍රධානතම වැඩකටයුත්ත මහාචාර්ය ජී එල් පීරිස්ට...

ප්‍රධානතම වැඩකටයුත්ත බාර දුන්නේ මහාචාර්ය ජී එල් පීරිස්ටයි. ඒකාබද්ධ විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරගෙන ඉදිරියට යන ගමන ගැන මෙහිදී විස්තර කළ රනිල් තමා රටේ නොසිටින කාලයේදී එම වැඩ කටයුත්ත වඩා හොඳින් කරගෙන යනු ඇතැයි විශ්වාසය පළ කළේය.

එහිදී රනිල් සතුටට පත්වන ආකාරයේ පිළිතුරක් ලබා දුන් ජී. එල් වගකීම ඉතා සතුටින් බාර ගත්තේය.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ වාමාංශික පක්ෂ අතර සාකච්ඡාවක් කොමියුනිස්ට්  පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි. ඊට කොමියුනිස්ට් පක්ෂය, සම සමාජ පක්ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ,නියෝජනය කරමින් පක්ෂ නායකයෝ සහභාගී වූහ.

වාමාංශික පක්ෂ නායකයන්ට අමතරව ජී.එල් ගේ කැඳවීම පරිදි ගම්මන්පිල, ටිරාන් අලස්, දුමින්ද දිසානායක, අනුර ප්‍රියදර්ශන, චන්න ජයසුමන, සර්වජන ලේකම් රන්ජන් සෙනෙවිරත්න, සුගීෂ්වර, ප්‍රේමනාත් දොලවත්ත සහභාගී වූහ. කොමියුනිස්ට් පක්ෂයෙන්  ඩියු ගුණසේකර, එහි සභාපති වීරසුමන වීරසිංහ, ලේකම් වෛද්‍ය වීරසිංහ සහභාගී වූහ.

මෙම විශේෂ සාකච්ඡාව සඳහා පක්ෂ  දහයක නියෝජිතයෝ එක් වූහ.

 



ජී.එල් මේ පුළුල් එකතුවේ අරමුණ පැහැදිලි කළේය.

මෙහි පැමිණි වාමාංශික පක්ෂ සියල්ලටම දිගු ඉතිහාසයක් තිබෙන බව සඳහන් කළ ජී.එල් ඒ වාගේම ඒවාට අනන්‍යතාවයක් තිබෙන බව කීය. ඒ පක්ෂ වල අනන්‍යතාවය රැක ගනිමින් පොදු වැඩපිළිවෙළකට අවතීර්ණ වීම අපේක්‍ෂාව බව මෙහිදී ජී.එල් සඳහන් කළේය.


''ආණ්ඩුව හැමදේටම යුද්දේ ඉස්සරහට දාලා ඇඟ බේරගන්නවා. නමුත් ඒක ඇත්ත තත්ත්වය නෙමෙයි''

" අද රට බරපතල අර්බුදයකට මුහුණ දීලා සිටින්නේ. දැන් ආණ්ඩුව හැමදේටම යුද්දේ ඉස්සරහට දාලා ඇඟ බේරගන්නවා. නමුත් ඒක ඇත්ත තත්ත්වය නෙමෙයි. විදුලිය නැතිවීමේ විශාල අවදානමක් තියෙනවා. ආසියාවේ කිසිම රටක මෙහෙම ප්‍රශ්න ඇති වෙලා නෑ. අපේ රට මේ තත්ත්වයට පත්වීමට හේතුව වන්නේ ආණ්ඩුවේ දූෂණ සහ කළමනාකරණයක් නොමැති වීමයි.

ගල් අඟුරු වංචාව සහ ඉදිරියේදී ලයිට් කපන්නට සිදුවීමේ සෘජු සම්බන්ධයක් තිබෙනවා. ඒ වගේම ගල් අඟුරු බාල වීම නිසා ලංකාවේ ඩීසල් වලින් විශාල ප්‍රමාණයක් නොරොච්චෝලේ බලාගාරය ක්‍රියාත්මක කිරීම සඳහා වැය කරන්නට සිදු වී තිබෙනවා.ඒ කත් වංචාවේ ප්‍රතිඵලයක් තමයි.

QR

දැන් කිව්.ආර් කෝඩ් එකක් ගෙනල්ලා තිබුනත් හැම තැනම ඉන්ධන පෝලිම් තියෙනවා. මේ කිව්.ආර් කෝඩ් එක 2023 අවුරුද්දේ හඳුන්වලා දීමෙන් පසු අද වෙනතුරු එහි කිසිම යාවත්කාලීන කිරීමක් සිදුවී නැහැ. ආණ්ඩුවත් එහි තිබිච්ච එක එහෙම්මම ගෙනල්ලා අත ඇරියා මිසක් කිසිම යාවත්කාලීන කිරීමක් කළේ නෑ. ඒකෙන් තේරෙන්නේ මේ ආණ්ඩුව කිසිම දේකට සූදානමක් නෑ කියන එක. ඊළඟට තාවකාලිකව තෙල් ගන්න යනවා.

ඉන්ධන නැති නිසා කෘෂි අස්වනු කපා ගන්නට නොහැකි වීම විශාල ප්‍රශ්නයක් වෙලා. තෙල් ගන්න ක්‍රමවේදයක් නැති නිසා සුනාමි, භූතයා යන්ත්‍ර ෂෙඩ් ළඟට පටවගෙන එන්න සිදුවෙලා.

''දැන් මේ ආණ්ඩුව රටට මහා විහිළු සපයන තැනක් බවට පත්වෙලා''

ඉන්ධන නැත්නම් බයිසිකලෙන් වැඩට යන්නැයි ඇමතිලා දොස්තරලාට කියනවා. දැන් මේ ආණ්ඩුව රටට මහා විහිළු සපයන තැනක් බවට පත්වෙලා. සංචාරක ව්‍යාපාරය ඉදිරියට ගෙන යන්න කිසිම වැඩපිළිවෙලක් නෑ.සමස්ත ක්‍රියාදාමයම අවුලක් බවට පත්වෙලා.

මේ අය තෙල් අර්බුදය ඇතිවෙන්න කලින් මුලින්ම කිව්.ආර් කෝඩ් එක හඳුන්වා නුදුන්නේ එහි ගෞරවය කාංචනයටත් රනිල්ටත් යාවි කියලා බයෙන්. ඒ වගේ උද්දච්ච ඉරිසියාවෙන් පිරුණු ආණ්ඩුවක් තමයි මේ.

1720435067 government employees L

බදාදා නිවාඩු දිනයක් කලාට ඒකත් එක්ක සමගාමීව තෙල් පරිභෝජනය අඩු කරන්න ඉදිරිපත් කළ යුතු පියවර කිසිම දෙයක් අරගෙන නෑ. සතියේ දින නිවාඩුවක් බවට පත්කිරීම මුලින්ම කළේ පිලිපීනය. ඒ උදවිය ඒක කළේ සැලැස්මකට අනුව.

ආයතන විශ්ව විද්‍යාල ආදිය වසා දැමීමේ තීරණය මුලින්ම ගත්තේ බංගලාදේශය.ඒකටත් ඔවුන්ට සැලැස්මක් තිබුණා.තායිලන්තය වියට්නාමය වගේ රටවල්ද මේවාට පියවර ගත්තා.හැබැයි ඔවුන් ඒ පියවර ගනු ලැබූයේ සමස්තයම ආවරණය වන පරිදි පුළුල් සැලැස්මකට අනුවයි.ලංකාවට එවැනි කිසිම අත්දැකීමක් නෑ.ජී.එල් රටේ වත්මන් තත්ත්වය ගැන එලෙස දීර්ඝ විස්තරයක් කළේය.

එහිදී වාමාංශික පක්ෂ නියෝජිතයන්ගේ අදහස වූයේ ආණ්ඩුවට මැතිවරණ කඩිනමින් පැවැත්විය යුතු යැයි යන බලපෑම කළ යුතු බවයි.

මේ ආණ්ඩුව කිසිවකට ඇහුම්කන් නොදෙන බවත් නමුත් ඒ තත්ත්වය වෙනස් කරමින් අන්‍ය මතයන්ට ඇහුම්කන් දෙන තත්ත්වයකට ආණ්ඩුව ගෙන ආ යුතු බවත් පක්ෂ නායකයන්ගේ අදහස විය.

 



ජනතා සහන දෙන වැඩපිළිවෙළකට එකතු විය යුතු බව පක්ෂ නායකයන්ගේ පොදු එකඟතාව විය.

ජී.එල් මෙහිදී පක්ෂ නායකයන් අමතමින් තවදුරටත් පැවසූයේ තම කණ්ඩායම මීට පෙර සජිත්, නාමල්, දිලිත් වැනි නායකයන්ද හමුවූ බවයි.

මේ වැඩපිළිවෙලට සජිත් හැර අනෙක් සියලුම දේශපාලන පක්ෂ නායකයන් එක්ව ක්‍රියා කිරීම කැපී පෙනෙන බව එහිදී පක්ෂ නියෝජිතයන් රැසකගේ අදහස විය.

ජී.එල්. සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයට ..

 

Professor G.L.Peiris and Professor Iqbal Singh Sevea
ජාත්‍යන්තර සබඳතා සහ සාම ක්‍රියාදාමය සම්බන්ධයෙන් දෙසුමක් පැවැත්වීම සඳහා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයට එන්නැයි ජී.එල් ට ඇරැයුමක් ලැබිණි.

දකුණු ආසියා කලාපයේ සිසු සිසුවියෝ මෙය සංවිධාන කළහ.

එහි මුලසුන දරන ලද්දේ එම සරසවියේ අධ්‍යක්ෂ මහාචාර්ය ඉක්බාල්ය. එම දෙසුමෙන් පසු ප්‍රශ්නෝත්තර වටයකටද ජී.එල් සහභාගී විය.රාජ්‍ය තාන්ත්‍රිකයෝ ද,සිවිල් සංවිධාන නියෝජිතයෝද විද්‍යාර්ථීහුද මීට සහභාගී වූහ.

වජිර හෙළිකළ ආණ්ඩුවේ නිරුවත....

වජිර මේ සතියේ කළ ප්‍රකාශයකින් පසු ආණ්ඩුවේ ඇත්ත නිරුවත බොහෝ දෙනෙක් දැක බලාගත්තේය.

එහිදී වජිර නැගුවේ ප්‍රබල චෝදනාවකි.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි අලුත් වැඩියා කර සංවර්ධනය කිරීමට ගත් උත්සාහයන් තුනක්ම ව්‍යවර්ථ කළේ ජනතා විමුක්ති පෙරමුණ බව වජිර එහිදී චෝදනා කළේය.

එම තෙල් ටැංකි වල අයිතිය කාට තිබුණත් මෙවැනි අවස්ථාවක එහි ප්‍රයෝජනය ලැබෙන්නේ මෙරට ජනතාවට බව වජිර එහිදී කීය.

" රනිල්  පාලනය යටතේ 2002-2004 යුගයේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි ප්‍රතිසංස්කරණය කර සංවර්ධනය කිරීමට විධි විධාන යෙදුවා. ඒ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ රට පුරා ව්‍යාජ භීතියක් මවමින් ඒ කටයුතු අඩාල කරනු ලැබුවා.

නැවත වතාවක් 2015-2020 කාල වකවානුවේදී රනිල්  අග්‍රාමාත්‍යවරයා ලෙස ඉන්දීය රජයේද සහාය ඇතිව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංවර්ධනය කර ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහයක් ගත්තා. ජනතා විමුක්ති පෙරමුණේ බලපෑම නිසා එම කාර්යයත් යටපත්ව ගියා.

නැවත වතාවක් රනිල් ජනාධිපතිවරයා ලෙස 2022-2024 වකවානුවේදී තෙල් ටැංකි සංවර්ධනය කිරීමට ගත් උත්සාහය ජනතා විමුක්ති පෙරමුණේ විරෝධයන් නිසා ක්‍රියාත්මක කිරීමට හැකි වුණේ නැහැ. 

Trincomalee oil tanks

මේ අවස්ථා තුනෙන් එකකදී හෝ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය කිරීමට අවස්ථාව ලැබුණා නම් වර්තමානයේ උද්ගතව ඇති ප්‍රශ්න හමුවේ රටට අවශ්‍ය තෙල් ගබඩා කිරීමට ඉඩ ලැබෙනවා.

එම ටැංකිවල අයිතිය කාට තිබුණත් ඒවායේ තිබෙන තෙල් වල හිමිකම ලැබෙන්නේ ශ්‍රී ලංකාවටයි. අර්බුදකාරී අවස්ථාවක ඉතා සුමටව ඊට මුහුණ දීමට ත්‍රිකුණාමලය තෙල් ටැංකිය යොදා ගැනීමට අවස්ථාව තිබුණා. ඒ මහඟු අවස්ථා තුනම කඩාකප්පල් කරන ලද ජනතා විමුක්ති පෙරමුණට අද දිට්ට ධම්ම වේදනීය කර්මය පලිසන් දී ඇතැයි  වජිර එහිදී චෝදනා කළේය.

හරීන් ලුණු ඇඹුල් ඇතුව ආණ්ඩුව ගැන කියපු කතාව ...

හරීන් ඉකුත්දා  කළ මාධ්‍ය හමුවේදීද ආණ්ඩුවට ලුණු ඇඹුල් ඇතුව කන් ඇඟිලි ගසා ගන්නට දේශනයක් කළේය.

"ගෝඨාභය ඉල්ලා අස්වෙලා ගියා.මෙයාට හොයා ගන්නවත් බැරි විදියට පැනලා යන්න වෙනවා.ඒක අපි කිව්වා කියලා හොඳට මතක තියාගන්න" හරීන් මාධ්‍ය හමුවේදී එහෙම කිව්වේ ජනාධිපතිටය.

එදා තඹුත්තේගම යෝදයන් සිටි බවත් අද තඹුත්තේගමින් නිකම්ම නිකන් හාදයෙක් බිහි වී ඇති බවත් හරීන්  චෝදනා කළේය.

අන්තිමට ඉතුරු වුනේ කජු කන සීයා රටට ඉතිරි කර ගිය ඩොලර් බිලියන හය විතරක් බවද හරීන් එහිදී කීය.

harin fernando 260319

"අද රනිල් හිටියා නම් මොකක්ද වෙන වෙනස කියලා අහන අයට දෙන්නේ එක උත්තරයයි. බ්‍රික්ස් සංවිධානයට සම්බන්ධ වෙන්න රනිල් පිඹුරු පත් හැදුවේ මේ තත්ත්වයන් දුටු නිසයි. එවිට යූ.එස් ඩොලර් වලින් ගනුදෙනු කළ යුතු නැහැ. නමුත් අපේ ආණ්ඩුවට ගෙදර යන්න වුණා. දැන් වැඩ බැරි ටාසන්ලා වැඩ්ඩො කරපු මිනිස්සුන්ට ඉල්ලං කන්න වෙලා. පෝලිම් වල ඉද්දි ලෝක  යුද්ධ කතා කියන්නේ නැතුව ඔලුවට හොඳ ටොක්කක් ඇන ගන්න. කරපු වරදට.

මෙහෙම පීචං වෙච්ච චාටර් වෙච්ච ආණ්ඩුවක් අපි දැකලා නෑ යනුවෙන්ද හරීන් කීය.

 



(සටහන | මල් පාරේ ලියුම්කරු)

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...