ඉන්දන අර්බුදය ඉදිරියේදී විදුලි අර්බුදයක් දක්වා දික් ගැස්සෙන ස්භාවයක් මෝදු වෙමින් ඇත්තේ, බාල ගල්අඟුරු ගෙනඒමත් සමඟ නොරොච්චෝලේ බලාගාරයෙන් දෛනිකව නිපදවන විදුලිය සංඛ්‍යාත්මකව අඩු වෙමින් යන පසුබිමකය.
දිනෙන් දින අඩුවෙන නොරොච්චෝලේ විදුලිය
විදුලි ජනනයේ අර්බුදයක් නැතැයි ආණ්ඩුව කියමින් ගියත්, මේ වනවිට නොරොච්චෝලේ විදුලි බලාගාරය තුළ දෛනික විදුලි නිෂ්පාදනයේ අඩුවක් පෙන්නුම් කරමින් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිකුරාදා පාර්ලිමේන්තුව හමුවේ බරපතල හෙළිදරව්වක් සිදු කළේය.
“ මෙන්න පසුගිය දින කිහිපයේ නොරොච්චෝලේ බලාගාරයෙන් ජාතික පද්ධතියට සපයන්න බැරිවුන මෙගාවොට් ගණන් 13 වැනිදා මෙගවොට් 130යි, 14 වැනිදා 135යි, 15 වැනිදා132යි, 16 වැනිදා 148යි, ඊයේ බ්‍රහස්පතින්දා දවසේ මෙගවොට් 176යි. මේක සිදුවුණේ බාල ගල්අඟුරු නිසා, ඒත් බල ගල්අඟුරු යොදවන්න උනේ යුද්ධය නිසා නෙමෙයි, ගල්අඟුරු ගෙනාවේ දකුණු අප්‍රිකාවෙන් ඒ නිසා යුද්ධය නෙමෙයි මේ විදුලි අර්බුදයට හේතුව බාල ගල්අඟුරු ගෙන්වීම. මහජන උපයෝගීතා කොමිසමට අනුව ජුනි - ජුලි මාසවලදී නොරොච්චෝලේ බලාගාරය නඩත්තු කටයුතුවලට වහන්න වෙනවා. ඒ නිසා විදුලි කප්පදුවක් පවා සිදුවෙන්න පුළුවන්. මේක බරපතල තත්ත්වයක් මොනවද රජය ඒ තත්ත්වය පාලනයට ගන්න ක්‍රියාමාර්ග”
යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් ලබාගැනීමේ හමුවට හදිසියේ ගිය සජිත්
යෝජිත විදුලි ගාස්තු වැඩි කිරීමට පෙර පළාත් මට්ටමින් මහජන අදහස් ලබාගැනීමට මහජන උපයෝගීතා කොමිසම BMICH හී සංවිධානය කළ බස්නාහිර පළාත් වැඩසටහනට විපක්ෂ නායක සජිත් ගියේ තම අදහස්ද ප්‍රකාශ කරන්නටය.
එහිදී අදහස් දැක්වීමට පැමිණි සිටි පිරිසෙන් සජිත්ට උණුසුම් පිළිගැනීමක් ලැබුණු අතර එහිදී සජිත් වැඩි අවධානයක් යොමු කළේ ඉදිරියේදී සිදු කිරීමට නියමිත බව කියන විදුලි කප්පාදු ගැනය.

“ අද වන විට ප්‍රමිතියෙන් අඩු ගල් අඟුරු නිසා විදුලිය නිෂ්පාදනයට ගැටළු මතුවෙමින් තිබෙනවා. විදුලිය උත්පාදනයේදී පිරිවැය අඩු කිරීම ගැන සැලසුම් සකස් කළ යුතුයි. එහිදී LNG භාවිතය ගැන කතා කළත් ඒවා කොළයකට සීමා වී ඇති බව තමයි පේන්න තියෙන්නේ.ඒ වගේම ඉන්ධන බලාගාරවලට වඩා සූර්ය බලශක්තිය ලාභදායකයි. ඛණිජ තෙල් වලින් විදුලි ඒකකයක් නිපදවන්න රු. 59ක් විතර වැය වෙනවා, ඒත් මේ අලුතින් මතුවෙලා තියෙන ඛණිජ තෙල් අර්බුදය හමුවේ ඒ මුදල තවත් ඉහළ යන්න පුලුවන්. ඒත් සූර්ය බලාගාරවලින් විදුලි ඒකකයක් නිපදවන්න යන්නේ රු.45.80ක් වගේ අඩු මුදලක්. එහෙම නම් අපි ඉදිරියේදී තීන්දු තීරණ ගනිද්දී, මේ ගැන අවධානය යොමු කළ යුතුයි කියලා මම යෝජනා කරනවා.”
‘බොරු මදිවට හොරු’ අනුර Fail - ජනතාවට අමාරුයි'
මාලිමා ආණ්ඩුවට වසරකුත් මාස 6 ගතවේදී ඔවුන් කියූ බොහෝ සටන් පාඨ පුස්සක් වෙමින් ඇති අතර මැතිවරණ වේදිකාවල දුන් පොරොන්දු දිනපතා අමතක වෙමින් ඇති බවක් පෙනෙන්නට තිබේ.
මේ වනවිට මහා ගල්අඟුරු වංචාවක් ගැන ආණ්ඩුවට චෝදනා එල්ලවී තිබේ, පසුගිය වසරේ ජනවාරියේ රේගුවෙන් කන්ටේනර් 323ක් පැන්නීම ගැන චෝදනාවක් එල්ලවිය.
බාල ඖෂධ, ටෙන්ඩර් කඩකරමින් සුළං බලාගාර පිරිනැමීම,අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැටළු ආදිය මෙන්ම, ගොවියන්, ධීවරයින්, ගුරුවරුන්, වෛද්‍යවරුන්, සරසවි සිසුන් ආදී විවිධ කේෂ්ත්‍රවලින් මේ වනවිට ආණ්ඩුවට විවිධ දෝෂාරෝපන එල්ලවෙමින් තිබේ.
ඒ අතරම මැදපෙරදිග අර්බුදය හමුවේ ඇතිවන බලපෑම් කළමණාකරනය කරගැනීම අතින් දුර්වල තත්ත්වයකට පත්වෙමින් ඇති ආණ්ඩුවේ සැබෑ නිරුවත හෙළි කරන මහජන කථිකාවතක් ඇති කරන්නට සමගි ජන බලවේගය දැන් තීන්දු කර තිබේ.
දිවයින පුරා ආසන මට්ටමින් සංවිධානය කරන මෙම වැඩසටන නම් කර තිබෙන්නේ, ‘බොරු මදිවට හොරු’ - අනුර Fail, ජනතාවට අමාරුයි” කියාය.
සමගියේ කළමණාකරන කමිටුව සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය සාකච්ජා වට ගණනාවකින් පසු එළැඹි තීරණය වුණේ විරෝධතා සංවිධානය කිරීමට වඩා රටට මොකක්ද වුණේ සහ මාලිමාව රටට මොකද කළේ යන්න ජනතාවට පැහැදිලි කිරීම වැදගත්ය යන්නය.
ඒ අනුව ක්‍රියාත්මක කරන මේ වැඩසටනේ පළමු පියවර මේ සෙනසුරාදා අවිස්සාවේල්ල ආසනයෙන් ආරම්භ වනු ඇත.
ඊට අමතරව ඉරිදා - ගම්පහ,සඳුදා - බොරැල්ල, අඟහරුවාදා - කැළණිය යන ආසන වල සංවිධානය කරන එම මහජන කථිකාවතට සම්පත් දායකයින් ලෙස, ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, නීතීඥ අජිත් පී. පෙරේරා, හර්ෂණ රාජකරුණා, මුජිබර් රහුමාන්, වරුණ රාජපක්ෂ, චිත්‍රාල් ප්‍රනාන්දු, චමින්ද විජේසිරි, වෛද්‍ය චමල් සංජීව වැනි පිරිසක් සහභාගී වීමට නියමිත බව සඳහන්ය.
කබීර්ට ලක්ෂ්මන් කළ සුබ පැතුම
විපක්ෂ නායක සජිත් පසුගියදා කෑගල්ලට ගියේ එහි නව ආසනය සංවිධායක ලෙස පත්වූ ප්‍රියංක සේනානායකගේ පක්ෂ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීම අවස්ථාවට එක්වීමටය.
සජිත්ගේ දේශපාලන මෙහෙයුම් කටයුතුවල මූලිකයා වෙච්ච ලක්ෂ්මන් ෆොන්සේකාද එහි ගොස් තිබූ අතර කබීර් හෂීම් අසලට පැමිණි ඔහු එක්වරම ඔහුට සුබ පතන්නට විය.
“ ඔබතුමාට ඉස්සරහදී ලොකු වගකීමක් භාරවෙනවා කියලා ආරංචීයි, ඒ ගැන ඇත්තටම මට ගොඩක් සතුටුයි. අපි හැමෝම එකතුවෙලා මේ පක්ෂයත්, පාක්ෂිකයත් ජයග්‍රහණය කරවමු”
කබීර් සහ ලක්ෂ්මන් අතර ටික වේලාවක් වෙනමම අදහස් හුවමාරුවීමක් සිදුව තිබූ අතර එතැන සිටි කිහිප දෙනෙකු පවසා තිබුණේ මාර සාකච්ජාවක් ඔවුන් දෙදෙනා අතර සිදුවුනා කියාය.

මේ අතර පසුගිය බදාදා රාමසාන් උපවාසය නිමිති කරගනිමින් කොළොන්නාවේ උත්සව ශාලාවක පැවති ඉෆ්තාර් උත්සවයකට සජිත් ප්‍රේමදාස සහභාගී වී තිබුණි.
එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා සංවිධානය කරතිබූ එම උත්සවයේ විශේෂත්වයක් වුණේ, සමගියේ සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රීක් නාගරික මන්ත්‍රීවරු පිරිසක් සහ ප්‍රාදේශීය ක්‍රියාකාරිකයින් රැසක්ද ඊට එක්ව සිටීමය.
පෙර මතක අවදි කළ සජිත්ගේ බිග් මැච් ගමන

කොළඹ රාජකීය - ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලාන්තර මහා ක්‍රිකට් තරගයට විපක්ෂ නායක සජිත් ගියේ තමන්ගේ ළඟම මිතුරා වූ ලක්ෂ්මන් ෆොන්සේකාද කැටුවය.
සජිත් එහි යන විටත්, රාජකීය විද්‍යාලයේ ආදිසිසුන් වූ ගයන්ත, හර්ෂණ, හර්ෂ, කිංස්, ඇතුළු පිරිසක් ක්‍රිඩාංගනයට පැමිණ සිටි අතර, සජිත්ට ක්‍රීඩා මණ්ඩප පුරා යන්නට සිදුවුණේ ඔහු මේ විද්‍යාල දෙකේම ආදි සිසුවකු වීමද නිසාය.
එහිදී දරුවන්ගෙන්, තරුණයින්ගෙන් සහ ආදි සිසුන්ගෙන් සජිත්ට උණුසුම් පිළිගැනීමක් ලැබුණු අතර ඡායාරූප ගැනීම්ද අඩුවක් නැතිව සිදුවන අයුරු පෙනෙන්නට තිබුණි.
පැරණි රාජකීයෙක් වූ එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති නවීන් දිසානායකද සජිත්ව වැළඳ ගනිමින් කිව්වේ, “ මේ මැච්එකට ආවා වගේම සිකුරාදා අපේ තාත්තගේ වැඩේටත් අමතක නොකර එන්න ඕන හරිද”…

“හරි, හරි මට මතකයි අනිවාර්යෙන්ම මම එනවා” එහෙම කියපු සජිත් සහ නවීන් විනාඩි කිහිපයක් පුද්ගලිකව කතාබස් කරන අයුරුද අවට සිටි පිරිසට නිරීක්ෂණය විය.
එදා නවීන් මතක් කර තිබුණේ සිකුරාදාට යෙදී තිබූ දිවංගත ගාමිණි දිසානායක මහතාගේ 84 වන ජන්ම දින සැමරුම වෙනුවෙන් ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ගාමිණි දිසානායක මහතාගේ පිළිරුව අභියස සංවිධානය කර තිබූ සමරු උළෙල ගැනය.
මේ සටහන ලියන අවස්ථාව විනවිට එම උත්සවය පැවැත්වෙමින් තිබූ නිසා අප එහි සිදුවූ තිරය පිටුපස සිද්ධි ගැන අවබෝධයක් නොමැති බවත් සඳහන් කළ යුතුමය.
ගාමිණි දිසානායක මහතාගේ මෙම සමරු උත්සවය පැවැත්වීමට නියමිත වුණේ සජිත්ගේ සහ රනිල්ගේ ප්‍රධානත්වයෙන්ය.
එහෙත් රනිල් වික්‍රමසිංහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස් ගතව ඇතත්, සජබ සහ එජාප ලොකු, ලොකු ඇත්තන්ගේ එකමුතුවේ තවත් පිටුවක් මේ උත්සවය පිටුපසද සැඟව ඇති බව අපට කියන්නට හැකිය.

(මම | බංගලා හන්දියේ ලියුම්කරු)





