The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ආගමික සහනයට වඩා බලගතු නිරාගමික සහනය

T

The Leader Desk

March 23, 2026 • 7:31 AM

ආගමික සහනයට වඩා බලගතු නිරාගමික සහනය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මිනිසාට ආගමක් අවශ්‍ය ද? යන සංවාදය ලොව පුරා නිබඳවම පවතින්නකි. එහිදී බොහෝ දෙනකුගේ අදහස වනුයේ, තමන්ගේ ලෞකික හා මරණයෙන් මතුව ඇතැයි විශ්වාස කරන පාරලෞකික අභිමථාර්ථ ඉටු කර ගැනීම හා ආරක්ෂාව තකා මිනිසා ස්වාභාවිකවම ආගම්වලට නැඹුරු වන බවකි.
  • ඇත්ත වශයෙන්ම, ආගම යනු මිනිස් මොළය නම් වන සුවිසල් ව්‍යුහයේ එක් සෛල කලාපයක් තුළ රෝපණය වන්නකි.
  • මිනිසා තම ජීවිත කාලය පුරාවට පවත්නා සහ මරණයෙන් මතු ඇතැයි විශ්වාස කරන පැවැත්ම සම්බන්ධ බිය, සැකය, චකිතය සහ කුතුහලය පදනම් කරගත් ගැටලු සඳහා විසඳුම් සොයනුයේ ආගම් මඟිනි.
  • මුල් කාලීන මැවුම්වාදී ආගම් හුදු ගුප්ත ස්වරූපයකින් යුතු වුවද, පසුකාලීනව එක් වූ ආගමික දර්ශන මඟින් මිනිසා තුළ සදාචාරාත්මක නැඹුරුවක් ඇති කොට ඇති බවට මානව විද්‍යාඥයෝ මත පළ කරති.
අකුරු ප්‍රමාණය (Font Size):


මිනිස් සිරුරේ පවතින ඇස, කන, මොළය වැනි ඉන්ද්‍රිය පද්ධතීන් මෙන්ම රුධිර සංසරණය සහ ආහාර ජීර්ණය වැනි ක්‍රියාවලීන් කෙතරම් සංකීර්ණ හා අන්‍යෝන්‍ය වශයෙන් බැඳී පවතින්නේද යත්, ඒවා ස්වාභාවික පරිණාමයක ප්‍රතිඵලයකට වඩා කිසියම් සර්වබලධාරී මැවුම්කරුවෙකුගේ නිර්මාණයක් ලෙස විශ්වාස කිරීමට බොහෝ දෙනා පෙළඹෙති. මිනිසා යනු මෙතරම් විස්මිත නිර්මාණයක් බව පවා බොහෝ දෙනා අවබෝධ කර නොගන්නා අතර, එවැනි ගැඹුරු ප්‍රශ්න තමන්ගේ බුද්ධි විමසුමට ලක් කිරීමට ද ඔවුහු උත්සාහ නොකරති. මෙවැනි සංකීර්ණ ජීවියෙකු පියවරෙන් පියවර පරිණාමය වූයේ කෙසේද? යන්න පිළිබඳව ජෛව පරිණාමවාදය තුළ ඉතා දීර්ඝ හා සවිස්තරාත්මක විද්‍යාත්මක පැහැදිලි කිරීමක් පවතී.

කෙසේ වෙතත්, රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව වැනි විවිධ ක්ෂේත්‍රයන් හා බද්ධ වූ මෙම සංයුක්ත විද්‍යාව සාමාන්‍ය ජනයාට පමණක් නොව, උනන්දුවක් දක්වන අයෙකුට පවා එකවර ග්‍රහණය කර ගැනීම පහසු නැත. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි රටක පරිණාමය පිළිබඳ මූලික විද්‍යාත්මක දැනුම පාසල් අධ්‍යාපනය තුළ ලැබෙන්නේ ජීව විද්‍යා විෂය ධාරාව හදාරන ඉතා සුළු පිරිසකට පමණක් වීම නිසා, බහුතරයකට මෙය නිරාකරණය කරගත නොහැකි අභිරහසක්ව පැවතීම යථාර්ථයයි.

ඇත්ත වශයෙන්ම, ආගම යනු මිනිස් මොළය නම් වන සුවිසල් ව්‍යුහයේ එක් සෛල කලාපයක් තුළ රෝපණය වන්නකි. මිනිසා තම ජීවිත කාලය පුරාවට පවත්නා සහ මරණයෙන් මතු ඇතැයි විශ්වාස කරන පැවැත්ම සම්බන්ධ බිය, සැකය, චකිතය සහ කුතුහලය පදනම් කරගත් ගැටලු සඳහා විසඳුම් සොයනුයේ ආගම් මඟිනි. මුල් කාලීන මැවුම්වාදී ආගම් හුදු ගුප්ත ස්වරූපයකින් යුතු වුවද, පසුකාලීනව එක් වූ ආගමික දර්ශන මඟින් මිනිසා තුළ සදාචාරාත්මක නැඹුරුවක් ඇති කොට ඇති බවට මානව විද්‍යාඥයෝ මත පළ කරති. එහෙත් ඒ සියල්ල සංස්කෘතික පදනමක් මුල් කොට ගත් සදාචාරාත්මක දර්ශන මිස විද්‍යාත්මක නැඹුරුවකින් යුතු යථාර්ථවාදී විවරණයන් නොවේ. මේ නිසාම, නිර්මාණයේ රහස සොයන බොහෝ දෙනා විද්‍යාත්මක සත්‍යයට වඩා ආගමික විශ්වාසයන් මත යැපීමට පුරුදුව සිටිති. මක්නිසාද යත්, එම සිතුවිල්ල පවා මානසික අස්වැසුමකට මුල් වන බැවිනි.

adu kurulla

නමුත් මහත් උත්සාහයෙන් හෝ මෙම සංකීර්ණ පරිණාමීය ක්‍රියාවලිය නිවැරදිව තේරුම් ගැනීම තුළින් ආගමික සහනයට වඩා බලගතු නිරාගමික සහනයක් ලද හැකිය. ඒ සඳහා ඇති ප්‍රායෝගික මාවත වන්නේ ස්වභාවධර්මයේ මූලික නීතියක් වන “වඩාත් උචිතයා ඉතිරි වීම” (Survival of the Fittest) යන්න සරලව වටහා ගැනීමයි. නිදසුනක් ලෙස, වඩු කුරුල්ලා තම කූඩුව විලෝපිකයන්ගෙන් ආරක්ෂා කරගත හැකි සූක්ෂ්ම ස්ථානයක තැනීමට පෙළඹී ඇත්තේ දේව නියෝගයකින් නොව, වසර මිලියන ගණනක ස්වාභාවික වරණයක ප්‍රතිඵලයක් වශයෙනි. අතීතයේ විවිධ ස්ථානවල කූඩු තැනූ වඩු කුරුල්ලන් අතරින්, අනතුරුදායක ස්ථාන තෝරාගත් පිරිස විනාශ වී ගිය අතර වඩාත් ආරක්ෂිත ස්ථානවල කූඩු තැනූ පිරිස පමණක් ජීවත් වී තම වර්ගයා බෝ කිරීමට සමත් වූහ.

මෙසේ දිගින් දිගටම සිදු වූ ක්‍රියාවලිය තුළ, පරිසරයට වඩාත් හොඳින් ඔරොත්තු දීමේ හැකියාව සහ එම චර්යාත්මක දක්ෂතාවය ජානමය වශයෙන් ඊළඟ පරම්පරාවලට උරුම විය. මේ අයුරින් වසර මිලියන ගණනක් පුරා ලක්ෂ සංඛ්‍යාත පරම්පරා ගණනාවක් ඔස්සේ ඉතා සෙමින් සිදු වූ වෙනස්වීම් නිසා සරල ජීවීන්ගෙන් අද අප දකින දියුණු හා සංකීර්ණ ජීවීන් පරිණාමය වී ඇත.

 

parinawadaya

බොහෝ ආගම්වලින් පෙන්වා දෙන අන්දමට පරිණාමවාදය යනු දේව මැවීම් මෙන් හුදු උපකල්පනයක් නොවේ; එය විවිධ යුගවල ජීවත් වූ ජීවීන්ගේ ෆොසිල සාක්ෂි සහ පුරාවිද්‍යාත්මක සාධක මඟින් සනාථ වූවකි. අද අප භාවිතා කරන ජංගම දුරකථනයක් හරහා රැහැන් රහිතව රූප සහ හඬ ලොව පුරා යැවීම කෙනෙකුට “මැජික්” එකක් සේ පෙනෙන්නට හැකි වුවද, එය කිසියම් අදෘශ්‍යමාන බලවේගයක දායාදයක් නොව මිනිස් බුද්ධිය හා විද්‍යාවේ දියුණුව මත පදනම් වූ නිෂ්පාදනයක් බව අපි සැවොම පිළිගනිමු. එහි සමස්ත තාක්ෂණික ක්‍රියාවලිය අපට සම්පූර්ණයෙන් තේරුම් ගත නොහැකි වුවත්, එහි විද්‍යාත්මක පදනම අප සැක කරන්නේ නැත.

එමෙන්ම, පරිණාමවාදය යනු එතෙක් පැවති විශ්වාස පද්ධතීන්ට එල්ල වූ ප්‍රබලතම අභියෝගය වන අතර, එය තහවුරු වී ඇත්තේ බිඳ හෙළිය නොහැකි විද්‍යාත්මක සාක්ෂි සමුදායක් මතය. වර්තමානය වන විට සියලුම විද්‍යාවන් එකිනෙකට සහසම්බන්ධ වෙමින් පවතින බැවින්, මෙම ඒකාබද්ධ විද්‍යාත්මක දැනුම හමුවේ පරිණාමවාදය තනි කර අභියෝගයට ලක් කිරීම තවදුරටත් තාර්කික නොවේ. නමුත් සාර්ථකත්වය කෙසේ වෙතත්, අපහසු මංපෙත් පිටුදැක පහසු උපාය මාර්ග ලුහුබැඳීම සම්බන්ධ මිනිසා තුළ පවතින නෛසර්ගික නැඹුරුව මුල් කොට, කිසිම දිනක ආගම් සමාජයෙන් වියුක්ත කිරීමට නොහැකිය.

Screenshot 2026 03 23 114026
(සටහන | තාරක වරාපිටිය)

උපුටා ගැනීම - vinivida.lk

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...