"මම ඔබට කතාවක් කියන්නම්. ඇමරිකානුවන් කැමතියි 'යළි නැගී සිටීමේ" කතන්දර අහන්න. මම වැඩ කරන කලාපය තුළ ශ්‍රී ලංකාවේ කතාව තරම් හොඳ 'යළි නැගී සිටීමේ" කතන්දරයක් නැහැ. අවුරුදු එක හමාරකට පමණ අතීතයට ඔබ ගමන් කළොත්, ඔබට මතක් වෙන්නේ අර්බුදකාරී තත්ත්වයක පවතින රටක්; වීදි වල මහජන කැරලි කෝලාහල, ආහාර, පෙට්‍රෝල්, ගෑස් සැපයුම් ලබා ගැනීම සඳහා ඇති දිගු පෝලිම්, ජනාධිපති මන්දිරය විරෝධතාකරුවන් විසින් අත් පත් කර ගත්තා; විරෝධතාකරුවන් ජනාධිපතිවරයාගේ පිහිණුම් තටාකයේ ස්නානය කරමින්, ජනාධිපති මුළුතැන්ගෙයි ආහාර පිළියෙළ කළා. ඔබ ළඟකදි ශ්‍රී ලංකාවට ගියා නම්, ඔබට පෙනේවි එය සම්පූර්ණයෙන්ම වෙනස් තැනක් බව. මුදල් ඒකකය ස්ථාවරයි; ආහාර සහ ඉන්ධන මිළ ගණන් ස්ථාවරයි; ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ඔවුන්ට සහතිකයක් ලැබී තියෙනවා; ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා දෙනවා. ඔවුන් මෙය කළේ කෙසේද? මම ඔබට ආරාධනා කරන්නේ මේ ගැන විමසා බලන ලෙසයි."

2024 වසරේ පෙබරවාරි මාසයේ සාමය පිළිබඳ ඇමරිකානු ආයතනයේ පැවැති සාකච්ඡාවකදී ශ්‍රී ලංකාව 'ශ්‍රේෂ්ඨතම යළි නැගී සිටීමේ කතන්දරය' ලෙස හඳුන්වමින් මේ කතාව කියන ලද්දේ ඩොනල්ඩ් ලූ විසිනි. ඩොනල්ඩ් ලූ යනු ඇමරිකාවේ ජෝ බයිඩ්න් පරිපාලනය සමයේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය භාරව සිටි සහකාර ලේකම්වරයාය. රාජ්‍ය දෙපාර්තමේන්තුව යනු ඇමරිකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය හඳුන්වන නමයි. 2022 ඔක්තෝබර් මාසයේ ඩොනල්ඩ් ලූ ලංකාවේ සංචාරයක යෙදී විවිධ පාර්ශ්වයන් සමග සාකච්ඡා කළේය. එවැනි එක සාකච්ඡාවකට සහභාගි වීමට ලියුම්කරුටද අවස්ථාවක් ලැබිණි.
ශ්‍රී ලංකාව එක්තරා අන්දමක ණය උගුලක සිරවී තිබිණි. එයට හේතුව කාලයක් මුළුල්ලේ අප රට තුළ ක්‍රියාත්මක වූ ජනප්‍රියවාදී හෙවත් ජනකාන්තවාදී දේශපාලනයයි. ආදායමට වඩා වැඩියෙන් වියදම් කිරීම එයට මූලික හේතුවයි. පොරොන්දු මත පදනම් වූ ජනකාන්තවාදී දේශපාලනය1994 වසරේ සිට අත්පොළසන් සහ ජය ඝෝෂා හඬ මධ්‍යයේ විවිධ නායකයන් හරහා ඉදිරිරියට යන විට, අවමන් සහ ගැරහුම් ලබමින් විපක්ෂ නායක භූමිකාව ඉටු කිරීමට ඉරණම් ලබා තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතාය. 2022 වන විට උපරිම තත්ත්වයට පත්වූ ආර්ථික අර්බුදයත්, එය විසින් ජනනය කළ දේශපාලන අර්බුදයත් හමුවේ සුළි කුණාටුවකට හසුවූ ශ්‍රී ලංකාව නමැති නෞකාව මෙහෙයවීමේ වගකීම දෛවය විසින් පවරන ලද්දේ පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රී ධුරයක් පමණක් සතුව තිබූ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහටය.
දේශපාලන අර්බුදයන් ශ්‍රී ලංකාවට පමණක් සීමා නොවිණි. දකුණු ආසියානු කලාපීය රටවල් අතරින් 2024 දී බංග්ලාදේශයේද, 2025 දී නේපාලයේද මහජන අරගල ඔස්සේ බලයේ සිටි ආණ්ඩු පෙරළා දමනු ලැබිණි. එම රටවල් බරපතළ දෙශපාලන අර්බුදයන්ට මුහුණ ඩුන්නේය. එම දේශපාලන අර්බුදයන් පත්ලේද ආර්ථික අර්බුදයන් දක්නට ලැබිණි. කෙසේ වුවද බංග්ලාදේශයේ සහ නේපාලයේ පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොතකා හරිමින් විප්ලවකාරී ලෙස තාවකාලික ආණ්ඩු පිහිටුවන ලද අතර, ප්‍රචණ්ඩත්වය සහ අරාජිකත්වය කාලයක් යන තුරු පැවතුණේය. කෙසේ වුවද මෙම අර්බුද සමයේදී ශ්‍රී ලංකාවේ නායකත්වය භාරගත් රනිල් වික්‍රමසිංහ රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරමින් සහ ආරක්ෂා කරමින් සියළු පාර්ශ්වයන් එකතු කොට ගෙන රට දේශපාලන ස්ථාවරත්වයකට පත් කිරීමට ක්‍රියා කළේය.

මැයි 09 වන දා ඇතිවූ කලබලකාරී තත්ත්වය යටතේ අගමැති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ආණ්ඩුව ඉල්ලා අස්වීමෙන් ඇති වූ දේශපාලන අස්ථාවරත්වය තුරන් කිරීම පිණිස අගමැතිවරයා ලෙස වැඩභාරගත් ඔහු, පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනා ගත්තේය. ඉන් මාස දෙකකට පසු ජූලි 09 වන දින ඇතිවූ සිදුවීම්වලින් පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටෙන් පළා ගොස්, පසුව ඉල්ලා අස්වූ පසුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව වැඩබලන ජනාධිපති ලෙස පත්වූ ඔහු, ඉන් පසුව පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහය ලබා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.

ඉන් අනතුරුව පැවති ප්‍රධානතම අභියෝගය වූයේ සැපයුම් ජාලය යථා තත්ත්වයට පත් කර ආහාර, ඖෂධ, ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම විධිමත් කිරීමයි. මෙහිදී ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් වෙතින් මෙන්ම ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය (යූ එස් ඒඩ් ), ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වැනි ආයතනයන්හි සහයෝගය ලබා ගෙන කෙටි කලකින් රට යථා තත්ත්වයට ගෙන ඒමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නායකත්වය ලබා දුන්නේය.
රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය හකුළුවා, ආණ්ඩුක්‍රමව්‍යවස්ථානුකූලව පිහිටුවා ඇති ආයතන සහ කොමිෂන් සභාවන්හිද ස්වාධීනත්වය අවහිර වන ආකාරයෙන් 2020 වසරේදී සම්මත කර ගන්නා ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය මගින් සියළු බලතල ජනාධිපති ධුරය වෙත සංකේන්ද්‍රණය කොට තිබිණි. මේ තත්ත්වය වෙනස් කොට යහපත් පාලන මූලධර්ම අනුව රට පාලනය කිරීම සඳහා 21 වන සංශෝධනය පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගැනීමටද රනිල් වික්‍රමසිංහ විසින් කටයුතු කළේය.

මේ වන විටත් ශ්‍රී ලංකාවේ විදේශීය ණයකරුවන් වෙත ණය ආපසු ගෙවීමට නොහැකි බව ප්‍රකාශ කොට තිබිණි. මේ නිසා විදේශීය බැංකු අප රටේ බැංකු විසින් නිකුත් කරන ණයවර ලිපි පිළිගැනීම ප්‍රතික්ෂේප කරන ලද අතර, අපට සිදු වූයේ අත්පිට මුදලට භාණ්ඩ ආනයනය කිරීමටය. අන්තර්ජාතික සහයෝගිතාවය යටතේ ලබා දුන් ද්වි පාර්ශ්වික ණය යටතේ ආරම්භ කර තිබූ සියළු සංවර්ධන වැඩ කටයුතු එම හවුල් කරුවන් විසින් නවත්වා දමන ලදී. වෙනත් කිසිදු ආයතනයක් විසින් ශ්‍රී ලංකාවට ණය ලබා නොදෙන තත්ත්වයක් යටතේ, එකම විකල්පය වූයේ 'අවසාන ණය දෙන්නා' ලෙස හැඳින්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමය.
කිසියම් රටක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමකට ඇතුළත් වීම යනු එක්තර ආකාරයක එම රටේ ජනතාවට 'තිත්ත කසායක්' පානය කරන්නට සැලැස්වීම වැනිය. ශ්‍රී ලංකාව මින් පෙර 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයි එම් එෆ් ) සමග ගිවිසුම්ගතව, ආර්ථිකය කළමනාකරණය කිරීමට ක්‍රියා කොට තිබිණි. නමුත්, ඒ ප්‍රතිසංස්කරණ නිසා ජනතාවට ඇති වන පීඩනය හේතුවෙන් රටේ දේශපාලන වෙනස්වීම් ඇහිවීමෙන් පසු අයි එම් එෆ් ගිවිසුම අත හැර දැමීමට ජනප්‍රියවාදී පාලකයෝ ක්‍රියා කළහ. මෙයට ආසන්නතම උදාහරණය වන්නේ 2019 දී බලයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ පාලනය විසින් අයි එම් එෆ් ගිවිසුමෙන් ඉවත් වීමයි. 2022 ජූලි මාසයේ ජනාධිපති ධුරයත්, මුදල් අමාත්‍ය ධුරයත් භාරගත් රනිල් වික්‍රමසිංහ, නැවතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් විස්තීර්ණ ණය පහසුකම යටතේ ණය මුදලක් ලබා ගැනීම හැර වෙනත් විසඳුමක් නැති බව සෙසු දේශපාලන නායකයන් වෙත ඒත්තු ගන්වා පොදු සම්මුතියක් ඇති කර ගැනීමට සමත් විය.
වෙනදා නම් අයි එම් එෆ් වෙති ණය ලබා ගැනීම එතරම අපහසු කාර්යයක් නොවීය. නමුත්, ශ්‍රී ලංකාව තමන්ට ණය ආපසු ගෙවීමට ශක්තියක් නැති බව ප්‍රකාශ කොට තිබූ බැවින්, ණය කරුවන් සමග සාකච්ඡා කොට දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එකඟතාවයක් ඇති කර ගන්නා ලෙස මෙවර අයි එම් එෆ් විසින් ශ්‍රී ලංකාවට දන්වන ලදී. විස්තීර්ණ අරමුදල යටතේ ණය පහසුකම් ලබා දීම පිළිබඳව සලකා බැලිය හැක්කේ ඉන් අනතුරුව පමණක් බව දන්වනු ලැබීය.

මෙහිදී, එක් පැත්තකින් දේශීය වශයෙන් පැවැති ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවශ්‍ය විය. එනම්, දේශීය මූල්‍ය ආයතනවලින් රජය විසින් ලබා ගත් ණය ආපසු ගෙවීම පිළිබඳව එකඟතාවයක් ඇති කර ගැනීමයි. බැංකු කඩා නොවැටෙන සේ ඉතා සීරු මාරුවෙන් එම කටයුත්ත සිදු කළ යුතුව පැවතුණි. විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම කළ හැකි වූයේ එම කඩ ඉම ජය ගැනීමෙන් පසුවය. මන්ද යත්, අප ලබා ගත් ණය සඳහා විදේශීය ණය හිමියන්ගෙන් සහනයක් අපේක්ෂා කරන්නේ නම්, දේශීය ණය හිමියන්ගෙන්ද එම සහනය ලබා ගෙන ආදර්ශයක් දීම විදේශීය ණයහිමියන් විසින් අපේක්ෂා කළ බැවිනි.
විදේශීය ණය ප්‍රතිව්‍යුගතකරණයේදී ප්‍රධාන කණ්ඩායම් දෙකක් පිළිබඳව සලකා බැලීමට සිදු විය. එක් කොටසක් නම් අපගේ ද්වි පාර්ශ්වික ණය හිමියන් හෙවත් අපට ණය ලබා දුන් විදේශීය රටවල්ය. අනෙක් කොටස වන්නේ ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාර බැඳුම්කර වල ආයෝජනය කරන ලද පෞද්ගලික ණය හිමියන්ය. මේ අතරින් ද්වි පාර්ශ්වික ණය හිමියන් සම්බන්ධ ප්‍රශ්නය අතිශය සංකීර්ණ වූයේ ණය හිමි සෙසු රටවල් හා සමග එකම ගිවිසුමකට ඇතුළු වීමට චීන මහජන සමූහාණ්ඩුව එකඟ නොවීම හේතුවෙනි. චීනය සමග වෙනස් ආකාරයේ එකඟතාවයක් ඇති කර ගැනීම පිළිබඳව සෙසු රටවල් එකඟ නොවීය. සෑහෙන දීර්ඝ සාකච්ඡා ගණනාවකට පසුව, චීනය මෙන්ම සෙසු රටවල්ද එකඟ කර ගෙන විදේශීය ණය ප්‍රති ව්‍යුහගත කරණය පිළිබඳ එකඟතාවයක් ඇති කර ගැනීමට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සමත් විය. ඉන් අනතුරුව බැඳුම්කරවල ආයෝජනය කර තිබුණු පෞද්ගලික ණය හිමියන් සමගද එකඟතාවයක් ඇති කර ගන්නා ලදී. මෙයින් අනතුරුව ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට විශේෂ ආධාර මුදලක් ලබා දුන් අතර, ඒ සමගම රුපියල ශක්තිමත් වෙමින් විනිමය අනුපාතය පහළ ගියේය. අයි එම් එෆ් සංවිධානයද විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ණය මුදලක් අනුමත කොට පළමු වාරිකය මුදා හැරියේය.

සාමාන්‍යයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කිසියම් රටක් ගිවිසුමකට ඇතුළත් වූ පසු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කරනු ලැබේ. එම ප්‍රතිසංස්කරණ අතරින් ප්‍රධානම එකක් වූයේ ඛනිජ තෙල් සහ විදුලි බලයද ඇතුළත් බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ඇති කිරීමයි. මෙහිදී මෙම ක්ෂේත්‍රවල රාජ්‍ය ඒකාධිකාරය අවසන් කොට, දේශීය සහ විදේශීය පෞද්ගලික ආයෝජන වලට ඉඩ සැලසිය යුතුය. ඒ සඳහා 'පිරිවැය පාදක මිළ ක්‍රමයක්' අනුගමනය කිරීම අවශ්‍ය විය. විදුලි බල මණ්ඩලයේ සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධික ණය බර භාණ්ඩාගාරය විසින් උරා ගෙන, එම ආයතනවලට ලාභ ලබන්නට හැකි ආකාරය සහතික කරන ලදී. ඛනිජ තෙල ආනයනයේ රාජ්‍ය ඒකාධිකාරය බිඳ දමා ලංකා අයි ඕ සී, සයිනොපැක්, ෂෙල් ආදී ජාත්‍යන්තර ඉන්ධන දැවැන්තයන්ට ඛනිජ තෙල් ආනයනය කොට බෙදා හැරීමට අවස්ථාව ලබා දෙන ලද අතර ශ්‍රී ලංකා විදුලිබල පනත සම්මත කොට විදුලි නිෂ්පාදනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම වෙන වෙනම සමාගම් ගණනාවක් වෙත පැවරීමට කටයුතු කරන ලදී.
මෙසේ ණය හිමියන් සමග ඇති කරගත් එකඟතාවයන්ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතාවන්ද ආරක්ෂා කිරීම සඳහා දේශීය වශයෙන් නීති රාමුවක් අවශ්‍ය බව රනිල් වික්‍රමසිංහ විසින් තේරුම් ගත්තේය. එබැවින් ඔහු විසින් දූෂණ විරෝධී පනත, ශ්‍රී ලංකා මහ බැංකු පනත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත, රාජ්‍ය ණය කළමනාකරණ පනත, සහ ආර්ථික පරිවර්තන පනත යන 'පංචායුධය' පාර්ලිමේන්තුවේ සම්මත කොට නීතිගත කරන්නට කටයුතු කළේ, තමන්ගෙන් පසු කවරකු බලයට පැමිණියද, රටේ ආර්ථික සමාජ දේහය අඩපණ නොවී ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පදනම දමමිනි. මේ ආකාරයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම හේතුවෙන් දුෂ්කරතාවයට පත්වන අනතුරාසන්න ජන කොටස් අතරින් අයි එම් එෆ් විරෝධී කැරලි කෝලාහල ඇති වීම සාමාන්‍ය සිදුවීමකි. එම කැරලි හේතුවෙන් ප්‍රතිසංකරණ බිඳ වැටීමේ හා ආපසු හැරවීමේ අනතුරක්ද පවතී. එබැවින්, ප්‍රතිසංස්කරණ හේතුවෙන් ඇති වන කම්පන අවශෝෂණය කිරීම සඳහා එසේ දුෂ්කරතාවයට පත්වන ජනතාවට මාසිකව සිය බැංකු ගිණුමටම මුදල් ආධාර ලබා දෙන 'අස්වැසුම' නනම් වැඩසටහනක්ද 'සමාජ සුබසාධක මණ්ඩලය' ඔස්සේ ක්‍රියාත්මක කරන ලදී. එමෙන්ම මෙතෙක් රජය විසින් ලබා දුන් බලපත්‍ර මත රජයේ ඉඩම්වල පදිංචිව සිටින හෝ වගා කටයුතු කරන ජනතාවට, තම ඉඩමට සින්නක්කර ඔප්පු ලබා දෙන වැඩසටහනක්ද 'උරුමය' යන නමින් ක්‍රියාත්මක කරන ලද්දේය.

මේ සියළු කටයුතු වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ සම්පූර්ණ කරගැනීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවට හැකිවීම සැබැවින්ම ප්‍රාතිහාර්යයකි. එම ප්‍රාතිහාර්යය ඔහුට කළ හැකි වූයේ දශක ගණනාවක් පූර්ණ කාලීනව දේශපාලන ක්ෂේත්‍රයෙහි රැඳී සිටීම හේතුවෙන් එක්‍රැස්කරගත් අත්දැකීම්, විශේෂඥතාවය සහ සම්බන්ධකම්වල ආනුභාවයෙන් යැයි කීම නිවැරැදිය.
2024 සැප්තැම්බර් මාසයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව නිසි කලට ජනාධිපතිවරණය පැවැත්වීමට ස්වාධීන මැතිවරණ කොමිසම කටයුතු කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ තරගයට ඉදිරිපත්වූයේ ස්වාධීන අපේක්ෂකයකු වශයෙනි. ඔහුගේ සලකුණ වූයේ ගෑස් සිලින්ඩරයයි; එය රට මුහුණ පෑ ආර්ථික සහ දේශපාලන අර්බුදය යළි සිහිපත් කරන සංකේතයක් බඳු විය. ඉතිහාසයේ පැවැති වඩාත්ම සාමකාමී සහ සාධාරණ ඡන්ද විමසීමක් වූ එම ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට තුන් කොන් සටනක් ඇති විය. පළමු වරට මුළු ඡන්ද ප්‍රමාණයෙන් සියයට 42.31ක් පමණක් ඡන්ද ලබා ගත් සුළුතර ජනාධිපතිවරයෙකු බිහි වූයේ දෙවන මනාපයද ගණන් කිරීමට ඉඩ සලසමිනි. එමෙන්ම පළමු වතාවට තුනවන ස්ථානයට පත් වූ අපේක්ෂකයකු මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 17.27ක් ලබා ගැනීමට සමත් විය. ඒ අපේක්ෂකයා නම් ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහය.

ජනාධිපතිවරණයෙන් අනතුරුව ප්‍රකාශයක් කළ ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාවලියේදී සාම නියෝජිත වශයෙන් ක්‍රියා කළ එරික් සොල්හයිම් සිය X ( කලින් ට්විටර් ලෙස හැඳින්වුණු ) ගිණුමෙහි කළ පහත සටහන තරම් රනිල් වික්‍රමසිංහ භූමිකාව ගැන කළ මේ සටහන අවසන් කිරීමට සුදුසු වෙනත් කියමනක් මට සිතා ගත නොහැකිය.
"පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක් මධ්‍යයේ ශ්‍රී ලංකාව නැවතත් යථා තත්ත්වයට ගෙන ආ මිනිසා ලෙස රනිල් වික්‍රමසිංහ ඉතිහාසයට එක් වනු ඇත. අයි එම් එෆ් වැඩසටහනක් ක්‍රියාත්මක කොට, එය තවදුරටත් ඉදිරියට ගෙන යන බව ප්‍රකාශ කරන නායකයකයකු, ජනප්‍රිය ඡන්ද විමසීමකින් නැවත තේරී පත්වීම ලෝක ඉතිහාසයේ අතිශය දුර්ලභයි. රනිල්ගේ වැඩ අපට ඉදිරියේදී බලා ගත හැකි වනු ඇත."
(සටහන | නීතිඥ සුදර්ශන ගුණවර්ධන)
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ හිටපු සභාපති (2022-2024 )
sudarshana.gunawardana@gmail.com





