The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කිතු දහමේ විශාරදයෙකු වී ලෝකයටම බුදු දහම ද ඉගැන් වූ මහාචාර්ය ගරු ඇලොයි පීරිස් පියතුමා ස්වර්ගය බලා නික්ම යයි

T

The Leader Desk

March 24, 2026 • 10:34 AM

කිතු දහමේ විශාරදයෙකු වී ලෝකයටම බුදු දහම ද ඉගැන් වූ මහාචාර්ය ගරු ඇලොයි පීරිස් පියතුමා ස්වර්ගය බලා නික්ම යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගරු මහාචාර්ය ඇලෝසියස් පීරිස් පියතුමන්ව මහාචාර්ය සුචරිත ගම්ලත් ශූරීන් සිය ලිපියක මෙසේ හදුන්වා ඇත.
  • මේ සියල්ල හුදු න්‍යායාත්මකව ලියූ කරුණු නොව ප‍්‍රායෝගිකව වෙහෙස මහන්සිව ලබා ගත් අත්දැකීම් හා දැනුම න්‍යායක් බවට පත් කරමින් කරනු ලැබූවකි.
  • එලෙසම කැලණිය ‘තුලන’ පර්යේෂණ ආයතනය තුලින් විද්‍යාර්ථයින් රැසකට සිය පර්යේෂණ සදහා මග පෙන්වීම ලබාදීම සුවිශේෂ වේ.
  • භාෂා 13 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් නිපුනයෙකු වන මෙතුමා අතින් විවිධ පර්යේෂණ ග‍්‍රන්ථ හා ලිපි ලේඛණ රැසක් ලියැවී තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
‘පීරිස් පියතුමාණෝ ධර්මධර ව, විනයධර ව, ඥානවෘද්ධ ව, චිරකාලඥ ව, ශාස්ත‍්‍ර සාගරයේ නිමග්න ව අපිස් සතොස් ගුණයෙන් ශෝභමානව වාසය කරති, පීරීස් පියතුමාණන් ශ‍්‍රී ලාංකේය ශාස්ත‍්‍රාලෝකයේ ඥාන විද්වජ්ජන ප‍්‍රදීප මාලාවේ අවසන් සිළුවකැයි පැවසීම සපුරාම අර්ථවත් ය.'
 
දැනුමෙන් සන්නද්ධ පඬිරුවනක්
 
 
සිය පූජක දිවියේ 50 වැනි ජයන්තිය සමරණු ලබන ජේසු නිකායික ගරු මහාචාර්ය ඇලෝසියස් පියතුමා (ඇලෝයි පියතුමා) මේ වන විට 81 වැනි වියෙහි පසුවේ. 1953 දෙසැම්බර් මස 23 වැනි දින ජේසු නිකායට ඇතුළු වූ මෙතුමා 1965 ජූලි මස 4 වැනි දින පූජක පුතෙකු ලෙස සිය එඬේරික කාර්යය ආරම්භ කරනු ලබනවා. ජේසු නිකායික පියවරුන් විසින් කරනු ලබන අම්පිටිය සා මරියා විදුහලෙත්, ගාල්ල සා. ඇලෝසියස් විදුහලෙත් මූලික අධයාපනය හදාරණ මෙතුමා ඉන්පසුව L.Ph (S.H.C., Shembaganur), S.T.L. (Pontifical Theology Faculty, Naples), Ph.D (Sri Lanka Univercity), ThD (Tilburg), Diploma in Prepolyphonic Music (Venice). සහ ලන්ඩන්, කේම්බි‍්‍රජ්, ඔක්ස්ෆර්ඞ් වැනි සරසවි ගණනාවක කථිකාචාර්යවරයෙකු ලෙසද, සුදුතුම් පියාණන් යටතේ පාලනය වන සරසවිවල මෙන්ම රෙපරමාදු සභාවන්ට අයත් සරසවිවලද දේවධර්ම පීඨයන් හෙබ වූ මහාචාර්යයෙකු ලෙසද, භාෂා නවයකින් පළවුණු ශාස්ත‍්‍රීය ලිපි හා ග‍්‍රන්ථ සංඛ්‍යාවක කතුවරයෙකු ලෙසද, පෙර අපරදිග තෘතීය අධ්‍යාපන සේවයේ නියුක්තව ජාත්‍යාන්තර කීර්තිය දිනාගත් පඩිවරයෙකි.
 
එමෙන්ම දෙවන වතිකාන මන්ත‍්‍රණ සභාවෙන් පසු එම නිර්දේශයන් ක‍්‍රියාත්මක කිරීමට රදගුරුවරුන්ට දේවධර්මාචාරීවරයෙකු ලෙස සහාය දීම හා ආසියාතික රදගුරු සම්මේලනයට දේව ධර්මයේ ප‍්‍රායෝගික හා න්‍යායාත්මක කරුණු වලින් රදගුරුවරු දැනුවත් කිරීම සදහාද එතුමාව පත් කර තිබුණි.
 
WhatsApp Image 2026 03 24 at 8.43.54 AM
 
තවද එතුමා පාලි හා සංස්කෘත සම්බන්ධව ප‍්‍රථම පංතියේ ගෞරව උපාධියක් ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ලබා ගන්නා අතර, විදේ‍යා්දය විශ්ව විද්‍යාල පිරිවෙනින් බෞද්ධ දර්ශනය පිළිබද දර්ශන විශාරද (Ph.D) උපාධිය ලබා ගත් පළමු ලාංකීක කිතුනු පූජකවරයාද වනවා. කැලණිය සරසවියේ පාලි බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ පරීක්ෂකයෙකු සහ උපදේශකයෙකු ලෙසද, පාලි හා බෞද්ධ විශ්ව විදයාලයේ තුලනාත්මක ආගම් පිළිබද කථිකාචාර්ය ලෙසද සේවය කර ඇති අතර, පාලි භාෂාව හා සාහිත්‍යය පිළිබද සහ ආභිධාර්මික චින්තනය පිළිබද මෙතුමා විසින් මෙතෙක් පළ කරන ලද ශාස්ත‍්‍රීය ලිපි එකතුවක්ද එළි දක්වා ඇත. බෞද්ධ ධර්මායතනයට එතුමාගෙන් ලද දායකත්වය ඇගයීමක් වශයෙන් ශ‍්‍රී ලංකා බෞද්ධ අධ්‍යයන සංගමය මගින් එහි (SLABS) ගෞරව සාමාජිකත්වයද වසර කිහිපයකට පෙර එතුමාට පිරිනමන ලදි. එතුමා සම්බන්ධයෙන් දැනගන්නට ලැබෙන නවතම තොරතුර නම් ඉතා කලාතුරකින් කෙනෙකුට පිරිනමනු ලබන කැලණිය විශ්ව විද්‍යාලයේ ‘සාහිත්‍ය චක‍්‍රවර්ති’ සම්මානයද එතුමාට පිරි නැමෙනවා.
ආසියානු දෙව් දහමක් ගැන පර්යේෂණ
 
45bwnuwm
 
ආසියාතික දෙව් දහම පිළිබදව පර්යේෂණ රැසක් කරමින් එය ලෝකයාට හදුන්වා දෙමින් දේශීය ජන වන්දනාවේ පුරෝගාමියෙකු ලෙස කටයුතු කරනු ලබන ගරු ඇලෝයි පියතුමා දේශීයකරණය යනු හුදු සංස්කෘතිය පමණක් නොව ඉන් ඔබ්බට ගිය ඒ සඳහා සංස්කෘතිය හා බැදුනු තවත් බොහෝ කාරණා ඇති බව ප‍්‍රායෝගිකව ඔප්පු කර පෙන් වූ පර්යේෂකයෙකි. එසේම අග්ග මහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත‍්‍රීය මහ නාහිමියන්, මහාචාර්ය වල්පොල රාහුල හිමියන්, මහාචාර්ය කොටහේනේ පඤ්ඤාකිත්ති, මහාචාර්ය කාකපල්ලියේ අනුරුද්ධ ආදී වියත් හිමිවරුන් රැසක් ඉතා සමීපව ඇසුරු කරමින් දැනුම පරිශීලනය හා බුද්ධිය පුළුල් කර ගනිමින් අන්තර් ආගමික සංහිදියාව සම්බන්ධව හැදෑරීය.
 
ලංකාවේ සහ ආසියාවේ විවිධ පන්සල් තුළ උපාසකයෙකු ලෙසත් ඉන්දියාවේ හින්දු දහම ආශ‍්‍රිත ස්ථානවල හින්දු අනුගාමිකයෙකු ලෙසත් පෙන සිටිමින් ප‍්‍රායෝගිකව සිය පර්යේෂණ කටයුතු සිදු කල මෙතුමා ආසියාවේ විවිධ ආගම් සමග කිතු දහම සංවාදයකට යා යුතු බවට අදහස් පළ කළ අතර, 70 දශකයේ සිටම ඒ වෙනුවෙන් පර්යේෂක කරමින් වෙහෙස මහන්සි විය. මෙතුමා විසින් මේ සම්බන්ධයෙන් ලියා පළ කරනු ලැබූ පර්යේණ ග‍්‍රන්ථ ද රාශියකි. මේ සියල්ල හුදු න්‍යායාත්මකව ලියූ කරුණු නොව ප‍්‍රායෝගිකව වෙහෙස මහන්සිව ලබා ගත් අත්දැකීම් හා දැනුම න්‍යායක් බවට පත් කරමින් කරනු ලැබූවකි. එලෙසම කැලණිය ‘තුලන’ පර්යේෂණ ආයතනය තුලින් විද්‍යාර්ථයින් රැසකට සිය පර්යේෂණ සදහා මග පෙන්වීම ලබාදීම සුවිශේෂ වේ. භාෂා 13 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් නිපුනයෙකු වන මෙතුමා අතින් විවිධ පර්යේෂණ ග‍්‍රන්ථ හා ලිපි ලේඛණ රැසක් ලියැවී තිබෙනවා.
ආසියාවේ දිළිදුකම හා දේශපාලනය
45754756786867897978989
 
ආසියාතික ආගම් හා වෙන් නොකළ හැකි ලෙස බද්ධ වී ඇති ආසියාතික දිළිදුකම සම්බන්ධයෙන්ද ප‍්‍රබල ලෙස හඬ නැගූ ගරු ඇලෝයි පියතුමා දිළින්දන් වෙනුවෙන් වැඩි වැඩියෙන් සිය දූත කාර්ය යොමු කරලීය. යුද්ධයෙන් අවතැන් වූවන් සහ විශේෂයෙන් අසරණයින් ගැන උණූ වූ සිතක් ඇති මෙතුමාගේ මූලිකත්වයෙන් වසර විසි පහකට පමණ පෙර ආරම්භ කරනු ලැබූ කැලණිය ශ‍්‍රවණූන ළමයින්ගේ ශික්ෂණ මධ්‍යස්ථානය ශ‍්‍රව්‍ය හා කථන ආබාධිත දරුවන් හට ශ‍්‍රවණඋපකරණ ලබාදී ඔවුන්ට කථනය පුහුණු කර සාමාන්‍ය දරුවන් ලෙස සමාජයට හුරු කිරීම සදහා ඇති කළ අපූරු ප්‍රාතිහාර්යක් බදුය. මේ සියල්ල සදහාම පසුපස සිටිමින් මූල්‍ය හා උපදේශකත්ව සහාය ලබාදීමට ගරු ඇලෝයි පියතුමන් ගන්නේ විශාල පරිශ‍්‍රමයකි.
 
කලාවේ හා සෞන්දර්යයේ දෙව් දහම
 
5wyw45bywy6
 
සංගීතය, සිනමාව, චිත‍්‍රකලාව වැනි සෞන්දර්යත්මක විෂයයන් කෙරෙහි ප‍්‍රවීන දැනුමකින් සමන්විත ඇලෝයි පියතුමා කලාවට හා සෞන්දර්්‍යයට දක්වන්නේ දැඩි ලැදියාවක්. එයට කදිම උදාහරණය වන්නේ එතුමා ජීවත්වන ජේසු නිකායික අසපුව වන කැලණිය, කොහොල්විල, ‘තුලන’ ආරාමයයි. එය තුළ එතුමාගේ සංකල්පයන්ට අනුව විවිධ කලාකරුවන් විසින් නිමවන ලද මූර්ති, චිත‍්‍ර ඇතුළු කලාකෘති විශාල ප‍්‍රමාණයකි. ඒ අතරින්, සතර පෙර නිමිති, ජේසු කුඩා කළ දේවමාලිගයේ දේශනා කිරීම, ක‍්‍රිස්තුන් වහන්සේ ශ‍්‍රාවකයින් සමග පිඩු සිගා වැඞීම, යුද්ධය මැද ක‍්‍රිස්තුන් වහන්සේව ළයට තුරුළු කරන් සිටින මරියාවන්ගේ පිළිරුව, යුද්ධයේ අතුරුදහන් වුවන් සංකේතවත් කරන මිනිස් රූප සහිත තාප්පය, යුද්ධ්‍ය හා මර්ධනය පිළිඹිබු කරන කටුකම්බි අතර ඇති මුහුණු, විවිධ මිනිස් චෛතිසික මිදියුෂ බදුන් තුළ ගර්භාෂගත කළ බදුන් පේලිය, හුදෙකලා වූ නග්න මිනිස් රුව, මරියාවන් හා ජේසු බිළිදු සංකේතවත් කරන සරස්වතී පිලිරුව, අතීශය මනස්කාන්ත ලෙස නිමවා ඇති ජේසුතුමා සමාරීය ස්ත‍්‍රියගෙන් වතුර පානය කිරීමේ දැවැන්ත පිළිරුව හා පූජ්‍ය භාතියගම්මන උත්තරානන්ද හිමියන් විසින් අදින ලදි ක‍්‍රිස්තු චරිතයේ විවිධ අවස්ථා ඇතුලත් සිතුවම් රැසක් හා උන්වහන්සේම සති කිහිපයකට පෙර අඹන ලද වත්මන් දේශපාලන භීෂණයට බියෙන් පලා යන ජේසු බිළිදු වඩාගත් මරියතුමියගේ මූර්තියද මේ අතර විශේෂිතය.
bw456y56y
 
තවත් කලාකෘති විශාල ප‍්‍රමාණයක් මේ අතර වෙයි. පූජ්‍ය භාතියගම්මන උත්තරානන්ද හිමියන් හට නිර්මාණකරණයට විශාල අත්වැලක් වූයේ ගරු ඇලෝයි පියතුමන් බවද පැවසේ. එසේම සම්භාව්‍ය සංගීතය සමබන්ධව විශේෂ හැදෑරීමක් හා දැනුමක් ඇති මෙතුමා සංගීත භාණ්ඩ රැසක් වාදනය කිරීමේ හැකියාව ඇති වාදය නිපුනයෙකුද වේ. එසේම ‘තුලන’ මාධය හා සිනමා අංශය තුළින් බිහිකරනු ලැබූ නවක සිනමාකරුවන් රැසකි. මේ ලිපිය ලියන ලියුම්කරුවන මා පවා ‘තුලන’ සිනමා අංශයේ වසර දහයකට වැඩි කාලයක් පුරා මාගේ පළමු කෙටි චිත‍්‍රපටයේ සිට මේ දක්වා ජාත්‍යන්තරයට දොරටු විවර කර ගනු ලැබුවේ ඇලෝයි පියගේ සහායෙනි. එලෙස ජාත්‍යන්තර තලයට යෑමට ‘තුලන’ හරහා බිහි වූවෝ විශාල ප‍්‍රමාණයකි. ගුවන් විදුලි මාධ්‍යය, නාට්‍ය හා රංග කලාව, ජනමාධ්‍ය වැනි අංශ රැසක් ‘තුලන මාධ්‍ය අංශය’ හරහා ක‍්‍රියාත්මක වේ.
 
දේශීය කිතුනු ජනවන්දනාවේ පුරෝගාමියා
WhatsApp Image 2026 03 24 at 8.43.55 AM
 
ගරු ඇලෝයි පීරිස් පියනම බටහිර දේවධාර්මික චින්තනයෙන් මිදී ඉදුරුදිග හීබෲ සංස්කෘතිය තුලින් බිහි වූ බයිබලයෙහි දැනුම හා හරය උරාගෙන එය ආසියානු හා ශ‍්‍රී ලාංකේය හැඩයකට නිමවමින් දේශීය විමුක්ති දේව ධර්මය ගොඩනැගීමේ කාර්යයයේ පුරෝගාමියා ලෙස කටයුතු කරනු ලබනවා. විශේෂයෙන් එතුමා විසින් කිතුනු ජනවන්දනාවට දේශීය හැඩය ලබාදෙමින් දේව ධාර්මික චින්තනයන් ඔස්සේ බිහිකළ නව ජනවන්දනා ක‍්‍රම රාශියක් අද වන විට ලාංකේය දේවස්ථානයන් තුළ අතිශය ජනප‍්‍රියව පවතිනවා. අප කවුරුත් දන්නා කතෝලික ජනවන්දනාවට දේශීය හැඩය එක් කළ ‘කිතුදන පුබුදුවේ’ දේශීය ජනවන්දනා ක‍්‍රම, දිව්‍ය පූජා විධි ක‍්‍රම බොහෝමයක්ම බිහි වූයේ ගරු ඇලෝයි පියතුමන්ගේ පර්යේෂණ ඇසුරින් කරනු ලැබූ මගපෙන්වීම් ඔස්සේ ඒවා හැදෑරීම සදහා ‘තුලන’ පර්යේෂණ ආයතනයට පැමිණි ‘කිතුදන පුබුදු’ සාමාජිකයින් හරහායි. කතෝලික පෝරුව හා ඒ ආශ්‍රිත කිතුනු අෂ්ඨක හා විවාහ විධික‍්‍රම රැසක් පවා එතුමා විසින්ම නිර්මාණය කරනු ලැබුවා. නව දේවධාර්මික දර්ශනය පිළිබදව එතුමා ලියූ ග‍්‍රන්ථ පරිශීලනය කරමින් පෙර අපරදිග සරසවිවල ශාස්ත‍්‍රපති හා දර්ශනවිශාරද උපාධිලාභීන් විසින් සංස්කරණය කරන ලද පර්යේෂණ නිබන්ධන 35 කට ආසන්න ප‍්‍රමාණයක් බිහිවී තිබෙන බවද වාර්ථා වේ. එසේම අන්තර්ජාතික පර්යේෂණ ස`ගරාවක් වන “DIALOGUE” නමැති වාර්ෂිකයේ ආරම්භක සංස්කාරක වන එතුමා යුරෝපයේ පළවන “Concilium” නැමැති ජාත්‍යන්තර දේවධර්ම ශාස්ත‍්‍රික ස`ගරාවේ සංස්කාරක ම`ඩුල්ලේ පළමුවන ආසියාතිකයා ලෙසද දිගු කළක් සේවය කරනු ලබයි.
 
WhatsApp Image 2026 03 24 at 8.44.00 AM
උන් වහන්සේ අන්තර් ආගමික සන්හිදියාව වෙනුවෙන් කරන ලද සේවය අති මහත්ය, කතෝලික පියවරුන් මෙන්ම බෞද්ධ භික්ෂුන් වහන්සේලා රැසකගේ ගුරුවරයා වන මෙතුමා, බෞද්ධ ධර්මයට, ආගමික සහජීවනයට, කතෝලික දහමට, සිනමාවට හා කලාවට, පොදුවෙ සමාජයට කරන ලද සේවය අතිමහත්ය. සමයාන්තර දහම් පිළිබදව විශ්ව කොෂයක් වන උන් වහන්සේ ආගමික සංහිදියාව වෙනුවෙන් ලොව තුළ කළ සේවය අමිලය. අද දින අප සියල්ලන් අතැර ස්වර්ගස්ථ වුවුද, උන් වහන්සේ වපුරණ ලද ආගමික සහජීවනයේ සහ විමුක්ති දේව දහමේ බීජ තව පරම්පරා ගණනාවක් පුරාවටම මේ දහම් කෙත තුල සංහිදියාව, සහජීවනය හා විමුක්ති දේව දහමේ ඵල බෙදමින් මහා වෘක්ෂයන් බිහි කරනු ඇත.
 
ස්තුතියි ඇලෝයි සුවාම්  ස්වර්ගයේ සතුටින් ඉන්න.
 
සටහන හා සේයා : තිළිණ අලහකෝන්
( ‘ඥානාර්ථ ප‍්‍රදීපය පුවත්පතේ පලවූ යාවත්කාලීන කල ලිපියකි)

 

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...