The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මැදපෙරදිග යුද්ධයේ ඇත්ත හා බොරුව

T

The Leader Desk

March 29, 2026 • 3:34 PM

මැදපෙරදිග යුද්ධයේ ඇත්ත හා බොරුව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුද්ධයකදී පළමු වෙඩිල්ල සත්‍යට වදින්නේ යැයි කතාවක් තිබේ. එය යුද උපායක් හැටියටම ඉතිහාසය පුරා ක්‍රියාත්මක වූවකි.
  • එය කෙතරම් උත්ප්‍රාසජනක තැනකට තල්ලු වී තිබේද කිවහොත් සයිබර් අවකාශයේ දී ලෝක ජනයා දකින යුද්ධයම අසත්‍ය තොරතුරු, දුෂ්තොරතුරු හා වෛරී තොරතුරුවල මිශ්‍රණයක් බවට පත්ව අවසන්ය.
  • යුද්ධයේ දර්ශන හා දර්ශනකාමය ඉරානයට ඇමෙරිකාව හා ඊශ්‍රායල විසින් ද ඉරානය විසින් අවට රටවලට ද එල්ල කරනු ලැබූ බව සඳහන් කරමින් සමාජ මාධ්‍යයේ විශාල වශයෙන් යුද්ධ දර්ශන ප්‍රචාරය වේ.
  • මෙම ව්‍යාජ පුවත් මෙන්ම දුෂ්තොරතුරුවල නිර්මාණය හා බෙදාගැනීම දෙස බලනවිට ඒවා දෘෂ්ටිමය අරමුණු සඳහා මෙන්ම වානිජ අරමුණු සඳහා ද යොදාගත් බව පෙනේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එහෙත් ඩිජිටල් යුගයේදී මේ තත්ත්වය ඉතාම බරපතලය.

ඇමෙරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය ඒකාබද්ධ පෙරමුණක සිට ඉරානය සමග සිදුවන මැදපෙරදිග ගැටුමේදී ඉතිහාසයේ අන් කවරදාටවත් වඩා බරපතල තැනකට එය සේන්දු වී තිබේ. එය කෙතරම් උත්ප්‍රාසජනක තැනකට තල්ලු වී තිබේද කිවහොත් සයිබර් අවකාශයේ දී ලෝක ජනයා දකින යුද්ධයම අසත්‍ය තොරතුරු, දුෂ්තොරතුරු හා වෛරී තොරතුරුවල මිශ්‍රණයක් බවට පත්ව අවසන්ය.

යුද්ධයේ දර්ශන හා දර්ශනකාමය

ඉරානයට ඇමෙරිකාව හා ඊශ්‍රායල විසින් ද ඉරානය විසින් අවට රටවලට ද එල්ල කරනු ලැබූ බව සඳහන් කරමින් සමාජ මාධ්‍යයේ විශාල වශයෙන් යුද්ධ දර්ශන ප්‍රචාරය වේ. මෙම දර්ශන නැරඹීම්වලට මෙන්ම නැවත බෙදාගැනීමට සමාජ මාධ්‍යවල විශාල උනන්දුවක් දකින්නට ලැබේ. මෙසේ සමාජ මාධ්‍ය වේදිකාවල බෙදාගනිමින් තිබෙන බොහෝ දර්ශන ව්‍යාජ හෝ දුෂ්තොරතුරුය.

මෙම ව්‍යාජ පුවත් මෙන්ම දුෂ්තොරතුරුවල නිර්මාණය හා බෙදාගැනීම දෙස බලනවිට ඒවා දෘෂ්ටිමය අරමුණු සඳහා මෙන්ම වානිජ අරමුණු සඳහා ද යොදාගත් බව පෙනේ. යුද ගැටුමේ පාර්ශ්වකරුවන්ට දේශපාලන හා මතවාදී තලයේ දායකත්වය දැක්වීමේ අරමුණෙන් එක් පිරිසක් එවැනි අන්තර්ගත නිර්මාණය කර තිබුණි. ඊට කිසිදු සම්බන්ධයක් නැති සමාජ මාධ්‍ය වේදිකාවල පරිශීලකයන්  ඒවා ව්‍යාජ හෝ දුෂ්ට තොරතුරු බව දැන දැනම බෙදාහරිමින් ඇත්තේ වාණිජ අරමුණු පෙරදැරිවය.

එසේ නිර්මාණය කර විශාල වශයෙන් සමාජ මාධ්‍යයේ (වැඩිවශයෙන් ෆේස්බුක්) බෙදාහැරුණු වීඩියෝ දර්ශන කීපයක් මෙසේය.

1.Iran missile attack on Israel - night sky full of fire

2.US bombing Iranian base - cockpit view

3.Tehran city destroyed by missile strike

4.Iran drone strike hits target precisely

5.Ground battle in Iran - urban combat

 

මේ බොහෝ දර්ශන ගැටුම් අනුකරණ වීඩියෝ ක්‍රීඩාවල ඒවා විය.Arma 3    යනු ඒ සඳහා බහුලව භාවිත කළ වීඩියෝ ක්‍රීඩා දර්ශන මූලාශ්‍රයක් වූ අතර ෘDigital combat simulator, Call of duty, War thunder වීඩියෝ ක්‍රීඩාවල සංස්කරණය කළ දර්ශන ද එහිදී යොදාගෙන තිබිණ.

මේ සම්බන්ධයෙන් අධ්‍යනය කරන කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ සඳහන් කළේ අන් කවරදාටත් වඩා ආඛ්‍යානයේ බලය මෙම යුද්ධයේදී භාවිත වෙමින් ඇති බවය. කතන්දර ගෙතීමේ බලය හා ඇල්ගොරිදමය විසින් මේ අවස්ථාවේ යුද්ධයේ ජයග්‍රාහකයා ලෝකයට පෙන්වන තත්ත්වයක් හැටියට මහාචාර්යවරයා එය විග්‍රහ කළේය.  

“මේ යුද්ධයේ සාම්ප්‍රදායික විදියට මිසයිල, ජෙට් යානා ඒවා තියෙනවා. නමුත් සොල්දාදුවෝ පේන්නේ නෑ. නමුත් දේශසීමා නැති යුදබිමක් තියෙනවා. සයිබර් අවකාශය කියල ඒකට කියන්න පුළුවන්. ඒ සයිබර් අවකාශය තමයි මේ යුද්ධයේ පදනම වෙලා තිබෙන්නේ. මේ සයිබර් යුද්ධයේදී වෙඩි උණ්ඩ දකින්න ලැබෙන්නේ නෑ. බෝම්බ හඬ නෑ. දුමක් නගින්නේ නෑ. හැබැයි ඒ සයිබර් අවකාශයේ වෙන යුද්ධයේදී සතුරු රාජ්‍යයේ ආර්ථික මර්මස්ථානවලට, බලශක්ති මර්මස්ථානවලට, සන්නිවේදන මර්මස්ථානවලට සයිබර් ප්‍රහාර එල්ල කරලා ඒවා අඩපණ කිරීමෙන් උපායමාර්ගිකව යුද්ධයේ ජයග්‍රහණය දෙසට මෙහෙයවීමක් සිදුවෙනවා. මේ යුද්ධයේ ආයුධ වෙලා තියෙන්නේ ඩේටා. ඇල්ගොරිදම්. අනෙක් පැත්තෙන් ආඛ්‍යානය කතන්දරය පාවිච්චි කරන්නෙ කවුද කියන එක. යුද්ධයේ ජයග්‍රාහකයා කවුදැයි ලෝකයට පෙන්නන්නේ තාක්ෂණය විසින්. ලෝක ජනමතය යුද්ධයේදී කාටද පක්ෂපාතී වෙන්නේ කියන එකට ඒක බලපානවා. හැබෑ වීරයා හෝ දුෂ්ටයා අපට පේන්නේ නෑ. ඒක දැනගන්න වෙන්නේ දීර්ඝකාලීන යුද්ධයකින් පස්සෙ කාලෙකට පස්සෙ. ”

මතවාදී තලයේ බලය
vhdgdrg| ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්

මෙසේ තාක්ෂණික ඇස්බැන්ඳුම්වලට අමතරව මතවාදී තලයේ ව්‍යාජ තොරතුරු බෙදාහැරීම් ද සිදුවෙමින් තිබේ. රාජ්‍යයේ මතවාදී බලය යොදාගැනීම ද එහිදී සිදුවේ. ඊට ලංකාවට ආසන්න නිදසුනක් ද දැක්විය හැකිය. ඒ, 2026 මාර්තු 4 වැනිදා ගාල්ලට ආසන්න ජාත්‍යන්තර මුහුදු කලාපයේදී ඉරානයට අයත් ‘අයිරිස් ඩෙනා’ නමැති නෞකාව ඇමෙරිකානු සබ්මැරීන් ප්‍රහාරයකින් මුහුදුබත් කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් මාධ්‍ය හමුවකට එක්වෙමින් කළ ප්‍රකාශයයි. ඉන්දියන් සාගරයේදී ඇමෙරිකානු සබ්මැරීනයක් මගින් ජාත්‍යන්තර මුහුදු කලාපයේදී ඉරාන නැවක් ගිල්වා දැමු බවත් එම දෙවැනි ලෝක යුද්ධයෙන් පසු සතුරු නැවක් ගිල්වා දැමීමට ටෝපිඩෝවක් යොදා ගත් පළමු අවස්ථාව මෙය බවත් ආරක්ෂක ලේකම්වරයා කීය.

එහෙත් එහි කරුණුමය වශයෙන් නිවැරැදි විය යුතු විය. එනම්, දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ටෝපිඩෝ ප්‍රහාරයකින් එසේ නැවක් ගිල්වීමට ඇමෙරිකාව කටයුතු කළ පළමු අවස්ථාව ලෙසය. එහෙත් ලොව පුරා මාධ්‍ය මගින් එය ප්‍රචාරය වූයේ ඇමෙරිකා යන විශේෂණයෙන් බැහැරව ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළ ආකාරයෙන්මය. the first sinking of an enemy ship by a torpedo since World War Two    යනු එහිදී ඔහු යොදාගත් වචන විය.  

මේ නිසා බීබීසී හා හින්දුස්ථාන් ටයිම්ස් වැනි පුවත් සේවාවල කරුණු පිරික්සීමේ කණ්ඩායම් “දෙවන ලෝක යුද්ධයෙන් පසු සතුරු නැවක් ටෝපිඩෝවකින් ගිල්වා දැමූ පළමු අවස්ථාව මෙය ” ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා කළ ප්‍රකාශය නිවැරදි නොවන බව නිදසුන් සහිතව දක්වමින් එය වාර්තා කළේය.

1982 ෆෝක්ලන්ඩ් යුද්ධයේදී, ආර්ජන්ටිනාවේ එකම කෲස් නෞකාව වන ජෙනරල් බෙල්ග්‍රානෝ, බි්‍රතාන්‍ය න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනයක් එල්ල කළ ටයිගර්ෆිෂ් ටෝපිඩෝ දෙකකට හසුවීමෙන් පසු දකුණු අත්ලාන්තික් සාගරයේ ගිලී ගිය බවත්, 1971දී තවත් ගිලී යාමක් සිදු වුණු බවත් බීබීසී එසේ වාර්තා කර තිබිණ. ඊට අමතරව ඉන්දියානු යුද්ධ නෞකාවක් වන ෂභී කුක්රි පාකිස්ථාන සබ්මැරීනයක් විසින් ටෝපිඩෝවකින් ගිල්වා දමනු ලැබු බව ද එහි සඳහන් විය. කෙසේ වෙතත් මේ අතර නිව්යෝක් ටයිම්ස්, වොෂිංටන් පෝස්ට් වැනි ඇමෙරිකානු ජනමාධ්‍ය ආරක්ෂක ලේකම්වරයාගේ සන්නිවේදන අඩුව පුරවමින් US submarine sinks enemy vessel for the first time since second world war යනුවෙන් සඳහන් කරමින් එය කරුණුමය වශයෙන් නිවැරැදි කරන්නට කටයුතු කළේය. එක්තරා ආකාරයකට මේ සන්නිවේදනයේ හිඩැස ප්‍රශ්නකාරී වූයේ ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට හෙග්සෙත් යනු පූර්වයෙන් වෘත්තියෙන් මාධ්‍යවේදියකු නිසාය.

මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ එම සිදුවීම පැහැදිලි කළේ මෙසේය.

fdgfdgf

 

“ආඛ්‍යානයේ අයිතිය කාටද අයිති ඒ අය තමයි මතුපිටින් යුද්ධයේ ජයග්‍රාහකයා වෙන්නෙ මේ වෙලාවෙ. ඒ ආඛ්‍යානය ගොඩනගද්දි සමහර මූලාශ්‍ර, ඉතිහාසගත සිදුවීම්, දර්ශන නොසලකා හරිනවා. ඒ වගෙම ගොඩක් දේවල් අතින් දානවා. කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරල ඕනෑම හඬක් රූපයක් මූලාශ්‍රයක් ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන්. එතකොට ආඛ්‍යානය යථාර්ථයෙන් බැහැර වෙලා ගොඩනගන්න පුළුවන්. මේ යුද්ධයේ කතන්දරය වැඩියෙන්ම ප්‍රචාරක උපක්‍රමයක් විදියට මතුකරල ගන්න පුළුවන් පාර්ශ්වය තමයි මේ මොහොතේ යුද්ධයේ ජයග්‍රාහකයා වීරයා බවට පේන්නෙ. ”

“ මේක තොරතුරු යුද්ධයක්. දෙවැනි ලෝක යුද්ධයෙදිත් අපි දැක්කා ඒක භාවිත කරනවා. හැබැයි දැන් එතැනින් ඔබ්බට ගියාම සියුම් තාක්ෂණයක්. එක පැත්තකින් කෘත්‍රිම බුද්ධිය. අනෙක් පැත්තෙන් සමාජ මාධ්‍ය සම්බන්ධ තාක්ෂණික යෝධයන් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙන්නේ ඇමෙරිකාව කෙන්ද්‍රියව. සීි.එන්.එන් අල්ජසීරාත් ඇමෙරිකාව කේන්ද්‍රීයයි. ඒ කැමරාවෙන් දකින දේවල් තමයි අපි දකින්නේ. මේ යුද්ධය ගැන කවුද දිනන කෙනා කියල කෘතිමව පෙන්වීමට ව්‍යාජ තොරතුරු, ව්‍යාජ හැඟීම් පවා උපායමාර්ගිකව යොමුකරල තිබ්බා.”


ප්‍රකාශනයේ නිදහසට බලපෑම්

gdsgdg

තොරතුරු වාර්තාකරණයේ කරුණුමය නිවැරැදිභාවය එසේ ප්‍රශ්න කෙරෙන අතරේම දේශපාලන අධිකාරියේ බලපෑමට ජනමාධ්‍ය ලක් වූ අවස්ථා ද දැකිය හැකි විය. සවුදි අරාබියේ ප්‍රින්ස් සුල්තාන් එයාබේස්හි තිබූ ඉන්ධන පිරවුම් ටැංකි ගුවන් යානා පහකට ඉරාන මිසයිල ප්‍රහාර එල්ල වී ඇති බවට වෝල් ස්ටී්‍රට් කළ වාර්තාව ඊට එක් හේතුවක් විය. එය ව්‍යාජ පුවතක් හැටියට අර්ථකතනය කළ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් “ඒ අතරින් පහෙන් හතරකට සැලකිය යුතු හානි කිසිවක් නොමැති අතර ඒවා දැනටමත් නැවත සේවයට එක්කර ඇත. ව්‍යාජ පුවත් ශීර්ෂයන්හි සඳහන් කළ පරිදි එකක්වත් විනාශ වී නැත. එයට ආසන්නවත් නැත” යනුවෙන් සමාජ මාධ්‍ය සටහනක් තබා තිබිණ. ‘ද වෝල් ස්ටී්‍රට් ජර්නල්’ හා ‘නිව්යෝක් ටයිම්ස්’ යනු නීච මාධ්‍ය හැටියට විවේචනය කිරීම දක්වා ට්‍රම්ප් දුර ගියේය. ඇමෙරිකානු ෆෙඩරල් සන්නිවේදන කොමිසමේ සභාපති බ්‍රෙන්ඩර් කාර් ඊට පෙර සිටම මාධ්‍යට අනතු අඟවා තිබුණේ “නීතිය පැහැදිලියි. විකාශකයන් මහජන යහපතට ක්‍රියා කළ යුතුයි. එසේ නොකරන්නේ නම ඔවුන්ගේ බලපත් අහිමි වනු ඇත” යනුවෙන් එක්ස් සටහනක් තබමිනි.

එහිදී ඇමෙරිකානු ජනපතිවරයාගේ හා සන්නිවේදන කොමිසමේ තරවටු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු සංශෝධනයෙන් ලබාදෙන නිදහස් ප්‍රකාශන අයිතිය උල්ලංඝනය කිරීමක් හැටියට කොංග්‍රසයේ ඩිමොක්‍රටික් නියෝජිතයෝ විවේචන එල්ල කළහ. ඒ අනුව යුද්ධය පිළිබඳ ඇමෙරිකානු මාධ්‍ය වාර්තාවල කරුණුමය අන්තර්ගතයන් ගැන ඇමෙරිකානු බලාධිකාරියේ විවේචන හා මත දැක්වීම් සංකීර්ණ විය.

දියාගෝ ගාෂියා කතාව දුෂ්ට  තොරතුක්ද?

vxfgsdh

තොරතුරු වාර්තාකරණයේදී අසත්‍ය තොරතුරු බව දැන දැනම වාර්තාකරණය හෙවත් දුෂ්තොරතුරු මෙන්ම සත්‍ය තොරතුරු දුෂ්ට අදහසින් බෙදාගැනීමත් ආචාරධාර්මිකව ප්‍රශ්න කෙරේ. මැදපෙරදිග යුද්ධයේදී ද ඒ තත්ත්වය අඩුවක් නැතිව දැකිය හැකිය. ඉන්දියන් සාගරයේ පිහිටි දියාගෝ ගාෂියා දූපත් ඉලක්ක කරගෙන ඉරානය මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බවට ‘වෝල් ස්ටී්‍රට්’ කළ වාර්තාකරණයත් එය පදනම් කරගෙන ලොව පුරා සිදු වූ වාර්තාකරණයත් ඊට අනගි නිදසුනකි. ඉරානය ඉන්දීය සාගරයේ පිහිටි අමෙරිකානු-බි්‍රතාන්‍ය යුධ හමුදා කඳවුරක් වන දියාගෝ ගාර්ෂියා වෙත මධ්‍යම දුර බැලිස්ටික් මිසයිල 2ක් එල්ල කර ඇතැයි වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තා කළේ නම හෙළි නොකළ ආරක්ෂක මූලාශ්‍ර මගිනි. එහෙත් එය ප්‍රතික්ෂේප කළ ඉරානය එය තමන් අමාරුවේ දැමීමට සැකැසූ ව්‍යාජ පුවතක් යැයි චෝදනා කළේය. එහෙත් ලොව පුරා මාධ්‍ය එය වාර්තා කළේ පළමු මූලාශ්‍රයේ අන්තර්ගතයන් උපුටා දැක්වීමට වඩා යුද බිය සෙසු කලාපයට පැතිර යන සේය.

ලංකාවේ ජාතික පුවත්පතක එය වාර්තා කර තිබුණේ මෙසේය.

‘ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර පවතින යුදමය ගැටුම් මැදපෙරදිග කලාපයෙන් ඔබ්බට ගොස්, ඉන්දීය සාගරය දක්වා වර්ධනය වීමේ අවධානමක් පෙන්නුම් කර ඇත. ඒ, ඉරාන විප්ලවීය හමුදාව ඉන්දීය සාගරයේ පිහිටි අතිශය වැදගත් ඇමෙරිකානු සහ බි්‍රතාන්‍ය ඒකාබද්ධ හමුදා මධ්‍යස්ථානයක් වන දියේගෝ ගාසියා කඳවුර ඉලක්ක කර ඉරානය විසින් බැලැස්ටික් මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කිරීමත් සමගය. කෙසේ නමුත් මෙම මිසයිලවලට නිවැරදි ඉලක්කවලට ලගා වීමට නොහැකි වූ බව ඇමෙරිකන් හමුදාව පවසයි. එක් මිසයිලයක් ගුවනේදී අක්‍රීය වී කඩා වැටී ඇති අතර, අනෙක් මිසයිලය අමෙරිකානු යුද නෞකාවකින් නිකුත් කළ ප්‍රති-මිසයිල පද්ධතියක් මගින් විනාශ කෙරුනු බව පැවැසෙයි. ඉරානයේ සිට දියේගෝ ගාසියා දූපත පිහිටන්නේ කිලෝමීටර් 4,000ක් දුරිනි. ඒ අනුව ඉරානයට කිලෝමීටර් 4,000ක් දුර විදිය හැකි මිසයිල ඇති බව තහවුරු වී තිබේ. මීට පෙර ඇමෙරිකාව පැවැසුවේ ඉරානය සතුව ඇත්තේ කිලෝමීටර් 2,000 ක දුරකට විදිය හැකි මිසයිල පමණක් බවය.’

ඒ අනුව මෙවැනි වාර්තා සැලකිය හැක්කේ හුදු කරුණු වාර්තාකිරීමකින් ඔබ්බට ගොස් හැඟීම් දනවන ලෙස කෙරෙන වාර්තාවක් හැටියටය. මේ අවස්ථාව වනවිට මැදපෙරදිග යුද්ධයට අදාළව කෙරෙන ප්‍රවෘත්ති වාර්තා බොහෝමයක මුල් මූලාශ්‍ර උපුටාදැක්වීමකින් ද තොරව අතිශයෝක්තිය භාවිත කරමින් තිබේ. එය පැහැදිලිවම මාධ්‍ය වාර්තාකරණයේ මූලික ආචාර ධර්ම බිඳදැමීමක් වන අතර එහි ප්‍රතිඵලය වන්නේ සමාජය නොමග යෑම මෙන්ම යුද ආතතියේ ගොදුරක් බවට මහජනයා පත්වීමය.

මෙවැනි අවස්ථාවල කළහැක්කේ කුමක්ද?

gdsgsdg

ව්‍යාජ හා දුස්තොරතුරුවලින් මිදීමේදී අනුගමනය කළ හැකි ප්‍රධාන පියවරක් වන්නේ විශ්වසනීය මූලාශ්‍ර භාවිත කරන අතරේම මූලාශ්‍ර කීපයක් මගින් තොරතුර සත්‍යාපනයට උත්සාහ කිරීමය. විශේෂයෙන්ම ලෝක බලවතුන්ගේ යුද පිටියක දෘෂ්ටිමය පාර්ශ්වීයත්වයන් මාධ්‍ය වාර්තාකරණයේදී පවා තිබිය හැකිය. එනිසා බහුවිධ මූලාශ්‍ර මත පිහිටා කටයුතු කිරීම වැදගත්ය. ඒ අතරේම වීඩියෝ හා ඡායාරූප දර්ශන පිරික්සීමට ගූගල් රිවර්ස් ඉමේජ් වැනි තාක්ෂණික පියවරට යෑම කළ හැකිය. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය වේදිකා නිරීක්ෂණයේදී සිරස්තල දුටු විගස ඒවා නැවත බෙදාගැනීමකට නොගොස් කරුණු විමසා බැලීමක් කිරීම වටී.

(සටහන | බිඟුන් මේනක ගමගේ)

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...