The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බලය, වගවීම හමු වන විට: ඇමතිවරයෙකු අපරාධ චෝදනාවලට ලක් වූ විට ශ්‍රී ලංකා ආණ්ඩුව කළ යුතු දේ... | ලයනල් බෝපගේ

T

The Leader Desk

March 30, 2026 • 11:01 AM

බලය, වගවීම හමු වන විට: ඇමතිවරයෙකු අපරාධ චෝදනාවලට ලක් වූ විට ශ්‍රී ලංකා ආණ්ඩුව කළ යුතු දේ... | ලයනල් බෝපගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී රජ්‍යයක බලය සහ වගවීම එකිනෙකින් වෙන් කළ නොහැකි ය. ඇමතිවරයෙකු අධිකරණයක් ඉදිරියේ චෝදනාවට ලක් වූ විට, ආණ්ඩුව තීරණාත්මක අවස්ථාවකට මුහුණ දෙයි. එය හුදු නෛතික අපහසුතාවක් නොවේ. එය ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වභාවය පරීක්ෂාවට ලක් කිරීමකි.
  • වරද පිළිගැනීමක් ලෙස නොව, නිලය, නිලය දරන්නාට වඩා වැදගත් බව පිළිගැනීමක් වශයෙනි.
  • ඔහුට හෝ ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස රැඳී සිටිය හැකිය.
  • ඔවුන්ගේ අමාත්‍ය වැටුප්, කැබිනට් ලේඛනවලට ප්‍රවේශ වීම සහ ඔවුන්ගේ අමාත්‍යංශය පිළිබඳ අධිකාරය ද මෙයට ඇතුළත් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ප්‍රශ්නයට ලක්ව ඇති මූලධර්මය සරල ය. මහජන විශ්වාසය දරන අය උසස් තම හැසිරීමේ ප්‍රමිතිවලට යටත් විය යුතුය. අපරාධ චෝදනාවකින් එම ප්‍රමිතිය ප්‍රශ්නයට ලක් කල විට, ඇමතිවරයා පසෙකට විය යුතුය. වරද පිළිගැනීමක් ලෙස නොව, නිලය, නිලය දරන්නාට වඩා වැදගත් බව පිළිගැනීමක් වශයෙනි.

වෙස්ට්මිනිස්ටර් ආදර්ශය: පසෙකට වීම විකල්පයක් නොවේ

ශ්‍රී ලංකාව එහි පාර්ලිමේන්තු රාමුව උරුම කර ගත්තේ වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදායෙනි. එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය යන වෙස්ට්මිනිස්ටර් ක්‍රමය අනුව යන රටවල - - සාපරාධී චෝදනාවකට ලක් වුන විට ඇමතිවරයෙකුට තිබෙන පිළිතුර පැහැදිලි ය. ඇමතිවරයා හෝ ඇමතිවරිය වහාම අමාත්‍ය රාජකාරිවලින් ඉවත් විය යුතුය.

"පසෙකට වීම" යන්නෙන් ඉල්ලා අස්වීම අදහස් නොකෙරේ. ඔහුට හෝ ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස රැඳී සිටිය හැකිය. එහෙත් ඔහු හෝ ඇය තම විධායක වගකීම් අත්හිටවිය යුතුය. ඔවුන්ගේ අමාත්‍ය වැටුප්, කැබිනට් ලේඛනවලට ප්‍රවේශ වීම සහ ඔවුන්ගේ අමාත්‍යංශය පිළිබඳ අධිකාරය ද මෙයට ඇතුළත් වේ.

මෙය දඬුවමක් නොවේ. එය ආරක්ෂාව සදහා ගන්නා පියවරකි. නිරාකරණය නොවූ අපරාධ චෝදනාවලින් ආණ්ඩුවට කැළලක් නොවන බවට එයින් සහතික කෙරේ. එය ඇමතිවරයාට පෞද්ගලිකව අදාළ කටයුතු කෙරෙහි බලපෑම් කිරීමට නිල බලතල යොදා ගැනීම වළක්වා ලයි.

ශ්‍රී ලංකාව විධායක ජනාධිපති ක්‍රමය පවත්වා ගෙන යන බැවින්, මෙය ක්‍රියාත්මක කිරීමේ වගකීම ජනාධිපතිවරයා සතු වෙයි. ඇමතිවරයෙකුට චෝදනා එල්ල වූ විට, ආණ්ඩුවේ ප්‍රධානියා වහාම ක්‍රියාත්මක විය යුතුය. ප්‍රමාදය ලබා දෙන්නේ හානිකර පණිවිඩයකි; එනම්, දේශපාලන පක්ෂපාතිත්වය නෛතික වග වීමට වඩා වැදගත් වන බව යි. මහජන විශ්වාසය දුෂ්කර ව දිනා ගන්නා හා පහසුවෙන් අහිමි වන ශ්‍රී ලංකාව තුළ, එවැනි සංඥාවක් ගැඹුරු ලෙස විනාශ දායක වනු ඇත.


චෝදනාව සිදු වුන කාලය වැදගත් ද?

මෙය තීරණාත්මක ප්‍රශ්නයකි. ධුරයට පත්වීමට පෙර ඇමතිවරයෙකු කලේ යයි කියන කාරණයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල කරනු ලැබුවොත් කුමක් වන්නේද? වෙනස් ක්‍රියා පටිපාටියක් යෙදෙන්නේ ද?

කෙටි පිළිතුර එසේ නොවේය යන්නයි. චෝදනා කරන ක්‍රියාව සිදු වූ කාලය නොසලකා, පසෙකටව සිටීමේ අවශ්‍යතාවය අදාළ වේ. එම ක්‍රියාව සිදු වූයේ පසුගිය මාසයේ වුවද, නැතහොත් ඇමතිවරයා පත් කිරීමට වසර දහයකට පෙර වුවද, එම සම්මුතිය ම අදාළ වෙයි. ඇමතිවරයා පසෙකට විය යුතුය.

මෙයට හේතුව, ඇමතිවරයා කළ දේ හෝ නොකළ දේ ට පමණක් ගැට‍ළුව සීමා නොවීම යි. ප්‍රශ්නය වන්නේ චෝදනාවට ලක් වූ පුද්ගලයෙකුට විධායක බලය දරා සිටීමට ඉඩ සලසන අතරම ආණ්ඩුවට නීතියේ ආධිපත්‍යය විශ්වාසදායක ලෙස ආරක්ෂා කළ හැක්කේ ද යන්නයි. කරන ලද්දේ යයි කියන වරද සිදු කරන ලද කාලය අනුව, එම ප්‍රශ්නය වෙනසකට ලක් නොවේ.

 

parliment 260131
පාර්ලිමේන්තු වරප්‍රසාද, ඇමති ධුරයට පත්වීමට පෙර ගන්නා ලද ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් හෝ නඩු පැවරීමෙන් ඇමතිවරයෙකු ආරක්ෂා නොකරයි. වරප්‍රසාද ආවරණය කරන්නේ පාර්ලිමේන්තු කටයුතුවල දී - විවාද, ඡන්ද, කමිටු කටයුතු වල දී - කියන හෝ කරන දේ පමණකි. පුද්ගලයන් පසුව ඇමතිවරුන් බවට පත් වුවද, ඔවුන්ගේ පෞද්ගලික හැසිරීම්වලට ඒ ආවරණය අදාළ නොවේ.

ප්‍රායෝගික ලෙස ගත් විට, කරන ලදැයි කියන හැසිරීම අමාත්‍ය ධුරයට පත් වීමට පෙර සිදු ව ඇති විට, ජනාධිපතිවරයාට ස්වාධීන අධිකාරියකින් හෝ අදාළ ආණ්ඩුවේ දෙපාර්තමේන්තු ප්‍රධානියාගෙන් උපදෙස් ලබා ගත හැකිය. චෝදනා අමාත්‍ය චර්යාධර්ම සංග්‍රහය උල්ලංඝනය කර ඇත් දැයි තක්සේරු කිරීම උදෙසා ඔහුට එම කාරණය විමර්ශනය කිරීමට යොමු කළ හැකිය. කෙසේ වෙතත්, එම විමර්ශනයේ ප්‍රතිඵලය විසින්, අපක්ෂපාතී පරීක්ෂණයක් මගින් එම පුද්ගලයා වරදකාරිත්වයෙන් නිදහස් කරන තුරු සිය අමාත්‍ය රාජකාරිවලින් පසෙකට වී සිටීමේ අවශ්‍යතාවය වළක්වා ලන්නේ නැත.


පුද්ගලිකව පවතින අමාත්‍යාංශ වගකීම

පුද්ගලිකව පවතින අමාත්‍යාංශ වගකීම, වගකිව හැකි ආණ්ඩුවක ප්‍රධාන සාධකයක් ලෙස පවතී. ධුරය දරන කාලය තුල ගන්නා හැම ක්‍රියාවක් සහ හැම තීරණයක් වෙනුවෙන් ම ඇමතිවරුන් / ඇමතිවරියන් පාර්ලිමේන්තුවට - සහ පාර්ලිමේන්තුව හරහා ජනතාවට - වගකිව යුතුය.

ප්‍රශ්නය නම් චූදිත පුද්ගලයෙකුට විධායක බලය දිගටම භාවිතා කිරීමට ඉඩ දෙන අතරම නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරන බවට ආණ්ඩුවට විශ්වාසදායක ලෙස ප්‍රකාශ කළ හැකිද යන්නයි. ඕනෑම අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක පිළිතුර විය යුත්තේ ‘නැත’ යන්න යි.

court.jpg

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අමාත්‍ය චර්යාධර්ම සංග්‍රහය මෙම මූලධර්මය පැහැදිලිව පිළිබිඹු කළ යුතුය. අධිකරණයක නගන චෝදනාවක් - විශේෂයෙන් බරපතළ සාපරාධී වරදක් සඳහා වේ නම් - අවම තරමින් එය ප්‍රාථමික සාක්ෂි සහිත නඩුවක් ලෙස සැලකේ. තීන්දුවකට එළඹෙන්නට පෙර පවා, ඇමතිවරයාට පසෙකට වන ලෙස ඉල්ලා සිටින්නට ආණ්ඩුවට අයිතියක් තිබෙනවා පමණක් නොව, ඇත්තෙන්ම වගකීමක් ද තිබේ.


සමගාමී ව ක්‍රියාත්මක වන ක්‍රියාවලි දෙකක්

ඇමතිවරයෙකුට චෝදනා එල්ල වූ විට, එක වර වෙන වෙනම ක්‍රියාවලි දෙකක් පටන් ගැනේ. පළමුවැන්න, අපරාධ යුක්තිය පසිඳ ලීමේ ක්‍රියාවලියයි. මෙය අධිකරණයට ම පමණක් අයත් වේ. එය ආණ්ඩුවෙන් ස්වාධීනව සිදු වෙයි. ඕනෑම සාමාන්‍ය පුරවැසියෙකු මෙන් ඇමතිවරයා ද එම නෛතික ක්‍රියාවලියට ම මුහුණ දෙයි.

දෙවැන්න, දේශපාලන වග වීමේ ක්‍රියාවලියයි. මෙය අමාත්‍ය චර්යාධර්ම සංග්‍රහය මගින් පාලනය කෙරෙයි. වේගවත් ව සිදු වන එම ක්‍රියාවලිය, තීන්දුවක් ලැබෙන තෙක් රැඳී නොසිටියි. ඇමතිවරයා පසෙකට වීම අවශ්‍ය කරමින්, විධායකයේ අවංකත්වය ආරක්ෂා කරන්නට ආණ්ඩුව වහාම ක්‍රියාත්මක වෙයි.

මෙම ක්‍රියාවලි දෙක එකිනෙකින් වෙන් වෙන්ව පවතී. එහෙත්, ඒවා එකිනෙකට අසම්බන්ධ නැත. සාපරාධ ක්‍රියාවලියේ ප්‍රතිඵලය, දේශපාලන වග වීමේ ක්‍රියාවලියේ දී සිදු වන්නේ කුමක්ද යන්න සෘජු ලෙසම තීරණය කරයි.

අධිකරණ තීරණයෙන් පසු:  නිදොස් කොට නිදහස් කිරීම හෝ වරදකරු කිරීම

ඇමතිවරයා නිදොස් කරන ලද්දේ නම්, කාරණය එතැනින් නිමාවට පත් වේ. ආණ්ඩුවට ඒ පුද්ගලයා නැවත එම තනතුරට පත් කළ හැකිය. පසෙකට වී සිටීමේ කාලය - වරදකාරිත්වය පිළිබඳ පූර්ව විනිශ්චයක් ලෙස නොව - මහජන යහපත උදෙසා ගත් තාවකාලික සහ යෝග්‍ය ක්‍රියා මාර්ගයක් ලෙස සලකනු ලැබේ. ආණ්ඩුව එම චෝදනාව බැරෑරුම් ලෙස සැලකිල්ලට ගත් බව විදහා පාන මෙම පියවර, නිර්දෝෂී බව පිළිබඳ පූර්ව නිගමනය තහවුරු කරයි.

ඇමතිවරයෙකු බරපතළ සාපරාධී වරදකට වරදකරු කළේ නම්, ඉල්ලා අස්වීම හුදෙක් අපේක්ෂා කරනු පමණක් නොව, එය අත්‍යවශ්‍ය ද වේ. වරදකරු කරනු ලැබූ අයකුට ජනතා විශ්වාසය දිනා ගත් තනතුරක් දැරිය නොහැකි ය.

ඇමතිවරයා ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, ආණ්ඩුවේ ප්‍රධානියා ක්‍රියාත්මක විය යුතුය. ජනාධිපතිවරයා අදාළ ව්‍යවස්ථාපිත අධිකාරියට ඇමතිවරයා ව ධුරයෙන් නෙරපා හැරීමට උපදෙස් දිය යුතුය. මෙය දේශපාලන තෝරා ගැනීමක් පිළිබඳ කාරණයක් නොවේ. එය ව්‍යවස්ථාමය වගකීමකි.

1720435067 government employees L

මෙම ක්‍රියාවලිය පුරාවටම, ආණ්ඩුව රාජ්‍ය සේවයේ අඛණ්ඩ පැවැත්ම සහතික කළ යුතුය. ඉවත් ව සිටින ඇමතිවරයාගේ ධුරය හිස්ව නොතැබිය යුතුය. ඒ සදහා වැඩබලන ඇමතිවරයෙකු පත් කෙරේ. ආණ්ඩුව දිගටම කටයුතු කර ගෙන යයි. එක් ඇමතිවරයෙකු අධිකරණයට මුහුණ දෙන බැවින් පරිපාලනය නතර වන්නේ නැත.

ආණ්ඩුව මැදිහත් නොවිය යුතුය

ඇතැම් විට, එවැනි තත්වයන් තුළ ශ්‍රී ලංකා ආණ්ඩුවේ වඩාත්ම තීරණාත්මක වගකීම වන්නේ එය නොකළ යුතු දේ මොනවා ද යන්නයි. එය අධිකරණමය ක්‍රියාවලියට ඇඟිලි නොගැසිය යුතුය.

විධායක අංශයට, එනම්, ජනාධිපතිවරයාට, අගමැතිවරියට, කැබිනට් මණ්ඩලයට - අධිකරණය ඉදිරියේ සිදු වන කටයුතුවල දී ඉටු කරන්නට කිසිදු භූමිකාවක් නැත. සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට ආණ්ඩුව උත්සාහ නොකළ යුතුය. නඩු පැවරීම් ප්‍රමාද නොකළ යුතුය. චූදිත ඇමතිවරයා නීතිමය ක්‍රියාවලියෙන් ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩු බලය සතු කිසිදු මෙවලමක් භාවිතා නොකළ යුතුය. ශ්‍රී ලංකා ආණ්ඩුව මෙතෙක් මෙම මූලධර්මයට අනුගත ව සිටින බව පෙනෙන්නට ඇත.

බලතල වෙන් කිරීම වියුක්ත නෛතික සිද්ධාන්තයක් නොවේ. එය කිසිම කෙනෙකු - කොතරම් බලවත් වුවත්, කෙතරම් දේශපාලනිකව සම්බන්ධ වුවත් - නීතියට ඉහළින් නොසිටින බවට ලබා දෙන ප්‍රායෝගික සහතිකයකි. ශ්‍රී ලංකාවේ ආණ්ඩු ඓතිහාසික ව මෙම රේඛාව බොඳ කර ඇති විට, රටට හා සමාජයට ඉන් ඇති කර තිබෙන ප්‍රතිඵල බරපතළ ය. එය මහජන විශ්වාසය බිද දමා ඇත. දණ්ඩමුක්තිය වර්ධනය කර ඇත. අධිකරණයේ ස්වාධීනත්වය අවදානමට ලක් කර ඇත.

 

NPP 251007Photo: Shehan Gunasekara

ජාතික ජන බලවේග - ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුව බලයට පත් වූයේ දූෂණ විරෝධී සහ ආයතනික ප්‍රතිසංස්කරණ වේදිකාවක් මත ය. අතීතයෙන් පැහැදිලි ලෙස බිඳී යෑමක පොරොන්දුව මත බලයට පැමිණි ආණ්ඩුවකට, තමන්ගේම වූ අය නෛතික වග වීමෙන් ආරක්ෂා කිරීමේ ඕනෑම සලකුණක් - ඡන්දදායකයින් පමණක් නොව, එහි නැගී ඒම සජීවි බවට පත් කළ ප්‍රතිපත්ති ම - ගැඹුරු ලෙස පාව දීමක් වනු ඇත.


ප්‍රජාතන්ත්‍රවාදී පරිණතභාවය පිළිබඳ පරීක්ෂාවක්

තමන්ගේ ම කෙනෙකුට සාපරාධ චෝදනා එල්ල වූ විට ආණ්ඩුවක් හැසිරෙන ආකාරය එහි ප්‍රජාතන්ත්‍රවාදී කැපවීම පිළිබඳ සත්‍යතම පරීක්ෂාව වන්නේය. වගවීම ගැන වියුක්ත ව කතා කිරීම පහසු ය. චූදිතයා සගයෙකු, විශ්වාසවන්ත අයකු, දේශපාලන සගයෙකු වන විට ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම වඩාත් දුෂ්කර වන නමුත් එසේ ක්‍රියා කිරීම වඩාත් වැදගත් වේ.

court 3

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මෙම පරීක්ෂාවට මුහුණ දිය යුතුය. පැකිළීමකින් තොරව චූදිත ඇමතිවරයාට පසෙකට වීම සදහා බල කර සිටිය යුතුය. නිදහසේ සහ මැදිහත් වීමකින් තොරව අධිකරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑම සහතික කළ යුතුය. මහජන සේවාවන් දිගටම පවත්වා ගෙන යාම සඳහා ආණ්ඩුව වැඩබලන ඇමතිවරයෙකු පත් කළ යුතුය. වරදකරු කරනු ලැබුව හොත්, එම පුද්ගලයාගේ සහයෝගය ඇතිව හෝ නැතිව, එම පුද්ගලයා ධුරයෙන් ඉවත් කිරීමට කඩිනමින් කටයුතු කළ යුතුය.

මේ කිසිවක් රැඩිකල් නොවේ. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටවල, එය සම්පූර්ණයෙන්ම සාම්ප්‍රදායික ය. ශ්‍රී ලංකාව හමුවේ ඇති අභියෝගය වන්නේ - ලිඛිත ප්‍රතිපත්ති ජීවමාන භාවිතාවක් බවට පරිවර්තනය කිරීම උදෙසා, සහ එසේ කිරීමෙන්, කිසිදු ආණ්ඩුවකට වාග් මාලාවන් ගෙන් පමණක් ඇති කළ නොහැකි ආයතනික විශ්වාසය ගොඩනැගීම උදෙසා - සාම්ප්‍රදායිකය යථාර්ථයක් බවට පත් කිරීමයි.

නීතිය එක හා සමානව ක්‍රියාත්මක වන බව දැකිය යුතුය. නිලය, එම තනතුර දරන්නාට වඩා උසස් බව දැකිය යුතුය. ආණ්ඩුව තම ඇමතිවරුන් ඇතුළු කිසිවෙක් වග වීමෙන් නොබැදී ඉහළින් නොසිටින බව - හුදෙක් වචනවලින් පමණක් නොව - විශ්වාස කරන බව ද දැකිය යුතුය. වගකිවයුතු ආණ්ඩුවක් ඉල්ලා සිටින්නේ එයයි. ශ්‍රී ලංකාවේ ජනතාව ඒ දේ ලැබීමට සුදුස්සෝ වෙති.

lIONAL bOPAGE
(සටහන | ආචාර්ය ලයනල් බෝපගේ)

සමාජ හා දේශපාලන විශ්ලේෂක
(ජවිපෙ හිටපු ලේකම්වරයෙකි)

මෙල්බර්න් නුවර, ඔස්ට්‍රේලියාව
30 මාර්තු 2026

lionel.bopage@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බලය, වගවීම හමු වන විට: ඇමතිවරයෙකු අපරාධ චෝදනාවලට ලක් වූ විට ශ්‍රී ලංකා ආණ්ඩුව කළ යුතු දේ... | ලයනල් බෝපගේ | The Leader