The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පුද්ගල ප්‍රතිරූප නිකරුණේ වනසන දුස්තොරතුරු -ස්ටෙෆනි සිරිවර්ධනගේ බන්ධනාගාර පත්වීම

T

The Leader Desk

March 30, 2026 • 3:31 PM

පුද්ගල ප්‍රතිරූප නිකරුණේ වනසන දුස්තොරතුරු -ස්ටෙෆනි සිරිවර්ධනගේ බන්ධනාගාර පත්වීම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දුස්තොරතුරු වල එක් ආකාරයක් වන්නේ යම් කිසි තොරතුරක් සම්බන්ධයෙන් නිසි සොයාබැලීමකින් කරුණු තහවුරු කරගැනීමකින් තොරව,
  • ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතියේ තිබෙන ගැටලු හේතුවෙන් රැඳවියන් මුහුණ දෙන පද්ධතිමය ගැටළු හඳුනා ගැනීම, ඔවුන්ගේ සුභසාධනය තහවුරු කිරීම සහ ඔවුන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සහතික කිරීම මෙම පත් කිරීමේ මුඛ්‍ය පරමාර්ථය වූ බව රජය ප්‍රකාශ කරයි.
  •   කෙසේ වෙතත්, 2011 දී මිස් ශ්‍රී ලංකා සහ 2013 දී මිස් ඒෂියා ලෙස කිරුළු පැළඳි ශ්‍රී ලාංකීය රූ රැජිනක් වූ ස්ටෙෆනි සිරිවර්ධන මෙම කමිටුවට ඇතුළත් කිරීම, අදාළ මතභේදයේ සහ දුස්තොරතුර පැතිර යෑමේ කේන්ද්‍රස්ථානය බවට පත්විණි.
  • මෙහිදී ඇතැම් ජාතික මාධ්‍ය තුලින්ද දැන හෝ නොදැන මෙම අදහස සමාජගත කිරීමට තල්ලුවක් ලැබුණු බව කණගාටුවෙන් වුවත් ප්‍රකාශ කිරීමට සිදුවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

පූර්ව නිගමනයකට එළැඹීමයි. ඉන්පසු එම පූර්ව නිගමනය තවත් කිසිප දෙනෙකු හා බෙදාගැනීමත්, ඒ කිහිප දෙනා තවත් බොහෝ දෙනෙකු හා එය බෙදාගැනීමත් සමඟ, ගිරිහිම නිපාතයක් ලෙසින් බොහෝ විට දුස්තොරතුරක් අධිවේගයෙන් සමාජගත වේ. එම තොරතුර යම් කිසි පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් සම්බන්ධයෙන් වූ විට, අදාළ පුද්ගලයාට හෝ ප්‍රජාවට ඒ පිළිබඳව කරුණු දැක්වීමට හෝ, ස්වාධීන කරුණු සොයා බලා සත්‍යාපනය කරන්නන්ට (Fact-checkers) ඒ පිළිබඳ ඇත්ත නැත්ත සෙවීමට හෝ කාලයක් නොදී, එය පුද්ගලික ප්‍රහාර, ප්‍රතිරූප හානි දක්වා ගමන් කිරීමේ වැඩි ඉඩකඩක් පවතී.

00001303 6

මෑතකදී ස්ටෙෆනි සිරිවර්ධනව බන්ධනාගාර අධීක්ෂණ කමිටුවකට රජය විසින් පත් කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ පැතිර ගිය හාහෝව එයට කදිම නිදර්ශනයකි.
 
ස්ටෙෆනිට ලබා දුන් පත්වීමට හේතුව ඇය රූ රැජණක් වීමද?
00001303 5
සාමාජිකයින්ගෙන් හය දෙනෙකුගෙන් යුත් බන්ධනාගාර අධීක්ෂණ කමිටුවක් පත් කිරීමට රජය ගත් තීරණය පාදක වී තිබුණේ පැහැදිලි අරමුණක් මත ය. ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතියේ තිබෙන ගැටලු හේතුවෙන් රැඳවියන් මුහුණ දෙන පද්ධතිමය ගැටළු හඳුනා ගැනීම, ඔවුන්ගේ සුභසාධනය තහවුරු කිරීම සහ ඔවුන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සහතික කිරීම මෙම පත් කිරීමේ මුඛ්‍ය පරමාර්ථය වූ බව රජය ප්‍රකාශ කරයි.
 
කෙසේ වෙතත්, 2011 දී මිස් ශ්‍රී ලංකා සහ 2013 දී මිස් ඒෂියා ලෙස කිරුළු පැළඳි ශ්‍රී ලාංකීය රූ රැජිනක් වූ ස්ටෙෆනි සිරිවර්ධන මෙම කමිටුවට ඇතුළත් කිරීම, අදාළ මතභේදයේ සහ දුස්තොරතුර පැතිර යෑමේ කේන්ද්‍රස්ථානය බවට පත්විණි. එහිදී කෙටි කාලසීමාවක් තුළ සමාජ මාධ්‍ය ඇගේ සුදුසුකම් ප්‍රශ්න කරන පෝස්ට් වලින් පිරී ගිය අතර, එම පෝස්ට් සෑම එකක්ම පාහේ ස්ටෙෆනි එම තනතුරට පත් කිරීම “පැරෂුට් පත් කිරීමක්” ලෙසින් දක්වමින්, එය ඇය රූ රැජණක් වීම හේතුවෙන් ලැබුණු තනතුරක් බව හුවා දැක්වීමට උත්සාහ කළ බව දක්නට ලැබිණි. මෙහිදී ඇතැම් ජාතික මාධ්‍ය තුලින්ද දැන හෝ නොදැන මෙම අදහස සමාජගත කිරීමට තල්ලුවක් ලැබුණු බව කණගාටුවෙන් වුවත් ප්‍රකාශ කිරීමට සිදුවේ.
 
00001303 4

නිදසුනක් ලෙසට ගත් විට, 2026 ජනවාරි 27 අඟහරුවාදා මව්බිම පුවත්පතේ මෙම පුවත වාර්තා කර තිබුණේ “බන්ධනාගාර නිරීක්ෂණ කමිටුවට රූ රැජනක්” යන සිරස්තලය යොදාගනිමිනි. සිරස්තලය තුළ ස්ටෙෆනි සිරිවර්ධන රූ රැජනක් යනුවෙන් පමණක් නිර්වචනය කිරීම, මෙම දුස්තොරතුර පැතිරවීමට රුකුලක් නොවන්නේදැයි පාඨකයින් ප්‍රශ්න කළ යුතු වේ. එසේම, ස්ටෙෆනි සිරිවර්ධන එම කමිටුවට පත් කිරීම සඳහා සලකා බැලුණු ඇගේ සුදුසුකම් සහ මෙහෙවර පුවත් සිරස්තලයට අදාළ නොවන්නේ මන්ද,  කමිටුවට පත් කළ අනික් සාමාජිකයින් පස් දෙනා පුවතක් නොවන්නේ මන්ද යන කරුණු ද එසේම ප්‍රශ්න කළ යුතු වේ.
 
(මූලාශ්‍රය: නිව්ස් ෆර්ස්ට් ෆේස්බුක් පිටුව)

මෙහිදී නිරීක්ෂණය කළ හැකි වූයේ, ස්ටෙෆනි සිරිවර්ධනගේ අනන්‍යතාවය, ඇය කමිටුවට පත් වීමට පෙර සිටම ශ්‍රී ලංකාවේ බන්ධනාගාර රැඳවියන් වෙනුවෙන් සිදු කර ඇති මෙහෙවර, ඇගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් නොසලකා හරිමින් ඇය රූ රැජිණියක් වීම පමණක් ඉස්මතු කිරීමට බොහෝ දෙනෙකු උත්සුක වූ බවයි.
 
ස්ටෙෆනි සිරිවර්ධන මෙම කමිටුවට පත් කිරීම සම්බන්ධ දුස්තොරතුරු මෙසේ පැතිර යන අතරතුරදී, එම ප්‍රහාරයන් හුදු පුද්ගලික මඩ ගැසීම් (Ad-hominem attacks) සහ ලිංගික සඳහන් කිරීම් දක්වා දිගු වූ බවද මෙහිදී දක්නට ලැබිණි. කෙසේ වුවත් ඉක්මනින්ම ස්ටෙෆනි සිරිවර්ධනව මෙම තනතුරට පත් කිරීමේ තිබෙන යුක්ති යුක්ත භාවය පිළිබඳව බොහෝ දෙනෙකු හඬ අවදි කිරීම ආරම්භ කළ අතර, ස්ටෙෆනි ද ඇගේ සුදුසුකම් සම්බන්ධයෙන් කථා කරනු දක්නට ලැබිණි. මේ අතර, මෙම බන්ධනාගාර නිරීක්ෂණ කමිටුවට සමාජ ක්‍රියාකාරීන් පත් කිරීම, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ විධිවිධානයන්ට අනුව, ස්ථාපිත ක්‍රියා පටිපාටිවලට අනුකූලව සිදු කර ඇති බවද පැවසිණි. එසේම, කමිටුවේ වගකීම් අතරට බන්ධනාගාර තත්ත්වයන් නිරීක්ෂණය කිරීම, ගැටළු බලධාරීන්ට වාර්තා කිරීම සහ විසඳුම් සඳහා පහසුකම් සැලසීම ඇතුළත් වන බවද ස්ටෙෆනි සිරිවර්ධන සඳහන් කරන ලදී.
 
00001303 3

එසේම තම සුදුසුකම් පිළිබඳව සඳහන් කරන ස්‍ටෙෆනි සිරිවර්ධන, තමන් මොන්ට්‍රියෙල්හි කොන්කෝඩියා විශ්ව විද්‍යාලයෙන් ජනමාධ්‍යවේදය, සන්නිවේදනය සහ දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ඇති බව ප්‍රකාශ කරන ලදී. එසේම තමන් ව්‍යාපාර මනෝවිද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද සම්පූර්ණ කර තිබෙන සහතිකලත් ආයතනික පුහුණුකාරිනියක බවද ඇය පෙන්වා දුනි. එසේම වඩාත් වැදගත් කරුණ ලෙස, ඇගේ මාමා වන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන ඉස්මතු කරන පෙන්වූ පරිදි, ඇය දශකයකට වැඩි කාලයක් පුරාවට බන්ධනාගාර සුභසාධන වැඩසටහන් සඳහා ක්‍රියාකාරීව සම්බන්ධ වී ඇත. කාන්තා රැඳවියන්ට සනීපාරක්ෂක නිෂ්පාදන සැපයීම, වෘත්තීය පුහුණුවට සහාය වීම, පුනරුත්ථාපන වැඩසටහන් සංවිධානය කිරීම සහ නොගෙවූ දඩ මුදල් හේතුවෙන් සුළු වැරදි සඳහා සිරගත කරන ලද කාන්තාවන් නිදහස් කිරීම සඳහා අරමුදල් සැපයීම වැනි කරුණු ස්ටෙෆනිගේ පදනම මගින් සිදුවූ බව ඔහු පෙන්වා දෙන ලදී.

දුස්තොරතුරු සහ සමාජ මාධ්‍ය
00001303 1

සාමාන්‍යයෙන් දුස්තොරතුරු යනු හුදෙක් අසම්පූර්ණ හෝ නොමඟ යවන සුළු අයුරින් යම් සිදුවීමක් රාමු කර දැක්වීමක් පමණක් නොවේ. නොමඟ යවන සිරස්තල සහ කරුණු තෝරාගනිමින් සිදු කරන වාර්තාකරණය (Cherry-Picking) ගෝලීය වශයෙන් බහුලවම සිදුවන දුස්තොරතුරු ආකාර අතර තිබේ. ඒ හා සමානව, නිරවද්‍යතාවයට වඩා පුද්ගලයින් අදාළ අන්තර්ගතයක් සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරයට (engagement ) ප්‍රමුඛත්වය දෙන සමාජ මාධ්‍ය ඇල්ගොරිතමයන් හේතුවෙන්, සමාජ මාධ්‍ය තුළ එවැනි අන්තර්ගතයන් පැතිරීම වේගවත් වන බව ටෙක්සාස් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ මාධ්‍ය හා සන්නිවේදන අංශය විසින් නිකුත් කළ පර්යේෂණ වාර්තාවක් මගින් අවධාරණය කෙරේ.

ශ්‍රී ලංකාවේ සන්දර්භය තුළ පමණක් නොව, ගෝලීයව පවා, බෙහෙවින් ධ්‍රැවීකරණය වූ මාධ්‍ය පරිසරයන් සහ මාධ්‍ය සාක්ෂරතාවයෙන් අඩු මාධ්‍ය පරිශීලකයින් හේතුවෙන් මෙම ගැටළුව උග්‍ර වී තිබෙන බව නිරීක්ෂණය කළ හැක.
ස්ටෙෆනි සිරිවර්ධනට ලැබුණු කමිටු පත්වීම පිළිබඳ සිදුවීම දුස්තොරතුරු පැතිර යෑම සම්බන්ධ ප්‍රධාන ලක්ෂණ කිහිපයක්ම නිරූපණය කරන බව දැකිය හැක.
 
1) තෝරාගත් රාමු කිරීම (Cherry-Picking): ඇගේ ක්‍රියාකාරීත්වය සහ අධ්‍යාපනය නොසලකා හරිමින් ඇගේ රූ රැජණ තරඟ ඉතිහාසය පමණක් ඉස්මතු කිරීම.

2) දුස්තොරතුර සීග්‍රයෙන් පැතිර යෑම : මෙම පත්වීම ඇය රූ රැජණක් නිසා සිදුවූ බව පවසන සමාජ මාධ්‍ය සටහන් නිසි කරුණු සොයා බැලීමකින් තොරව පරිශීලකයින් විසින් පුළුල්ව බෙදා හරින ලදී.

3) මේ සම්බන්ධයෙන් මුලින් අදහස් දැක්වූ පරිශීලකයින් ප්‍රධාන වශයෙන් තම පක්ෂග්‍රාහීත්වය ශක්තිමත් කරන සමාජ මාධ්‍ය පෝස්ට් වෙත වැඩි වැඩියෙන් නිරාවරණය වී තිබිණි.

මොකක්ද ඇත්තටම ප්‍රශ්නය?
00001303 1
දුස්තොරතුරු සීඝ්‍රයෙන් පැතිර යෑම කිසිවිටකත් “අහිංසක” නොවේ. එයින් සිදුවන සෘජු බලපෑම් මෙන්ම වක්‍ර බලපෑම් ද තිබේ.
ස්ටෙෆනි සිරිවර්ධන සිදුවීමම නිදසුනක් ලෙස ගත්තද, එහිදී පළමුව චරිත ඝාතනය පිළිබඳ ගැටළුවක් පවතී. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන සිය ප්‍රකාශයෙන් පෙන්වා දුන් පරිදි, ඔහුගේ ලේලිය වටා ඇති කතිකාව බොහෝ විට සාධනීය ප්‍රශ්න නැගීමකින් ඔබ්බට ගොස්, පදනම් විරහිත විවේචනයක සිට පුද්ගලික මඩ ප්‍රහාර දක්වා සීමාව තරණය කර තිබිණි. මෙය ශ්‍රී ලංකාවේ නැවත නැවතත් දැකිය හැකි රටාවකි. එවැනි අවස්ථාවන් වලදී විශේෂයෙන් කාන්තාවන් පුද්ගලික ප්‍රහාර වලට, චරිත ඝාතනය කිරීම් වලට මෙන්ම ඔන්ලයින් හිරිහැරවලට ද (Online bullying) ලක් වේ.

දෙවනුව, මෙවැනි දුස්තොරතුරු හේතුවෙන් රාජ්‍ය ආයතන කෙරෙහි පවතින මහජන විශ්වාසය අඩපණ වේ. විශේෂයෙන්ම මෙවැනි පත්වීමක් වැරදි ලෙස අර්ථ නිරූපණය කිරීම හේතුවෙන්, නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කර තිබෙන විටකදී පවා, සුදුසුකම් මත නොව, තරු ගුණයන් මත, නැතිනම් ඥාති සංග්‍රහ (nepotism) අනුව රාජ්‍ය තනතුරු බෙදාගැනීමක් සිදුවී ඇතැයි යන හැඟීම මහජනතාව තුළ ඇති වේ. මෙය පාලන ව්‍යුහයන් කෙරෙහි විශ්වාසය ඛාදනය කරන අතර, නීත්‍යානුකූල ක්‍රියාපිළිවෙත් සඳහා මහජන සහයෝගය ලබා ගැනීම වඩාත් දුෂ්කර කරයි.

තෙවනුව, මෙවැනි දුස්තොරතුරු, වැදගත් ගැටළු වලින් මහජන අවධානය වෙනතකට යොමු කරයි. මෙම බන්ධනාගාර අධීක්ෂණ කමිටුව පත් කිරීමේ සැබෑ අරමුණ වන, බන්ධනාගාර තුළ පවතින අධික තදබදය, පුනරුත්ථාපන ක්‍රමවේදයන්ගේ ඌණතාවය සහ අත්අඩංගුවේදී උපත ලබන දරුවන්ගේ සුභසාධනය සහ සමස්තයක් ලෙසට රැඳවියන්ගේ සුභසාධනය සම්බන්ධ ගැටළු,  ස්ටෙෆනි සිරිවර්ධන “රූ රැජණ” බන්ධනාගාර කමිටුවට පත් කිරීමේ කලබලයෙන් බොහෝ දුරට යටපත් විය. ස්ටෙෆනි විසින්ම සඳහන් කරන පරිදි, ශ්‍රී ලංකා බන්ධනාගාර පද්ධතිය මේ වන විටත් බරපතල අභියෝගවලට මුහුණ දී සිටී. නමුත් ඒ සම්බන්ධයෙන් ගොඩනැංවිය යුතුව තිබූ කතිකාව, හුදු දුස්තොරතුරු ඔස්සේ ජනනය කළ මහජන විරෝධයක් මගින් පසෙකට කර දැමිණි.

දුස්තොරතුරු මැඩලන හරි ඉදිරි ගමන
00001303 2

දුස්තොරතුරු වලට ආමන්ත්‍රණය කිරීම සඳහා බහු-පාර්ශ්වික ප්‍රවේශයක් අවශ්‍ය වේ.

1. මාධ්‍ය වගවීම: ජාතික මාධ්‍ය ඇතුළු මාධ්‍ය ආයතන දැඩි කර්තෘ ප්‍රමිතීන්ට මෙන්ම දේශීයව හා ජාත්‍යන්තරව පිළිගත් මාධ්‍ය ආචාර ධර්මයන්ට අනුකූල විය යුතු වේ.

2. දුස්තොරතුරු සාක්ෂරතාවය: පුරවැසියන් තමන් පරිභෝජනය කරන තොරතුරු විවේචනාත්මකව ඇගයීමට දැනුමෙන් සන්නද්ධ විය යුතුය. එහිදී ඇල්ගොරිතම ක්‍රියා කරන ආකාරය තේරුම් ගැනීම සහ පොදු දුස්තොරතුරු උපක්‍රම හඳුනා ගැනීමද අවශ්‍ය වේ.

3. මහජන වගකීම සහ වගවීම: පරිශීලකයින් ලෙසට, සත්‍යාපනය නොකළ, අදාළ අනෙකුත් පාර්ශවයන්ගේ ප්‍රකාශයන් නොමැති, නිසි මූලාශ්‍ර සඳහන් නොවන අන්තර්ගතයන් කොතරම් ආකර්ෂණීය පුවතක් යැයි සිතුනද, වෙනත් අයෙකු හා බෙදා ගැනීමට ඇතිවන ආශාව මැඩ ගැනීම පුරවැසි වගකීමයි. තමන් ෂෙයාර් කරන පුවතක හෝ නිරවද්‍යභාවය, එයින් සිදුවිය හැකි සමාජ බලපෑම සඳහා තමන් අතද වගවීමක් පවතින බව අවබෝධ කර ගැනීම එහිදී අත්‍යාවශ්‍ය වේ.

ස්ටෙෆනි සිරිවර්ධනට බන්ධනාගාර අධීක්ෂණ කමිටුවට පත්වීමක් ලබාදීම, ඇයගේ රූ රැජිණි ඉතිහාසයට හෝ ඥාති සබඳතාවයන්ට ලඝු කොට දැක්වීම එක් සිදුවීමක් බව සැබවි. නමුත් මෙය හුදෙකලා සිදුවීමක් නොවේ. විශේෂයෙන් කාන්තාවන් විෂයෙහි මෙම වරද නැවත නැවත සිදුවන බව ඉතිහාසය පෙන්වා දෙයි. කාන්තාවන්ගේ පෙනුම හෝ ලිංගිකත්වය හුවා දක්වමින්, ඔවුන්ගේ ප්‍රවීණත්වයන්, වටිනාකම් හෝ අධ්‍යාපනික, වෘත්තිය නිපුණත්වයන් කාණුවට දැමීම මෙම සිදුවීමේ වක්‍ර ඵලයකි. එය කාන්තාවන්ට එරෙහිව සිදුවන කොන් කිරීමක් ද වන බව නොකිවමනායි.

කෙසේ නමුත් ස්ටෙෆනි සිරිවර්ධන සිදුවීම, ශ්‍රී ලංකාව තුළ දුස්තොරතුරු වලට එරෙහි ප්‍රතිරෝධය සම්බන්ධයෙන් මැන බැලීමට ලිට්මස් පරීක්ෂාවක්ද වීම අගනා බවද මෙසේම කිව යුතු වෙයි.

පැතුම් පුංචිහේවා


මූලාශ්‍ර:
https://gfmd.info/members/international-fact-checking-network/
https://www.poynter.org/ifcn/
https://www.trust.org/initiative/the-reuters-institute-for-the-study-of-journalism/
https://altiorem.org/organisation/reuters-institute-for-the-study-of-journalism/
https://www.politics.ox.ac.uk/news/news-audiences-fears-grow-misinformation-media-new-risj-report-reveals
https://www.tandfonline.com/doi/full/10.1080/23808985.2024.2323736
https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC11724212/
https://www.unesco.org/en/articles/online-disinformation-unesco-unveils-action-plan-regulate-social-media-platforms
https://link.springer.com/article/10.1007/s00146-025-02575-5
https://asianmirror.lk/news/12018/stephanie-siriwardhanas-appointment-to-prison-monitoring-committee-sparks-debate/ 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...