The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අභිරහස් සඟවාගත් දුරකන්දෙණිය පතල්කන්ද | සෝබා කෝලියවංශ

T

The Leader Desk

March 31, 2026 • 10:02 AM

අභිරහස් සඟවාගත් දුරකන්දෙණිය පතල්කන්ද | සෝබා කෝලියවංශ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තද කොළ පැහැයෙන් දිලුණු කේතුකාකාර දුරකන්දෙණිය කන්දේ හැඩය තවත් තියුණු වී පෙනුණේ කන්ද වසාගත් පයින් ගස් වලිනි.
  • කන්ද වසාගෙන පැතිරී තිබුණු ෆයිනස් ගස් ඉවත් කිරීමේ ව්‍යාපෘතියත් සමග එහි පෙර පැවති ගුප්ත බවත්, බිහිසුණු බවත්, පාළු ස්වභාවයත් වියැකී ගොසිනි.
  • දැනුම් තේරුම් ඇති වැඩිහිටියෙකු, දඩයක්කරුවෙකු මිස වෙන කිසිවෙකු කරක් නොගැසූ මහා කන්ද අද සුවිසල් වැඩ බිමකි.
  • ගමේ බොහෝ දෙනෙක් ඒ අවසරයෙන් පතල් කන්දට යන්නේ පෙර ඇසූ සියලු කතා පිළිබඳ සිතේ ඇති කුහුලත් සමඟ ය.
අකුරු ප්‍රමාණය (Font Size):
සීත රටක ඇති කන්දක සිරි ගන්නා ඒ වටා ගෙතී ඇති කයි කතන්දරද බොහෝය. කෙතරම් සුන්දරව දිස් වුවත් කෙදිනකවත් එහි සරන්නට වරම් හිමි නොවුණි. එකල බිය හා සැක මුසු බැල්මක් පමණක් හෙළා කුඩා අප කාටත් සැනසෙන්නට සිදු විය.
 
WhatsApp Image 2026 03 31 at 2.38.40 PM 1
රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැද්දාගල බටහිර වසමට අයත් දුරකන්දෙනිය, අතීතයේ එම ප්‍රදේශයේ තිබූ විශාල මිනිරන් පතලකට උරුම කම් කියූ කඳු වැටියකි. සියවසකට පමණ පෙර බොහෝ දෙනෙකුට රැකියා අවස්ථා සලසා දුන්, සමෘද්ධිමත්ව තිබූ දුරකන්දෙනිය පතල් කන්ද අද වන විට වන වැස්මක් හෝ නොමැති කටෝර මහා පස් කන්දක් සේ දිස් වෙයි. කන්ද වසාගෙන පැතිරී තිබුණු ෆයිනස් ගස් ඉවත් කිරීමේ ව්‍යාපෘතියත් සමග එහි පෙර පැවති ගුප්ත බවත්, බිහිසුණු බවත්, පාළු ස්වභාවයත් වියැකී ගොසිනි. දැනුම් තේරුම් ඇති වැඩිහිටියෙකු, දඩයක්කරුවෙකු මිස වෙන කිසිවෙකු කරක් නොගැසූ මහා කන්ද අද සුවිසල් වැඩ බිමකි. අහළ පහළ ගම් වැසියන්ගෙන් සේම ගමට ආගන්තුක පිරිසගෙන්ද විවිධාකාරයේ යන්ත්‍ර සූත්‍ර මෙන්ම බර වාහනවලින්ද අඩුවක් නැති කාර්යබහුල වැඩ බිමකි. තවත් එය කුඩා දරුවන්ට හෝ නොදන්නා අයට යාමට තහනම්, බිහිසුණු ඉසව්වක් නොවේ. ගමේ බොහෝ දෙනෙක් ඒ අවසරයෙන් පතල් කන්දට යන්නේ පෙර ඇසූ සියලු කතා පිළිබඳ සිතේ ඇති කුහුලත් සමඟ ය.
WhatsApp Image 2026 03 31 at 2.38.40 PM 2
අතීත මතකයේ දෝනාව

දුරකන්දෙනිය මිනිරන් පතලේ ඉතිහාසය දන්නා වැඩිහිටියන් ගමේ ඉතිරිව ඇත්තේ කිහිප දෙනෙකි. ඒ ද ඔවුන් බාල වියේ ඇසූ දුටු දේය. එස්. එච්. විල්සන්, අතීත විත්ති විස්තරාත්මකව, රසවත්ව සහ උනන්දුවෙන් පවසන වැඩිහිටියෙකි. අපි ඒ කතා අසන්නටම එක් සවසක ඔහුගේ නිවසට ගොඩ වැදුණෙමු. කහට කෝප්පයක් තොල ගාමින් ඔහු එදවස මතකය අවදි කළේය.

“ඔය කන්දට පතල් කන්ද කිව්වට ඕකෙ පතල්වලට වඩා තියෙන්නෙ දෝනා. පතලක් කියන්නේ සිරස් අතට හාරන එකක්. හරියට ගැඹුරු ළිඳක් වගේ. දෝනාව කියන්නේ පතල හාරද්දි මැණික් හරි මිනිරන් හරි ඉල්ලමක් හම්බුණාම ඒ ඉල්ලම ගන්න තිරස් අතට කනින එකට. ඒක පොළොවට සමාන්තරව යටින් තියෙන උමගක් වගේ. දෝනාවේ බිත්තිවලට ලී තියලා හයිය හත්තිය තියෙන මුක්කු ගහනවා.” දෝනාවේත්, පතලේත් වෙනස ඔහු එසේ පැහැදිලි කළේය.
 
WhatsApp Image 2026 03 31 at 2.38.41 PM
“ඔය පතලෙ දෝනාව අනිත් දෝනා වගේ නෙවෙයි. මහා විසාලයි. ඒකෙ යන්නත් එන්නත් දෙපැත්තක් තිබුණා. ඒ හන්දා ඔය දෝනාවට ඒ කාලෙ කිව්වෙ ඩබල් දෝනාව කියලා. පතල් ඉටිපන්දම් කියලා ලොකු ඉටිපන්දමක් පත්තු කරගෙන දෝනාවෙ ඉස්සරහට යන්නේ. දෝනාව ටික දුරක් හාරගෙන යද්දි හුස්ම ගන්න බැරි වෙනවා. ඔක්සිජන් හිඟ වෙලා. ඒක දැනගන්නත්, කළුවරටත් ඉටිපන්දම් පත්තු කරගෙන යන්නේ. එහෙම යද්දී පන්දම නිවෙනවා නම් ආපහු මතුපිට ඉඳන් යටට හාරනවා පිරිසිදු වාතාශ්‍රය ලැබෙන්න. බොහොම දුර පළාත්වලින් ආව මිනිස්සු තමයි ඔය පතල කෙරෙව්වේ. ගමේ මිනිස්සුත්, අහල පහළ ගම්වල මිනිස්සුත් තිහ හතළිහක් වැඩට ආවා.”
පතල් කන්දේ අතීත සිතුවම, ඔහු වචනවලින් අඳිමින් සිටියි. ඇතැම් තතු ඔහුගේ මතකයටත් වඩා පැරණිය.

“ඔය කන්ද උඩ ලොකු වෙඩි බෙහෙත් ගබඩාවක් තියෙනවා. බුදුන් වඳින්න බෝ ගහකුත් හිටවලා තිබුණා. ලොකු වාඩියක් තිබුණා තිහ හතළිහකට ඉන්න පුළුවන්. ඒ අවට අඹ, කොස්, එළවලු, අරලු වගේ දේවල් වවලා තිබුණා. එතන අඩි තිහක් විතර උස දෙල් ගහක් තිබුණා. දැන් ඒ ගහේ කොණ්ඩුව විතරයි පේන්න තියෙන්නේ. ඒක දෝනාවකට ගිලා බැහැලා. ඔය කන්ද පුරාම දෝනා ගිහින් තියෙන්නේ. ඒ එකකට වැටුණොත් ආපහු ගොඩ එනවා බොරු.” ඔහු පවසන්නේ උරහිස් සලිත කරවමිනි.

කුසගිනි නිවූ මිනිරන්

පතලේ සමෘධිමත්ම කාලය නිමා වූ පසුව එය ජනසතු වූ අයුරු අපූරු කතාවකි. අත්හැර දැමූ මිනිරන් පතල අවට ගැමියන්ගේ දිළිඳු ජීවිතවලට නිධානයක් බඳු විය. ඒත් ඒ සුර සැප විඳින තරමට නොවේ, කුසගිනි නිවෙන තරමටය.
 
“මට මතකයි ඒ දවස්වල කියනවා ඔය පතල ලංකාවේ හොඳම මිනිරන් හම්බවුණ පතල කියලා. රොඩු බොඩු මුකුත්ම නැති මිනිරන් තමයි තිබිලා තියෙන්නේ. පස්සෙන් පහු පතලෙ වැඩ නැවතුණා. ඊට පස්සෙ මුල් කාලෙ මිනිරන් කඩද්දි අයින් කරපු පස් කිට්ටුවෙන් තිබුණ මිනිරන් සුද්ද කරන්න පටන් ගත්තා. ගමේ මිනිස්සු ඒ සුද්ද කරපු මිනිරන් අරන් කොස්වත්තට යනවා. කොස්වත්තෙ පාලම ඒ කාලෙ තිබුණෙ නෑ. එතන තිබුණෙ පාරුවක්. දවසටම සත පහයි. සත පහක් දීලා දවසෙම එහා මෙහා යන්න පුළුවන්. පතල් කරවපු කෙනාගෙම තැනක් තිබුණා මිනිරන් බාරගන්න. මිනිරන් රාත්තලකට සත විසි පහක් දෙනවා. යද්දී රාත්තල් දහයක් විතර අරගෙන යනවා. දැන් වගේ අඩියෙන් අඩිය කඩවල් නෑ ඒ කාලේ. එකම එක තේ කඩයක් විතරයි තිබුණෙ. මිනිරන් අරන් ගිහින් ඒ කඩෙන් සත දෙකක් දීලා හැඳි කැවුමක් කාලා කහට කෝප්පයක් බීලා කරවල, ලුණු, දුම්කොළ වගේ දේවල් ටිකක් අරන් ආපහු ගෙදර එනවා.”
ellewelaරාමසිරි ඇල්ලේවෙල
 
රාමසිරි ඇල්ලේවෙල, දශක හතකටත් එහා කාලයක් ගත කර ඇත්තේ මියනපලාව ගමේය. ගමේ තිබූ පැරැණිම වෙළඳසැල පවත්වාගෙන ගොස් ඇත්තේ ඔහුගේ පවුලේ සාමාජික‍යන්ය. “අපේ ආතලා පතලෙ වැඩ කරලා තිබුණා. ඒ කාලෙ මිනිරන් විකුණන්න කරවිටට අරන් යනවා. යන්න දවස් එක හමාරයි, එන්න දවස් එකහමාරයි දවස් තුනක් ගත වෙනවා මුලු ගමනට. පළවෙනි දවසෙ අතරමග තියෙන එළුවාගලේ නතරවෙලා දෙවෙනි දවසේ කරවිටට ගිහින් මිනිරන් විකුණලා ආපහු එද්දිත් එළුවාගලේ නැවතිලා පහුවදා තමයි ගමට එන්නෙ. ඒ ගමනට සහභාගී වුණේ හොඳට හයිය හත්තිය ඇති මිනිස්සු. බොහොම දුර පළාත්වලින් කත් අදින්නම හැඩි දැඩි මිනිස්සු ඇවිත් හිටියා. පස්සෙන් පහු ඒ අය ගමේම පදිංචි වුණා.

“අපි පොඩි කාලේ යනවා මිනිරන් කුඩු සුද්ද කරනවා බලන්න. ඒ පනස් ගණන්වලදී.

එතකොට දෝනාව යන එක නතර කරලා තිබුණෙ. දෝනාව නොගියට දෝනා ඇතුළෙ තියෙන ගල්, බෝර දාලා කඩනවා. මට මතකයි ඒ කාලෙ වුණ භයානක සිද්ධියක්. ගමේ හිටපු ටිකක් සැර පරුෂ මාමා කෙනෙක්ට වුණ දෙයක්. එයා තමයි පතලෙ බෝර දාන වැඩේ කරන්නෙ. අනිත් අය එයා එක්ක තරහට කලින්ම වෙඩි බෙහෙත් කොටලා තියලා. ඒක නොදැන එයා බෝරෙ කොටද්දි පුපුරලා ඇස් දෙකම නැති වුණා“

අතීතයේ අඳුරු පැතිකඩක් හෙළි කරමින් ඔහු කීවේය. ඔහු සතුව ඇත්තේ අතීතයේ මතක පමණක් නොවේ. ඒ මතක හා බැඳුණු අනගි ද්‍රව්‍යමය සාක්ෂිද තිබිණි.

ණය පොත සහ උළු අච්චුව
45y754vbyy
“අපිට ඒ කාලෙ කඩයක් තිබුණා. පතලෙ වැඩ කරන අයත් බඩු ගත්ත අපේ කඩෙන්. පොතට බඩු අරන් මාසෙ අන්තිමට පඩි අරන් ණය බේරනවා.” සුරැකිව තබා තිබූ ඉතා පිළිවෙළින් සටහන් තබන ලද කඩේ ණය පොත සහ පතලට අදාළ තවත් ලියකියවිලි පෙන්වමින් ඔහු පැවසුවේ ය.  

“වාඩිය කියලා කට වචනෙට කිව්වට ඒක සිංහල උළු හෙවිලි කරපු ශාලාවක්. රුක්අත්තන ලීයකින් කරපු අච්චුවකින් වාඩියට ඕන කරන උළු එතනම හදාගත්තා. මේ තමයි ඒ කිව්ව උළු අච්චුව.” නිවසෙන් බැහැරව ඇති කුඩා කුස්සියකින් රැගෙන ආ මිටක් සවි කළ සිංහල උළු කැටයක් වැනි පෙනුමක් ඇති උපකරණයක් පෙන්වමින් ඔහු පැවසුවේ ය.

WhatsApp Image 2026 03 31 at 2.38.38 PM 3ඊ.ඩබ්ලිව්. ලිසී නෝනාපතල් කන්ද පාමුල ඇත්තේ ඊ.ඩබ්ලිව්. ලිසී නෝනාගේ නිවසයි. කන්ද මුදුනට යන පාර වැටී ඇත්තේද ඇගේ නිවස අසලින්මය. ඇය පතල් කන්දේ අතීත මතක අවදි කළාය. “මගේ අම්මයි තාත්තයි දෙන්නම පතලෙ වැඩ කළා. ඒ දවස්වල අපේ අම්මලා පුදුම දුකක් වින්දෙ ජීවිතේ. ඒ ජීවිතවල සතුටක් කියලා දෙයක් ඇත්තේම නැති ගානයි. පතලෙ වැඩ නතර කළේ ඉල්ලම ඉවරවෙලා නෙවෙයි මේ පැත්තට යන්න එන්න අමාරු හන්දා. ඒ නතර කරද්දී සමහර බඩු ගමේ මිනිස්සුන්ට විකුණලා ගියා. අපේ තාත්තත් රුපියල් 10ක් දීලා වෑයක් ගත්තා.”

පතල් කන්දේ චාරිකාව

ගමේ පැරැන්නන් කිහිප දෙනෙකුගෙන් පතල් තිබෙන ඉසව් අසා කන්ද මදක් නැග ෆයිනස් ගස් ඉවත් කිරීමේ නිරතව සිටි අයගෙන් ද පතල් තිබෙන දිසාව නිශ්චිතව දැනගත්තෙමු. කන්ද මුදුනේ සිට පහළට පෙරළා දමන්නට සූදානම් කරමින් තිබෙන ෆයිනස් කොටන් තොගයක් පිළිබඳ විමසිලිමත් වෙමින්ම කන්දේ පාවුලට තරමක් ආසන්නව කන්ද පුරා දිවෙන භූගත උමං මාර්ගයක් වැනි අද්භූත ලෝකයකට පිවිසෙන දෝණාවේ මුව දොර අභියසට පැමිණියෙමු. වැඩ නවතා දමා වසර අසූවක් පමණ ගත වී ඇති නමුත්, එදා පටන් අද දක්වා සිදු වූ සියලු දේශගුණික විපර්යාසයන්ට මුහුණ දෙමින් වුවද දෝණාවේ දොරටුව තවමත් පිවිසිය හැකි මට්ටමින් පැවතීම පුදුම එළවන සුලුය.

ඉන් අනතුරුව අපට අවැසි වූයේ විල්සන් මාමා කියූ වෙඩි බෙහෙත් ගබඩාවත්, දෝනාවට බහින්නට සහ වාතාශ්‍රය ලබා ගැනීමට කැපුවා යැයි කුහර පිළිබඳවත් සොයා බැලීමටයි. එයට නම් කන්ද මුදුනට නැගිය යුතුය. පෙර දා තද කොළ පැහැයෙන් දිලුණද අද සෙවණක් පෙනෙන තෙක් මානයක හෝ නැති පතල් කන්ද නැගීම එතරම් සුන්දර කටයුත්තක් නොවේ. කන්ද නැගීමට දෙපා එසවෙන්නේ අතීත කතා සැබෑ දැයි සෙවීමේ වුවමනාව නිසා ඇතිවන උද්‍යෝගයටය. උදෑසනින්ම කන්ද නැගීම ආරම්භ කළත් එක සීරුවට වැටෙන හිරු රශ්මියත් ඉද්ද ගැසුවාක් මෙන් ඇති කන්දේ නැග්මත් ගමනේ වේගය බාල කරවයි.
 
කෙසේ හෝ කන්ද මුදුනට යා ගත්තත් පෙර කී වෙඩි බෙහෙත් ගබඩාවේ නටබුන් හෝ දෝනාවට බැසීමට සකස් කළා යැයි කියූ කුහර හෝ තිබෙන ඉසව්වක් සොයා ගැනීමට නොහැකි විය. කන්ද මුදුනට වී බලන කල සුන්දර දුර දසුන් බොහෝ පෙනුණද ගිනි කාෂ්ටක අව්වත්, දිව ගිලෙන්නට එන පිපාසයත් එය රිසි සේ විඳගන්නට ඉඩ දුන්නේ නැත. බලාපොරොත්තු කඩ වූ සිතින් යුතුව නැවත පල්ලම් බැස්සෙමු. ෆයිනස් ඉවත් කිරීමේ කටයුතු වල නිරතව හුන් අසල්වැසි සුදුවැලිපොත ගම්මානයේ පදංචිකරුවෙක් වන කේ. ජේමිස් හිස් අතින් පැමිණෙන අප දැක කම්පා වූයේය. දැඩි පිපාසයෙන් ආ අපට ආහාර පානාදියෙන් සංග්‍රහ කළේය. නැවතත් කන්ද දෙස නොබලමියි යැයි සිතා ආවද කුස පිරෙද්දී වෙඩි බෙහෙත් ගබඩාව දැකීමේ සිඳී ගිය ආශාව වුවමනාව නැවත දළුලන්නට විය.
WhatsApp Image 2026 03 31 at 2.38.46 PM
 
“යමු ළමයෝ මම එන්නම් පෙන්නන්න” පවසා ඉස්සර වූ ජේමිස් මාමා කන්ද මුදුනට යනතුරුම එකම වේගයෙන් කන්ද නැග්ගේය. ඉඳහිටක නැවතී හතරගාතයෙන් කන්ද බඩගාන මා දෙස බැලුවත් නෝක්කාඩු හෝ නොරිස්සුම් බැල්මකින් හෝ පීඩා කළේ නැත. පෙරදී කඳු මුදුනට ගොස් බොහෝ වේලාවක් ගිමන් හළ තැනම ජේමිස් මාමා නතර වූවේය. කුමන අරුමයක්ද! කපා දමා ඇති ෆයිනස් ගස් වල අතු පතර අතර සැඟව වෙඩි බෙහෙත් ගබඩාව තිබුණි. කොන්ක්‍රීට් වහලය කිසියම් හේතුවක් නිසා කැඩී ගොස් තිබුණි. බිත්ති හතර තවමත් හඳුනා ගත හැකි ආකාරයෙන් නිරුපද්‍රිතව තිබුණි. බිත්තිවල පිරියම් කළ සමර සලකුණු පවා ඉතිරිව තිබුණි. මොහොතකින් සියලු වේදනාවන් පහව ගියේය. දැන් පෙර මෙන් දුක්ඛිත හැඟීමෙන් නොව සැනසිල්ලේ පල්ලම් බැසීමට හැකි විය. පල්ලම් බසින අතරතුර ජේමිස් මාමා, කපා දැමුණු අඩි පහළවක් පමණ උස සිහින් ගසක් ගෙන මීවන පඳුරු වලින් වට වූ කුඩා සිදුරු කටක් මතින් තැබුවේ ය. ඒ සැණින් එය ඒ තුළ අතුරුදන් වූයේ එකල වැඩිහිටියන්ගේ අනතුරු ඇඟවීම් යළි සිහිපත් කරවමිනි.
 
ඒ මා සෙවූ අනිත් අභිරහසයි! එවැනි දෝනා විවරවලින් ඇතුළත, පතල් කන්දේ අඳුරු ලෝකය කෙබඳු වනු ඇත්ද? ඒ තුළ ඇති රහස් කිසි දා හෙළි නොවී පොළෝ ගැබ තුළම සැඟවී යාවිද?

සද්ද කරන්නත් බෑ - දබරේ නැතිවත් බෑ
 
රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැද්දාගල බටහිර වසමට අයත් දුරකන්දෙනිය, අතීතයේ එම ප්‍රදේශයේ තිබූ විශාල මිනිරන් පතලකට උරුම කම් කියූ කඳුවැටියකි. අද වන විට පතල් කන්දේ ෆයිනස් ගස් ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන සුවිසල් වැඩ බිමකි. පතල්කන්ද ගැන ඉහත ලිපියෙන්, පතල් කන්දේ දෝනා දෙක සහ වෙඩි බෙහෙත් ගබඩාව සොයා ගිය ගමන ගැන සඳහන් කළෙමු. පතල් කන්ද කුතුහලයෙන් පිරුණු අතීත කතන්දර ආකරයකි. එහි වැටුණු කෙනෙකුට ලෙහෙසියෙන් ගොඩ ඒමට ලැබෙන්නේ නැත.

-------------------------------------------

පතුලක් නොපෙනෙන කුහරවලින් පිරි පතල් කන්දෙන් දාඩිය මුගුරු හෙළමින් පල්ලම් බැස්ස අපි නවතා තිබූ දොඹකරයකට මුවා වී විඩා නිවාගත්තෙමු. ‘ග’යනු හැඩයට කන්ද පුරා කපා ඇති අලුත් පාරවල් කහ, තැඹිලි මිශ්‍ර වර්ණයකින් ඈතට දිස්වෙයි. වෙඩි බෙහෙත් ගබඩාව සොයා යන ගමනට මග පෙන්නූ ජේමිස් මාමා (කේ. ජේමිස්) විඩා හරිමින්ම අතීත කතාවේ අලුත් පරිච්ඡේදයකට මුල පිරුවේය. කඳු මුදුනේ වාඩිය අසල තිබූ බෝ රුක පිළිබඳව ඔහු සිය මතකය අවදි කළේ, අපේ කුතුහලය අවුළුවමිනි.
 
WhatsApp Image 2026 03 31 at 2.38.39 PMකේ.ජේමිස්
“බොහෝම ඉස්සර දවසක මම ගිහින් තියෙනවා ඒ වාඩිය තිබුණු තැනට. එතැන පතල කරවපු අය ගෙනත් හිටවපු බෝ ගහක් තියෙනවා. මම ගිය කාලෙත් ඒක වටේ බැඳපු බැම්ම එහෙමම තිබුණා. ඒ බෝ ගහ පුදුම ලස්සනයි. මම තාම ඒ වගේ ගහක් ආයෙ දැකලා නෑ. ඒ බෝ ගහේ කොළ හරිම පුංචියි, සුදු පාටයි. ඉර එළිය වැටුණාම රිදී පාටයි. කොළ වලින් රැස් විහිදෙනවා වගේ. දැක්කත් හිත නිවෙනවා.” බෝ ගසේ වරුණ අසද්දී මගේ සිත තුළ බෝ ගස දැක ගැනීමේ ආශාවක් මෝදුවන්නට විය. පළමුව බෝ ගස තිබෙන මණ්ඩිය හරිහැටි විමසා දැන ගත යුතුය. නැතහොත් වෙඩි බෙහෙත් ගබඩාව සොයා ගැනීමට නොහැකි වූවාක් මෙන් කඳු මුදුනේ ඉබාගාතේ යන්නට සිදු වනු ඇත. ජේමිස් මාමා මගේ යටි සිත කියවූවා මෙන් ඒ පිළිබඳ ඇසූ සැණින් පිළිවදන් දුන්නේය. “අපොයි ළමයෝ…  එහේ යන්න බෑ. ඒක තියෙන්නෙ මේ කඳු මුදුනේ නෙවෙයි. අනිත් කන්දේ. ඒ හරියෙ ෆයිනස් කපලත් නෑ. කැලෑවට වැහිලා අර තිබුණා වගේ වළවල් ඇති. ඒ පැත්තට මාත් දෙතුන් ගමනකට වඩා ගිහින් නෑ. ඒ පැත්තට යන එක අවදානම්. කොහේ කොහේ වළවල් තියෙනවද දන්නෙ නෑ” ඔහු අනතුරු ඇඟවූවේය.
පතල් කන්දේ ශේෂ වී ඇති නටබුන් දැක ගත් පසු, කන්ද වටා බැඳුණු ජනප්‍රවාදවල අටුවා ටීකා දැන ගැනීමේ වුවමනාව දැඩි විය. ඊ. ඩබ්ලිව්. රාමසිරි මහතා ඒ අතීතය ගැන බොහෝ තතු දන්නා වැඩිහිටියෙකි. පතල් කන්ද අප කුඩා වුන් අවධියේ අපට තහනම් ප්‍රදේශයක් වුවද එකල දරු දැරියන් නිතර ආ ගිය, කෙළි සෙල්ලම් කළ ප්‍රදේශයක්ව තිබී ඇත. එකල දරුවන්ට ඒ ප්‍රදේශය තහනම් නොවන්නට ඇත්තේ වැඩිහිටියන් නිතර ගැවසීමත්, ඒ වන විටත් වැඩ කෙරෙමින් තිබීමත් හේතුවෙනි.
 
er3453
“මගේ මල්ලියි,  මමයි ආතලා වැඩ කරනවා බලන්න යනවා. එතකොට අපි හිටියෙ ආතා එක්ක. අපි ඒ දවස්වල පොඩියි. අවුරුදු දහයක් වගේ ඇති. ආතලා පතලෙ වැඩට යන්න පටන් ගත්ත කාලෙ කන්ද උඩ කඩයක් තිබිලා තියෙනවා. වැඩ කරන අයට එදිනෙදා වුවමනා බඩු ඒකෙ තිබුණා කියලා කියනවා.” එය අපූරු හෙළිදරව්වකි. තවමත් කුඩා වෙළෙඳසැල් දෙක තුනකට වඩා නැති ගම්මානයේ කඳු මුදුනක වසර සියයකටත් එපිටදී වෙළෙඳසැලක් තිබීම දැන් සිතද්දී පුදුම එළවන සුලුය. ඔහුගේ වයසට මඳක් වැඩි එස්.එච්. විල්සන් මහතා සතුවද තවත් ඉතිරි වූ මතක ඇත්දැයි විමසා බැලීමු.

පතලේ අපූරු පාඩම්
 
“පතල් කන්ද ගැන නම් කියන්න තියෙන කතා එමටයි” ඔහු මතක අවුස්සන්නට මුලපිරුවේ එසේ කියමිනි. “දෝනාවක් යනවා කියන එක ඒ තරම් පහසු කටයුත්තක් නෙවෙයිනෙ. දෝනාවෙ ඉස්සරහට යද්දී ඇතුළෙ ගල් හම්බුණාම බෝර දාලා ගල් පුපුරවනවා. බෝර ගහන්න, යකඩ කටුවලින් ගල් විදින්න ඕන. ඒවට වෙඩිබෙහෙත් දාල තමයි පුපුරවන්නෙ. ගලේ පිහිටීම අනුව, ඒක පුපුරුවන්න කොයිතරම් සිදුරු විදින්න ඕනැද කියලා ගල් බාස්සුන්නැහේල දන්නවා. ඉතින් ඒ විදියට දහ දෙනෙක් දහ පොළකින් සිදුරු විදිනවා නම්,  දහදෙනාගෙම මිටි පාරවල් එකපාර බෝර කටුවට වදින්න ඕනි. ඒ කියන්නෙ, කටු දහයකින් ගල් විද්දත් ඇහෙන්න ඕන එක සද්දයයි. එහෙම නැතිව දඩි බිඩි දඩි බිඩි ගාලා හිතුමතේ තඩි ගහන්න බැහැ. ඒ මොකද කිව්වොත්, පතල් රස්සාවෙදි කොයි මොහොතෙ අවදානමක් ඇති වෙයිද කියන්න බැහැ. ගල් පෙරළෙන්න පුළුවන්, මිනිස්සු වැටෙන්න පුළුවන්, පස්වලට යට වෙන්න පුළුවන්. ඉතින් කවුරුත් කන් ඇරගෙන හොඳ අවධානෙන් තමයි ඉන්නෙ. ඝෝසා කර කර වැඩ කළොත් ඒ කිසි දෙයක් ඇහෙන්නෙ නැහැ. අන්න ඒ නිසා තමයි මිටිපාරවල් ඔක්කොගෙන්ම එක සද්දයක් විතරක් එන විදියට එක සීරුවට වැඩ කරන්නෙ.”
 
විල්සන් මාමා අපූරුවට පැහැදිලි කළේය. ශබ්ද දූෂණය වර්තමානයේදී නීතියෙන් දඬුවම් ලැබෙන වරදකි. ඒ, එයින් සමස්ත පරිසර පද්ධතියටම සිදු වන අහිතකර බලපෑම් පිළිබඳව විද්‍යාත්මකව තහවුරු කර ඇති නිසාය. එහෙත් ශබ්ද දූෂණය යැයි වචනයක් ව්‍යවහාරයේ වත් නොතිබුණු අතීතයක මහපොළොව ඇතුළේ පවා ශබ්ද දූෂණය වැළැක්වීමට ගොඩනැගී තිබුණු සංවිධිත වැඩ රටාව කෙතරම් අපූරුද? ඕනෑම මොහොතක සිදු විය හැකි ආපදාවකට මුහුණදීම සඳහා පැවති සාමූහික සූදානම, ආපදා කළමනාකරණය පිළිබඳ නූතන දැනුම සමග කදිමට සමපාත නොවන්නේද?
 
3534634yvby
නැතිවම බැරි දබරේ

නිශ්ශබ්දතාව සහ එකමුතුකම කෙතරම් වැදගත් වුවත්, පතල් රස්සාවට දබරයද නැතිවම බැරිය. ඒත් ඒ අප දන්නා දබරය නම් නොවේ. පතල් රස්සාවටම ආවේණික වෙනත් දබරයකි.

“දෝනාව ඇතුළෙ කඩන මිනිරන් අරන් එන්නෙ කරෙන්. ඒවා දෝනාවෙ කට ගාවටම ගේන්නෙ නෑ. දෝනාවට වාතාශ්‍රය එන්න කපන කුහර ළඟට තමයි අරන් එන්නෙ. එතන ඉඳන් උඩට ගන්නෙ දබරෙන්. සමහර අය ඩබරෙ කියලත් කියනවා. දබරයක් කියලා කියන්නෙ රණ්ඩුවක් නැත්නම් අරියාදුවක්නෙ. ඒ වගේ තමයි මේක ක්‍රියා කරවන්නෙ. එක්කෙනෙක් වමට කරකවද්දි අනිත් කෙනා දකුණට කරකවනවා. දෙන්නා එක්ක දෙපැත්තට කරකවන්නෙ අරියාදුවට වගේ. වළ දෙපැත්තේ හිටවලා තියෙන කණු දෙකක් හරහට දාපු ලීයක කඹයක් ගැටගහලා තියෙනවා. ඒ කඹේ කෙලවරේ කූඩ දෙකක් ගැටගහලා තියෙනවා. උඩ ඉන්න දෙන්නා අරියාදුවට දෙපැත්තටනෙ කරකවන්නෙ. එතකොට එක කූඩයක් යටට යනවා, එකක් උඩට එනවා. ඒ උඩ එන කූඩෙට පහළින් මිනිරන් දාලා එවනවා. මනුස්සයෙක්ට වුණත් ඒකෙ නැගලා උඩට එන්න පුළුවන්.” ඔහු දබරයේ ක්‍රියාකාරීත්වය සවිස්තරාත්මකව පැහැදිලි කළේ ය.

“පතලෙ උඩ වැඩයි යට වැඩයි කියලා දෙකක් තියෙනවා. උඩ වැඩ කරන අයගෙ ගෙවීම් අඩුයි. යට වැඩ කරන අයට ටිකක් හොඳට ගෙවනවා. යට බහින්නේ බොහොම හයි හත්තිය ඇති හිත හයිය මිනිස්සු. මොකද ඒක හරි අවදානම් රාජකාරියක්. එසේ මෙසේ අවදානමක් නෙවෙයි ජීවිත අවදානම තියෙන රාජකාරියක්. පොඩ්ඩක් එහා මෙහා වුණොත් පොළොව ඇතුළෙ පණපිටින් වැළලෙන්න වෙනවා. ඒ කොහොම නමුත් උඩ වැඩ කරන අයට ගෙව්ව අඩු පඩිය ගැනත් නොහොඳ නෝක්කාඩු තිබුණා. ඒක දුරකන්දෙනියෙ පතලට විතරක් නෙවෙයි, පොදු දෙයක් කියලා මේ කවියෙන් පැහැදිලි වෙනවා. ”


‘දඩි බිඩි ගගා කරනා වැඩ රට වටියේ

රට වෙඩි දමා කඩනා කළු ගල් කැටියේ

මඩ යට තිබෙන මිණිරන් ගන්නා සැටියේ

උඩ වැඩ කරන අයට දෙන්නේ අඩු පඩියේ’

මාරක විහිළුවට දඬුවමක්

“එක දවසක් ඒ වගේ දෝනාවට බහින වළක් කපද්දී මහ භයානක සිද්ධියක් වෙලා තියෙනවා.” ඔහු තවත් කතාවකට මුල පිරුවේය. විල්සන් මාමා අපූරු කතාකරුවෙකි. ඔහු කතා කියන විට, කතාව ඉදිරියට ගලාගෙන යෑමට නම් අසන්නාගේ හූමිටිය උවමනාය. අසන්නාගේ උද්‍යෝගය වැඩි වන තරමට කතාව රසවත්ව ගලා එයි. ඉතින් ඉතින්, මොකක්ද ඒ කතාව? ” මම ඔහුගේ කතාවට අත්වැල් සැපයුවෙමි.
 
“අර කලින් කිව්වා වගේ දෝනාවකට බහින්න වළක් කපාගෙන යද්දි, ගලක් හම්බවෙලා ඒක පුපුරවන්න යද්දි තමයි මේක වෙලා තියෙන්නෙ. ඉතින් මේ ගලට බෝර දාන්න බෝර තුන හතරක් සූදානම් කරලා. හොඳ පළපුරුදු කෙනෙක් තමයි මේක පත්තු කරන්න යන්නෙ. එතකොට බෝර පුපුරවන්නෙ වෙඩි බෙහෙත් නූල් වලට ගිනි තියලා. ගිනි තියලා ඉවර වුණාම ‘මාව උඩහට ගනිල්ලා’ කියලා එහෙම කියන්නෙ නෑ. ගිනි තියලා ඉවර වෙලා ‘හබෙස්’ කියලා කියනවා. ඒ කිව්ව  ගමන් උඩ ඉන්න අය වළේ ඉන්න කෙනාව අර ළිඳේ වතුර ගනිද්දී පාවිච්චි කරන බොලොක්කය වගේ බොලොක්කයක් පාවිච්චි කරලා උඩට ගන්නවා. ඒ තමයි සාමාන්‍යයෙන් කෙරෙන විදිහ.
 
“මේ කියන දවසෙ වැඩ කරන අය බෝර වළවල්වලට වෙඩි බෙහෙත් පුරවන්නේ නැතිව වෙඩි බෙහෙත් නූල් විතරයි දාලා තියෙන්නෙ. ඒ කියන්නෙ, මේ නූල් ටික පත්තු කළාට කිසිම දෙයක් වෙන්නෙ නෑ. ඒත් ඒක අර වෙඩි පත්තු කරන්න වළට බැස්ස කෙනා දන්නෙ නෑ. එයා වෙඩි බෙහෙත් නූල්වලට ගිනි තියලා ‘හබෙස්’ කියලා කිව්වට, උඩ හිටපු අය එයාව උඩට අරන් නෑ. අර වළේ හිටපු මනුස්සයාට වළේම මළපහ වෙලා බය වුණ පාරට. ඒක කොලොප්පමට කරපු දෙයක් වුණාට වෙන කෙනෙක් නම් බයට මැරෙන්න වුණත් ඉඩ තිබුණා. පතල බලාගන්න ඉඳපු මහත්‍තයා මේ සිද්ධිය දැනගෙන උඩ ඉඳපු දෙන්නව පතලෙන් අස්කරලා ගෙදර යැව්වලු.”
 
පතල විහිළු කොලොප්පම්වලට ගැළපෙන තැනක් නොවන්නේ, එය ජීවිතයත් මරණයත් අතර ඇති අවදානම් කලාපයක් වීම හේතුවෙනි. විල්සන් මාමා කියූ මේ කතාව, පතල් ආශ්‍රිතව සිදු වී ඇති දහස් ගණනක් ඛේදවාචකවලට එක් නිදර්ශනයකි.

“තව එක අවාසනාවන්ත සිද්ධියක් මට මතකයි. දෝනාව ඉස්සරහට කපාගෙන යද්දී ‘පුහු වළක’ බිත්තියක් කඩාගෙන ඇවිත් කට්ටියක් දෝනාව ඇතුළෙ මැරුණා. පුහු වළවල් කියන්නේ කාලෙකට කලින් හාරලා අතඇරලා දාපු පතල් වළවල්. කාලයත් එක්ක ඒවායේ වතුර වගේම ගෑස් එකතු වෙනවා. දෝනාව යන කිට්ටුවෙන් පුහු වළක් තිබුණොත් ඒ අතර බිත්තිය තුනී වීම නිසා කඩාගෙන දෝනාව ඇතුළට එනවා. ඒ වගේ තමයි අර සිදුවීමත් වුණේ.”

පතල් ජීවිතේ රස මුසු තැන්
 
qKO4eUC2DToxqd4w 2
පතල් රස්සාව පිරිමින්ට වෙන් වුණු එකක් වුවද මිනිරන් පතල් පොළ ස්ත්‍රීන්ගෙන් තොර තැනක් නොවූයේ මිනිරන් තේරීමේ රස්සාව ස්ත්‍රීන්ටද හිමි වූ බැවිනි. එහෙත් එය මිනිරන් නාගෙන කළ යුතු අසීරු රස්සාවකි. ඒ ගැන කියවෙන අපූරු කවියක් විල්සන් මාමා සිහි කළේය. මුරය ගැන කියන්නට ඔහු උපුටා දැක්වූ ඒ කවිය, මුරයෙන් පසු ගෙවෙන ජීවිතය ගැනද ඉඟි කරයි.

‘කළුවන් කළු රුවයි මංගෝ දිලිසෙනවා

මිනිරන් තෝරන්න දින ගණිමින් යනවා

මිනිරන් තේරුවොත් ළඳ නුඹ කළු වෙනවා

ළඟ නම් ගෙදර මුර ඇරුණම මම එනවා’

“පතලෙ වැඩට යන එකට කියන්නෙ මුරේට යනවා කියලා. මුර ඇරෙනවා කියන්නෙ වැඩ ඉවර කරන එකට. පැය 24ක් තමයි මුරයක් කියන්නෙ. අද උදේ 8ට පටන් ගත්තොත් හෙට උදේ 8ට තමයි වැඩ ඉවර වෙන්නෙ. වැඩට එන හැම කෙනෙක්ටම කන්න දෙනවා. පතලෙ උයන්න වෙනම කෙනෙක් හිටියා. ඔය ළමයා අහලා තියෙනවා නේද ‘කන්නෙත් කරවලයි රට හාලේ බතට’ කියන පතල් කවිය? අන්න ඒ කවියෙ වගේම ඒ පතල් වාඩියේ කුස්සියෙත් හැමදාම වගේ ඉදෙන්නේ රට හාලෙ බත්. ඒ කාලෙ අපි කිව්වෙ මීචට් හාල් කියලා. ඒ හාලෙ බත් කෑවම කොන්ක්‍රීට් දැම්මා වගේ. ලේසියෙන් බඩගිනි වෙන්නෙ නෑ. ඒකත් එක්ක හාල්මැස්සන් හොද්දක්, කරවල හොද්දක්, සාඩින් හොද්දක් වරදින්නේ නෑ.  ගමෙන් හොයාගන්න කොස්, දෙල්, මඤ්ඤොක්කා වගේ දෙයක් ඊට අමතරව තියෙනවා.

“පතලෙ කෑම දෙන්නෙ ගාණට මිම්මට. වැඩට ඉන්න ගාන බලලා ඒ ගාණට තමයි උයන්නෙ. හාල්මැස්සෝ හොදි හදද්දී එක්කෙනාට හාල්මැස්සෝ පහ ගානෙ ගණන් කරලා අරන් තමයි උයන්නෙ. ඊට පස්සෙ එතන හැදෙන තවත් කෑමක් තමයි කුම්බලාවො හොද්ද. ඒක හදද්දී එක්කෙනෙකුට එක කරවලයෙක් ගානෙ වැටෙන්න තමයි උයන්නෙ.
 
“කෑම වෙලාව ආවම හැමෝගෙම පිඟන් පේළියට තියලා බත් බෙදනවා. බත් බෙදන්න ටිකක් ලොකු හැන්දක් තියෙනවා. ඒකෙන් හැමෝටම බත් හැන්දක් බෙදනවා. මුලින්ම බෙදාගෙන යන බත් හැන්දට කියන්නෙ ‘හුර’ කියලා. ඊට පස්සෙ කලින්ට වඩා ටිකක් අඩුවෙන් බෙදාගෙන යන බත් හැන්දට කියනවා ‘නුහුර’ කියලා. මේ හැම කෙනෙක්ටම අනිවාර්යයෙන් ලැබෙන බත් ප්‍රමාණය. මේ ටික කෑවට පස්සෙත් තව ඕන වුණොත් ‘නුහුරු බිඩංගේ’ කියලා ‘නුහුර’ට වඩා අඩු බත් ටිකක් දෙනවා. ඒත් මදි නම් අවසානයට දෙනවා ‘හිච්චි පාර’ කියලා තව බත් පොඩ්ඩක්. නැත්නම් කෝකියාට තමයි ප්‍රශ්නෙ. මොකද ඒ මාසෙට උයන්න දෙන බඩු ටික අරපිරිමැස්මෙන් පාවිච්චි කරන වගකීම තියෙන්නෙ කෝකියාගෙ අතේ. ඔය මොන දේ වුණත් කෑම උයන්න කිට්ටුව පතල් වාඩිය පැත්තට ගියොත් කවදාවත් අපිට කෑම වරදින්නේ නෑ. අපිටත් එක්කම උයනවා. නිකංයැ කියන්නේ ‘බත් දෙන කෝකි අප්පු අපේ අම්ම වගේ කියලා’ හැබැයි කන වෙලාවට ගියොත් ලැබෙන්නේ හොදියි බතුයි විතරයි.”
විල්සන් මාමාගේ කතා සාගරය රළ නගමින් ගලා යයි. එය දුරකන්දෙනිය නැතහොත් පතල් කන්දේ භෞතික සීමා පසු කරමින්, දුරාතීතයේ එක්තරා යුගයක පතල් කර්මාන්තය හා බැඳුණු ජන ජීවිතය පිළිබඳ අපූරු තොරතුරු සමුදායක් හෙළි කරයි.

“දැන් මේ කියන ඒව පටිගත වෙනව නේද?” විල්සන් මාමා අසන්නේ නිදහසේ ගලා ගිය කතාබහ බැරෑරුම් ස්වරයකට මාරු කරමිනි. “ඔය ළමය ඉතින් ඕව පිරිසිදු කරල ලියන්න”  ඔහු නැවුම්ම වදනකින් සංස්කරණ කාර්යය ගැන මට සිහිකැඳවයි. ඇත්තම කිව්වොත් මට පිරිසිදු කරන්නට කිසිවක් තිබුණේ නැති තරම්ය. ඔවුන්ගේ කතා මිනිරන් නොව- පෙරාපු රත්තරන් මෙනි!

soba koliyawansha(සටහන | සෝබා කෝලියවංශ)
sobakoliyawanshe@gmail.com

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...