The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සිරිමල් කියන්නෙ කවුද?

T

The Leader Desk

April 1, 2026 • 8:38 AM

සිරිමල් කියන්නෙ කවුද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිරිමල්ව මං අදුරගන්නෙ පාරාදීසය පත්තරෙන්. ඒ පත්තරේ කියන්නෙ ලංකාවෙ ලොකු වෙනසක් කරපු ලොකු පිටු ගොඩක වැඩක්.
  • ඒක වාමාංශිකබවකින් ආපු දේකට වඩා සාංදෘෂ්ටික බවකින් ආපු දෙයක් කියලයි මගේ වැටහීම.
  • නැති වෙලාවට යාලුවෙකුගෙන් කීයක් හරි ඉල්ලගෙන, ඇති වෙලාවට උන්ටත් දෙමින් ඌ සතුටෙන් හිටියා.
  • මගේ පිගානෙම කන්න ඕන නෑනෙ’ මලා ඒ වෙලාවට කියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

සිරිමල් එයාට ආවේණික මුනිවර අලසබවෙන් ඒ පත්තරේ ඇතුලෙ නිර්මාණශීලී විප්ලවයක් කළා. දර්ශනයන් න්‍යායන් ඔය ඔක්කොටම වඩා අවකාශය තමයි වැදගත් කියන එක මං පාරාදීසෙන් ඉගෙන ගත්තා. සිරිමල් කියන්නෙ අවකාශ තනන්නෙක්.

සිරිමල් කවදාවත් රස්සාවක් කලේ නෑ. ඒක වාමාංශිකබවකින් ආපු දේකට වඩා සාංදෘෂ්ටික බවකින් ආපු දෙයක් කියලයි මගේ වැටහීම. ජීවිතේ කියන්නෙ රස්සා කරමින්, මුදල් උපයමින් නාස්ති කළ යුතු දෙයක් නෙමෙයි කියල සිරිමල් කල්පනා කළා. ඒ වෙනුවට ජීවිතේ ඉන්න කෙටි කාලයේදී උපරිමයෙන් විඳින්න උත්සාහ කළා. ඒ විඳීම කියන්නෙ මිතුරන් ඇසුරු කරමින්, චිත්‍රපටි බලමින්, විවේකීව සිටිමින් ගත කරන බොහිමියානු එකක්. ලංකාවෙ බොහිමියානු ජීවිතයක් නිර්මාණය වෙන්න කිසිම පසුබිමක් නැතුවත් සිරිමල් හිතුවක්කාර බොහිමියානුවෙක් විදිහට ජීවත් වුනා.

වැඩ වෙනු‍වට ජීවිතය තමයි මං හිතන්නෙ සිරිමල්ගෙ මොටෝ එක වෙන්නෙ. කිසිම දවසක සල්ලි ගැන වටිනාකමක් ඌට තිබුනෙ නෑ. සල්ලි කීයක් හරි හම්බුනොත් හන්දියේ ත්‍රීවීල්කාරයන්ටත් කතා කරලා අහලා සල්ලි බෙදනවා. යාලුවන්ට කෝල් කරලා සල්ලි දෙනවා. ඒ හම්බුන ගාන ඉවර වෙනකල් ඌට නින්ද යන්නෙ නෑ. හැමතිස්සෙම සල්ලි කීයක්වත් අතේ නැති අවදානම් අවකාශයක සිරිමල් සැනසීමෙන් හිටියා.

සිරිමල් සල්ලි නැති වුනාම යාලුවන්ගෙන් කීයක් හරි ඉල්ලගන්නවා. ඒ ඉල්ලාගැනීමෙත් කලාවක් තිබුනා. කිසි දවසක අනෙකාට බරක් දැනෙන්න ඌ කීයක්වත් ඉල්ලුවෙ නෑ. බොරු කිව්වෙ නෑ. ඒ වෙනුවට සුහද සරල යාලුකමෙන් කීයක් හරි දෙන්න පුළුවන් වෙලාවක් නම් ඌ  ඉල්ලගත්තා. ඒක  හරියට භික්ෂුවක් යැපීම හා සමානයි කියලයි මට හිතෙන්නෙ.

කිසිම හේතුවක් නිසා සිරිමලා තමන්ගේ අලසකම පාවලා දුන්නෙ නෑ. නැති වෙලාවට යාලුවෙකුගෙන් කීයක් හරි ඉල්ලගෙන, ඇති වෙලාවට උන්ටත් දෙමින් ඌ සතුටෙන් හිටියා. වාමාංශිකයෙක් වුනාට හරිම ලස්සන පුද්ගලිකත්වයකුත් ඌට තිබුන.

ඌ බත් කනකොට ලුණු, ගම්මිරිස් ටිකක් වෙන වෙනම බෙදාගන්නවා. අමුමිරිස් කරලක් කපා ගන්නවා. තියෙන්නෙ එක එළවළුවක් වුනත් මලාගෙ බත් එක දකිද්දි ඕන කෙනෙකුට කෙල ගිලෙනවා. හැබැයි කවුරු හිටියත් ඌ ඒ බත් එක කන්නෙ තනියම. බත් පිගානට කාටවත් අත දාන්න ඌ ඉඩ දෙන්නෙ නෑ.

‘ඇයි මචං බෙදාගෙන කාපංකො. මගේ පිගානෙම කන්න ඕන නෑනෙ’

මලා ඒ වෙලාවට කියනවා.

ඉංග්‍රීසි හෝඩිය විතරක් පුළුවන් කාලෙ මාව පරිවර්තකයෙක් බවට පත්කලේ  සිරිමල්. ඒ පාරාදීසය වෙනුවෙන් ඩීඑච් ලෝරන්ස්ගෙ ලිපි පරිවර්තනය කරන්න දීලා. ඉළ කඩලා යන වැඩක්. ඩික්ෂනරි පෙරලගෙන, වචනෙන් වචනෙ ලිය ලිය මං ලෝරන්ස් පරිවර්තනය කළා. ඇත්තටම ලෝරන්ස් මාව පරිවර්තනය කළා.

මලාට තිබුනෙ ලොකු ව්‍යාපෘති ගැන අදහසක්. කවදාවත් යතාර්ථයක් බවට පත් කරන්න බැරි සුවිසල් නිර්මාණ ව්‍යාපෘතී සිරිමල් ළග තිබුන. ඒවා අහලා මාත් සතුටු වුනා. කරන්න බැරි වුනත් ‍ලොකු හීන දකින්න පුළුවන් පොහොසත්කමක් ඌට තිබුන.

මේ වෙද්දි සිරිමල් දරුණුවට අසනීප වෙලා. මං ඌව බලන්න ගියා. ඌ කැහැ කැහැ හිනාවෙවී හිටියා.

‘මචං මං අන්තිම කැමැත්ත ලියලා තියෙන්නෙ. තව ටිකයි පපුව වැඩ කරන්නෙ’

ඒ තරම් සැහැල්ලුවෙන් මරණය දිහා බලන ඌ දැකලා මට ලොකු ආදරයක් ඇතිවුනා. ඇත්තටම සිරිමල් ජීවිතේ දැඩිව අල්ලාගත්ත එකෙක් නෙමෙයි. ඒක ඕනම වෙලාවක අතාරින්න පුළුවන් එකෙක්. රැස් කරපු එකෙක් නෙමෙයි. ලෝබ නැතුව බෙදපු එකෙක්. වැඩ කරපු එකෙක් නෙමෙයි. ජීවත් වුනු එකෙක්.

‘මචං මට දැන් ගොඩක් ඉස්සර දේවල් මතක නෑ. මතක නැති එක හොදයි. මොකටද ඔය මගුල් මතක තියාගෙන? හැබැයි බං මතක චුට්ටක් වුනත් සමහර වෙලාවට හරි වේදනාවක් එනවා. ඒ පරණ දේවල් ගැන පසුතැවීමක් නෙමෙයි. මොන හු…ටද එහෙම කලේ කියලා හෙන මෝඩකමක් දැනෙනවා. අපි හෙන මෝඩ වැඩනෙ කරලා තියෙන්නෙ කියලා හිතෙනවා’ ’ අමාරු කැස්ස මැද්දෙ පොඩි හිස්තැන්වලදි ඌ අතීතෙට හැරිලා  තමන්ටම හිනාවෙනවා.

සිරිමල් මේ වෙද්දි වැලිසර ප්‍රතිකාර ගන්නවා. ඒ වෙනුවෙන් ලොකු වියදමක් වැය වෙනවා. වෙනදා වගේ කෝල් කරලා හිනාවෙවී, කීයක් හරි තියෙනවද බං කියල අහන්න ඌට පුළුවන්කමක් නෑ.

සිරිමල් වගේ මනුස්සයෙකුට මේ ලෝකෙ ඉන්නෙ ඌම විතරයි. ඒක අසිරිමත් ජීවිතයක්. මං ගොඩක් ආදරය කරන මනුස්ස පැවැත්මක්. සිරිමල්ට මේ වෙලාවෙ උදව් කරන්න ඕන. ඌ තව කාලයක් ජීවත් වෙන්න ඕන. එහෙම හිතෙන අය මේ ගිණුම හරහා පුළුවන් උදව්වක් කරන්න.


දුරකතනය- 0776686332
බැංකු ගිණුම් අංකය- 107054112534 සම්පත් බැංකුව

chinthana(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...