The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අතීතය දෙස බලාගෙන අවුරුදු කන්න ගියොත් අලුත් අවුරුද්ද ඔබව කා දමාවි | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

T

The Leader Desk

April 2, 2026 • 7:31 AM

අතීතය දෙස බලාගෙන අවුරුදු කන්න ගියොත් අලුත් අවුරුද්ද ඔබව කා දමාවි | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිංහල අලුත් අවුරුද්දක් ළඟ ළඟම එමින් තිබේ. මේ වන විට ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනකු තුළ ඇත්තේ අතිමහත් මානසික උද්‍යෝගයකි.
  • එමෙන්ම සමාජය තුළ මෙම මානසික ප්‍රබෝධය ජනිත කරවීම පිණිස මේ වන විට බොහෝ ජනමාධ්‍ය, ඉලෙක්ට්‍රොනික කොහෝ නද සහ රබන් හඬ ද විසුරුවා හරින බව නොරහසකි.
  • 17 වන සියවසේදී ස්විට්සර්ලන්තයේ සොල්දාදුවන් අතර දක්නට ලැබුණු සාංකාව ආශ්‍රිත රෝගී තත්ත්වයක් ලෙස මුලින් හඳුනාගත්ත ද, වර්තමානයේදී එය පුද්ගල අසංතෘප්තතාව මත පදනම් වන භාවයන් සමුදායක් ලෙස සැලකේ.
  • මෙම හැඟීම් දාමය ප්‍රධාන ආකාර දෙකකින් ක්‍රියාත්මක වන අතර ඉන් පළමුවැන්න ‘පෞද්ගලික අතීත කාමය’ (Personal Nostalgia) ලෙස හඳුනාගත හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ කාලයට දක්නට ලැබෙන පාරිසරික වෙනස්කම්, රසකැවිලි පිසෙන සුවඳ හෝ සිංහල අලුත් අවුරුද්ද පිළිබඳව මාධ්‍ය මඟින් ප්‍රචාරය වන පැරණි ගුවන්විදුලි ගීත ආදියෙන් ජනිත වන මෙම හැඟීම, නූතන හුදකලා සමාජය තුළ මිනිසාට ආරක්ෂිත බවක් සහ ආධ්‍යාත්මික තෘප්තියක් ලබා දෙයි. නමුත් මීට දශක කිහිපයකට ඉහත මේ කාලයේ දී අප අත්දුටු කොහෝ නාදය සහ එරබදු මල් සුන්දරත්වය මේ වන විට බොහෝ දුරට වියැකී ගොසිනි.

නමුදු වත්මන් සමාජ-ආර්ථික සංකීර්ණතා හමුවේ හටගන්නා මානසික අසංතෘප්තිය සමනය කිරීමට මෙම අලුත් අවුරුදු මිහිරියාව තාවකාලික වේදනා නාශකයක් බඳු ය. එමෙන්ම සමාජය තුළ මෙම මානසික ප්‍රබෝධය ජනිත කරවීම පිණිස මේ වන විට බොහෝ ජනමාධ්‍ය, ඉලෙක්ට්‍රොනික කොහෝ නද සහ රබන් හඬ ද විසුරුවා හරින බව නොරහසකි.

 

Sinhala and Tamil New Year 2022 L

සිංහල අලුත් අවුරුද්ද යනු හුදෙක් සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම සැමරෙන ජ්‍යොතිෂමය සංසිද්ධියක් පමණක් නොවේ; ශ්‍රී ලාංකික ජන විඥානය අතීතය සමඟ බද්ධ කරන ප්‍රබල මනෝවිද්‍යාත්මක පාලමකි. මෙහි පදනම ග්‍රීක භාෂාවේ ‘නොස්ටොස්’ (නැවත නිවසට පැමිණීම) සහ ‘අල්ගොස්’ (වේදනාව) යන වචනවලින් බිහි වූ අතීත කාමය හෙවත් ‘නොස්ටැල්ජියාව’ (Nostalgia) මත පදනම්ව තිබේ.

17 වන සියවසේදී ස්විට්සර්ලන්තයේ සොල්දාදුවන් අතර දක්නට ලැබුණු සාංකාව ආශ්‍රිත රෝගී තත්ත්වයක් ලෙස මුලින් හඳුනාගත්ත ද, වර්තමානයේදී එය පුද්ගල අසංතෘප්තතාව මත පදනම් වන භාවයන් සමුදායක් ලෙස සැලකේ. මෙම හැඟීම් දාමය ප්‍රධාන ආකාර දෙකකින් ක්‍රියාත්මක වන අතර ඉන් පළමුවැන්න ‘පෞද්ගලික අතීත කාමය’ (Personal Nostalgia) ලෙස හඳුනාගත හැකිය. තමන්ගේ ළමා කාලය පිළිබඳ සුන්දර මතකයන් අවදි කර ගැනීම එමඟින් හැඳින්වේ. ‘ඓතිහාසික අතීත කාමය’ (Historical Nostalgia) යනු එහි දෙවන කොටස වන අතර, තමන් ජීවත් නොවූ පරමාදර්ශී ගැමි අතීතයක් කෙරෙහි ඇති වන ඇලුම් කිරීම එනමින් හැඳින්වේ. වර්තමානයේ මහා මාර්ග දෙපස ඇති අවන්හල් සහ නවාතැන්පොළවල් ද වාඩිය, අම්බලම, පැල්පත, මහගෙදර ආදී ගැමි සමාජමය සංකේත ඔස්සේ නාමකරණය වී ඇත්තේ, වත්මන් මධ්‍යම පාන්තික සමාජය තුළ පවතින එම අතීත කාමය පුබුදුවා ආදායම් ප්‍රවර්ධනය කිරීමේ උපාය මාර්ගයක් ලෙසිනි.

එමෙන්ම ඉදිරි දිනවල විකාශය වන සිංහල අලුත් අවුරුදු වැඩසටහන් කෘත්‍රිමව නිර්මාණය කරන ලද ගැමි පරිසරයන්හිදී ඉදිරිපත් වනු හා ඒ සඳහා එක්වන සන්නිවේදකයන් දේශීයත්වය නිරූපණය වන ඇඳුම් ආයිත්තම්වලින් හැඩ වී හිඳිනු ද අපට දැකබලා ගැනීමට අවකාශ ලැබේ. නමුත් සිංහල අලුත් අවුරුද්ද නම් වන මෙම සමාජමය සංසිද්ධිය අප විමසා බැලිය යුත්තේ වර්තමානයෙන් අතීතයට යන විමසුම් මංපෙත ඔස්සේ මිස, අතීතයෙන් වර්තමානයට පිවිසෙන මංපෙත ඔස්සේ නොවේ. ශ්‍රී ලංකාවේ අසමසම මහා සංස්කෘතිකාංගය ලෙස සැලකෙන මෙම උත්සවය අනාදිමත් කාලයක සිට පැවත එන්නක් බවට මානව විද්‍යාත්මක සාක්ෂි තිබේ. එහෙත් වත්මන් අවුරුදු සැමරුමේ ව්‍යුහාත්මක පදනම මහනුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ (ක්‍රි.ව. 1747-1782) රජ සමය නොඉක්මවන බව ඉතිහාසඥයෝ පෙන්වා දෙති.

 

shop mahara

ලොව ඕනෑම සංස්කෘතික උත්සවයක් ප්‍රධාන අංග සතරකින් සමන්විත වේ. ඒ ආධ්‍යාත්මික, සදාචාරාත්මක, සංස්කෘතික සහ විනෝදාත්මක වශයෙනි. ලංකේය ජන සමාජයේ ආධ්‍යාත්මික පදනම බුදු දහමේ එන පංචශීලය මත ගොඩනැඟී තිබුණ ද, නූතන අවුරුදු සැමරුම තුළ මෙම සදාචාරාත්මක පදනම බරපතල ලෙස දියවී ගොස් ඇති අයුරු දැකිය හැකි ය. අධි-පරිභෝජනවාදය මත පදනම් වන වෙළඳපොළ උපක්‍රම ඒ සඳහා ජනතාව හසු කර ගන්නා ව්‍යාපාරික කෙමනක් බවට පත්ව තිබේ.ඒ ඔස්සේ නූතන නව ලිබරල්වාදී ආර්ථික ප්‍රවාහය තුළ මෙම අහිංසක අතීත කාමය සූක්ෂ්ම ලෙස අලෙවිකරණයට ඇත. ජනතාව තුළ ඇති අතීතය පිළිබඳ සෙනෙහස ප්‍රාග්ධනය කරගන්නා වෙළඳ ප්‍රජාව, අවුරුද්ද යනු ‘මිලදී ගැනීම් මත පදනම් වූ පාරිභෝජනවාදී සැනකෙළියක් බවට පරිවර්තනය කර ඇත.

මෙහිදී “අධි-පරිභෝජනවාදය” (Hyper-consumerism) නම් වන න්‍යාය රජයන අතර, පුද්ගලයෙකුගේ වටිනාකම තීරණය වන්නේ ඔහු මිලදී ගන්නා සන්නාම (Brands) මත යන සාවද්‍ය සංකල්පය ඉන් සමාජගත කොට තිබේ. අලුත් අවුරුද්දේ සැබෑ අරුත වන ‘මානව සබඳතා අලුත් කිරීම’ යටපත් කරමින්, ණය වී හෝ අනවශ්‍ය විද්‍යුත් උපකරණ සහ ඇඳුම් පැළඳුම් රැස් කිරීමේ ප්‍රදර්ශනාත්මක උමතුවක් නිර්මාණය කොට ඇත. මෙය වෙළඳ දැන්වීම් මඟින් කෘත්‍රිමව නිර්මාණය කරනු ලබන ‘ව්‍යාජ අවශ්‍යතා’ මත සමාජය මෙහෙයවීමකි.

Liqour

මෙම අධි-පරිභෝජන උගුලේ ව්‍යසනකාරීම පැතිකඩ වන්නේ සිංහල අලුත් අවුරුදු සමයේ සිදුවන අධික මත්පැන් පරිභෝජනයයි. දත්ත වාර්තාවලට අනුව, අප්‍රේල් මාසයේදී මත්පැන් අලෙවිය ශීඝ්‍රයෙන් ඉහළ යන අතර එය රජයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට ද පත්ව ඇත.

ගවේෂණාත්මක මාධ්‍යවේදී තිලක් සේනාසිංහයන් සිය ‘සිංහල අලුත් අවුරුද්දේ මායාව සහ යථාර්ථය’ කෘතියේ ( 2016)සඳහන් කරන පරිදි, වත්මන් අවුරුද්දේ නිල ආහාරය කිරිබත වන විට නිල පානය වී ඇත්තේ මත්පැන්ය. ඔහුගේ එම ප්‍රකාශය අතිශය බරපතල වුව ද එය අභියෝගයට ලක් කළ හැක්කක් ද නොවේ. මෙම තත්ත්වය කෙතරම් උත්සන්න වී ඇත්ද යත්, මින් පෙර නත්තල සහ ජනවාරි (ජනේරුව) උත්සව නිමිත්තෙන් කරන ලද අධික වියදම් හා මත්පැන් පානය නිසා ගෘහ ආර්ථිකය බිඳ වැටී, මූලික අවශ්‍යතා සඳහා නිවසේ ඇති හිස් බෝතල් විකිණීමට සිදුවන කාලය “බෝතල් මාසය” ලෙස හැඳින්විණි. අතීතයේ ජනවාරි මාසයට හිමිව තිබූ මෙම “බෝතල් මාසය” යන උපහාසාත්මක නාමය, වර්තමානයේ අවුරුද්දෙන් පසු එළඹෙන මැයි මාසයට ද වලංගු වන තරමට අවුරුදු සමයේ මත්පැන් භාවිතය ඉහළ ගොස් ඇත.එහෙත් වත්මන් සිංහල අලුත් අවුරුද්ද මුල් කොට ගත් මෙම සදාචාර සෝදාපාළුව සම්බන්ධ විවෘත සමාජ කතිකාවක් ද මෙතෙක් ගොඩනැඟී නැත.ඒ අනුව ඔහු පවසන අන්දමටම සූර්ය මංගල්‍යයක් ලෙස හැඳින්වෙන මෙය අද වන විට “සූර්”මංගල්‍යයක් බවට පත් ව තිබේ.

 

mourning family weeping woman painted 600nw 2291953851

මෙම ව්‍යාකූල තත්වය යටතේ අලුත් අවුරුදු සමයේ සිදුවන පවුල් ආරවුල්, රිය අනතුරු ආදියට මෙම සංසිද්ධිය පදනම් ව ඉහළ නැංවෙන මානසික ආතතිය ද බොහෝ දුරට ඉවහල් වන බව නොරහසකි. එමෙන්ම අවිචාරවත් ලෙස අවුරුදු සැමරීම නිසා සිදුවන මූල්‍ය පරිහානිය දෙස බලන විට “අවුරුදු කන්න ගොස් අවුරුදු අපිව කෑවා” යන පොදු වහරේ ප්‍රබල සත්‍යතාවක් ඇත. ඒ අනුව වත්මන් සිංහල අලුත් අවුරුදු සැමරුම මුල් කොට සිදුවන සදාචාරාත්මක අංග පිළිබඳ විමසීම ‘අභිසාරිකාවකගේ කන්‍යා භාවය විමසීමක්’ බඳු අර්ථ විරහිත ක්‍රියාවක් බවට පත්වෙමින් තිබේ.

අතීත කාමය යනු මිනිසා සමඟ සම්බන්ධ කරන සුන්දර පාලමකි. එය මානසික සුවයට යම් තරමකට අත්‍යවශ්‍ය වුව ද, එම හැඟීමට සිංහල අලුත් අවුරුද්ද දඩමීමා කර ගනිමින් වෙළඳපොළ විසින් අටවන ලද අධි-පරිභෝජන සහ සුරාපාන උගුලට හසු නොවීමට නූතන ලාංකිකයා වගබලා ගත යුතු ය. මන්ද, අවුරුද්දේ සැබෑ ආලෝකය අත්විඳිය හැක්කේ වර්තමානය අමතක කොට අතීත සොඳුර් ස්මරණයන් තුළ නිමග්න වීමෙන් නොවේ. අතීත ජන සමාජයේ සැබෑ හරය වන අරපිරිමැස්ම, සහජීවනය සහ චාම් සරල බව වර්තමාන ජීවිතය තුළ කළමනාකරණය කරගැනීමෙන් පමණි.


Praneeth Abayasundara
(සටහන | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර)
හිටපු මානව විද්‍යා මහාචාර්ය

(උපුටා ගැනීම - vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අතීතය දෙස බලාගෙන අවුරුදු කන්න ගියොත් අලුත් අවුරුද්ද ඔබව කා දමාවි | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර | The Leader