The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මහමොළකරු සෙවීමේ මොනර නැටුම... | විමලනාත් වීරරත්න

T

The Leader Desk

April 4, 2026 • 7:01 AM

මහමොළකරු සෙවීමේ මොනර නැටුම... | විමලනාත් වීරරත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2019 අප්‍රේල් 21 වැනිදා සිදු වූ පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහ මොළකරු පිළිබඳ සාකච්ඡාව පල දරන එකක් නොවන්නේ එම ප්‍රහාරය තනි පුද්ගලයකුගේ සැලසුමක් නොව, බල දේශපාලනයේ සංවිධානාත්මක ක්‍රියාවක් බවට තහවුරු වී තිබෙන තත්ත්වය යටතේය.
  • 2019 දේශපාලන බලය අත්පත් කර ගත් පාර්ශ්වයේම නියෝජිතයන් මේ කෘතිය සම්පාදනය කිරීම මෙන්ම හුදු ඒකපාර්ශ්වීය තර්ක මත පමණක් පදනම්ව සහරාන් මහ මොළකරුවා බවට පත් කිරීමේ වුවමනාව තේරුම් ගැනීම අපහසු නැත.
  • මේ සඳහා සියලු රාජපක්ෂලා සහභාගි වුණු අතර, රාජපක්ෂ පාලන සමයේ රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කළ පිරිස් මෙන්ම ඔවුන්ගෙන් විවිධ වරප්‍රසාද ලැබූවන්ද සහභාගි වීම මඟින් රට ත්‍රස්තවාදයෙන් බේරා ගැනීම දෙසට නැඹුරු වූ සාකච්ඡා සභාවක් බවට එය පත් කැරිණි.
  • දසනායක මෙහිදී සභාව අමතමින් කීවේ, යහපාලන රජය සහ වර්තමාන රජය මෙරට සේවය කළ බුද්ධි නිලධාරීන් අකර්මණ්‍ය කළ බව හා කරමින් සිටින බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉකුත් 31 වැනිදා එළිදුටු උදය ගම්මන්පිල විසින් රචිත ‘පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවා සොයා යෑම’ නම් වූ කෘතියෙන් මහමොළකරු සහරාන් හෂීම් බව යළි ප්‍රකාශයට පත් කිරීම ඔස්සේ පෙනී යන සත්‍යය එයයි. 2019 දේශපාලන බලය අත්පත් කර ගත් පාර්ශ්වයේම නියෝජිතයන් මේ කෘතිය සම්පාදනය කිරීම මෙන්ම හුදු ඒකපාර්ශ්වීය තර්ක මත පමණක් පදනම්ව සහරාන් මහ මොළකරුවා බවට පත් කිරීමේ වුවමනාව තේරුම් ගැනීම අපහසු නැත.

කෙසේ වෙතත්, මේ කෘතියේ අරමුණ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ වර්තමානයේ සිදු වන පරීක්ෂණ ක්‍රියාවලිය වෙනතකට යොමු කිරීම නොවේ; ඒ වෙනුවට, සහරාන් කේන්ද්‍රීය සාකච්ඡාවක් මහජනයා වෙත වැඩි වැඩියෙන් සන්නිවේදනය කිරීමය. මේ සඳහා සියලු රාජපක්ෂලා සහභාගි වුණු අතර, රාජපක්ෂ පාලන සමයේ රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කළ පිරිස් මෙන්ම ඔවුන්ගෙන් විවිධ වරප්‍රසාද ලැබූවන්ද සහභාගි වීම මඟින් රට ත්‍රස්තවාදයෙන් බේරා ගැනීම දෙසට නැඹුරු වූ සාකච්ඡා සභාවක් බවට එය පත් කැරිණි.

 

විශේෂයෙන්ම නාවික හමුදාවේ හිටපු බුද්ධි නිලධාරි ඩී.කේ.පී. දසනායක මෙහිදී සභාව අමතමින් කීවේ, යහපාලන රජය සහ වර්තමාන රජය මෙරට සේවය කළ බුද්ධි නිලධාරීන් අකර්මණ්‍ය කළ බව හා කරමින් සිටින බවයි. ඇත්තම කතාව වන්නේ මහින්ද හා ගෝඨාභය ජනාධිපතිවරුන් යටතේ ඇතැම් බුද්ධි නිලධාරීන් රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරමින්, ආණ්ඩුවේ විරුද්ධ මතධාරීන්ගේ කටයුතු මුළුමනින් අඩපණ කිරීමේ ක්‍රියාවලියට දායක වී සිටි බවයි. එසේ නොවන පෞද්ගලික මැර හමුදාවක් ලෙසද ඇතැම් විටෙක ඔවුහු ක්‍රියා කළහ. ලසන්ත වික්‍රමතුංග හා වසීම් තාජුඩීන් ඝාතනය ඊට උදාහරණ ලෙස දැක්විය හැකිය. මෙය දසනායක නොදන්නා කතාවක් නොවේ. එකී චෝදනාවලට ලක් වූ ඇතැම් නිලධාරීන් සම්බන්ධයෙන් යුක්තිගරුක රජයකට නීතිය ක්‍රියාත්මක කිරීමෙන් වැළකී සිටිය නොහැකිය. ඔවුන්ට එරෙහිව ඇති චෝදනා විමර්ශනය, විභාග කිරීම හා බරපතළ චෝදනාවලට ලක් වූවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම මෙන්ම ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම කළ යුතුව ඇත. එහිදී වරදකරුවන්ට පමණක් නීතිය ක්‍රියාත්මක කැරෙන බවට තහවුරු වන සාක්ෂිය වන්නේ එය මෙරට බුද්ධි නිලධාරීන් පොදුවේ අත් නොවිඳින තත්ත්වයක් වන බැවිනි.


පීඩනයට පත්ව සිටින්නේ රාජකාරි සමයේ රාජකාරියෙන් පරිබාහිරව මිනිස් ඝාතන හා අතුරුදන් කිරීම් පිළිබඳ චෝදනාවලට ලක් වූ බුද්ධි නිලධාරීන්ය. ඒ නිලධාරීන් ත්‍රස්තවාදය පරාජය කිරීමට විශාල දායකත්වයක් දී ඇතැයි යන්න වෙනම කතාවකි. එහෙත්, ඉන් පසු කාලයේ ආණ්ඩුවේ වුවමනාවන් මත පුද්ගලයන් අතුරුදන් කරන්නට, කප්පම් ගන්නට හා ඝාතනය කරන්නට ‘රට බේරා ගැනීම’ වරපතක් නොවේ. එහෙයින්, රට බේරා ගැනීමට දායක වූ නිසා ඉන් පසු කාලයේ ඒ නිලධාරීන්ට නීතිය නොතකා කටයුතු කරන්නට වරදානයක් ලැබී ඇතැයි මේ නිලධාරීන් හෝ ඔවුන්ගේ දේශපාලන ස්වාමිවරුන් නොසිතිය යුතුය. එසේ කිව යුතුව තිබෙන්නේ හිටපු නාවික හමුදා බුද්ධි නිලධාරි ඩී.කේ.පී දසනායක බුද්ධි නිලධාරියකුගේ කැප කිරීම හා නීතිය නොතකා අත්තනෝමතිකව ක්‍රියා කිරීම එකිනෙක පටලවා ගෙන ඉහත කතාවේදී බුද්ධි නිලධාරීන්ට අත් වූ ඉරණම පිළිබඳ මුළුමනින් වැරදි අර්ථකථනයක් දීමට තැත් කළ හෙයිනි.

 

dasanayaka
බුද්ධි නිලධාරි දසනායකම නිදසුනකට ගත හොත්: ඔහු එක් පැත්තකින් යුද්ධයේ වීරත්ව අර්ථකථනයට අනුව රණවිරුවෙකි. ත්‍රස්තවාදය පරාජය කිරීමට නාවික හමුදාව තුළ ඔහු වෙසෙස් කාර්යභාරයක් කළේය. එහෙත් ඒ නිසාම කොළඹ ප්‍රදේශයේ ධනවත් තරුණයන් පැහැරගෙන කප්පම් ගැනීම හා මරාදැමීම පිළිබඳ ඔහු ඇතුළු නාවික හමුදාවේ නිලධාරීන් එකොළොස් දෙනකුට එල්ල වන චෝදනාවලින් ගැලවිය නොහැකිය. ප්‍රකට ත්‍රිකුණාමලය, ගන්සයිඩ් කඳවුරේ සිදුවීම පිළිබඳ දසනායක ඇතුළු පිරිසකට එල්ල වී ඇති චෝදනා, ගැඹුරින් විමර්ශනයට ලක් විය යුතුය. රට වෙනුවෙන් සේවය කළ ආරක්ෂක නිලධාරියාටත්, රට තුළ ජීවත් වන සාමාන්‍ය පුරවැසියාටත් නීතිය දෙකක් නොවේ; එකකි. මිලේනියම් සිටි සිදු වීම පිළිබඳවද දසනායකගේ අර්ථකථනය සාවද්‍යය. එහි චුදිතයෝ අධිකරණය මඟින් නිදොස් කරනු ලැබූහ. දසනායක මෙහිදී ඊට දෙන අර්ථකථනයේ අරමුණ ඒ සිදුවීම පිළිබඳ සම්පූර්ණයෙන් වැරදි චිත්‍රයක් මවා පෑමය.

නීතියේ විධානයේ ආධිපත්‍යයට යටත්ව හා වෘත්තීය රෙගුලාසිවලට යටත්ව අප බුද්ධි නිලධාරීන් නොව මහ රාජා සම්බන්ධයෙන් වුව ක්‍රියා කළ යුතුය යන්න යුක්තිය හා සාධාරණත්වය අගයන සමාජයක අභ්‍යාස විය යුත්තකි.

බල උන්මාදයට යළිත් පාස්කුව

මෙරට විපක්ෂයට සතුරකු මැවීමෙන් තොර දේශපාලන ජයග්‍රහණයක් නැති බව යළිත් ප්‍රදර්ශනය කළ අවස්ථාවක් ලෙස ‘පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහ මොළකරුවා සොයා යෑම’ කෘතිය ජනගත කිරීමේ අවස්ථාව හැඳින්විය හැකිය. විශේෂයෙන්ම, ඒ ඔස්සේ පරාජිත විපක්ෂයට අවශ්‍යව තිබෙන්නේ සමාජය ඉස්මත්තට ගමන් කළ හැකි සාකච්ඡාවක් ඇති කර ගැනීමය; ඒ සාකච්ඡාව හරහා අවවර්ධිත දේශපාලන මතයක් ගොඩනැඟීමය. ඒ සඳහා සතුරෙක් අවශ්‍යය. සතුරා තම අනෙකා වීම එහිදී ගැටලුවක් නොවන අතර, රචකයා සහරාන් යළිත් මහමොළකරු හෙවත් සතුරා බවට බවුතීස්ම කරන්නේ දැනුවත්වය. එහි අරමුණ සිංහල සමාජය සමඟ මුස්ලිම් ප්‍රජාව සහජීවනයේදී අතිපිහිත වීම වළක්වා, සිංහල සමාජයට මුස්ලිම් අනෙකා තවදුරටත් අවිශ්වාස කටයුතු තැනක රැඳවීමය.

 

pasku book

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු මෙරට ගොඩනැඟුණු ජාතීන් අතර විසංවාදි දේශපාලනය සේම ඊට පෙර බේරුවල හා දිගන මුස්ලිම් ජනයාට එරෙහිව එල්ල කැරුණු ප්‍රහාර ඔස්සේ ශ්‍රී ලාංකේය සමාජය තල්ලු කැරුණේ උග්‍ර ජාතිවාදි ස්ථාවරයක් දෙසටය. ඒ සඳහා රාජපක්ෂලාගේ දේශපාලන අනුග්‍රහයෙන් මහසෝන් බළකාය වැනි සංවිධාන ගොඩනැඟුණු අතර, රාජපක්ෂ නිකායේ චීවරධාරීහු ඊට අනුශාසකත්වය සැපයූහ. මේ ව්‍යාපෘතියෙහි නිමග්න වූ සියල්ලෝ අද වන විට අවතැන්ව, සිය නිෂේධනය වූ දේශපාලන භූමිකාවට පණ දීමට වෑයම් කරති. ඔවුන්ගේ සියලු නාටක මතු වන්නේ ආණ්ඩු විරෝධි වැඩසටහන් වශයෙනි. රාජපක්ෂ නිකායවාදීන්ට සේම එහි මෙහෙයුම්කරුවන්ට ඇති ලොකුම අභියෝගය ජාතික ජන බලවේග ආණ්ඩුව වන අතර, ආණ්ඩුවේ දූෂණය හා නාස්තිය විරහිත ආර්ථික දර්ශනයටත් වඩා විපක්ෂය සහ ආන්තික කොටස් විපිළිසර කර දමා ඇත්තේ ආණ්ඩුවේ ජාතික හා ආගමික සංහිඳියාවයි. බල උන්මාදය යළි යථාර්ථයක් කර ගැනීමට නම් දේශපාලන බලය අත්පත් කර ගැනීමේ උපායමාර්ගයක් වෙත යළි ප්‍රවිෂ්ට විය යුතුය.

 විශේෂයෙන් ඒ උපායමාර්ගය ජාතිවාදය හා ආගම්වාදය වන අතර, මියගිය සහරාන්ට යළි උප්පත්තිය දීමෙන් කිසියම් ප්‍රමාණයකට මේ සංවාදය යළිත් සමාජය ඉස්මත්තට ගත හැකි බවට ඔවුහු විශ්වාස කරති. ගම්මන්පිලගේ ‘සොයාගැනීම’ වූ සහරාන් වටා රාජපක්ෂලා රොද බැඳෙන්නේ ඒ අනුවය. සමහර විට මේ සහරාන් සොයා යෑමේ වැඩසටහන ඔවුන් ගමෙන් ගමට ගෙන යෑමට ඉඩ ඇත. ඔවුන්ට අනුව මහමොළකරු සහරාන් සාධකය නොමරා ජීවත් කරවිය යුත්තේ ඒ සඳහාය.


වළක්වා නොගැනීම පිළිබඳ තීන්දුවෙන් එහාට

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සත් පුද්ගල නඩු තීන්දුව ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් නඩු තීන්දුවකි. එහෙත් එය එවකට හිටපු ජනාධිපති, ආරක්ෂක ලේකම්, පොලිස්පති, රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ හා හිටපු ජාතික බුද්ධි ප්‍රධාන යන අයට එරෙහිව ලැබුණු, ප්‍රහාරය වළක්වා නොගැනීම පිළිබඳ අච්චු කිරීමකි. පාස්කු ප්‍රහාරය පිළිබඳව, සිදුවීමට පෙර අවස්ථා කිහිපයකදී විදෙස් බුද්ධි සේවා මඟින් ප්‍රහාරය සිදු වන දිනය, වෙලාව ආදි වශයෙන් ඉතා අංග සම්පූර්ණ වාර්තා ශ්‍රී ලංකාවේ ආරක්ෂක ප්‍රධානීන් වෙත සපයා තිබියදී එය වළක්වා නොගැනීම යනු නඩු තීන්දුවෙන් දුන්නාටත් වඩා දඬුවම් ඉහත වගඋත්තරකරුවන්ට දිය යුතු බරපතළ තත්ත්වයකි.

pasku case

කෙසේ වෙතත්, තවමත් ශ්‍රී ලංකාවට නොහැකි වූයේ මේ ප්‍රහාරයේ ඇත්ත වුවමනාවක් තිබුණේ කවර පාර්ශ්වයකටද යන්න සූත්‍රගතව ඔප්පු කර ගැනීමය. පාස්කු ඉරුදින ප්‍රහාරය උපායමාර්ගයක් බවට පත් කරගෙන බලය අත් පත් කරගැනීම හා ඒ කවර පිරිසක්ද යන්න පිළිබඳ සමස්ත සමාජයටම අදහසක් ඇත. එහෙත් අධිකරණ ක්‍රියාමාර්ගයක් මඟින් නිශ්චිතවම මෙහි සැබෑ වගඋත්තරකරුවා හෝ වගඋත්තරකරුවන් නීතිය හමුවට ගෙනෙන තුරු විවිධ මහ මොළකරුවන් කරළියෙහි රඟනු ඇත. ඇත්ත නොසොයා, මහමොළකරුවන් විටින් විට සමාජය හමුවට ගෙන ඒම මහජන භූමිකාව අහිමි කරගෙන සිටින මෙරට විපක්ෂයට වඩාත් වාසිදායක ක්‍රියාව බවට පත් වී ඇත. ඉන් වැඩ දෙකක් සිදු වේ. එකක් ඇත්ත මහමොළකරු සහ එම පාර්ශ්වය දිගටම සැඟවී සිටීමය. දෙවැන්න දේශපාලන ජයග්‍රහණයක් සඳහා ජාතීන් අතර ව්‍යාකුලත්වයේ මාවත පාදා ගැනීමට යත්න දැරීමය.


සමාජයේම වගකීමක්

pasku 2

නිසැකවම එම හෝද හෝදා මඩේ දැමීම නැවැත්විය හැකිය. එය කළ හැක්කේ දීර්ඝ සහ ගැඹුරු පරීක්ෂණ ක්‍රියාවලියක් මඟින් පාස්කු ඉරුදින ප්‍රහාරයේ සැබෑ වුවමනාව තිබුණේ කාටද, එය ඉදිරියට ගෙන ගිය මාර්ග සිතියම කවරාකාරද යන්න හෙළිදරවු කර ගැනීම තුළය. එළඹෙන අප්‍රේල් 21 වැනිදාට මේ ප්‍රහාරය සිදු වී වසර හතකි. පාස්කු ප්‍රහාරය හෙළිදරවු කර ගැනීම වර්තමාන ආණ්ඩුවේ ප්‍රධාන වගකීමකි. එමෙන්ම එහි වින්දිතයන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවරූ නඩුවෙහි තීන්දුවෙන් වරදකරුවන් වූ දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පැවරීම ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රධාන පොරොන්දුවකි. මේ ක්‍රියාමාර්ග දෙක ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට පෙර ගත හොත් මහමොළකරුවන් සෙවීමේ විපක්ෂයේ මොනර නැටුම එතෙකින් අවසන් වනු ඇත. මේ ප්‍රහාරයෙන් 269 දෙනෙක් මියගියහ. පන්සියයකට අධික පිරිසක් තුවාල ලැබූහ. ඒ සියල්ලන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම වර්තමාන ආණ්ඩුව නොකළ හොත් එය යළි කිසි දිනක ඉටු වන්නේ ද නැත.

AKD Katuwapitiya 1
2025 අප්‍රේල් 20 වැනිදා පාස්කු ඉරුදින ප්‍රහාරයේ වගඋත්තරකරුවන් සොයා යෑමේ විමර්ශන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉතා විධිමත් ආකාරයෙන් ආරම්භ කළ අතර, මේ වන විට ඔවුන් ඒ පරීක්‍ෂණවල සැලකිය යුතු ප්‍රගතියක් අත් කර ගෙන තිබෙන බව දැනගන්නට තිබේ. එය අත්හළ නොහැකි වගකීමක් වන අතර, මේ පිළිබඳ නිතර ආණ්ඩුවලට බලපෑම් කළ කාදිනල් හිමියන්ට මෙන්ම කතෝලික ප්‍රජාවට ජනාධිපතිවරයා දුන් පොරොන්දුවක් ලෙස පමණක් නොව, මානවයාට එරෙහිව සිදු කළ අතිශය දරුණු අපරාධයක් ලෙස එහි ඇත්ත හෙළිදරවු කර ගැනීම මෙන්ම ඊට වගකිව යුත්තන් නීතියේ රැහැනට කොටු කර ගැනීම සමස්ත සමාජයේම වගකීමක් වනු ඇත.

Wimalanath Weerarathna
(සටහන | විමලනාත් වීරරත්න)
නිදහස් මාධ්‍යවේදී
wimale.ravaya67@gmail.com

උපුටා ගැනීම - silumina


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...