යුද්දයේ ගෙවීගිය පැය 24 ; කෙටි සටහන්
ටෙහෙරානය ට්‍රම්ප්ගේ තර්ජනය විහිළුවට ගනී !
*එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට තවත් තර්ජනයක් නිකුත් කරමින්, “ගිවිසුමක් ඇති කර ගැනීමට හෝ හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට” දින දෙකක් දෙන බව කියා තිබේ.
*පැය 48ක් ඇතුළත සාම ගිවිසුමකට එළඹෙන්නේ නැත්නම් ඉරානයට "නිරයට" ඇද දමන බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෙනසුරාදා Truth Social හි අවධාරණය කර ඇත.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය ගිවිසුමක් ඇති කර නොගතහොත් "අපායේ වැසි ඇද හැලෙන" බවට තර්ජනය කර ඇති අතර, ටෙහෙරානය ද ඒ හා සමාන වාචාලකමකින් ප්‍රතිචාර දක්වා ඇත.
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ගැටුම තවදුරටත් උත්සන්න කළහොත් මුළු කලාපයම "නිරය" බවට පත්කරන බවට ඉරාන හමුදා ප්‍රකාශකයෙකු අනතුරු අඟවා තිබේ.
ගුවන් භටයා සෙවීම දිගටම ...

ජනාධිපති ට්‍රම්ප් ඊයේ නිකුත් කල කෙටි, වාක්‍ය තුනකින් යුත් එම සටහනේ, F-15 ප්‍රහාරක ජෙට් යානයක් ඉරානයේදී කඩා වැටීමෙන් පසු ඉරානය දේශසීමාව ඇතුලත බිමට පැන ඇති බවට විශ්වාස කෙරෙන ඇමරිකානු ගුවන් නියමුවෙකු සෙවීම සඳහා සිදුවෙමින් පවතින මෙහෙයුම ගැන කිසිදු සඳහන් නොවීය.
කෙසේවුවද මෙම ප්‍රහාරයේ වගකීම ඉරානය භාරගෙන තිබේ.
ඉරානය විසින් පෙරේදා (3) වැනිදා එල්ලකළ ප්‍රහාරයෙන් F-15 වර්ගයේ අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටුණු බව එරට මාධ්‍ය වාර්තා කළේය.
එම යානයේ නියමුවන් දෙදෙනාගෙන් අයෙක් දිවි බේරාගැනීමට සමත්වූ බව වාර්තා වූ අතර සෙසු නියමුවා තවමත් අතුරුදහන් බව වාර්තා වේ.
අතුරුදන් නියමුවා සෙවීම සඳහා අමෙරිකාව මේ වන විටත් අඛණ්ඩ මෙහෙයුමක් ආරම්භකර ඇති බව සඳහන් වේ.

ඒ අතර එක්සත් ජනපද ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, නියමුවා බේරාගෙන ඇති බවයි.
අතුරුදන්වූ නියමුවා ප්‍රාණ ඇපකරුවෙකු වෙතැයි ඇමරිකාව බියෙන්
ඉරාන ප්‍රහාරයකින් විනාශ වූ F-15 ප්‍රහාරක ජෙට් යානයේ සිට අතුරුදන්වූ ගුවන් නියමුවා ඉරානය විසින් අල්ලා ගනු ලැබුවහොත්, ගැටුම සමනය කිරීමට උත්සාහ කිරීමේදී එවැනි ප්‍රාණ ඇපකරුවෙකු සිටීම ඉරානයට වාසිදායක විය හැකි බව චැතැම් හවුස් ආයතනයේ ඇමරිකානු සහ උතුරු ඇමරිකානු වැඩසටහන් අධ්‍යක්ෂිකා ලෝරල් රැප් පවසයි.
විදෙස් මාධ්‍ය සමග අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ අනතුරට පත් වූ ජෙට් යානයේ අතුරුදන් වූ කාර්ය මණ්ඩල සෙබළා මුදා ගැනීම අතිශය තීරණාත්මක මෙහෙයුමක් බවයි.
යම් හෙයකින් ඉරානය විසින් එම සෙබළා අත්අඩංගුවට ගෙන ඔහුගේ ඡායාරූප හෝ දර්ශන ප්‍රසිද්ධ කළහොත්, දැනටමත් ජනප්‍රිය නොවන මෙම යුද්ධය පිළිබඳ ඇමරිකානු ජනතාව තුළ පවතින මතය තවදුරටත් අයහපත් විය හැකි බව ද ඇය ප්‍රකාශ කර සිටියි.
අමෙරිකානු නියමුවා අල්ලන ඔත්තුවට ඉරානයෙන් ඩොලර් 66,000ක ත්‍යාගයක්
ඉරානය විසින් බිම හෙලූ අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයේ සිටි ගුවන් නියමුවා අල්ලා ගැනීමට සහයෝගය ලබාදෙන්නැයි ඉරාන රජය එරට ජනතාවගෙන් එල්ලා තිබේ. එම ගුවන් භටයා අල්ලා ගැනීමට උදව් කරන ඕනෑම පුරවැසියෙකුට අමෙරිකානු ඩොලර් 66,100ක ත්‍යාගයක් ලබා දෙන බව ටෙහෙරාන් රජය ඉරාන වැසියන්ට සහතික වී ඇත.
දිනක් තුළ අමෙරිකාවට ප්‍රහාරක යානා 2ක් අහිමි වේ

ඉරානයට ඉහළින් පියාසර කරදිදී බිම හෙළන ලද ඇමරිකානු ප්‍රහාරක යානයේ නියමුවන් සෙවීමේ මෙහෙයුම්වල නිරත වූ බ්ලැක්හෝක් හෙලිකොප්ටර් යානා දෙකකට ඉරාන ප්‍රහාර එල්ල වී තිබේ.
එමෙන්ම ඇමරිකානු A-10 Warthog වර්ගයේ ප්‍රහාරක යානයක්ද ප්‍රහාරයකට ලක්ව කුවේට් රාජ්‍යයට ඉහළින් කඩා වැටී ඇත.
හෝමූස් සමුද්‍ර සන්ධිය අසල ඉහළ අහසේ දී මෙම යානය ප්‍රහාරයට ලක්ව ඇති අතර, ඒ අනුව දිනක් තුළ අමෙරිකාවට ප්‍රහාරක යානා 2ක් අහිමි විය.
විශ්ව විද්‍යාල 30 කට වැඩි ප්‍රමාණයක් ඉලක්ක කර ගෙන පහරදීම්
ඉරානය පවසන්නේ එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාරවලින් මහ්ෂහර් පෙට්‍රොකෙමිකල් කලාපයේ පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තවත් 170 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
යුද්ධය ආරම්භයේ සිට මෙම ප්‍රහාර විශ්ව විද්‍යාල 30 කට වැඩි ප්‍රමාණයක් ඉලක්ක කර ගෙන ඇත.
කුවේට් තෙල් සංකීර්ණයේ ගින්නක්
![]()
කුවේටය පවසන්නේ ඩ්‍රෝන ප්‍රහාරයකින් තෙල් සංකීර්ණයක ගින්නක් ඇති වූ නමුත් කිසිවෙකුට තුවාල සිදු නොවූ බවයි.
ඊශ්‍රායලය විසින් ඉරානයේ මහ්ෂහර් ඛනිජ රසායනික කලාපය ඉලක්ක කර ගනිමින් එල්ල ප්‍රහාරයකින් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තවත් 170 දෙනෙකු තුවාල ලබා තිබේ.
හිස්බුල්ලා සමඟ ඇති වූ ගැටුම්වලදී තවත් ඊශ්‍රායල සොල්දාදුවෙකු මිය ගොස් ඇති අතර, ඊශ්‍රායල යුද විරෝධී විරෝධතාකරුවන් සිය ගණනක් ටෙල් අවිව්, ජෙරුසලම සහ හයිෆා යන නගරවල පෙළ ගැසී සිටිති.
ඉන්දියාව ඉරානයෙන් තෙල් නැවක් මිලදී ගනී

ලොව තුන්වන විශාලතම තෙල් ආනයනකරු සහ පාරිභෝගිකයා වන ඉන්දියාවට 2019 මැයි මාසයේ පසු ටෙහෙරානයෙන් කිසිදු භාණ්ඩ තොගයක් ලැබී නොමැති බව ඉන්දියාව පවසයි.
එහෙත් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සැපයුම් අඩාල කර ඇති මැදපෙරදිග ගැටුම මධ්‍යයේ ඉන්දියානු පිරිපහදුකරුවන් ඉරාන තෙල් මිලදී ගෙන ඇති බව තෙල් අමාත්‍යාංශය සෙනසුරාදා පැවසීය.
ලෝකයේ තුන්වන විශාලතම තෙල් ආනයනකරු සහ පාරිභෝගිකයා වන ඉන්දියාවට 2019 මැයි මාසයේ සිට ඉරාන බොරතෙල් මිලදී නොගන්නා ලෙස එක්සත් ජනපදය දැඩි පීඩනයක් එල්ල කිරීමේ හේතුවෙන් සැපයුම් බාධා රටට බලපා ඇත.
ජපානයේ තවත් නෞකාවක් ඉතා ආරක්ෂිතව හෝමූස් සමුද්‍ර සන්ධිය තරණය කර ඇති අතර එරටට අයත් තවත් නෞකා 45ක් පමණ එහි සිරවී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
තවත් මිසයිල ප්‍රහාර...

ගල්ෆ් රාජ්‍යයන්, ඉරාකය සහ ඊශ්‍රායලය වෙත තවත් මිසයිල ප්‍රහාර එල්ල කළ අතර, බාධා කළ මිසයිලවල සුන්බුන් වැටීමෙන් හානි සිදුවිය.
මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ ඊජිප්තුවේ විදුලිබිල ඉහළ දැමීමට තීරණය කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පැවසීය.
විරුද්ධවාදීන්ට සහාය පළ කරන ඉහළ පෙළේ පුද්ගලයින් 100කට වැඩි පිරිසක්ගේ වත්කම් අත්පත් කරගැනීමට සහ බැංකු ගිණුම් අත්හිටුවීමට ටෙහෙරාන් අභිචෝදක කාර්යාලය නියෝග කර තිබේ.
තෙල් සම්බන්ධ දිනපතා වාර්තාව. ජේ.පී. මෝගන් !
අවපාතයක් ඇති කළ හැකි "ආර්ථික කාල බෝම්බයක්"
2026 අප්‍රේල් මස මුල් භාගය වන විට, හෝමූස් සමුද්‍ර සන්ධියේ බාධාවන් කේන්ද්‍ර කරගත් වර්ධනය වන ගෝලීය බලශක්ති අර්බුදයක් පිළිබඳව J.P. මෝගන් විශ්ලේෂකයින් දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, එය අවපාතයක් ඇති කළ හැකි "ආර්ථික කාල බෝම්බයක්" ලෙස විස්තර කර ඇත.
2026 මැයි මැද භාගය දක්වා බාධාවන් දිගටම පැවතුනහොත් ඩොලර් 150 දක්වා ඉක්මවීමේ ඉහළ යාමක්?
වර්තමාන අර්බුදයේ ප්‍රධාන අංග (2026 අප්‍රේල්):
* හෝමූස් සමුද්‍ර සන්ධියේ බාධා:
මැද පෙරදිග පවතින මිලිටරි ආතතීන් ලෝකයේ තෙල්වලින් 20% ක් හසුරුවන මෙම තීරණාත්මක නැව් මාර්ගය හරහා තෙල් ප්‍රවාහනයට දැඩි ලෙස බාධා කර ඇති අතර, එමඟින් ටැංකි නැව් මෙම මාර්ගයෙන් වැළකී සිටීමට බල කෙරෙයි.
* තෙල් මිල පුරෝකථනයන්:
ජේ.පී. මෝගන් ප්‍රක්ෂේපණය කරන්නේ තෙල් මිල කෙටි කාලීනව බැරලයකට ඩොලර් 120–130 දක්වා ඉහළ යා හැකි බවත්, 2026 මැයි මැද භාගය දක්වා බාධාවන් දිගටම පැවතුනහොත් ඩොලර් 150 ඉක්මවීමේ ඉහළ අවදානමක් ඇති බවත්ය.
* භෞතික සැපයුම් හිඟය:
තත්ත්වය "තෙල් මිල අර්බුදයක" සිට "භෞතික හිඟ අර්බුදයක්" දක්වා පරිණාමය වෙමින් පවතින අතර, අප්‍රේල් මැද භාගය වන විට ආසියානු රටවල තෙල් සංචිත අඩු විය හැකි බවත්, ඉක්මනින්ම යුරෝපීය සැපයුම්වලට දැඩි පීඩනයකට මුහුණ දිය හැකි බවත් වාර්තා පෙන්වා දෙයි.
(සටහන | සේන සූරියප්පෙරුම)
ආර්ථික සහ මූල්‍ය විශ්ලේෂක
sapsuriyapperuma@gmail.com




