ඒ අනුව සිංහල අලුත් අවුරුදු සමයේ සොබාදහමෙන් අපට ලැබෙන මියුරුතම දායාදය වන කොවුල් නාදය ක්‍රමයෙන් මැකී යාම වත්මන් සමාජයේ කතාබහට ලක්විය යුතු කරුණකි.
ඉහත සඳහන් අන්දමට ශ්‍රී ලාංකේය සංස්කෘතිය හා සාහිත්‍යය පෝෂණය කළ මෙම මනරම් නාදය අද වන විට ළමා පරපුරට පවා ආගන්තුක අත්දැකීමක් බවට පත්වෙමින් තිබීම ඊට හේතුවයි.එමෙන්ම කොහෝ නාදය යනු සිංහල අලුත් අවුරුද්දක් එළඹීම හා සම්බන්ධ නිල සංඥාව බවත් කවර හේතුවක් මත හෝ කොහෝ හඬකින් තොරව සමරන සිංහල අලුත් අවුරුද්ද කිසි ලෙසකින් පරිපූර්ණ නොවන බවටත් පාරම්පරික ජන විශ්වාසයක් අප සමාජයේ පැවතුණි.
කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති වුවද ඉන් පැවසෙන ලද්දේ එළඹෙන වසර තුළ කිසිදු සුබ දායක තත්වයක් ඇති නොවී අසුබ ඵල උදා වේ නම් එවන් අලුත් අවුරුදු වල දී ද කොහෝ නාදය නොඇසෙන බවකි.මීට දශක කිහිපයකට පෙර එළැඹි එවන් අසුබ දායක අලුත් අවුරුදු සම්බන්ධ ජන විශ්වාස පැවතිය ද ඒවායේ සත්‍යතාව තහවුරු කිරීමට අපට නොපුළුවන.
කොහා (ගැහැණු)
සිංහල අලුත් අවුරුදු උදාවත් සමඟ අපට සමීපතම පක්ෂියා වන්නේ ආසියාතික කොහා (Asian Koel) හෙවත් විද්‍යාත්මකව Eudynamys scolopaceus ලෙස හඳුන්වන පක්ෂියායි. Cuculidae කුලයට අයත් මෙම පක්ෂියා මූලිකවම පරපුටු (Brood Parasite) පක්ෂියෙකු ලෙස ප්‍රකටය. සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයේදී කොහෝ නාදය උපරිමයෙන් ඇසෙන්නේ උන්ගේ අභිජනන සමය එම කාලසීමාව තුළ ආරම්භ වන බැවිනි.
පිරිමි සතා දිලිසෙන කළු පැහැයෙන් සහ රතු ඇස්වලින් යුක්ත වන අතර, ගැහැනු සතා දුඹුරු පැහැති වයිරම් සහ තිත් සහිත දේහයකින් සමන්විත වේ.
කොවුල් නාදය යනු හුදෙක් සංස්කෘතික සංකේතයක් පමණක් නොව, එය එම පක්ෂීන්ගේ ජීව විද්‍යාත්මක අවශ්‍යතාවන් හා බැඳුණු ප්‍රබල සන්නිවේදන ක්‍රියාවලියකි. විද්‍යාත්මකව විමසා බැලීමේදී කොවුල් හඬෙහි සැබෑ අරුත ලෙස හඳුනාගත හැක්කේ එය ඔවුන්ගේ ප්‍රජනන සමය හා සබැඳි ලිංගික සන්නිවේදනයක් ලෙසිනි. විශේෂයෙන්ම පිරිමි සතුන් විසින් තමාගේ බල ප්‍රදේශය සලකුණු කිරීමටත්, ගැහැනු සතුන් ආකර්ෂණය කර ගැනීමටත් මෙම නාදය භාවිත කරනු ලබයි.
කොහා(පිරිමි)වර්තමානය වන විට ගෝලීය උණුසුම ඉහළ යාම හා පාරිසරික විපර්යාසයන් හමුවේ මෙම සත්ව චර්යාවන්හි පවා කැපී පෙනෙන වෙනස්කම් දක්නට ලැබේ. බාහිර පරිසරයේ උෂ්ණත්වය අධික ලෙස ඉහළ යන විට තම ශරීර ශක්තිය හා ජල සංයුතිය රැක ගැනීම පිණිස, දිවා කාලයේ දැඩි හිරු රශ්මිය පවතින වේලාවන්හි සෙවණ දෙන තුරුලිය අතර නිහඬව සිටීමට මෙම පක්ෂීන් වැඩි නැඹුරුවක් දක්වන බව පරිසරවේදීහු පෙන්වා දෙති.
ශ්‍රි ලංකාවේ වියළි කලාපයේ බහුල නිල්මල් කොහා වැනි විශේෂ තමන්ගේම කූඩු තනා ගත්තද, ‘අවුරුදු කොහා’ ලෙස හඳුන්වන ආසියාතික කොහා ප්‍රධාන වශයෙන් බිත්තර දැමීම සඳහා කපුටු කූඩු භාවිතා කරයි. ඔවුන්ගේ බිත්තර මිලිමීටර 31×23 ක පමණ ප්‍රමාණයෙන් යුක්ත වන අතර අළු පැහැයට හුරු ස්වභාවයක් ගනී. නාගරීකරණය හේතුවෙන් කපුටන්ගේ වාසස්ථාන ද වෙනස් වී ඇති අතර, කොවුලන්ට තමන්ගේ වර්ගයා බෝ කිරීමට සුදුසු ආරක්ෂිත වටපිටාවක් සොයා ගැනීම අසීරු වී ඇත. මෙම පක්ෂීන්ගේ වාර්ෂික ප්‍රජනන චක්‍රයේ සිදුවන වෙනස්කම් ද මීට බලපා තිබේ.
එරබදු අත්තක වසා සිටින කොහාමීට අමතරව, කොවුල් හඬ අවප්‍රමාණ වීමට බලපාන තවත් සුවිශේෂී කරුණක් වන්නේ වාසස්ථාන අහිමි වීම නිසා ඇති වන මානසික ආතතිය සහ නළා හඬ, යන්ත්‍ර සූත්‍ර හඬ ආදිය මුල් කොට ගත් අධික ශබ්ද දූෂණයයි. මෙම බාහිර ශබ්ද පක්ෂීන්ගේ සන්නිවේදන තරංගවලට බාධා පමුණුවන අතර, එය ඔවුන්ගේ නාද කිරීමේ රටාව අඩාල වීමට ද හේතු වේ. දේශගුණික විපර්යාසයන් හේතුවෙන් පක්ෂීන්ගේ සංක්‍රමණික රටාවන් සහ හැසිරීම් වෙනස් වීමත්, කෘෂිකාර්මික කටයුතුවලදී භාවිත කරන අධික රසායනික ද්‍රව්‍ය නිසා පක්ෂි ගහනය අඩුවීමත් මෙම ඛේදවාචකයට තවත් හේතු වේ.
මෑතකදී සිදු කළ විමර්ශනවලට අනුව කොළඹ මාදම්පිටිය වැනි ප්‍රදේශවල කොහෝ ගහනය වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ එම ප්‍රදේශවල පවතින අධික කසළ සහ ඒ ආශ්‍රිතව වෘක්ෂ ගහනයක් පැවතීම නිසාවෙනි. එවන් පරිසර පද්ධතීන් තුළ කසළ බහුල වීම කපුටු ගහනය ඉහළ යාමට හේතු වන අතර, එමඟින් කොහාට බිත්තර දැමීමට අවශ්‍ය සත්කාරක කූඩු (Host nests) පහසුවෙන් නිර්මාණය වේ.
මාදම්පිටිය කසල රඳවනයඅවසාන වශයෙන්, මිනිසා පරිසරයෙන් ඈත්වීම නිසා කොවුල් හඬ වැනි සොබාදහමේ සුවිශේෂී සලකුණු කෙරෙහි දක්වන අවධානය ගිලිහී යාම ද මෙම සංස්කෘතික හා පාරිසරික වටිනාකම අපෙන් ගිලිහී යාමට හේතු වී ඇති බව පැහැදිලිය.
ශ්‍රී ලංකාවට ආවේණික වත රතු මල් කොහා වැනි දුර්ලභ විශේෂ සීමිත වන ලැහැබ්වලට සීමා වී සිටින අතර, කවුඩු කොහා, උකුසු කොහා සහ ගෝමර කොණ්ඩ කොහා වැනි විශේෂ ද පාරිසරික වෙනස්කම් මත තම හැසිරීම් රටා වෙනස් කර ගනිමින් සිටියි. සිංහල අවුරුදු සමයේ අපට ඇසෙන කොවුල් හඬ මැකී යමින් පවතින්නේ හුදෙක් සත්ව ලෝකයේ වෙනසක් නිසාම නොව, මිනිසා විසින් පරිසරයට සිදු කරනු ලබන දැඩි බලපෑම්වල ඍජු ප්‍රතිඵලයක් ලෙස බව වටහාගෙන සොබාදහම සුරැකීමට අප කටයුතු කළ යුතුය.
නමුත් ඒ අඩුව සපිරීමට මෙන් මේ දිනවල විද්‍යුත් මාධ්‍යවලින් ඉලෙක්ට්‍රොනික කොවුල් හඬවල් ප්‍රචාරය කරනු අසන්නට ලැබේ. එහෙත් එය සිංහල අලුත් අවුරුද්ද නම් ජන සංස්කෘතිකාංගයේ වත්මන් ඛේදවාචකය කියා පාන සංකේතයක් බඳුය.

(සටහන | ඒ.ජී රේණුකා දමයන්ති)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com
(උපුටා ගැනීම - vinivida.lk)




