හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද එසේ සිතූ අතර, මෘදු යටිතල පහසුකම් සඳහා ම වෙන් වූ උපදේශකවරයෙකු ඇයට සිටියේය. එහෙත්, මෙම ලිපිය ප්‍රවාහනය, බලශක්තිය, ජලය සහ ඒ හා සමාන ඝන යටිතල පහසුකම් පිළිබඳව වේ. ඒවායේ වැදගත්කම පිළිබඳ පැහැදිලි කිරීම් අනවශ්‍ය වේ. අරගලය නිර්මාණය කිරීමට හේතු වූ, 2022 වසරේ මාර්තු මාසයේ ක්‍රියාත්මක කළ පැය 13ක විදුලි කප්පාදුව පිළිබඳව නැවත සිහිපත් කිරීම පමණක් ඒ සඳහා ප්‍රමාණවත්ය.
යටිතල පහසුකම් අත්‍යවශ්‍ය නම්, ඒවා ලබා ගත හැකි බව සහතික කිරීම රජයේ වගකීම වේ. ඉන් අදහස් වන්නේ ඒවා නොමිලේ ලබා දිය යුතු බව හෝ දැරිය හැකි මිලකට ලබා දිය යුතු බව නො වේ. ‘ලබා ගත හැකි බව’ සහ ‘දැරිය හැකි මිල’ අතර වෙනස හඳුනා ගැනීම වැදගත්ය. ඇතැම් විට, දැරිය හැකි මිල පිළිබඳව පමණක් දැඩි ලෙස අවධානය යොමු කිරීම හේතුවෙන් ලබා ගත හැකි බවට හානි සිදු වේ. මෙම ගැටලු දෙක විසඳීම සඳහා වෙනස් ප්‍රතිපත්තිමය සාධන භාවිත කළ යුතුය.
සැපයුම් සීමා කිරීම්

ගල් අඟුරු ප්‍රසම්පාදනය හැර බොහෝ දුරට රජයේ පාලනයෙන පරිබාහිර සාධක ඉන්ධන ලබා ගත හැකි බව කෙරෙහි බලපා ඇත. මෙය ඉන්ධන භාවිතා කර කරන සියලුම කාර්යයන් සඳහා අදාළ වුවද, දැනට විදුලිය උත්පාදනය සඳහා භාවිත කරන ඉන්ධන කෙරෙහි පමණක් අවධානය යොමු කරමු. පසුගිය වසර 57ක කාලය පුරා ශ්‍රී ලංකාව විසින් රජය සතු පිරිපහදුවක් ක්‍රියාත්මක කරනු ලබයි. එය කුඩා මෙන්ම යල් පැන ගිය එකක් වන අතර, පරිමාණානුකූල ව ආර්ථිකයේ වාසි (economies of scale) ලබා ගැනීමට ඉන් අවස්ථාව ලබා දෙන්නේ නැත. එහෙත්, එයින් ගුවන් යානා ඉන්ධන සහ විදුලි බලාගාර සඳහා අවශ්‍ය නැප්තා නිපදවනු ලබයි.
මාර්තු 24 සහ 25 අතර කාලය තුළ පැමිණීමට නියමිතව තිබූ මෙට්‍රික් ටොන් 90,000ක ඛනිජ තෙල් නැවක් පැමිණ නැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා මෑතකදී පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය. “අපට පිරිපහදුව ක්‍රියාත්මක කළ හැක්කේ ලබන මාසයේ මැද භාගය දක්වා පමණයි” යනුවෙන් සභාපතිවරයා පැවසීය. සභාපතිවරයා කියන ආකාරයට අප්‍රේල් මාසය සඳහා කිසිදු ඛනිජ තෙල් නැවක් පැමිණීමට නියමිත නො වේ. නමුත් ජනාධිපතිවරයා අප්‍රේල් 7දා කීවේ මාර්තු නැව් දෙකක් නාවද, අප්‍රේල් මස නැවක් එන බවයි. ජූනි මාසය සඳහා එක් තොගයක් සැලසුම් කර ඇත.
පිරිපහදුවට නැප්තා සැපයීමට නො හැකි වූ විට, විදුලි බලාගාර සඳහා වෙනත් මිල අධික ඉන්ධන භාවිත කිරීමට සිදු වේ. සභාපතිවරයා ප්‍රකාශ කළ පරිදි, “අපට නැප්තා ලබා ගත නො හැකිය. ඒ වෙනුවට, අපට ඩීසල් භාවිත කිරීමට සිදු වී ඇත.... මෙතැන් පටන්, රාත්‍රී කාලයේදී ඔබට ලැබෙන විදුලිය ඩීසල් මගින් උත්පාදනය කෙරෙනු ඇත.”
එහෙත්, ඩීසල් සැපයුමෙහි ද සීමා කිරීම් පවතී. ප්‍රසම්පාදන සහ කොන්ත්‍රාත් කළමනාකරණයේ ඇති වූ දූෂිත ක්‍රියා හෝ අකාර්යක්ෂමතාව හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ නිෂ්පාදනය අඩු වී ඇත. එසේම, නැප්තා ලබා ගත නො හැකි තත්ත්වයක් ද උද්ගත වී තිබේ. මේ හේතුවෙන්, මිල අධික ඩීසල් භාවිත කිරීම හෝ කාර්යබහුල (සවස) වේලාවන්හිදී විදුලිය කප්පාදු කිරීම හැර වෙනත් විකල්පයක් ඉතිරි වී නැත. ලබා ගත හැකි බව සහතික කිරීම සඳහා දැරිය හැකි මිල බාධාවක් වන්නේ මෙවැනි අවස්ථාවලදීය.
ඩීසල් දහනය කිරීමෙන් විදුලිය උත්පාදනය කිරීම අධික පිරිවැයක් සහිත කටයුත්තකි. එහෙත්, විදුලිය කප්පාදු කිරීම, විශේෂයෙන්ම සැලසුම් නො කළ හෝ දීර්ඝ කාලීන විදුලි කප්පාදුවක් සිදු කිරීම හේතුවෙන් ආර්ථිකයට දැරීමට සිදු වන පිරිවැය ඊට වඩා විශාලය. නරක් වූ ආහාර පිරුණු ශීතකරණයක් හිමි සිල්ලර වෙළෙන්දෙකු ‘දැරිය හැකි මිලට’ වඩා ‘ලබා ගත හැකි බව’ වැදගත් වන බව තහවුරු කරනු ඇත.
2022 වසරේ පැය 13ක විදුලි කප්පාදුවට හේතු වූ ඩොලර් හිඟය 2026 වසරේදී දක්නට නො ලැබේ. වර්තමාන ගැටලුව වන්නේ ඛනිජ තෙල් සහ ඒ හරහා නැප්තා ලබා ගත නො හැකි වීම මෙන්ම ඩීසල් සැපයුමේ ඇති විය හැකි හිඟයයි. දැවි තෙල් සැපයුම ද අවිනිශ්චිත තත්ත්වයක පවතී. අප්‍රේල් 14 වැනි දින වන විට දැවි තෙල් නැවක් පැමිණීමට නියමිතව ඇත. එහෙත්, නැව වරායට පැමිණෙන තෙක් මේ දිනවල ඒ පිළිබඳව විශ්වාස කළ නො හැකිය. ඩීසල් අවසන් වුවහොත්, V8 වර්ගයේ වාහන මෙන්ම නෙළන ලද තේ දලු කර්මාන්තශාලා වෙත ප්‍රවාහනය කරන බට්ටා ලොරි ද ධාවනය වීම නතර වනු ඇත. ඩීසල් සහ දැවි තෙල් යන දෙවර්ගය ම නොමැති වුවහොත්, උච්ච ඉල්ලුම සහිත හැන්දෑ වේලාවන්හිදී විදුලි කප්පාදු කිරීම් අත්විඳීමට සිදු වනු ඇත.
වහාම කළ හැක්කේ කුමක් ද?

ඩීසල් සහ දැවි තෙල් ඇතුළු සියලුම ඉන්ධන සඳහා තොග ලබා ගත හැකි බව පිළිබඳ විශ්වාසදායක දත්ත සකස් කර ප්‍රකාශයට පත් කරන්න. ඩීසල් සහ දැවි තෙල් යන දෙක ම සඳහා හදිසි සැලසුම් සකස් කරන්න. ඩීසල් සම්බන්ධයෙන් ගත් කල, භාණ්ඩ ප්‍රවාහනය සහ විදුලිය උත්පාදනය සඳහා ප්‍රමුඛතාව ලබා දිය යුතුය.
පිරිවැය ප්‍රතිසාධන මට්ටමටත් වඩා ඉහළින් ඩීසල් මිල ඉහළ නැංවීම පවා යුක්තියුක්ත විය හැකිය. ඵලදායී කාර්යයන් සඳහා ඩීසල් අවශ්‍ය වන වාහනවලට එම පිරිවැය පාරිභෝගිකයන් වෙත පැවරිය හැකිය. මෙහි අරමුණ වන්නේ මෙම ඉන්ධන සඳහා ඇති ඉල්ලුම තියුණු ලෙස අඩු කිරීමයි. මේ සම්බන්ධයෙන් සලාක ක්‍රමයකට වඩා මිල ඉහළ නැංවීම යෝග්‍ය වේ. සලාක ක්‍රමයක් සමඟ අනිවාර්යයෙන්ම ඇති වන කළු කඩ වෙළඳපොළ වෙත ඉන්ධන ගලා යාම ද ඉහළ මිල ගණන් හේතුවෙන් නතර වනු ඇත.
රජය (පොලිසිය, ගිලන් රථ සහ ඒ හා සමාන වාහන හැර) ඩීසල් වාහන භාවිත කිරීම නතර කළ යුතුය. සෙසු සියලු දෙනා මෙන්ම සන්නද්ධ හමුදා ද QR කේතය මත පදනම් වූ සලාක ක්‍රමයට ඇතුළත් කළ යුතුය. ඒ සඳහා පූර්වාදර්ශයක් පවතී.

දකුණු කොරියාව මෙම මාසයේ සිට රාජ්‍ය අංශය සඳහා දින පහේ වාහන මාරු කිරීමේ චක්‍රයක් ක්‍රියාත්මක කරමින් පවතී. රාජ්‍ය අංශයේ වාහනවල බලපත්‍ර තහඩුවේ අවසන් අංකය මත පදනම්ව එම වාහන කාණ්ඩ පහකට බෙදා වෙන් කර ඇත. එක් එක් කාණ්ඩයට අයත් වාහන සඳහා නම් කරන ලද සතියේ එක් දිනක් තුළ ධාවනය කිරීම තහනම් කරමින් බලපත්‍ර තහඩු පදනම් කරගත් සලාක ක්‍රමයක් ක්‍රියාත්මක වේ. මෙම ක්‍රමය නිසි පරිදි අනුගමනය කරන්නේ දැයි රජය විසින් දැඩි ලෙස නිරීක්ෂණය කරනු ඇත. විදුලිය සහ හයිඩ්‍රජන් මගින් ධාවනය වන වාහන මින් නිදහස් කර ඇත.
විදුලිය උත්පාදනය සඳහා ඩීසල් සුරක්ෂිත කිරීමේ මෙවැනි උත්සාහයන් අසාර්ථක වුවහොත් සහ අපේක්ෂිත පරිදි දැවි තෙල් නො ලැබුණහොත්, අතීතයේ භාවිත කළ ක්‍රමවේද හරහා සැලසුම් සහගතව විදුලිය කප්පාදු කිරීම හැර වෙනත් විකල්පයක් ඉතිරි නො වනු ඇත. විශේෂයෙන්ම ඩීසල් මිල ඉහළ නැංවීමෙන් පසු සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි විදුලි ජනක යන්ත්‍ර QR කේතය මත පදනම් වූ සලාක ක්‍රමයට ඇතුළත් කිරීමෙන් පසු, පුරෝකථනය කරන ලද තොග තත්ත්වය මත පදනම්ව මෙම සීමිත විදුලි කප්පාදු කිරීම් කල්තියා හඳුන්වා දීමේ වැදගත්කමක් තිබිය හැකිය. මිල අධික ඩීසල් ලබා ගැනීම හෝ කාර්යබහුල වේලාවන්හිදී පැය දෙකක් විදුලිය නොමැතිව කටයුතු කිරීම යන විකල්ප දෙකෙන් එකක් තෝරා ගැනීමට පෞද්ගලික ආයතනවලට අවස්ථාව ලබා දිය යුතුය.

මෙම පියවර පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීම සඳහා රජයට විශ්වාසදායක එක් ප්‍රකාශකවරයෙකුගේ අවශ්‍යතාව පවතී. මෙතෙක් පැවති ක්‍රමය වූයේ නිලධාරිවරුන්, අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සහ ජනාධිපතිවරයා විසින් සම්පූර්ණයෙන්ම සත්‍ය නො වන සහ පරස්පර විරෝධී ප්‍රකාශ නිකුත් කර, පසුව ඒවා සීරුවෙන් වෙනස් කිරීමයි. අසත්‍ය හෝ අසම්පූර්ණ ප්‍රකාශ පහසුවෙන් හෙළිදරව් කළ හැකි වර්තමාන සන්දර්භය තුළ මෙම ක්‍රමය තවදුරටත් සාර්ථක වන්නේ නැත.
ප්‍රකාශකවරයකු ලෙස බලශක්ති අමාත්‍යවරයා වඩාත් සුදුසු වනු ඇත. එහෙත්, වත්මන් අමාත්‍යවරයාට ඒ ශක්‍යතාවය නැත. කැබිනට් මණ්ඩල සංශෝධනයක් සඳහා වන ප්‍රබලතම හේතුව මෙය විය හැකිය.
(සටහන | මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික
rohan@lirneasia.net
Chair, LIRNEasia (www.lirneasia.net)
Twitter: @samarajiva
https://www.linkedin.com/in/rohan-samarajiva-39199918/
Most recent publication: https://journals.sagepub.com/doi/full/10.1177/14614448221143428
Most recent book: https://www.idrc.ca/en/book/infocus-information-lives-poor-fighting-poverty-technology




