ඊශ්‍රායල සහ එක්සත් ජනපද හමුදා ඉකුත් පෙබරවාරි 28 දා ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග යුද්ධය ආරම්භ විය. ඒ සමග, ඊශ්‍රායලය, ගල්ෆ් කලාපයේ පිහිටි එක්සත් ජනපද කඳවුරු සහ සිවිල් ආයෝජන වෙත ඉරානය ප්‍රති ප්‍රහාර එල්ල කළේය. ලෙබනනයේ නව පෙරමුණක් බිහි විය.
ඉරානය:
එක්සත් ජනපදයේ සිට ක්‍රියාත්මක HRANA මානව හිමිකම් කණ්ඩායමට අනුව, ඉරානයේ, යුද්ධයෙන් ඝාතනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 3,636කි. ඉන්, 1,701ක් සිවිල් වැසියන් බවත්, 254ක් ළමුන් බවත් එම වාර්තා පවසයි.
එම සංඛ්‍යා ලේඛන ක්ෂේත්‍ර වාර්තා, අභ්‍යන්තර සබඳතා, වෛද්‍ය සහ හදිසි සේවා ආරංචි මාර්ග මත පදනම් දත්ත අනුසාරයෙනි.
රතු කුරුස සංවිධානයට සහ රතු අඩ සඳ සංවිධානයට අනුව, ඉරානයේ යුද්ධයෙන් අහිමි වූ මිනිස් ජීවිත සංඛ්‍යාව 1,900කි. එක්සත් ජනපද - ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මෙතෙක් තුවාළ ලද සංඛ්‍යාව 20,000 ඉක්මවයි.
එහෙත්, පසුගිය මාර්තු 4 වන දා ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු සීමාවේ දී ඉරාන යුද නෞකාවක් වෙත එල්ල වූ එක්සත් ජනපද ටෝපිඩෝ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්, ඉරාන ජාතිකයින් 104 දෙනකු ඉහත සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් දැයි, මෙතෙක් හඳුනා නැත.
ලෙබනනය:
මාර්තු 2 දා සිට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ලෙබනනයේ පුද්ගලයින් 1,530 දෙනකු ඝාතනයව ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීහු පවසති. ඊට ළමුන් 129ක් ඇතුළත් ය.
මාර්තු 2 දා සිට ඊශ්‍රායල හමුදා සමග පැවති ගැටුම් හේතුවෙන් හිස්බුල්ලා කැරළි කරුවන් 400කට අධික පිරිසක් ඝාතනය විය. එම පුද්ගල මරණ, ලෙබනන බලධාරීන් විසින් ඉදිරිපත් කළ සමස්ත මරණ සංඛ්‍යාවට ඇතුළත් දැයි අනාවරණය නොවේ.
එම ගැටුම් අතරතුර අවම වශයෙන් ලෙබනන හමුදා භටයින් 10 දෙනකුවත් ඝාතනය ව ඇතැයි, එම හමුදා පවසති. ඉන් බහුතරය ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, දකුණු ලෙබනනයේ පැවති සටන් වලිනි.
මේ අතර, දකුණු ලෙබනනයේ ගැටුම් අවස්ථා දෙකක දී එක්සත් ජාතීන්ගේ සාම සාධක බලකායට අයත් ඉන්දුනීසියානු ජාතිකයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඉන්, එක් පුද්ගල මරණයක් මාර්ගස්ථ පිපිරීමකදී සිදු වූ අතර අනෙක් මරණ මිසයිල හෝ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් සිදු විය.
ඉරාකය:
ඉරාන යුද්ධයෙන් ඉරාකයෙන්, අවම වශයෙන් පුද්ගල මරණ 117ක් වාර්තා වන බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසති. ඒ අතර, එරට සිවිල් වැසියන්, ඉරාන හිතවාදී ෂිඅයිට් සන්නද්ධ පිරිස්, එක්සත් ජනපද හිතවාදී කුර්දිපෙෂ්මෙර් ගා සටන් කරුවන්, පොලිස් සහ හමුදා සාමාජිකයෝ ද වෙත්.
ඉරාක වරායයක් ආසන්නයේ වූ ඉන්දන නෞකා වෙත එල්ල කළ ප්‍රහාරයකින් එක් විදෙස් නාවිකයකු ජීවිතක්ෂයට පත් විය.
ඊශ්‍රායලය:
ඉරානයේ සහ ලෙබනනයේ සිට මුදා හරින ලද මිසයිල හේතුවෙන් ඊශ්‍රායලයේ පුද්ගලයින් 23 දෙනකුට දිවි අහිමි විය. දකුණු ලෙබනනනයෙදී ඊශ්‍රායල භටයින් 11 දෙනෙක් ද ජීවිතක්ෂයට පත් වූහ.
ලෙබනන දේශ සීමාවේ මාර්තු 22 දා ඊශ්‍රායල හමුදා අත්වැරදීමකින් සිදු කළ වෙඩි තැබීමකින් ඊශ්‍රායල ගොවියකු ජීවිතක්ෂයට පත් විය.
එක්සත් ජනපදය:
මෙවර යුද්ධයෙන් එක්සත් ජනපද හමුදා සාමාජිකයින් 13දෙනෙක් ජීවිතක්ෂයට පත්ව 300කට අධික පිරිසක් තුවාළ ලදහ.
ඉරාකයට ඉහළ අහසේ සිදුවූ ගුවනේ ඉන්දන බෙදා හරින එක්සත් ජනපද හමුදා ගුවන් යානා අනතුරින් එහි කාර්ය මණ්ඩලයේ සය දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර අනෙක් හමුදා සාමාජිකයින් සත් දෙනා ඉරානයට එරෙහි සනද්ධ මෙහෙයුමේදී ජීවිතක්ෂයට පත් වූහ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය:
ඉරාන ප්‍රහාර හමුවේ, හමුදා භටයින් දෙදෙනකු ඇතුළු පුද්ගලයින් 12 දෙනකු ජීවිතක්ෂයට පත් විය. අබු ඩාබි හබ්ෂාන් ගෑස් කම්හල වෙත පතිත වූ ගුවනේ නිෂ්ක්‍රීය කෙරුණු ප්‍රහාර සුන්බුන් හේතුවෙන් ආසන්නතම පුද්ගල මරණ වාර්තා විය.
කටාර් රාජ්‍යය:
කටාර් රාජ්‍යයට අයත් කලාපීය මුහුදු සීමාවට ඉහළ අහසේ මාර්තු 22 දා සිදු වූ බිහිසුනු හෙලිකොප්ටර අනතුරකින් පුද්ගලයින් සත් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. සාමාන්‍ය ආරක්ෂක පියාසැරියක් අතර සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එම අනතුර සිදු විය.
එසේ ජීවිතක්ෂයට පත්වූවන් ගෙන් සිව් දෙනකු කටාර් ආරක්ෂක හමුදා සාමාජිකයෝ වෙත්. අයකු කටාර් - තු ර් කි ඒකාබද්ධ හමුදාවන්ට අයත් තුර්කි ජාතික හමුදා නිලධාරියෙක් වූ අතර, දෙදෙනෙක් තුර්කි ජාතික තාක්ෂණ වෘත්තිකයෝ වූහ.
කුවේටය:
යුද්ධයෙන් කුවේටයේ පුද්ගල මරණ හතක් වාර්තා විය. ඉරාන ප්‍රහාරයන්ගෙන් ජීවිතක්ෂයට පත් සාමාන්‍ය වැසියන් තිදෙනකු, අභ්‍යන්තර අමාත්‍යංශ නිලධාරීන් දෙදෙනකු සහ හමුදා භටයින් දෙදනකු ඊට ඇතුළත් ය.
බටහිර ඉවුර:
ඊශ්‍රායලය විසින් අත්පත් කර සිටින බටහිර ඉවුරේ එල්ල කළ ඉරාන මිසයිල ප්‍රහාරයකින් පලස්තීන කාන්තාවන් සිව් දෙනකු ඝාතනය විය.
සිරියාව:
පෙබරවාරි 28 දා දකුණු සිරියාවේ ස්වෙයිදා නුවර ගොඩනැගිල්ලක් වෙත එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් සිව් දෙනකු ජීවිතක්ෂයට පත් විය.
බහ්රේන්:
අවස්ථා දෙකකදී එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ බහ්රේන් හි පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත් විය. ඉන්, ආසන්නතම සිදුවීම මැනමා අගනුවර නේවාසික ගොඩනැගිල්ලක් වෙත එල්ල වූ ප්‍රහාරයකි.
මාර්තු 24 දා එල්ල වූ ඉරාන ප්‍රහාරයකින් එහි මොරොක්කෝ ජාතික කොන්ත්‍රාත්කරුවකු ජීවිතක්ෂයට පත් විය.
ඕමානය:
සොහාර් පළාතේ කාර්මික කලාපයකට මාර්තු 13 දා එල්ල කරන ලද ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගල මරණ දෙකක් වාර්තා විය.
එක්සත් ජනපදය සහ ඉරානය අතර සාකච්ඡා පිණිස මැදහත්කරුවකු ලෙස කටයුතු කළ ඕමානය තුළ ඉරාන යුද්ධයෙන් සිදු වූ පළමු පුද්ගල මරණ ලෙස එය සටහන් වේ. මස්කට් වෙරළ තීරයට ඔබ්බෙන් වූ ඉන්දන නෞකාවකට එල්ල කළ ඉරාන ප්‍රහාරයකින් තවත් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් විය.
සෞදි අරාබිය:
අල් - ඛාර්ජ් නගරයේ නේවාසික ස්ථානයකට පතිත වූ මිසයිලයකින් පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත් විය.
ප්‍රංශය:
උතුරු ඉරාකයේ එල්ල කළ ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් එහි ප්‍රති-ත්‍රස්ත පුහුණුව දෙමින් සිටි ප්‍රංශ හමුදා භටයකු ජීවිතක්ෂයට පත්ව, තවත් සය දෙනෙක් තුවාළ ලදහ.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
4/8/2026
(harshaprs@yahoo.com)
මුලාශ්‍රය :
How many people have been killed in the Iran war?




