2026 ජනවාරි සිට සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂය කරළියට ගෙනා මාලිමා ආණ්ඩුවේ බාල ගල්අඟුරු වංචාව දැන් මහපොලවේ සත්‍යයක් බව තහවුරු වී ඇත්තේ, පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත්වූ විගණකාධිපති වාර්තාව නිසාය.
එම වාර්තාවට අනුව ගල්අඟුරු සැපයුම්කරු ටෙන්ඩර් ක්‍රියාවලියේ සිටම වංචාවක් කර ඇති බවත්, බාල ගල්අඟුරු ලංකාවට රැගෙනවිත් ඇති බවත්, ගල්අඟුරුවල ගුණාත්මකභාවය මැණීම සිදුකළ රසායනාගාර එවැනි දෑ සඳහා සුදුසුකම් අලුත්කරගෙන නොමැති බවත්, බාල ගල්අඟුරු නිසා නොරොච්චෝල තාප බලාගාරයෙන් දෛනිකව විදුලි බල පද්ධතියට ලබාදෙන මෙගාවොට් ප්‍රමාණයේ අඩුවක් සිදුව ඇති බවත්, විගණනයට ලක්කළ බාල ගල්අඟුරු නැව් 8ක පාඩුව පමණක් රුපියල් කෝටි 849ක් බවත් හෙළිදරව් වී හමාරය.

අඟහරුවාදා එළියට ආ වාර්තාව විදුලි වේගයෙන් මුළු රටටම සන්නිවේදනය විය.
මේ වාර්තාවට අනුව දූෂණයක් සිදුව ඇති බව තහවුරුවීමත් සමඟ විපක්ෂය විදුලිබල ඇමති පුණ්‍ය කුමාර සහ ජනාධිපති අනුර කුමාර ඇතුළු ආණ්ඩුවට එළව, එළවා පහර දෙන්නට තීන්දු කළේය.
ඇමති පුන්‍ය කුමාරට එරෙහිව විපක්ෂය එක මිටට
විගණකාධිපති වාර්තාව හෙළිදරව් වීමත් සමඟ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වහාම සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම අවස්ථා දෙකකදී කැඳවා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ජා කළේය.
එහිදී තීන්දු කෙරුණේ, බාල ගල්අඟුරු වංචාව ගැන රටටම හෙළිදරව් කරන පොදු යාන්ත්‍රණයක් සකස් කරන්නටය.
පාර්ලිමේන්තුව අසල විරෝධයක්
සමගි ජන බලවේගය දැනට රට පුරා ආසන මට්ටමින් සිදුකරගෙන යන ‘ පච මදිවට හොරු - අනුරට බෑ’ සම්මන්ත්‍රණ සහ උද්ඝෝෂණවලට අමතරව සිකුරාදා පාර්ලිමේන්තු වටරවුමේදී බාල ගල්අඟුරු වංචාවට එරෙහිව දැවැන්ත විරෝධතාවක් පවත්වන්නටත් තීන්දු විය.
ඊට අමතරව විදුලි බල ඇමති පුන්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමටද ඒකාබද්ධ විපක්ෂය යෝජනා කළේය.

ඇමති පුන්‍ය කුමාරට එරෙහිව විපක්ෂය එක මිටට
බාල ගල්අඟුරු වංචාවට එරෙහි විරෝධතා පැති කිහිපයකින් සහ පියවර කිහිපයකින් රටට ඉදිරිපත් කළ යුතු බවට තීන්දු කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගල්අඟුරු වංචාව පිළිබඳ තවදුරටත් විමර්ශණය කිරීම යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයාට භාර කළේය.
ඒ ඔහු ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු වංචාව පිළිබඳව සෙවීමට විවිධ ආයතනවල නිළධාරීන් කමිටුව හමුවට කැඳවමින් සිදුකළ ක්‍රියාවලියේ සාර්ථක ප්‍රතිඵල රටටම දැන් හෙළිදරව් වී ඇති පසුබිමකය.
ඉන්පසු විදුලි බල ඇමතිට එරෙහි විශ්වාසභංගය සකස් කිරීම සහ ඉදිරි නීතිමය කටයුතු සිදුකිරීමේ වගකීම සජිත් පැවරුවේ මන්ත්‍රී අජිත්ටය.
මරික්කාර්ට, අජිත්ට, හෙක්ටර්ට වගකීම් තුනක්
ඒ අනුව අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා කරුණු 6 කින් සමන්විත විශ්වාසභංග යෝජනාව සකස් කළ අතර විපක්ෂ මන්ත්‍රීවරුන් එය කථාකායකවරයාට භාරදී ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ජාවක්ද පවත්වන්නට කටයුතු කළේය.
ඊට සජබයෙන් අජිත් පී. පෙරේරා සහ හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරුන් දෙදෙනා සහභාගීවෙද්දී, විපක්ෂයේ සෙසු පක්ෂ නියෝජනය කරමින් ඩී.වී. චානක, දයාසිරි ජයසේකර, දිලිත් ජයවීර සහ රාමනාදන් අර්චුනා සහභාගී විය.
විපක්ෂයේ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ජාව
බාල ගල්අඟුරු නිසා මූල්‍යමය පාඩුවකට අමතරව ඉදිරියේදී සිදුවන පාරිසරික පාඩුව අධ්‍යනය කරන්නට විපක්ෂ නායක සජිත් වගකීම පවරා තිබෙන්නේ පුත්තලම නියෝජනය කරන මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමිටය.
පාර්ලිමේන්තුව අසල විරෝධයක්
පාර්ලිමේන්තුව අසල විරෝධයක්
බාල ගල්අඟුරු ගෙන ඒම පිටුපස ඇති වංචාවට එරෙහිව පාර්ලිමේන්තුව තුළ එවැනි ක්‍රියාකාරකම් සිදුකරද්දී, සජිත් ඇතුළු සජබය පාර්ලිමේන්තුවෙන් පිටතත් ජනතාව රැස්කරමින් මාලිමා ආණ්ඩුවේ ගල්අඟුරු වංචාවට එරෙහිව දැවැන්ත ජනතා නැගිටීමක් සිදුකළ යුතු බවට තීන්දු කළේය.
ඒ අනුව විදුලි බල ඇමතිට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් සිකුරාද උදෑසන බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම අසල ආණ්ඩුවට එරෙහි විරෝධතාවක් සංවිධානය කරන්නට පක්ෂයට දැනුම් දුන්නේය.
ඒ අනුව ‘ බාල ගල්අඟුරු වංචාව තහවුරුයි - ගල්අඟුරු හොරු පන්නමු’ විරෝධතාව සාර්ථකව ක්‍රියාත්මක කළේ කොළඹ පාක්ෂිකයින් සමගින්ය.
පාර්ලිමේන්තුව අසල විරෝධයක්
විදුලි ඇමතිගේ විශ්වාසභංගය පරදීයි
බාල ගල්අඟුරු වංචාව සිදු කළ බවට චෝදනා කරමින් විදුලිබල ඇමති පුන්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විපක්ෂය ගෙනා විශ්වාස භංගය ඡන්ද 153 ට 49 ලෙස වැඩි ඡන්ද 104 කින් ඊයේ (සිකුරාදා) පාර්ලිමේන්තුවේදී පරාජය විය.
තමන් පරදින බව දැන, දැනත් විපක්ෂය මෙම විශ්වාසභංගය ගෙනාවේ ඇයිද කියා මාලිමාවට පක්ෂ සමාජ මාධ්‍ය සහ වෙනත් පාර්ශව ප්‍රශ්ණ කරද්දී ඊට සජබ මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු පාර්ලිමේන්තු විවාදයේදී හරි අපූරු ඉතිහාස කතාවක් මතක් කර දුන්නේය.
“ එදා කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිට එරෙහිවත් අපි තමයි විශ්වාසභංගය ගෙනාවේ. එදා අපිට තිබුණේ 70යි ආණ්ඩුවට 143 තිබුනා. එදා අනුර ඒකට අත්සන් නොකළට හරිනී අගමැතිවරිය අත්සන් කළා. ඇය 2023 විපක්ෂයේ ඉද්දී එදා විශ්වාසභංග විවාදයේදී මෙන්න මෙහෙම කියනවා, - මේ ඖෂධ ගෙන්වා ඇත්තේ නිවැරදිව ලියාපදිංචි නොවූ සමාගම්වලින්. මාධ්‍ය කෙසේ කීවත් විගණකාධිපති වාර්තාවෙන් හෙළිදරව් වෙනවා, ඖෂධ ගෙන්වා ඇත්තේ නිවැරදි ක්‍රියාපටිපාටිය උල්ලංඝණය කරමින් කියලා - එදා විපක්ෂයේ මේ හරියේ වාඩිවෙලා ඉද්දී, විගණකාධිපති වාර්තාව හරී කිව්ව හරිනි අද අගමැතිවිදිහට මේ විගණකාධිපති වාර්තාවට මොකක්ද කියන්නේ. මේක වැරදිද?”
චිත්‍රාල් මතක් කළ ඉතිහාස කතාව
විවාදයට එක්වූ අජිත් පෙරේරා මන්ත්‍රීවරයා කියා සිටියේ…,
“ මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කරලා තියෙනවා, පළමු නැව් අටේ(8) පමණක් පාඩුව රුපියල් කෝටි 849 ක් කියලා. තවත් නැව් 18 විතර එන්නත් තියෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) නිකුත් කළ අලුත්ම වාර්තාවට අනුව විදුලි බිල වැඩි කරන්න ප්‍රධාන හේතුව බාල ගල්අඟුරුයි කියලාත් ප්‍රකාශ කරලාලු. දැන් ලෝක වෙළඳපොලේ තෙල් මිල හැටියට මේ පාඩුව තවත් වැඩි වේවි. ඇයි නොරොච්චෝලෙන් නිපදවන්න බැරි මෙගාවොට් ප්‍රමාණය නිපදවන්න වෙන්නේ ඩීසල් වලින්. එහෙම නැත්නම් කරන්ට් කපන්න තමයි වෙන්නේ”
මේ විශ්වාසභංග විවාදයෙන් පසු පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කළේ,
“ බාල ගල් අගුරු හොරුන්ගේ පැත්තේ ඉන්න අයත් විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඉන්න අයත් කවුද කියලා අද රටේ ජනතාවට හඳුනා ගන්න ලැබුනා. මේ ඡන්දය තුළින් මාලිමාවේ 153ක් ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු මේ රටට ගෙනාපු වංචාවට පක්ෂව අත් ඉස්සුවා. සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ 49ක් විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මේ වංචාවට සහ විදුලි බිල වැඩි කිරීමට විරුද්ධ වුනා. දූෂණයට එරෙහි වෙනවා කිව්ව ආණ්ඩුව මහදවල් කළේ මොකක්ද කියලා අද මුළු රටම දැක්කා”
සමගියට පත්වූ අලුත් සභාපති
වසරකට වැඩි කාලයක් පුරප්පාඩුව තිබූ සමගි ජන බලවේගයේ සභාපතිධූරය පුරවාලමින් සජිත් ප්‍රේමදාස විසින් පක්ෂයේ ජේයෂ්ඨයකු වන කබීර් හෂීම්ට එය ලබාදී තිබේ.
සමගියට පත්වූ අලුත් සභාපති
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් පක්ෂයේ දේශපාලන මණ්ඩලයට ඉදිරිපත්කර තිබු යෝජනාවක් අනුව එම පත්කිරීම අනුමතකර තිබේ.
කබීර් හෂීම් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇති පරිණත දේශපාලඥයකු වන අතර 2014 වසරේදී එජාප මහ ලේකම් ධුරයට පත්වූ ඔහු 2015 දී යහපාලන ආණ්ඩුව බලයට ගෙනඒමටද සුවිශාල කාර්ය භාරයක් ඉටු කළේය.
(මම | බංගලා හන්දියේ ලියුම්කරු)




