භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය, යනුවෙන් අප ඉගෙන ගත් ආර්ථික විද්‍යාවේ නිෂ්පාදන සාධක අතරට අලුතෙන්ම එක්වූයේ සමාජ ප්‍රාග්ධනයයි.
සමාජ ප්‍රාග්ධනය ගැන අප මීට පෙර අසා තිබුණේ එය සමාජ විද්‍යාත්මක යෙදුමක් බවයි. ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥයන් වන සර් හැරල්ඩ් ලැස්කිලාගේ ආර්ථික විද්‍යාවේ නොතිබූ මෙම යෙදුම ආර්ථික විද්‍යාවට හඳුන්වාදීමේ ගෞරවය හිමි වන්නේ ශ්‍රී ලංකාවේ කැබිනට් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාටය.
ඇමති ලාල්ගේ සමාජ ප්‍රාග්ධන කතාව
මෙතෙක් කල් ශ්‍රී ලාංකික දේශපාලනයේ ධන සම්පත් ගැන කතා කරද්දී නොකියැවුණු මෙම කතාව නිසා ලාල් ඇමතිවරයා ද ඉබේම ධනවතුන්ගේ ගොඩට වැටුණි. මෙයට පෙර මෙවන් කතාවක් අප අසා තිබුණේ ප්‍රබල වාමාංශික නායකයෙකු වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතාට ගිරිදර මෝලේ කිසියම් හිමිකමක් ඇතැයි ප්‍රසිද්ධ වූ කතාව පමණක් බව මගේ මතකයයි.
ලාල් කාන්ත ඇමැතිවරයා සිය සමාජ ප්‍රාග්ධනය යොදවා ඉදිකරන ලද නව නිවහනේ පැවති ප්‍රධාන ආගමික උත්සවයට ජනාධිපතිවරයා සහ අගමැතිතුමිය ද එක්වීම නිසා එම සිදුවීමේ බරසාර ගතිය තවත් වැඩි විය.
අනතුරුව ඇමති ලාල්ගේ නිවස ගැන විවිධ කතා සමාජ මාධ්‍ය විසින් පතුරවද්දී ඇමතිවරයා විසින් ප්‍රකාශ කළේ තම දෙමව්පියන් ද මිහින්තලය ප්‍රදේශයෙහි යමක් කමක් තිබූ මිනිසුන් බවය. එහෙත් ඒ සම්බන්ධව මිහින්තලේ නාහිමියන් පවසා තිබුණේ වෙනත් කතාවකි. කෙසේ නමුත් ලාල් කාන්ත ඇමතිවරයාගේ සමාජ ප්‍රාග්ධන කතාවෙන් පසු ඒ ගැන අදහස් දැක්වූ මහාචාර්ය නිර්මාල් රංජිත් බී.බී.සී (BBC) ගුවන් විදුලියට ප්‍රකාශ කළේ ලාල් කාන්ත ඇමැතිවරයා අදාළ වත්කම් සොයා ගත් ආකාරය හෙළිදරව් කළ යුතු බවයි.
කෙසේ හෝ ලාල් කාන්ත ඇමැතිවරයාගේ කතාව නිසා වත්මන් ආණ්ඩුවේ සෙසු මැති ඇමතිවරුන්ගේ තවත් මෙවන් සමාජ ප්‍රාග්ධන ව්‍යාපෘති තිබේදැයි සමාජ මාධ්‍යකරුවන් සොයා බලන්නට වූහ. එයින් එක් මාධ්‍යකරුවෙකු ‘අනාගතයේ සී.අයි.ඩී යන ඇමැති දියණියක්’ නමින් පෝස්ටුවක් පළ කරමින් එක්තරා ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකුගේ දියණියකට අයත් යැයි කියන පෞද්ගලික බැංකුවක ගිණුම් අංකය පවා සඳහන් කරමින් එම ගිණුමේ ඇති මුදල් ප්‍රමාණය ගැන ප්‍රශ්න කර තිබිණි.
ඇයගේ නම පවා එහි සඳහන් කර තිබූ අතර ඇයගේ පියා කවුද කියා ද සඳහන්ව තිබුණි.
සැප ලෝකයේ ජීවත්වන ආණ්ඩුවේ “ටිකලෝ”
ඒ අතර පැතිර ගිය තවත් කතාවකින් කියැවුණේ එක්තරා කැබිනට් ඇමැතිවරයෙකුට රජරට පළාතේ සුපිරි නිවසක් සහ ඉන්ධන පිරවුම්හලක් අයත් බවයි. ආණ්ඩුවේ කැබිනට්ටුවේ නොසිටියත් තමන් කැබිනට් මට්ටමේම සිටින බව සිතා සිටින සිය මිතුරන් විසින් “ටිකලෝ” නමින් හඳුන්වන නීතිඥයකු ද වන එක්තරා දේශපාලන භවතෙකු සිටී. ඔහුට ද සුපිරි නිවාස සහ ධන සම්පත් ඇති බවත් කියැවෙයි.
( ටිකලෝ යන යෙදුමේ තේරුම නීතිය ටිකක් දන්නා නීතිඥයා යන්නයි. ඔවුන්ට මෙම නම පටබදින ලද්දේ ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥයෙක් බව දැනගන්නට තිබේ. ප්‍රසිද්ධ නඩුවල “ටිකලෝගේ” කාර්ය වන්නේ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් සමඟ අධිකරණයට ගොස් තමන් ද ඒ නඩුවේ පෙනී සිටින බවට නඩු වාර්තාවේ සටහන් කිරීමයි. එහෙත් ඔහුට නඩුවට මැදිහත්වීමට හෝ කතා කිරීමට කිසිඳු අවස්ථාවක් හිමි නොවන්නේ, ඔහු ඒ විෂය පිළිබඳ නීතිමය කරුණු නොදන්නා නිසාය. නමුත් නඩුව අවසානයේ නඩුවේ පොර බවට පත්වන්නේ මොහුය. එය සිදුවන්නේ මෙසේය. නඩුව අවසානයේ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් පිටව ගිය පසු අධිකරණය ඉදිරිපිට මාධ්‍යට ප්‍රකාශ නිකුත් කරන්නේ ටිකලෝලා විසිනි. එය ඔවුන්ගේ ප්‍රසිද්ධිය සඳහා කදිම අවස්ථාවකි. මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ මෙන්ම මෙම අණ්ඩුවේද මේ ආකාරයේ ටිකලෝලා සිටිති. අවසානයේ ඔවුන් මෙම වැඩ නිසා පාර්ලිමේත්තු වරම් ලැබීමට පවා වාසනාවන්ත විය. )
තවත් මැති ඇමතිවරුන් ගණනාවකට කොළඹ අවට සුපිරි මහල් නිවාසවල අයිතිය ඇති බවට ද ඇතැම් මාධ්‍යවේදීහු පවසති. තමන් රාජ්‍ය නායක මට්ටමේ යැයි පවසන එක්තරා උප ඇමතිවරයෙක් තමන්ගේ ගම්පළාතේ විශාල නිවසක් ඉදිකරමින් පවතින බව ද වාර්තා වේ. මේ දිනවල මාධ්‍යයේ පුවත් මවන තවත් එක්තරා ඇමතිවරයෙකුට සුපිරි හෝටලයක් සහ සුපිරි වාහන ගණනාවක් අයත් බව කියැවේ.
ආණ්ඩුවේ සිටින මේ සියලුම නිර්ධන පන්තියේ දේශපාලනඥයන් කෙටි කාලයක් තුළ මෙතරම් හපන්කම් කළේ ඇමති ලාල් කාන්තට මෙන් ඔවුනටත් සමාජ ප්‍රාග්ධන උල්පත් පෑදීමෙන් විය යුතු බව විපක්ෂ දේශපාලනඥයන්ගේ මතයයි. මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සිය මතය ප්‍රකාශ කළ පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ කියා තිබුණේ විපක්ෂයේ අයට ධනය ලැබුණොත් ඒවා සොරකමින් ලබාගත් බවට චෝදනා කරන ආණ්ඩුවේ ලොක්කන්ට ධනය ලැබුණොත් ඒවා සමාජ ප්‍රාග්ධනය බවයි. මෙය නම් කදිම නිදහසට කරුණක් බව ද මන්ත්‍රී නාමල් වැඩිදුරටත් කීය.
ඒ අතර ලාල් කාන්ත ඇමැතිවරයාගේ වත්කම් බැරකම් ප්‍රකාශ පිළිබඳව සොයා බැලූ ඇතැම් දේශපාලනඥයන්ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ එය දැක ගැනීමට නොහැකි වූ බව සඳහන් කර තිබිණි. එම නිසා අදාළ විස්තර තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද ඔවුන් පැවසීය.
ආණ්ඩුව තැතිගත් ගල් අඟුරු හුටපටය
ඒ අතර ගල් අඟුරු හුටපටය ද ආණ්ඩුවේ පාරිශුද්ධභාවයට දැඩි පහරක් එල්ල කර තිබේ. ගල් අඟුරු නිසා ආණ්ඩුවේ ගෑවුණු දැලි සෝදා පිරිසිදු කිරීම බෙහෙවින් අසීරු කරුණක් වී ඇත. ගල් අඟුරු වංචාවක් සිදුවී නැති බව දිගින් දිගටම කැට තබා ප්‍රකාශ කළේ රාජ්‍ය නායක ජනාධිපතිවරයා විසිනි. ඔහු පාර්ලිමේන්තුවේදී ගල් අඟුරු කතාව සුද්ද පවිත්‍ර කොට පැයක් දෙකක් ගතවන්නටත් පෙර සභාගත කළ විගණකාධිපති වාර්තාවෙන් සියල්ල කණපිට හැරුණි. ප්‍රසම්පාදනයේ සිට සිදුවූ වැරදි සහ දූෂණ ක්‍රියා එමගින් අනාවරණය විය.
දූෂිත ගල් අඟුරු ගනුදෙනුවෙන් සිදුවූ දැවැන්ත පාඩුව ද රුපියල් බිලියන දහයකට වඩා අධික බව සඳහන්ය. විදුලි බිල වැඩි කිරීමට නැවතත් පද්ධති පාලන කාර්යාලය මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත්තේ මෙකී පාඩුව පියවා ගැනීමට බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයට චෝදනා කළේය. ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල අඩුවන පරාසය අනුව ඉන්ධන මිල අඩු කළ යුතු බව ද සජිත් ප්‍රේමදාස පැවසීය. අනතුරුව විපක්ෂයේ මැති ඇමතිවරුන් වූ ඩී. වී. චානක, අජිත් පී. පෙරේරා, එස්. එම්. මරික්කාර්, මුජිබර් රහුමාන් මෙන්ම හිටපු ඇමති චම්පික රණවක ද ප්‍රශ්න කරන්නට පටන් ගත්තේ ගල් අඟුරු ප්‍රශ්නයේදී ඇත්ත කියන්නේ ජනාධිපති ද, විගණකාධිපති ද කියායි.
ආණ්ඩුව මේ නිසා කොර වූ තත්ත්වයට පත්ව ඇති අතර ගල් අඟුරු විෂය භාර ඇමති කුමාර ජයකොඩි කැබිනට්ටුවෙන් ඉවත්වීම හෝ ඉවත් කරනු ඇති බවත්, එය මේ ගල් අඟුරු මරාලයෙන් ගැලවීමට ගත හැකි හොඳම පියවර බවට ද කතාවක් පැතිරෙමින් තිබිණි. ඇමතිවරයා ඉවත් කළ ද දූෂණයට එරෙහිව දැඩි හඬක් නගමින් බලයට පත් වූ මේ ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත හේතුවෙන් ඉදිරියට දූෂණ විරෝධී සටන් පාඨය භාවිතා කිරීම බෙහෙවින් දුෂ්කර වනු ඇත.
ජනපතිගේ සහන පැකේජය ගැන ජන මතය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ජනතාවට විශේෂ සහන පැකේජයක් ප්‍රකාශයට පත් කළේය. ගොවි ජනතාව, ධීවර ජනතාව ඇතුළු දුගී දුප්පත් ජනතාවට මෙම සහන පැකේජය මගින් රුපියල් කෝටි 300කට වැඩි සහන මල්ලක් පිරිනමා තිබිණි. ඒ ගැන ජනතාව ආණ්ඩුවට ප්‍රසාදය පළ කළේය. එසේ වුව ද උත්සව සමයේ නොදන්වා රජය විසින් කරනු ලබන විදුලිය කප්පාදුව, ඉන්ධන සහ ගෑස් මිල ගණන් ඉහළ දැමීම නිසා දිනෙන් දින පීඩාවට පත්වුණු ජනතාව කියන්නේ සහන පැකේජවලට වඩා බඩු මිල සාධාරණව අඩු කළ හැකි නම් එය වඩාත් ප්‍රයෝජනවත් බවයි.
නාමල්ගේ සිරිපා කරුණාව
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පසුගියදා ශ්‍රී පාද වන්දනාවකට එක්විය. මෙම වන්දනා ගමන සංවිධානය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක විසිනි. මෙම ගමනට හිටපු ඇමති ඉන්දික අනුරුද්ධ එක් වූ අතර වෙනත් කිසිදු දේශපාලනඥයෙක් එක්නොවූයේය. ශ්‍රී පාදය තරණය සඳහා පැය තුනක පමණ කාලයක් ගත වූ අතර ගමන පුරා මගදී හමුවූ බොහෝ දෙනා සමඟ අදහස් හුවමාරු කරගැනීම නාමල්ට අමුතුම අත්දැකීමක් විය.
ඇතැමුන් ඔවුන්ට හොඳ කී අතර තවත් අය අඩුපාඩු ද පෙන්වා දුන්නේය. මේ කා සමගත් සුහදව කතාබස් කරමින්, කෝපි කඩවලින් කෝපි පානය කරමින් ශ්‍රී පාද මහ මළුවට ළඟා වූ නාමල් ඇතුළු පිරිස ශ්‍රී පාදස්ථාන භාරකාර හිමියන් විසින් පන්සිල්හි පිහිටුවා ආගමික වතාවත් සිදු කරනු ලැබීය. අනතුරුව පැමිණි පිරිස තමන් පැමිණි වාර ගණන අනුව ඝණ්ඨාරය නාද කර ශ්‍රී පාද චාරිකාව නිම කරමින් පසු ගමන් කළහ. නාමල්ගේ මෙම ශ්‍රී පාද චාරිකාව හොඳ ජනමත විමසුමකට අවස්ථාවක් වූ බව ඔහු පසුව පැවසීය.
නාමල් රාජපක්ෂගේ උපන්දිනය යෙදී තිබුණේ පසුගිය දහවෙනිදාටය. ඊට පෙරදා ඔහු සිය බිරිඳ සහ දරුවන් සමඟ අනුරාධපුරයේ පැවති ආගමික කටයුතු සඳහා එක්විය. දහවෙනිදා දේශපාලන වශයෙන් නාමල්ට වැදගත් සිදුවීම් දෙකක් යෙදී තිබිණි. ඉන් පළමුවැන්න සිය පියාණන් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස් කොමිසමට යැවීමට අදාළ කටයුතු පිළිබඳව සොයා බැලීමයි. දෙවෙනි වැදගත් සිදුවීම වූයේ පාර්ලිමේන්තුවේ පැවැත්වුණු ගල් අඟුරු විවාදයයි. එය බෙහෙවින් උණුසුම් විවාදයක් බවට පත්විය.
පැලවත්ත මූලස්ථානයේ තීරණය
ඒ අතර පැලවත්ත ජ.වි.පෙ මූලස්ථානයේ ද දැඩි උණුසුමක් හටගෙන තිබුණේ ගල් අඟුරු විෂය භාර අමාත්‍ය කුමාර ජයකොඩි සම්බන්ධව ගතයුතු තීන්දුවට අදාළවයි. ජනාධිපතිවරයා මුල සිටම ගල් අඟුරු වංචාවක් සිදු නොවූ බව ප්‍රකාශ කිරීමත්, අනතුරුව විගණකාධිපතිවරයා මෙම කටයුත්තේ වංචා සහගත බවක් ඇති බව ස්වකීය නිල වාර්තාව මඟින් ප්‍රකාශ කිරීම බරපතළ අර්බුදයකට හේතු විය.
ඇමති බිමල් රත්නායක ඇතුළු ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් දිගින් දිගටම කීවේ අමාත්‍ය ජයකොඩි තාවකාලිකව තනතුරින් ඉවත් කළ යුතු වගයි. ඒ අතර තවත් පිරිස සඳහන් කළේ මෙම විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කොට අනතුරුව ඇමතිවරයා සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම වඩාත් යෝග්‍ය බවයි. පක්ෂ මහලේකම් ටිල්වින් සිල්වා ද එම මතයට සහාය දැක්වීම නිසා ඒ අනුව ක්‍රියා කිරීමට ආණ්ඩුව තීන්දු කළ බව අවසානයේ වාර්තා විය.
ගල් අඟුරු සිදුවීමට අදාළ නීතිමය කටයුතු එසේ සිදු වෙද්දී තවත් නෛතික කාර්යයක් පිළිබඳව පැලවත්ත කාර්යාලයේ කටයුතු සංවිධානය වී තිබිණ. එහිදී පාර්ලිමේන්තුවේ හඬ නඟන විපක්ෂයේ සිටින තරුණ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් දෙදෙනෙකුගේ පෙර වැරදි සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අදාළ පරීක්ෂණ වාර්තා නිරීක්ෂණය කිරීම සිදුවිය.
එම කටයුතු භාරව ක්‍රියා කරන්නේ ආණ්ඩුවේ පළාත්බද ඉහළ පෙළේ රාජකාරියක නියුතු හිටපු විනිසුරුවරුන් දෙදෙනෙකි. මේ දෙදෙනාගේ උපදෙස් මත අදාළ පරීක්ෂණ නිම කොට මුලින්ම කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන්නේ විපක්ෂයේ නායකයකුට බව පැලවත්ත මූලස්ථානයේ කාර්ය මණ්ඩල ආරංචි මාර්ග කියයි. යහපාලන සමයේ නිසි අනුමැතියක් නොමැතිව දැවැන්ත මුදලක් තම දේශපාලන කටයුතු සඳහා භාවිතා කිරීම ඔහුට එරෙහිව නගන ලද චෝදනාවයි.
මීට අදාළ පරීක්ෂණයේ වාර්තාව එදින සභා මේසය මත විය. එය නිරීක්ෂණය කළ හිටපු විනිසුරුවරයා මෙම තැනැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බව සඳහන් කර තිබේ. පොදු දේපළ චෝදනාව යටතේ මේ නඩුව පවත්වාගෙන යාමට හැකියාව ඇති බව ද ප්‍රකාශ කර තිබේ. ඒ අනුව මෙම මාසය තුළ අදාළ විපක්ෂ දේශපාලනඥයා සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට ඉඩ ඇතැයි සඳහන්ය.
ගල් අඟුරු වංචාවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පෙළගැසෙයි
මෙි සියලු කටයුතු සිදුවෙද්දී ඒකාබද්ධ පොදු විපක්ෂයේ රැස්වීමක් සහ මාධ්‍ය හමුවක් මල් පාර දේශපාලන කාර්යාලයේදී පසුගියදා පැවැත්විණි. මහාචාර්ය ජී එල් පීරිස්ගේ ප්‍රධානත්වයෙන් පැවති මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ දුමින්ද දිසානායක, අජිත් මාන්නප්පෙරුම, රාජිත සේනාරත්න, සුගිශ්වර බණ්ඩාර සහ මහාචාර්ය ජී.එල් පිරිස්,ඇතුළු සියලු දෙන සිය දේශපාලන අවි එසවූයේ ගල් අඟුරු වංචාව සම්බන්ධවයි.
මීට වගකිවයුත්තා ලෙස ඇමති කුමාර ජයකොඩිටත්, ඔහුගේ රැකවරණයට සිටිනා ජනාධිපති අනුර දිසානායකටත් මේ සම්බන්ධව චෝදනා නැගූ විපක්ෂ ප්‍රධානිහු ඇමති ජයකොඩි වහා ඉල්ලා අස්විය යුතු බව සඳහන් කළෝය. ඔහු ඉවත් නොවන්නේ නම් තනතුරින් පහකළ යුතු බවත් අවධාරණය කළේය.
( lankalokaya | රන්ජන )




