The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මාකඳුරේ මධූෂ් හෙළි කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර දේශපාලකයන් කවුද?

T

The Leader Desk

April 12, 2026 • 7:04 AM

මාකඳුරේ මධූෂ් හෙළි කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර දේශපාලකයන් කවුද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සංවිධානාත්මක අපරාධකාරයෙක් කියල පොලිසිය හඳුන්වපු සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් 2020 ඔක්තෝබර් 20 වෙනිදා එළිවෙන ජාමයේ කොළඹ දී වෙඩි තියල මරල දාල තිබුණ.
  •   පොලිසිය ඩුබායි වලදී මධුෂ් අත් අඩංගුවට ගත්තේ 2019 පෙබරවාරි 04 වෙනිදා.
  • ඊට පස්සේ  ඝාතනය කරන්න කලින් මාකඳුරේ මධුෂ් මාස 18 ක් CID භාරයේ රඳවාගෙන හිටිය.
  • රඳවගෙන ප්‍රශ්න කළ වෙලාවේ ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලනඥයන් 80 කගේ පමණ විස්තර ඔහු විසින් හෙළි කරන ලද බව පොලිස් ප්‍රකාශකවරයා වගේම විපක්ෂ දේශපාලනඥයිනුත් වරින්වර සඳහන් කළා.
අකුරු ප්‍රමාණය (Font Size):


පොලිසිය එදා කිවුවේ හංගල තිබුණ කුඩු කිලෝ 22ක් පෙන්නන්න මාළිගාවත්ත නිවාස සංකීර්ණයකට අරගෙන ගිය වෙලාවේ ඇතිවූ වෙඩි හුමාරුවකදී ඔහු මරුමුවට පත්වුණා කියල. නමුත් එදත්, අදත් බොහෝ දෙනෙක් පොලිසිය කියපු ඒ කතාව පිළිගත්තේ නැහැ.

 

vay5ryg
අපි මේ කතා කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ශානි අබේසේකර CID එකෙන් එලවල දාල, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිය ගණනක් මාරු කරලා, රාජපක්ෂ හිතවාදී හෙන්චයියන් පිරිසක් පොලිසියෙ ඉහළ පුටුවලට පත් කරගෙන, දේශබන්දු තෙන්නකෝන් ට කොළඹ අපරාධ කොට්ඨාශය භාරදීලා, අපරාධ විමර්ශනය කරනවා වෙනුවට අපරාධවලට පොලිසිය යොදාගනිපු කාලේ ගැන.

පොලිසිය කිවුවේ මධුෂ් ඝාතනය කළේ ප්‍රතිවාදී මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කල්ලියක් විසින් කියල. ඒත් මම දන්නා තරමින් අද වෙනතුරුම ඒ "මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කල්ලියේ" කිසිම සැකකරුවෙක් ඇරෙස්ට් කරල නැහැ.  

පොලිසිය ඩුබායි වලදී මධුෂ් අත් අඩංගුවට ගත්තේ 2019 පෙබරවාරි 04 වෙනිදා. ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන ගේ පාලනය කාලේ. ඊට පස්සේ  ඝාතනය කරන්න කලින් මාකඳුරේ මධුෂ් මාස 18 ක් CID භාරයේ රඳවාගෙන හිටිය. ඊට පසේ ඔහු ඝාතනය කෙරෙන්නේ කුප්‍රකට දේශබන්දු තෙන්නකෝන් යටතේ තිබුණ කොළඹ අපරාධ කොට්ඨාශයට ඔහු භාරදීලා ටික දවසකට පස්සේ. රඳවගෙන ප්‍රශ්න කළ වෙලාවේ ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලනඥයන් 80 කගේ පමණ විස්තර ඔහු විසින් හෙළි කරන ලද බව පොලිස් ප්‍රකාශකවරයා වගේම විපක්ෂ දේශපාලනඥයිනුත් වරින්වර සඳහන් කළා.

 image 7d11aa6416

එවකට විපක්ෂ මන්ත්‍රීවරයෙකු වූ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අමාත්‍ය විජිත හේරත් අවස්ථා කිහිපයකදීම ඒ ගැන අදහස් දක්වල තිබුණ. "මාධ්‍ය විටින් විට වාර්තාකරල තිබුණ සමහර දේශපාලකයින් පිළිබඳව මධුෂ් වමාරපු බව. සමහර ව්‍යාපාරකයින් ගැන මධුෂ් වමාරපු බව. ඒ වගේම සමහර දේශපාලකයන්ට මුදල් පොම්ප කරපු ආකාරය පිළිබඳ සමාජයේ ආන්දෝලනයට තුඩු දී තිබුණ," කියල අනුර එදා සඳහන් කළා.

මදූෂ් මාර්ගයෙන් එකී මේ පාතාල ජාලයත්, එයට සම්බන්ධ දේශපාලකයින් සහ ව්‍යාපාරිකයිනුත් එළිදරව් කර අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තුවක් සමාජයේ තිබුණත් ඔහුගේ මරණයත් සමගම ඒ සියල්ලම යට ගැසීමට ඉඩ තිබෙන බවත් අනුර එදා කිවුව. ඒ අවස්ථාවේ විජිත සඳහන් කළේ, මධූෂ් මරා දැම්මේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලකයන් ආරක්ෂා කරගැනීම පිණිස දැයි කියල සැක සිතෙන බව.

 

 

දැන් තියෙන්නේ අනුර ගේ සහ විජිත ගේ ආණ්ඩුව.

ඒත් "මධූෂ් වමාරපු" දේශපාලකයින් සහ ව්‍යාපාරිකයින් සම්බන්ධයෙන් අනුරගේ ආණ්ඩුව යටතේ පොලිසිය දැන් පරීක්ෂණ ආරම්භ කරලා ද කියල දැනගන්න නැහැ. මාධ්‍යවලට හෙළි නොකළත්, සමහරවිට පොලිසිය ඒ ගැන විමර්ශන ආරම්භ කරලා වෙන්නත් පුළුවන්. මට එහෙම හිතුණෙ මධුෂ් ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගන්න එපා කියල කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහ විශ්‍රාමික ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු වන ජනක් නන්දන ඇතුළු නිලධාරීන් සිව් දෙනෙක් අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කරපු බව දැක්කට පස්සේ. ඔවුන් කියන විදියට මාකඳුරේ මධුෂ් ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් සිදුකරමින් ඉන්නවා. ඔවුන් arrest කරන්න එපා කියල අභියාචනාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරලා තිබුණ.

 1 5

ඒ පෙත්සමෙන් කියන විදියට මධූෂ් ඝාතනය ගැන දැන් CID එකේ සැකය යොමුවෙලා තියෙන්නේ "මත්ද්‍රව්‍ය කල්ලියක්" වෙත නෙවෙයි, ඝාතනය කෙරෙන අවස්ථාවේ ඔහු රඳවාගෙන හිටපු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත. කොහොමහරි යටපත් වෙලා තිබුණ ඝාතන පරීක්ෂණය යළිත් ආරම්භ වීම හොඳ දෙයක්. ඒත් ඒ සමගම මධුෂ් හෙළිකරපු මත්ද්‍රව්‍ය ජාවාරම්කාර දේශපාලකයින් සහ ව්‍යාපාරිකයින් ගැනත් විමර්ශනයක් පැවැත්වෙනවද? එහෙම නැත්නම් ඒ ඇයි?

මට මතකයි, සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත හෙළි කරපු නම් සහ එසේ හෙළි කළ කරුණු සම්බන්ධයෙන් පොලිසිය ගත්ත පියවර විමසමින් 2020 ඔක්තෝබර් මාසේ මම තොරතුරු දැනගැනීමේ පනත යටතේ පොලිසියෙන් ඉල්ලීමක් කළා. නමුත් "2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ වගන්ති 5 (1) ආ (i), 5 (1) ඌ (i) වගන්ති අනුව," අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලද බව ඒ වෙලාවේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී නිශාන්ත ද සොයිසා මට දන්වල එවල තිබුණ. එයට විරුද්ධව අභියාචනයක් කිරීමේ හැකියාව තිබුණත් මම එදා අභියාචනයක් ඉදිරිපත් කළේ නැහැ.  

මධුෂ් සඳහන් කළ ඒ නම් හෙළි නොකළත් ඒ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන්න මාලිමාව ආණ්ඩුව යටතේ දැන් පොලිසියට පුළුවන්.  

 Ravi 1

ඒ වගේම මට මතකයි පොලිස් නිලධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වීම ගැන අදහස් දක්වමින් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න කිවුවේ, ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කරන සහ සේවය කළ සියලුම නිලධාරීන්ගේ වත්කම් පිළිබඳ වහාම පූර්ණ විමර්ශනයක් (Asset investigation) පැවැත්විය යුතුයි කියල. ඒ වගේම ඕනෑම නිලධාරියෙකු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කරන උපරිම කාලය වසරකට සීමා කළ යුතු බවත් රවී සෙනෙවිරත්න සඳහන් කළා.

අද ඔහු පොලිසිය භාර අමාත්‍යංශයේ ලේකම්වරයා පමණක් නෙවෙයි, ආණ්ඩුවට ඉතාමත් සමීප නිලධාරියෙක්.

වසර ගණනාවකට කලින් පළ කළ මේ අදහස් ඇතුළු පොලිසිය "සුද්ද කිරීමේ" ප්‍රතිසංස්කරණයක් ක්‍රියාවට නගන්න, අඩුම තරමේ ඒ වෙනුවෙන් උත්සහයක් දරන්න, දැන් ඔහුට බලය සහ හැකියාව තියෙනව.

saroj pathirana(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක

sarojpathi@gmail.com

(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2026 අප්‍රේල් 11

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මාකඳුරේ මධූෂ් හෙළි කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර දේශපාලකයන් කවුද? | The Leader