The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අලුත් අවුරුදු සුබ පැතුම්වල එන ‘කිරි පැණි’ ‘බත බුලත’ යන්නෙහි සැබෑ අරුත් මෙන්න | තිලක් සේනාසිංහ

T

The Leader Desk

April 15, 2026 • 6:10 AM

අලුත් අවුරුදු සුබ පැතුම්වල එන ‘කිරි පැණි’ ‘බත බුලත’ යන්නෙහි සැබෑ අරුත් මෙන්න | තිලක් සේනාසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලබන්නා වූ හෝ ලැබුවා වූ අලුත් අවුරුද්ද ‘කිරියෙන් පැණියෙන්’ ඉතිරේවා යන්න, සෑම ව්‍යවහාර වර්ෂයකදී මෙන්ම සිංහල අලුත් අවුරුද්දේදී ද අපගේ දෙසවන් පිරී යන පරිදි අසන්නට ලැබෙන සුබ පැතුමකි. එමෙන්ම ‘බත බුලත සරුවේවා’ යනුවෙන් කෙරෙන පැතුමක් ද මේ දිනවල නිරන්තරයෙන් අසන්නට ලැබේ.
  • විෂ්ණු පුරාණයේ දැක්වෙන පරිදි මන්දරගිරි පර්වතය දණ්ඩක් කොට ගෙන කිරි මුහුද කැළඹීමෙන් ලක්ෂ්මිය ප්‍රමුඛ රත්නයන් දාහතරක් ලබාගත හැකි වූ අතර, ලෞකික ජීවිතයේ සෞභාග්‍යය නියෝජනය කරන ලක්ෂ්මිය විෂ්ණුට හිමිවන්නේ ද එම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙසිනි.
  • ඒ අනුව පොදුවේ ගත් විට ‘කිරි ඉතිරීම’ යනු ලෞකික සෞභාග්‍යයේ කූටප්‍රාප්තිය ලෙස නිර්වචනය කළ හැකි ය.
  • මෙහි එන ‘පැණි’ යන්න මුදවාපු කිරි සමඟ ආහාරයට ගන්නා පොල් හෝ කිතුල් පැණි නොවන බව වටහා ගත යුතු ය.
අකුරු ප්‍රමාණය (Font Size):


 මෙම පළමු සුබ පැතුමේ එන ‘කිරි’ සහ ‘පැණි’ යන්නෙන් බොහෝ දෙනෙකු අදහස් කරන්නේ රසවත් අතුරුපසක් වන ‘කිරි-පැණි’ සුසංයෝගය මෙන් ප්‍රණීත වූ ඉදිරි වසරක් අපේක්ෂා කරන බව වුවත්, මෙම ‘කිරියෙන්-පැණියෙන්’ යන ව්‍යවහාරය තුළ ඊට වඩා ගැඹුරු මානව විද්‍යාත්මක අරුතක් පළ වන බව මගේ නිගමනයයි.

භාරතීය සංස්කෘතියට අනුව කිරි යනු පාරිශුද්ධිය සහ සමෘද්ධිය සංකේතනය කරන්නකි. විෂ්ණු පුරාණයේ දැක්වෙන පරිදි මන්දරගිරි පර්වතය දණ්ඩක් කොට ගෙන කිරි මුහුද කැළඹීමෙන් ලක්ෂ්මිය ප්‍රමුඛ රත්නයන් දාහතරක් ලබාගත හැකි වූ අතර, ලෞකික ජීවිතයේ සෞභාග්‍යය නියෝජනය කරන ලක්ෂ්මිය විෂ්ණුට හිමිවන්නේ ද එම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙසිනි. මෙම පුරාවෘත්තය පසෙක තැබුව ද, සෞභාග්‍යය පතා කිරි ඉතිරවීම ඉන්දියාවේ මෙන්ම අප රටේ ද අද දක්වාම කෘෂිකාර්මික, ව්‍යාපාරික සහ ගෘහස්ථ කටයුතු ආරම්භයේදී සිදුවන අභිචාරාත්මක ක්‍රියාවකි. විශේෂයෙන් කුඹුරු ගොවිතැනේ කන්න අවසානයේ කෙරෙන ‘කිරි ඉතුරුම් මංගල්‍යය’ මෙන්ම, මෘත දේහයක් නිවසින් පිටතට ගත් පසු එළකිරි වෙනුවට පොල්කිරි යොදාගෙන සිදු කරන අවමංගල චාරිත්‍ර පිළිබඳව ද අප විමසා බැලිය යුතු ය. ඒ අනුව පොදුවේ ගත් විට ‘කිරි ඉතිරීම’ යනු ලෞකික සෞභාග්‍යයේ කූටප්‍රාප්තිය ලෙස නිර්වචනය කළ හැකි ය.

මෙහි එන ‘පැණි’ යන්න මුදවාපු කිරි සමඟ ආහාරයට ගන්නා පොල් හෝ කිතුල් පැණි නොවන බව වටහා ගත යුතු ය. 15 වන සියවසේ ‘රුවන්මල් නිඝණ්ඩුවට’ අනුව පැණි යනු ‘පැසුණු ගෙඩිවලින් කකාළ ඉස්ම’ වන අතර, ‘මධු’ යනුවෙන් හැඳින්වෙන මෙය මිදියුෂවලින් පෙරාගන්නා ‘වයින්’ වැනි පානයන් සඳහා මිස ‘මද්‍ය’ නමින් හැඳින්වෙන සැර මත්පැන් සඳහා යොදා නොගනී. කිරි මඟින් ලෞකික සමෘද්ධිය සංකේතවත් වන්නා සේම, ‘පැණි’ හෙවත් ‘මධු’ මඟින් එම සමෘද්ධිය ඔස්සේ ලබාගත හැකි පස්කම් සැප සහ ආශ්වාදය සංකේතවත් වන බව මගේ විශ්වාසයයි. 13 වන සියවසේ ‘කව්සිළුමිණ’ කෘතියේ විස්තර කෙරෙන මධුපානෝත්සව මීට කදිම නිදසුනක් වන අතර, එහිදී භාවිත වූයේ මල් පැණි හෝ මී පැණිවලින් පෙරන ලද ‘මධු’ මිස සුරාව නොවේ.


පැණි හෝ මධු යන්න අනුරාගයේ සංකේතයක් ලෙස සැලකීම පෙරදිගට පමණක් සීමා නොවන්නකි. නව යුවළකගේ පළමු සංචාරය ‘Honeymoon’ (හනිමූන්) හෙවත් ‘පැණි සඳ’ ලෙසත්, සිංහලෙන් එය ‘මධුසමය’ ලෙසත් හැඳින්වීමෙන් මෙම සබැඳියාව පැහැදිලි වේ. එමෙන්ම ‘Honey Trap’ (හනි ට්‍රැප්) වැනි යෙදුම් ද ලිංගිකත්වය සමඟ ඇති මෙම සම්බන්ධතාව තහවුරු කරයි. මධු සහ සුරාව පටලවා ගැනීම නිසා ඕමාර් ඛයියම් වැනි චින්තකයන් ද බටහිර සංස්කෘතිය මඟින් අසාධාරණ ලෙස ‘බේබද්දන්’ ලෙස හංවඩු ගසා ඇති මුත්, සැබවින්ම මෙහි මධු යනු කාමෝද්දීපක පානයකි (Aphrodisiac drink). එය ස්ත්‍රී සම්භෝගය සඳහා පිටිවහලක් ලබා දෙන්නක් මිස සුරාව මෙන් පුරුෂ ශක්තිය අඩාල කරවන්නක් නොවේ.

විශේෂයෙන් ලොව වටා මුස්ලිම් සංස්කෘතීන් තුළ ද මී පැණි, වියළි පලතුරු, කුළුබඩු මත පදනම් වන මෙබඳු පාන වර්ග භාවිතා වන බවට තොරතුරු තිබේ. ඒ අනුව ‘කිරියෙන් පැණියෙන් ඉතිරේවා’ යන්නෙහි මානව විද්‍යාත්මක අර්ථය වන්නේ, උතුරා යන ලෞකික සමෘද්ධිය (කිරි) පදනම් කරගෙන ලිංගිකාශ්වාදය මුල් කරගත් පස්කම් සැප (පැණි) රිසි සේ භුක්ති විඳීමට අවස්ථාව සැලසේවා යන්නයි. 

dahath

අනෙක් අතට, ‘බත-බුලත’ යනු ද හුදු ආහාරයකට එහා ගිය ගැඹුරු සංස්කෘතික සහ දාර්ශනික අගයක් සහිත යුගල පදයකි. කෘෂිකාර්මික ජන සංස්කෘතිය තුළ ‘බත’ යනු සශ්‍රීකත්වයේ සහ සමස්ත ලෞකික යහපැවැත්මේ සංකේතය වන අතර, ‘මඟුල් බත’ සහ ‘මළ බත’ වැනි යෙදුම් මඟින් එය ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථාන නියෝජනය කරන ආකාරය පැහැදිලි වේ. ‘බුලත’ ද හුදු ශාක පත්‍රයකින් ඔබ්බට ගිය පුළුල් සංස්කෘතික පරාසයකට හිමිකම් කියයි. බුදුන් වහන්සේ බුලත් සැපීම අනුදැන වදාරා නොමැති වුවද, බෞද්ධ ජනතාව ‘නාග වල්ලී දළුපේතං’ යන ගාථාවෙන් බුදුන්ට බුලත් පූජා කරති. බුලත් පත්‍රය දේව සහ නාග ලෝකවල එකතුවෙන් බිහිවූවක් ලෙස සැලකෙන බැවින් එය පූජනීයත්වයට පත්ව ඇති අතර, ‘භූ ලත්’ යන්නෙන් ‘බුලත්’ යන නාමය සෑදුණු බව ජන සාහිත්‍යයේ දැක්වේ. අපගේ ජන සංස්කෘතියට අනුව පිරිත් මණ්ඩපවල බුලත් කොළ එල්ලා තබනුයේ දේව ආකර්ෂණය අපේක්ෂාවෙනි. දළුමුර පූජාව ලෙසින් දෙවියන් පිදීමට ද බුලත් යොදා ගන්නා බව නොරහසකි.

බුලත යනු අප සමාජයේ මානව සංස්කෘතිය සහ සදාචාරය සම්බන්ධ ප්‍රමුඛතම සංකේතයයි. වැඩිහිටියන්ට ගරු කිරීම සඳහා යොදාගන්නා බුලත් අතේ සිට, විවාහ මංගල්‍යයන් සහ මුදල් පඬුරු පිරිනැමීම දක්වා සෑම වැදගත් කාර්යයකදීම බුලත් පත්‍රය සුවිශේෂී වේ. බුලත් යහපත හා ඉෂ්ටාර්ථ සිද්ධිය සංකේතවත් කරන බැවින්, අවමංගල්‍ය නිවෙස්වල එය යටිකුරු කොට තැබීම ද සිරිතකි. මේ අනුව, සිංහල අලුත් අවුරුද්දේදී සිදු කෙරෙන ‘බත-බුලත සරි වේවා’ යන පැතුම තුළ සදාචාරාත්මක පදනමක් සහිතව ජීවන මඟ යහපත් වේවා යන ගැඹුරු අර්ථය ගැබ්ව පවතී. ඉන් හැඟී යනුයේ මෙම පාරම්පරික සුබ පැතුම් හුදු වචනාර්ථ ඉක්මවන පුළුල් දාර්ශනික අදහස්වලින් යුතු ඒවා බව ය. ගැටලුව ඇත්තේ වත්මන් සමාජයේ බොහොමයකට එම දාර්ශනික අරුත් හරිහැටි වටහා ගත නොහැකි වීම මත, ඔවුන් ඒවා ‘සුබෝපන්දාවක් වේවා’ වැනි නිරුක්ති විරෝධී නව පන්නයේ වාගාලාප යට සඟවාලීම ය.

Thilak Senasinghe
(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී

thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අලුත් අවුරුදු සුබ පැතුම්වල එන ‘කිරි පැණි’ ‘බත බුලත’ යන්නෙහි සැබෑ අරුත් මෙන්න | තිලක් සේනාසිංහ | The Leader