මේ සිරිනිමල් ලක්දුසිංහ නම්වූ උත්තුංග මිනිසා ගැන මගේ මුල්ම මතකයයි. මා ඔහු ගැන දැන සිටියෙ කොළඹ කටුගෙයි ලොක්කා ලෙසිනි. පසුව ඔහු ලංකාවේ පළමු පුරාවිද්‍යා උපාධිධාරියා බව දැනගතිමි. ඒ වනවිට හේ රාජකාරියෙන් ඉසුඹු ලැබ, තොප්පියක් ද හිස පළඳා තරුණයන්ගේ කවිපොත් එලිදකින අවස්ථාවන්ට අනාරාධිතවම පැමිණ පොතක්ද ගෙන බසක්ද දොඩා යන්නෙකි.
බදුල්ලේ නිමල්සිරි ගේ ජරපත් දේශපාලනය පිලිකුල්ව සිටි මට වේයන්ගොඩ සිරිනිමල් ගේ රතු දේශපාලනය අසිරියකි. තාත්තාගේ රාජකාරි ස්ථානමාරුවද සමගින් යාපනයට ගොස් එහිදී ඉගැන්ම ඇරඹූ සිරිනිමල් තුළ කවදාවත් ජාතිවාදියාහට පුදසුන් මැවුනේ නැති. රාජකාරි දිවිය තුළ අදීන මිනිසකු වූ හේ සාහිත දිවිය තුළ දැක්මක් සහිත මානවවාදියෙකි.

පසු කලෙක ඔහු මගේ පරිවර්තන සහ කවි කියවන රසිකයෙකි. තමන් ලියූ දේ මටද එවා අදහස් විමසූ සුහද මිතුරෙකි. වියපත් වුවද මනුසත්වග වෙනුවෙන් අවසන් මෙහොත දක්වාම මෙහෙ කරන්නට වෑයම් කල අරගලකරුවෙකි. විටෙක උපහාස රසය කදිමට මතු කරන්නට සමතෙකි. වියතෙකි. මහතෙකි.
පිලිකා මාරයා ඔහුගේ දින තීරණය කළ බව දැනගත් මොහොත සිත කීරිගැස්වූ නිමේෂයකි. ධර්මසේන පතිරාජ හට පිලිකා මාරයා පහර එල්ල කළ බව දැනගත් මොහොතේ ඇතිවූ කම්පනයම යළි දැනවූ මොහොතකි.
ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ සිය බිරිඳ චන්ද්‍රලතා ලක්දුසිංහ සමඟ
ඔහු අපූරු පෙම්වතෙකි. වියපත්ව, සිය පිය බිරිඳ අහිමිව සිටි අවධියේදී වේයන්ගොඩ සංස්කෘතික මධ්‍යස්ථානෙයේදී චන්ද්‍රලතා සමග වූ තමන්ගේ පෙම් පුවත පවසා සිටි මොහොතේ මම යළිත් ඒ යොවුන් පෙම්වතාගේ අනුරාගී වත දුටිමි. ඔහුට දරාගන්නටම නොහැකිවූ වියොව ඇගේ වියොව බව මම දුටිමි.
ඔහු මියෙන්නට දින කිහිපයකට පෙර ඔහුගේ කනිටු දියණි මධූ ගේ සටහනක් මට එවා තිබිණි. ඒ මගේ කවියක් යටින් ඔහු ලියූ සටහනක්ද සමගිනි.
ඉදින් ඔහු නික්ම ගොසිනි. එහෙත් ඔහු ඉතිරි කළ දේ බොහෝය. එහෙයින් ඒ සැබෑ ජීවිතයකි.
නැගුනද ගුවන වෙත සුවිසල් තුරක් ලෙස
පහතට බරව තිබුනෙම සැමවිට සිරස
නොබා ලොවට පෙම් කළ උත්තම මිනිස
නුඹ නැති ලොවක පාළුව ඉවසනු කෙලෙස
(සටහන | Chulananda Samaranayake)
උපුටා ගැනීම - Chulananda Samaranayake ගේ ෆේස්බුක් පිටුවෙන්..
සබැඳි පුවත :
ආචාර්ය සිරි නිමල් ලක්දුසිංහයෝ දැයෙන් සමු ගනිති - අවසන් කටයුතු අද (16) ප.ව 4.00ට නිට්ටඹුව මල්වත්ත ආදහනාගාරයේ දී




