The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දැයම එළිය කළ මහා වීරයකු වූ සියනෑ කෝරලයේ පුංචි ගැමියා: ආචාර්ය ලක්දුසිංහ

T

The Leader Desk

April 16, 2026 • 5:41 AM

දැයම එළිය කළ මහා වීරයකු වූ සියනෑ කෝරලයේ පුංචි ගැමියා: ආචාර්ය ලක්දුසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මගේ ජීවිත කාලය තුළ දී සුළුපටු නොවේ යැයි මා සිතන මිනිසුන් හමු වී ඇත්තේ උපරිම වශයෙන් හය හත් දෙනකු පමණි.
  • ඒ ඔහුගේ දැන උගත්කම හෝ සමාජමය වශයෙන් හිමි කරගෙන ඇති ප්‍රතාපය නිසාම නොව, වෙනයම් කරුණු කාරණා සලකා ය.
  • ඒ ‘කළුවර අඳුන’ සහ ‘නිදන් වදුල’ නම් වන ලිඛිත මූලාශ්‍ර ඔස්සේ කළ හැකි බව පැවසෙන, අරාබි නිසොල්ලාසය සිහිගන්වන මන්ත්‍ර ගුරුකම් ලුහුබැඳ යාම ය.
  • එම මන්ත්‍ර ගුරුකම් සහිත පැරණි පුස්කොළ පොත් කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලයේ ඇති බව දැනගත් මම, ඒවා පරීක්ෂා කිරීමට අදාළ ඉල්ලුම්පතක් ද සකසා ගෙන 1998 වසරේ දිනයක කොළඹ ජාතික කෞතුකාගාරය වෙත ගියෙමි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අතුරින් ද ජාතික කෞතුකාගාර සහ කැලණිය විශ්වවිද්‍යාලයීය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සේම, ජාතික පුරාවිද්‍යාඥයන්ගේ සභාවේ සමාරම්භක සභාපති ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ සූරීන්ට හිමි වනුයේ මුල්ම තැනකි. ඒ ඔහුගේ දැන උගත්කම හෝ සමාජමය වශයෙන් හිමි කරගෙන ඇති ප්‍රතාපය නිසාම නොව, වෙනයම් කරුණු කාරණා සලකා ය.

ආධුනිකයකු ලෙස පුවත්පත් කලා ජීවිතය අරඹා දස වසරකට පසු, 1989 වසරේ සිටම ජන විශ්වාස, විශේෂයෙන් ගුප්ත විශ්වාස ක්ෂේත්‍රයට ඇදී ගිය මා, ආරම්භයේ සිටම ඒ ඔස්සේ විවිධ ගවේෂණවලට යොමු වූ අතර 1998 වසර වන විට එවන් ගුප්ත විශ්වාස අතරේ වූ වඩාත් ජනකාන්ත අංග කිහිපයක් ලුහුබැඳීම අරඹා තිබුණෙමි. ඒ ‘කළුවර අඳුන’ සහ ‘නිදන් වදුල’ නම් වන ලිඛිත මූලාශ්‍ර ඔස්සේ කළ හැකි බව පැවසෙන, අරාබි නිසොල්ලාසය සිහිගන්වන මන්ත්‍ර ගුරුකම් ලුහුබැඳ යාම ය. එම මන්ත්‍ර ගුරුකම් සහිත පැරණි පුස්කොළ පොත් කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලයේ ඇති බව දැනගත් මම, ඒවා පරීක්ෂා කිරීමට අදාළ ඉල්ලුම්පතක් ද සකසා ගෙන 1998 වසරේ දිනයක කොළඹ ජාතික කෞතුකාගාරය වෙත ගියෙමි. එවකට එහි අධ්‍යක්ෂ පදවිය හොබවන ලද්දේ ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ සූරීන් ය.

ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ සිය බිරිඳ චන්ද්‍රලතා ලක්දුසිංහ සමඟ

“මොකද හෙළුවෙන් ගිහින් නිධානයක් වත් ගොඩ දාන්න හිතුණ ද?” මගේ අයදුම්පත ඕනෑවට එපාවට දෙපිට පෙරළා බැලූ ලක්දුසිංහ සූරීහු සිනාසෙමින් ඇසූහ. ඔහුගේ උපහාසාත්මක ප්‍රකාශයත් සමඟ ‘අනේ නිකම් පව් නොදී යනවා යන්න අයිසේ’ වැනි යමක් ඇසීමට සවන්පත් සූදානම් කරගත්තේ, ඔහු මගේ ඉල්ලීම එසැනින් ප්‍රතික්ෂේප කරනු ඇතැයි යන හැඟීමෙනි. ඔහු තම කතාවට ‘හෙළුවක්’ ඇඳගන්නා ලද්දේ, කිසිවකුටත් නොපෙනී සිටිය යුතු කළුවර අඳුන ගල්වා නිරුවතින් සිටිය යුතු යැයි ගුප්ත නියමයක් ඇති බැවිනි. එහෙත්, ඉන් සිත තුළ වූ අදිටන ඉවත හෙළා නොගත් මම, මේ ඉල්ලීම මගේ මාධ්‍ය ගවේෂණයක් සම්බන්ධ විමර්ශනයක් සඳහා යැයි කීවෙමි. එවිට එම ඉල්ලුම් පත්‍රයේම ඕනෑවට එපාවට යමක් කුරුටු ගෑ ඔහු, එය මා වෙතට දිගු කළේ කිසිදු තැකීමකින් තොරව ය. අනතුරුව මම දිය මතට විසී කළ ඉබ්බකු මෙන් වහා කෞතුකාගාර පුස්තකාලය වෙත ගොස් එහි අධිපතිවරයාට මට ලැබුණු ඒ අවසර ලිපිය දිගු කළෙමි.


“මං මෙහාට ඔළුවේ අමාරුකාරයෙක් එව්වා සේනාසිංහ කියලා, කෝ මිනිහා ඉන්නවද?” පැයක් හමාරක් පමණ කෞතුකාගාර පුස්තකාලයේ නියමිත කාරියේ යෙදී සිටි මට, හාත්පස වූ නිහඬියාව සිඳ බිඳ ලමින් මගේ පිටුපසින් කටහඬක් ඇසුණි. එවිට ඒ වෙතට අවධානය යොමු කළ මට දැකගත හැකි වූයේ මගේ පිටුපසින් සිටින කෞතුකාගාර අධ්‍යක්ෂවරයා ය. කුමන හේතුවක් මත හෝ ඔහු මා සොයා පැමිණ තිබේ. “මම කැන්ටිමට යනවා තේ එකක් බොන්න, යමු මාත් එක්ක,” ඔහු කීවේ මා හා කිනම් හෝ කුළුපගකමක් සිත තුළ රඳවා ගත් කලෙක මෙනි. පසුව අප දෙදෙනා කෞතුකාගාර කැන්ටිමෙන් හැලප දෙකක් කා ප්ලේන් ටී දෙකක් බිව් අතර, එම මුදල මා ගෙවීමට සූදානම් වත්ම එම ආපනශාලා භාරකරු රහසින් කීවේ, “එහෙම කාගෙන්වත් සල්ලි ගන්නවට ලොකු සර් කැමති නෑ, ඒවා සේරම ලොකු සර් ගෙවනවා” යනුවෙනි.

 

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වූ ප්‍රථම පුරාවිද්‍යාඥයා
“ඔය කළුවර අඳුන, නිදන් වදුල වගේ පුස්කොළ පොත්වල තියන දේවල් ගැන මොකද හිතෙන්නේ?” ඉන් පසු තවත් දින හතරක් හෝ පහක් කෞතුකාගාර පුස්තකාලයට ගොස් එම මූලාශ්‍ර විමසා ආචාර්ය ලක්දුසිංහයන් හමු වූ මගෙන් ඔහු ඇසීය. “මේවා මහනුවර රාජධානි යුගයේ විතර ලියැවුණු අවියත් ලේඛන බව භාෂා ශෛලියෙන් හා අත්අකුරුවලින්ම පේනවා. ඒ වගේම ඒවායේ තියෙන රජවරු ගැන විස්තරත් කාලවිරෝධී බව හොඳටම පේනවා. ඒ අනුව මේවායින් කරන්න පුළුවන්ය කියන ඔය හාස්කම් නිකම් හිතලු විතරක් බව තමයි මේවා හොඳින් පරීක්ෂා කරන කොට තේරුම් ගන්න පුළුවන්,” මම කීවෙමි. “ඒ වුණාට ඕවායේ තියෙන්නේ ඇත්ත,” මා එසේ පවසා කට ගනිත්ම ආචාර්ය ලක්දුසිංහ සූරීහු කීහ. එවිට මගේ මොළය ද උළුක්කු වී ගෙන එන අයුරක් මට හැඟෙන්නට විය.

“මොකද ඔය වගේ මූලාශ්‍රවල තියෙන විස්තරවල සමහර දේවල්වල කිසිම ප්‍රායෝගික වැදගත්කමක් නෑ. මාසේ පෝය දවසේ රෑක අල්ලා ගත්තු බකමූණෙකුගේ කඳුළු මිටක් ඕනේ, එතකොට කිඹුල් මුත්‍රා තැවරුණු කොහිල දළු මිටක් ඕනේ වගේ ඔල්මොරොන්දම් කතා තියෙනවා. ඒත් බකමූණු කඳුළු, කිඹුල් මුත්‍රා තැවරුණු කොහිල වගේ දේවල් කවදාවත් හොයාගන්න පුළුවන් ඒවා නොවෙයි නේ. ඒ කියන්නේ ඔය පුස්කොළ පොත්වල තියෙන විස්තරවලින් කළුවර අඳුනක් හදන්නවත්, නිදන් ගොඩගන්නවත් මේ සම්මජාතියෙදි බෑ කියන එකනේ. ඉතින් ඕවායේ තියෙන්නේ ඇත්ත නේද?” ආචාර්ය ලක්දුසිංහයන් එක්වරම මගෙන් විමසා සිටියේ මගේ මොට විමසුම් බුද්ධිය ඉන් පෙර නොවූ ලෙසකින් මුවහත් කරමිනි.


කෙසේ හෝ ඉන් පසුව කෙමෙන් ගිලිහී යමින් තිබූ අපගේ සුහදතාව, ඊට දස වසරකට පමණ පසු බෙහෙවින් ප්‍රබල වූයේ මගේ සුහද මිතුරකු වන ටෙලිනාට්‍යවේදී දිනේෂ් ලක්දුසිංහයන්ට පින්සිදු වන්නට ය. ඔහු ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහයන්ගේ වැඩිමල් සොයුරු, කුශලතා රැසකින් හෙබි කලාකරුවකු වන හැරී ලක්දුසිංහයන්ගේ පුතනුවෙකි. “ඔය ලක්දුසිංහ මහත්තයා මහ අමුතුම ජාතියේ බඩුවක්. ඔය මනුස්සයා මේ ලෝකේ තිබුණු ලොකුම වෙඩින් එක, චාල්ස් – ඩයනාගේ වෙඩින් එකට අපේ රටෙන් සම්බන්ධ වුණු දූත පිරිසටත් එක් වෙලා තියෙනවා. ඒත් ඊට පස්සේ සතියේ ගමේ මළ ගෙදරක් තිබුණොත් මිනියට ආචාර කරලා ඇවිත් කෙලින්ම ගේ ඉස්සරහ වාඩි වෙන්නේ බුලත් වට්ටිය අතට අරගෙන නේ.” පසු කාලයක දී ආචාර්ය ලක්දුසිංහයන් හා මා අතර පැවැති සුහදතාව වර්ධනය වෙමින් තිබිය දී, ඔහු ජීවත් වූ වේයන්ගොඩම පදිංචි, 2024 වසරේ සැප්තැම්බර් 02 වන දා අප අතරින් අකාලයේ සදහටම වෙන් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තිලකරත්න සහෘදයා කීය.

 



“හැබැයි ලක්දුසිංහ මහත්තයා ඒ ගැන වැඩිය කතා කරන්න කැමති නෑ. එයා ඉස්සර ඉඳන් තද සමසමාජකාරයා හින්දා ද මන්දා.” උපාලි සහෘදයාගේ එම ප්‍රකාශයට අනුව ඊට පසු දිනයෙක ආචාර්ය ලක්දුසිංහයන් හමු වූ විටෙක, “ලක්දුසිංහ මහත්තයා චාල්ස් – ඩයනා වෙඩින් එකටත් ගියා කියනවනේ, කෑම ටික එහෙම වරදක් නැතුව ඇති නේද?” යනුවෙන් නිකමට මෙන් අසා සිටියෙමි. එහෙත් ඊට “හොඳයි හොඳයි” යනුවෙන් සිනාසී කෙටි පිළිතුරක් දුන් ඔහු, “ඔයා දන්නවද බකින්හැම් පැලස් එකේ තියෙන රෝයල් කලෙක්ෂන් එක ගැන? ඒකේ පහුගිය සියවස් හතරක විතර කාලයක් තුළ එංගලන්තයේ රාජකීයන් පරිහරණය කරපු කලා නිර්මාණ සිය ගණනක් සංරක්ෂණය වෙනවා,” යැයි කියා ඒවායේ චිත්‍ර සහ මූර්ති ශිල්පීන්ගේ මා උපන් හදකට අසා නැති නාමාවලියක් ද දෙවරක් චක්කරය මෙන් කියාගෙන ගියේ ය.

මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමු වූ විශිෂ්ටතම බුද්ධ ප්‍රතිමාව අභයගිරියෙන් හමුවන ලෝ සුපතල සමාධි පිළිමය නොව, අනුරාධපුර නගරාසන්නයේ ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගය අසල තොළුවිල හෙවත් වත්මන් රාම කැලේ ප්‍රදේශයේ තිබී 1900 වසරේ හමුවී පසුව කොළඹ ජාතික කෞතුකාගාර ආලින්දයේ තැන්පත් කොට ඇති සමාධි ප්‍රතිමාව බව මම ආචාර්ය ලක්දුසිංහයන් හමුුවේ වරක් කියා සිටියේ ඕනෑම බැනුමක් ඇසීමට සවන්පත් හා මනස සූදානම් කර ගනිමිනි. “ඔයාගේ කතාව හරි. ජාත්‍යන්තර කලා විචාරකයන්ගේ වගේම මගේ පෞද්ගලික මතයත් ඒකම තමයි. එක සැරයක් ඒක බලපු ලෝක ප්‍රකට ප්‍රංශ කලා විචාරකයෙක් (ඔහුගේ නම මට මේ මොහොතේ මතකයට නොඑයි) මාත් එක්ක කිව්වනේ ‘මේ වගේ පිළිමයක් ගලින් නෙළුවේ කොහොමද කියලා මට හිතාගන්නවත් බෑ’ කියලා. මේ පිළිමයේ සමතුලිත බව, ධ්‍යාන ලක්ෂණ සේරම පැත්තක තිබ්බත් අත් දෙක උකුළට තද වෙලත් නෑ, ඒ වගේම උකුළට ඉහළින් එල්ලිලත් නෑ. ඒත් වැඩේ තියෙන්නේ මේක කළු ගලෙන් නෙළපු එකක් නේ කියලා මිනිහා කිව්වා. නමුත් අපි එහෙම මතයක් දැරුවා කියලා අනුරාධපුරේ අභයගිරියේ සමාධි පිළිමයට හිමිවෙලා තියෙන අනභිබවනීයත්වය කවදාවත් නැති වෙන්නේ නෑ, ඒක තමයි මේ සමාජේ හැටි” ඔහු කී අයුරු මට ඉතා හොඳින් මතක ය.

lakdu book

කෞතුකවේදය හා පුරාවිද්‍යාව යන විෂය ක්ෂේත්‍ර සම්බන්ධයෙන් මෙන්ම, කාව්‍ය රචනය සහ කෙටිකතා රචනය සම්බන්ධයෙන් ද විශිෂ්ට කුශලතාවක් පළ කොට ඇති ඔහු, අසූ හැවිරිදිව සිටිය දී ලියූ ඇතැම් පද්‍ය නිර්මාණ තුළින් යෞවනයේ මිහිරියාව නොමඳවම පළවීම එදා මෙදා තුර මගේ විස්මයට හේතු වී තිබේ. එමෙන්ම ආචාර්ය ලක්දුසිංහයන් විසින් රචනා කරන ලද ශාස්ත්‍රීය ග්‍රන්ථ සහ සාහිත්‍ය නිර්මාණ සමුච්චයට හොඳම ග්‍රන්ථකරණයට හිමි සම්මාන ද කොතෙකුත් ලැබී තිබේ. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා සහ කෞතුකවේද ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට තරම් භාග්‍යවන්ත වූ, කුඩා සිරුරකින් යුතු මෙම සුවිශේෂී විද්වතා, තමන් හැදී වැඩුණු සියනෑ කෝරලයට අයත් වේයන්ගොඩ බිමේදී අතිශය නිහතමානී අව්‍යාජ ගැමියකු වීම ඔහුගේ සුවිසල් බුද්ධිමය පරිමාවේ තරම කියා පාන්නක් මෙනි.


නමුදු කලක් අසනීපයෙන් පසු වූ සිය ආදරණීය බිරිඳ වන, කිවිඳියක හා ගත් කතුවරියක වූ චන්ද්‍රලතා ලක්දුසිංහ මහත්මිය 2022 වසරේ අගෝස්තු 16 වන දා මිය යාමෙන් පසු ඔහු ජීවිතය සම්බන්ධයෙන් මහත් සේ පසුබෑ බවක් පෙනිණි. දයාබර බිරිඳ අහිමි වුව ද විවිධ විද්‍යා ක්ෂේත්‍රයන්හි ජාත්‍යන්තර මට්ටමේ ප්‍රතිභාවක් පළ කරන දියණිවරුන් දෙදෙනකුගේ පියකු වශයෙන් ජීවිතයේ නව පරිච්ඡේදයකට පිවිසෙන මෙන් වරක් මා ආචාර්ය ලක්දුසිංහයන්ට කී විට ඔහු දුන්නේ ඉතා කෙටි පිළිතුරකි. ඒ “මගේ ජීවිතේ නැති වුණාට පස්සේ පණ ඉතුරුවෙලා වැඩක් නෑ” යන්නය. ඔහු ඉන් පළ කළ අදහස මට අදත් හරිහැටි වැටහී නැත. ඇතැම් විට ඔහු සිය ආදරණීය බිරිඳ තම ජීවිතය ලෙසත්, දියණිවරුන් දෙදෙනා පණ ලෙසත් සලකන්නට ඇත.

 

veyangoda

2024 වසරේ නොවැම්බරයේ මධ්‍යම අධිවේගී මාර්ග වැඩබිමට නුදුරින් වේයන්ගොඩ වදුරව රජමහා විහාරය අසල පොළොව යට මහා නිධානයක් ඇති බවට ආරංචියක් පැතිර ගියේය. එය පිහිටියේ ආචාර්ය ලක්දුසිංහයන්ගේ නිවෙසට කිලෝමීටර් දෙකකටත් නොඅඩු දුරකිනි. ඒ අනුව ඔහු ද සමඟ එහි යාමට ඇති වූ ක්ෂණික සිතුවිල්ලක් මත මම දිනක් ආචාර්ය ලක්දුසිංහයන්ට දුරකථනයෙන් කතා කළෙමි. ඒ වන විට අප දෙදෙනා එබඳු චාරිකා කිහිපයක් ගොස් තිබූ බැවිනි. “අනේ අම්මෝ මම නම් ඔය පැත්ත පළාතක යන්නේ නැහැ,” මගේ පැනයට පිළිතුරු ලෙස ඔහු සිනාසී කීය. “ඔතන මොකක් හරි වටිනා දෙයක් වැළලිලා හරි වළලලා හරි තියෙනවා කියන එක හොඳ විහිළුවක් හැටියටවත් ගන්න බැහැ. ඒත් ඒ වගේ ආරංචියක් පැතිරුණාම ඒ අවට මිනිස්සුන්ගේ හිත්වල අමුතු උණක් ඇති වෙනවා. ඒකට කියන්නේ ‘ට්‍රෙෂර් ෆීවර්’ (Treasure Fever) කියලා. ඒ වගේ උණක් පැතිරුණාම ඒක ලේසියෙන් අඩු වෙන්නේ නැහැ. ඒ අස්සේ මාත් ඔතනට ගියාම මිනිස්සු ගත් කටටම කියාවි අන්න අහවල් කෙනාටත් ඔය නිධානේ ආරංචිය දැනගෙන ඇවිත් ඒක ගන්න ට්‍රයි කරනවා කියලා. ඒ හින්දා ඔයා තනියම බැරි නම් ඕනෑම කෙනෙක් එක්ක ඔතනට යන්න. හැබැයි මට විතරක් කතා කරන්න එපා.”

ආචාර්ය ලක්දුසිංහයන් මරණය මහත් කැමැත්තෙන් වැළඳ ගත් දුලබ ගණයේ චරිතයක් බව නිසැක ය. ඔහුගේ ඥාති පුත්‍ර දිනේෂ් වරක් අසල්වැසියකුගේ අකල් මරණයක් ගැන කී සැනින් ආචාර්ය ලක්දුසිංහයන්ගේ මුවට එක්වරම පිවිසි වදනක් විය. ඒ “යකෝ තව කාලයක් ඉන්න ඕනෙ උනුත් මැරෙනවා, එතකොට මං මැරෙන්නේ නැද්ද?” යනුවෙනි. එමෙන්ම ඔහු මියයන්නට පෙර තම අවමඟුල ද මනාව සැලසුම් කොට තිබිණි. ඒ සැලසුමට අනුව එයට සැරසිලි, උඩු වියන්, පාවඩ හෝ ඇත්දළ එක් කර ගැනීම ප්‍රතික්ෂේපිතය. අමංගල සභා හා ගුණකථන ද සපුරාම ප්‍රතික්ෂේපිතය. ආගමික වතාවත් ද ඉඳුරාම ප්‍රතික්ෂේපිතය. ඒ අනුව කළ යුතු වන්නේ මරණය සිදු වී අවම පැය ගණනක් තුළ සුසාන භූමියක දී හෝ ආදාහනාගාරයක දී සියල්ල නිමාවට පත් කිරීම ය.

lakdu7

නමුදු සිය මළගම උදෙසා ඥාතීන්ගෙන් ඉටුවිය යුතු එකම ඉල්ලීමක් ද ඔහු කොට තිබේ. එනම් තම ආත්මීය හරය වන සමාජවාදය සංකේතනය කිරීම පිණිස තම මෘත දේහයට රත් පැහැති කමිසයක් අන්දවන ලෙස ය. මේ වන විට ඔහුගේ එම අවසන් පැතුම එපරිද්දෙන්ම ක්‍රියාත්මක කෙරෙමින් දේහය වේයන්ගොඩ බණ්ඩාරනායක මාවතේ ඔහුගේ නිවසේ තැන්පත් කොට තිබේ. නමුත් ප්‍රායෝගික තත්ත්වයන් කිහිපයක් සැලකිල්ලට ගනිමින් ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ සූරීන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (16) වන දා ප.ව 4.00 ට නිට්ටඹුව මල්වත්ත ආදාහනාගාරයේ දී සිදු කිරීමට කටයුතු යොදා තිබේ.

lakdu6
ඒ සමඟම මළවුන්ගේ ගුණ සැමරුම්වල දී ජීවත්වන්නවුන් කරන බරපතල සදාචාර විරෝධී ක්‍රියාවක් මෙහි දී මගේ සිහියට නැඟෙයි. එනම් මළවුන්ට ගරු බුහුමන් දක්වන නියාවෙන් තම තමන්ගේ ජීවිතවල පවතින අඩු ලුහුඬුකම් වසා ගැනීමට වෙර දැරීම ය. ඒ බව ප්‍රායෝගික අත්දැකීම් රාශියක් මඟින් තහවුරු කරගෙන සිටින මම, මෙම සටහන සඳහා ඔහු ජීවත්ව සිටි සමයේ දී මාධ්‍ය මඟින් ප්‍රකාශ වූ කරුණු පමණක් සීරුමාරුවට තෝරා ගැනීමට වගබලා ගතිමි. ඔහුගේ සිසුවකු නොවන මා ගැන බැලූ බැල්මට කිව හැක්කේ ඔහුගේ හිතවතකු හෝ මිතුරකු ලෙසිනි. එහෙත් ඇත්තම කතාව එය නොවේ; “ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ සූරීන් යනු මගේ මරණය තෙක්ම මගේ ලෝකයේ යෙහෙන් වැජඹෙන මහා වීරවරයෙකි” යන්න ය.

Thilak Senasinghe
(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී

thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...