එය සරල දේශපාලන සටන් වාක්‍යයක් ලෙස බැලීමට හැකි වුවත්, එය වඩාත් ගැඹුරු ලෙස කියවිය යුතු දේශපාලන සංකේතයක් ද වේ. වසර එකහමාරක් පාලනය කර ඇති ආණ්ඩුවක් පිළිබඳව මෙවැනි වචනයක් ජනතාව අතරට පැමිණීම, සරල ප්‍රචාරයක් පමණක් නොව, සමාජයේ පවතින විශ්වාස හා අපේක්ෂා අතර ඇති පරතරයක් පෙන්වන ලක්ෂණයක් ලෙස තේරුම් ගත යුතුය.
මෙවර කිවිදා දැක්මෙන් මා උත්සාහ කරන්නේ “ෆේල්” යන වචනය දේශපාලන වශයෙන් යුක්තිසහගතද යන්න විමසීමයි. ඒ සඳහා අපට ආපසු හැරී බලන්නට සිදු වන්නේ, මෙම ආණ්ඩුව බලයට පැමිණීමට පෙර ජනතාවට ඉදිරිපත් කළ මැනිෆැස්ටෝව සහ අද දක්නට ලැබෙන ක්‍රියාකාරීත්වය අතර සැසඳීමයි. විශේෂයෙන්ම, ආණ්ඩුවේ මූලික පොරොන්දු වූ ආර්ථික සංවර්ධනය (Economy), යහපාලනය (governance) , සමාජ සාධාරණත්වය (Social Justice) සහ රාජ්‍ය ප්‍රතිසංස්කරණ (State reform) යන අංශ හතර සම්බන්ධයෙන් මෙහිදී විශ්ලේෂණය අවධානය යොමු කළ යුතුව ඇත.

මේ සංකල්ප හතර අපේ ඒවා නොවේ. මාලිමාවේ මැතිවරණ ප්‍රකාශයේ තිබූ ඒවාය. ඒ අනුව මේ ආණ්ඩුව තමන් බලය ඉල්ලලන පොතේ තිබුණේ මේ කරූණු 4 කරන්නට බලය ඉල්ලන බවය. ඒ අයගේ හිතේ තිබුනේ කුමක්දැයි අප දන්නේ නැත. එහෙත් පොතේ තිබුණේ මේ කාරණාය. මේ පොරොන්දු ය.
විශේෂයෙන්ම ආර්ථික වර්ධනය පිළිබදව ඔවුන් ගේ පොරොන්දුව වූයේ නිෂ්පාදන ආර්ථිකයක් සහ ආර්ථික ක්ෂේත්‍රයේ ව්‍යුහාත්මක වෙනසක් (production economy and structural change in economic policies) කියාය. ඒත් මේ වනවිට රටට පැහැදිලි වී තිබෙන්නේ ආර්ථිකයේ කිසිම වෙනසක් මේ ආණ්ඩුව සිදු කරන්නේ නැති බවය. තවම යන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික උපායමාර්ගය දිගේය.
ඒ කිසිවක් වෙනස්ක් කිරීම “ප්‍රායෝගික නොවේ” යැයි ලැජ්ජා නැතිව කියන ඇමතිවරුන් ද පාර්ලිමේන්තුවේ සිටීම ලොකුම විහිලුවක් ය. තමන් බලය ලබා ගැනීම සදහා කියූ දේ කරන්නට බැරි ප්‍රායෝගික නොවන ඒවා යැයි ඒ අයටම කියන්නට සිදුවීම දේශපාලනයේ දෛවයේ සරදමක් ය.

එක උදාහරණයක් පමණක් ගනිමු. රටේ ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස කෙසේ වෙතත් මේ ආණ්ඩුව සහ ජවිපෙ/NPP දේශපලනය දිගටම පෙනී සිටියේ රනිල් වික්‍රමසිංහ රජෙයේ IMF ගිවිසුම රටට නරක ලෙසින් බලපාන එකගතාවක් බවත් එය ‘යලි සළකා බැලීම’ අනිවාර්ය බවත් ය. ඒ කාරණය පිළිබදව පාර්ලිමේන්තුවේ සිදුකළ සියලුම මදිහත්වීම් තුළ වත්මන් ජනාධිපතිතුමා ම ඒ ගන ඔහුගේ වචනයෙන් ම කියූ වාර විශාල ප්‍රමාණයක් ඇත. ඒ ගිවිසුම ප්‍රකාරව වික්‍රමසිංහ ආණ්ඩුව ගෙනා සියලුම අණපනත්වලට ජවිපෙ එක ජන්දය දුන්නේ විරුද්ධවය. එය නිවැරිදි බව මගේත් අදහසය. එහෙත් තමන් බලයට පැමිණි විගස ඒ කිසිවක් මතකයේ නැති ගානට වැඩ කරන්නේ එක්කො දේශපාලන අවස්ථාවාදීකම නිසාය. නැත්නම් අන්තිම මජර බල කෑදරකම නිසාය.
IMF ගිවිසුම ගැන තමනට කිසිදු විවේචනයක් නැත්නම් සහ වික්‍රමසිංහ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියට විරුද්ධව කිසිවක් කිරීම “ප්‍රායෝගික නැත්නම්” ඒ ආණ්ඩුවේ ආර්ථික වැඩ සටහනට විරුද්ධව කථා කළේ අහවල් එකකටදැයි ඇසීම නීවැරිදිය. මේවාට ඉංග්‍රීසියෙන් කියන්නේ hypocrisy කියාය. ඒ කියන්නේ දේශපාලන පාවාදීම කියාය.
තමන්ටම බියවීමේ මානසිකත්වය
මෙම ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය විමසන විට පෙනී යන තවත් ලක්ෂණය වන්නේ, තමන් බලයට පැමිණීමට පෙර කළ ප්‍රකාශයන් තමන්ට විරුද්ධව ඉදිරිපත් වේ යැයි බිය වීමය. විපක්ෂයේ සිටි කාලයේදී, මෙම කණ්ඩායම අනෙක් ආණ්ඩු පිළිබඳව ඉතා තීක්ෂණ විවේචන ඉදිරිපත් කළේය. ඒ විවේචන සරලව, ජනතාවට පැහැදිලිව හා තීක්ෂණව ඉදිරිපත් කළ බැවින්, ඒවා ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැගීමට හේතු විය. නමුත්, අද තත්ත්වය වෙනස්ය. තමන්ගේ පාලනය ක්‍රියාත්මක වෙන්නේ තමන්ම කියූ සමහර මූළික කරුණුවලට එරෙහිවය. “ජනතාවට නැති කිසිවක් මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන් ට දෙන්නේ නැතැයි කියා අල්ටෝ කාරකේ ගිය පුද්ගලයා ඇමතිවරයෙක් වී ගමන් කරන්නේ V8 ජීෆ් රථයේය. එක්කෝ ඔහු තමන්ගේ ම ස්ථාවරයට එරෙහිවී ඇත. නැත්නම් ජනතාව V8 ජීෆ් රථවල යන තරමට රට දියුණු වෙලා ඇත.
මේ තත්වය තුළ තමන්ගේ මුළින් කියු විවේචනම තමන්ට විරුද්ධව යොදා ගත හැකි බව පිළිබඳව ඇති බිය, පාලනයේ තීරණ ගැනීමේ ක්‍රියාවලියටම බලපාන බව මේ වන විට පෙනී යමින් තිබේ. තීරණයක් ගන්නා සෑම අවස්ථාවකම, “අපි කලින් කී දේට මෙය විරුද්ධද?” යන ප්‍රශ්නය මුලින්ම ඉදිරිපත් වන බව පෙනේ.
තමන්ට වැඩ බැරි බව පෙනී යාමේ බිය
මෙම ආණ්ඩුවේ තවත් වැදගත් ලක්ෂණයක් වන්නේ, තමන්ට වැඩ බැරි බව පෙනී යාමෙන් වැළැක්වීමට කරන උත්සාහයයි. මෙය ප්‍රතිපත්තිමය සාර්ථකත්වයකට වඩා, දෘශ්‍යමය සාර්ථකත්වයක් නිර්මාණය කිරීමේ උත්සාහ කරන්නේ ඒ නිසාය. මේ ආණ්ඩුව බලයට ගෙන ආ බොහෝ අය මුළදී කීවේ නිදහසින් පසු කාලයේ ආ ‘වැඩ්ඩන්ගේම’ ආණ්ඩුව මේක බවය. ඔවුන් කොතරම් වැඩකාරයන්දැයි පෙන්වීමට කියු කථා පුදුම තරමේ ඒවාය.

එක් අවස්ථාවක ඔවුන් කීවේ තමන්ගේ කණඩ්ඩ්‍යම තුළ “කෙහෙල් ගෙඩියේ නැට්ට ශක්තිමත් කරන්නට” තරම් තාක්ෂණික අලුත්වීමක් ඒ ආණ්ඩුව සමග බලයට එන “වැඩකාරයන්ට” තිබෙන බවය. එහෙත් අද වන විට පෙනෙන්නේ අලුතින් කෙහෙල් පැළයක්වත් සිටුවන්නට දැනීමක් ඔවුන්ට නැති ගානය. තවත් අවස්ථාවක ඔවුන් කීවේ ‘මූදේ මාලු අල්ලන අයට මාලු සිටින තැන් පෙන්වන ආකාරයේ ඇප් එකක් හදන්නට තරම් වැඩකාරයන්” මේ ආණ්ඩු බලයත් සමගින් වැඩට බහින බවය. එහෙත් එහෙම එකක් තියා යම්තම් බෝට්ටුවෙන් මුදු ගොස් මාලු අල්ලන ධීවරයින් ට භූමිතෙල් ටිකක් ගන්නට වත් බැරි තත්වයකට පත් කළා මිස හැදු ඇප් එකක් නැත.
ගැටලු විසඳීම වෙනුවට, ගැටලු පාලනය කරමින් සිටින බව පෙන්වීම, සංඛ්‍යාත්මක දත්ත හරහා සාර්ථකත්වයක් නිර්මාණය කිරීම, මාධ්‍ය තුළ හොඳ ප්‍රතිරූපයක් තබා ගැනීමට උත්සාහ කිරීම වැනි ක්‍රියාමාර්ග මිස වෙනත් යමක් මෙහි පෙන්නුම් කරන්නේ නැත.
තමන්ට වැඩ බැරි බව නොපෙනෙන පරිදි වැඩ කරන්නට ෆේක් සමාජ මාධ්‍යකාරයන් රාශියක හරහා පෙන්වන බොරු කයිවාරුවක් සහ විරුද්ධවාදීන්ට අපහාස කිරීමේ ව්‍යාපෘතියෙන් තොරව කරන් වෙනෙ දෙයක් නැති තැනට මේ තත්වය පත්වී හමාරය.
මැනිෆැස්ටෝව හමස් පෙට්ටියට?
මෙම ආණ්ඩුව බලයට පැමිණියේ විශාල ප්‍රතිපත්තිමය පොරොන්දු සහිත මැනිෆැස්ටෝවක් මතය. එය ජනතාවට බලාපොරොත්තුවක් ලබා දුන්නේ, රටේ ප්‍රධාන ගැටලු සඳහා නව විසඳුම් ලබා දෙන පාලනයක් ලෙසය. නමුත්, වසර එකහමාරක් ගතවී ඇති අවස්ථාවක, එම පොරොන්දු සහ අද දක්නට ලැබෙන ක්‍රියා අතර පැහැදිලි පරතරයක් පෙනී යයි.මෙම පරතරය හොඳින් අවබෝධ කර ගැනීමට, මැනිෆැස්ටෝවේ ප්‍රධාන අංශ හතර වෙන වෙනම විමසා බැලීම වැදගත්ය.
නිෂ්පාදන ආර්ථිකය
මෙම ආණ්ඩුව බලයට පැමිණියේ ආර්ථික සංවර්ධනය ප්‍රධාන අරමුණක් ලෙස ඉදිරිපත් කරමින්ය. නව ආයෝජන ආකර්ෂණය, නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම, රැකියා නිර්මාණය සහ ජනතාවගේ ජීවන වියදම් අඩු කිරීම වැනි පොරොන්දු එහි මූලික කොටස් විය.

නමුත් අද දක්නට ලැබෙන්නේ, මෙම පොරොන්දු ප්‍රායෝගිකව ඉටු වී ඇති බවක් නොවේ. ජීවන වියදම් තවමත් ජනතාවට බරක් වී ඇතිවා පමණක් නොව මහ බැංකුව කිය ආකාරයෙන් උද්ධමනය පාලනයවීමක් රටේ පෙනෙනේද නැත. කිසිදු ආකාරයක ආදායම් වර්ධනය නොමැති අතර, මිල ගණන් දිනපතා ඉහළ මට්ටමක ගමන් කරමින් තිබේ. මෙය සරලව කියන්නේ, ජනතාවගේ දිනපතා ජීවිතයේ ආර්ථිකය වෙනස් වී නැතුවා පමණක් නොව තවත් සංකීර්ණ වී ඇති බවයි.
විදේශීය ආයෝජන සම්බන්ධයෙන් ද එමම තත්ත්වය පවතී. ආයෝජකයන්ට අවශ්‍ය වන්නේ ස්ථාවර ප්‍රතිපත්ති පරිසරයක් සහ විශ්වාසදායක පාලනයකි. නමුත්, ප්‍රතිපත්ති වෙනස්වීමේ වේගය සහ පාලන අස්ථිරත්වය, එවැනි ආයෝජන ආකර්ෂණයට බාධාවක් වී ඇත.
“නිෂ්පාදන ආර්ථිකයක්” ගැන කතා කළද, ඒ සඳහා අවශ්‍ය ව්‍යුහමය සංස්කරණයක් සිදු වී නැත. ඒ නිසා, ආර්ථික සංවර්ධනය තවමත් වාද මට්ටමින් පවතින අතර, ජනතාවට දැනෙන යථාර්ථයක් බවට පත්වී නැත.
ආණ්ඩුකරණය

යහපාලනය හෙවත් යහපත් ආණ්ඩුකරණය මෙම ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන වාදය විය. දූෂණ විරෝධය, පාරදෘශ්‍යතාව සහ නීතියේ ආධිපත්‍යය ගැන විශාල ලෙස කතා කළේය. ජනතාවට එය බලාපොරොත්තුවක් විය. නමුත් අද තත්ත්වය බලන විට, එම වාදය සහ පාලන ක්‍රියාවලිය අතර තිබෙන්නේ බරපතල පරතරයකි. ගල් අගුරු වංචාව ආණ්ඩුවේ යහපත් ආණ්ඩුකරණ සායම හෝදා දමා ඇත. ඒ සිදුවීම දූෂණයක් බවට මේ වන විට ආණ්ඩුවේ ඇමතිවරුන් කිය දේවල්වලින් ම පෙන්නුම් කරමින් තිබේ. එක් ඇමතිවරයෙක් කීවේ ගල් අගුරු බාල බව ඇත්තක් බවත් ඒ සදහා යම් දඩයක් ගසා ඇති බවත්, මේ මොහොතේ ඒ කොම්පැනිය තරහ කර ගත්තොත් ඉතිරි ගල් අගුරු ටිකවත් ගොඩබා ගන්නට නොහැකි වෙන බැවින් ඔහොමම යා යුතු බවත් ය. මේ කියන්නේ පුදුම කථාවකි. රජයේ නීතියට අනුව යම් මිළදී ගැනීමක හරහා දූෂනයක් තිබෙන බව දැන ගැනීමෙන් පසුව “කොම්පැනිය තරහ වෙන නිසා කිසිවක් නොකර සිටිය” නොහැකිය. අලුත් දුෂන විරෝධි නිතියට අනුව එය බරපතල විෂමාචාරයකි.
එසේම සමහර ආණ්ඩුව ගන්නා සමහර තීරණවල පාරදෘශ්‍යතාව පිළිබඳව ද එමම ප්‍රශ්නය ඇත. තීරණ ගන්නා ආකාරය, එම තීරණවල පදනම සහ ඒවා ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව ජනතාවට පැහැදිලි අවබෝධයක් නොලැබේ.
සමාජ සාධාරණත්වය
මෙම ආණ්ඩුව සමාජ සාධාරණත්වය ගැන විශාල ලෙස කතා කළේය. සමාජ අසමානතාවය අඩු කිරීම, දුප්පත් ජනතාව ආරක්ෂා කිරීම සහ අවස්ථා සමානතාවය ලබා දීම වැනි අදහස් ඒ තුළ තිබුණි.නමුත් අද තත්ත්වය බලන විට, එම අරමුණු සීමිත ප්‍රමාණයකින්වත් ඉටුවී ඇති බවක් පෙනෙන්නේ නැත. ආදායම් පරතරය බරපතලය. සමාජ ආරක්ෂණ ක්‍රම දුර්වලය. අවස්ථා සමානතාවය සම්බන්ධයෙන් සැලකිය යුතු කිසිදු වෙනසක් සිදුවී නැත.
සමාජ සාධාරණත්වය යනු කෙටි කාලීන සහන වැඩසටහන් පමණක් නොව, ව්‍යුහමය වෙනස්කම් අවශ්‍ය වන ක්ෂේත්‍රයකි. නමුත් එවැනි ගැඹුරු වෙනස්කම් සිදු වී ඇති බවක් දක්නට නැත. හුදු ජන්දය ගැනීමට යොදා ගත් වචනයක් මිස එහි කිසිදු අර්ථයක් නැති තරමට එම වචහනය බාල වී ඇත.
රාජ්‍ය ප්‍රතිසංස්කරණ
රාජ්‍ය ප්‍රතිසංස්කරණය විෂය මෙම ආණ්ඩුව වැඩියෙන්ම කථා කළ කාරණයක් විය. රාජ්‍ය ආයතන ප්‍රතිසංවිධානය, කාර්යක්ෂමතාව වැඩි කිරීම සහ වියදම් අඩු කිරීම වැනි අරමුණු ඔවුන් විවිධ විච්චූර්ණ හරහා ඉදිරිපත් කළහ. නමුත් අද තත්ත්වය බලන විට, මෙම අංශය සම්බන්ධයෙන් කිසිදු ප්‍රගතියක් පෙන්වන්නේ නැත. රාජ්‍ය යන්ත්‍රණය එමම තත්ත්වයෙන් පවතී. කාර්යක්ෂමතාව වැඩි වී ඇති බවක් නොපෙනේ. ව්‍යුහමය සංස්කරණයක් ආරම්භ වී ඇති බවක් දක්නට නැත. විශේෂයෙන් ම සමහර රාජ්‍ය ව්‍යවසායන් (ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැනි) ලාභලබන තැනට ගේනවා වැනි ප්‍රකාශ මිස ඒවායේ කිසිදු ප්‍රගතියක් නැත.
වසර එකහමාරක් යනු පාලනයක් සම්පූර්ණයෙන්ම විනිශ්චය කිරීමට ප්‍රමාණවත් කාලයක් නොවිය හැකිය. නමුත් එය අනතුරු ඇඟවීමක් ලෙස සලකන්නට ප්‍රමාණවත් කාලයකි.මෙම අනතුරු ඇඟවීම ගණන් ගන්නේද නැද්ද යන්න මත, මෙම ආණ්ඩුවේ අනාගතය තීරණය වේ.
එබැවින්, අද අප ඉදිරියේ ඇති ප්‍රශ්නය තවමත් එලෙසම පවතී: ආණ්ඩුව ෆේල් වෙලාද? නැතහොත්, ෆේල් වෙන්න යන පාලනයක්ද? ඒ පිළිතුර දේශපාලන වේදිකාවල නොව, ජනතාවගේ විනිශ්චය තුළ ලියවෙන එකක් වනු ඇත.
(සටහන | මහාචාර්ය චරිත හේරත්)
charith9@yahoo.com
(ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇති මහාචාර්ය චරිත හේරත්, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මහාචාර්ය වරයකු ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත්, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති ලෙසත් කටයුතු කළේය.)




