The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දැන් සාහිත්‍ය කෘතිවල ගුණ අගුණ තීරණය කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශය හා රේගුව ද?

T

The Leader Desk

April 20, 2026 • 10:27 AM

දැන් සාහිත්‍ය කෘතිවල ගුණ අගුණ තීරණය කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශය හා රේගුව ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද සමයක ප්‍රකාශනයේ නිදහස සහ සාහිත්‍යකරුවාගේ ස්වාධීනත්වය පිළිබඳ කතිකාව යළිත් අඳුරු ඉමකට තල්ලු වී තිබේ. එය තහවුරු වනුයේ ප්‍රවීණ දෙමළ ලේඛක දීපචෙල්වන් ප්‍රදීපන්ගේ කෘති ශ්‍රී ලංකා රේගුව භාරයේ රඳවා තබා ගැනීමේ පුවතක් වාර්තා වීමත් සමඟිනි.
  • මෙම මර්දනකාරී වැඩපිළිවෙළෙහි මූලික චෝදනාව එල්ල වී ඇත්තේ වත්මන් බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි වෙත ය.
  • දීපචෙල්වන්ගේ කෘති නිදහස් කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට අප්‍රේල් 17 වැනි දින ලේඛකයා කොළඹට කැඳවූ අමාත්‍යවරයා, එම තීරණාත්මක සාකච්ඡාව අතරමඟ දී එය මඟහැර පලා යාම ඔහුගේ වගකීම් විරහිතභාවය සහ හීන පෞරුෂය මැනවින් නිරූපණය කොට තිබේ.
  • මෙම සිදුවීම පිටුපස ඇති බරපතලම ඛේදවාචකය වන්නේ කලක් ප්‍රගතිශීලී යැයි කියාගත් බුද්ධිමතුන් සහ කලාකරුවන් රජයේ මෙම මර්දනකාරී පිළිවෙත හමුවේ දක්වන නිහඬ පිළිවෙතයි.
අකුරු ප්‍රමාණය (Font Size):

2026 මාර්තු 27 වන දින ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද දීපචෙල්වන්ගේ ‘නඩුගල්’ (ස්මාරක ශිලාවත), ‘ත්‍රස්තවාදියා’, ‘සයනයිට්’, ‘මගේ ලිවීමෙන් මම යුද්ධ කරමි’ සහ ‘තවමත් මෙහි දේශයන් දෙකකි’ යන කෘති පහක පිටපත් 360ක් රේගු භාරයට ගෙන ඇත්තේ ඒවා ජාතික ආරක්ෂාවට හෝ ජාතික එකමුතුවට හානිකර බව පවසමිනි. ජාත්‍යන්තර සම්මානයට පවා පාත්‍ර වූ කෘති මෙසේ වාරණයට ලක් කිරීම හුදු පරිපාලනමය ක්‍රියාවලියක් නොව, පවතින රජයේ දෘෂ්ටිවාදීමය මර්දනයක ස්වරූපය ගෙන තිබේ.

මෙම මර්දනකාරී වැඩපිළිවෙළෙහි මූලික චෝදනාව එල්ල වී ඇත්තේ වත්මන් බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි වෙත ය. දීපචෙල්වන්ගේ කෘති නිදහස් කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට අප්‍රේල් 17 වැනි දින ලේඛකයා කොළඹට කැඳවූ අමාත්‍යවරයා, එම තීරණාත්මක සාකච්ඡාව අතරමඟ දී එය මඟහැර පලා යාම ඔහුගේ වගකීම් විරහිතභාවය සහ හීන පෞරුෂය මැනවින් නිරූපණය කොට තිබේ.


ප්‍රවීණ දෙමළ ලේඛක දීපචෙල්වන් ප්‍රදීපන්ගේ කෘති


මීට පෙර ද අලුත් අවුරුදු නැකත්වලට අසම්ප්‍රදායික ලෙස “පරණ අවුරුදු නැකත්” එක් කරමින් සිදු කළ සංස්කෘතික විලෝපනයත්, ගරු ඇලෝසියස් පීරිස් පියතුමන්ගේ විමුක්තිකාමී දේවධර්ම න්‍යායයන් පිළිබඳව කිසිදු අවබෝධයකින් තොරව පටු දේශපාලන වාසි තකා උන්වහන්සේ අවසන් මොහොතේ තමන් හා කී බවට කළ ප්‍රකාශයක් සමාජගත කිරීමත් මඟින් අමාත්‍යවරයාගේ දෘෂ්ටිවාදීමය දරිද්‍රතාව මැනවින් හෙළි වී තිබේ. පියතුමන් සමීපව ඇසුරු කළ හා එතුමන්ගේ සැබෑ කිතු මඟට මුළුමනින්ම අවනත සමාජ දෘෂ්ටිය හඳුනාගෙන සිටි බොහෝ පිරිස් එක හෙළා පවසනුයේ, ජාතික ජන බලවේග රජයක් පිහිටුවීම තම සිහිනයක් බවට ගරු ඇලෝසියස් පීරිස් පියතුමන් මරණ මංචකයේ සිට තමන් සමඟ කළ බවට සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි කළ ප්‍රකාශය ඔහුගේ සාවද්‍ය පරිකල්පනයක් බවකි.

එමෙන්ම කිලිනොච්චියේ සිට තකහනියේම කොළඹට ගෙන්වා ගත් දීපචෙල්වන් ප්‍රදීපන් ලේඛකයාට විසඳුමක් ලබා දෙනු වෙනුවට, ඔහු ලියූ කෘතිවල පිටපත් 360 ලබා ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය අවශ්‍ය බව පවසමින් ඔහුව හිස් අතින් ආපසු කිලිනොච්චියට හරවා යැවීම අමාත්‍යවරයාගේ හීන පෞරුෂය එළිදක්වන හා අප රටේ පීඩිත ජාතීන්ගේ හඬ යටපත් කිරීමේ සංකේතාත්මක ක්‍රියාවකි.

මෙම සිදුවීම පිටුපස ඇති බරපතලම ඛේදවාචකය වන්නේ කලක් ප්‍රගතිශීලී යැයි කියාගත් බුද්ධිමතුන් සහ කලාකරුවන් රජයේ මෙම මර්දනකාරී පිළිවෙත හමුවේ දක්වන නිහඬ පිළිවෙතයි. ජාතික ජන බලවේගය වැනි බලවේගයන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළ ද, ප්‍රායෝගිකව ඔවුන් ද ක්‍රියාත්මක වන්නේ පෙර පැවති වර්ගවාදී රෙජිමයන් අනුගමනය කළ ආරක්ෂක පිළිවෙත් අනුවමය. කෘතියක් ජනගත වීමට පෙරම එය තහනම් කිරීම හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) වගන්තියෙන් සහතික කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස බරපතල ලෙස උල්ලංඝනය වේ.

අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි
මෙය හුදෙක් පොත් තහනමක් නොව, දෙමළ ජනතාවගේ “සාමූහික මතකය” (Collective Memory) වනසා දැමීමට දරන උත්සාහයකි. සරල උපමාවකට අනුව කිවහොත් මෙය දැලකින් සුළං බැඳීමට දරන නිසරු වෑයමක් හා උගුරට හොරා බෙහෙත් කෑමකි. එනිසාම මෙය ජාතික ජන බලවේග ලැදි “සේදුම් බලකායට” ද සෝදා නිම කළ නොහැකි කුණු කන්දක් බව පෙනේ.

ප්‍රවීණ දෙමළ ලේඛක දීපචෙල්වන් ප්‍රදීපන්
කෙසේ හෝ දීපචෙල්වන්ම පවසන පරිදි සාහිත්‍යය යනු අනාගත පොදු ප්‍රජාවක් ගොඩනැගීමට ඇති නිවැරදිම ආයුධයයි. ඒ අනුව රේගුවට හෝ රජයේ ආරක්ෂක අංශවලට සාහිත්‍ය කෘතිවල ගුණාගුණ තීරණය කිරීමට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්දැයි ප්‍රශ්න කළ යුතුය. සැබෑ සංහිඳියාව ඇති කළ හැක්කේ පොත් වාරණය කිරීමෙන් නොව, විවිධ මතවාදයන්ට සාහිත්‍යය තුළ නිදහසේ මුණගැසීමට ඉඩ ලබා දීමෙන් පමණි. අමාත්‍යවරයාගේ සහ රජයේ මෙම අත්තනෝමතික ක්‍රියාකලාපය සමස්ත ශ්‍රී ලාංකීය සමාජයේම සිතීමේ නිදහස සිරගත කිරීමක් වන අතර, එය රටේ ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් අගාධයකට ඇද දමන්නකි.
 
P 01
ඉහත සඳහන් ඛේදවාචකය සම්බන්ධයෙන් විවිධ කියැවීම් මේ වන විට සමාජ මාධ්‍යවල දක්නට ලැබේ. මේ අතුරින් සමකාලීන සමාජ විඥානයෙන් සපිරි ව්‍යක්ත කවිත්වයක් හිමි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන අනුර කේ. එදිරිසූරිය ඒ සම්බන්ධයෙන් සිය මුහුණු පොතේ ගොනු කළ මතු දැක්වෙන කවියෙන් මෙම සටහන නිමා කරනු කැමැත්තෙමි. 
*කොවුලනි වසාගව් පුරසාරම් සද්ද උඹලත් ගයන්නේ සිංහල විතරක්ද?
*දකුණේ පිපෙන එරබදු රතුමද නැද්ද? උතුරේ පිපෙන එරබදුවල ලේ නැද්ද?
*සිංහල දෙමළ සහජීවන බොල් සද්ද අවුරුද්දට පස්සෙන්දා නිශ්ශබ්ද
*දෙමළ පෑන ලිප මොළවන දර වෙච්ච රටක කොහොම උතුරේ කිරි උතුරත්ද?

Reeta Jenet Perera
(සටහන | රීටා ජෙනට් පෙරේරා)

නිදහස් මාධ්‍යවේදිනී
madampagereetajenet@gmail.com
 

උපුටා ගැනීම - vinivida

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...