The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දීපචෙල්වන් ගැන මෙතෙක් කතාව...

T

The Leader Desk

April 20, 2026 • 3:12 PM

දීපචෙල්වන් ගැන මෙතෙක් කතාව...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලේඛක දීපචෙල්වන්ගේ අලුත්ම නවකතාව සහ කෘති කීපයක දෙවැනි මුද්‍රණයේ පිටපත් ඉන්දියාවේ සිට නැවෙන් රැගෙන එද්දී
  • ඒ ගැන දීපචෙල්වන්ට දන්වා තිබුණේ මාර්තු 27 වැනිදාය.
  • රේගුවේ භාරයට එම පොත් ගෙන තිබෙන්නේ ඒවායෙන් ජාතික සංහිඳියාවට හානිකරන්නේ යැයි චෝදනා කරමින් බව ඇය එහි ලියා තිබිණ.
  • එහෙත් එම චෝදනා මුළුමනින්ම සාවද්‍ය යැයි චෝදනා කළ ඇය වාර්ගික යුද්ධයෙන් දැඩි සේ පීඩාවට ලක් වූ දීපචෙල්වන් තම අත්දැකීම් පසුබිම් කරගෙන ඉදිරිපත් කරන නිර්මාණ 88/89 කැරැලි අත්දැකීම් ඇසුරෙන් ඉදිරිපත් කරන නිර්මාණවලින් වෙනස්වන්නේ කෙසේදැයි ප්‍රශ්න කළාය.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකා රේගුව භාරයට ගෙන තිබුණේ 2026 මාර්තු 18 වැනිදාය. ඒ ගැන දීපචෙල්වන්ට දන්වා තිබුණේ මාර්තු 27 වැනිදාය.

මේ සම්බන්ධයෙන් සිංහල සාහිත්‍ය සමාජයේ වැඩි දෙනෙකුගේ අවධානය යොමුවීමට බලපෑවේ දීපචෙල්වන්ගේ කෘති සිංහලට පරිවර්තනය කළ කොළඹ විශ්ව විද්‍යාලයේ කතිකාචාර්ය අනුෂා ශිවලිංගම් ෆේස්බුක්හි පළ කළ පෝස්ටුවකි.

ඇය පවසන ආකාරයට කතුවරයාගේ සියලු පොත් මුද්‍රණය කරන්නේ ඉන්දියාවේය. රේගුවේ භාරයට එම පොත් ගෙන තිබෙන්නේ ඒවායෙන් ජාතික සංහිඳියාවට හානිකරන්නේ යැයි චෝදනා කරමින් බව ඇය එහි ලියා තිබිණ. එහෙත් එම චෝදනා මුළුමනින්ම සාවද්‍ය යැයි චෝදනා කළ ඇය වාර්ගික යුද්ධයෙන් දැඩි සේ පීඩාවට ලක් වූ දීපචෙල්වන් තම අත්දැකීම් පසුබිම් කරගෙන ඉදිරිපත් කරන නිර්මාණ 88/89 කැරැලි අත්දැකීම් ඇසුරෙන් ඉදිරිපත් කරන නිර්මාණවලින් වෙනස්වන්නේ කෙසේදැයි ප්‍රශ්න කළාය. මාර්තු 28 වැනිදා පළ කළ පෝස්ටුවේ අවසානයේ අනූෂා ශිවලිංගම් කර තිබුණු ඉල්ලීම මෙසේය.

see3e

“සංස්කෘතික ඇමැති හිනිදුම සුනිල් සෙනෙවි මැතිතුමනි, ශ්‍රී ලංකා ලේඛක සංගමයේ සභාපති කමල් පෙරේරා මහතාණෙනි, මේ සම්බන්ධව අවධානය යොමුකරන්න. මැදිහත්වීමක් කරන්න. දීපචෙල්වන්ගේ පරිවර්තන කෘති කියවන්න. අප රටේ උතුරේ ලේඛකයන්ට මෙවන් පීඩාවන්ට ලක්වන්නඩ ඉඩදෙන්න එපා. ඔවුන් තුළ වත්මන් රජය ගැන යම් සුබවාදී දැක්මක් තිබෙනව. එය දුහුවිල්ලක් වන්නට ඉඩදෙන්න එපා. ඉක්මනින්ම රේගුවෙන් ඔහුගේ පොත් නිදහස් කිරීමට මැදිහත්වන්න”


දීපචෙල්වන්ගේ රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන නමැති කාව්‍ය කෘතිය සිංහලට පරිවර්තනය කරනු ලැබුවේ ද අනූෂා ශිවලිංගම් විසිනි. දීපචෙල්වන් මුහුණ පා සිටින තත්ත්වය ගැන දකුණේ සමාජයේ සාකච්ඡාව තීව්‍ර වූයේ ද සිංහල හා දෙමළ සාහිත්‍ය අතර පාලමක් තැනීමට ක්‍රියා කරන අනූෂා ශිවලිංගම්ගේ මෙම පෝස්ටුවෙනි.  දකුණේ සිංහල පාඨකයන් අතර ද ප්‍රකට දීපචෙල්වන්ගේ නව කතා හා කෙටි කතා මෙන්ම කවි ද සිංහලට පරිවර්තනය වී තිබේ. දීපචෙල්වන් විසින් රචිත ‘නඩුගල්’ නවකතාවේ සිංහල පරිවර්තනය කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි පරීක්ෂණවලට නිර්දේශිතය.

දීපචෙල්වන් මේ සම්බන්ධයෙන් ෆේස්බුක්හි පළ කළ අදහස් ඇසුරෙන් ඉන්පසු කවීන්, නවකතාකරුවන් ඇතුළු සාහිත්‍යකාමීන් රැසක් අදහස් පළ කිරීම ආරම්භ කළ අතර ඒවායේ සටහන්ව තිබුණේ සංස්කෘතික කටයුතු හා ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ලබාගැනීමෙන් පසුව පමණක් පොත් නිකුත් කරන බවට රේගු දෙපාර්තමේන්තුව ලේඛකයාට දන්වා ඇති බවයි. දීපචෙල්වන් මේ සම්බන්ධයෙන් මැදිහත්වීමක් කරන්නැයි ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයකු හා කවියකු ලෙසින් කටයුතු කළ සංස්කෘතික කටයුතු ඇමැති සුනිල් සෙනෙවි මහතාට ලිපියක් ද යොමුකර තිබිණ.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් රේගුවට ප්‍රශ්නාවලියක්..

xffdf

මේ අතර නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අප්‍රේල් 2 වැනිදා ‘දීපචෙල්වන්ගේ කෘති රේගුව විසින් රඳවාගනු ලැබීම යනු භාෂණයේ ප්‍රකාශනයේ නිදහස අවහිර කිරීමකි’ මැයෙන් නිවේදනයක් නිකුත් කළේය. එහිදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිය නිවේදනය පාවිච්චි කර තිබුණේ ශ්‍රී ලංකා රේගුවට නිශ්චිත ප්‍රශ්න 3ක් ඉදිරිපත් කිරීමටය. එම ප්‍රශ්න මෙසේය.

1. මෙම කෘති රඳවා තබාගැනීම සම්බන්ධයෙන් රේගුවට උපදෙස් ලබාදුන්නේ කිනම් පාර්ශ්වයක්ද?

2. මෙම කෘතීන්හි අන්තර්ගතය අනීතික හෝ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අයහපත් ලෙස බලපාන්නේද? බලපාන්නේ නම් ඒ කෙසේද?

3. රේගු නිෂ්කාශන කාර්යන්හිදී සාහිත්‍ය කෘතියකට අදාළ කරුණු නිශ්චය කිරීමේ රේගුව සතු විෂය ප්‍රවීණත්වය කුමක්ද?

ශ්‍රී ලංකා රේගුව මේ ගැටලුවලට කුමන පිළිතුරු ලබාදුන්නද ඔවුන් අනිසි ලෙස මැදිහත්ව ඇත්තේ නිර්මාණකරුවකු සතු ප්‍රකාශනයේ නිදහස සහ ඔහුගේ පාඨකයන් සතු දැනගැනීමේ අයිතිය උල්ලංඝනය කිරීමට බව ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එහිදී අවධාරණය කර තිබිණ. රේගුව යනු රාජ්‍ය ආයතනයක් වන බැවින් මෙවැනි සිදුවීම් අරභයා පවත්වා ගත යුතු වගවීමෙන් බැහැරවීමට ආණ්ඩුවට හැකියාවක් නැතැයි ද එහි සඳහන් විය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු ලසන්ත ද සිල්වා හා ලේකම් දිලීෂා අබේසුන්දරගේ අස්සනින් යොමුකළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබුණේ ඕනෑම භාෂාවකින් කෙරෙන නිර්මාණ කටයුතුවලදී නිර්මාණකරුවන්ගේ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමට ඒකාබද්ධ පෙරමුණක් ලෙස ක්‍රියාත්මක වන මෙන් මාධ්‍යවේදීන් කලාකරුවන් ඇතුළු සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටින බවයි.

මේ අතර රජයේ පුවත්පත් මුද්‍රණය කෙරෙන ලේක්හවුස්හි උපදේශකවරයකු ලෙස ක්‍රියා කරන මාධ්‍යවේදී අනුර කේ එදිරිසූරිය අප්‍රේල් 2 වැනිදා සටහනක් තබා තිබුණේ සංස්කෘතික ඇමැති සුනිල් සෙනෙවි මහතා මැදිහත් වී ගැටලුව නිරාකරණය වී ඇති බවට සිතා සිටි නමුත් එය එසේ නොවන බවය. “මේ රඳවා තබාගැනීම පැහැදිලි ලෙසම දෙමළ වීම නිසාම සිදුවූවක්. දෙමළ ජනතාවගේ ප්‍රකාශනයේ නිදහසට බාධා කිරීමක්. අයි.සී.සී.පී.ආර් ගැන පොලිසියට දුන් උපදෙස් මාලාව රේගුවටත් අදාළ කරන්න. සුනිල් සෙනෙවි ඔන්න මැදිහත් වෙනව නම් වැඩක්. අරාබි අකුරුවලට එනම් ඉස්ලාම් ආගමේ කෘතිවලටත් මේ ප්‍රශ්නය තිබෙනවා” යනුවෙන් අනුර කේ එදිරිසූරිය සටහන් කර තිබිණ.

ජනතා විමුක්ති පෙරමුණේ අප්‍රේල් විරු සමරුව පැවැති අප්‍රේල් 5 වැනිදා ඇතැම් පිරිස් මේ ගැන ප්‍රශ්න කර තිබුණේ ජවිපෙ කැරැලි සමයේ අත්දැකීම් ද පාදක කරගෙනය. ජවිපෙ කැරැලි සමයේ නිවෙසක රාවය හා සෝවියට් දේශය වැනි සඟරා තබාගැනීම ද සැකයට බඳුන් වූ බැවින් එම කෘති විනාශ කිරීමට වැඩිහිටියන් කටයුතු කළ නමුත් රජයේ ප්‍රධානීන්ගේ මුහුණු තිබුණු බැවින් පාසල් සිසුන් නිතර සමාජ අධ්‍යයනය පොත බෑගයේ තබා ගත් බව එයින් එක් සටහනක සඳහන් විය. ජාතික ජනබලවේගය බලයට පත්වීමෙන් පසු පැවැති පළමු රාජ්‍ය සාහිත්‍ය දේශනයේදී මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා කළ සඳහනක් ද එහි උපුටා තිබුණේ මෙසේය.


“අපි අපේ උතුරට උඩින් පැනලා දකුණු ඉන්දියාවටවත් නොයා උතුරු ඉන්දියාවට යන බව මහාචාර්යතුමා කීවේය. ඉතිං සර් අපේ උතුරට රෙද්දක් ඇඳං යන්නේ කෝමද අප්පා අපේ කස්ටම් එක මේම කරද්දී”



දීපචෙල්වන්ගෙන් නැවතත් සටහනක්..
deepachelwan
එහෙත් අවුරුදු උදාව සමග මේ පිළිබඳ අවධානය තරමක් අඩු වූ අතර අප්‍රේල් 7 වැනිදා දීපචෙල්වන් නැවතත් ෆේස්බුක් සටහනක් තබා තිබුණේ සිංහල නිර්මාණකරුවන් සහ සමාජ ක්‍රියාකාරිකයන් බොහෝ දෙනෙකු මැදිහත් වී අදහස් පළ කළ ද තම කෘති නිදහස් කරගැනීමට මෙතෙක් නොහැකි වූ බව කියමිනි. ‘පසුගිය දින 12ක් පුරා මෙම ගැටළුව ‘සයනයිඩ්’ සේම මාගේ සාමාන්‍ය ජීවිතය ගිලගනිමින් තිබේ. මෙය තමිල් ජනතාවට පමණක් නොව ඔවුන්ගේ සාහිත්‍ය නිර්මාණ සහ ඒවායේ ඇති චරිත ද ‘ත්‍රස්තවාදීන්’ ලෙස බලන තත්ත්වයක් පවතින බව පෙන්වයි. ආණ්ඩු වෙනස් වුවද පසුගිය කාලයේ තමිල් ජනතාව මර්දනය කිරීමට භාවිත කළ එම නීති සහ වෙනස්කම්ම අදත් වත්මන් ආණ්ඩුව යටතේ ද දිගටම පවතී. මගේ ලේඛන නිදහස් කරවාගැනීම සඳහා වන අරගලයෙන් මම කිසිදා පසුබසින්නේ නැත’ යනුවෙන් දීපචෙල්වන් එහි ලියා තිබිණ.

දීපචෙල්වන්ගේ කෘති රේගුවේ සිරවීම ගැන වැදගත්ම අවධාරණයක් මේ අතර මතුකර තිබුණේ ප්‍රවීණ ලේඛක චූලානන්ද සමරනායකයන්ය. දෙමළ පොත් ඉන්දියාවේ මුද්‍රණය කිරීමට විවිධ හේතු ඇති නමුත් ලංකාවට පොත් මුද්‍රණය කර ගෙනෙන්නේ ඉන්දියාවෙන් පමණක් නොවන බවත් චීනයෙන් පවා පොත් මුද්‍රණය කර ගෙන්වන බව සමරනායක මහතා පැවැසීය. ඊට එක් හේතුවක් වන්නේ ලංකාව තුළ මුද්‍රණ කර්මාන්තයේ අධික මිල යැයි කී හෙතෙම ප්‍රශ්නය වන්නේ සිංහල කෘති ද වෙනත් රටවල මුද්‍රණය කර ගෙන්වූ අවස්ථා ඇති මුත් මෙවැනි බාධා ඒවාට එල්ල නොවීම යැයි සටහන් කර තිබිණ. දෙමළ භාෂාව යනු විදෙස් බසක් නොව ලංකාවේ රාජ්‍ය භාෂාවක් බවත් මේ බසට නොසැලකිල්ල දැක්වීම මගින් අප කරගත් වින්නැහිය සියලු දෙනා සිහිපත් කරගත යුතු යැයි කී සමරනායකයෝ ‘අප ඉන්නේ එවන් දෑ යළි සිදු නොවන බවට කැට තියා සහතික දුන් ආණ්ඩුවක් යටතේ බවත් අප ඒ සමගම සිහිකැඳවා ගත යුතුය’ යනුවෙන් සටහන් කර තිබිණ.

රේගු භාරයේ ඇති කෘති නිදහස් කරගැනීම සඳහා වූ සාකච්ඡාවකට ඒවායේ කර්තෘ දීපචෙල්වන්ට ආරාධනා කෙරුණේ මේ අතරේය. අප්‍රේල් 17 වැනිදා බත්තරමුල්ලේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සංවිධානය කෙරුණු මෙම අවස්ථාවට දීපචෙල්වන්ට සහාය දක්වමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු විවිධ සංවිධාන නියෝජනය කරමින් ද පුද්ගලිකව ද සාහිත්‍යකාමීහු පිරිසක් සහභාගී වූහ. රැස්වීමෙන් අනතුරුව ඔවුහු නිවේදනයක් නිකුත් කරමින් චෝදනා කළේ අදාළ සාකච්ඡාව හුදෙක්ම මෙම කෘති රඳවාතබාගැනීම සම්බන්ධයෙන් රජය කෙරෙහි මතුවෙමින් පැවැති අප්‍රසාදය කළමනාකරණය කරගැනීමේ වෑයමක් බවටය. කෙසේ වෙතත් එම නිවේදනයෙන් නිශ්චිත ප්‍රශ්න 4ක් ඔවුහු මතුකළහ. ඒවා මෙසේය.


සංස්කෘතික අමාත්‍යාංශයේ සාකච්ඡාවෙන් පසු නිවේදනයක්

  1. සංස්කෘතික අමාත්‍යාංශයට මේ ප්‍රශ්නය හා නෛතික සම්බන්ධයක් නැති තත්ත්වයක් තුළ ඒ යටතේ පවතින ලංකා කලා මණ්ඩලයේ සහ රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයේ සාමාජිකයන් දීපචෙල්වන්ගේ කෘති සම්බන්ධයෙන් දක්වන අදහස් ඇතුළත් නිරීක්ෂණ වාර්තාවක් සැකැසීමේ අරමුණ කුමක්ද? එම වාර්තාවේ අන්තර්ගතය ප්‍රසිද්ධ නොකිරීමේ පදනම කුමක්ද?

  2. අදාළ නිරීක්ෂණ වාර්තාව සංස්කෘතික ඇමැතිවරයාට භාරදෙන බව මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙයි. එහෙත් සාකච්ඡාව තුළදී දැනුම් දුන්නේ එය රේගුවට භාර දෙන බවය. සංස්කෘතික ඇමැතිවරයාට භාරදෙන්නේ නම් එම නිරීක්ෂණ වාර්තාව ඉන්පසු රේගුව හෝ ආරක්ෂක අමාත්‍යාංශය වෙත භාරදෙන්නේද?

  3. එම සාකච්ඡාවේදී තමන් ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන කිසිවක් තම කෘතිවල ලියා නැති බව ලේඛක දීපචෙල්වන් අවධාරණය කළේය. ඔහු ලියූ කෘති හතරක් ‘ගැටළු සහිත’ බව රේගු පාර්ශ්වයෙන් දන්වනු ලැබීය. රාජ්‍ය කලා මණ්ඩල සහ සාහිත්‍ය අනුමණ්ඩල සාමාජිකයන් වෙතින් ද එම කෘති කිහිපයක ගැටලු පවතින බව ප්‍රකාශ විය. එසේ නම් එම ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ නිර්වචන සපයමින් අවසන් විනිශ්චය ලබාදෙන්නේ කවුරුන් විසින්ද?

  4. මීට ඉහත දී මේ හා සමානව රේගුව විසින් රඳවා ගනු ලැබූ ප්‍රබන්ධ හෝ ප්‍රබන්ධ නොවන කෘති තිබේද? තිබේ නම් ඒවා මේ වනවිට නිදහස් කර තිබේද? ඒවා නිදහස් කිරීමට අනුගමනය කළ ක්‍රමවේදය කුමක්ද?

මෙම සාකච්ඡාව පිළියම් වෙනුවට අලුත් ගැටලු මතුකළ එකක් හැටියට හැඳින් වූ මෙම ලේඛක හා සමාජ ක්‍රියාකාරීහු නිශ්චිත තීරණයක් ලබා නොදී දීපචෙල්වන් ලේඛකයා නැවත තම ගම පිහිටි කිලිනොච්චියට හිත් අතින් යවා රස්තියාදු කිරීම ගැන තදබල විරෝධය පළ කරන බව ද ප්‍රකාශ කළහ. ‘කෘති නිදහස් කරගැනීමට මාර්ගෝපදේශ ලබාදීම’ මැයෙන් කැඳවීම් ලිපියක් යොමුකර ලේඛකයකුට මෙසේ කෘති සම්බන්ධනේ නිලධාරීන් ඉදිරියේ පැහැදිලි කිරීම් කරන්නට සිදුවීම පවා අදහස් ප්‍රකාශනයේ නිදහසට එල්ල වන බරපතල තර්ජනයක් යැයි ඔවුහු අවධාරණය කළහ. දකුණේ සිංහල සමාජය කේන්ද්‍ර කරගෙන අතීතයේ පැන නැගුණු රාජ්‍යවිරෝධී කැරලිකාරීත්වය කෙරෙහි සහානුකම්පිතව සාහිත්‍යමය පරිකල්පනයන් හා දේශපාලන අදහස් දැක්වීමේ යෙදීමට බල නොපාන සීමා, වාරණ හා තර්ජන දෙමළ හා මුස්ලිම් ජාතික ලේඛකයන්ගේ කෘති ඉලක්ක කරමින් මතුකරන්නේ කවර යුක්තියක් යටතේදැයි ඔවුහු සිය නිවේදනයෙන් වැඩිදුරටත් ප්‍රශ්න කර තිබිණ.


කල්පනා ඇම්බ්‍රෝස්  හා සසංක පෙරේරා ඉල්ලා අස්වෙයි

bdfgff

මේ අතර මෙම සිදුවීමට විරෝධය පා රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩල සාමාජිකා කල්පනා ඇම්බ්‍රෝස් ඉල්ලා අස්විය. අප්‍රේල් දෙවැනි සතියේ ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ විධායක කමිටුවෙන් ඉල්ලා අස් වූ මහාචාර්ය සසංක පෙරේරා ද සටහනක් තබා තිබිණ. ඉන්දියාවේදී ඔහුගේ කෘති වාරණයට ලක්වූයේ පසුගිය වසරේය. ලේඛක දීපචෙල්වන්ගේ කෘති අරභයා මතුව ඇත්තේ ඝෝෂාකාරී කතාබහක් යැයි අර්ථකතනය කළ මහාචාර්යවරයා චෙල්වන්ගේ කෘති සාධාරනීකරණය කරන්නන් මෙන්ම ඊට ප්‍රතිවිරුද්ධව අදහස් දක්වන බහුතරය චෙල්වන්ගේ පොත් කියවා නැති බව අවධාරණය කළේය. පරමාදර්ශීයව කිසිදු පොතක් වාරණයට ලක්නොවිය යුතු නමුත් ලෝකයේ කිසිදු තැනක එවැනි යථාර්ථයක් නැතැයි ද මහාචාර්ය සසංක පෙරේරා කියයි. පොතක් හෝ ඕනෑම දෙයක් ගැන සැකයක් තිබේ නම් රඳවාගැනීමට රේගුවට හැකි නමුත් ප්‍රශ්නය දුරදිග ගියේ දීපචෙල්වන්ගේ කෘති රඳවාගැනීමේ පදනම පැහැදිලි කිරීමට රේගුව මෙන්ම සංස්කෘතික හා ආරක්ෂක අමාත්‍යාංශ අසමත්වීමෙන් යැයි ද ඔහු පවසයි. මේවා ප්‍රචණ්ඩ තත්ත්ව ගැන කතා කරන කෘති (එල්.ටී.ටී.ඊය හෝ එහි සාමාජිකයන් ගැන) විය හැකි වුවත් වාර්ෂිකව සංවිධානය කෙරෙන ඉල්මහ විරු සැමරුම්වලදී සිදුවන්නේ රාජ්‍යවිරෝධී කටයුතුවලදී මිය ගිය ජවිපෙ සාමාජිකයන් උත්කර්ෂයට නැන්වීම නොවේදැයි මහාචාර්ය සසංක පෙරේරා ප්‍රශ්න කරයි. ජාතික ආරක්ෂාවට වඩාත් හානි වන්නේ පොත්වලට වඩා රටේ ජාතික සම්පත් විදේශිකයන්ට විකුණා දැමීමෙන් යැයි පවසන මහාචාර්යවරයා ඊට නිදසුන් ලෙස දක්වා තිබුණේ හම්බන්තොට වරායෙන් කොටසක් 2017දී චීන රජයට අයත් සමාගමට විකිණීම හා කලම්බු ඩොක්යාඩ් සමාගමෙන් කොටසක් ඉන්දීය රජයේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින සමාගමකට 2025දී විකිණීමය.

මේ අතර 17 වැනිදා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවෙන් පසුව ජනමාධ්‍ය වෙත අදහස් දැක් වූ ආණ්ඩු පාර්ශ්වයේ ලේඛකයන් දක්වා තිබුණේ මිශ්‍ර අදහස්ය. ඔවුන්ගේ අදහස් දැක්වීම් (වොයිස් කට්) ප්‍රචාරාත්මක ලෙස සමාජ මාධ්‍යට එක්කිරීමට ද වැඩපිළිවෙලක් සකසා තිබුණු අතර එම ලේඛකයන්ගේ අදහස් දැක්වීම්වලට අදාළ වීඩියෝවල තේමා සටහන් කර තිබුණේ මෙසේය. ඇතැම් ප්‍රකාශනයන්ගෙන් සමාජ ව්‍යසනයන් ඇතිවන්නට පුළුවන්: භාෂණයේ නිදහස කියන්නේ ඕනෑම දෙයක් ප්‍රකාශ කිරීමට ඇති නිදහස නොවේ: ජයතිලක කම්මැල්ලවීර, නිර්මාණාත්මක කෘතියක් කිසිසේත්ම සමාජ ප්‍රගමනයට මිස සමාජ අවගමනයට හෝ විනාශයට දායක නොවිය යුතුය: කීර්ති වැලිසරගේ, ඇතිව තිබෙන සංහිඳියාව රැකගැනීම සාහිත්‍යකරුවන්ගේ වගකීමක් : ශිවා, මේ ආණ්ඩුව කිසිසේත්ම මර්දනීය ආණ්ඩුවක් නෙවෙයි: මේ ආණ්ඩුවේ බිහිවීමම සමාජ පරිවර්තනක් අඟවන දෙයක්: ආචාර්ය කෞශල්‍ය කුමාරසිංහ, අපගේ අරගලයේ ජයග්‍රහණය සහෝදරත්වයයි සංහිඳියාවයි අපගේ වගකීම වියයුත්තේ එය තහවුරු කරගැනීමයි: ගීත රචක රවි සිරිවර්ධන.

කෙසේ වෙතත් මෙම අදහස් දැක්වීම්වලට ආණ්ඩුවට මතවාදීව හිතවත්ව අදහස් දක්වන ලේඛකයන්ගේ පවා විරෝධය එල්ල විය. ආණ්ඩුව වැරැදි උපදෙසක් ඔස්සේ දිගින් දිගටම යමින් ඇතැයි කී ඔවුහු ඊට එක් තර්කයක් ලෙස දැක්වූයේ රේගුවේ රඳවා තබාගෙන සිටින ‘නඩුගල්’ නමැති කෘතිය ‘ස්මාරක ශිලාවත’ මැයෙන් සිංහලට පරිවර්තනය කර ප්‍රකාශය කර ඇත්තේ මීට කලකට පෙර වීමය. එහි ප්‍රකාශකයා වන කඩුල්ල ප්‍රකාශන සමාගමේ හිමිකරු ජාතික ජනබලවේගයේ බියගම ප්‍රාදේශීය සභාවේ සභිකයෙකි. කෙසේ වෙතත් 2026 අප්‍රේල් 20 වැනිදා වනවිටත් දීලචෙල්වන්ගේ කෘති සම්බන්ධයෙන් අවසානාත්මක තීන්දුවකට පැමිණ තිබුණේ නැත.


‘මගේ අවිය කවියයි’

writ

දීපචෙල්වන් කවියාගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස වාරණය වී ඇති මේ අවස්ථාවේ වැඩි වැඩියෙන් ඔහුගේ නිර්මාණ ජනගත විය යුතු යැයි සුරේඛා සමරසේන ඇතුළු ලේඛක පිරිසක් අදහස් මේ අතර අදහස් ඉදිරිපත් කර තිබුණි. සැබැවින්ම සිංහල පොදු ජනයා අතරේ දීපචෙල්වන්ගේ නිර්මාණ සම්බන්ධයෙන් උනන්දුව මෝරා යෑමට ද මෙම සිදුවීම පාදක වී තිබේ. ‘මම ශ්‍රී ලාංකිකයෙක් නොවෙමි’ මැයෙන් වූ ඔහුගේ කාව්‍ය කෘතියක ‘මගේ අවිය කවියයි’ මැයෙන් වූ කවිය කතිකාචාරිනී අනූෂා ශිවලිංගම් ෆේස්බුක් වෙත යොමුකර තිබිණ. මේ එම කවියයි.

මා සතුව
තුවක්කු නැත
කාලතුවක්කු ද නැත
නැත
යුදටැංකි බෝම්බ
මා සතුව ඇත්තේ
වචන පමණය

ඒවා
මගේ වදන නොව,
මගේ භූමියේ වචනය
මගේ මිනිසුන්ගේ වචනය

තුවක්කු අතැති
ධීර සෙබළු
මගේ කවි දැක
බිය වෙන්නේ කුමටද?

තට්ටු කර දොර
අල්ලපු ගෙදර
අසනු ඇත මං ගැන
ගණන් කර
මා ඇවිදින
පාද

නොදත් අංකවලින්
ඇමතුම් එයි
පිළිතුර නොදී
විසන්ධි වෙන

මහ රෑ
බල්ලන් බුරවන
දහවල
භයංකර හඬ දෙන
මෝටර් රථ

සොයමින් මගේ
පොත පත
කළහැකි යමක්
සොයයි අද
ඒ ධීර වීර සෙබළුන්

ඔබේ
තුවක්කු බිඳලන
බෝම්බ නසන
කාලතුවක්කු කඩන
කඳවුරු කුඩු කරන
මගේ වචනවලට
ඔබ මෙතරම්ම බියව ඇත

අපි සටන් කරන්නෙමු
අපේ භූමිය රැකුමට
ඔබ
යුද්ධ කරයි
ඒ භූමිය
අත්පත් කරගැනුමට

එබැවින්
ඔබ
මගේ කවිවලට බියව ඇත
මගේ මිනිසුන්ට බියව ඇත
මගේ භූමියට බියව ඇත


සටහන : ගිම්හාන් ද සිල්වා

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දීපචෙල්වන් ගැන මෙතෙක් කතාව... | The Leader