The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සමාජ මානව විද්‍යාත්මක විමසුමක් ; ආලෝකා වටා අපේ රටේ දී මෙතරම් 'අයිතිකරුවන්' රොක් වුණේ කොහොමද? | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

T

The Leader Desk

April 21, 2026 • 6:44 AM

සමාජ මානව විද්‍යාත්මක විමසුමක් ; ආලෝකා වටා අපේ රටේ දී මෙතරම් 'අයිතිකරුවන්' රොක් වුණේ කොහොමද? | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනතා ආකර්ෂණයට ලක්වන පුද්ගලයකු, සත්වයකු, ස්ථානයක් හෝ ද්‍රව්‍යමය යමක් සම්බන්ධ සමාජමය ප්‍රතිරූපය ශීඝ්‍රයෙන් ඉහළ නැංවීම අතිශය සාමාන්‍ය තත්ත්වයකි. මේ වන විට “සාම සුනඛයා” යනුවෙන් ජාත්‍යන්තර කීර්තියට පත් ‘ආලෝකා’ වෙනුවෙන් ද එය එපරිද්දෙන්ම බලපවත්වා ඇත.
  • මෙවන් අවිචාරවත් සමාජමය සංසිද්ධීන් බහුල වීමට එය ද බලපා ඇති බව නොරහසකි.
  • පළමුව, මෙම ආලෝකාගේ ලංකාගමනය සංකේතාත්මක අනුභූතියක් (Symbolic Presence) ලෙස හැඳින්විය හැකිය.
  • සමාජයක් ලෙස මිනිස්සු සැමවිටම “සාමය” හෝ “අහිංසාව” වැනි වියුක්ත සංකල්ප පහසුවෙන් තේරුම් ගැනීමට ප්‍රත්‍යක්ෂ සංකේත සොයති.
අකුරු ප්‍රමාණය (Font Size):


පසුගිය කාලයේ එම සුනඛයා ද කැටුව ඇමෙරිකාවේ පා ගමනක යෙදුණු භික්ෂූන් වහන්සේලා කණ්ඩායමක් මෙම අප්‍රේල් 21 (අද) සිට 28 දක්වා ශ්‍රී ලංකාවේ ද පා ගමනක යෙදීම පිණිස ආලෝකා සමඟ පැමිණීමේ පුවත මේ වන විටත් දේශීය ජන විඥානය උණුසුම් කිරීමට සමත් වී තිබේ. ඒ අනුව මෙම පැමිණීමට විවිධ අයුරින් සම්මාදම් වීමට සේම ආලෝකාට හිමිකම් කීමට විවිධ පුද්ගලයන්, කණ්ඩායම්, සංවිධාන සහ ආයතන ජන මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ සැදී පැහැදී සිටින අයුරු මනාව නිරීක්ෂණය කළ හැකිය.

 මෙය හුදෙක් එක් සුනඛයෙකු කෙරෙහි දක්වන ආදරයට එහා ගිය, ගැඹුරු සමාජ මානව විද්‍යාත්මක (Socio-anthropological) පදනමක් සහිත සංසිද්ධියක් බැවින් විවිධ කෝණ කිහිපයකින් විමසුමට ලක් කළ හැකිය. මෙය මූලික වශයෙන් සමාන වනුයේ “මෙවර පහේ ශිෂ්‍යත්වයෙන්, අපොස සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතමයන් වැඩිම පිරිසක් බිහි කළ” යන වදන් යොදා ප්‍රචාරක යාන්ත්‍රණයේ යෙදෙන උපකාරක පන්ති ගුරුවරුන්ගේ ක්‍රියාවකටය. නමුත් මේ සම්බන්ධ සමාජ මනෝවිද්‍යාත්මක කියැවීම් පොදු සමාජය වෙත සම්ප්‍රේෂණය වීමේ ද බරපතල අඩුවක් පවතී. මෙවන් අවිචාරවත් සමාජමය සංසිද්ධීන් බහුල වීමට එය ද බලපා ඇති බව නොරහසකි.

aloka lanka

පළමුව, මෙම ආලෝකාගේ ලංකාගමනය සංකේතාත්මක අනුභූතියක් (Symbolic Presence) ලෙස හැඳින්විය හැකිය. සමාජයක් ලෙස මිනිස්සු සැමවිටම “සාමය” හෝ “අහිංසාව” වැනි වියුක්ත සංකල්ප පහසුවෙන් තේරුම් ගැනීමට ප්‍රත්‍යක්ෂ සංකේත සොයති. එහිදී ආලෝකා යනු හුදෙක් සත්වයෙකු නොව සාමයේ සහ සංහිඳියාවේ සජීවී සංකේතයකි.

බටහිර ලෝකය ජයගත් බෞද්ධ භික්ෂූන් සහ අපේ උරුමය වැනි දෑ නැවත මෙරටට පැමිණීම තුළින් ජනතාව තුළ ආගමික මෙන්ම ජාතික අභිමානය මුසු වූ හැඟීමක් ජනිත වේ. දෙවනුව, මෙහිදී ප්‍රතිරූප ප්‍රාග්ධනය සහ සමාජ පිළිගැනීම (Symbolic Capital) කෙරෙහි ඇති සමාජමය උනන්දුව කැපී පෙනේ. විවිධ පාර්ශ්වයන් මෙම සිදුවීමට උරුමකම් කීමට උත්සාහ කරන්නේ තම සමාජ ප්‍රතිරූපය (Social Image) වර්ධනය කර ගැනීමටය. ආයතනික මට්ටමින් මෙය “ගුණාත්මක වෙළඳනාමකරණයක්” (Goodwill Branding) ලෙස භාවිත කෙරේ. පුද්ගල මට්ටමින් ප්‍රසිද්ධ සංසිද්ධියක් සමඟ අනන්‍ය වී සමාජ මාධ්‍ය තුළ වැඩි අවධානයක් (Engagement) ලබා ගැනීමට ඇති කැමැත්ත ද මෙහිදී දැකගත හැකිය. මෙම පුද්ගල, ආයතනික හා ප්‍රජා චර්යාවන් ඔබට ද මේ දිනවල මනාව නිරීක්ෂණය වනු ඇත.

එමිල් ඩර්ක්හයිම් වැනි මානව විද්‍යාඥයන් පෙන්වා දෙන සාමූහික සවිඥානිකත්වය (Collective Consciousness) මෙහිදී ක්‍රියාත්මක වේ. ආලෝකා වැනි වීරත්වයට නැංවූ චරිතයක් වටා සමාජයේ විසිරී සිටින පුද්ගලයන් පොදු හැඟීමකින් රොක් වීම තුළින්, පවතින ආර්ථික හෝ දේශපාලනික පීඩනයන්ගෙන් මිදී මානසික සහනයක් සෙවීමේ සාමූහික ප්‍රයත්නයක් නිරූපණය වේ. මෙය පවත්නා දේශපාලන ක්‍රමයේ අඩු ලුහුඬුකම් සපුරා ගැනීමේ උපාය මාර්ගයක් ලෙස ද හඳුනා ගත හැකිය.

මීට අමතරව, නූතන සමාජ මාධ්‍ය විසින් නිර්මාණය කරන අධි-සත්‍යය මඟින් (Hyper-reality) මෙම තත්ත්වය තීව්‍ර කර ඇත. මාධ්‍ය විසින් ගොඩනඟනු ලබන අතිශයෝක්තිමය ආකර්ෂණය සහ “යම් දෙයක් මඟ හැරේවියැයි ඇති බිය” (FOMO – Fear Of Missing Out) හේතුවෙන් බොහෝ පිරිසක් මෙම රැල්ලේ කොටස්කරුවන් වීමට උත්සාහ කරති. මේ සම්බන්ධ සජීවී උදාහරණ ලෙස දළදා දැක්ම සහ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ගත හැකිය.

aloka lanka 2

අවසාන වශයෙන්, ආලෝකාගේ පැමිණීම යනු සත්වයෙකුගේ සංචාරයකට වඩා ලාංකික සමාජයේ පවතින ආගමික භක්තිය, බටහිර පිළිගැනීම කෙරෙහි ඇති ලැදියාව සහ සමාජ මාධ්‍ය හරහා ගොඩනැගෙන තාවකාලික ආවේගාත්මක එකමුතුව නිරූපණය කරන කැඩපතකි. මෙවැනි සංසිද්ධි මඟින් විවිධ පුද්ගලයන්, කණ්ඩායම්, සංවිධාන සහ ආයතන ස්වකීය ප්‍රවර්ධනයන් අපේක්ෂා කිරීම ද අතිශය සුලබ සමාජ විද්‍යාත්මක සංසිද්ධියකි. එහිදී කල දුටු කල වළ ඉහ ගැනීමේ න්‍යායට අනුව විවිධ ආයතනයන් ආලෝකා “තමන්ගේම බව” ජනතාවට අනියමින් ඒත්තු ගැන්වීමට ගන්නා අනේකවිධ උපාය මාර්ගයන් ඔබට ද දැක ගත හැකි වනු ඇත.

ඉන්දියාව මුල් කොට ගත් පෙරදිග සේම ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ ද කිසියම් පුද්ගලයෙකු හෝ සත්ත්වයෙකු වටා අධි මානුෂීයත්වයක්, දේවත්වයක් හෝ බෝධිසත්ව ගුණ ආරෝපණය කිරීම සාමාන්‍ය ලක්ෂණයකි. 1950 අගෝස්තු 09 වැනි දින රත්නපුර දිස්ත්‍රික්කයේ පනාමුරේ ඇත්ගාලේදී වෙඩි තබා ඝාතනය කරන ලද කෙනෙරක (අලියාගේ ගැහැනු සතකු) වටා ගොඩනැඟුණු ප්‍රවාදය මෙයට කදිම නිදසුනකි.

 

panamure

මෙම පනාමුරේ ඇත්ගාල යනු හිටපු කථානායක ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේට අයත් වූවකි. එහි සිටි කෙනෙරක ඇත් ගාලේ වැට කඩා දැමීමට නිරතුරුවම වෙර දැරීමත්, එවිට එහි සිටින අලි ඇතුන් සියල්ල ඉන් පිටවී මිනිස් ජනාවාස වලට පිවිසීමේ අවදානමත් මුල් කොට ඇයව වෙඩි තබා ඝාතනය කරන ලදී. නමුත් ඉන් පසුව මෙම කෙනෙර සිය වර්ගයා වෙනුවෙන් ජීවිතය පූජා කළ බෝධිසත්ව ගුණ ඇති සද්දන්ත “ඇත් රාජයකු” ලෙස හඳුන්වමින් සමාජය තුළ මතයක් ප්‍රබලව පැතිර ගොස් තිබිණි. ඒ සමඟම “පනාමුරේ ඇතා”ගේ මරණය හුදු සත්ත්ව ඝාතනයකට එහා ගිය බෝධිසත්ව ඝාතනයක් සේ හුවා දක්වමින් ප්‍රබල දේශපාලන රැල්ලක් නිර්මාණය විය. නමුත් එම සිදුවීම සියැසින් දුටු වැඩිහිටියන් පනාමුරේ ඇත් රාජා යනු කෙනෙරක බව මුලින් කියා සිටිය ද, එය සද්දන්ත “ඇත් රාජයකු” ලෙසින් රට පුරා පැතිරී ගිය ප්‍රචාරය හමුවේ පසුව ඔවුහු ද නිහඬ වූහ.

සත්ව විද්‍යාත්මකව බලන විට ද අලි රංචුවක නායකත්වය සැමවිටම මාතෘ මූලික (Matriarchal) වන අතර එය කෙනෙරක විසින් දරනු ලබයි. ඒ අලි රංචුවේ පිරිමි සතුන් එවැනි වගකීම් දැරීමට වඩා නිදහසේ ජීවත් වීමට ඇති කැමැත්ත මුල් කොට ගෙන ය. නමුදු මෙහි දී එම කෙනෙර තම රංචුව වෙනුවෙන් කළ උදාර ජීවිත පරිත්‍යාගය කෙසේ වත් ලඝු නොවන බව ද විශේෂයෙන් කිව යුතුය.

 panamura 1
පනාමුරේ ඇත්ගාලේ අයිතිකරු වූ ෆ්‍රැන්සිස් මොලමුරේ එවකට ආණ්ඩුවේ ප්‍රබලයෙකු වීම නිසා, මෙම ඝාතනයට එරෙහිව නැඟුණු මහජන විරෝධය සෘජුවම එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජයට එල්ල විය. මෙම සිදුවීම පාදක කරගනිමින් මෙරට වාමවාදී දේශපාලන කණ්ඩායම් සහ සත්ත්ව අවිහිංසාවාදීහු මහා ජනමතයක් ගොඩනැඟූහ. එහි ප්‍රතිඵලයක් ලෙස 1950 දී ශ්‍රී ලංකාවේ ඇත්ගාල් බැඳීම තහනම් කරමින් නීති පැනවීමට රජයට සිදුවිය. පනාමුරේ ඇතා පිළිබඳ ප්‍රවාදය තවදුරටත් ජනගත වීමට සුගතපාල මලලසේකරයන් රචනා කොට ගායනා කළ “පනාමුරේ ඇත් රාජා” වැනි ගීත සහ විවිධ කවි නිර්මාණ ඉවහල් විය. පසුව 2014 වසරේ දී එම සංසිද්ධිය මුල් කොට ප්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ විසින් “පනාමුරේ කුංචනාදය” නමින් සංධ්වනි රංගයක් (Symphonic Theater) ද ඉදිරිපත් කරන ලදී.

නමුත් පනාමුරේ ඇතාගේ ඝාතනය යනු සත්‍ය සහ ප්‍රවාදය එකිනෙක වෙළුණු සංසිද්ධියකි. මියගිය සත්ත්වයා සැබවින්ම ඇතෙකු නොවුවද, ඒ වටා ගොඩනැඟුණු “බෝධිසත්ව” සංකල්පය සමාජය තුළ දැඩි සංවේදීතාවක් ඇති කිරීමට සමත් විය. එම සංවේදීතාව දේශපාලනික අවියක් ලෙස භාවිත කරමින්, මෙරට පැවති ම්ලේච්ඡ ඇත්ගාල් සංස්කෘතිය අහෝසි කිරීමට හැකිවීම මෙම ප්‍රවාදයේ පවතින ධනාත්මක සමාජීය අගයයි.

aloka lanka 3

එමෙන්ම මෙම ආලෝකා සුනඛයා ද මතු බුදුවන බෝධි සත්වයකු ලෙස හඳුන්වන පිරිස් සිටිති. ඒ ඔහුගේ විස්මිත ජීවිත කතාව හා වත්මන් චර්යාවන් අනුවය. එමෙන්ම පන්සිය පනස් ජාතකයේ එන කුක්කුර ජාතකයේ බෝසතාණන් ද තම වර්ගයා උදෙසා උතුම් කැපවීමක් කළ අමු සොහොනක දිවි ගෙවන සුනඛයකු සේ හඳුන්වා දීම ද ආලෝකාට මෙම බෝධිසත්ව ආරෝපණය හිමි කර දීමට මුල් වී තිබේ.

නව ලිබරල්වාදී (Neoliberalism) ආර්ථික රටාව තුළ ඕනෑම දෙයක් “භාණ්ඩයක්” (Commodity) බවට පත් කිරීමේ ප්‍රවණතාවක් පවතී. එහිදී පුද්ගලයෙකුගේ හෝ ආයතනයක ප්‍රතිරූපය (Image) යනු හුදු පෞරුෂයකට වඩා ඉහළ මූල්‍යමය හෝ අලෙවි වටිනාකමක් සහිත වත්කමකි. නමුදු බටහිර ලෝකයේ මේ සම්බන්ධයෙන් පවත්නා සමාජමය විඥානය අප සමාජය තුළ පවතිනුයේ අල්ප වශයෙනි. එහෙත් එම රික්තය තුළ ඕනෑම පාර්ශ්වයකට ඕනෑම දෙයක් කිරීමට ද අප ඉඩ දිය යුතු නැත.

Praneeth Abayasundara
(සටහන | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර)

හිටපු මානව විද්‍යා මහාචාර්ය

(උපුටා ගැනීම - vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සමාජ මානව විද්‍යාත්මක විමසුමක් ; ආලෝකා වටා අපේ රටේ දී මෙතරම් 'අයිතිකරුවන්' රොක් වුණේ කොහොමද? | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර | The Leader