The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මගේ ජීවිතයේ 'මංගල” සලකුණ'! | ක්‍රිශාන්ත ප්‍රසාද් කුරේ

T

The Leader Desk

April 21, 2026 • 10:41 AM

මගේ ජීවිතයේ 'මංගල” සලකුණ'! | ක්‍රිශාන්ත ප්‍රසාද් කුරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මීට වසර පහකට පෙර සියල්ල අවාසනාවන්ත ලෙස අවසන් නොවී තිබුණානම් අද හිමිදිරි උදෑසනම මගේ දුරකතනයෙන් මෙහෙම ඇමතුමක් ගන්නට තිබුණා.
  •   2021 අගෝස්තු 24 වැනි දා නිවී නොයන්නට අද මංගල ස්තීර වශයෙන්ම වෛවර්ණ සාදයක දී මුණ ගැසෙනවාට සැකයක් නැහැ.
  • එක එක දේශපාලන මත තියෙන මිනිස්සු, එක එක භාෂාවන් කතා කරන මිනිස්සු, විවිධ ඇඳුම්වලින් සැරසුණු, විවිධ විලාසිතාවන් තිබ්බ මිනිස්සු, එක එක ආගම් දර්ශන අදහන මිනිස්සු, එක එක අදහස් උදහස් ඇති මිනිස්සු නිදහස්කාමීව මේ සාදයේ ආශ්වාදය භුක්ති විඳියි.
  • එකට හිතන කුරුල්ලන් එකම අත්තේ වසන බවට කතාවක් තිබුණ ද මංගල වසන අත්තේ ඕනෑම කුරුල්ලෙකුට වසන්නට ඉඩක් වෙන්ව තිබුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

‘Happy Birthday Mr. Seventy’

එහා කෙලවරෙන් මවාගත් කේන්තියකින් මෙහෙම ප්‍රතිචාරයක් ලැබෙන්නට තිබුණා.

‘Wrong number Mr. Cooray’

අනතුරුව අප දෙදෙනාටම මහ හඩින් සිනාසෙන්නට තිබුණා.

‘මේ පැත්තේ එන්නකෝ..‘


ඔහු සිනහව අතරින් ආරාධනා කරන්න තිබුණා. මම උදෑසනම ඔහුගේ නිවසට යනවිට පොඩි ළමයෙකු මෙන් කොට කලිසමකින් සැරසී සීතල අයිස් වීදුරුවක් පානය කරමින් සිටින මංගල සමරවීර නම් ‘අපූරු වියපත් තරුණයා‘ දැකගත හැකි වෙන්න තිබුණා. උදෑසන අයිස් වීදුරුවක් පානය කිරීම ඔහුගේ පුරුද්දක් ව තිබුණා.

සංග්‍රහශීලි මිනිසෙක් වූ ඔහු, ‘මොනවද කන්නේ, මොනවද බොන්නේ? කියා කෙලවරක් නැතිව මගෙන් අසන්නට තිබුණා.

‘මම කළු කෝපි එකක් බොන්නම්‘

ටික වේලාවකින් ම’වෙත උණුසුම් කළු කෝපි කෝප්පයක් ලැබෙයි.

ඒ අතර වයස්ගත වීම් ගැනත්, හැත්තෑව ඉක්මවූ චරිත ගැනත් වයස හැත්තෑව වූ විට සිදුවන දේ ගැනත් කියමින් සිනාසෙන මංගලව මට මැවී පෙනෙයි.

එතැන් සිට නොයෙක් විහිලු තහලු මැද රසවත් හෝරාවක් පමණ ගෙවෙයි.

හවස සාදයක දී හමුවෙන්නට තීන්දු කොට අප නික්ම යයි.

 

95376918 10217748107794591 3119984730531954688 n

2021 අගෝස්තු 24 වැනි දා නිවී නොයන්නට අද මංගල ස්තීර වශයෙන්ම වෛවර්ණ සාදයක දී මුණ ගැසෙනවාට සැකයක් නැහැ. බොල්ගොඩ වැව අද්දර මංගලගේ නිවසේ හාත්පස විදුලි එලියෙන් ආලෝකවත් වෙයි. බොල්ගොඩ වැව පවා විදුලි එලියෙන් හැඩවෙයි.

ඒ සාදයේ විවිධාකාර වර්ණවත් සුන්දර මිනිස්සු සැරිසරමින් හිදියි. එක එක දේශපාලන මත තියෙන මිනිස්සු, එක එක භාෂාවන් කතා කරන මිනිස්සු, විවිධ ඇඳුම්වලින් සැරසුණු, විවිධ විලාසිතාවන් තිබ්බ මිනිස්සු, එක එක ආගම් දර්ශන අදහන මිනිස්සු, එක එක අදහස් උදහස් ඇති මිනිස්සු නිදහස්කාමීව මේ සාදයේ ආශ්වාදය භුක්ති විඳියි.

විදුලි ආලෝකය අතරින් වර්ණවත් කමිසයක් ඇඳගත් මංගල, වියානා සිගාස් දුම් වැටියක වළලු පිටකරමින් හඩනගා සිනාසෙමින් මේ සුන්දර මිනිස් කලාපයට එයි. එතැන් සිට විහිළු තහලු, තර්ක විතර්ක, දේශපාලනය, කලාව, ආර්ථිකය, ජීවිතය, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, වැනි විවිධාකාර මාතෘකා අතර කාලය ගෙවී යයි. මුලු සාදය පුරාම තිබෙන්නේ මංගල සමරවීර ගේ විචිත්‍ර පෞරුෂයේ ආශ්වාදය යි.

 
යම් හෙයකින් සාදය හමාර වූයේ බොහෝ මත ගැටුම් වලින් පසුව වුවත් නැවත අලුත් දවස මංගල ආරම්භ කරන්නේ පෙර දින වූ මත ගැටුම් සියල්ල අමතක කළ නැවුම් ප්‍රසන්න හැඟීමකින්.

එකට හිතන කුරුල්ලන් එකම අත්තේ වසන බවට කතාවක් තිබුණ ද මංගල වසන අත්තේ ඕනෑම කුරුල්ලෙකුට වසන්නට ඉඩක් වෙන්ව තිබුණා.

 

477497533 1020893793404123 2682231724662029941 n

මංගල සියල්ල පසුගාමීව නොව, ධනාත්මකව දුටු මිනිසෙක්. නිතර හැඟුම්බර වීම වෙනුවට සැහැල්ලුවෙන් සහ වගකීමෙන් කටයුතු කළ මිනිසෙක්. සෑම මිනිසෙක්ම සතුටින් සිටිය යුතු බවත්, සෑම මිනිසෙකුටම නිදහසේ ජීවත් වීමට අයිතිය ඇති බවත් විශ්වාස කළ මිනිසෙක්. ඒ වගේම සෑම මිනිසෙකුගේම රුචි අරුචිකම්වලට ගරු කළ මිනිසෙක්.

මංගලගේ මේ ප්‍රගතිශීලී නිදහස්කාමී ජීවිතය මාව ආශ්වාදයට පත් කළා වගේම ජාතිවාදී ආගම්වාදය පිටු දකින මංගලගේ සිතුම් පැතුම් මාව ආකර්ෂණය කළා. සම්ප්‍රදායික දේශපාලන ජීවීන්ට වඩා වෙනස් චරිතයක් වූ මංගලගේ පෞද්ගලික සහ පොදු ජීවිතය යන දෙකම විවෘතව තිබුණා. හැම මොහොතකම හෘද සාක්ෂියට එකඟව වැඩ කළ මංගල කොන්දේසි විරහිතව ඒ වෙනුවෙන් පෙනී හිටියා. මංගලගේ දර්ශනය, හෘද සාක්ෂිය වුණා.

නමුත්, නිදහස් මතධාරියෙකු වූ මංගල, තමන්ට අවාසිදායක තත්ත්වයන් තුල දී පවා තමන් විශ්වාස කළ ප්‍රතිපත්ති මත පිහිටා සිටීමට සමත් වුණා. ඒ වෙනුවෙන් ඔහු අරගල කළා. තමන් ගන්න තීන්දුව වෙනුවෙන් ඔහු කොන්දේසි විරහිතව පෙනී සිටියා. යම් කලෙක ගත් වැරදි තීන්දුවක් වැරදිනම් වැරදි බවට පිළිගන්නත්, එය නිවැරදි කිරීමට කටයුතු කරන්නත් තරම් අවංක හැඟීමක් ඔහුට තිබුණා.

ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බැරි හිස් අදහස් වලට මංගල අකමැති වුණා. මංගලගෙම වචනයෙන් ඔවුන් ‘අයිඩියා දාස‘ලා වුණා.

ජාතිවාදයට, වර්ගවාදයට, අන්තවාදයට විරුද්ධ මතවාදය මරණය දක්වාම රැක ගත්තේ මංගලගේ ලිබරල් චින්තනය නිසයි.

 


ඔහුගේ අවංක ප්‍රකාශ නිසා සමහරු ඔහුට නිර්ධය ලෙස පහර දුන් නමුත්, මංගල ඒ සියලු දෙනාටම තාර්කිකව ප්‍රතිචාර දැක්වූවා මිස පෞද්ගලිකව ප්‍රහාර එල්ල නොකර සිටීමට බොහෝ උත්සාහ කළා.

තමන්ව අතිශය පහත් ලෙස විවේචනය කළ පුද්ගලයාට පවා ඔහු සිනාසුනා. විවේචන එන්න එන්න ඔහු තව තවත් අවංක වුණා. තව තවත් නිර්භීත වුණා.

481194724 1033776695449166 6037024931634744352 n

මංගල දූපතක සිට මහද්වීපයක දේශපාලනය කළ දැවැන්ත මිනිසෙක්. අන්ධකාරය වෙනුවට ආලෝකයට ආදරය කළ මිනිසෙක්. සැමදාමත් මිනිස් අයිතීනට ගරු කළ මිනිසෙක්. ජාතීන් අතර විවිධත්වයට, භාෂා සහ ආගමික අනන්‍යතාවයනට සැමදාමත් ගරුකළ අතර ලංකාව දූපතක සීමා වෙනවා වෙනුවට ලෝකය සමග එකතු විය යුතු බව විශ්වාස කළ මිනිසෙක්.

තම දර්ශණය වූ ලිබරල් චින්තනය වෙනුවෙන් මුළු ජීවිත කාලයම පෙනී සිටි අපූරු මිනිසෙක්.

මංගල මිතුරන් කෙරෙහි දැඩි විශ්වාසයක් පල කළා. මිත්‍රත්වයෙන් මංගලට කිට්ටු වුණු කිසිම කෙනෙක් මංගල අතහැර නොයන්නේ, ඔහු එතරම් ම විශ්වාසනීය සහ සුන්දර මිතුරෙක් නිසයි.

WhatsApp Image 2026 04 21 at 15.21.09 1
එකල අපි හැමදාම පාහේ මුණ ගැසුණා. තර්ක විතර්ක කළා. ඔහු මාගේ ඇමතිවරයෙකුව සිටිය දී පවා යම්යම් අවස්ථාවල ලේක්හවුසියේ මගේ කාර්යාලයට පැමිණ මාව මුණගැසීමට තරම් ඔහු නිහතමානී වුණා.


එමෙන්ම, සෑම මොහොතකම මට මංගලගේ කාර්යාලයේ හෝ නිවසේ හෝ දොරටු විවෘතව තිබුණා. ඒ සියල්ලටම වඩා ඔහුගේ හදවතේ දොරටු මා වෙනුවෙන් විවෘතව තිබුණා.

ප්‍රගතිශීලී හෘදයාංගම හැගීම් ඔහු බෙදා හදා ගත්තා.

471254438 10228390496727663 3456879693971322226 n

මංගලගේ මරණය විසින් කළේ ජීවත්ව සිටි මංගලගේ ප්‍රතික්ෂේපිත සංකල්පවලට පවා වලංගුතාවයක් එක් කිරීමයි. ඒ කියන්නේ ජීවත්වූ මංගලට වඩා මියගිය මංගල බලවත් බවයි. ඔහු සිය ජීවිතයේ අවසන් කාර්තුව සම්ප්‍රදායික දේශපාලනයෙන් තොරව ‘රැඩිකල් තරුණ‘ මතවාදයන් වෙත විවෘත කළා. ඔහු මියගියේ ඒ අපූරු මතවාදයට හුස්ම එකතු කරමින්.

තියඩෝර් රූස්ට්වෙල්ගේ දියණියක් තම දේශපාලනඥ පියා ගැන මෙවැන්නක් පවසා තිබෙනවා.

“දේශපාලනඥයන් සෑම මළගෙදරකදීම මිනිය බවට පත් වනවා; සෑම මඟුල් ගෙදරකදීම මනාලිය හෝ මනාලයා බවට පත් වනවා; සෑම ක්‍රිස්තියානිකරණයකදීම බිලිඳා බවට පත් වනවා.”

 


කිසිම දාක මංගල එසේ වුණේ නැහැ.

මංගල කියන්නේ තවමත් කියවා අවසන් කරන්නට නොහැකි විශිෂ්ට ගනයේ පොතක්. මම තවමත් ඒ පොත කියවනවා. විවරණය කොට අවසන් කරන්නට බැරි වර්ණවත් වෘර්තාන්තයක්. මම තවමත් ඒ වෘර්තාන්තය රස විඳිනවා.

මේ සටහන ආරම්භ කළේ මංගල සිටියානම් අද සිදුවන දේ ගැන උපකල්පනය කරමින්. එහෙත්, යථාර්තයනම් මංගල ජීවතුන් අතරත් නැහැ, 07 7757 6495 දුරකතනයෙන් ඇමතුමක් ආවෙත් නැහැ. පුරුද්දට වගේ ඒ අංකයට මම ගන්න විට ඒ අංකය භාවිතයේත් නැහැ.

WhatsApp Image 2026 04 21 at 16.26.04(සටහන | ක්‍රිශාන්ත ප්‍රසාද් කුරේ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක සහ ක්‍රියාකාරික

kpcooray@hotmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...