The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ආලෝකාව 'පෙන්නන්න බැරි' කාන්තාවක් | විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

T

The Leader Desk

April 22, 2026 • 5:34 AM

ආලෝකාව 'පෙන්නන්න බැරි' කාන්තාවක් | විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තම නැන්දණිය සුනඛයන් කෙරෙහි අසීමාන්තික බියක් හා පිළිකුලක් දක්වන අතර, මෙවර අප රටේ පැවැත්වෙන සාම පා ගමනට ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ආලෝකා සුනඛයා එක් කර
  • එම වැඩිහිටි කාන්තාව අප හමුවට පැමිණ ඇත්තේ ද බලවත් නොකැමැත්තකිනි.
  • ඒ සම්බන්ධ විද්‍යාත්මක විශ්ලේෂණයකට එළඹීමට පෙර කිව යුත්තේ, මෙය කිසියම් අසාමාන්‍ය තත්ත්වයක් බවයි.
  • කෙසේ වෙතත්, මෙම ස්වභාවික සබැඳියාව සැමට පොදු වූවක් නොවන බවට ඉහත සඳහන් තත්ත්වය කදිම නිදසුනකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ගැනීම පිළිබඳව බලවත් සේ උරණ වී සිටින බවත්, අඩුම තරමින් එම සිදුවීමට අදාළ පුවත් වීඩියෝ බැලීම පවා ප්‍රතික්ෂේප කරන බවත් පවසමින් මැදිවියේ කාන්තාවක විසින් වැඩිහිටි කාන්තාවක අප හමුවට ඉදිරිපත් කරන ලදී.

එම වැඩිහිටි කාන්තාව අප හමුවට පැමිණ ඇත්තේ ද බලවත් නොකැමැත්තකිනි. නමුදු ඇගේ කුඩා මුණුපුරු මිනිපිරියන් ද ඇය තුළ පවතින මෙම අනවශ්‍ය සුනඛ බිය හා පිළිකුල ඉවත් කර ගන්නා මෙන් ඉල්ලා තිබේ. ඒ අනුව එම මැදිවියේ කාන්තාව අප වෙතින් විමසා සිටියේ තම නැන්දණිය මෝහනයට පත් කිරීමෙන් ඇය තුළ පවතින මෙම සුනඛ බිය හා පිළිකුල ඉවත් කළ නොහැකි ද යන්නයි. ඒ සම්බන්ධ විද්‍යාත්මක විශ්ලේෂණයකට එළඹීමට පෙර කිව යුත්තේ, මෙය කිසියම් අසාමාන්‍ය තත්ත්වයක් බවයි.

 

dog 260327

අප එසේ පවසනුයේ ඇයි? මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භයටත් පෙර සිටම සතුන් සහ මිනිසා අතර විවිධ සබඳතා ගොඩනැඟී තිබුණ ද, ඉන් වඩාත්ම සුවිශේෂී සහ ප්‍රබල බැඳීම පවතින්නේ මිනිසා සහ සුනඛයා අතරය. කෙසේ වෙතත්, මෙම ස්වභාවික සබැඳියාව සැමට පොදු වූවක් නොවන බවට ඉහත සඳහන් තත්ත්වය කදිම නිදසුනකි. මෙම තත්ත්වය මෝහන ප්‍රතිකාර හෝ වෙනත් මනෝවිද්‍යාත්මක ක්‍රමවේද මඟින් සුව කළ හැකි ද යන්න විමසීමට පෙර, මෙම බිය සහ පිළිකුල පිටුපස ඇති විද්‍යාත්මක පසුබිම වටහා ගැනීම අත්‍යවශ්‍ය වේ.

මිනිසා සහ සුනඛයා අතර ඓතිහාසික සහ ජානමය සබැඳියාව දෙස බැලීමේදී, මිනිසා සහ සුනඛයා අතර පවතින ගිවිසුම අහඹු ලෙස සිදු වූවක් නොවන බව පෙනේ. පුරාවිද්‍යාත්මක සාක්ෂි මඟින් තහවුරු වන්නේ මෙම සබඳතාව වසර 15,000 සිට 30,000 දක්වා ඈත අතීතයකට දිව යන බවයි. ජාත්‍යන්තර සාක්ෂි ලෙස ජර්මනියේ බොන්-ඔබර්කැසෙල් (Bonn-Oberkassel) ප්‍රදේශයෙන් හමු වූ වසර 14,000කට වඩා පැරණි සුනඛ ඇටසැකිල්ලක් මිනිස් සොහොනක් සමඟ තිබී හමු වීම මඟින් පෙනී යන්නේ, මරණයෙන් පසුව පවා මිනිසා තම සුනඛ මිතුරා ළඟ තබා ගැනීමට උත්සාහ කළ බවයි. දේශීය සාක්ෂි අනුව ශ්‍රී ලාංකික සන්දර්භය තුළ ද මෙම සබඳතාව ඉතා පැරණිය. උඩවලව අභයභූමියට අයත් බෙල්ලන්බැඳි පැළැස්ස ආදී මානව ජනාවාසවලින් හමු වූ සුනඛ දත වසර 12,500කට වඩා පැරණි බව සනාථ වී තිබේ. ඉන් ඉතා හොඳින් සනාථ වනුයේ මීට වසර 6,000කට පෙර මිනිසා ශිෂ්ටාචාරගත වීමටත් පෙරම මෙම මිනිස්-සුනඛ ගිවිසුම (Human-Canine Bond) තිබූ බවයි.

ජාන විද්‍යාත්මක සාක්ෂිවලට අනුව සහ නවීන DNA පරීක්ෂණවලට අනුව සුනඛයන් පරිණාමය වී ඇත්තේ අළු වෘකයන්ගෙනි (Grey Wolves). මෙම පරිණාමීය ක්‍රියාවලිය වසර 20,000කටත් වඩා පෙර සිදුවන්නට ඇති බව විද්‍යාඥයන්ගේ මතයයි. දඩයම් යුගයේදී මිනිසාට සහාය වීමෙන් ඇරඹි මෙම සබඳතාව, පසුව ආරක්ෂකයකු සහ සමීපතම මිතුරකු දක්වා වර්ධනය විය. ලෝකයේ වෙනත් කිසිදු සත්ත්වයකු සහ මිනිසා අතර මෙතරම් දීර්ඝ හා සංකීර්ණ සහජීවනයක් (Co-evolution) ගොඩනැඟී නොමැති බැවින්, සුනඛයා “මිනිසාගේ හොඳම මිතුරා” ලෙස හැඳින්වීම විද්‍යාත්මකව ද සාධාරණ වේ.

ඉහත කී ඓතිහාසික පසුබිම තුළ යමකු සුනඛයා කෙරෙහි දැඩි බියක් හෝ පිළිකුලක් දැක්වීම “අසාමාන්‍ය” තත්ත්වයක් ලෙස සැලකෙන්නේ එය මානව පරිණාමීය ගමන් මඟට පටහැනි බැවිනි. මනෝ වෛද්‍ය විද්‍යාවේදී මෙය ප්‍රධාන අංශ දෙකක් යටතේ විග්‍රහ කළ හැකිය.

 

Child dog

පළමුවැන්න සුනඛ භීතිකාවයි (Cynophobia). බොහෝ දෙනෙකු තුළ පවතින අතාර්කික බිය මෙයට අයත් වන අතර එහිදී පුද්ගලයා සුනඛයෙකු දුටු පමණින් හෝ සුනඛයෙකු ගැන ඇසූ පමණින් දැඩි තැතිගැනීමකට පත් වේ. මෙයට හේතු ලෙස කුඩා කල සුනඛයෙකු සපා කෑමට උත්සාහ කිරීම හෝ සපා කෑම නිසා ඇති වූ කම්පන සහගත අත්දැකීම් (Traumatic Events) යටි සිතේ තැන්පත් වීම, මව හෝ පියා සුනඛයන්ට බිය වන අයුරු දැකීමෙන් දරුවා තුළ ද එම බිය ගොඩනැඟීම හෙවත් වක්‍ර ඉගෙනුම (Vicarious Learning) සහ ඇතැම් පුද්ගලයන් තුළ වන සතුන් කෙරෙහි පවතින සහජ බිය සුනඛයන් කෙරෙහි ද ආරෝපණය වීම වැනි පරිණාමීය ආරක්ෂණ යාන්ත්‍රණ බලපෑ හැකිය.

දෙවනුව, අධික පිළිකුල සහ පවිත්‍රතාව පිළිබඳ ගැටලු (Obsessive Disgust) යටතේ ඇතැමුන් සුනඛයන් ප්‍රතික්ෂේප කරන්නේ බියට වඩා පිළිකුල නිසාය. මෙය ඇතැම් විට මනෝභාවමය තත්ත්වයක් වන Obsessive-Compulsive Disorder (OCD) තත්ත්වයේ ලක්ෂණයක් විය හැකිය. සුනඛයන් හරහා රෝග බෝ වේ යැයි පවතින අතාර්කික බිය, සංස්කෘතික හෝ ආගමික මතවාද මඟින් සුනඛයා “අපිරිසිදු” සතෙකු ලෙස හංවඩු ගැසීම මෙන්ම සුනඛයෙකු වලිගය වැනීම වැනි සුහදශීලී සංඥාවක් පවා රුදුරු බවක් ලෙස වැරදියට වටහා ගැනීම (Misinterpretation of cues) වැනි සන්නිවේදන ගැටලු ද මෙයට බලපෑ හැකිය.

 

aloka lanka

මෙබඳු මානසිකත්වයන්ගෙන් පෙළෙන්නවුන් ඒ සම්බන්ධයෙන් සිත තුළ දරා සිටින මානසික ආතතිය නිසා ඊට ප්‍රතිවිරුද්ධ අදහස් පළ කරන්නවුන් සමඟ ගැටුම් ඇති කර ගැනීමට පෙළඹෙන අවස්ථා ද සුලබය. එමෙන්ම මෙය විෂාද (Depression) තත්ත්වයේ ලක්ෂණයක් ද වන අතර රටේ පැවැත්වෙන සාම පා ගමනට සුනඛයා එක් කර ගැනීම පිළිබඳ පුවත් රට පුරා පැතිර යත්ම ඔවුන් තුළ දැඩි කාංසාත්මක තත්ත්වයක් ද හට ගත හැකිය. එහිදී ඉන් අත්මිදෙනු පිණිස සුනඛයන් ආගමික කටයුතු සඳහා යොදා ගැනීම බුදුදහමට නිගරුවක් වැනි පුහු තර්ක මනෝවිද්‍යාත්මක ආරක්ෂණ යාන්ත්‍රණ (Psychological coping mechanisms) ලෙස භාවිතා කිරීමට එවැනි බොහොමයක් දෙනා පෙළඹෙති.

ප්‍රතිකාර සහ විසඳුම් ලෙස මෝහනය සහ චිකිත්සාව පිළිබඳ සලකා බැලීමේදී, මෙම වැඩිහිටි කාන්තාව සම්බන්ධයෙන් මැදිවියේ කාන්තාව කළ විමසීම ඉතා වැදගත් වේ. මෙවැනි තත්ත්වයන් පාලනය කිරීමට ක්‍රමවේද කිහිපයක් පවතී. යටි සිතේ තැන්පත් වී ඇති අතීත කම්පන සහගත අත්දැකීම් මතු කර ගැනීමට සහ ඒවාට ලබා දෙන ප්‍රතිචාරය වෙනස් කිරීමට මෝහන ප්‍රතිකාර (Hypnotherapy) භාවිතා කළ හැකිය. නමුත් එය ඉතා නිවැරදි මනෝ විශ්ලේෂණයකින් පසුව ඉතා සීමිත තත්ත්වයන් සඳහා පමණක් යෙදිය යුතු චිකිත්සාවක් වන අතර, මෝටර් රථයක බොනට්ටුවක් හැර ගැනීමට හැකි වූ පමණින් එහි එන්ජිමේ දෝෂ යථා තත්ත්වයට පත් කළ නොහැකි වීම මීට සරලම උදාහරණයකි.

expose

එමෙන්ම පසුගිය කාලය තුළ අප රට තුළ පැවති “මෝහනය යනු කෝකටත් තෛලයක්ය” යන සමාජ මිථ්‍යාව මේ වන විට බොහෝ දුරට පහව ගොස් තිබේ. නිරාවරණ චිකිත්සාව (Exposure Therapy) වඩාත් සාර්ථක ක්‍රමයක් වන අතර මෙහිදී රෝගියා ක්‍රමයෙන් සුනඛයන් සහිත පරිසරයකට හුරු කරනු ලැබේ. මුලින් සුනඛයන්ගේ පින්තූර පෙන්වීම, පසුව වීඩියෝ පෙන්වීම සහ අවසානයේ සැබෑ සුනඛයෙකු දුර සිට බැලීමට සැලැස්වීම මෙහි පියවර වේ. එසේම ප්‍රජානන චර්යා චිකිත්සාව (CBT) මඟින් සුනඛයන් පිළිබඳව පවතින වැරදි සහ අතාර්කික සිතුවිලි වෙනස් කර වඩාත් තාර්කික සිතුවිලි ඇති කිරීම සිදු වේ.

මිනිසාගේ පරිණාමීය ගමන් මඟෙහි සෙවනැල්ල මෙන් සිටි “හොඳම මිතුරා” දෙස වෛරයෙන් හෝ පිළිකුලෙන් බැලීම පුද්ගලයාගේ මානසික සුවතාවයට මෙන්ම පවුල්, ප්‍රජා සහ සමාජ සහජීවනයට ද බාධාවකි. සාම පා ගමනක් වැනි උදාර අරමුණකදී පවා සුනඛයෙකුගේ සහභාගීත්වය දරාගත නොහැකි වීම තුළ පෙනී යන්නේ එම තැනැත්තිය දැඩි මානසික පීඩනයකින් පසුවන බවයි. එබැවින්, ඇය බලහත්කාරයෙන් හෝ දැඩි අකමැත්තෙන් අප හමුවට පැමිණිය ද, කරුණාවෙන් සහ විද්‍යාත්මක අවබෝධයෙන් යුතුව ඇයට ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය වේ. 

 
එහිදී පළමුව ඇය විෂාද තත්ත්වයකින් පෙළෙන්නේ ද යන්න විමසා ඊට පිළියම් යෙදීම අනිවාර්ය වේ. එසේ නොමැති නම් සුනඛයා යනු හුදෙක් සතෙකු පමණක් නොව, මානව ශිෂ්ටාචාරයටත් පෙර සිට මිනිසාගේ අසමසම සහකරුවා බව වටහා දීම මඟින් ඇය තුළ පවතින බිය සහ පිළිකුල දුරු කළ හැකිය. එමෙන්ම මිනිසා සහ සත්ත්වයා අතර ඇති මෙම සම-පරිණාමීය බැඳීම නැවත තහවුරු කිරීම මානුෂීය සමාජයක වගකීමකි.

Rumi Ruban
(සටහන | විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්)

උපුටා ගැනීම - vinivida.lk
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...