The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඉන්දීය උප ජනාධිපති ලංකාවට ආවේ ඇයි?

T

The Leader Desk

April 22, 2026 • 6:31 AM

ඉන්දීය උප ජනාධිපති ලංකාවට ආවේ ඇයි?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික ජනබලවේග ආණ්ඩුවේ විදෙස් පිළිවෙත සාකච්ඡාවට ලක් වූ එක් තේමාවක් වූයේ ඉන්දියාවයි.
  • මෙය ප්‍රබල ලෙස ඉස්මතු වූයේ අනුර කුමාර දිසානායක ජාතික ජනබලවේගයේ නායකයා හා ජනපති අපේක්ෂකයා හැටියට 2024 දී කළ ඉන්දීය සංචාරය සමගිනි.
  • ඉන්පසු ඔහු ජනාධිපතිවරණය ජයගැනීමෙන් අනතුරුව ලංකාවේ නව ජනපති හැටියට කළ ආරාධනයකට අනුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලංකාවට පැමිණියේ 2025 අප්‍රේල් 4 වැනිදාය.
  •  ඊට පෙර ලංකාවට පැමිණි ඉන්දීය අගමැතිවරු වූයේ 1962දී ජවහර්ලාල් නේරු, 1973 ඉන්දිරා ගාන්ධි, 1979 මොරාජි දේසායි, 1987 රජීව් ගාන්ධි, 1991 නරසිංහ රාඕ, 1998 අතල් බිහාරි වජ්පායි හා 2008 මන්මෝහන් සිංය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉන්දීය විරෝධී පිළිවෙතක සිට ඉන්දු ලංකා දැඩි මිත්‍රත්වයක් දක්වා වූ දේශපාලන ගමන ඊට බලපෑවේය. මෙය ප්‍රබල ලෙස ඉස්මතු වූයේ අනුර කුමාර දිසානායක ජාතික ජනබලවේගයේ නායකයා හා ජනපති අපේක්ෂකයා හැටියට 2024 දී කළ ඉන්දීය සංචාරය සමගිනි. ඉන්පසු ඔහු ජනාධිපතිවරණය ජයගැනීමෙන් අනතුරුව ලංකාවේ නව ජනපති හැටියට කළ ආරාධනයකට අනුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලංකාවට පැමිණියේ 2025 අප්‍රේල් 4 වැනිදාය. එය නරේන්ද්‍ර මෝදි ඉන්දීය අගමැතිවරයාගේ සිව් වැනි ලංකා ගමන විය. මෙසේ තම ධූර කාලයේදී සිව්වරක් ශ්‍රී ලංකාවට පැමිණි පළමු ඉන්දීය අග්‍රමාත්‍යවරයා වන්නේ ද නරේන්ද්‍ර මෝදිය.

 ඊට පෙර ලංකාවට පැමිණි ඉන්දීය අගමැතිවරු වූයේ 1962දී ජවහර්ලාල් නේරු, 1973 ඉන්දිරා ගාන්ධි, 1979 මොරාජි දේසායි, 1987 රජීව් ගාන්ධි, 1991 නරසිංහ රාඕ, 1998 අතල් බිහාරි වජ්පායි හා 2008 මන්මෝහන් සිංය. මේ අතරෙන් අගමැතිවරුන් සිව් දෙනෙක් ලංකාවේ පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කර තිබේ. මෙසේ පවත්වාගෙන ගිය රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවේදී නේරු - කොතලාවල, කච්චතිව්, සිරිමා ශාස්ත්‍රී, ඉන්දු ලංකා ආදී වශයෙන් ගිවිසුම්වලට එළඹෙන්නට ද දෙරට කටයුතු කළේය.

narendra modi

කෙසේ වෙතත් ඉන්දු ලංකා රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනුවේදී වැදගත් කාලයක් බවට අගමැති නරේන්ද්‍ර මෝදිගේ රාජ්‍ය පාලන කාලය දැක්විය හැකිය. අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුකරණය යටතේ 'පළමුව අසල්වැසියා' යන තේමාවෙන් විදෙස් පිළිවෙත හැඩගස්වා ඇති ඉන්දීය ආණ්ඩුව ලංකාව සමඟ වූ දේශපාලන ගනුදෙනුවට වැඩි අවධානයක් යොමුකර ඇත. විශේෂයෙන්ම ආර්ථීක අර්බුදය හමුවේ අත්‍යවශ්‍ය ඉන්ධන, ඖෂධ හා ආහාර ද්‍රව්‍ය ලබාගැනීම සඳහා ඩොලර් බිලියන 4කට ආසන්න ණයාධාරයක් දීම එහි ප්‍රතිඵලයකි.

කොවිඩ් වසංගත සමයේ ලංකාවට අවශ්‍ය එන්නත් පළමුව ප්‍රදානය කරමින් ද ඉන්දියාව පෙන්වූයේ එම ප්‍රතිපත්තියයි. මේ බව ඉතා මනරම් ලෙස ප්‍රකාශ කරනු ලැබුවේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් විසිනි. 2023 මැයි මස ශ්‍රී ලංකා සහ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවලට වසර 75ක් පිරීම නිමිත්තෙන් නව දිල්ලි නුවර පැවැති උත්සවයකදී ඔහු එය උපමාරූපීව පැවසුවේ ''ලේ වතුරට වඩා ඝනයි. මේ ඉතා දුෂ්කර අවස්ථාවේදී ඉන්දියාව ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කිරීම ස්වාභාවික යි'' යනුවෙනි.

 

br />

මෙම ඉන්දු ලංකා සම්බන්ධයේ තවත් වැදගත් දූත මෙහෙවරක් සලකුණු කරමින් ඉන්දීය උපජනාධිපති සී.පී රාධක්‍රිෂ්ණන් පසුගිය 19 වැනිදා මෙරටට පැමිණියේය. ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසන ආකාරයට ඉන්දියානු උප ජනාධිපතිවරයකු ද්විපාර්ශ්වික සංචාරයක් හැටියට ලංකාවට පැමිණියේ පළමු වරටය.  49ක දූත පිරිසක් සමග පැමිණි ඉන්දීය උපජනාධිපතිවරයා පිළිගැනීමට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා ද කටුනායක ගුවන් තොටුපළට පැමිණ සිටියේය. ඉන්දීය උපජනාධිපති සී.පී රාධක්‍රිෂ්ණන් සමඟ මෙම ලංකා සංචාරයට සහභාගී වූ සෙසු පිරිස වන්නේ පංඡායත් සභා කටයුතු පිලිබඳ හා ධීවර ඇමැති මහාචාර්ය සිං බාගේල්, මන්ත්‍රීවරුන් වන කේ. ලක්ෂ්මන් හා මේධා කුල්කර්නිය.

මීට පෙර ඉන්දීය උපජනාධිපති ක්‍රිෂාන් කාන්ත් 2000 වසරේදී ලංකාවට පැමිණ තිබුණේ හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ අවමංගල්‍ය උළෙල සඳහා ය.

india preside

ඉන්දීය උපජනාධිපතිවරයා තම රාජ්‍යතාන්ත්‍රික දූත මෙහෙය ආරම්භ කළේ කොළඹදී ජනාධිපති අනුර කුමාර දිසානායක මුණගැසීමෙනි.  ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදී ඉන්දීය උප ජනාධිපතිවරයා පැවසුවේ ආර්ථීක, අධ්‍යාපන, සෞඛ්‍ය, සංචාරක, ආයෝජන සහ වෙළෙඳ ක්ෂේත්‍රයන්හි මෙන්ම බලශක්ති සුරක්ෂිතතාව සහ වරාය සංවර්ධනයට අදාළ දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බවයි.

මෙහිදී එක් තේමාවක් වී තිබුණේ දුම්රිය මගයි. 2025 නොවැම්බර්-දෙසැම්බර් මාසවලදී දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විනාශ වූ උතුරු දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කර දුම්රිය සේවාව නැවත ආරම්භ වීම පිළිබඳ උප ජනාධිපතිවරයා සතුට ප්‍රකාශ කර තිබිණ. ඉන්දියානු රජයේ ඩොලර් මිලියන 5ක අනුග්‍රහය ඊට ලැබිණ. ඩොලර් මිලියන 450 ක සහයෝගයෙන් ඉන්දියානු හමුදාව විසින් ඉදි කරන ලද බේලී පාලම් 3ක් නිමකිරීම පිළිබඳවද එහිදී සාකච්ඡා කර තිබේ. ඉන්දියාව විසින් නායකත්වය දෙනු ලබන International Big Cat Alliance සමඟ එක්වීමට ලංකාව තීරණය කිරීම ගැන ද එහිදී උපජනාධිපති සී.පී රාධක්‍රිෂ්ණන් සතුට පළ කර ඇත.

 



අගමැතිනි හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඉන්දීය උපජනාධිපතිවරයා ඇතුළු පිරිසට දිවා භෝජන සංග්‍රහයක් සංවිධානය කර තිබූ අතර දෙරට අතර ඇති සංස්කෘතික සහ ජන සබඳතා පිළිබඳව මෙහිදී අවධානය යොමු විය. ලංකා වතු කම්කරු අධ්‍යාපන අරමුදල් (CEWET) ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව ගණන 350 සිට 700 දක්වා වැඩි කිරීම ගැන ද එහිදී උප ජනාධිපතිවරයා අදහස් දක්වා තිබිණ. ඉන්දීය රාජ්‍ය මැදිහත්වීමෙන් 1946 තරම් ඈතක ආරම්භ කරන ලද මෙම අරමුදලෙන් වතු කම්කරුවන්ගේ දරුවන්ට අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන කටයුතු ස`දහා ආධාර මුදලක් හිමිවේ. එම මුදල රුපියල් 2500 සිට 7500 දක්වා වැඩිකිරීමට මේ වනවිට තීරණය වී ඇත.

Vice President of India CP Radhakrishnan North East Indian Origin Tamil Sri Lanka 6

ඉන් අනතුරුව ඉන්දීය උපජනාධිපති සී.පී රාධක්‍රිෂ්ණන් මුණගැසී තිබුණේ ඉන්දීය සම්භවයක් සහිත දේශපාලන කණ්ඩායම් නායකයන් හා ලංකා දෙමළ නායකයන්ය. ද්‍රවිඩ දේශපාලන පක්ෂ නායකයින් සහ ඉන්දීය උප ජනාධිපතිවරයා අතර විශේෂ හමුවක් ලෙස සංවිධානය වූ ඊට දෙමළ ප්‍රගතිශීලී සන්ධානය වෙනුවෙන් එහි නායක මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, භාරත් අරුල්සාමි, ලංකා කම්කරු කොංග්‍රසය වෙනුවෙන් එහි නායක සෙන්දිල් තොණ්ඩමන් ඇතුළු පිරිසක් එක්වූහ. තවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ ද ඔහු සාකච්ඡාවක් කළේය.

කොළඹ නව කදිරේසන් ශාලාවේ පැවැත්වූ ජන හමුවකදී ඉන්දිය සම්භවයක් සහිත දෙමළ ප්‍රජාව ආමන්ත්‍රණය කිරීමට ද සී.පී රාධක්‍රිෂ්ණන් මහතා කටයුතු කළේය. මෙයට දහසකට අධික පිරිසක් සහභාගී වී යැයි කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කියයි. ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනයාගේ පස් වැනි හා හය වැනි පරම්පරාවට ඕ.සී.අයි බලපත් දීර්ඝ කිරීමට හා ඒවාට අදාළ ක්‍රියාවලිය පහසු කිරීම ගැන ද අවධානය යොමුව තිබේ.

තවද ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ තෙවැනි අදියර යටතේ ඉදි කළ අවසන් නිවාස 145 භාරදීමට ද රාධක්‍රිෂ්ණන් මහතා සහාභාගී විය. ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනයා ඉලක්ක කරගෙන රුපියල් බිලියන 62කට අධික පිරිවැයකින් නිවාස 50 000ක ව්‍යාපෘතියක් හැටියට ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය විදේශයකදී ඉන්දියාව දියත් කරන විශාලතම සංවර්ධන ව්‍යාපෘතිවලින් එකක් යැයි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

 

india pres ganga
ඉන්දීය උපජනාධිපතිවරයාගේ සංචාරයේ තවත් සලකුණු දෙකක් වූයේ කොළඹ කතිරේසන් කෝවිල සහ හුනුපිටිය ගංගාරාම විහාරයයි. නුවරඑළිය රාගල ලිඩ්ල්ස්ඩේල් වතුයායේ ඉදි කළ නිවාස නිරීක්ෂණය කර ප්‍රතිලාභී පවුල් හමුවීමට ද ඔහු 20 වැනිදා කටයුතු කළේය. නුවරඑළිය සීතා අම්මාන් කෝවිලේ ආගමික වතාවත්වලට සහභාගී වීම උප ජනාධිපතිවරයාගේ දෙදින සංචාරයේ අවසන් අංගය විය. සීතා දේවිය වෙනුවෙන් පවතින එකම කෝවිල ලෙස සැලකෙන මෙම ස්ථානය මේ වනවිට ඉන්දීය රාජ්‍ය දූත ව්‍යාපෘතියේ ප්‍රධානතම ස්ථානයක් බවට පත්ව තිබේ.

නැගෙනහිර පළාත සඳහා බහු ක්ෂේත්‍ර සංවර්ධන ව්‍යාපෘති සහ මුලතිව් රෝහල සඳහා නව වාට්ටු ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අදාළ එකඟතා ලේඛනවලට අස්සන් තැබීම ද ඉන්දීය උප ජනාධිපතිවරයාගේ සංචාරයේදී සිදුවිය.

 

කෙසේ වෙතත් ඉන්දීය උපජනාධිපතිවරයාගේ ලංකා ගමනේ වැදගත් සන්ධිස්ථානයක් ගැන කරුණු අනාවරණය වූයේ එම සංචාරය ගැන 19 වැනිදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවැති මාධ්‍ය හමුවේදීය. ඉන්දීය විදේශ කටයුතු ලේකම් වික්‍රම් මිස්රි එහිදී අදහස් දක්වමින් පැවසුවේ ඉන්දියාවේ සහයෝගිතාවයෙන් ත්‍රිකුණාමලය දකුණු ආසියාවේ ප්‍රධාන බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ ව්‍යාපෘතිය ඉක්මනින් අවසන් කිරීමේ අවශ්‍යතාව සහ එහි ඇති උපායමාර්ගික වැදගත්කම මෙරට බලධාරීන්ට පෙන්වාදීමට ඉන්දීය උප ජනාධිපතිවරයාට හැකි වූ බවයි.

 මෙම ව්‍යාපෘතිය සම්බන්ධ මූලික අදියරේ සාකච්ඡා 2023 දී සිදු වී යැයි ද පසුව එය එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඉන්දියාව හා ලංකාව අතර ත්‍රෛපාර්ශ්වික සහයෝගිතා ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට යෝජනා වූ බවත් මිස්රි පැවැසීය. එහි පළමු අදියර යටතේ දකුණු ඉන්දියාව සහ ත්‍රිකුණාමලය අතර ඛනිජ තෙල් නළ මාර්ගයක් ඉදිකිරීමට ඇති හැකියාව සොයා බැලූණේ යැයි කී හෙතෙම ඊට සමාන්තරව තෙල් ගබඩා කිරීම සඳහා තෙල් ටැංකි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධව ද සාකච්ඡා වී යැයි කීවේය.

 

trincomalee harber
මේ වනවිට ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සැලකිය යුතු තොරතුරු ප්‍රමාණයක් ඉන්දියාව හා ලංකාව අතර හුවමාරු කරගෙන අවසන් යැයි මිස්රි පැවැසීය. ඉන්දීය විදේශ ලේකම්වරයා එහිදී කළ අවධාරණය ඉතා වැදගත්ය. ඔහු අවසානයේ පැවසුවේ ත්‍රිකුණාමලය දකුණු ආසියාවේ ප්‍රධාන බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ ව්‍යාපෘතිය වැනි උපායමාර්ගික වැඩවලට නාස්ති කිරීමට තවත් කාලය නොමැති බවය. ඒ අනුව ත්‍රිකුණාමල ව්‍යාපෘතිය යථාර්ථයක් කිරීමට තවත් කල් මරමින් බලාසිටීමට ඉන්දියාව සූදානම් නැති බව ඉන්දීය විදේශ ලේකම්වරයාගේ ප්‍රකාශයෙන් පැහැදිලිය.


(සටහන | ගිම්හාන් ද සිල්වා ) 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...