ඒ අනුව මහාචාර්ය ජී.එල්. පීරිස්, එජාප සභාපති වජිර, මහ ලේකම් තලතා, සාගල, විටින් විට කැඳවා උපදෙස් ලබා දුන්නේය.
සාගල කැඳවූ රනිල් පැවසූයේ හිටපු බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉවත්වීම පිළිබඳව සත්‍ය තත්ත්වය හෙළිදරව් කිරීම සඳහා රටට ප්‍රකාශයක් කළ යුතු බවයි. ජී.එල් ගේ උපදෙස් මත අදාල ප්‍රකාශය කරන ලෙසද උපදෙස් ලැබිණි.
ඒ අනුව මහාචාර්ය ජී.එල් අදාළ ප්‍රකාශය සැකසීමේ කටයුතු ඇරැඹීය. හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක සහ රනිල්ගේ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක සමඟ එක්ව අදාළ ප්‍රකාශය සකස් කෙරිණි. ජයකොඩි ගේ ඉල්ලා අස්වීම මෙන්ම වත්මන් දේශපාලන ප්‍රවණතා පිළිබඳවත් එම ප්‍රකාශයට කරුණු ඇතුළත් විය.
ක්‍රිකට් ලොකු පුටුවෙන් ෂම්මි සිල්වා ඉවත් කර ඉරාන් වික්‍රමරත්න පත් කිරීම...
ක්‍රිකට් ලොකු පුටුවෙන් ෂම්මි සිල්වා ඉවත් කර ඉරාන් වික්‍රමරත්න පත් කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් පළවූ පුවත් සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් රනිල් හමු වූ අවස්ථාවේදී කතා බහට ලක්විය.
මේ ආණ්ඩුවට කී දෙනෙක් උපදෙස් දෙනවාදැයි රනිල් එහිදී විමසීය.

" එහෙන් ඉරාන් ගේන්න යනවා. තවත් පැත්තකින් හර්ෂ ද සිල්වාගෙන් උපදෙස් ගන්න බව කියනවා. ඉරාන් මේ තැන් වලට දමන්න යෑම ගැන සජබේ අයට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ ඩීල් වලට තව කවුරු සම්බන්ධ ද කියන්න දන්නේ නෑ. රනිල් කීවේය.
ඉල්ලා අස්වුණ ජයකොඩි තවමත් මුලසනයේ !
ගැනත් මෙහිදී කතා බහට ලක්විය. ආණ්ඩුව මෙතෙක් කල් මන්තරය වගේ කීවේ ජයකොඩි වරදක් කර නොමැති හෙයින් අස්විය යුතු නැති බවයි. සාමාන්‍යයෙන් දේශපාලකයන් ඉල්ලා අස්වන්නේ වරදක් සිදුවූ විටය. පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවෙක් වුවත් ඒ පියවර ගැනීමට සිදුවේ.
කෙසේ නමුත් රනිල් හමුවීමට පැමිණි පක්ෂ නායකයන්ගේ මතය වූයේ බලශක්ති අලුත් ඇමති දිවුරුම් දෙන තැන මූලාසනයට වාගේ චෝදනා ලත් පැරණි ඇමතියා පැමිණීමෙන් දූෂණ හොයන්නට පත්කළ ජනාධිපති කොමිසම හැසිරෙන ආකාරය ගැනද පූර්ණ නිගමනයකට පැමිණිය හැකි වනු ඇති බවයි.
පාර්ලිමේන්තු විවාදයේදී ජයකොඩි ආරක්ෂා කරන්නට ගිය අයත් මේ ඉල්ලා අස්වීම නිසා කඩා වැටී තිබේ. ඒ වගේම බලශක්ති ලේකම්වරයා ඉවත් වූයේ කුමටද? ඔහුගේ තිබෙන සම්බන්ධය මොකක්ද? ඇමති වගකීම බාරගන්නවා නම් ලේකම්ට ඉවත්වීමට අවශ්‍යතාවයක් නැත. ඒ වගේම විමර්ශන කරන්නේ ජනාධිපති කොමිසමකින් හෙයින් ඒ කොමිසමට කිසිවෙකුටත් බාධා කිරීමට හැකියාවක් නැත. ඒ නිසා කොමිසමට සහාය දෙනවාය කියා ඉල්ලා අසීම පිළිගත හැකි කාරණයක් නොවේ.
තවත් හත් පොළේ ගා ගැනීමක්
මේ අතර ආණ්ඩුව තවත් හත් පොළේ ගා ගැනීමක් ආරම්භ කර තිබේ.
ඒ විදේශ රටකට ණයක් ලෙස ගෙවූ ඇමරිකා ඩොලර් ලක්ෂ 25ක් පරිගණක හැකර්කරුවකුගේ ග්‍රහණයට නතුවීමේ සිද්ධියයි. මේ කරුණු ගැන කතාබහ කෙරෙන අතර වාරයේ රනිල් කීවේ " මේ අය කතා කළේ මහා බැංකුව කොල්ලකෑම් ගැන හොයන්න. දැන් මහ බැංකුව හූරගෙනම කනවා වගේ" යනුවෙනි.
ආණ්ඩුවට විරුද්ධ ප්‍රගතිශීලී මතයක් දරන ජනතාවගේ දැඩි කුකුසට හේතු වූ තවත් කාරණයක් වන්නේ ගල් අඟුරු සිද්ධියෙන් රටම ගිනි ගනිද්දී ස.ජ.බ නමැති විපක්ෂය කිසිවක් නොවූ ගානට බකන්නිලාගෙන සිටීමයි. එහි තනි තනි මන්ත්‍රීවරුන් ඇතැම් ප්‍රකාශ කළද ස.ජ.බ විපක්ෂයෙන් දැකිය හැකි වන්නේ පූර්ණ නිහඬතාවයකි.
පොදු ජනතාවගේ මතය වන්නේ ජයකොඩිට ඉල්ලා අස්වීමට සම්පූර්ණ පීඩනය එල්ල වූයේ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල හඬ නැගීම බවයි.ඒ වගේම සමගි ජන බලවේගයෙන් පක්ෂයක් ලෙස මේ පිළිබඳව ප්‍රකාශයක් වත් නිකුත් නොකෙරිණි.
මෙම ගල් අඟුරු වංචාවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය කොළඹදී නගන හඬට අමතරව රට පුරා ප්‍රාදේශීය මට්ටමින් ජන හමු කැඳවමින් ජනතාව දැනුවත් කරමින් සිටී. ලඟදී මාතර දීද එවැනි හමුවක් කැඳවීමට නියමිතය.
කුමාර ජයකොඩි නිසා පැලවත්තත් දෙකට බෙදීලා !
කුමාර ජයකොඩි නිසා පැලවත්තත් දෙකට බෙදී ඇති බව ආරංචිය.ලාල් කාන්තගේ ප්‍රශ්නය ආවේ ඔය අල්ලපනල්ලේ ය. ලාල් අදාල රූපවාහිනී නාලිකාවට විරුද්ධව නඩු පවරන්නේ නම් ඔහුට තම වත්කම් ගැන ඔප්පු කර පෙන්වන්නට සිදුවෙයි. වත්කම් තිබෙනවා නම් අධිකරණයේදී හෙළි කළ යුතු අතර නැතිනම් ඒ බවද කිව යුතුවෙයි.
ඇතැම් නිලධාරීන් නිසා පාස්කු පරීක්ෂණ කරගන්නට නොහැකි වී තිබෙනවා වැනි කතාවක් කාදිනල් ප්‍රකාශ කර තිබිණි.
ආරක්ෂක අංශ,පොලිසි සහ අධිකරණ අංශවල ලේකම්වරුන් පත් කර ඇත්තේ ජනාධිපතිවරයා විසිනි. බාධා කරනවා නම් කළ යුත්තේ ඔවුන් ඉවත් කිරීමයි. රහස් පොලිසියේ ඉන්නේ ඔවුන් පත් කළ අයයි. මේ තත්ත්වය යටතේ ඔවුන් බාධා කරනවා යැයි කීම හිතලුවක් බව විපක්ෂයේ බොහෝ පක්ෂ නායකයන්ගේ මතය විය. ආණ්ඩුවේ නිලධාරීන් බාධා කරනවා නම් කාදිනල් කළ යුත්තේ ඔවුන් නම් කිරීමයි.
මේ උදවිය කරන අලුගුත්තේරු වැඩේ මොකක්ද?
එංගලන්ත ගමන ගැන මෛත්‍රී වික්‍රමසිංහගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණෙන බව රහස් පොලිසිය දැනුම් දී තිබේ.එතුමිය අසනීපයෙන් පසුවන නිසා නිවසට පැමිණ ප්‍රකාශය ලබා ගන්නා බව දැනුම් දී ඇත.

මේ කාරණය දැනගත් මහ ලේකම් තලතා රනිල් අමතිමින් පැවසූයේ" සර්ගෙත් ලොකු ඔපරේෂන් එකක් කරලා තියෙන වෙලාවක මේ උදවිය කරන අලුගුත්තේරු වැඩේ මොකක්ද? යනුවෙනි.තලතාට බොහෝ තරහ ගොස් තිබූ බව පෙනෙන්නට තිබිණි.
ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ ජී. එල් ගේ නිවසට
ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ ජී. එල් ගේ නිවසේදී ඉකුත් සඳුදා රැස්වූහ.
ගල් අඟුරු මගඩිය ගැන හොයන විශේෂ ජනාධිපති කොමිෂන් සභාව ගැන සාකච්ඡා කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය. ආණ්ඩුව විසින් ගන්නා මෙම පියවර සැබෑවටම සත්‍ය සොයා ගැනීමේ අරමුණින් ගන්නා පියවරක් නොව තත්වය වසන් කිරීමට ගන්නා පියවරක් බව ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ මතය විය.

ප්‍රශ්න ගත ගල් අඟුරු ගනුදෙනුව ගැන හොයනවා වෙනුවට ඉතිහාසයේ පටන් ගල් අඟුරු ගෙන්වීම ගැන හොයන්නට මේ ජනාධිපති කොමිසම පත්කර තිබේ. ඒ කියන්නේ අවුරුදු දාහතක ගණුදෙනු මේ කොමිසමින් හොයා බැලෙයි. මේ කාලය තුළදී සාමාන්‍යයෙන් ගල් අඟුරු ගනු දෙනු 465 ක් සිදුවී තිබේ.
ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ මතය වූයේ ඒ අතීතයේ ගල් අඟුරු ගනුදෙනු ගැන සවිස්තරාත්මක විගණකාධිපති වාර්තාවක් පවා තිබෙන බවයි.
මේ උත්සාහ කරන්නේ ඉතිහාසයේ ගනුදෙනු හාරා අවුස්සා නැති ප්‍රශ්න ඇති කර තියෙන ප්‍රශ්නය යට ගැසීම බව ජී.එල් ඇතුළු නායකයන්ගේ මතය විය. මෙවැනි ක්‍රියා ජනතාවගේ බුද්ධියට කරන නිග්‍රහයක් බවත් කිසිවෙකුත් මෙවැනි දේට රැවටෙන්නේ නැති බවත් විපක්ෂ නායකයෝ පැවසූහ.
එමෙන්ම ඉන්ධන ප්‍රශ්න ගැන අංග සම්පූර්ණ අපක්ෂපාතේ විමර්ශනයක් කරන ලෙස අල්ලස් සෝ දූෂණ කොමිෂමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටද විපක්ෂයේ නායකයෝ කතිකා කර ගත්හ.
කළු කඩ මුදලට ඩීසල් මිලදී ගැනීම ...

ඩිසල් හිඟය වැළැක්වීම සඳහා කළු කඩ මුදලට ඩීසල් මිලදී ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේදී තීරණය කෙරුණු බව බිමල් රත්නායක කළ ප්‍රකාශයක් ගැන ද මෙහිදී ගැඹුරින් සාකච්ඡා විය.
" ආණ්ඩුවක් කළු කඩයෙන් තෙල් ගන්නේ කොහොමද? මේ අයගේ පලපුරුද්ද ගැන එතනින්ම හොඳට තේරෙනවා. ඒවායේ ප්‍රමිතිය ගැන ලැබෙන සහතිකය මොකක්දැයි, ජී.එල් ප්‍රශ්න කළේය. ඒ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කර අවශ්‍ය පියවර ගැනීමටද මෙහිදී සාකච්ඡා විය.
රනිල්ට ලංකාවේදී ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ට විඳීමට සිදුවූ හිරිහැර
අනතුරුව මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මහාචාර්ය ජී.එල්. රනිල්ට ලංකාවේදී ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ට විඳීමට සිදුවූ හිරිහැර ගැන විස්තරයක් කළේ මෙසේය.
"හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස්ගතව සැත්කමකට ලක්ව නැවත ලංකාවට පැමිණ කෙමෙන් සුවය ලබමින් සිටිනවා. රනිල් වික්‍රමසිංහ මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස්ගත වූයේ ඇයිදැයි පසුගිය දිනවල මේ රටේ කථිකාවතක් ඇතිවුණා. අප රටේ ඉතා දක්ෂ වෛද්‍යවරුන් ඉන්නවා. එමෙන්ම දියුණු රෝහල් පහසුකම් තිබෙනවා. අපේ රෝහල්වල වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ආසියාවේ වෙනත් රටවල් වලින්ද රෝගීන් පැමිණෙනවා. එවන් තත්ත්වයක් තුළ රනිල් වික්‍රමසිංහ මහතා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුවට යාමට තීරණය කළේ ඇයි?
මේ ගැන ජනතාවගේ කුතුහලයක් තිබෙනවා. නඩු කෘත්‍යයකට අදාළ කරුණු සම්බන්ධයෙන් ව්‍යංගයෙන් හෝ ප්‍රකාශිතව කරුණක් පැවසීම වැරදියි. අධිකරණයට අපේ පූර්ණ ගෞරවය තිබෙන නිසා අප එවැනි දෙයක් කරන්නේ නැහැ. නමුත් ඊට පරිබාහිරව පුළුල් ප්‍රශ්න කීපයක් තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රතිකාර කළේ මේ රටේ ඉහළම පෙළේ විශේෂඥ වෛද්‍යවරුන් විසින්. එතුමා දැඩි සත්කාර ඒකකයේද සිටියා. විශේෂඥ වෛද්‍යවරුන් හත් දෙනෙක් එතුමාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සහතික ඉදිරිපත් කළා. පසුව ඒ විශේෂඥ වෛද්‍යවරුන් සියලුම දෙනා සී.අයි.ඩී එකට කැඳෙව්වා. ඔවුන් චූදිතයන් බවට පත්වුණා. එම වෛද්‍යවරුන් දේශපාලන කටයුත්තකට කිසිසේත් සම්බන්ධ වූයේ නැහැ. ඔවුන් ඉටු කළේ වෘත්තීමය වගකීම් යුතුකම් පමණයි. නමුත් අවසානයේ ඔවුන්ට චූදිතයන් බවට පත්වීමට සිදුවුණා. මේ රටේ අතිශය කීර්තියකට පත් වූ වෛද්‍යවරුන්ට අපහසුතා විඳින්න වුණා.
රනිල් වික්‍රමසිංහ මහතාට වෛද්‍ය ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ට හිරිහැර වනු දැකීමට එතුමා කැමැති වුණේ නැහැ. මේ රටේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන වෛද්‍යවරුන් හිරිහැරයට පත් කිරීම ඔවුන්ට කරන අසාධාරණයක් බව රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කළා. එමෙන්ම වෛද්‍යවරුන්ගේ රක්ෂාව කරගෙන යාමට එය ලොකු බාධාවක් බවද රනිල් වික්‍රමසිංහ මහතා කල්පනා කළා. ලංකාවේ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබා ලබා ගන්නවාට වඩා පිටරටකට ගිහින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සුදුසු බව ඒ නිසා එතුමා තීරණය කළා.
මෙවැනි තත්ත්වයන් නිසා කැපී පෙනෙන දේශපාලන චරිත වලට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට මේ රටේ වෛද්‍යවරුන් මැලි වෙනවා. මෙවැනි තත්ත්වයක් යළිත් මෙරට සිදු නොවීමට අප වග බලා ගත යුතුයි.
(සටහන | මල් පාරේ ලියුම්කරු)




