The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

එතෙර සාම ගමන මෙතෙර දී වෙන ගමනක් වේද? | සුනිල් කන්නන්ගර

T

The Leader Desk

April 25, 2026 • 5:19 AM

එතෙර සාම ගමන මෙතෙර දී වෙන ගමනක් වේද? | සුනිල් කන්නන්ගර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වියට්නාම් ජාතික පඤ්ඤාකර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලබන “ඒහි පස්සිකෝ” සාම පාගමන, ඉකුත් 22 වන දින පෙරවරුවේ රංගිරි දඹුලු රජමහ විහාරයෙන් ආරම්භ වූ අවස්ථාවේදී එය දිස්වුණේ පාගමනකට වඩා පෙළපාලියක් ලෙසිනි.
  • සාමාන්‍යයෙන් නිශ්චිත අරමුණක් සහිත පාද යාත්‍රාවකදී එම අරමුණ ඉස්මතු වීමත්, එය පොදු පිළිගැනීමක් ඇති යහපත් අරමුණක් වීමත් එහි සාර්ථකත්වයට අත්‍යවශ්‍ය වේ.
  • මඩකලපුවේ සිට පොතුවිල් දක්වා මහා මාර්ගයේ ගමන් ගන්නා එවැනි කුඩා කණ්ඩායමක් දැක්ක ද නිරායාසයෙන්ම මහත් ගෞරවයක් ඇති වේ.
  • එසේම, නිදහස් උත්සවයක හමුදා ආචාර පෙළපාලියක් තූර්ය වාදනයේ රිද්මයට අනුව ගමන් කරන විට ජනතාව තුළ අභිමානයක් ඇති වන්නේ එහි ඇති නිශ්චිත අරමුණ සහ විනය නිසා ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඇමෙරිකානු ජනතාව මහත් කුතුහලයකින් යුතුව නිහඬව නැරඹූ, ආධ්‍යාත්මිකව ආලෝකමත් වූ එම මහා පාගමන මෙන් නොව, මෙරට පාගමන පෙළපාලියක ස්වරූපයක් ගැනීමට ප්‍රධාන හේතු වූයේ ඊට සපයා තිබූ ආරක්ෂාවත්, පාගමන ප්‍රචාරය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ එක් වූ යූටියුබ්කරුවන් මෙන්ම ස්වයං පත්වීම් මත නිල මාධ්‍ය සම්බන්ධීකරණයට එක්වූ මාධ්‍ය ජාල කාර්ය මණ්ඩලත් ය.

aloka with soljer

ඇමෙරිකාවේදී පාගමන නැරඹූ බිලියන ගණනක් ලෝකවාසීන්ගේ ආදරය දිනාගත් ‘ආලෝකා’ නම් සුනඛයා, මෙරට පාගමනේ මුල් දිනයේදී සටන් නිල ඇඳුම් ඇඳ සිටි කොමාන්ඩෝ හමුදා නිලධාරියකු විසින් මෙහෙයවනු ලබන ‘සේවා සුනඛයකුගේ’ ස්වරූපයක් ගෙන තිබුණි.

සාමාන්‍යයෙන් නිශ්චිත අරමුණක් සහිත පාද යාත්‍රාවකදී එම අරමුණ ඉස්මතු වීමත්, එය පොදු පිළිගැනීමක් ඇති යහපත් අරමුණක් වීමත් එහි සාර්ථකත්වයට අත්‍යවශ්‍ය වේ. අපේ රටේ සුප්‍රකට පාද යාත්‍රාවක් වන නැඟෙනහිර හින්දු ජනතාවගේ වාර්ෂික කතරගම පාද යාත්‍රාව මෙයට කදිම නිදසුනකි. එහි සහභාගී වන්නෝ කතරගම දෙවියන් කෙරෙහි වූ අපමණ භක්තියෙන් යුතුව දින ගණනාවක් තිස්සේ කුමන සහ යාල ජාතික උද්‍යාන හරහා ගමන් කරති. මඩකලපුවේ සිට පොතුවිල් දක්වා මහා මාර්ගයේ ගමන් ගන්නා එවැනි කුඩා කණ්ඩායමක් දැක්ක ද නිරායාසයෙන්ම මහත් ගෞරවයක් ඇති වේ. එසේම, නිදහස් උත්සවයක හමුදා ආචාර පෙළපාලියක් තූර්ය වාදනයේ රිද්මයට අනුව ගමන් කරන විට ජනතාව තුළ අභිමානයක් ඇති වන්නේ එහි ඇති නිශ්චිත අරමුණ සහ විනය නිසා ය.

මේ දිනවල මෙරට ක්‍රියාත්මක වන පාද යාත්‍රාවට මුල් වූ භික්ෂූන් වහන්සේලා ලෝකවාසී සත්වයන් කෙරෙහි වූ මෛත්‍රී සිතින් යුතුව සාමය ප්‍රාර්ථනා කරමින් නිහඬව මෛත්‍රී භාවනාව වඩමින් ගමන් කරති. උන්වහන්සේලාගේ මෙම අපරිමිත දයාව සංකේතවත් කරන්නේ ඉන්දියාවේ කොල්කටා නුවර වීදි සුනඛයකු ලෙස සිටි ‘ආලෝකා’ ය. 2022 වසරේ සිට මෙම සත්වයා කෙරෙහි දක්වන කරුණාව මඟින් මෛත්‍රිය සියල්ලට වඩා උතුම් බව ලෝකයට කියා දුන්න ද, එම ගැඹුරු දාර්ශනික පණිවිඩය අප රටේ ඇතැම් ගිහි පැවිදි පිරිස්වලට අවබෝධ වී නැති බව පෙනේ. බටහිර රටකදී පවා මෙහි ඇති මෛත්‍රී සහගත චිත්තාභ්‍යාසය ගැන විමසිලිමත් වන අතර, ථේරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානය වන මෙරට වැසියන් මෙම පාද යාත්‍රාවේ ජීවගුණයට බාධා නොවන ලෙස ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය කරුණකි.

walk foe peace sri

කෙසේ වුවත්, මාධ්‍ය ඔස්සේ පෙනෙන පරිදි ඇතැම් පිරිස්වල හැසිරීම “දඹුළු ගොස් තලගොයි මැරීම” වැනි ය. මෙම පාද යාත්‍රාවේ සංවිධායකත්වය පිළිබඳ නිශ්චිත තොරතුරක් නැති වුව ද, රජයේ අනුග්‍රහය ඇති බව පෙනේ. එහෙත් රාජ්‍ය අනුග්‍රහය ලබාදීම යනු එහි අයිතිය රජය සතු කර ගැනීම නොවේ. ‘සිරස’ මාධ්‍ය ජාලය තමන් නිල මාධ්‍ය සම්බන්ධීකාරක ලෙස ප්‍රකාශ කළ ද, එවැනි පත්වීමක් කළ හැක්කේ පාද යාත්‍රාවේ හිමිකරුවන්ට ය. උතුම් අරමුණක් ඇති හිමිවරුන් මෙවැන්නක් කරනු ඇතැයි සිතිය නොහැක. එබැවින් මෙම පත්වීම පිටුපස ඇති බලවේගය සොයා බැලීම වැදගත් ය. මහා භාණ්ඩාගාරයෙන් ඕස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ඩොලර් ලක්ෂ විසිපහක් වංචාකරුවෙකුගේ ගිණුමට බැර වන තරමට වත්මන් රාජ්‍ය ව්‍යුහය නොමඟ යැවිය හැකි මට්ටමක පවතින බැවින් මේ පිළිබඳ සැකයක් මතු වේ.

පසුගියදා ලේක් හවුස් ආයතනයේ මාධ්‍යවේදීන් දෙදෙනෙකුට දඹුල්ලේදී පහර දී බාධා කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාරට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇත. එසේම, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පවසා ඇත්තේ ‘සිරසට’ පමණක් ආවරණය ලබා දීමට නියෝග ලැබී ඇති බවයි. චන්දන සූරියබණ්ඩාර කිසිදු වැටුපක් නොලබා ස්වේච්ඡාවෙන් සේවය කරන බව පැවසුව ද, මෙම සිදුවීම් හරහා පෙනී යන්නේ ඔහු රාජ්‍ය යාන්ත්‍රණය තුළින් අතිශය බරපතල බලයක් පවරාගෙන ඇති බවයි.

ඕනෑම පොදු උත්සවයක් වාර්තා කිරීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකමක් වන අතර, ඊට බාධා කිරීම නීති විරෝධී ය. යම් ආයතනයකට පමණක් වරප්‍රසාද ලබා දීමට රාජ්‍ය නිලධාරීන් මැදිහත් වන්නේ නම්, එය “දූෂණය” යටතට වැටෙන වරදකි. රජය මෙවැනි දිරච්ච ලණු කෑමට හේතුව බලධාරීන්ගේ නොදන්නාකම හෝ උද්ධච්චකම විය හැකිය.

walk for pe 2

මෙම පාද යාත්‍රාව පිළිගැනීමට ගුවන්තොටුපළට ගිය ආගමික කටයුතු ඇමැතිවරයා සහ ජනාධිපති ලේකම්වරයා භික්ෂූන් වහන්සේලාට බුලත් හුරුළු දී පිළිගැනීම ද මවිතයට කරුණකි. බෞද්ධ සම්ප්‍රදායට අනුව භික්ෂූන් වහන්සේලා පිළිගනු ලබන්නේ පාද නමස්කාර කිරීමෙනි. පූජනීය වස්තූන් හා සංඝ රත්නය පිළිගැනීමේ සම්ප්‍රදාය දේවානම්පියතිස්ස රජුගේ කාලයේ සිට පැවත එන්නකි. ආරාධනයකට අනුව ගිහි නිවසකට වඩින භික්ෂූන් වහන්සේලා පිළිගන්නේ පා දෝවනය කර නමස්කාර කිරීමෙනි. වගකිවයුතු නිලධාරීන් මෙම මූලික සිරිත් නොදැන සිටීම කණගාටුවට කරුණකි. මෙවැනි තත්ත්වයක් තුළ, පාද යාත්‍රාවේ මාධ්‍ය අයිතිය එක් ආයතනයකට සීමා කිරීමේ නියෝගය ජනාධිපති කාර්යාලයෙන් නිකුත් වූවක් විය හැකි අතර, එය පාද යාත්‍රාවේ යෙදෙන හිමිවරුන්ගේ මෛත්‍රී සහගත අරමුණට සම්පූර්ණයෙන්ම පටහැනි ක්‍රියාවකි.

පාද යාත්‍රාව නැරඹීමට පැමිණෙන ජනතාව අතර විවිධ අරමුණු ඇති අය සිටිති. ඇතැමෙක් පින් රැස් කර ගැනීමටත්, තවත් පිරිසක් ආශීර්වාද ලබා ගැනීමටත් පැමිණෙති. තවත් විශාල පිරිසක් පැමිණෙන්නේ ‘ආලෝකා’ දැක ගැනීමට ය. ඉකුත් 23 වන දා කටුගස්තොටදී වෙනත් සුනඛයෙකු ආලෝකා දෙසට පැනීම වැනි සිදුවීම් මඟින් පෙනෙන්නේ මෙවැනි අවස්ථාවලට සුරතල් සතුන් රැගෙන ඒම නොකළ යුතු බවයි.

අවසාන වශයෙන්, ‘ඒහිපස්සිකෝ’ පාද යාත්‍රාවේ යෙදෙන හිමිවරුන්ගේ උතුම් අරමුණත්, ඊට සම්බන්ධ වී සිටින සෙසු පාර්ශ්වයන්ගේ ආත්මාර්ථකාමී පටු අරමුණුත් වෙන් කර හඳුනා ගැනීමට තරම් රටවැසියන් බුද්ධිමත් විය යුතුය. ඒ සඳහා සුදුසු සමාජ, ආර්ථික, සංස්කෘතික මෙන්ම දේශපාලනික පසුබිමක් ද අත්‍යවශ්‍ය වේ.


(සටහන | සුනිල් කන්නන්ගර)
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com

(vinivida.lk)
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...