ඒ සමගි ජන බලවේගය ගල්අඟුරු වංචාව ගැන සියළු තොරතුරු ඉතා සූක්ෂම ආකාරයෙන් හෙළිදරව් කිරීමේ ප්‍රතිඵලයක් ලෙසය.
දැන් මාලිමා ආණ්ඩුව පිට තවත් මරාලයක් පත්තුවී තිබේ.
ඒ මහා භාණ්ඩාගාරය සතුව තිබූ ඩොලර් මිලියන 2.5 ක් සොරකම් කිරීමය.
පච මදිවට හොරු එලවන විකල්පයේ මැයි රැළිය

මාලිමා ආණ්ඩුව පත්වූ පසු, වාරයෙන් බහාලුම් 323 පැන්නීම සහ ඒ හරහා කෝටි ගණනක බදු ආදායම අහිමි කිරීමත්, ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු ගෙන ඒමෙන් රජයට රුපියල් මිලියන 8490 කට වැඩි පාඩුවක් සිදු කිරීමත්, බැරලයක් ඩොලර් 286 ගණනේ ඩීසල් මිලදී ගැනීම තුළින් විශාල මුදලක් තෙල් සැපයුම්කරුවන්ට ගෙවීම හරහා වංචාවක් සිදු කිරීමත්, මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හොර රහසේ පැන්නීම ආදී විවිධ ආකාරයේ සොරකම්, දූෂණ සිදුකරන මාලිමා ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය මෙවර මැයි රැළිය සංවිධානය කරන්නට කටයුතු යොදා තිබේ.

ඒ වෙනුවෙන් සමගි ජන බලවේගය පුළුල් මෙහෙයුමක් දියත් කර ඇත්තේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේත්, මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගේත්, සභාපති කබීර් හෂීම්ගේ සහ ජාතික සංවිධායක තිස්ස අත්තනායකගේ සෘජු අධීක්ෂණය යටතේය.
මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන සමගි ජන බලවේගයේ මැයි රැළියේ සංවිධාන කටයුතු වෙනුවෙන් කොළඹ දිස්ත්‍රීක් සංවිධායකවරුන් සමඟ අවස්ථා කිහිපයකදී විපක්ෂ නායක කාර්යාලයේදී සාකච්ජා පැවති අතර සෙසු ආසන සංවිධායකවරුන් සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගත් සජිත් ඇතුළු සජබයේ ඉහළ නිළධාරීන් ඔවුන්ට උපදෙස් කිහිපයක් දී ඇති බවත් වාර්තා විය.
එම මැයි රැළිය නම්කර ඇත්තේ, ‘පච මදිවට හොරු එලවන විකල්පයේ මැයි රැළිය’ ලෙසය.
සජබය හදිසියේ ආසන බලමණ්ඩල කැඳවයි

මැයි දිනය සහ ඉදිරි දේශපාලන තීන්දු රැසක් දැනුම්දීමට අප්‍රේල් 24,25 සහ 26 දින තුනේදී දිවයින පුරා ආසන බල මණ්ඩල 160 ම කැඳවීමට සමගි ජන බලවේගය කටයුතු යොදා තිබේ.
ඒ ගැන තමන්ට කරුණු වාර්තා කරන ලෙස කණ්ඩායම් කිහිපයක් පත්කර ඇති පක්ෂ නායක සජිත් ඉදිරි මාස කිහිපය රටේ තීරණාත්මක දේශපාලන වාතාවරණයක් ඇතිවන බවටද ඉඳ පළ කර තිබුණි.
අගමැති හරිනිට සජිත්ගෙන් සැර පිළිතුරක්
පසුගිය සිකුරාදා (24) මහනුවරට ගිය අගමැති හරිණි අමරසූරියගෙන් මාධ්‍යවේදීන් විමසා තිබුණේ ඩොලර් මිලියන 2.5 මුල්‍ය වංචාව පිළිබඳවය.
එහිදී පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරිය…
“ අපි ඒ සම්බන්ධයෙන් විමර්ශණයක් කරනවා. ඒ අනුව අවශ්‍ය අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. ආණ්ඩුව පැත්තෙන් කළ යුතු සියල්ල කරමිනුයි ඉන්නේ. ඒත් මේ විපක්ෂය පුරුදුවෙලා ඉන්නේ සැක ඇත්ත වගේ ප්‍රකාශ කරන්න. එයාලට කරුණු නැතිකොට මොනවා හරි හදලා කියලා අවධානය ගන්න උත්සාහ කරනවා.විපක්ෂයේ කාර්යභාරය මේකද කියලා රටේ ජනතාව තීරණය කරයි.”

අගමැති හරිනිගේ මේ ප්‍රකාශය දුටු සජිත් ඊට පසුදිනම ඊට කණ පැලෙන පිළිතුරක් දී තිබුණි.
“ හොරකම් කරපු ඩොලර් ලක්ෂ 25 ගැන මාධ්‍ය ප්‍රශ්ණ කරනකොට, ඒ සිදුවීමට අදාළ පරීක්ෂණවල තත්ත්වය පැහැදිලි කිරීම වෙනුවට අගමැතිවරිය කියලා තිබුනේ, විපක්ෂය සැක දේවල් ඇත්ත සිදුවීම් විදිහට රටට ඉදිරිපත් කරන්න කටයුතු කරනවා කියලා. ඉතිං මෙතන සැකයක් නෑනේ ඇත්තක්නේ මේ සිදුවෙලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවට ගෙවන්න තිබුණ ණය වාරිකය වෙච්ච ඩොලර් මිලියන 2.5 ඒ කියන්නේ ඩොලර් ලක්ෂ 25ක් හොරකම් කරලා. ඒක බොරුවක් නෙමෙයි. දැන් විපක්ෂයද මේක ගෙව්වේ. සමගි ජන බලවේගයේ අපිද මේක ගෙව්වේ. මහාභාණ්ඩාගාර ලේකම්වරයා සහ මුදල් ඇමති දැනුවත්වයි මේක ගෙව්වේ. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිදුවෙච්ච මේ මුදල් වංචාව මාස 4 තිස්සේ පාර්ලිමේන්තුවෙන් හැංගුවා, මුදල් කාරක සභාවෙන් හැංගුවා, අධිකරණයෙන් හැංගුවා. රටේ ජනතාවගෙන් හැංගුවා, මුදල් බලතල තියෙන්නේ, ජනාධිපතිටවත්, අගමැතිටවත් නෙමෙයි පාර්ලිමේන්තුවට අගමැතිවරිය ඒක දන්නේ නැත්නම් අනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවලා කතා කරන්න.

මේ සිද්ධිය අනාවරණය උනාම මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇවිත් එක කතාවක් කියනවා, නියෝජ්‍ය මුදල් ඇමති ඇවිත් තව කතාවක් කියනවා, අගමැතිවරිය ඒ දෙකටම වෙනස් වෙනම කතාවක් කියනවා. ඔය මොන කතා කිව්වත් මේක මුදලේ පාඩුව අවසානයේ ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට. අපිට මතකයි ගල්අඟුරු වංචාව වෙලාවේ කිව්වෙත් ඕකමයි. ආණ්ඩුව මුලින් කිව්වා ගල්අඟුරු බාල නෑ කියලා, ඊට පස්සේ කිව්වා බාලයි පාඩු නෑ කියලා, ඊට පස්සේ කිවවා පාඩුයි ඒත් වංචාවක් නෑ කියලා. අන්තිමට හඬපට එළියට ආවට පස්සේ ඇමතිටයි, අමාත්‍යාංශ ලේකම්ටයි ඉල්ලා අස්වෙන්න උනා. විශ්වාසභංගය පැරැද්දුවට ඇත්ත හෙළිවෙනකොට තනතුරේ ඉන්න බැරිවුනා. විගණකාධිපති වාර්තාවෙන් අපි කියපු දේවල් සියල්ල සත්‍යයි කියලා හෙළිදරව් වුනා. අගමැතිවරියට කියන්න තියෙන්නේ, මේ ඩොලර් මිලියන 2.5 වංචාව ගැන රටට ඇත්ත කියන්න හංගලා වැඩක් නෑ. රටේ පුරවැසියන් දැනගන්න ඕන තමන්ගේ සල්ලිවලට මොකක්ද වුනේ කියලා. ආවේ මහාභාණ්ඩාගාරයේ හැම රුපියලක්ම සාංඝික දේපලවගේ රකිනවා කියලා. අන්තිමට උනේ ඩොලර් ටිකටත් විදපු එක”
විපක්ෂ නායක සජිත් මේ විදිහේ සැර කතාවක් කරලා තිබුණේ, මහාමාන්‍ය DS සේනානායක දේශපාලන පීඨය සංවිධානය කරපු දේශපාලන පුහුණු වැඩසටහනේ සමාරම්භක උත්සවයේදීය.
මුදල් කාරක සභාවට කැඳවූ - මුදල් අමාත්‍යාංශ ලේකම්

මහාභාණ්ඩාගාරය සතුව තිබූ ඩොලර් මිලියන 2.5 අතුරුදන්වීම සම්බන්ධයෙන් කරුණු විමසීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමට මුදල් කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙසට දන්වා තිබේ.
මෙම මුල්‍ය වංචාව ගැන පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැන තීරණය කිරීම සඳහා කමිටුවක් පත් කරන්නටත් විපක්ෂ නායක සජිත් තීන්දු කර තිබේ.
මාලිමා ආණ්ඩුවේ ගල්අඟුරු වංචාව හෙළිදරව් කළ ලෙසින්ම මුල්‍ය කටයුතු පිළිබඳ දැනුමින් යුත් මන්ත්‍රීවරුන් කණ්ඩායමක් මීට පත් කිරීමටත්, පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා යටතේ, මෙම මුදල් වංචාව පිළිබඳ ගැඹුරු අධ්‍යනයක් සිදු කිරීමටත් සමගි ජන බලවේගය තීන්දු කර තිබේ.
ඒ අනුව ඉදිරි සතියේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු මුදල් අමාත්‍යාංශයේ සහ මහාභාණ්ඩාගාරයේ නිළධාරීන් එම කමිටුවට කැඳවීම සිදුවනු ඇත.
ඉන්දීය උප ජනපතිගේ සහ සජිත්ගේ හදිසි හමුව

මෙරට නිල සංචාරයක නිරත වූ ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් හමුවූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්වී පාර්ශවීය සබඳතා පිළිබඳ පුළුල් සාකච්ජාවක නිරත විය.
එහිදී දෙරට අතර වෙළඳාම පුළුල් කිරීම, ආර්ථික සබඳතා වැඩි දියුණු කර ගැනීම සහ ආයෝජන අවස්ථා ප්‍රචලිත කිරීම පිළිබඳ අදහස් රැසක් හුවමාරු කරගෙන තිබූ අතර සජිත් පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිදුකළ ඉන්දීය සංචාරය හරහා ඇතිවූ පුළුල් සබඳතා වල තවත් අදියරක් ලෙස මෙය හැඳින්වීමට ද හැකිය.
හම්බන්තොට අමතක නොකරන සජිත්

සෑම අලුත් අවුරුද්දකදී මෙන්ම මෙවරත් හම්බන්තොට දිස්ත්‍රීක්කයේ වෙහෙර විහාරස්ථානවලට ගොස් ආශිර්වාද ලබාගැනීමට සජිත් අමතක කළේ නැත.
ඒ අනුව පසුගිය සතියේ දින කිහිපයක් හම්බන්තොට රැඳී සිටි සජිත් ‘සසුනට අරුණ’ හරහා සංවර්ධනය කළ වෙහෙර විහාරස්ථාන වෙත ගොස් ඔහු මහා සංඝරත්නයේ සැප දුක් විමසනු දැකගත හැකි විය.
වහා ගිණි ඇවිළුණු දොස්තර චමල්ගේ ලියුම.

සමගි ජන බලවේගයේ රත්මලාන ආසන සංවිධායක සහ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රී වෛද්‍ය චමල් සංජීව එම ආසන සංවිධායක ධූරයෙන් ඉවත්වන බවට පක්ෂ මහලේකම්ට යොමුකර තිබූ ලිපියක් නිසා සිකුරාදා අලුත් ප්‍රවෘත්තියක් නිර්මාණය වී තිබුණේ එය සමගියේ අර්බුදයක් ලෙස හුවා දක්වමින්ය.
එහෙත් වෛද්‍ය චමල් සංජීව එම ඉවත්වීමට නිෂ්චිත හේතුවක් දක්වා නොතිබූ අතර ඔහු සඳහන් කර තිබුණේ, පුද්ගලික හේතුවක් මත රත්මලාන ආසන සංවිධායකධූරයෙන් තමන් ඉවත් උවද, ඉදිරියටත් නාගරික මන්ත්‍රීධූරයේ සහ පක්ෂ සාමාජිකත්වයේ රැඳි සිටිනා බවය.
සජබයට මඩ ගසන්නට බලා සිටින, කුණු හොයන මාධ්‍ය කිහිපයකට මෙම ලිපිය උණු කැවුමක් වූ අතර ඔවුන් දොස්තර චමල් සංජීව සජබයෙන් ඉවත්වූ අයුරින් ප්‍රවෘත්තියක් ඵලකරන්නට කටයුතු කළේය.
ඉන් කලකිරීමට පත් වෛද්‍ය චමල් සංජීව තමන් රත්මලාන ආසන සංවිධායකධූරයෙන් ඉවත්වීමට සැබෑ හේතුව දක්වමින් යළි ලිපියක් යොමුකර තිබුණි.
එහි දැක්වුණේ, තමන් අධ්‍යාපන කටයුත්තක් සහ පෞද්ගලික වැඩකටයුතු කිහිපයක් නිසා ආසන සංවිධායකධූරයෙන් ඉවත් වුවද, පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ නාගරික මන්ත්‍රීධූරයේ අඛණ්ඩව කටයුතු කරන බවය.
එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කෙරෙහි විශ්වාසය තබමින් සමගි ජන බලවේග රජයක් පිහිටුවීමට තමන් කැපවන බවද වෛද්‍ය චමල් සංජීව එම ලිපියේ සඳහන් කර තිබුණි.
සුදානම් වන්න…තවත් ටෙන්ඩර් මගඩියක තොරතුරු අත ළඟ.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ලෙස පත්වී මේ වසරේ සැප්තැම්බර් 23 වනදාට වසර දෙකක් සම්පූර්ණවීමට නියමිතය.
එම කාලසීමාව තුළ මාලිමා ආණ්ඩුවට මුල්‍ය සහ දූෂණ චෝදනා රැසක් එල්ලවූ අතර ඉන් බරපතල ගණයේ චෝදනා 4ක් විය.
ජාතික ජනබලවේග ආණ්ඩුවට 2025 වසරේ ජනවාරි ආරම්භයේදීම එල්ලවූ චෝදනාව වුණේ වරායෙන් බහාලුම් 323 පැන්නීමය. ඒ චෝදනාව සමාජගත වෙද්දී එය සොයන්නට කමිටුවක් පත් කළ අනුර එම කමිටු වාර්තාවේ සඳහන් චෝදනා බරපතල වීම නිසා එය ප්‍රසිද්ධ නොකර ලාච්චුවේ දමා ඉබි යතුරු දැමුවේය.
තවමත් ඒ වාර්තාව ජනපති අනුර විසින් පාර්ලිමේන්තුවට හෝ රටට ඉදිරිපත් කර නැත.
ඉන්පසු ආණ්ඩුවට එල්ලවූ චෝදනාව වුනේ 2026 වසරේ ජනවාරියේ සිදුවූ ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු ගෙන්වීමය.
බාල නෑ කියූ ගල්අඟුරු බාල වෙද්දී, පාඩු නෑ කියූ ගල්අඟුරු පාඩු වෙද්දී, දූෂණයක් නෑ කියූ ගණුදෙණුව දූෂිතයි කියා විගණකාධිපති හෙළි කරද්දී විදුලි බල ඇමති ඉල්ලා අස්වීම දක්වා එම වංචාව දුරදිග ගියේය.
දැනට සති කිහිපයකට පෙර HSBC බැංකු ප්‍රධානියා සිංගප්පූරුවේදී සිදුකළ හෙළිදරව්වක් වුනේ ඩොලර් 286 තරම් වූ අධික මිලකට ශ්‍රී ලංකාව ඩීසල් මිලදී ගත් සිදුවීමය.
එම ගණුදෙණුවද තවත් මුදල් අවභාවිත කිරීමක් බව දැන්, දැන් හෙළිවෙමින් තිබේ.
ඉන් පසුව දැන් කරළියම උණුසුම් කර ඇති ඩොලර් මිලියන 2.5 මහබැංකුවේ මුදල් වංචාව ආණ්ඩුවට එල්ලවූ හතරවන බරපතල චෝදනාවය.
මීට අමතරව ආණ්ඩුවට එරෙහි පස්වන චෝදනාවකුත් දේශපාලන කරළියේ මෝදු වෙමින් ඇති අතර, එය සිදුවන්නේ අලුත් පාස්පෝට් ටෙන්ඩරය හරහා බව දැනගන්නට තිබේ.
දැන් සමගි ජන බලවේගයේ අභ්‍යන්තර කණ්ඩායමක් ඒ පිළිබඳවත් තොරතුරු එක්රැස් කරමින් ඇති අතර එම හෙළිදරව්වද නුදුරේදීම සමාජයට අසන්නට ලැබෙනු ඇත.
(මම | බංගලා හන්දියේ ලියුම්කරු)




