The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බලශක්ති සැපයුම් බිඳ වැටෙමින් පවතී: ශ්‍රී ලංකාවේ අප කළ යුත්තේ කුමක් ද? | රොහාන් සමරජීව

T

The Leader Desk

April 27, 2026 • 6:52 AM

බලශක්ති සැපයුම් බිඳ වැටෙමින් පවතී: ශ්‍රී ලංකාවේ අප කළ යුත්තේ කුමක් ද? | රොහාන් සමරජීව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෝලීය ව්‍යාපාර බුද්ධි සමාගමක් වන කේප්ලර් (Kpler) වෙතින් ලැබෙන දත්තවලට අනුව, පසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව මාර්තු මාසයේදී මුහුදු මාර්ගයෙන් සිදු කරන බොරතෙල් සහ ද්‍රවීකෘත ස්වාභාවික වායු අපනයනයන් දිනකට බැරල් මිලියන 6.9කින් පහත වැටී ඇත.
  • මේ අනුව, යුද්ධයට පෙර පැවති මට්ටමට වඩා නැව්ගත කිරීම් දිනකට බැරල් මිලියන 8.8කින් පහත වැටෙනු ඇතැයි නිගමනය කළ හැකිය.
  • අප්‍රේල් මාසයේ ඉතිරි දින කිහිපය තුළ කිසිදු ප්‍රාතිහාර්යයක් සිදු නො වන්නේ නම්, බොරතෙල් සහ ද්‍රවීකෘත ස්වාභාවික වායු අපනයනයන් 2020 ජූනි මාසයේ කොවිඩ්-19 වසංගතය සමයේ දක්නට ලැබුණු අවම මට්ටමට සමාන වනු ඇත.
  • ට්‍රම්ප් පරිපාලනයේ අස්ථාවර ප්‍රතිපත්ති හමුවේ, මාස කිහිපයක් දක්වා මෙම ප්‍රවණතාව අඛණ්ඩව පවතිනු ඇතැයි සැලකිල්ලට ගෙන බොහෝ රජයන් සහ සමාගම් සැලසුම් සකස් කරමින් සිටී.
අකුරු ප්‍රමාණය (Font Size):

එසේම, අප්‍රේල් 20 වැනිදා දක්වා කාලය තුළදී එය තවත් දිනකට බැරල් මිලියන 1.8කින් පහත වැටී තිබේ.

මේ අනුව, යුද්ධයට පෙර පැවති මට්ටමට වඩා නැව්ගත කිරීම් දිනකට බැරල් මිලියන 8.8කින් පහත වැටෙනු ඇතැයි නිගමනය කළ හැකිය. අප්‍රේල් මාසයේ ඉතිරි දින කිහිපය තුළ කිසිදු ප්‍රාතිහාර්යයක් සිදු නො වන්නේ නම්, බොරතෙල් සහ ද්‍රවීකෘත ස්වාභාවික වායු අපනයනයන් 2020 ජූනි මාසයේ කොවිඩ්-19 වසංගතය සමයේ දක්නට ලැබුණු අවම මට්ටමට සමාන වනු ඇත.

ට්‍රම්ප් පරිපාලනයේ අස්ථාවර ප්‍රතිපත්ති හමුවේ, මාස කිහිපයක් දක්වා මෙම ප්‍රවණතාව අඛණ්ඩව පවතිනු ඇතැයි සැලකිල්ලට ගෙන බොහෝ රජයන් සහ සමාගම් සැලසුම් සකස් කරමින් සිටී. හෝර්මුස් සමුද්‍ර සන්ධියේ අවහිරතා ඉවත් කළ ද සැපයුම් තවදුරටත් සීමා වනු ඇත. ගබඩාවලින් ලබා ගත් තොග යළි පිරවීමට සිදු වනු ඇත. ඒ හරහා යුද්ධයට පෙර පැවති මූලික මට්ටමට වඩා දිනකට බැරල් මිලියන 1.8ක අමතර ඉල්ලුමක් නිර්මාණය වේ. විශාල සහ ධනවත් රටවල් තොග රැස් කරන බැවින්, මෙයින් අදහස් වන්නේ තවත් මාස කිහිපයක් යන තුරු සැපයුම් දැඩි ලෙස සීමා වනු ඇති බව ය. ඒ අනුව කුඩා රටවලට පෝලිමේ පිටුපසට වී බලා සිටීමට සිදු වනු ඇත.

අපගේ රජය මෙම යථාර්ථය දකිනවා ද? ඔවුහු ඒ සඳහා සැලසුම් සකස් කරමින් ඒවා ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙනවා ද?

කෙටිකාලීන ප්‍රතිචාර

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Ceypetco) මෑතකදී ඩීසල් සඳහා ගෙවූ ඉහළ මිල ගණන් මගින් පෙන්නුම් කරන පරිදි, සැපයුම සීමා සහිත වුව ද, සැපයුම්වල මිල ඉතා අධික වුව ද, අපේ ආර්ථිකය අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතුය. ඉන් අදහස් වන්නේ ජනතාවට ආහාර තිබිය යුතු බව සහ දේශීය හා අපනයන යන දෙඅංශයේම සැපයුම් දාම සුරක්ෂිත කළ යුතු බව ය. මේ සඳහා ඩීසල් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතුය.

කාර්ය සම්පාදන සැපයුම් දාම සම්පූර්ණයෙන්ම පාහේ ඩීසල් මත රඳා පවතී. මේ වන විට වැඩිම බලපෑමක් එල්ල වී තිබෙන්නේ ද ඩීසල් සැපයුමටය. ගුවන් යානා ඉන්ධන සහ ඩීසල් වැනි මධ්‍යම පිරිපහදු (middle distillates) නිෂ්පාදනය සඳහා වඩාත් සුදුසු මධ්‍යම මට්ටමේ (medium-sour) බොරතෙල් වර්ග නිෂ්පාදනය කෙරෙන්නේ පර්සියානු බොක්ක ආශ්‍රිතව ය. යුද්ධය අඛණ්ඩව පවතින බැවින්, මෙම පිරිපහදු කළ නිෂ්පාදනවල විශේෂයෙන්ම ඩීසල් සැපයුම වඩාත් සීමා වෙමින් පවතී.

අමෙරිකා එක්සත් ජනපදය සමස්තයක් වශයෙන් තෙල් ආනයනය කරන රටක් නො වන නමුදු, එරට ඩීසල් මිල මේ වන විටත් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත. යමක් ලබා ගැනීමේ හැකියාව සහ එහි දැරිය හැකි මිල පිළිබඳ ගැටලු අතර වෙනස හඳුනා ගැනීම වැදගත් ය. බලශක්ති යෙදවුම් ලබා ගත නො හැකි නම්, ඒ මත රඳා පවතින ආර්ථික ක්‍රියාකාරකම් නතර වනු ඇත. ඉහළ මිලකට හෝ ඒවා ලබා ගත හැකි නම්, එහි ප්‍රතිවිපාක රඳා පවතින්නේ එම පිරිවැය පාරිභෝගිකයා වෙත පැවරිය හැකි ද නො හැකි ද යන්න මත ය.

ඉන්ධන නො මැති නම්, තේ (නෙළන ලද දලු කර්මාන්තශාලාවට ගෙන යාම, සැකසූ තේ වෙන්දේසියට සහ වරායට ගෙන යාම) වැනි දේශීය සැපයුම් දාම බිඳ වැටෙනු ඇත. සංචාරකයින්ට හෝටලයට යාමට හෝ සංචාරක ආකර්ෂණ ස්ථාන නැරඹීමට නො හැකි නම්, සංචාරක කර්මාන්තය අඩාල වනු ඇත. අපනයන ඉපැයීම් පහත වැටී රුපියල අවප්‍රමාණය වුවහොත්, ඉන්ධන සඳහා දැරිය හැකි මිලට එය ඍණාත්මක ලෙස බලපානු ඇත.

ප්‍රමුඛ අරමුණු සඳහා ඩීසල් වෙන් කිරීමට නම්, ප්‍රමුඛ නො වන භාවිතා කරන්නන්ගේ ඉල්ලුම අඩු කළ යුතුය. මෙය සලාකනය කිරීමෙන්, ඉහළ මිල ගණන් නියම කිරීමෙන් හෝ එම ක්‍රම දෙකම භාවිත කිරීමෙන් සිදු කළ හැකිය.

tourism oil

ගෝලීය වෙළඳපොළ තුළ පෙට්‍රල්වලට වඩා ඩීසල් මිල අධිකය. වෙළඳපොළ තත්ත්වයන් හෝ දුර්වල කේවල් කිරීමේ හැකියාව හේතුවෙන් ඩීසල් වැඩි මිලකට මිල දී ගන්නේ නම්, එය සිල්ලර මිලෙන් ද පිළිබිඹු විය යුතුය. සංචාරක කර්මාන්තය හෝ අපනයන සැපයුම් දාම වැනි සැබෑ අතරමැදි කාර්යයන්හිදී මෙම ඉහළ මිල ගණන් පාරිභෝගිකයා වෙත පැවරිය හැකිය. ප්‍රවාහනය සහ අනෙකුත් සේවා සඳහා සංචාරකයින්ගෙන් ඉහළ මිල ගණන් අය කළ හැකිය. තේ සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදු වනු ඇත. එහෙත්, එය වරාය දක්වා ප්‍රවාහනය කිරීමට අවස්ථාව ලැබේ.

මිල ගණන් ඉහළ ගිය පමණින්, ඩීසල් විශාල වශයෙන් වැය වන V8 වර්ගයේ වාහන පදවන පුද්ගලයින් තම වාහන නිවසේ තබා යන්නේ නැත. ඒ හේතුවෙන්, සලාකනය අනිවාර්යය වනු ඇත. තවද, නොවැළැක්විය හැකි කළු කඩ වෙළඳපොළ තත්ත්වයන් දරා ගැනීමට ද සිදු වනු ඇත.

ඉහළ මිල ගණන් සහ සලාකනය කිරීම ආහාර සැපයුම් දාම සහ නිෂ්පාදන ක්‍රියාවලිය කෙරෙහි බලපානු ඇත.

අපනයන කර්මාන්තවලදී මෙන් නොව, මෙහිදී මිල වැඩිවීම් පාරිභෝගිකයා මත පැටවීම අපහසු වනු ඇත. ආහාර මිල මට්ටම් ඉහළ යාම වළක්වා ගත නො හැකිය. මේ සඳහා ඇති විසඳුම වන්නේ නිෂ්පාදකයින්ට සහනාධාර ලබා දීම නො වේ. එම සහනාධාර අවසානයේදී V8 වර්ගයේ වාහන හිමියන්ට ද ලැබේ.  ඒ වෙනුවට, දැනට පවතින සහ වඩා නම්‍යශීලී අස්වැසුම යාන්ත්‍රණය භාවිත කරමින් වඩාත් අවදානමට ලක්විය හැකි පිරිස් වෙත මුදල් ලබා දිය යුතුය.

 

electricity 24.12.11

ආනයනික ඉන්ධන විදුලිය උත්පාදනය කිරීම සඳහා ද භාවිත කෙරේ. ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය සඳහා විදුලි සැපයුම පවත්වා ගෙන යාම වැදගත්ය. පැහැදිලිවම මේ සඳහා අඩුම පිරිවැයක් සහිත ඉන්ධන භාවිත කළ යුතුය. එහෙත්, අවසාන විකල්පය ලෙස මේ වන විට සිදු කරන පරිදි ඩීසල් භාවිත කිරීමට සිදු වනු ඇත. මෙහිදී ද මිල ගණන් මගින් පිරිවැය ආවරණය විය යුතුය. විදුලිය සම්පූර්ණයෙන්ම නො මැති වීමට වඩා මිල අධික විදුලියක් හෝ තිබීම යහපත්ය.

ප්‍රමුඛ කාර්යයන් සඳහා සීමිත ඩීසල් සැපයුම සංරක්ෂණය කර ගැනීම සඳහා, විදුලි කප්පාදු කරන්නට සිදු වීම සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීමට නො හැකි විය හැක. එවැනි හදිසි අවස්ථාවකදී, කාර්යබහුල වේලාවන්හිදී සැලසුම් සහගතව සහ සාධාරණ ලෙස කෙටි විදුලි කප්පාදුවක් (උපරිම පැය දෙකක්) ක්‍රියාත්මක කළ යුතුය.

ප්‍රමුඛ නො වන භාවිතා කරන්නන් සඳහා කිව්.ආර්. (QR) කේත මත පදනම් වූ ඉන්ධන සලාකනය අඛණ්ඩව පවත්වා ගෙන යා යුතුය. ඊට අමතරව, රජයේ වාහන (ගිලන්රථ සහ පොලිසිය වැනි අත්‍යවශ්‍ය සේවා සඳහා ව්‍යතිරේක සහිතව) සහ සන්නද්ධ හමුදා වාහන මගින් සිදු කරන ඩීසල් භාවිතය පාලනය කිරීම සඳහා අතිරේක පියවර ක්‍රියාත්මක කළ යුතුය. රජයේ වාහන සඳහා කොරියානු රජය විසින් පනවා ඇති දැඩි සීමාවන් ඒ සඳහා හොඳ ආකෘතියක් සපයයි. 

oil fun

ඩීසල් සහ දැවි තෙල් (furnace oil) ඇතුළුව සියලුම ඉන්ධන සඳහා තොග ලබා ගැනීමේ හැකියාව පිළිබඳ විශ්වසනීය දත්ත සකස් කර ප්‍රකාශයට පත් කල යුතුය. රජය විසින් කාලීනව දත්ත නිකුත් කරන්නේ නම්, ඔස්ට්‍රේලියාවේ මාධ්‍යවේදිවරයෙකු (https://x.com/FuelAustralia) විසින් හඳුන්වා දී ඇති ආකෘතිය අපට ද අනුකරණය කළ හැකි ය.

සලාකනය සහ පිරිවැය පිළිබිඹු කරන මිලකරණය අප්‍රසන්නය. එහෙත්, එම යාන්ත්‍රණ විනිවිදභාවයෙන් යුක්ත වන්නේ නම් සහ සියලු සන්නිවේදනයන් කිසිදු වසන් කිරීමකින් තොරව රජය නියෝජනය කරන තනි විශ්වසනීය මූලාශ්‍රයකින් නිකුත් කරන්නේ නම්, පුරවැසියෝ ඊට අනුකූල වනු ඇත. අවාසනාවකට මෙන් මේ දක්වා එවැනි තත්ත්වයක් දක්නට නැත.

කෙටිකාලීන පියවරවලින් ඔබ්බට

ප්‍රතිඵල පෙන්වීමට කාලයක් ගත වන සැබෑ විසඳුම් සඳහා අවශ්‍ය කාලය ලබා ගැනීමට කෙටිකාලීන විසඳුම් අවශ්‍ය වේ. එහෙත්, අර්බුදයක් යනු, අවශ්‍ය ප්‍රතිසංස්කරණ දියත් කිරීම සඳහා හොඳ වේදිකාවකි.

 

oil storage

බාහිර උපදේශකවරුන්ගේ සහාය ඇතිව ජාතික බලශක්ති ප්‍රතිපත්තියක්, උපායමාර්ගයක් සහ ක්‍රියාකාරී සැලැස්මක් කඩිනම් කිරීම අනිවාර්යය වේ. එය බාහිර උපදේශකවරුන්ගේ සහාය නැතිව සැකසු ජාතික විදුලිබල ප්‍රතිපත්තිය මෙන් නොවිය යුතු ය. මූලාශ්‍ර කිහිපයක් මත යැපීම තහවුරු කරන සහ පිරිවැයක් දැරීමට සිදුවන ගබඩා පද්ධති, අවදානම් රහිත තෙල් පිරිපහදු කිරීමේ පද්ධති සහ නල මාර්ග ආදිය සඳහා වන සැලැස්මක් ද එයට ඇතුළත් විය යුතුය. බලපත්‍ර කොන්දේසි මගින් ගබඩා කිරීම තෙල් බෙදාහරින සමාගම් වෙත පැවරිය හැක. නමුත් ආදායමක් නොමැතිව තෙල් ගබඩා කිරීම වියදම් සහිත කටයුත්තක් බව රජය අවබෝධ කර ගත යුතුය. චීනයට කළ හැකි දේ, කුඩා ශ්‍රී ලංකාවට කළ නො හැකිය.

අපගේ අබලන් වූ පොදු ප්‍රවාහනය, විශේෂයෙන්ම වැඩිම මගීන් පිරිසක් ප්‍රවාහනය කරන බස් රථ සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක් දැයි අපි දනිමු. වඩාත්ම ජනාකීර්ණ නාගරික මාර්ගවල බස් රථ සේවා වැඩිදියුණු කිරීම සඳහා කඩිනම් වැඩසටහනක් ආරම්භ කළ යුතුය. කාලසටහන්වලට අනුකූල වීම සහ ඩිජිටල් ගෙවීම් ඇතුළත් පරිපූර්ණ ප්‍රතිසංස්කරණ ද ඊට සමගාමීව ක්‍රියාත්මක කළ යුතුය. පෞද්ගලික වාහන නිවසේ තබා යාමට වැඩි පිරිසක් පෙලඹවිය හැකි නම්, එය මෙම වේදනාකාරී අත්දැකීමේ රිදී රේඛාව වනු ඇත.

සංශෝධිත විදුලිබල පනත යටතේ අවසන් පැවරුම් සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිත වන්නේ වසර දෙකකින් ය. එය ඉතා දිගු කාලයකි. ජාතික පද්ධතියට වැඩි වශයෙන් සූර්ය සහ සුළං බලය අවශෝෂණය කර ගැනීමට හැකි වන පරිදි විදුලි සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ ජාලවල ආයෝජනය කිරීමට හැකි වන පරිදි මෙම ක්‍රියාවලිය කඩිනම් කළ යුතුය.

Rohan Samarajiva
(සටහන | මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික  

rohan@lirneasia.net

Chair, LIRNEasia (www.lirneasia.net)
Twitter: @samarajiva

https://www.linkedin.com/in/rohan-samarajiva-39199918/
Most recent publication: https://journals.sagepub.com/doi/full/10.1177/14614448221143428
Most recent book: https://www.idrc.ca/en/book/infocus-information-lives-poor-fighting-poverty-technology

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බලශක්ති සැපයුම් බිඳ වැටෙමින් පවතී: ශ්‍රී ලංකාවේ අප කළ යුත්තේ කුමක් ද? | රොහාන් සමරජීව | The Leader