සංඝ සමාජය පිරිසිදු කරගැනීමේ සිට බෞද්ධ උරුමය රැකගැනීම දක්වා වූ පරාසයකට එම සාකච්ඡාව වර්ධනය වන බවක් ද අපට පෙනේ. එහෙත් ඒ ඇතැම් කතාබහ ගුවන් තොටුපලේ සිදුවීම මුල් කරගත් සිද්ධිවාචක කරුණු මත පදනම් වූ ඒවාය. මේ අතරේම භික්ෂු සමාජයෙන් නැවතත් සංඝයා මුල්කරගත් අධිකරණ ක්‍රියාවලියට අවශ්‍ය නෛතිකභාවය පිහිටුවීම ගැන ද සාකච්ඡාවක් වේ. ඊට මුල් වී තිබෙන්නේ සංඝ විනය ආරක්ෂා කරගැනීමේ තාවකාලික පියවරක් වශයෙන් විහාර හා දේවාලගම් ආඥා පනත සංශෝධනයට ආණ්ඩුව දුන් පියවර මන්දගාමී වීමය.
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිය උදෙසා ක්‍රියා කිරීම පොදුවේ ගිහි පැවිදි බෞද්ධ කාගේත් වගකීමය. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සංස්ථාපිත රාජ්‍ය ආයතන පද්ධතියේදී මේ වගකීම පැවරෙන්නේ බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුවටය. ඒ සඳහා කාලීන ව්‍යාපෘති දියත් කිරීම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ගේ වගකීමය. ඊට අමතරව බෞද්ධ සිද්ධස්ථාන හා දේපළ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සදහාම යෙදවීමට අවශ්‍ය පරිපාලන සහය ලබා දීම, විහාරස්ථාන සංවර්ධනය කිරිම, දහම් පාසල් අධ්‍යාපනය වැඩිදියුණු කිරීම හා දිවයිනේ සියලුම සාමණේර/උපසම්පදා භික්ෂුන් ලියාපදිංචි කර ලේඛන පවත්වා ගෙන යාම සිදු කරනු ලබන්නේ ද බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ මැදිහත්වීමෙනි. ඊට අවශ්‍ය බලය ඔහුට ලැබෙන්නේ 1931 අංක 19 දරණ විහාර දේවාලගම් ආඥා පනතනි.
මෙම කාර්යයන් සාර්ථකව ඉටු කිරිම සදහා බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුවේ විවිධ අංශ ස්ථාපිත කොට ඇත. විහාර දේවාලගම් ආඥා පනතට අදාළ කටයුතු දුර බැහැර සිද්ධස්ථානවාසි ස්වාමින් වහන්සේලාට ඉටු කර ගැනීම පහසු කරනු වස් මහනුවර ප්‍රාදේශිය කාර්යාලය, කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලය හා රත්නපුර ප්‍රාදේශිය කාර්යාලය ස්ථාපිත කර පවත්වා ගෙන යනු ලබයි.
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ වගකීම..

‘බොදු පිළිවෙත් සුරකින දැහැමි සමාජයක්’ යන දැක්මෙන් ‘සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය හා ප්‍රවර්ධනය සඳහා වන කාර්යයන් හා කර්තව්‍යන් මැනවින් සංවිධානය කර ක්‍රියාත්මක කරලීම තුළින් දැහැමි හා ගුණගරුක සමාජයක් බිහිකිරිම සහ අඛණ්ඩ පැවැත්ම සාක්ෂාත් කරලීම’ යන මෙහෙවර උදෙසා තමන් කටයුතු කරන බව බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තු වෙබ් අඩවිය සඳහන් කරයි.
එහිදී සිය ප්‍රධාන කාරියන් හැටියට දෙපාර්තමේන්තුව දක්වා ඇති දේ මෙසේය.
1.ථෙරවාදි බුදුදහම ආරක්ෂා කිරීම.
2.සාංඝික දේපල සුරක්ෂිත කිරිම සංවිධාන කිරිම හා ඒවා සම්බුද්ධ ශාසනයේ චීරස්ථිතිය සඳහාම යෙදවිම.
3.බෞද්ධ සාරධර්ම අගයන ගුණගරුක නිර්මාණශීලී ජන සමාජයක් ඇති කිරිම.
4.බුද්ධ ශාසනය හා අනාදිමත් කාලයක සිට බැඳුණු අනෙකුත් මතවාදයන් කාලීන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි පවත්වා ගෙන යාම පෝෂණය කිරිම හා වර්ධනය කිරිම.
5.බෞද්ධ සාහිත්‍ය හා කලා ශිල්ප සංරක්ෂණය කිරිම පෝෂණය කිරිම හා වර්ධනය කිරිම.
6.සංවිධානාත්මක හා නුතන තාක්ෂණයට අනුකූල බෞද්ධ ආර්ථිකයක් ගොඩනැගීම සඳහා බෞද්ධ ජනතාව පෙළගැස්වීම හා මෙහෙයවීම.
කෙසේ වෙතත් කටුනායක සිදුවීම සමග විවිධ නායක කාරකාදී භික්ෂුන් වහන්සේලා පළ කළේ විවේචනාත්මක අදහස්ය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ද ඊයේ(26) එසේ අදහස් දක්වමින් කීවේ සැකකාර භික්ෂූන් කෙටි නඩු විභාගයකින් පසු රිමාන්ඩ්භාරයේ සිටියදීම උපැවිදි කළ යුතු බවය. සිවුරට නොගැලපෙන ලෙස අසංවරව අස්සාසනිකව ක්‍රියා කරන භික්ෂුන් සාසනයෙන් නෙරපීමට විහාරගම් හා දේවාල පනතේ පවතින නීති ප්‍රමාණවත් නොමැති බැවින් මෙම ඉල්ලීම කරන බව කී උන්වහන්සේ එම නීතිය වහා සංශෝධනය කර සාසනයත් හිමිවරුත් රැක ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක වහා මැදිහත් විය යුතු යැයි ද කීහ.
ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් එහිදී පැවසුවේ හිමි නමක් විදෙස් සංචාරයක් යනවිට අදාළ නිකායේ මහනායක හිමියන්ගේ අවසරය ලබා ගත යුතු බවයි. ඔවුන්ට ඊට අවසරය ලැබෙන්නේ කුමක් සඳහා කුමන ආරාධනාවක් මත යනවාද යන්න සොයාබලා යැයි ද උන්වහන්සේ කීහ. එවැනි අවසරයක් නොමැතිව හිමි නමක් ලෙස විදෙස් ගතවීමේ අවසරයක් හිමි නොවන බැවින් මෙසේ අවසරය මත ගොස් නීතිවිරෝධී වැඩ වල යම් හිමි නමක් කෙසේ කටයුතු කරන්නේද යන්න අපහැදිලි යැයි ද සෝභිත හිමියෝ කීහ.
“රිමාන්ඩ් භාරයේදීම සිවුරු ගලවන්න” -දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි
“මේ වැරදි කළ හිමිවරුන් කෙටි නඩු විභාගයකින් පසු රිමාන්ඩ් එකේ සිටියදීම ප්‍රසිද්ධියේ සිවුරු ගලවා ගිහි ඇදුම් අන්දවා පසුව ඉතිරි නීතිමය ක්‍රියා මාර්ග ගත යුතුයි. තායිලන්තයේ සිදුවන්නේ මෙවැනි ක්‍රියාමාර්ගයක් වුණත් අවාසනාවකට ලංකාවේ එවැන්නක් සිදු වෙන්නේ නෑ. මෙය පසුපස සිටින මහමොලකරු මෙහි අරමුණ කුමක්ද යන්න වහා සෙවිය යුතුයි. මෙය සංවිධානාත්මක් කල්ලියක් හරහා සිදුවන ක්‍රියාවක් යැයි අපට සැකයි. මහනාහිමිවරුන් මේ සදහා වහාම ක්ෂණිකව ක්‍රියාත්මක වෙන්න ඕනෑ. නැත්තන් ශාසනයත් භික්ෂු පරපුරත් ආරක්ෂා කරගැනීම පහසු වෙන්නේ නෑ ” සෝභිත හිමියෝ එසේ ද කීහ.
කෙසේ වෙතත් වාර්තා වන ආකාරයට සැකකාර භික්ෂූන් වහන්සේලා දැනට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය හිමි අය යැයි කියයි. ඒ අනුව භික්ෂූන් සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු ක්‍රියාවලිය ගැන අවධානය යොමුකිරීම වැදගත්ය. භික්ෂුන් සම්බන්ධ ක්‍රියාවලියේදී දෙපාර්තමේන්තුවට පැවරෙන වගකීම් වන්නේ නව සාමණේර ප්‍රකාශ පත්‍ර ලියාපදිංචි කිරීම, නව උපසම්පදා ප්‍රකාශ පත්‍ර ලියාපදිංචි කිරීම, උපැවිදි සහතික නිකුත් කිරීම, ලියාපදිංචි කරන ලද සාමණේර සහ උපසම්පදා ප්‍රකාශ පත්‍ර වල සහතික පිටපත් නිකුත් කිරීම, භික්ෂු හැඳුනුම්පත් නිකුත් කිරීම, සාමණේර සහ උපසම්පදා ප්‍රකාශ පත්‍රවල අවශ්‍ය සංශෝධන සිදු කිරීම, නීතිමය ගැටලු වලදී අවශ්‍ය සාක්ෂි ලබා දීම යනාදියයි. ඒ අනුව මෙම සිදුවීමේදී ද බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට අදාළ භික්ෂූන් යම් හෙයකින් වැරැදිකරුවන් වී උපැවැදි කළහොත් ඊට අදාළ සහතික ලබාදීම පැවරේ.
කෙසේ වෙතත් මේ වනවිට බොහෝ භික්ෂූන් වහන්සේලා චෝදනා කරන්නේ සංඝයා සම්බන්ධයෙන් අදාළ නිකායවලට කටයුතු කිරීමට ප්‍රමාණවත් නෛතික බලයක් නොමැතිවීමෙන් මේ තත්ත්වය හටගෙන ඇති බවය. මේ කරුණ වත්මන් ජාතික ජනබලවේග ආණ්ඩුවේ නායකයන් ද පිළිගත් අතර පසුගිය වසරේ මාර්තු 12 වැනිදා ජනපති අනුර කුමාර දිසානායක ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශය ඊට දෙස් දෙයි.
ජනපති අනුර පනත ගැන දුන් පොරොන්දුව..
“මේ සමාජය සුවපත් කිරීමේ කාර්යේදී අපේ හාමුදුරුවන් වහන්සේලාට ප්‍රමුඛ කාර්යක් පැවරී ඇතැයි මා විශ්වාස කරනවා. බුදු රජාණන් වහන්සේ දේශනා කළ දහම ඇතුලෙ ඉතාම ප්‍රබල විමුක්ති හරයක් තිබෙනවා. අද ඒ විමුක්ති හරය යට යමින් ගල් පිළිම වෙනුවට බොල් පිළිම මතුවෙමින් තිබෙනවා. බෞද්ධ කතිකාව පනත පිළිබඳ අපි සාකච්ඡා කළා. ඒක ප්‍රමාද වෙනවා නම් අඩුම තරමේ විහාර හා දේවාලගම් පනතේ 41 හා 42 වගන්තිවල සංශෝධනයක් අපේ හාමුදුරුවන් වහන්සේලා බලාපොරොත්තු වෙනවා. දැනටමත් අපි ඒ පනතේ සංශෝධන කෙටුම්පත් කරල අවසන්. ඉතා ඉක්මනින් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරනවා. සංඝ සංස්ථාව විධිමත් කරගැනීම අවශ්‍ය බලය හා කාර්ය අපේ මහානායක හාමුදුරුවරුන් ඇතුළු සංඝ සභාවලට පවරන්න අපි සූදානම්. ඔබවහන්සේලාට තමයි ඒ කාර්ය පැවරෙන්නේ. ඊට අවශ්‍ය නීති සම්පාදනය අපි ඉක්මනින් කරන්නම්. ඊට අමතරව සමස්ත කාර්ය පිළිබඳ අපි පනතක් සම්මත කරගත යුතුයි. ඒ සඳහා ඔබවහන්සේලාගේ අවවාද අනුශාසනා මත කරන්න සූදානම්. රාජ්‍යක් පවතින්නේ නීතිවලින් විතරයි කියල අපි විශ්වාස කරන්නේ නෑ. ”
මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාල වෙබ් අඩවිය දක්වන ආකාරයට ඒ සම්බන්ධයෙන් අවසන් වරට කැබිනට් පත්‍රිකාවක් නිකුත් කර ඇත්තේ 2022 නොවැම්බර් 28 වැනිදාය. 1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් ආඥාපනත සංශෝධනය කිරීම සහ ථෙරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත කෙටුම්පත් කිරීම මැයෙන් එය ඉදිරිපත් කර ඇත. 1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා මීට පෙර අවස්ථා කිහිපයකදී පියවර ගෙන ඇති නමුත් විවිධ පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත් වූ අදහස් හා යෝජනා පිළිබඳව එකඟතාවකට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් එකී සංශෝධන කටයුතු අවසන් කිරීමට හැකි වී නොමැති බව එහි සඳහන් වේ.
ඒ වන විට(2022 නොවැම්බර්) අදාළ පාර්ශ්ව අතර යෝජිත සංශෝධන සම්බන්ධයෙන් එකඟතාවකට එළඹ ඇතැයි ද කිසියම් නිකායක හෝ පාර්ශ්වයක සංඝ සභාව විසින් එළඹුණ තීරණයක් අනුව කිසියම් භික්ෂුන් වහන්සේ නමක් විසින් කටයුතු නොකරන අවස්ථාවකදී එකී සංඝ සභාවේ තීරණය බලාත්මක කරවීමේ ප්‍රතිපාදන ඇතුළත්ව පනතක් හඳුන්වා දීම පිණිස විවිධ පාර්ශ්වයන් වෙතින් ඉදිරිපත් වී ඇති යෝජනා හා අදහස් සැලකිල්ලට ගනිමින්, ථෙරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) මූලික පනත් කෙටුම්පත තවදුරටත් සංශෝධනය කරමින්, එකී පනත් කෙටුම්පත සකස් කිරීමට තීරණය වී ඇතැයි ද එහි දැක්වේ. ඒ අනුව, 1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් ආඥාපනත සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා සහ ථෙරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත කෙටුම්පත් කිරීම සඳහා ඉදිරි පියවර ගැනීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද බව එහි වැඩිදුරටත් සඳහන්වේ. ජාතික ජනබලවේග ආණ්ඩුවට දැන් පැවරී ඇත්තේ එතැන් සිට කටයුතුය.
මහින්ද රාජපක්ෂ කළ වැඩක්..
විහාර හා දේවාලගම් පනත සංශෝධනයේදී දේශපාලන සාකච්ඡාවක් පැවැති ඉතිහාසයක් ද තිබේ. ඊට මුල් වූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය දරද්දී රුහුණු මහා කතරගම දේවාලය සම්බන්ධයෙන් තම බලතල ප්‍රකාරව නිකුත් කළ ගැසට් නිවේදනයකි. 2006 වසරේ මාර්තු 14 දින සිට රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ දුරයට පත්වූයේ ශෂින්ද්‍ර රාජපක්ෂ ය. ඉන් වසර තුනකට පසු එනම් 2009 වර්ෂයේ දී පළාතේ ප්‍රධාන අමාත්‍ය දුරයට ද ඔහු පත්විය. ඉන්පසු විහාර දේවාලගම් ආඥා පනත අනුව ඔහුට බස්නායක නිලමේ දුරය අත්හැරිය යුතු නිමිත්තක් පහළ විය. ඒ රජයෙන් වැටුප් හෝ දීමනා ලබන කිසිවකුට විහාර දේවාලගම් දේවාලගම්, ආඥා පනත යටතට ගැනෙන දේවාලයක බස්නායක නිලමේ දුරය හෝ දියවඩන නිලමේ දුරය දැරිය නොහැකි බවට ඇති කොන්දේසියක් නිසාය.
එහෙත් 2009 අගෝස්තු 14 දින අංක 1614/30 දරන අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එම අවස්ථාවේ කළේ බෞද්ධ විහාරගම් ආඥා පනතෙන් ඔහු වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව රුහුණු කතරගම මහා දේවාලයේ එම ආඥා පනතේ 14 වගන්තියේ ඇ ඡේදයේ විධිවිධාන වලින් නිදහස් කිරීමය. එය නොකළේ නම් ශෂින්ද්‍ර රාජපක්ෂ ට බස්නායක නිලමේ ධුරය අහිමිවන්නේය. මේ ආදී වශයෙන් 20 වැනි සියවමේ මුල් භාගය දක්වාම විහාර හා දේවාලගම් පනත හා බැඳුණු දේශපාලනයක් ද තිබේ.

කෙසේ වෙතත් තායිලන්තයේ සිට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ සිදුවීම මුල්කරගෙන ත්‍රෛනිකායික මහානාහිමිවරුන් නිකුත් කළ නිවේදනයේ දී ද අවධාරණය කර තිබුණේ භික්ෂු සංස්ථාව පිරිසිදු කරගැනීම උදෙසා නීති සංශෝධනයට රාජ්‍ය මැදිහත්වීමේ වැදගත්කමය. නීති විරෝධී කටයුතු කරන භික්ෂු ප්‍රතිරූපකයින් සසුනෙන් නෙරපීමට නිසි යාන්ත්‍රණයක් සකස් කිරීමේ අවශ්‍යතාව යළිත් ප්‍රකට වන මෙම අවස්ථාවේ දී ඒ සඳහා අවශ්‍ය කරන නෛතික ප්‍රතිපාදන සම්පාදනය කරලීමට රාජ්‍ය යාන්ත්‍රණය කඩිනමින් මැදිහත් වීම අත්‍යාවශ්‍ය යැයි එම නිවේදනයේදී මහානාහිමිවරු ද අවධාරණය කළහ.
තව ද උපක්‍රමශීලීව මෙන්ම සංවිධානාත්මකට තරුණ භික්ෂූන් වහන්සේලා මෙබඳු නීති විරෝධී කටයුතු සඳහා පොළඹවාගන්නා මත්ද්‍රව්‍ය ජාල හා මත්ද්‍රව්‍ය බෙදා හරින්නන් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන සිදුකොට නෛතික ක්‍රියා මාර්ග ගැනීමට ද ආරක්ෂක අංශ යුහුසුළුව කටයුතු කළ යුතු බව එහි දැක්විණි. ශාසන විරෝධී මෙන්ම නීති විරෝධී අයුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සම්බන්ධ වූ භික්ෂුන් ශාසනයෙන් නෙරපීමට කටයුතු කරන බව ද ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා සිය නිවේදනයේ සඳහන් කර තිබුණි.
(සටහන | ගිම්හාන් ද සිල්වා)




