ගෝලීය බලශක්ති අර්බුදයකට සහ ඉන්දන උද්ධමනයකට මේ වන විටත් දැඩිව බලපා ඇති ඉරාන යුද්ධයට තවමත් 'පෙනෙන මානයක' විසඳුමක් නොවන්නේය. මේ වන විටත්, එම යුද්ධයෙන් දහස් සංඛ්‍යාත පිරිසක් ජීවිතක්ෂයට පත්ව සිටිති.
ඉරානයේ නව යෝජනාවලියට එරට න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිලිබඳ සාකච්ඡා ඇතුළත් නොවීම ජනපති ට්‍රම්ප්ගේ දැඩි දෝෂ දර්ශනයට පත්‍රව තිබේ. ඔහු එය එක හෙළා ප්‍රතික්ෂේප කරන්නේ එබැවිනි. ගල්ෆ් කලාපයේ ඉරාන වරාය වෙත පනවා ඇති තහනම සහ යුද්ධය සහමුලින් අවසන් කිරීමෙන් අනතුරු අවධියක ඒ පිලිබඳ වැඩිදුර සාකච්ඡා පැවැත්වීම වඩා සුදුසු බව ඉරානයේ මතයයි.

එහෙත්, ඉරානයට කිසිදා න්‍යෂ්ටික අවියක් සතු කරගැනීමට ඉඩක් නැතැයි ජනපති ට්‍රම්ප් අවධාරණය කරයි. සාකච්ඡා ආරම්භයේ සිට එම න්‍යාය පත්‍රයට ඒ පිලිබඳ සාකච්ඡා අනිවාර්යයෙන් ඇතුළත් කළ යුතු බව ඔහු පවසන්නේ එබැවිණි.
ගැටලුව පිලිබඳ මාධ්‍ය ඔස්සේ කිසිදු සාකච්ඡාවක් නැතැයි ධවල මන්දිර ප්‍රකාශිකා ඔලිවියා වේල්ස් කීවාය. "අපේ රතු ඉර ඇඳ අවසන්," ඇය ප්‍රකාශ කළාය.
2015 වසරේ ඉරානය එක්සත් ජනපදය සහ තවත් රටවල් රැසක් සමග එළඹි ගිවිසුමකින් එරට න්‍යෂ්ටික වැඩසටහන තීව්‍ර ලෙස කප්පාදු කෙරිණි. එම වැඩසටහන සාමකාමී සහ සිවිල් අවශ්‍යතා පිණිස පමණකැයි ඉරානය පුන පුනා කීවද බටහිරට ඒ පිලිබඳ කිසිදු විශ්වාසයක් නොමැත. එබැවින්, ජනපති ට්‍රම්ප් සිය ප්‍රථම ධුර කාලයේදීම ඒකපාර්ශ්වීය එම ගිවිසුමෙන් ද ඉවත් විය. ඔහු, ඉරානයට කිසිදු න්‍යෂ්ටික අනාගතයක් නොපැවතිය යුතුය යන ඒකායන මතයේම තව දුරටත් රැඳී සිටී. එය නොවෙනස් ය.
සෙනසුරාදා (25) රාත්‍රී වොෂින්ටන් හිල්ටන් හෝටලයේ පැවති ජනමාධ්‍ය රාත්‍රී භෝජනයට වෙඩි ප්‍රහාර එල්ල වීමෙන් අනතුරුව ජනපති ට්‍රම්ප් සිය නියෝජිත පිරිස සහභාගී වීමට නියමිතව පැවති ඉස්ලාමාබාද් සාම කතා සංචාරය ද අවලංගු කළේය. එක්සත් ජනපද පාර්ශ්වයෙන්, ස්ටීව් විකොෆ් සහ ජනපති බෑණා, ජෙරාඩ් කුෂ්නර්ඊට සහභාගී වීමට නියමිතව සිටියහ.
දේශපාලනයේ මරණීය උපක්‍රම
මේ අතර, එම සෙනසුරාදා ප්‍රහාරය ජනපති ට්‍රම්ප්ගේම තවත් කූට උපායක් විය හැකි බව ඇතැම් දේශපාලන විශ්ලේෂකයෝ පවසති. මැතිවරණ ව්‍යාපාරයේදී වරක්, 'දක්ෂ' වෙඩික්කරුවකු ට්‍රම්ප්ගේ කනේ ගෑවී නොගැවී යන සේ කොකා ගැස්සීය. එවරද එය ට්‍රම්ප්ගේ උගුලක් බවට මත පල විය. එවැනි ක්‍රමෝපායයන්ගෙන් ඔහු සිය බලය උරගා බලමින් හෝ ජන මතය පිරික්සමින් ඇතැයි විචාරකයෝ කියති. එය බලයේ සිටින්නන් සිය බලය තර කර ගැනීමට හෝ තහවුරු කර ගැනීම පිණිස සිදු කරන්නක් ද, යන්න විමසුමට ගෝචර ය.
ශ්‍රී ලංකාවේ එවක ජනපති ආර්. ප්‍රේමදාස ඝාතනය වූයේ ද එවැනි අත්හදා බැලීමක් වැරදී ගියෙන් බවට ද එකල, මෙරට මත පල විය. පසුව, "උතුරේ රාහුල හිමි" වේදිකා නාට්‍යයේ ආ දෙබසකට ද එය ඈඳිණි. එම වේදිකා නාට්‍යයේ එන එක් ජවනිකාවකි; ප්‍රේමදාස ජනාධිපති සිය පිරිස සමග මැයි දින පෙළපාලියේ ගමන් කරමින් ඉදිරියට එයි. ඔහු අත වූ සුදු පැහැ ලේන්සුවක් වනා සන් කරනවාත් සමග වේදිකාව පසුබිමින් තද පිපුරුම් හඬක් නිකුත් වෙයි. එම හඬින් නාට්‍ය ශාලාව ගිගුම් දෙන්නේය. පිපිරීමත් සමග ප්‍රේමදාස කෙසෙල් කඳක් බිම පතිත වන්නා සේ වීදියේ මැරී වැටෙයි. ප්‍රේක්ෂකයෝ තුෂ්නිම්භූතය. ඔවුහු ගල් ගැසී බලා සිටිති. මැරී වැටුණු ජනපති ප්‍රේමදාස එකෙනෙහි යළි නැගී සිටින්නේය. "පුළුවන් නම් කියාපල්ල ඒකත් මගේ වැඩක් කියල" යයි ඔහු ප්‍රේක්ෂකාගාරයට කියන්නේ, භීතියට පත් ප්‍රේක්ෂකයින් සිනා සයුරක ගිල්වමිනි.

සත්‍ය සිදුවීමේදී, 1993 මැයි 1 දා ලෝක කම්කරු දිනයේ ජනපති ආර් ප්‍රේමදාස සහභාගී වූ මැයි දින පෙළපාලියට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් ඔහු ඝාතනය වැන්නේ කොළඹ ආමර් වීදියේ දී ය. පසු කලෙක ප්‍රවීණ මාධ්‍යවේදී මෙරිල් පෙරේරා "ආයුබෝවන් ආමර් වීදිය" නමින් පොතක් එලි දැක්වීය. එය කියවීමට පෙර බොහෝ පාඨකයින් සිතුවේ, එය ප්‍රේමදාස ඝාතනය පිලිබඳ පලවූ ග්‍රන්ථයක් බවය. එහෙත්, එම පොත මෙරිල් පෙරේරා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියාගේ මාධ්‍ය ජීවිතය පිලිබඳ ස්වයං විවරණයකි.
1999 දෙසැම්බර් 18 දා, එවක ශ්‍රී ලංකාවේ පස් වන විධායක ජනපති ධුරය දරමින් සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඉලක්ක කළ බෝම්බ ප්‍රහාරයකින් ඇය බරපතල තුවාළ ලැබුවාය. ඇය ජනපති තනතුරේ දෙවන ධුර කාලයක් ඉල්ලා සිදු කළ මැතිවරණ ව්‍යාපාරය අතර පැවති ජන රැළියක් අවසන එම ප්‍රහාරය එල්ල විය. එවර ඇය, සිය අවසන් මැතිවරණ ජනරැළිය අහවර ව කොළඹ නගර ශාලා පිටියෙන් පිටවීමට සැරසෙනවාත් සමගම බෝම්බය පුපුරා ගියේය.

පසු කලෙක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් ලියූ 'චෞර රැජිණ' කෘතියේ එම සිදුවීම සඳහන් කෙරුණේ ඇයගේ ම උගුලක් වැරදී යාමක් ලෙස හැඟී යන පරිද්දෙනි. චන්ද්‍රිකා කුමාරතුංගගේ වෙඩි නොවදින බෙන්ස් රථයේ තිබූ කෙල්ටර් ආවරණය නිසා බෝම්බයෙන් ඇගේ දිවි ගැලවුණි. මෙම ඝාතන සැලසුමට පෙර ඇය එවක රූපවාහිනි සංස්ථාවේ සභාපති වූ වසන්ත රාජා යාපනයට යවා එල් ටී ටී ඊ සංවිධානය තමාව ඝාතනය කිරීමට තීන්දු කර තිබේදැයි විමසන ලෙස ඉල්ලා තිබූ බව ද ඇතැම් මාධ්‍ය වර්තා කළේය.
ඇයව ඝාතනය කිරීමට තැත් කිරීමේ චූදිතයින් බවට පත්වී බන්ධනාගාරගත වූ රැඳවියන් තිදෙනෙකු ඇතුළු දෙමළ සිරකරුවන් අට දෙනකුට, ඇයගේ ද එකඟතාව සහිතව පසු කලෙක ජනාධිපති සමාව හිමි විය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රී ලංකාවේ අධිකරණයකින් වරදකරු කරන ලද පුද්ගලයෙකුට සමාව ලබා දීම සම්බන්ධව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව එම සමාව පිරිනැමිණි.

මෑත කාලීන ජාත්‍යන්තර දේශපාලන භූමිකාවේ අතිශය ජනාදරයට පත් චරිතයක් වූ හිටපු ජපන් අග්‍රාමාත්‍ය ෂින්සො අබේ, ද 2022 ජුලි 8 දා එරට නාරා ප්‍රාන්තයේ, නාරා නුවර සේදයිජි දුම්රිය ස්ථානය අසල මැතිවරණ ව්‍යාපාරයට සහභාගී වෙමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය විය. ගෘහස්තව නිෂ්පාදනය කරන ලද ගිනි අවියකින් වෙඩි තබා එම ඝාතනය සිදු කළ තෙත්සුයා යමගමි නම් ඝාතකයාට මෙම වසර මුල ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පැනවිණි.
සටන් විරාමයේ අතරමංව
ඉරාන - එක්සත් ජනපද සටන් විරාම සාකච්ඡා ඇනහිටීම මත අතරමං ව පාකිස්ථානය සහ ඕමානය අතර ඔබ මොබ සැරි සරමින් සිටි ඉරාන විදේශ අමාත්‍ය, අබ්බාස් අරඛ්චි සඳුදා (27) රුසියාව බලා පිටත් විය. කෙළවරක් නැති ගැටලුවට, ඉරාන හිතවාදී රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් ගෙන් හෝ උපකාරයක් ඉල්ලීම ඔහුගේ අපේක්ෂාව විය. ඒ පිලිබඳ ජනපතිවරයා සිය එකඟතාව පල කර ඇතැයි ද වාර්තා විය.
පසුව, ජනපති ට්‍රම්ප් යුද්ධයේ සිය අභිප්‍රායයන් මුදුන් පත් කර ගැනීමට අපොහොසත් ව සාමයට අත වනන බව අරඛ්චි, රුසියාවේදී මාධ්‍යවේදීන් අමතා කියා සිටියේය.
ආසියානු වෙළඳපොළ බොර තෙල් බැරලයක මිල යළි ඉහළ ගොස් ඇත. අද, WTI බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 97.54ක් සහ බ්‍රෙන්ට් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 109.53ක් ලෙස සටහන් විය. හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ ඉන්දන, ගෑස් සහ ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවාහනය තව දුරටත් සීමාව හෝ අවහිරව පවතී. ඉරාන ඉන්දන පටවා පැමිණි නෞකා හයක් එක්සත් ජනපද තහනම හමුවේ යළි එම වරාය වෙත හරවා යැවිණි. ඉරානයට සම්බන්ධ නෞකා දෙකක් එක්සත් ජනපද භාරයට ගැනීම දැඩි ලෙස හෙලා දකිමින් ප්‍රකාශයක් නිකුත් කළ ඉරාන විදේශ අමාත්‍යංශය, එය ජාත්‍යන්තර සයුරේ සිදු කළ සන්නද්ධ මුහුදු මංකොල්ලයක් බව චෝදනා කළේය.
යුද්ධයට පෙර දෛනිකව හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ නෞකා 125 - 140 අතර සංඛ්‍යාවක් යාත්‍රා කළේය.
සාකච්ඡා පිණිස එක් වීමට නම්, ඊට ප්‍රථම ඉරානය මත එක්සත් ජනපද - ඊශ්‍රායල යුද්ධය නතර කළ යුතු බවත්, එය යළි ආරම්භ නොකරන බවට වග විය යුතු බවත් ඉරානය දන්වා සිටී. අනතුරුව, ඉරාන සමුද්‍රීය වෙළඳාම කෙරෙහි පවතින එක්සත් ජනපද නාවුක හමුදා තහනම සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම පිලිබඳ ගැටළු විසඳා ගත හැකි බව ටෙහෙරානය පවසයි. ඉදිරියේ දී හෝර්මුස් සමුද්‍ර සන්ධිය සිය පාලනයට නතුව පවත්වා ගැනීම ඉරානයේ අපේක්ෂාවයි.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Trump unhappy with Iran's latest proposal to end the war




