ඒ අවුරුද්දේ තමයි මම ආනන්ද විද්‍යාලයට යන්න පටන් ගත්තේ. පළමුවෙනි මාස තුන ගියේ ස්කූල් වෑන් එකක. ඒ වෑන් එක දවල්ට එනතුරු අපි හිටියේ ගොඩගේ මහත්තයගෙ පොත් කඩේ ගාව. ඒ පොත් කඩේ ගොඩගේ මහත්තයයි එතුමාගේ බිරිඳයි තව කවුරුහරියි හිටියා.”
ප්‍රකාශන ලෝකයට සමුදුන් එස්.ගොඩගේ මහතා ගැන මතකය අවුස්සමින් මේ සටහන තබා තිබුණේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරියයි. ඉන්පසු මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය ද ඊට ඌනපුර්ණයක් එකතු කර තිබිණ. අනුරුද්ධ තම කතාව දිගහැර තිබුණේ මෙසේය.

“මට මතක හැටියට ඒක තනි කාමරයක පොඩි කඩයක්. උඩ තට්ටුවට යන්න තරප්පු පෙළක් තිබුණා වගේත් මතකයි. හරියටම පැහැදිලි මතකයක් නැහැ. මොකද මේ කතා කරන්නේ මීට අවුරුදු හතළිහකට එහා ගැන. වැදගත්ම දේ තමයි ගොඩගේ මහත්තයා පටන් අරන් තියෙන්නේ ඒ පොඩි කඩේටත් වඩා ගොඩක් පොඩි තැනකින්. මගේ අවබෝධයේ හැටියට ඒ තරම් පොඩි තැනකින් පටන් අරගෙන මේ තරම් දුරක් ආපු වෙන කිසිම පොත් ප්‍රකාශකයෙක් ලංකාවෙ නෑ. එතුමාගේ ගොඩක් විශාල අලුත් පොත් මැදුර දාලා තියෙන්නේ මම හිතන්නේ ඒ පරණ පොත් කඩේට එක ගොඩනැගිල්ලකට එහායින්. ”
“ගොඩගේ මහත්තයා ආනන්දෙ ඇතුලෙත් නිතර දකින්න ලැබුණු කෙනෙක්. ඒකෙ තියෙන ලොකු පොඩි උත්සවවලටත් නිතර ආව ගියා. ඒ නිසා ගොඩගේ මහත්තයාව ඒ කාලෙ මට පෙනුනේ නිකම් ගමේ කෙනෙක් වගේ. ගොඩගේ මහත්තයාගේ හැම ෆොටෝ එකකම වගේ තියෙන වයසක වැඩිහිටි පෙනුමම තමයි එතුමාට ඒ කාලෙත් තිබුණේ. ඒ පෙනුමෙන්ම එතුමා තව අවුරුදු 40ක් ජීවත් වුණා. ”

“මම විශ්වවිද්‍යාලයේ අවසාන වසරෙදි කෙටිකතා පොතක් ගැහුවා. ඒක කර්තෘ ප්‍රකාශනයක්. ඒ පොතෙන් පොත් විසි පහක් හෝ පනහක් ගොඩගේ මහත්තයා එතුමාගෙ කඩේට භාරගත්තා. ඊට මාසෙකට විතර පස්සේ සම්පූර්ණ මුදලම මට දුන්නා. මට විශ්වාසයි එතකොට ඒ පොත් ටික විකිණිලා තිබුණේ නෑ. ඒ උනාට කිසිම ප්‍රශ්නයක් නැතිව සල්ලි දුන්නා. ඒ කාලේ යෞවන වයසෙ හිටිය මාව එතුමා පෞද්ගලිකව දැනගෙන හිටියෙත් නැහැ.”
“ඒ වගේ වෙස්සන්තර වැඩ කරන ගමන්ම ඒ මහත්තයා ව්‍යාපාරික ලෝකයේ ඒ තරම් සාර්ථක වුණේ කොහොමද කියලා මට පුදුම හිතුනා. හොඳ මිනිස්සුන්ට හරි යනවා කියලා අපේ ගම්වල මිනිස්සු කියනවනෙ. ගොඩගේ මහත්තයට ඒ තරම් හරියන්න ඇත්තේ ඒ මහත්තයා ඒ තරම් හොඳ හින්ද වෙන්න ඇති.”
මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය ෆේස්බුක් සටහනකට නිමිත්ත කරගෙන තිබුණේ අනුරුද්ධ ප්‍රදීප්ගේ මේ සටහනයි. උවිඳුගේ කතාව මෙසේය.
“සිරිසුමන ගොඩගේ මහත්තයව මට ජීවිතේට එක දවසයි හමුවෙලා කතාකරල තියෙන්නෙ. ඒ ගොඩගේ පොත් කන්තෝරුවේ මුල සිටම මිය යන කාලය දක්වා සේවය කල මට මතක නම් ජයතිලක කියල කෙනෙක්ගෙ වැලිවේරිය පැත්තෙ මළ ගෙදර ආව දවසෙ. ඒ ජයතිලක කියන අහිංසක සේවකයට නැවත ජීවයක් දුන්නෙ රාවය පත්තරේ වැඩකරපු ජයසිරි ජයසේකර. ජයසිරි බද්දේගම ඉඳල කොළඹ ඇවිත් ඉස්සෙල්ලම රස්සාව කරල තියෙන්නෙ ගොඩගේ කන්තෝරුවෙ පොත් බඳින්නෙක් විදියට. එතන තමා මේ කියන ජයතිලක මහත්තය කියන චරිතය වැඩකලේ. ඉතිං ජයසිරි රාවයට ඇවිත් මේ ජයතිලක මහත්තයගෙ ජීවිත කතාව රාවයේ දිගට ලිපි මාලාවක් විදියට ලියන්න ගත්ත. මම හිතන්නෙ සාමාන්‍ය මිනිහෙක් ගැන පුවත්පතක එච්චර කාලයක් දිගට ලියපු චරිතාපදානයක් තියෙනව නම් ඒ ජයසිරි, ජයතිලක මහත්තය ගැන ලියපු ලිපි මාලාව. ජයතිලක මහත්තය රාවයටත් එන්න පටන් ගත්ත, එයාගෙ ජීවිතයට නව පනක් ආව. අපිව බදාගන්නව, විහිළු කරනව. පරණ කතා කියනව. මම ගොඩගේ මහත්තය ගැන ඉඟෙන ගත්තෙත් ජයසිරිගෙ ලිපි මාලාවෙන්.”
“කොහොම හරි ජයතිලක මහත්මය මැරුණ. අපි ගියා වැලිවේරිය පැත්තෙ එයාගෙ මලගෙදර. අන්න එදා තමයි ගොඩගේ මහත්තයව හමුනේ. හරිම කරුණාබර හෙමිහිට සද්ද නොකර කතාකරන චරිතයක්. නමුත් එයාගෙ සේවකය ජයතිලක කියන කතාවල ඊට වෙනස් අදහස් තියෙනව හරිද.”
“විහිළු කතා නම් අම්බානට තියෙනව ගොඩගේ මහත්තයට චීට් කරපු ඒව. එකක් ඕන නම් කියන්නම්. තාමත් ජීවතුන් අතර ඉන්න මාහචාර්ය සුනන්ද මහේන්ද්‍ර එයාගෙ කතෘභාග ගන්න ගියාම ගොඩගේ මහත්තය කියනවලු ”සර්, තාම පොත් ටික විකිණිලා නැහැනෙ” කියල. ඉතිං සුනන්ද මහේන්ද්‍රම වෙන දවසක ගිහින් එයාගෙ පොත් ටික අර ඩිස්ප්ලේ කරල තියෙන තැනින් වෙන තැනකට දාල, ගිහින් කියනවලු ඔක්කොම විකිණිලා වගේ තව දෙකයි නෙ තියෙන්නෙ කියල. ඉතිං ගොඩගේ මහත්තය ඇවිත් බලල, “ඇත්තනෙ සර්” කියල සල්ලි ගෙවනවලු. මේක අනුරුද්ධ ප්‍රදීප් සහෝට පොත් විකිණිලත් නැතුව ගොඩගේ මහත්තය සල්ලි දුන්න කියන එකේ තව පැත්තක්. වික්ටර් අයිවනුත් එයාගෙ පොත් ගොඩගේගෙන් අයින් කරන් රාවයෙම ගහන්න ගත්තෙ ඔය කර්තෘබාග හුටපටේ නිසා.”
සුබ රාත්‍රියක් ගොඩගේ මහත්තයා!..
එස්.ගොඩගේ මහතාගේ අවසන් කටයුතු සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දිය යුතු යැයි යෝජනා කරමින් ප්‍රකාශක ජනක ඉනිංමකඩ ද සටහනක් තබා තිබුණි.




